Tuesday, December 29, 2015

ඕනෑ කර තිබේ-Wanted


 
 
 
ඉතාමත් ඉක්මණින් හොඳ තත්වයේ මඩු වලිගයක් ඕනෑ කර තිබේ . බඩු හොඳ නම් මිල ප්‍රශ්නයක් නැත.

මඩු වලිගය ඕනෑ කරන්නේ සංගීත සංදර්ශන සංවිධානය කරන  අයගේ පස්සට තැලීමට නොවන බව කාරුණිකව සලකන්න. එසේම ගායකයින් කිස් කරන කෙල්ලන්ට   හෝ ගායකයින්ට  බ්‍රෙසියර් විසි කරන කොල්ලන්ට  තැලීමටද නොවේ.

මඩු වලිගයක් ඕනෑ කරන්නේ ජනවාරි අටවනදා දා පත් කරගත් දේශපාලකයින්  රොත්ත ඥාති සංග්‍රහය , වංචා දුෂණ, මැරකම්,හොරකම්, බලහත්කාර කම්, අවසන් කර , මානව හිමිකම්  , ප්‍රකාශනයේ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය  කර, රටට ගැලපෙන කුඩා  කැබිනට් ඇමති මණ්ඩලයක් පත් කරගෙන යහපාලනය උදා කරතියි තවමත් සිහින දකින අයියලා, අක්කලා, මල්ලිලා, නංගිලා ,නැන්දලා ,මාමලා, සීයලා,ආච්චිලාගේ අතට දී කැමති නම් පස්සට දෙක බැගින් තලා ගන්නා ලෙස ඉල්ලා සිටීමටය. 

 (මඩු වලිගයෙන් තැලීම වැනි වැඩවසම් දඬුවම් ක්‍රම මා විසින් අනුමත නොකරන අතර කැමති කෙනෙකුන් තමන්ටම තලා ගත්තාට අපගේ විරෝධයක් නැත.)

Thursday, December 24, 2015

සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය

 
දෙමටගොඩින් ආ   හිරුනික  අක්කාය....
යහපාලනේ කෙරුමට ඈ ආවාය...
කවිකර කියන්නේ අක්කාගේ කිරියාය
හිරු ටීවී එකෙන් මුලු රටටම කිව් දේය...
 
පනිනට ගිය කළට කොල්ලෙක් හොර කො‍ටුව ...
ගමේ චන්ඩි මල්ලිලා ටික  යැව්වාය ...
ඩිපෙන්ඩරේ පටවාගෙන ආවාය.....
ලඟටම ගෙනැත් උගේ ඇට ක‍ටු කැඩුවාය...
 
වැල්ලම්පිටිය  පසුකර ගෙන කුණු කන්ද...
දෙමටගොඩට  අපි යහතින් ආවාය...
සිටියදි බලාගෙන දුන් ගුටි  පූජාව...
යහපාලනේ එහෙමයි දැන් කෙරුවාව...
 
පොලෝසියට කොල්ලෝ ටික  උදයේම...
පටවා යවා අක්කා ඇත සනීපෙට...
තෙරපී  තෙරපී  උන් ‍ කූඩුව ඇතුලේය ...
සුදු  නංගියේ  උඹ  දුමියගේ අක්කාය...

Tuesday, December 22, 2015

කවියෙකුට සවියක් වෙන්න

 
කවියෙකුට සවියක් වෙන්න
එන්න ඔබ මෙහි එන්න
ඔබට හැකි පමණකින්
කවි ලියන පියෙකුගේ
ආදරණීය පුතෙකුට
පිළිසරණක් වෙන්න
 
 
 

Sunday, December 20, 2015

සිංහ ලේ

 
 


කන්ඩ නැතිව අ   ලේ
ඉන්නවා අපි බො ලේ
පිට ත්  බඩේ ඇ     ලේ
අපේ  සිංහ         ලේ
 
පයින්ට් එකක්     ලේ
නැතිය නහර තු    ලේ
අම්මා ඇරලා කැ   ලේ
අපිත් සිංහ             ලේ
 
නැතිව රටේ  බ      ලේ
ඉන්ට බැරිය ම       ලේ
දෙන්ට උන්ට බ    ලේ 
කියමු  සිංහ           ලේ

