Tuesday, April 30, 2013

කරන්ට, කරන්ට ,අනේ කරන්ට


"ජනාධිපතිවරයා එසේ දේශපාලන පාඩමක්‌ කියා දුන් පසුව ජනක ඇමැතිවරයා ප්‍රදේශයේ පැරැණි ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරයකු ගැන එක්‌තරා ආරංචියක්‌ ජනාධිපතිවරයාට කීවේය. 
සර්... පළාත් සභාවේ හිටපු අපේ පැරැණිම සාමාජිකයෙක්‌ වන අංගම්මන මන්ත්‍රීතුමා පහුගිය කාලේ නැති වුණා. එතුමගෙ පවුලේ අය අද බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ. එතුමාගේ හොස්‌පිට්‌ල් බිලම ලක්‍ෂ 80 ක්‌ විතර වෙනවලු. එයා මියගියාට දවස්‌ ගාණකට පස්‌සෙ තමයි පළාත් සභා මන්ත්‍රීවරුන්ට වෙහිකල් පර්මිට්‌ එක දුන්නෙ. බැරිද සර් අපිට එයාට උදව්වක්‌ කරන්න. පවුලේ අයට...

ඔව්... අපි ඒක කරමු... ජනාධිපතිවරයා කීවේය. "



(උපුටා ගැනීම දිවයින ලැප්ටොප් සංග්‍රහය)

සටහන- ඔව්, ඔව් , කරන්ට , කරන්ට ,එයාට කරන්ට.ඔයාලටත් කර ගන්ට.  ඔයාලටම කර ගන්ට. එදාවේල කන්ට නැති දුප්පතාගේ ලයිට්  බිල වැඩි කරලා ඒ ගන්න සල්ලි වලින්  කරන්ට. සීනි ටිකට, පරිප්පු සීයට, මිරිස් තුනපහ ටිකට, අල ගෙඩියට විතරක් නෙවේ මන්දපෝෂණෙන් පෙලෙන පොඩි එකා ගේ කිරි පිටි පැකට් එකටත් බදු ගහලා ඒ සල්ලිත් අරගෙන කරන්ට. අපි ඒ අතරේ  බනිසක් කාලා කිරි පැකට් එකක් බීලා  දුමින්ද සිල්වා වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කරන්නම්.

Monday, April 29, 2013

ගෝරි මතක නෑ පොලිටික්ස් මතකයි



ගෝරි  මතක නෑ පොලිටික්ස්  මතකයි 

පසුගිය ඉලැක්ෂන් කාලේ

මා  හිස මුදුනේ නැහැනේ බුලට් වැදුනේ..
 (සොරි !සොරි! පද වරදිනවා හේමන්ත ලොක්කා)

මා හිස මුදුනේ එකයි බුලට් වැදුනේ

ඒ හිස  ඔබ දෙස බලා සිටිත්දී

කෑලි කරන  ආශාවෙන්…

නොසිතූ ලෙසින් මා  ආපසු  ආවේ  

ලයිට් බිලට තග්ස්  ඕනෑ කාලේ 

ගෝරි  මතක නෑ පොලිටික්ස්  මතකයි .......

Saturday, April 27, 2013

දුමින්දට සුවය දුන් හාස්කම මෙන්න





හාස්කමකින් සුවය ලැබූදුමින්ද සිල්වා අද රෝහලින් පිට වී ගෙදර යන බව ඔහුගේ අයියා ලෝකයට දැනුම් දී තිබේ.‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘

මෙතුවක් දවසක් උසාවියටවත් ඒමට නොහැකි පරිදි මාරාන්තික තුවාල ලබා රෝහල් ගතව සිටි   එතුමාට ඇප ලබා දුන්  විගස සුවය දුන් හාස්කම කුමක්ද?

එසේ සුවය ලබා දුන් හාස්කම් කාරයා   කවුද?

මෙය මොලය හරවන ප්‍රශ්නයක් නොවේ. උත්තරය හරිම සිම්පල්ය.

වැඩි වූ විදුලි බිලෙන් ජනතාවට වඩා කරන්ට් වැදී දඟලන්නේ ආණ්ඩුවය. ජනතාවගේ දැඩි විරෝධය වැඩි වූ විදුලි බිලට එල්ල වෙද්දි ආණ්ඩුවේ  ඇමතිවරු ඒ ගැන වාද කරමින්  එකිනෙකාගේ බෙලි මිරිකාගනිමින් සිටිති.

මේ අසීරු වෙලාවේ ආණ්ඩුව බේරාගන්නට කුමක් කළ යුතුදැයි සිතූ එතුමානෝ වීරවංශ කැඳවා උතුරේ මැතිවරණයට විරුද්ධව තුන්වැනි ලෝක යුද්ධය පටන් ගන්නට යැයි කීවේය. වීරවංශයා ද තමන්ට ලැබුනු උපදෙස් පරිදි උතුරේ පවත්වනවා යැයි කියන මැතිවරණයට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කලත් විදුලි බිලෙන් කරන්ට් වැදී සිටී ජනතාව එය වීරවංශට ගිය දේශප්‍රේමි පඩයක් තරම්වත් ගණන් ගත්තේ නැත.

විදුලි බිලෙන් ජනයා අහකට ගැනීමට නම් මීට වඩා ආතල් හා කලම්බන නිව්ස් අවශ්‍යය.

උසාවි ඒමටවත් රෝහල් ඇ‍ඳෙන් නැගිට ගැනීමට බැරිව සිටි දුමින්ද සිල්වා ඇප ලබනවා මදිවාට හාස්කමකින් සුවය ලබා රෝහලෙනුත් පිට වී යන්නේ ඒ නිසාය.

දැන් විදුලි බිල ප්‍රශ්නයෙන්  ආණ්ඩුව බේරාගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ හිරුණිකා අතය.

Thursday, April 25, 2013

රට ඉවරයි හත්තිලව්වේ



විදුලි බිල රටේ සමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි ගානට වැඩි කරමින් ආණ්ඩුව හිතුවේ තම දේශප්‍රේමි අමුඩයෙන් එයද වසා දැමීමට හැකි වනු ඇති බවයි.

