Sunday, June 28, 2015

ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා

 
ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු  අපේ මාලිගා
රනිලා  බට ලී පිඹිනවා - අනුර කුමා බෙර ගහනවා
 මෛත්‍රී  ගසයි කයිතාලම මහින්දයා  උඩ පනිනවා
 
 
ඇවිල්ලා ඇවිල්ලා  චන්ද කාලෙ ආයේ  ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු   අපේ මාලිගා
 බුරියානි,  මාලු පාන් , අරක්කු වල   රස බැලුවා
 නලු නිලියෝ කොමල පපා ගම් බයියෝ කඩේ යවයි
 
 
ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු  අපේ මාලිගා
  ගල් කාලයි පන්සීයයි මනාප ටික උන්ගේ තමයි
 ලැබූවා වූ මේ චන්දෙත් කිරි ඉතිරෙයි  උන්ට සෙතයි

Thursday, June 25, 2015

කමල් දේශප්‍රිය සහෝදරයා- සමු ගැනීමේ සටහනක්


අපේ කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක් වූ  කමල් දේශප්‍රිය නොහොත් සෙනෙවි සහෝදරයා  ඊයේ මිය ගියේය. 87/89 කාලයේ ශිෂ්‍ය නායකයෙක් ලෙසත්  ඉන්පසුව 1995 පමණ වනතුරු විනාශයෙන් පසු නැගී සිටින්නට වෙර දැරු ජවිපෙ මුල් පෙලේ නායකයෙක් ලෙසත් කමල් දිගටම ක්‍රියාකාරි දේශපාලනයේ යෙදී සිටියේ තම වෛද්‍ය අධ්‍යාපනයත් කැප කරමිනි.

ජවිපෙ සමග ඇති වූ ගැ‍ටුම් නිසා එය හැර ගිය කමල් පසු කලෙක විමල් වීරවංශගේ ජනිපෙ සමග එක්ව තම කීර්ති නාමයට හානි කරගත්තද විමල් ලාගේ ගමන ගැන අවබෝධ කරගත් පළමු මොහොතේම ඔහුගෙන් ගැලවී යන්නට  පසුබට නොවුනු කමල් එයින් පසු බොහෝ දුරට හුදකලා දිවියකට පසු බැස්සේය.

ඔහුගේ දේශපාලන ගමන් මග  ගැන බොහෝ දෙනෙකුට බොහෝ ප්‍රශ්න තිබිය හැකි වුවත් මිනිසෙක් වශයෙන් ඔහු පෙන් වූ උතුම් ගුණාංග නම් ඔහුගේ දේශපාලන සතුරන්ගේ පවා ගෞරවයට ලක් විය..එසේම ඔහු තම මිතුරන්ට ආදරණීය මිතුරෙක් විය

කමල් දේශප්‍රිය මාන්නප්පෙරුම , ආදරණීය සෙනෙවි සහෝදරයා, ඔබට සුභ රාත්‍රියක්

Monday, June 22, 2015

පා (දඩයින්) ගේ ගේ පාදඩ වැඩ

 
රටේ  හැම නාස්තාදි වැඩක් ම කරන්නේ අටවත් පාස් නැති නූගත් රස්තියාදුකාර දේශපාලකයෝ කියලා අපිට ඒ ගොල්ලෝ කියනවා. ඒක නිසා ඒ වගේ රස්තියාදු කාරයෝ පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න ඔන්න දැන් 20 වෙනි සංශෝධනේකුත් ගෙනැල්ලා .

කස්ටියට මතක ඇතිනේ පහුගිය කාලේ මැතිවරණ තිබ්බ හැටි.  මහජන මුදලින්ම කැම්පේන් කරපු හැටි. මන්දිරවලට එක එක දවසට නොයෙක් නොයෙක් කට්ටිය ගෙනැල්ලා කන්ට බොන්ට දීලා චන්ද අල්ලස් දීලා ....


එක දවසක දොස්තරලා, තව දවසක ඉංජිනේරුවෝ. ඊ ලඟට නලු නිලියෝ, පත්තර කාරයෝ, ග්‍රාමසේවකලා, ඔය විදියට අහවල් මන්දිරේට නොගෙනාපු කෙනෙක් නැහැ.ගෙනැල්ලා මහජනමුදලින් කන්ට බොන්ට දීලා චන්දය ඉල්ලනවා.

හොඳයි, අපි කියමුකො චන්ද දවස් වල ඒ වගේ වැඩ කරන්නේ නූගත්, මැර ,ප්‍රජාතන්ත්‍රවාදය බල්ලාට දාපු, දේශපාලකයෝ කියලා.

