Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts

Thursday, March 31, 2016

රෙද්ද පල්ලෙන් පෙරෙන යහපාලනේ

 
මේ රටේ ජනතාවට යහපාලනය දීමට පොරොන්දු වී පැමිණි එජාප/ශ්‍රිලනිප හවුල් ආණ්ඩුවේ යහපාලනය දෝර ගලමින් තිබේ.

වංචාවට දූෂණයට එරෙහිව හඬ නගමින් බලයට  ආ යහපාලකයන් වැඩ ඇල්ලුවේ  භාණ්ඩාගාර බිල්පත්  වලින් රුපියල් බිලියන ගණනාවක මගඩියක් කරමිනි.නාස්තිය පි‍ටු දැක සරල චාම් ලෙස ආණ්ඩු කරන්නට පැමිණි මොවුන් දැන් කතරගම් යන්නේත් හෙලිකොප්ටරයෙනි.
ආමේන්.

පසුගිය රජයේ ව්‍යාපෘති වලට යටිගිරිය පුප්පා  බැන වැදුනවුන් ම පොර්ට් සිටි කරේ තියාගෙන මොණරුන් සේ රඟති. අකාර්යක්ෂමතාව සෑම තැනම ඉහටත් උඩිනි.  විදුලි බලය නැත. පොරොන්දු වූ සහතික මිල නොමැතිව ගොවීන් මහ පාරේය. තේ , රබර්  වගා කරුවන්ගේ තත්වය එලෙසමය.බඩු මිල බදු ගසමින් , අහස උසට යන්නේ යෝෂිතගේ රොකට්‍ටු ද පසු කරමිනි.නිදහස හා අයිතීන් ගැන කතා කරමින්ම උද්ඝෝෂණය කරන සිසුන්ගේ ඔලු පලති.

රාජපක්ෂ රෙජිමයෙන් දිවි ගලවා ගැනීම සඳහා රටින් පලා ගියවුන්ට ආපසු එන්නටැයි කියා , එසේ එන උන් අල්ලා සිර ගත කරති. මඩකලපුවේ මාධ්‍යවේදි සසීකරන් සිරගත කලේ එසේ ආපසු ආ විටය.

අද පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ට වසරක සිර දඬුවමක් පනවා තිබේ .

ඒ ඔහු මෙරට ආගමන විගමන නීති කැඩූ නිසාලු. එනම් රාජපක්ෂ  රෙජිමයෙන් පණ   බේරා ගැනීම සඳහා වෙනත් නමක් භාවිතා කරමින් රටෙන් පලා යෑම නිසාය.

එහෙත් එම නඩු හා පරීක්ෂණ  සඳහා ඇති කඩිමුඩිය හෝ  හදිසිය මිනීමරුවන් හා ජාතික ධනය කොල්ල කෑ හොරුන් අල්ලන්නට නැත. හොර පාස්පෝට් හැදූ වීරවංශ යුවල සුවසේ සිටිති. සමහර  අලි හොරු ඇප මත ගෙදරය, තව සමහරුන් තාම නිදැල්ලේය. සමහරුන් නඩු පවා අසමින් සුවසේ සිටිති.භාණ්ඩාගාර බිල්පත් සොරුන් ගැන වචනයක්වත් කතා කරන්නේ නැත.

යහපාලනයක් දෙන්නට ආ වුන් දෙමින් සිටින්නේ යම පාලනයකි.  මේ සියල්ලම අපට පෙන්වා දෙන්නේ නීතිය  හා යුක්තිය එකක් නොවන බවයි. යුක්තිය ලැබෙන්නේ  තවමත් පරණ පුරුදු ලෙසම ගජමිතුරු  ක්‍රමයටය. නීතිය අනෙක් උන්ටය.

රටට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන පරීක්ෂණ අපටම කළ හැකිය යැයි කියන්නේ මෙවන් තත්වයක්  තිබියදීය. එම යහපාලන කතා කවුරුන් විශ්වාස කරයිද?
 
 

Sunday, January 10, 2016

මාරක පොලිස් අනතුරු වලින් බේරීමට උපදෙස් මාලවක්



1. මගුල් ගෙවල්, මල ගෙවල්, කොටහලු ගෙවල්, උපන්දින සාද වැනි නීති විරෝධී, සාමය කඩවන ‍රැස්වීම් නොපැවත්වීම

2. එවැනි උත්සව තිබෙන තැන් වලින් හැකි තාක් ඈත් වී සිටීම

3.  තට්‍ටු ගෙවල් වල සිට අරක්කු නොබීම

4. තමන් අරක්කු නොබීවත් ඉල්ලූ විට දීම සඳහා අරක්කු බෝතල් දෙකක් ලඟ තබා ගැනීම

5.. බැරි වෙලාවත් අත් අඩංගුවට පත් වුවහොත් හිර මැදිරියේ ජනේලයක එල්ලීමට සිතෙන නිසා ඒ සඳහා උපකාරි වන , බඳපටි, ටයිපටි, සරම් කමිස, ජංගි ඇතුලු කිසිම දෙයක් හිර මැදිරිය තුලට ගෙන නොයාම .