එහෙත් තම ගණන් බැලීම වැරදි බවත් වැඩි කල විදුලි බිල සමග අනපේක්ෂිත විරෝධතා ‍රැල්ලක් මතු විය හැකි බවත් ඔවුන්ට  පෙනී ගොස් තිබේ.විපක්ෂයේ දුර්වලතා නිසා විරෝධතා වල තත්වය කෙසේ වුවත් විදුලි බිලේ වැඩි වීම නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය නම් එල්ල වෙමින් තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ  ආණ්ඩුව  මතු විය හැකි විරෝධය හා අප්‍රසාදය වෙන අතක හරවනු වස් කුමක් කළ හැකිදැයි සොයන්නට විය. බොදු බල සේනා හරහා ඉස්මතු කිරීමට උත්සාහ කළ මුස්ලිම් විරෝධය තමන්ට පාලනය කල නොහැකි හේතු නිසා හා බො.බ.සේ කාරයින්ගේ නෝර්වේ සබඳතා හෙලි වීම නිසා අලුත් වැඩ සටහනක වහාම නිෂ්පාදනය කර ගත යුතුව තිබිණි.කොන්ත්‍රාත්තුව ලැබුනේ වීරවංශට හා කැපී සිටින චම්පිකටය.

විමල් වීරවංශ, හෙල උරුමය පමණක් නොව සිරස රූපවාහිනිය පමණක් දන්නා ජනසෙත පෙරමුණේ සීලරතන නම් වූ උන්නාන්සේද ඉදිරියට පැමිණ උතුරේ චන්දය නොපැවත්විය යුතු යැයි මේ දිනවල හඬ නගන්නේ ඒ අරමුණ වෙනුවෙනි.  විදුලි බිලෙන් ජනතාව ඉවත් කර තැබීමටය.13 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කළ යුතු යැයි මර හඬ දෙන්නේ විදුලි බිලට එරෙහිව නැග එන විරෝධය දියාරු කරනු පිණිසය.

" මේ මල හත්තිලව්වේ විපක්ෂයේ ඉන්න උන්නැහෙලා විදුලි බිල වැඩියි කියලා කියනවා . අපි මේ හත්තිලව්වේ තේරුම් ගන්න ඕනෑ මේ වෙලාවේ විදුලි බිලද උතුරේ චන්දයද කියලා. උතුරේ චන්දේ තිබ්බොත් රට ඉවරයි හත්තිලව්වේ." ආදි වශයෙන් කියමින්  වීරවංශ සහ සමාගම ලඟදීම වේදිකා දෙවනත් කරනු ඇත.

එපමණක් නොව ඔහුගේ ගේ පක්ෂය වෙනම මැයි දිනයක් පැවත්වීමට පවා උත්සාහ කරමින් සිටින්නේ " යකෝ ඔය විදුලි බිල මොන කජ්ජක්ද. මේ උතුරේ චන්දේ තමා කජ්ජ" යනුවෙන් කීමටය.

වීරවංශලා මෙලෙස මෙහෙයවීම තුල රාජපක්ෂලා වාසි දෙකක්ම අපේක්ෂා කරයි. එනම් විදුලි බිල ජනයාට අමතක කරවීමට අමතරව, තමන්ට නියත පරාජයක් හිමි උතුරේ චන්දය රටේ ජනතාව විරුද්ධ යැයි කියමින් නොපවත්වා සිටීමය.

එහෙත් තමන් ගෙදර හාම්පුතාගේ ලොකු පුතා ලෙස පෙනී සිටීමට උත්සාහ කලත් වීරවංශ යනු හාම්පුතාට රෙදි නැතිව කඩේ යන හා ඉතිරි සල්ලි මාටියා ගහන කුඩා  මෙහෙකාර කොලුවෙක් පමණක් බව රටේ ජනතාව අවබෝධ කරගනිමින් සිටී. එම නිසා වීරවංශ මහත්තයෝ ඔයාගේ වැඩේ ඉස්සරහට අමාරු වෙයි.








Tuesday, April 23, 2013

විදුලි බිල සහ ජිනීවා උගුල නොහොත් දේශපෙරේමියෙකුගේ විලාපය




විදුලි බිල වැඩි කලැයි ආන්ඩු විරෝධීන් ආණ්ඩුවට පස් පංගුවේ බනිමින් සිටී. කරුණු කාරණා  නොසොයා එහෙම බැනීම වැරදිය.ඇත්තටම කිව්වොත් අපි, ඒ කියන්නේ මේ කනාමැදිරියා පවා විදුලි බිල වැඩි කිරීම ගැන ආණ්ඩුවට බැන්නෝය.  ඒක වැරදිය. සහමුලින්ම වැරදිය.

විදුලි බිල වැඩි කලේ ආණ්ඩුව නොවේය.වෙන කට්ටියක්ය.  ඒ බව හොයා ගත්තේ ලංකාවේ සිටින අංක එකේ දේශප්‍රේමියෙක්, දේශහිතේෂීයෙක්, දේශමාමකයෙක්, දේශපාලුවෙක් වෙන දත්දොස්තර දේශහිතේෂී මහලේකම්  වසන්ත බංඩාර මහතාය. ඒ මහතාගේ නිල කාර්ය ඊටත් වඩා දේශප්‍රේමියෙක් වෙන ඇමති වීරවංස තුමාගේ උපදේශක කමයි.

එහෙව් වසන්ත බංඩාර මහත්තයා කියන්නේ මෙහෙව් කතාවකි. මේ කතාව එතුමා කියලා තිබුනේ වීරවංශ චී නිව්ස්   සී නිව්ස් එකේය. ( ලින්ක් දාන්නේ නැති බව කරු. සලකන්න)

ලංකාවේ තියෙන දේශප්‍රේමි බටහිර බලවේග, අධිරාජ්‍යවාදින්, බහුජාතික සමාගම්, දෙමල ඩයස්පෝරාව, එන්ජීඕ කුලී සේනාංක, ආර්ථික ඝාතකයන් ඇතුලු එකී, මෙකී නොකී බොහෝ දෙනාගේ එකම වැඩේ ලංකාවේ දේශප්‍රේමි ආණ්ඩුවට විරුද්දව,ආණ්ඩුව වැට්ටවීමට  කුමන්ත්‍රණ කිරීමය.

මේ කුමන්ත්‍රණ නඩය නොයෙක්  ජාතියේ කුමන්ත්‍රණ කලත් හරි ගියේ නැති  තැන අන්තිමට විදුලි බිල වැඩි කලේය. මේක ජීනිවා උගුලක්ය. ආන්ඩුව ජනතාව අතර අපකීර්තියට පත් කරන්ට බටහිර ඒජන්තයින් කරපු වැඩක්ය.මොලේ තියෙන ආන්ඩුවේ හැම දේශපාලකයෙක්ම මේකට විරුද්දය.