Friday, December 18, 2015

කණගා‍ටුවෙන් දන්වා සිටින වගනම්


 
 

මා විසින් පල කල "සයිටම් හා සායන " නම් වූ බ්ලොග් පෝස්‍ටුව දැක මල පැන, දත කට පූට්‍ටු වී විකාර කතා දොඩවමින් මා හට පහර දුන්, අපහාස කළ සියලු දෙනා ගේම බලාපොරොත්තු කඩ කිරීමට සිදුව ඇති බව කණගා‍ටුවෙන් දන්වා සිටිමි

සාරස, රවි හා ඇනෝ ලා සෙට් එකම මට බැණ වදින්නේ මා දොස්තරෙක් යැයි අනුමාන කරමිනි.

එය එසේ නොවේ මිත්‍රවරුනි . මා දොස්තරෙක් නොවේ.

 නමුත් ඔබතුමන් ලා කරන පරිදි හැම මගුලටම රෙද්ද උස්සා ගෙන දොස්තරලා වෙත කඩා පැනීමේ අවශ්‍යතාවක් මට නැත. මම හැම විටම පෙනී සිටින්නේ මා නිව‍රැදි යැයි සිතන දේ වෙනුවෙනි.

මා රාජපක්ෂ රෙජිමයට එරෙහිව ලිව්වාක් මෙන් යහපාලන ආණ්ඩුවේ අමන වැඩ වලට ද එරෙහි වෙමි. යහපාලන ආණ්ඩුව පත් කිරීමට උරදුන් පැරාලා මෙන් කොන්දේසි විරහිතව එය වෙනුවෙන් පෙනී සිටීමට මට අවශ්‍ය නැත.

සයිටම් ප්‍රශ්නයේ දී වෛද්‍යවරුන්ගේ, වෛද්‍ය  සිසුන්ගේ හා පොදුවේ සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ මතය නිවැරදි යැයි මා විශ්වාස කරන අතර සම සෞඛ්‍ය සිසුන්ගේ ප්‍රශ්නය ,හෙදියන්ගේ සූතිකාගාර පුහුණුව පිලිබඳ ප්‍රශ්නයේදී මෙන්ම  හා සරසවි ආචාර්යවරුන්ගේ සටනේ දී ත් වෛද්‍යවරුන් හා වෛද්‍ය සංගමය ක්‍රියාකළ අමන  ආකාරය පිළිබඳව මම එරෙහි වී ඇත්තෙමි.

 සයිටම් එකට පක්ෂ වීම මහා පොෂ් වැඩක් යැයි සිතා සිටින , එයින් ( සයිටම් එකෙන් නොව හුදෙක් එයට පක්ෂ වීමෙන් ) තමන්ට වෙස්ටර්න් පොරක් වීමට හැකි යැයි සිතන  මහත්වරුන් ගැන මට ඇත්තේ අනුකම්පාවකි.එය  හුදු මෝස්තරයක් ,විලාසිතාවක් මිස අන් කිසිවක් නොවේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මා විරුද්ධ වන්නේ මන්දැයි ඔබට දැන ගැනීමට අවශ්‍ය  නම් පරුෂ වචන නොකියා මදක් ඉවසා සිටින්න මගේ මී ලඟ පෝස්‍ටුව එනතෙක්.

Thursday, December 17, 2015

සයිටම් සහ සායන

 
 

ඔන්න මම  පටන් ගත්තා " ලර්නර්ස් " එකක්,
හැබැයි වාහන නම් නැහැ..............................


පොඩි හෝල් එකක තියරි පටන් ගත්තා කියහන්කෝ
ලෙක්චරස්ලා විදියට හිතවතුන් කීප දෙනෙකුත් බඳවා ගත්තා


හැබැයි උන්ගෙන් සම හරක්ට ලැයිසන් නෑ තමයි.. තමයි.. ඉතින්
පොත බලාගෙන තියරි උගන්නන්න ලැයිසන් ඕනෑය?

දැන් මේකේ ශිෂ්‍යන්ට කියලා නඩුවක් දාන්නයි හිතන් ඉන්නේ
ප්‍රැක්ටිකල්වලට ලංගම බස් ඉල්ලලා


අවුලක් නෑ ෂුවර් එකට හම්බ වෙනවා
මොකද ප්‍රවාහන ඇමතිගේ දුවත් ලැයිසන්  ගන්න හදන්නේ
මගේ ලර්නර්ස් එකෙන්.

Saturday, December 12, 2015

රනිලුන්ගේ වාසනාව නොහොත් ජාතියට බිහි වූ නව ප්‍රාඥයා


ශ්‍රී ලංකාවට ඉහල අහසේ අලුත් තරුවක් පායා තිබේ . එසේ මෙසේ තරුවක් නොවේ. ගුරු තරුවක්ය. එතුමාගේ ප්‍රඥාව දෙගොඩ තලා යන්නේ රාජාංගනයේ වාන් දොර‍ටු ඇරිය විට වම් ඉවුරේ ඇල උතුරන ලෙසටය. කළු ගඟ වැහි කාලයට උතුර උතුරා ගොඩ ගලන ලෙසය. එවන් වූ බුද්ධිමය පුංජයක් ලක් පොලව මත කිසි දා පහල වී නැති ලෙසකි. ඔහු අසලදී  කොග්ගල ප්‍රාඥයා හිරු අබියස කදෝ පැනියෙක් බඳුය. ඉදින් කදෝ පැනියෙක් අබියස කියනු කුමක්ද?

අප මේ කියන්නේ  කවුරුන් ගැනදැයි කියන්නට  කලින් එතුමාගේ දර්ශනය  කුමක්දැයි බලමු.

1. ලංකාවේ සිටින්නේ ගතානුගතික මාක්ස්වාදීන්ය. ඔවුන් වැඩ කරන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිහිටු වීම සඳහා ය.  අපේ උතුමාට අනුව ඒක වැරදිය. ඔවුන් කළ යුතුව ඇත්තේ තමන් කරන පරිදි දනපති ආණ්ඩුවක් බලයට ගෙන ඒමට උදව් කිරීමය

2. නිර්ධන පංතියට නායකත්වය දිය යුත්තේ මාක්ස්වාදි පක්ෂ නොව  යූ ඇන්පිය බඳු ධනපති පක්ෂයි.

3. රජයේ සේවකයින්ට, දොස්තරලාට ශිෂ්‍යයින්ට ‍රැකියා විරහිතයින්ට වර්ජන, උද්ඝෝෂණ  කිරීම තහනම්ය. මක් නිසාද යත් ඔවුන්  නිර්ධන පංතිය නොවේ. ඔවුන් නිර්ධන පංතිය නොවන්නේ තමාගේ නවීන දර්ශනය අනුවද නැතහොත් ගතානුගතික මාක්ස්වාදය අනුවද යන්න කීමට එතුමාට මදක් අමතක වී තිබේ

4. සියවසකට වැඩිකාලයක් තිස්සේ ගතානුගතික මාක්ස්වාදින් ගෙනගිය  පංති විග්‍රහය ම ව්‍යාජයක් බව අප මහත්මා සොයා ගෙන ඇත. ඒ අනුව ලෙනින් , ට්‍රොට්ස්කි, රෝසා ,ග්‍රාම්ස්චි , ඇතුලු සියලු මාක්ස්වාදින් පටලවාගෙගන තිබෙන මේ පටලැවිල්ල මේ තුමා ලිහා ඇති අතර බුද්ධිමය දේපල ප්‍රශ්නයක් නිසා පේටන්ට් අයිතිය ගන්නා තෙක් එය රහසක් වශයෙන් තබා ගනු ලැබේ.

5.  ලංකාවේ දේශපාලන බලය හිමි පංතිය ධනපති පංතිය ය යන්න මිථ්‍යාවකි. බොරුවකි. අමු කෙබරයකි. විද්‍යාත්මක ලෙස විග්‍රහ කලහොත්  රනිල් වික්‍රමසිංහ ධනපති පංති නියෝජිතයකු ලෙස සැලකිය හැකි මුත්, මෛත්‍රීපාල සිරිසේන  නිර්ධන පංතික සටන් කරුවෙකි.  

6.  නව ලිබරල්වාදයය කියා දෙයක් නැත. රනිල්ගේ 2002 ආණ්ඩුව  පෞද්ගලික අංශයට බර දෙමින් ප්‍රාග්ධන ගෝලීයකරණයට රට විවෘත කිරීමට උත්සහ කළත් දැන් තිබෙන රනිල්ගේ ආණ්ඩුව එහෙම නැත. එය සමාජවාදීය.ඒ හැර ලංකාවේ තිබූ  වෙන කිසිම ආණ්ඩුවක් ධනපති ආණ්ඩුවක් නොවේ. සමාජවාදි ආණ්ඩුය.  දැන් තිබෙන්නේද  ධනපති ආණ්ඩුවක් නොව සමාජවාදි ආණ්ඩුවකි. එයට විරුද්ධ වීම විප්ලවයට විරුද්ධ වීමකි.

7. එසේම ලංකාව තුල ධනපතිඔයන්ද නැත. ඉන්නේ හැරී ජයවර්ධන, මලික් සමරවික්‍රම , දම්මික පෙරේරා වැනි සමාජවාදින් පමණි.ඔවුන් ගොලීය ධනවාදයට විරුද්ධය.

8. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් කලේත් සමාජවාදින්ය.රජයේ සේවකයින් යනු ලේ උරා බොන වැම්පයර් බඳු සත්ව කොට්ඨාසයකි. ඔවුන්ව දුරින් දුරු කළ යුතුය.

9. රාජ්‍ය අංශය දුර්වල කර විනාශ කළ යුතුය. සැබෑ මාක්ස්වාදය නම් එයයි. පාසැල් හා  රෝහල්  බිස්නස් බවට පත් කළ යුතුය.

10. කුමාරසිංහ සිරිසේනට මාසයකට ලක්ෂ අනූවක් දුන්නාට කමක් නැත. හැබැයි රජයේ සේවකයින් වැඩි පඩි ඉල්ලීම දුෂ්ට ක්‍රියාවකි.

11. පීඩිතයින්ගේ දරුවන්ට දොස්තර කම් හෝ වෙනත් එවැනි ‍රැකියා ලබා ගැනීමට ඉඩ නොදිය යුතුය.

 12. රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධ වීම ආනන්තරීය පාප කර්මයකි. සමාජවාදයට විරුද්ධ වීමකි. භ්‍රෂ්ඨයෙක් වීමකි.

13. රජයට විරුධ වන උන්ට , රතු කොඩි දමමින් උද්ඝෝෂණ කරන උන්ට හොඳ පාඩමක් උගැන්විය යුතුය. ආරම්භයක් විදියට ඔවුන් සියලු දෙනාම රාජපක්ෂ වාදින් විදියට හංවඩු ගැසිය යුතුය. හරියටම කිවහොත් පසුගිය රාජපක්ෂ රෙජිමයට විරුද්ධ වූවන් කොටි හිතවාදින් ලෙස නම් කලා මෙන්ය.
 

සටහන- මේ ආකාර වූ දාර්ශනික අදහස් සමූහයක් සමාජ ගත කරන ප්‍රාඥයා අන් කිසිවෙක් නොව W3Lanka  ලියන පැරා තුමා මය.

Tuesday, December 8, 2015

නත්තල් සීයා ගෙන් ලියුමක්



මගේ ආදරණීය පොඩිත්තනි

දැන් අවුරුදු සිය ගාණක් තිස්සේ හැම අවුරුද්දකම නත්තල් දවසේ මධ්‍යම රාත්‍රියේ පිනි මුවෝ අදින හිම කරත්තෙක නැගලා ඔයාලගේ ගෙවල් වලට තෑගි අරගෙන ඇවිත් ඔයාලට බෙදුවා. ඒත්  මේ අවුරුද්දේ මට ඔයාලව බලන්න එන්නෙ  නැහැ.

මොකද දන්නවද? මම දෙන තෑගි වලට ළමයි කැමති නැතිලු. ඉතින් මොකද කරන්නේ. ළමයි දන්නේ නෑ මම ඔය තෑගි හොයන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ලෝකේ පුරාම ඇවිදලා ඒ ඒ රටවල ළමයින්ට ගැලපෙන තෑගි, ඒ ඒ වයස්වලළමයින්ට ගැලපෙන තෑගි, ගෑණු ළමයින්ට වෙනම , පිරිමි ළමයින්ට වෙනම , කොච්චර අමාරුද?

ළමයි ඒක තේරුම් ගන්නේ නැති නිසා මම මීට පස්සේ නත්තල් දා රෑට තෑගි බෙදන්න එන්නේ නැහැ.

හැබැයි ඒත්මේ  නත්තල් සීයා ඔයාලව අමතක කරන්නෙ නැහැ ලංකාවේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් තුමාට පිං සිද්ද වෙන්න. එතුමා තමයි මේ අදහස මගේ ඔලුවට දැම්මේ.

මම මීට පස්සේ හැම ලමයෙකුටම තමන් කැමති තෑග්ගක් ගන්න වවුචරයක් දෙනවා.

ඒක හරිම ලේසියි.

මම නත්තලට සතියකට කලින් වවුචර තැපෑලට දාන්නම් ,ඔයාලා මීට පස්සේ  නත්තල් සීයා වෙනුවට පියුන් මාමා එනකම් බලාගෙන ඉන්න හොඳේ.

මීට

නත්තල් සීයා

ප.ලි.   ලංකාවේ  දූලා පුතාලා ඔයාලගේ අම්මා තාත්තාගෙන් අහල බලන්නකෝ එයාලට පිනි මුවෙක් එක්ක හිම කරත්තයක් ඕනෑ ද කියලා. මම ඒක විකුණනවා.දැන් ලංකාවේ කාර් එකක් ගන්න එකත් ලේසි නැහැනේ

Saturday, December 5, 2015

සවුදි අරාබිය සමග සියලු සබඳතා අත හරිනු.

සවුදි අරාබිය යනු අන්ත ප්‍රතිගාමි, නොදියුණු ගෝත්‍රික හා ආගමික නීති රීති මගින් තවමත්  පාලනය වෙන රටකි. එහි ප්‍රධානියා රජෙකි. එරට වැසියන්ට හෝ එරටට විදෙස් වලින් එන කිසිවෙකුට මානව හිමිකම් නැතත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ලොක්කා සවුදි කුමාරයෙකි. ඒ ගැන කිසිවෙකුටත් ප්‍රශ්නයක් ද නැත. වෙන එකක් තබා නවී පිල්ලේ ලා පතුරු ගැසු අපේ දේශප්‍රේමින්වත් ඒ ගැන වචනයක්වත් කියා නැත.

අනාචාරයේ හැසිරීම , එනම් තම විවාහක සහකරුට පිටින් ලිංගික එක් වීම  සදාචාරාත්මකව වැරද්දක් වුවත්, එය කෙනෙකු මරා දැමීමට තරම් වරදක්ද?  එය වරදක් වන්නේ තම සහකරුවාගේ විශ්වාසය කඩ කිරීම නම් කාරණයේ දී ය. නමුත් එය මාරන්තික වරදක් වන්නේ  අරාබිකරය විශේෂයෙන් සවුදි අරාබිය බඳු ම්ලේච්ඡ් නීති මගින් පාලනය වන රටවලදීය.( ලිංගික සම්භෝගයේදී ඒඩ්ස් රෝගය වැලඳගෙන මිය යාම වෙනම කරුණකි)

නමුත් සිරුරින් අඩක් පොලවේ වලලා ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම?  මේ 21 වෙනි ශත වර්ෂයේ එතරම් කෲර හා ම්ලේච්ඡ දඬුවම් ක්‍රම භාවිතා කිරීමම පුදුමයකි. ඊටත් වඩා පුදුමය නම් ලෝකයේ සිටින මානවවාදි යැයි කියාගන්නා ආණ්ඩු හා පාලකයින්ද විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල්  සවුදි අරාබියේ  තෙල් බලයට යට වී එම තිරිසන් ක්‍රියා ගැන වගේ වගක් නොමැතිවසමග  ඔවුන් සමග සබඳතා පැවත් වීමයි.  ඔවුන් කිසිම විලි ලැජ්ජාවකින් තොරව සවුදි කුමාරවරු ලෝකයේ මානව හිමිකම් ‍රැකීමට පත් කරති.

අපිද එලෙසම අපේ සොහොයුරියන් , මව්වරුන් වල සේවය සඳහා සවුදි කුමාරවරුන් හා සි‍ටුවරුන් වෙත යවමු. අපට ගෞරවය පිලිබඳව යම්තම් හෝ හැඟීමක් වත් තිබුණා නම් සවුදියේ සිටින කාන්තාවන් ඉවත් කර ගත යුතුව තිබුණේ රිසානා ගේ හිස ගසා මරා දැමු දිනයේ දීය. එදා ඒ තීන්දුව නොගත් නිසා තවත් ගැහැණියක් ගල් ගසා මරා දැමීමට නියමිතය.

ඒ තීන්දුව ගැනීමට තව කී දෙනෙක් දිවි පිදිය යුතුද?  රට වෙනුවෙන් පෙනී සිටින මහා දේශප්‍රේමින් මේ ගැන වචනයක්වත්  නොකියන්නේ , ඒ සඳහා බල නොකරන්නේ මන්ද? බැන්කී මූන් ලාට වීරුද්ධව උපවාස කලා මෙන් පෙරට නො එන්නේ ඇයි.?

සවුදි අරාබියේ වහල් ගෘහ සේවයට කතුන් යැවීම වහාම තහනම් කිරීමටත් හැකිනම් රජයේම නියෝජ්‍ය ඇමතිවරයෙකු කියා සිටි පරිදි සවුදිය සමග තානාපති සබඳතා අත හැරීමටත් රජයට බල කිරීමට සියලු දෙනා පෙරමුණ ගත යුතුය.

.

Friday, December 4, 2015

පලමු ගල

 

ඇයට පලමු ගල ගසන්නට
එන පිරිමියා කවුරුන්ද  අද දින
නැතිද ඔහු කිසි දිනෙක
අනාචාරයේ හැසිරී
 
සිතින් හෝ නුඹ සමග නොහැසිරුන
එවුන් හට මම කියමි
මෙහි අවුත් පලමු ගල ගසනු මැන
වැ‍රැදි කෙරු මේ ලඳ වෙතට
 
ඉදින් තනිවමද ඇය
අනාචාරයේ හැසිරුනේ
නොසිටියේද පිරිමියෙක්
ඇය සමග කාමයේ  හැසිරුන
 
මම උඹට කියන්නෙමි
 බැලුවේනම් ඇය දෙස රාගයෙන්
වරද කරුවෙකි ය නුඹ
සමාන වූ වරද කල
 
එසේ නම් කවුරුන්ද නුඹ
ඇය විනිස කරන්නට
ඇයට පලමු ගල ගසන්නට
බොරුකාර පිරිමියෙකු  මිස

Wednesday, December 2, 2015

යහපාලනය හා යම පාලනය


 
පසු ගිය සමයේ යම පාලනයක් ගෙන ගිය උග්‍ර යුදවාදි රාජපක්ෂ රෙජිමය  දිවි ‍රැකගැනීම උදෙසා විදෙස් ගතව සිටි  කීර්තිමත්  දෙමල කවියෙකු වන වී.අයි. එස්. ජෙයපාලන්  කවියාට  තම මවගේ මලගමටවත් සහභාගි වීමට ඉඩ නොදුන්නේය. ඒ යම පාලකයින්ගේ හැටිය. ඔවුන් ජනතාවට එපා වූයේ ඒ නිසාය. ජනතාව ඔවුන් පලවා හැර යහපාලන ආණ්ඩුවක් පත් කර ගත්තේ එවැනි දේ මතුවට නොවන්නටය.

එහෙත් එසේ වූ යහපාලන ආණ්ඩුව එම කවියාට ම ලංකාවට ඇතුල් වීමට, ඔහුගේ කවි පොත් තුනක් සිංහලට පරිවර්තනය කර පල කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ලංකාවට ඇතුල් වන්නට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එසේ කරන්නේ, කවියෙකුට තම මව් රටට ඒමට අවසර නොදෙන්නේ , යහපාලනයයි. යම පාලනය  නොව යහ පාලනයයි. ජාතින් අතර සහයෝගී තාව, අනෝන්‍ය අවබෝධය, සහ ජීවනය ගොඩ නැගීමට  පැමිණි  යහපාලන ආණ්ඩුවයි. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දීමට පැමිණි යහපාලන ආණ්ඩුවයි.

ආදර්ශය- මේ කතාවෙන් අප ගත යුතු ආදර්ශය නම් කණකොක් සුද දකින්නට ඉගිලෙන තෙක් සිටියොත් කෙලවා ගන්නට වෙන බවයි