6. අවි ආයුධ, මත් ද්‍රව්‍ය වැනි දෑ  සඟවා තිබෙන තැන් පෙන්වන්නට යැයි කියූ විට ලබා දීම සඳහා ඒවා ඇති තැන් මනාව සිතියම් ගත කොට ලඟ තබා ගැනීම.

හෝ මේ කිසිවක් කර ගත නොහැකි නම් ලජ්ජා බය ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙක් සිටින රටකට යාම

සහ වෙනත් එවැනි දෑ තම තම නැණ පමණින් කිරීම



Wednesday, January 21, 2015

ලංකාව ශිෂ්ඨ කළ නොහැක.



පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා  මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ.

මුලින්ම චාන්ස් එක ලැබුනේ නාකි චීනාට.මිනිහා හරිම  දේශප්‍රේමියෙක්. සමහර විට ලංකාවේ අය ආශ්‍රය කරලා ද දන්නේ නැහැ, මෙච්චර දේශප්‍රේමියෙක් වුනේ. එයා දෙවියන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා

"අනේ දෙවියනි, මගේ රට ඇමෙරිකාවත් පරද්දලා ලෝක බලවතා වෙන්නේ කවද්ද?"

"තව අවුරුදු සීයකින්" දෙවියෝ කිව්වා.

ඒක ඇහුනා විතරයි චීන මහල්ලා ඉකි ගගහා අඬන්න ගත්තා. දෙවියෝ ඇහුවා මේ මොකද අඬන්නේ? අවුරුදු සීයකින් හරි ඔහෙගේ රට ලෝක බලවතා වෙනවනේ කියලා.

එතකොට චීන මහල්ලා ඉකි ගගහා කියනවා "අනේ දෙවියනේ ඒ වාසනාවන්ත දවස දකින්න තරම් කාලයක් මට ජීවත් වෙන්න බැරි නිසයි මම ඇඬුවේ " කියලා.බලන්න දෙශප්‍රේමේ නේද?

ඔන්න ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයා .මිනිහාටත් තිබුණේ රට ගැන ප්‍රශ්නයක්.

"දෙවියන්වහන්ස, අපේ රට මේ කරදර වලින් මිදිලා සෞභාග්‍යමත් , සාමකාමි රටක් වෙන්නේ කවදාද" ඇමෙරිකන් මහල්ලා ඇහුවා.

"තව අවුරුදු පනහකින් " දෙවියෝ කිව්වා. මේක ඇහුනාම ඇමෙරිකන් මහල්ලාත් හො‍ටු හූර හූර  අඬන්න ගත්තා. " අනේ ඒ දවස වෙනකම් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ" කිය කියා.

මේ වගේ කතාවල කවදත් සාමාන්‍යයෙන් වෙන විදිහට අන්තිමට චාන්ස් එක ලැබුණේ ලංකාවේ වයසක ලොක්කාට. මිනිහත් නොන්ඩි ඇණ ඇණ දෙවියන්වහන්සේ ලඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්.

" අනේ දෙවියන්වහන්ස, මගේ රට ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ කවදාද?"

මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා. 

ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා

තෙවරප්පෙරුමගේ හා එවැනි වෙනත් අයගේ ක්‍රියා සලකා බලා නැවත ප්‍රචාරය කරන ලදි.

Tuesday, January 20, 2015

තෙවරප්පෙරුම හා අපි



එජනිස ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු කොල කොඩි කැපීයැයි කියමින් ඔහුව මහපාරේ බිම දමාගෙන කලුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුලු පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන  වීඩියෝවක් අන්තර් ජාලයට එක් වී තිබේ. 

පාලිත තෙවරප්පෙරුම වැනි මැර දේශපාලකයෙකුගෙන් යහ පාලනයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහ‍ටු බලාපොරොත්තු වීම හෝ මහින්ද රාජපක්ෂගෙන් යහ පාලනය බලාපොරොත්තු වීම හා සමානය.

ප්‍රශ්නය ඇත්තේ පාලිත තෙවරප්පෙරුම ලඟ නොවේ. ප්‍රශ්නය  ඔහු වැන්නන්ට නාම යෝජනා ලබා දී ඔවුන් තම පක්ෂයේ නියෝජිතයන් වශයෙන් එවන පක්ෂ නායකයින්  හා එවැනි මැරයින් වෙනුවෙන් තම චන්දය භාවිතා කරන චන්ද දායකයින්ය.

 පාලිත තෙවරප්පෙරුම හා සම්බන්ද සිදු වීම ගැන ලංකාදීප වෙබ් අඩවි වාර්තාවට පාඨකයෙක් කොමෙන්‍ටුවක් වශයෙන් ලියා තිබුනේ "ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ එක්ක මේක මොකක්ද ? " යනුවෙනි.

ලංකාවේ චන්දදායකයින් යනු එකම වරද විරුද්ධ පාක්ෂිකයා කරන විට එය මහා වරදක් ලෙස දකින හා එය තමන්ගේ පක්ෂයෙන් කරන විට එහි වරදක් නැතයි කියන ජාතියේ මිනිසුන් හා ගැහැණුන්ය. පාලිත තෙවරප්පෙරුමලාගේ පැවත්ම ඇත්තේ එහිය.

ඡායාරූපය ලංකාදීපයෙන්

Thursday, February 20, 2014

අනේ සොරි මෙයාලා මං දන්නේ නෑ නේ



සොරි සොරි අනේ සොරි සොරිම සොරි
කියමින් වැඳ වැටෙයි ගොම්මන්පිල ගොයියා
රජයේ නිලදරුවන්ට දෙස්පාලනය
තහනම් බව දන්නේ නැතිලු මේ නීතිඥයියා

ඕනැම හරකෙකුට චන්දය ඉල්ලිය හැකිය
ඒ බව ඇත්ත එනමුත් චන්දය දා උදයේ
බූවල්ලක් ‍රැගෙන ගොසින් හත් පාරක් තලනු වටී
මේ වගේ හරකුන්ට චන්දය දෙන  හරකුන්ට
-රංචාගොඩ ළමයා-

Thursday, October 17, 2013

රතුපස්වල අමා වතුර



පිංවතුනි,පහුගිය දවස් වල අප මංමුලා වෙලා හිටියේ පිංවතුනි. රතුපස්වල පැක්ටේරියෙන් වතුරට වස මිශ්‍ර කරනවා කියලා කව්දෝ කියපු බොරුවකට අපි ‍රැවටිලා ,මුලාවෙලා,බොහෝම කලකෝලහාල කලා. නමුත් පිංවතුනි , රතුපස්වල පිංවත් පැක්ටේරියේ අයිතිකාර පිංවත් මහත්තුරු එහෙම පව්කාර වැඩක් කරයිද පිංවත්නි. හිතලා බලන්ට නිකමට.අපි මුලාවෙලා කටයුතු කරලා තියෙන්නේ. එහෙම වෙන්ට හොඳ නෑ. මම නම් මීට පස්සෙ එහෙම වෙන්නේ නෑ. මේ පිංවතුනුත් එහෙම  වෙන්ට එපා.

ඇත්තටම කියනවා නම් මම මේ පැක්ටේරියෙන් එන වතුර වස විස නෙවේ. ඒවා හත් සැරයක් පෙරලා විසබීජ නැති කරලා එන අමා වතුර වගේ . හරිම ප්‍රනීතයි. බිව්වම හරිම සුවයක් දැනෙනවා.  මම පහුගිය දවසක මූත්‍රා කොරන්ට කියලා ටාජ් හෝටලේට ගියවෙලාවක එතෙන්ට   ඇවිත් උන්නු පැක්ටේරියේ ලොකු මහත්තයා මට ඒ අමා පැනින් සුවල්පයක් දුන්නා. අම්මපා පුදුම රසක් නොව තියෙන්නේ . බමරා වගේ තමා බිව්වම දැනෙන්නේ.
 ඒ වගේ අමා පානයක් අපේ ප්‍රදේසේ වතුරට එක් කිරීම ගැන පැක්ටේරියේ මත්තුරුන්ට අපි ඉස්තුති කොරන්ට ඕනෑ වෙලාවක අපි මොන තරම් නරක වැඩක් ද කලේ.

මම මේ දැනුත් ඒ අමා පානයෙන් සුවල්පයක් අරගෙන ඉන්නේ.

මේ පිංවතුනුත් මීට පස්සෙ ඔය උද්ගෝසන නවත්තලා  හවසට අමා පැන් ටිකක් අරගෙන සාම කාමිව ඉන්ට වග බලාගන්ට  ඕනෑ.


Wednesday, March 6, 2013

නීතිය හා අධිකරණය



(ඉස්සුවේ බූන්දියෙන්-http://boondionline.blogspot.com/2013/03/blog-post.html )