කොටින්ම කිව්වොත් එතුමා අපිට නොකියා කියන්නේ  එම නිසා අපි මේ ආන්ඩුව ‍රැක ගත යුතු බවය.

අහිංසක ආණ්ඩුව! පව්! ඔයාලත් විදුලි බිල ගැන ආන්ඩුවට බයින්න එපා හොඳේ.

සටහන- මේ පහතින් තියෙන්නේ එම වසන්ත බංඩාර මහත්තයාගේ ලිපියට එන්ජීඕ කාරයෙක් දාපු කොමෙන්‍ටුවක්ය. ඒක දැම්මේ අපි නොවේය.ඒ නිසා එහි ඇති දේවල් ගැන අපේ වගකීමක් නැත.


මුන්ට හැම රෙද්දටම ජාතියන්තර උගුල්. මුන් හිතන් ඉන්නේ අපි මීහරක් කියලද? එතකොට කාර් රේස් තියල විදුලිය මුදල් නස්තිකරන්නේ ජාත්‍යන්තරයද? චන්ද්‍රිකාවක් යවල මෙලොරහක් නැතුව කෝටි ගානක් විනාස කලේ ජාතියන්තරයද? 1000 CC වෙනකන් බයික් ගෙන්නන්න ලම්බෝගිනි ගෙන්න බදු අඩු කරන්නේ ජාතියන්තරයද? කට කදෙනකන් කිඋවත් වැඩක් නෑ. මහින්ද රාජපක්ෂ මහා රජතුමා මේ ක්‍රියාකරන්නේ ඇමරිකන් නියාය පත්‍රය කියල කාටවත් තම තේරෙන් නෑ. විපක්ෂේ උන් බලන් ඉන්නවා ජිනීවා වලින් සම්බාදක දානකන්. බලන් හිටපියවූ කට ඇරගෙන . උන් කවදාවත් අපිට සම්බාදක දැන් නෑ. උන් ඔය කරන ටික කරන්නෙත් ඉන්දියාව ටිකක් අන්දලා තියාගන්න. මෙහෙ රාජපක්ෂ සමගම යනු ඇමරිකාවේ බළල් අත් පමණයි. උතුරු ප්‍රදේශ ඉන්දියාව සතු කරගන්න LTTE එක හරහා යොදපු උපක්‍රම වලින් ඉන්දියාව පරාජය කරන්න චීනය ඇතුළු මුළු යුරෝපයටම ඕන වුන. රාජපක්ෂ සංගමය හරහා ඔවුන් එක කල. දැන් ත්‍රිකුණා මලය ඇතුළු උතුරේ දකුණේ වටින් ස්ථාන ටික චීනය ඇතුළු යුරෝපා රටවලට විකුනනවා. ඉතින් මොකටද උන් අපිඅට සම්බාදක දන්නේ. සම්බාදක දන්නා කලින් ඔය ග්‍රීන් කඩ තියෙන උන් දෙන්නගේ පුරවැසිබාවය තහනම් කරන්න තිබ්බනේ ඇමරිකාවට. මුන් අපිව අන්දනවා අපේ සිංහල ගොන්නු ටික අන්දෙනවා


Sunday, April 21, 2013

ඔබ මා සමග අතිනත ගන්නා දවස- Obama samaga athinatha ganna dawasa



අපේ පාආන්ඩුව පුදුමාකාර විදියට අදිරාජ්‍ය විරෝදිය. ඇමෙරිකන් විරෝදීය.ඇමෙරිකන් කාරයෝ පෙන්නන්ට බැරිය. පහුගිය ජිනිවා සමුලුව කාලයේ ආන්ඩුවේ ලොක්කන් බක්කන් ඔක්කොම වේදිකා උඩට නැග ඇමෙරිකාව පතුරු ගැහුවෝය. හම ගැහුවෝය.පට්ට ගැහුවෝය.

තව සමහරු , විමල් වීරවංශලා ,ගුනදාස අමරසේකරලා වගේ අය ඔය එක එක යෝජනා ගේන්නේ නැතිව  ෆේස් ‍ටු ෆේස් වරෙව් කියා රූපවාහිනි නාලිකාවලට ගොහින් ඇමෙරිකාවට  කෑගැහුවෝය.හොඳ වෙලාවට ඇමෙරිකාව තිබුනේ ලංකාවට සෑහෙන්න දුරින්ය. නැත්නම් එහෙම මේ කට්ටිය ඇමෙරිකාව හක්කේ තියා සෙම අරිනවාය.

මේකටම සෙට් වෙච්චි දිවයින ,දිනමින වගේ කඩමාලුවල හා , නයිටීඇන්,විරූපවාහිනි ,සුවර්නවාහිනි වල වැඩ කරන  බෝතල් පත්තර  කාරයිනුත් ඇමෙරිකාවට විරුද්දව කොච්චර ඇඹරිල්ලක් ඇඹරුවද කීවොත් දිනමින හා නයිටීඇන් විතරක් බලන සමහරුන්ට ඇමෙරිකාව තියා ඇයන්නක් ඇහුනත් සලිත වෙන ගානට ඇමෙරිකන් විරෝදීන් වුනාය.

රටේ එහෙව් ඇමෙරිකන් විරෝදයක් පතුරන් හිටි ආන්ඩුවේ ලොකු තැන  මෙන්න බොලේ ඇමෙරිකාවේ බෝම්බයක් පුපුරලා තුන්දෙනෙක් මලා විතරයි ඇමෙරිකාවේ  ජනාදිපතිට ශෝක පනිවිඩයක් යවනවා.මාර ශෝකයක් .

කවුරු මැරුනත් ඒ ගැන කනගා‍ටුව පල කරන එක හොඳ වැඩක්. ඇමෙරිකාවට බැන බැන හිටියත් එයාලා කරදරේක වැ‍ටුනාම ශෝක පනිවිඩයක් යවපු එක උතුම් වැඩක්ය, ඒක තමා අපේ සිංහල බෞද්ධ  හැදියාව  කියලා කියන්ට ඕනෑ තරම් කට්ටිය  ඉඳියි.

ඒ වුනාට මට තියෙන ප්‍රශ්නේ තමා හතුරු ඇමෙරිකාවට එහෙම ශෝක පනිවිඩ යැව්වට අපේ රටේ අතිජාත මිත්‍රයෝ වෙන ඉරානේ බෝම්බ පුපුරලා හතලිහක් විතර මැරුනාම මොකද ශෝක නැත්තේ කියලා. සිරියාවේ, ඇෆ්ගනිස්තානේ හැමදාම බෝම්බ පුපුරද්දි එක ශෝක පනිවිඩයක්වත් යවන්න අමතක වුනේ මොකද කියලා. ඊශ්‍රායෙල් කාරයන්ගේ මිසයිල් ප්‍රහාරවලින් පලස්තීන දරුවෝ මැරෙද්දි පලස්තීන මිත්‍ර සංගමේ මුක පූට්‍ටු මොකද කියලා.

ඔය ඔක්කෝටම වඩා බරපතල් ප්‍රශ්නේ තමා තමන්ගේ ගෝල බාලයෝ දාලා හතර අතේ ඇමෙරිකාව පතුරු ගහන ගමන් ඇමෙරිකන් කාරයෝ යාලු කරලා දෙන්න කියලා ඇමෙරිකන් කාරයෙකුටයි, මිනිහාගේ ඩ්‍රයිවර්ටයි කෝටි ගනන් ගෙවන්නේ මොකද කියලා.

දන්න කවුරුත් එහෙම ඉන්නවද?



Friday, April 19, 2013

නොමිලේ කොන්ඩම් ලබා දියව්



විදුලි බිලට කෙලවා තිබේ. පොඩි මිනිහා නැත්තට නැති වෙන්නටම කෙලවා තිබේ. වැඩි කරන්නේ 60%  කිව්වත් ඒකක 90 ට වැඩියෙන් එක ඒකකයක්වත් ගියොත් වැඩිවීම 100% විතරය.පොඩි එකාට එහෙම කෙලිද්දි ඒකක 900 පාවිච්චි කරන සල්ලි කාරයාගේ වැඩි වීම 3% විතර සොච්චමකි. ඉස්සර හිටි සරදියෙල්ලා රොබින් හුඩ්ලා පොහොසතාගෙන අරගෙන දුප්පතාට බෙදුවත් දැන් ඉන්න සොරදියෙල්ලා දුප්පතාගෙන් අරගෙන පෝසතාට බෙදයි.

ඒකක 90 ට රේට් එක රු. 8.50 ය.ඒකක 91 ට රේට් එක රු.15ක්ය. ඉස්සර නම් තිබුනේ  ඒකක 90 ට යනකම් 8.50 අරගෙන වැඩි වන එකට විතරක් 15 ගානේ ගන්න ක්‍රමයක්ය.අලුත් සොරදියෙල් ක්‍රමය අනුව මුලු ඒකක 91 ටම ගාස්තුව රු. 15 ගානෙය. ඒ සමීකරණයට කියන්නේ කොස්තා -රාජපක්ෂ ප්‍රමේය කියලාය.

කොස්තා කලින්  කිව්වේ බිල වැඩි කිරීමට කලින් මහජන අදහස් අහලා ඒ අනුව කටයුතු කරනවා කියලාය. දැන් ඔය කරලා තියෙන්නේ මහජන අදහස් අනුව වෙන්නට ඕනෑය.

නැව් නො එන වරායවල් හදන්ට, ගුවන් යාන නො එන ගුවන් තොට හදන්ට, නෙලුම් පොකුනු, නෙලුම් කුලුනු, හදන්ට, හැමදාම කැඩෙන බලාගාර හදන්ට, කුනු තෙල් ගේන්ට, ප්ලේන් පිටින් ගෝලබාලයෝ පුරවගෙන රට සවාරි යන්ට, පාරවල් වහලා කාර් රේස් තියන්ට, අල්ලපු ගෙදරට යන්ටත් හෙලිකොප්ටර් පාවිච්චි කරන්ට , ඕනෑ කරන  රුපියල් කෝටි දහස් ගනන් වියදම් පියවන්ට අය කරන්නේ එදා වේල පිරිමහන වැලේ වැල් නැති දුප්පතුන්ගේ තුට්‍ටු දෙකට කෙලලාය.

තමන්ගේ බොක්කේ පතුලටම කෙලපු මේ වගේ වෙලාවකවත් ජනතාව පාරට බහින්නේ නැතිනම්, විරෝධය දක්වන්නේ නැත්නම් ඒ ජනතාවට මක බෑ වෙලා ගියාට කමක් නැත.

ඒවගෙම මේ වගේ වෙලාවකවත් ඇඟට දැනෙන උද්ඝෝෂණයක් කරගන්ට බැරි විපක්ෂයට කියන්ට තියෙන්නේ අඩු ගානේ එක ගෙදරකට කොන්ඩම් පැකට් එක ගානෙවත් නොමිලේ අරං දෙන්ට සටන් කරන්ට කියලාය. නැත්නම් කරුවලේ ජරමරේ වී ජනගහණය වැඩිවෙන්ට පුලුවන.අනික විදුලි බිල වැඩි වී තිබෙන විදියට කොන්ඩම් මිලත් සෑහෙන්ට ගනන් යන්ට ඉඩ තිබේ.

සටහන- එහෙම කිව්වාට මේ අහිංසක මෝඩ ජනතාව ගැන මගේ හිතේ අනුකම්පාව පිරිලාය. ඒක නිසා ජනතාවට පුංචි උපදේශයක් විදියට කියන්ට තියෙන්නේ ලයිට් නැතිව අඳුරේ ඉන්න වෙලාවට කනා මැදිරි එලියක්වත් හොයා ගන්ට කියලාය.



Thursday, April 18, 2013

කප්පාදුව හෙලා දකිමු!- Condom the Kappadu



ඇමෙරිකාව ලංකාවට දෙන ආධාර වලින් සියයට විස්සක ප්‍රමාණයක් කපා දැමීමට තීරණය කර ඇතැයි අසා අප මහත් කෝපයටත් විමතියටත් පත් වීමු. මෙය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව , අධිරාජ්‍යවාදින් ගෙන යනු ලබන කුමන්ත්‍රණකාරි වැඩ පිලිවෙලේම තවත් එක් කොටසකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කර පරාධීන ජාතියක් බවට පත් කිරීම සඳහා අපට හතුරු බලවේග නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සිටී.අපේ දේශප්‍රේමි ආණ්ඩුවට එරෙහිව මෙම සතුරු බලවේග අත් වැල් බැඳ ගෙන පහර දෙති. ඔවුන් කියන්නේ සියයට විස්ස ලබා දීමට නම් අප රටේ මානව හිමිකම් තිබිය යුතු බවයි. මානව හිමිකම් බඳු අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ මෙරට තුලට ගෙන ඒමට ඉඩ දිය යුතු නැත.

