Wednesday, October 31, 2012

"අපි රාජාණ්ඩුවකට කැමති නැහැ" නොහොත් වාමාංශිකයන්ගේ බබා හුකුම්


 
අද ක්‍රි.ව 2017  දෙසැම්බර්  මස 15 වෙනිදා.

වේලාව මධ්‍යහන දොලහයි.

මේ රෝස මල් එෆ්.එම් සේවයේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි.

 ශ්‍රී ලංකාණ්ඩුව  රාජාණ්ඩුවක් බවට පත් කිරීම සඳහා  මේ වසර මුලදී  ගෙන ආ 24 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව චන්දය භාවිතා කිරීමෙන් තමන් මහත් වරදක් කර ඇති බව ශ්‍රිලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය ( ඒකේ නම මට මතක නැතිය)  ඇතුලත් වාමංශික එක්සත් පෙරමුණ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කෙසේ නමුත් එම සංශෝධනය ගෙන එන අවස්ථාවේ තිබූ විෂයානුබද්ධ කරුණු සැලකිල්ලට ගෙන මනෝ මූලික තත්වයන් හා විෂය මූලික තත්වයන් පිලිබඳව ගැඹුරින් අධ්‍යයනය කොට, ශ්‍රී ලංකාවට එරෙහිව සිදු වෙමින් පවතින බටහිර අධිරාජ්‍ය බලවේග වලට විරෝධතාවක් පෙන්වීමටත්, මාක්සීය කේන්ද්‍රීය අපසාරනය හා අභිසාරනය තත්වයන් පාලනය කරමින් ,විකල්ප මානව සාරධර්ම පිලිබඳව ඇති උග්‍ර පාරභෞතික මතවාදයන් විඛණ්ඩනය කරමින් රටේ භෞමික අඛණ්ඩතාව සමග ගැට ගැසුනු ලෙනින් වාදි මූලධර්මයන්ට අනුගත වෙමින් ආර්ථව චක්‍රය මැනවින් පාලනය කිරීම  උදෙසා එම අවස්ථාවේ රාජාණ්ඩු පනතට පක්ෂව චන්දය දුන් නමුත් තමන් රාජාණ්ඩු ක්‍රමයකට  මහත්සේ විරුද්ධ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

එසේම පසු ගිය මාසයේ පැවත් වූ මහ රජ තුමාගේ ඔ‍ටුනු පැලඳවීමේ උත්සවයට හා  ඊයේ පැවත් වූ ඔ‍ටුන්න හිමි කුමරා නම් කිරීමේ උත්සවයට පවා තමන් සහභාගි වූයේ මෙම අතිශය සංකීර්ණ  ප්‍රතිමාක්ස්වදි ප්‍රවණතාවන් පරාජය කිරීමට බවත් , නමුත් එය  ඓතිහාසික වැරද්දක් බව ඊයේ  සවස තේරුම් ගත් බවත් එම පක්ෂ විසින් නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

සටහන- තමන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීමෙන් වැරද්දක් කර ඇති බව කොමියුනිස්ට් පක්ෂයේ රාජා කොල්ලුරේ මහතා පසු ගියදා පැවසීය.

Tuesday, October 23, 2012

විමල්, අපි ඔබ සමගයි-බොරු නෙවේ ඇත්තටම


                                                          කඩුවක් ‍රැගෙන කොස් කොටන්නට යන තරුණියක්

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් ගෙන ආ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ රාල නායක විමල් වීරවංශ මහතා පවසා තිබේ .

ඒ මහතා දරණ මොන මතයට විරුද්ධ වූවත් මෙතැනදී නම් අපි ඔහු සමග එකඟය. මේ පලාත් සභා වලින් කිසි පලක් නැතැයි ඔහු කියන විටද  අපි ඔහු සමග එකඟය .

ඒ ගැන අපි පොඩ්ඩක් විමසා බලමු.

13 වැනි සංශෝධනය ගෙන ආවේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුමක් ලෙස දෙමළ ජනයාට යම් කිසි ස්වයං පාලනයක් දෙන්නටය.

එහෙත් අපි මීට පෙරද කියූ පරිදි රටේ අනික් පලාත්  සියල්ලටම මේ වන විට පලාත් සභා ලැබී  තිබුනද ජාතික ගැටලුව  තදින්ම බල පා තිබෙන උතුර පලාතට තවම පලාත්  සභාවක් නැත. දෙන පාටක් ද නැත. පලාතේ ජනතාවට පාලන බලය ලබා දීම සඳහා ගෙන ආ පලාත් සභාවේ තීන්දු තීරණ ගන්නේ මධ්‍යම රජය විසින් පත් කල හිටපු හමුදා නිලධාරියෙකි.

එම නිසා අපි පලාත් සභාවලින් පලක් නැතැයි කියන්නේ ඒ අර්ථයෙනි. එසේ නැතිව විමල් කියන ජාතිවාදි අර්ථයෙන් නොවේ. එනම් යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද  කිව්වා වගේ උතුරට නැති පලාත් සභා දකුණට මොකටද අසමිනි.

එසේම පලාත් සභා අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් ගෙන ආයුතු යැයි කියන විට අපි එකඟ වෙන්නේ ද කොන්දේසි සහිතවය.

එනම් ජනමත විචාරණය පැවත් විය යුත්තේ උතුර හා නැගෙනහිර දෙපලාතේ පමණි. තම ජීවිතය ගැන තීන්දු ගත යුත්තේ එහි වෙසෙන  ජනයා මිස වීරවංශලාගේජාතිවාදි ගුලි ගිල දමා මත් වී සිටින   උන්    නොවේ.
සටහන-
1 . හැකි නම් සාධාරණ චන්දයක් තියා උතුරේ හා නැගෙනහිර ජනතාව ලවා පලාත් සභා එපා යැයි කියවාගන්න.

2. එම දෙපලාතේ ජනයා එපා යැයි කිව්වත් ඉන්දියාව පලාත් සභා අහෝසි කරන්නට ඉඩ නොදෙන බවට මෙන්න කැට.මේ බව විමල් ඇතුලු ආණ්ඩුවේ ලොකු ලොක්කන් හොඳින්ම දනී.

3. එසේ නම් මේ පලාත් සභා වලට විරුද්ධව ගෙන යන හඬ  අණ්ඩුවේ කුජීත   අය වැය කෙරෙන් ජනතා අවධානය වෙනතක ඇදීමක් මිස අන් කුමක්ද?

Saturday, October 20, 2012

බියොන්ඩ්ෆ්‍රේම්ගේ හා අපේ මියන්මාර් ගමන


2010 ජනාධිපතිවරණයට පසු , එවකට සිටි ප්‍රකට බ්ලොග් කරුවෙකු වන බියොන්ඩ් ෆ්‍රේම් තමන් මියන්මාරය කරා නැව් නගින බව උපහාසයