Tuesday, October 28, 2014

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් හෙවීම


විධායක ජනාධිපති කම අත හැරීමට නම් දෙමළ ජාතික සංධානය හා ඩයස්පෝරාව ඊලම් ඉල්ලීම අත හැරිය යුතුය යැයි ජනාධිපතිවරයා මේ දිනවල කියන්නට පටන් ගෙන තිබේ.විධායක ජනාධිපති කමෙත් ඊලමෙත් ඇති සම්බන්ධය කුමක්දැයි අපට නොතේරේ.  තිබුණත් එය ඇඹුල් කෙසෙල් ගෙඩි හා ඔම්ලට් අතර ඇති සම්බන්ධය වැනි එකක් මිස ඊට වඩා කිට්‍ටු එකක් නම් නොවේ.

අනිත් අතට ඔහු මේ කියන්නේ ඊලම සැබැවින්ම අත හැරීම ගැනද නැතිනම් අත හැරිය  බවට  ප්‍රසිද්ධියේ පැවසීමක් ගැනද? යමෙක්  ඊලම අත හැරියා යයි පැවසුවද ඔහු එසේ පැවසුයේ ඇත්තටම දැයි දැන ගන්නේ කෙසේද?

කෙසේ වෙතත් දැන් අතිගරු උතුමාණෝ  මෙසේ කියනා නිසා ඒ ගැන මදක් හොයා බැලූ විට අපිට පෙනෙන්නේ  දෙමල ජාතික සංවිධානය දැනටමත් ප්‍රසිද්ධියේ ඊලම අත හැර ඇති බවයි. නො එසේනම් ඔවුන් කිසිම දිනෙක ඊලමක් නොපැතූ බවයි. ( මෙහිදී ඇතමුන් ස්වයං පාලනය හා ඊලම පටලවා ගැනීමට ඉඩ තිබේ.) ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වශයෙන් දිවුරුම් දෙන විටම ඒකීය රාජ්‍යයක පැවත්ම ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත. 

එසේ නම් දැන් ඉතුරුවන්නේ ඩයස්පෝරාව පමණි. මේ ඩයස්පෝරාව යනු නිශ්චිත කාණ්ඩයක් නොවේ. ඕනෑ අතකට අර්ථ දැක්විය හැකි කුලකයකි. එහි අනිත් සියලුම දෙනා ඊලම අත හැරි බව ප්‍රසිද්ධියේ කිව්වත් , නොකියූ එකම එක පුද්ගලයෙකුට ඇඟිල්ල දිගු කර අන්න අරූ කිව්වේ නෑ. ඒ නිසා ඩයස්පෝරාව ඊලම අත හැර නෑ. ඒ නිසා මම විධායක ජනාධිපතිකම අත හරින්නේත් නැහැ යැයි කිව හැක.

ඒ නිසා  ජනාධිපතිවරයාගේ මේ කියමන නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් හෙවීම  වැනි දෙයක් මිස අන් යමක් නොවේ. ඔහු විධායක ජනාධිපතිකම අත හරින්නේ නැත.ඔහු නොකියා කියන්නේ එයයි. 

Saturday, October 25, 2014

රතන සාදු කීවේ කුමක්ද?


සුගිය දිනක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට අරලිය ගහ මන්දිරයට ගිය රතන සාධු මන්ත්‍රී තුමා හා චම්පික රණවක හිටපු විදුලි බල ඇමතිතුමා සාකච්ඡාව අතර මැදදී ජනාධිපතිවරයා නැගිට ගිය පසු ඔල්මොරොන්දන් වී එලියට පැමිණෙන අතර රතන සාදු චම්පික ඇමතිවරයාට කීවේ කුමක්ද?
(නිවැරදි පිළිතුර දෙන කෙනෙකුට හක් ගෙඩියක් පුරවා දෙනු ලැබේ)

1. වවුලාගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්ට වෙනවා බං

2. ඌරාගේ මාලු ඌරාගේ පිටේම තියලා කැපුවනේ

3. මොකෝ බං ගලක් උඩ රීපු බළලෙක් වගේ ඉන්නේ

4. කුම්බලා මාලු කෑවනම් දුක විඳපන් බළලෝ

5. මේවාට තමා කියන්නේ අපි හදපු නරි අපිටම හූ කියනවා කියලා