ඔවුන් උදේ නැගිට්ට මොහොතේ සිට රෑ නින්දට යන මොහොත දක්වාම ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනුවෙනි.අප ආදරණීය මව්බිම ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනීම සඳහාය. සියයට විස්සේ කප්පාදුව තුලින්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ එයයි.

එම නිසා අප මෙම කප්පාදුවට එරෙහිව මුලු වැර යොදා සටන් කළ යුතුය.මෙම කප්පාදුව පරාජය කළයුතුය.ඒ වෙනුවන් උද්ඝෝෂණය කළ යුතුය.අරගල කළ යුතුය.ආර්ථික ඝාතකයන්ගෙන් අප මව්බිම බේරා ගැනීම සඳහා සියලු දේශප්‍රේමින් එක් විය යුතුය.පෙරමුණ ගත යුතුය.අප මව්බිමේ ශුද්ධ අයිතියක් වන විදේශ ආධාර වලින් මෙලෙස සියයට විස්සක් කපා දැමීමට ඇමෙරිකන් අධිරාජ්‍යවාදින්ට අපි කිසි සේත් ඉඩ නොදිය යුතුය.

සියයට විස්සේ කප්පාදුව පරදවමු.මව්බිම දිනවමු.

කේ ඇම්. කසන්න බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතක  ව්‍යාපාරය


සියලු දේශප්‍රේමින්ගෙන් කරනු ලබන විශේෂ ඉල්ලීම

- සියයට විස්සේ කප්පාදුවට එරෙහිව ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපස මහා උද්ඝෝෂණයට ඔබත් එක්වන්න.

- අපේ වීර නායක වීරවංශතුමා කප්පාදුවට එරෙහිව කරන මහා උපවාසයට ඔබත් සහය දෙන්න.

-කප්පාදුව හෙලා දකිමු! හා Condom the kappadu!  යනුවෙන් ලියු බැනර් හා ලෙමන් පෆ් විස්කොතු පෙට්ටි සූදානම් කර තබා ගන්න.


Tuesday, April 16, 2013

බුරු පිටි හා කැසිනෝ


පහතින් උපුටා දක්වන්නේ  එක ලඟ දින දෙකකදී ශ්‍රී ලංකාවේ පුවත් පත් දෙකක පලවූ ප්‍රවෘත්ති දෙකකි.

තාත්තලා පුතාලා බුරු පිටියෙන් පොලිසියට




අලුත් අවුරුදු සමයේ වලල්ලාවිට හා අවට  ප්‍රදේශවල   මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කණ්ඩායම් තුනක් අත්අඩංගුවට ගත් බව මිගහතැන්න පොලිසිය කියයි
ලබන මස 24 වැනිදා අධිකරණයට  ඉදිරිපත්වන ලෙස දන්වමින්  පොලිසිය විසින්ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.
තාත්තලා පුතාලා ද මේ පිරිස අතර වෙති
(ලංකාදීප 2013.04.15)


කොළඹට තට්‌ටු 36ක කැසිනෝ මාළිගයක්‌

උදේශ සංජීව ගමගේ




පසුගියදා මෙරටට පැමිණි ඔස්‌ටේ්‍රලියාවේ කැසිනෝ රජු ලෙස ප්‍රකට ඡේම්ස්‌ පැකර් කොළඹ ඩී. ආර්. විඡේවර්ධන මාවතේ මහල් 36 කින් යුත් කැසිනෝ මාළිගයක්‌ ක්‍රවුන් කලම්බෝ  නමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

ඩොලර් මිලියන 350 ක ආයෝජනයකින් ඉදි කෙරෙන මේ කැසිනෝ මාලිගය 2016 වර්ෂයේ දී ඉදිකිරීම් නිමවා විවෘත කිරීමට නියමිතය. 

2010 වර්ෂයේ දී කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ (මේ පනත මුලදී හැඳින්වූයේ සූදු විධිවිධාන පනත යනුවෙනි. විරෝධතා හේතුවෙන් එය කැසිනෝ නියාමන පනත ලෙස වෙනස්‌ කෙරිණි.) සූදු හෝ කැසිනෝ ව්‍යාපාර සඳහා ප්‍රදේශ නම් කිරීමේ හැකියාව ඇත්තේ එකී විෂයය භාර අමාත්‍යවරයාටය.

(දිවයින 2013.04.14)\


සටහන1- ආණ්ඩුවට බදු ගෙවන්නේ නම් කුලියට මිනී මැරීම වුවද නීත්‍යානුකූලය.

සටහන 2-පාන් ගෙඩි සොරකම් කරන ජනවර්ජනලා දැන ගත යුත්තේ තවම රජ කරන්නේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියූ මාරි ඇන්ටොනයිට් ලා හා ලුවී ලා බවය.

සටහන 3- ගෙදර කට්ටිය සමග එක් වී ඕමී අතක් 304 අතක් බැලීමටත් ලඟදීම ලයිසන් ගන්න සිදු වෙනු නො අනුමානය.




Sunday, April 14, 2013

නැකතට ලිප මෙලවීම




මේ අවුරුදු කාලෙත් 
ගිනි තියපන් රාලේ
උගන්ඩාවේ ඉඩි අමින්ගේ 
ලොකු අය්යා වාගේ

පුවතක්- උදයන් පුවත්පත් මුද්‍රණාලයට අප්‍රේල් 13 දා  ගිනි තබයි

Saturday, April 13, 2013

ප්‍රභාගේ අලුත් බංකරේ



එන්න සුදා  එන්න සුදා  නැගිටලා
මෙන්න සුදා අපේ අලුත් බංකරේ  
විදුලි බිලෙන් කෙලෙව්වාට
බස් ගාස්තු නැග්ගුවාට 
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


හා එන්න සුදෝ මෙන්න අලුත් බංකරේ
බස් අරගෙන ගොහින් බලමු බංකරේ
මාතලේ වල වහල දාන්ට 
සපෝර්ට් දීපු බංකරේ
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


Thursday, April 11, 2013

ඔබේ ආර්ථිකයටත් ගැලපෙන පරිදි අපූරු කෑමක් හදා ගන්නා අයුරු


පහු ගිය දවස් වල බ්ලොග්  කාරයෝ කීප දෙනෙක්ම අපට නොයෙක් ආකාරයේ කෑම ජාති හදන හැටි කියලා දුන්නා.