එතකොට තමන් ලංකාවෙන්ම උගත් පිරිස කියන දොස්තර මහත්තුරුත් ඒ වැඩේ කරන එක හොඳද?

ජූනි 27 තියෙන රජයේ වෛද්‍ය නිලදාරි සංගමේ චන්දෙට ඉදිරිපත් වෙන පාදෙනියගේ කණ්ඩායම සංගමේ සාමජිකයන්ට පණිවිඩයක්  යවලා 2016 පාසැල් වලට ළමයින් ඇතුල් කර ගන්ට ඕනෑ නම් ජූනි 23 සංගමේ තියෙන ‍රැස්වීමට එන්ට කියලා. කොහොමද පාර. නාවොත් ළමයට ඉස්කෝල නැතිලු.
 
27 චන්දේ තියන කම් ඉන්ට බැරිව තියන මේ තදියම මොකද්ද?

මේ වෙනකොට චන්දේ තියන්ට විසිරුවලා තියෙන සංගමයක් මේ වගේ ඉල්ලීමක් කොරන එක මොන තරම් සදාචාර සම්පන්නද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.

මහින්ද මාමිගේ අරලිය දන්සැලෙයි පාදෙනිය අයියාගේ  මේ වැඩෙයි අතර වෙනසක් තීයෙනවාද?

කිසිම වෙනසක් නැහැ.

මේකෙන් එන්ට තියෙන නිගමනේ තමා මේ වගේ ජරා වැඩ කරන එක බලලෝභි දේශපාලුවන්ට විතරක් සීමා වෙච්චි දෙයක් නොවේ කියලා.

තමන් මහා උගත් බුද්දිමතුන් කියලා පෙන්න ගෙන ඉන්න අය උනත් බලයට තියෙන කෑදර කම හමුවේ ඕනෑම පාදඩ වැඩක් කරන්න පෙලඹෙනවා .

රට හදන්න නම්  මුලින්ම මේ පාදඩ සංස්කෘතිය  පරාජය කරන්න ඕනෑ.

වෙන මගක් නැහැ.


Thursday, June 18, 2015

කාලෝ අයන්තේ

 
 
කාලෝ අයන්තේ
කාලෝ
කරපු  හොඳක් ඇත්නම්  අරගෙන
චුත වෙන්ට


Saturday, June 13, 2015

යහපාලන ආණ්ඩුවට ඔත්තුවක්.

 
පහතින් දැක්වෙන්නේ වික්ටර් අයිවන් මහතා විසින් ලියා ඔහුගේම රාවය පුවත් පතේ පසු ගිය මැයි 31 දා පල වූ ලිපියක කොටසකි.

"තුන්වැනි කථාව තමන් වෙත ගෙන්වා ගත් මාධ්‍ය දෙකක හිමිකරුවන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ කතා බහකි. මෙම කථා බහ සිදු වී තිබෙන්නේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අර්බුදයේදී අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාට ගල්කිස්සේදී පහරදීමක් සිදු වූ දිනට පෙර දිනය.

අගවිනිසුරු ප්‍රශ්නයේදී මෙම ලේකම් වරයා රඟපාමින් තිබෙන භූමිකාව ගැන විස්තරයක් කිරීමෙන් පසු මෙම ලේකම් වරයා ගල්කිස්සේදී පහර දීමකට ලක් වනු ඇති බව කියා සිටිමින්  ඒ සිද්ධිය වාර්තා කිරීමේදී සිදිධිය සිදු වන ස්ථානය අසල ඇති මසාජ් පාලරයද රූපරාමු වලට හසු කරගන්නා ලෙස කැමරාකරුවන්ට උපදෙස් දෙන මෙන් මෙම හිමිකරුවන් දෙදෙනාට ජනාධිපතිවරයා කියාතිබේ.

පුදුමයකට මෙන් මෙම නාලිකා දෙකම සිද්ධිය වාර්තා කර ඇත්තේ මසාජ් පාලරයේ රූපරාමුද ඇතුලත් වන ආකාරයටය  
..........................................................

මෙම කතාව සත්‍යක් නම් ඉන් පෙනෙන වැදගත්ම දෙයක් වනුයේ කරන්නට සැලසුම් කර තිබූ අපරාධකාරි වරදක් කල්තියා කියන්නට තරම් මෙම නාලිකා දෙකේ හිමිකරුවන් ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත සගයන් වී සිටීමය."

මට නම් මෙහි ඇති වැදගත්ම දෙය වික්ටර් අයිවන් මහතාට වැදගත්ම දෙය වූ දේ නොවේ. මෙහි ඇති වැදගත්ම දෙය නම් එවකට රටේ ජනාධිපති අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාට පහර දීමට කුමන්ත්‍රණය කර එය ක්‍රියාවට නංවා ඇති බවයි. එසේ නොවේනම් අඩුම තරමෙන් එවැන්නක් සිදුවන බවට ඔහු දැන සිටි බවයි.එසේම එයට අනුබල දී ඇති බවයි

එනම් හිටපු ජනාධිපතිවරයා රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සාපරාධි වරදක් කර ඇති බවයි.

එසේම මෙම කියන මාධ්‍ය  ආයතන හිමිකරුවන් දෙදෙනා ද අපරාධ සහායකයින් බවයි.

වික්ටර් අයිවන් කියන්නේ සත්‍යයක් නම් කළ යුත්තේ හිටපු ජනාධිපතිවරයාට හා මෙම මාධය ලොක්කන් දෙදෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

ඒ සඳහා වැඩි වෙහෙසක් ගත යුතු නොවේ.

වික්ටර් අයිවන් මහතාගෙන් මාධ්‍ය ලොක්කන් දෙදෙනාගේ නම් අසා ගෙන ඔවුන් ප්‍රශ්න කිරීම පමණි කළ යුත්තේ .

මාධ්‍ය ලොක්කන්ගේ හා දේශපාලකයින්ගේ යාලු මිත්‍රකම් ගැන දෙවනුව සලකා බැලිය හැකිය.

Sunday, June 7, 2015

මගේ සිහිනය


මම මහින්ද අයියට කඩේ ගිහින් , යුනියන් එකත් කඩේ යවලා අපේ යුනියන් එක පාවලා දුන්නා, දේශපාලනේ යුනියන් එක ඇතුලට ගෙනත් ඒක විනාශ කරලා දැම්මා කියලා සමහරු කියනවා. එහෙම කියන්නේ ඇත්ත දන්නේ නැති  අය.

මට යුනියන් එක විනාශ කරන්න ඕනෑ වුනේ නැහැ. ඇත්තම කියනවා නම් මට යුනියන් එකක් ඕනෑ වුනේම නෑ. මට ඕනෑ වුනේ වෙන දෙයක්.

අනික් හැමෝටම වගේ මටත් සිහිනයක් තිබුනා. ඒක පොඩි හීනයක් නෙවේ. ඒ හීනේ හැබෑ කරගන්න පුලුවන් උනා නම් සමහර විට අපේ යුනියන් එකේ අයියලා, මල්ලිලා අක්කලා නංගිලාටත් පොඩි සප් එකක් දෙන්න ඉඩ තිබුනා.

මම හවසට හවසට අරලිය මන්දිරේට ගිහින් මහින්ද අයියාට සපෝර්ට් කලේ ගොඩක් දුර දිග බලලා.

මහින්ද අයියා දිනුව නම් මම හිතන් හිටියේ මොනවා හරි කරලා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් මහ චන්දේට ඉල්ලන්න. ඒකට ඕනෑ පසුබිම හදා ගන්න තමා මම ඒ  දවස් වල නාථ ලාගේ කට්ටියත් එක්ක එකතුවෙලා පොහොර වලට විරුද්දව කතා කලේ. මොකොද නැත්නම් මම කෙනෙක් ඉන්නව කියලා දන්නේ අපේ කස්ටිය විතරනේ.

ඉතින් චන්දේ  දිනලා සෞඛ්‍ය ඇමති වෙන එක තමා මගේ පැලෑන. එක පාරට ඇමති කමක් ගන්න බැරි වුනොත් උප ඇමති වෙලා ඊ ලඟට ඇමති වෙන්න.

ඊටත් පස්සේ හිමිහිට අගමැති වෙලා අන්තිමේ දී ජනාධිපති වෙන්න.

ජනාධිපති වුනාම වෙන වැඩ කරලා වෙලාවක් තිබුනොත් බැරියැ අපේ කට්ටියගේ ප්‍රශ්න විසඳන්න.

අපි දකින හීන මොනවා වුනත් මගේ හිතේ පොඩි කුකුසක් තිබුනා මට නොමිනේෂන් නොදෙයිදෝ කියලා. මොනවා කිව්වත් අපේ දොස්තර කට්ටිය ඉන්නේ 15000ක් විතරනේ. එකෙනුත් මට චන්දේ දෙන්නේ 2000ක් විතර.ඉතින් ඇත්තටම කිව්වොත් ගම්සභා චන්දයක් දිනාගන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. අනික මම අපේ යුනියන් චන්දේ දී දාන වැඩ කිඩ ඔය මහ චන්දේකදී දාන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නේ,

ඒක හින්දා මම  කෝකටත් කියලා ප්ලෑන් බී එකකුත් තියාගෙන හිටියේ.

ඒක තමා සෞඛ්‍ය අමාත්‍යාංශේ ලේකම්කම.

ඒත් අන්තිමට මොකද වුනේ. මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි කිව්ව වගේ මගේ මහින්ද අයියා පැරදුනා නේ.

ඉතින් මම දැන් ආපහු අපේ යුනියන් එකේ සභාපතිකොමට ඉල්ලනවා. ඔයාලා මට චන්දේ දෙන්න හොඳේ. මොනවා කරන්නද දුක තමා.

කොහොමට ඉන්න හිටපු මිනිහෙක්ද?

Tuesday, June 2, 2015

පාදෙණිය, පැණිදෙණිය, පේරාදෙණිය


අපේ කාලේ  පැණිදෙනියේ කම්මලේ ඉගෙනගත්තු පාදෙණිය  හරි ප්‍රසිද්ධ මිනිහා. එය නුවර වටේ පිටේ  කෙල්ලන්ට  ඇඩ්‍රස් එක දූන්නේ පාදෙණිය ,පැණිදෙනිය ,පේරාදෙණිය කියලා.

මට මේ ඇඩ්‍රස් කතාව මතක් මතක් වුනේ මේ දවස් වල තියෙන රජයේ වෛද්‍ය  නිලධාරි සංගමේ නිලවරණේ නිසා.

මේ චන්දෙට එක් පැත්තකින් ඉල්ලන්නේ වාර ගණනාවක්ම සභාපති විදියට හිටි අනුරුද්ධ පාදෙණිය. මිනිහා අර මම මුලින් කිව් පාදෙණියගේ නෑයෙක්ද දන්නේ නැහැ.

ඒත් මිනිහා වැඩ කරන්නේ නම් මහින්ද රාජපක්ෂගේ ලඟම නෑයෙක් වගේ. මහින්දත් වාරදෙකක් මදි වෙලා තුන් වැනි සැරේටත් ඉල්ලලා කෙලවා ගත්තනේ.

පාදෙණිය නොහොත් අපේ පොඩි මහින්දත් ඒ මහින්දට ලඟින්ම ඉඳගෙන උදව් කරා.ඒ දවස් වල අරලිය මන්දිරේමයි හිටියේ.

ඕනේ නම් මිනිහගේ ඇඩ්‍රස් එක ඒ දවස් වල ලියන්න තිබ්බා
" පාදෙණිය, අරලිය ගහ , කොල්ලුපිටිය " කියලා.

ලොකු මහින්ද ජනාධිපති චන්දෙට  සකල රාජ්‍ය බලය යොදා ගෙන මහජන දේපල  හිතු මනාපෙට පාවිච්චි කලේ මැද මූලනෙන් ගෙනාව වගේනේ.

මතකනේ ඒ දවස් වලරාජ මාධ්‍ය ද, සිල් රෙදිද, සමෘද්ධි ද ,බයිසිකල් ද, මෝටර් බයිසිකල් ද, අරලිය දන්සැල් ද ,මතක් වෙනකොටත් ආශාවේ බැහැ.

අපේ පොඩි මහින්ද නොහොත් දොස්තර පාදෙණියත් චන්දේ කරන්නේ ලොකු මහින්ද වගේමයි.

මිනිහා චන්දෙට පාවිච්චි කරන්නේ සංගමේ සම්පත්.  ඇරපු අතක් නෑ අයියා වගේමයි.

චන්දේ සංවිධානය කරන්නේ පාදෙණිය.

තැපල් චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ පාදෙණිය.

ඒවා යවන්නේ කාටද කියලා තීරණය කරන්නේ පාදෙණිය.

ඒවා තැපැල් කරන්නේ පාදෙණිය.

ඒවා ලකුණු කරන්නේත් පාදෙණිය.

ඒවා ගණන් කරන්නේ ත් පාදෙණිය

ප්‍රථිපල දෙන්නෙත් පාදෙණිය.

අඩු ගානේ මිනිහාගේ විරුද්ධවාදින්ට තැපල් චන්ද ලැයිස්තුවවත් දෙන්නේ නැහැ.

කොටින්ම කිව්වොත් මහින්දම තමා.

හැබැයි ඉතින් ඔය විදියටම චන්දේ කොරපු මහින්දත් පැරදුනා.