කතන්දර  පොල් රොටී හදන හැටිත්, මාරයා අල රොටී ,වඩේ පමණක් නොව පීසා හදන හැටිත්  කියත්දී මඩිස්සලේ නිසාන් පපඩම් බදින හැටි කිව්වා. . මේවා දැක්ක කලාමැදිරියාටත් හිතුනා අපේ පාඨක බ්ලොග් රීඩර් ජනතාවට අපූරු කෑමක් හදන හැටි කියලා දෙන්ට.මෙයාලා එකදිගටම පරිප්පු කන හැටි දැක්කම දුකත් හිතෙනවානේ. වෙනසක් වෙන්ටත් එපැයි.

අපි මේ හදන්ට යන කෑම ප්‍රොටීන් බහුල , ඉතාමත් රසවත් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය-

1. බිත්තර එකක්- මෙම ප්‍රමාණය ඔබේ පවුලේ සාමාජිකයන් ගණන අනුව පහත පරිදි වෙනස් කර ගත හැක.



සාමාජිකයන් ගණන 1 නම් බිත්තර 1
සාමාජිකයන් 2 නම් බිත්තර 1
සාමාජිකයන් 3 නම් බිත්තර 1
සාමාජිකයන් 4 නම් බිත්තර 1
සාමාජිකයන් 5 නම් බිත්තර 1
සාමාජිකයන් 6 නම් බිත්තර 1
සාමාජිකයන් 7 නම් බිත්තර 1

මේ ආකාරයට ඔබට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ‍තෝරාගන්න.

සටහන- ඔබ බොදු බල සේනාවේ , සිංහල රාවයේ , රාවණා යුනිට් එකේ  හෝ හෙලු හෙල උරුමයේ සාමාජිකයෙක් නම් බිත්තරයේ හලාල් සලකුණ තිබේ දැයි බලන්න.( මොලේ සාමාන්‍ය පරිදි වැඩ කරන පොදු ජනයාට එය අදාල නැත.)



2. වතුර හා ලුණු කැට කීපයක්.

සාදා  ගන්නා අන්දම-

වතුර ටික මුට්ටියකට දමා ලුණු කැට හා බිත්තරය එයට දමා හොඳින් තම්බා ගන්න.

තැම්බුනු පසු ලිපෙන් බා පොතු ඇර ගන්න.


ඉන්පසු පවුලේ සාමාජිකයන් ගණන අනුව කෑලි වලට කපා බත් , පාන් ,වැනි ආහාරයක් තිබේ නම් එය සමග අනුභව කරන්න.


ඔබ ගලබොඩ අත්තේ උන්නාන්සේගේ උපදෙස් පරිදි කසාද පහක් කරගන්නේ නම් පහත පරිදි බිත්තරය කැපිය හැක.



සටහන - ගෙදර හරියකවත් බිත්තර කට්ටකවත් නොතිබුනු  නිසා සියලු ඡායාරූප ලබා ගත්තේ අන්තර් ජාලයෙන් බව කරුණාකර සලකන්න.

Tuesday, April 9, 2013

අගමැතිද අකැමතිද?



ජනාධිපති තුමා ගමනක් යනකොට   උද්ඝෝෂණයක් දෑක්කේය. එතුමා වහාම වාහනයෙන් බැස ඒ ගැන විමසුවේය. ඒ එතුමාගේ හැටිය. මෙන්න ඒ ගැන දිවයින වාර්තාව.



හැබැයි එතුමා මෛත්‍රීපාල ඇමතිතුමාගේ කතාව විස්වාස කලේ නැත. ඒ ගැන තවදුරටත් සොයා බැලුවේය. ඊට පස්සේ තීරණයක් ගත්තේය. පහතින් තියෙන්නේ ඒ ගැන දිවයින වාර්තාවයි. මේ වාර්තා දෙකම තිබුනේ එකම ලිපියේය. හැබැයි තැන් දෙකකය.



දැන් මේ වාර්තාව නොහොත් වාර්තා දෙක කියෙව්වාම අපිට පහත සඳහන් නිගමන වලට එලඹෙන්න හැකිය.

1. වැඩේ ඉක්මනින් විසඳනවා යැයි  මෛත්‍රීපාල ඇමතිතුමා කියපු දේවල් ජනාධිපතිතුමා ශත පහකට ගණන් ගෙන නැති අතර ඒ ගැන වැඩි දුර හොයා තිබේ.

2.ඊටපසු ඒ වැඩේ හරියට  කරන්න භාර දුන්නේ මෛත්‍රීපාල ඇමතිතුමාට නොව ශාන් මහ ඇමතිතුමාටය.

3. එහෙම විතරක් නොව ඒ ගැන පබ්ලිසිටි එකක් දෙන්නට වෙල්ගම කට්ටියට  භාර දුන්නේය.

4. වෙල්ගම කට්ටියත් ඒ වැඩේ ලෙසට කරලා තිබේය.

5. මෛත්‍රීපාල ඇමතිතුමා පැන්ෂන් යන කාලේ හරිය.

Sunday, April 7, 2013

කුරුලු ගමේ මහ යුද්දේ




අනේ සුසානෝ මම රට යන්ට
ආවා මත්තලට ලක එකලු කල
ඇසිලා වෙඩි හඬක් නිල් ගුවන සිසාරා 
බිම බඩ ගෑවා වෙඩි සද්දෙයි කියලා


වෙඩි හඬ නෙවේ රතිඤ්ඤා පට පට ගෑවේ
අවුරුදු ඇවිත්වත්දෝ මත්තලට කලින්
වටපිට බැලූ කොට අයියෝ මලකෙලියයි
කුරුල්ලෝ එලවන්ට තුන්වැනි මහ යුද්දේ

-රංචාගොඩ ළමයා-

Saturday, April 6, 2013

2032 ජනාධිපතිවරණ සටනින් ඇසුණු කතා




"ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි අපේ රාජපක්ෂ ජනාධිපති තුමාගෙ පුතා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා. එතුමා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති හොඳ කෙනෙක්. 

නාමල් රාජපක්ෂ හොඳ දර්ශනයක් වැඩපිළිවෙළක් තියෙනවා. නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි වැටහීම් විපක්ෂය අද සමාජගත කරලා තියෙනවා.

දවසක් මගෙන් තරුණයෝ පිරිසක් අහනවා නාමල් මහත්තයා වැඩිපුර බොන්න කැමැති මොනව ද කියලා. මම ඇහුවා ඒ මොනවා ද කියලා. දන්නවා ඇතිනේ නාමල් මහත්තයා බොන්නෙ මොන වර්ගයේ අරක්කු ද කියලා කියනවා. 

මම කිව්වා නාමල් මහත්තයා අරක්කු බොන්නෙ නෑ කියල. ජනාධිපතිතුමාගේ පුතා බොන්නෙ නෑ. පුදුමයෙන් වගේ ආයතේ මගෙන් ඒ අය අහනවා. නාමල් උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්නේ නෑ කියලා මම ඒ තරුණ පිරිසට කිවුවා. 

නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි දේවල් අද සමාජගත කරලා තියෙන්නේ’ යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය."

සටහන1 - අරක්කු නොබොන තුන් ගොල්ලක් සිටී. අරක්කු පහල වැඩි අය , අරක්කු ඉහල වැඩි අය හා මත් පැන් නොබොන අය වශයෙනි. අරක්කු පහල වැඩි අය බොන්නේ විස්කි, බ්‍රැන්ඩි හා ජින් ආදියයි. අරක්කු ඉහල වැඩි අය ගමේ බඩු නොහොත් කසීප්පු බොයි.


සටහන 2- උම්බලකඩ කෑමද එලෙසමය. උම්බලකඩ ගන්නට සල්ලි නැති අය හා උම්බලකඩ මල ජරාවකැයි හිතන අයය. අපිනම් කොච්චර අහිංසකද කිව්වොත් කන්නේ හා මස් විතරයි .



Friday, April 5, 2013

71 හා 2013



ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 42 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 42 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයත් අද දෙතැනකට වී රතු කමිස හැඳ සමරු  උත්සවවල කතා පවත්වනු ඇත. රෙජිෆෝර්ම් සමරු පලක වලට මල් තබනු ඇත. අවසානයේ විසිර යනු ඇත.

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ දෙපිරිසටම මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.





Thursday, April 4, 2013

කුණු බිත්තර හා නානසාර



අයි.පී.එල් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට කුණු බිත්තර වලින් පහර දෙන  බවට ගලබොඩාත්තේ ඥාණසාර නම් චීවරධාරියෙක් තර්ජනය කර තිබේ.

හරිම අපූරුය. දැන් සියලු ශ්‍රී ලාංකිකයන්ට ජීවත් වීමට සිදුව ඇත්තේ මේ උමතුවන් ‍රැල කියන පරිදිය.මේ පිස්සු ජාතිවාදින් ‍රැල  ලාකීය ජනජීවිතයේ සෑම අංශයකටම අත දමමින් සිටිති. ගවමස් මඩුවේ සිට නිදන කාමරය දක්වා තම බල පෑම පැතිරවීමට ඔවුන් උත්සාහ කරමින් සිටී. අප මේ ගැන මීට ප්‍රථමයෙන්ද ලියා ඇත්තෙමු.

අයි.පී.එල්. තරඟාවලිය යනු තනිකරම මුදල් මත පදනම් වූ කිසිම ක්‍රීඩාවේ තිබිය යුතු ගුණාංග කිසිත් නැති හෝ ඉතාම අඩු එකකි  .ලෝකයේ සිටින ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් එයට සහභාගි වන්නේ මුදල් වෙනුවෙනි. ඒ ගැන කතා දෙකක් නැත.සියල්ල මුදලය විකිණෙන ලෝකයක ක්‍රිකට් පමණක් එසේ නොවී තිබීමට හේතුවක්ද නැත.මේ සියල්ල වෙනම කථාය. ඒ ගැන වෙනම කතා කල හැක.

ක්‍රීඩකයන් අයි.පී.එල් යන්නේ ඔවුන්ගේ පෞද්ගලික කැමත්ත පරිදිය. සංවිධායකයන් ඔවුන් ‍තෝරාගත් නිසාය. දැන් ඔවුන් තරඟ සංවිධායකයන් සමග ගිවිසුම් අත්සන් කර තිබේ. එම ගිවිසුම් වලට ගරු කිරීමට ඔවුන් බැඳී සිටිත්. බො.බ.සේ හි පිස්සු පූසන් කී පලියට එම ගිවිසුම් ඉරා දැමිය නොහැක.

ඉන්දියාවට ක්‍රීඩකයින් නොයැවිය යුතු නම් එම තීරණය ගත යුත්තේ රජය මගිනි. කුණු බිත්තර කරුවන් නොවේ.ඉන්දියාව සමග හෝ වෙනත් රටක් සමග ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මිස කුණු බිත්තර හෝ ලෙමන් පෆ් වලින් නොවේ.මෙවනි අන්තර්ජාතික ප්‍රශ්න කුණු බිත්තර වලින් ප්‍රශ්න විසඳන්නට උත්සාහ කරන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්  විසඳා ගැනීමට බුද්ධිය නැති උන්ය.

අනිත් අතට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම හොඳ නැත්නම් දඹදිව වන්දනාවේ යාමත් තහනම් කර ඉන්දියාවේ සරසවි වල ඉගෙන ගන්නා දහස් ගණනක් වූ ලාංකීය සිසුන්ද වහාම ආපසු කැඳවිය යුතුය. ඉන්දියාවේ පිහිටි ලංකා මහ කොමසාරිස් කාර්යාලයද වසා දැමිය යුතුය.ක්‍රිකට් ක්‍රීඩකයන්ට කුණු බිත්තර ගැසීමට පෙර මේවා කරන මෙන් බො.බ.සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුය.

මෙහි සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ගලගොඩ අත්තේ ඥාණසාර ක්‍රිකට් ක්‍රීඩකයින්ට කුණු බිත්තර ගසන බවට ,එනම් ශාරිරිකව හිංසා කරන බවට කර ඇති තර්ජනයේ නීතිමය පැත්තයි. මෙය දණ්ඩ  නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

ඔහු මේ කථාව විහිලුවට කී කතාවක් නොවේ. මෙම පුද්ගලයා මීට ප්‍රථමයෙන් නුවරදී කතාවක් කරමින් ෆැෂන් බග් හා නෝ ලිමිට් ආයතන තුල සිංහල තරුණියන් දූෂණය කරනවා යැයි කල තර්ජනය කෙලවර වූයේ පැපිලියාන ෆැෂන් බග් ආයතනයට පහර දීමෙනි.

මිනිසුන්ට මෙසේ තර්ජනය කරමින්, පහරදෙමින් හැසිරීමට මෙම කුණු බිත්තර බඳු උම්මත්තකයින්ට ඉඩ දුනහොත් එය අවසන් විය හැක්කේ 83 බඳු මහා ඛේදවාචකයකිනි. එය නැවත්වීමට පෙරමුණ ගැනීම සිහි බුද්ධිය ඇති සැමගේ අනිවාර්ය වගකීමකි.









Wednesday, April 3, 2013

හහ් හහ් හා හූ හූ හුහ් හූ - බඩ රිදෙනවා ඕයි හිනා වෙලා




"පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන ෆැෂන් බග් රෙදිපිලි ආයතනයට පහරදීම සම්බන්ධයෙන් හිමිවරු තෙනමක් ඇතුලූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම කලහකාරී තත්ත්වය මැඩපැවැත්වීමට පැමිණි සහහාර පොලිස් අධිකාරීවරයකුගේ රාජකාරී වලට බාධා කර එම  පොලිස් නිලධාරියාගේ හිස්වැසුමද විසිකොට කලහකාරී ලෙස හැසිරුණේ යැයි මේ හිමිවරු තෙනම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැන ඇත.

මේ අතර අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල අද යළිත් කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලි පාර්ෂවයේ ඉල්ලීමක් අනුව එය සමථයකට පත්කර ගැනීමට පාර්ශ්ව දෙකම කැමැත්ත පල කර ඇත. ඒ අනුව ස්වාමීන් වහන්සේ ඇතුලු 17 දෙනාම අද අධිකරණය හමුවේදී දැඩි ලෙස අවවාදකර මුදා හැර තිබේ."

(වාර්තා කලේ ලංකා සී නිව්ස්)

සටහන- මීට වඩා වෙනස් ප්‍රථිපලයක් කවුරු හරි බලාපොරොත්තු වුනාද?
හහ් හහ් මං යනවා ඕයි යන්ට තව හිටියොත් හිනා වෙලාහ් හ්හ් හහ් හහ් හා

Tuesday, April 2, 2013

දේශප්‍රේමින්ට අනගි අවස්ථාවක්




ඔබ දේශ ප්‍රේමියෙක්ද ?

එසේනම් පහත ප්‍රශ්න වලට පිළිතුරු දී වටිනා තෑගි දිනා ගන්න.

ඔබ දේශප්‍රේමියෙක් නම් දැන් ම ඉදිරිපත් වෙන්න.මේ වටිනා අවස්ථාව පැහැර හරින්න එපා.දේශප්‍රේමින්ට පමණයි


1. ඉහතින් දැක්වෙන ගොඩනැගිල්ල ඇත්තටම කුමක්ද?

2. එය සෑදිමට ඇත්තටම වියදම් වූ  මුදල කොපමණද?

නිවැ‍රැදි පිළිතුරු එවන සියලු දේශප්‍රේමින් හට සිය පවුල සමග ඩිස්නිලන්තයේ චාරිකාවක්.

සැ.යු- ඔබේ පිළිතුර සමග ඔබ සැබෑ දේශප්‍රේමියෙක් බවට දේශහිතේෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකරගෙන් හෝ එහි ලේකම් වසන්ත බණ්ඩාරගෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කළයුතුය. ජාතික හෙළ උරුමයේ දේශප්‍රේමි සහතික දැන් වලංගු නැති බවද කරුණාවෙන් සලකන්න

Monday, April 1, 2013

සුචරිත ගම්ලත් නැවත මැරීම




අප යුගයේ සිටි විශිෂ්ටතම බුද්ධිමතුන් කිහිප දෙනා අතර ප්‍රමුඛයෙකු වශයෙන් හැඳින්විය හැකි , කීර්තිමත් භාෂා විශාරදයෙකු, විචාරකයෙකු හා මාක්ස්වාදියෙකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොසිනි.

 අප ඔහු ගැන ගුණ ගායනා නොකරමු.අප එයට සුදුස්සන් නොවේ.

අනික මේ වන විට බොහෝ දෙනෙකුන් එය කරමින් සිටිති. සමහරුන් අවංකවමත් තවත් සමහරුන් තමන් ද  ඔහු මෙන් බුද්ධිමතෙකැයි පෙන්වීමට " ගම්ලතුයි මමයි, අපි ඒ කාලයේ " පන්නයේ ලිපිත් ලියනු ඇත.

මේ ආකාරයේ ලිපියක් කාලයක් තිස්සේ අතුරුදහන්ව සිට නැවත කරලියට පැමිණ සිටින  පරණවිතාන නැමත්තෙක් තම බ්ලොගයේ පල කර තිබේ.

තනතුරු හා දේශපාලන බලය වෙනුවෙන් කිසි හිරිකිතයක් නැතිව පාලකයින්ට කඩේ යන ඔහු මේ ලිපියෙන් පෙනී සිටීමට උත්සාහ කරන්නේ තමන් ගම්ලතුන්ගේ අතිජාත මිත්‍රයෙක්ව සිටි බවයි.

ගම්ලත් මහදුරුගේ ලිපි සිළුමිනේ පල වුනේ ඔහු නිසාලු. වෙනකක් තබා සුචරිත ගම්ලත් , ඔහුගේ සුප්‍රසිද්ධ ශබ්ද කෝෂය මුද්‍රණය කිරීමට ක්‍රමයක් නැතිව තමා ලඟට ආ බවත් එවිට තමා මැදිහත් වී එයට මග පාදා දුන් බවත් ඔහු කියයි.

තම ‍රැකියාව අහිමි කර සිටිද්දි පවා එය නැවත ලබා ගැනීමට දේශපාලකයින් පස්සේ නොයා ඉංග්‍රීසි ටියුෂන් දෙමින් දිවි ගැට ගසා ගත් සුචරිත ගම්ලත් මහාචාර්යවරයා තම පොතක් මුද්‍රණය කර ගැනීමට පරණවිතාන වැනි දේශපාලන ඇම්බැට්ටයෙක් පසුපස ගියේ නැත.

අනික ඔහුට තම පොත් මුද්‍රණය කර පල කරවා ගැනීමට කිසි අපහසුවක් තිබුණේත් නැත. ඔහුගේ පොත් පල කරන්නට ඕනෑ තරම් ප්‍රකාශකයෝ සිටියහ.

 පරණවිතාන මහතානනි.

 මියගිය ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අපහාස කිරීම සදාචාරාත්මක දෙයක් නොවේ.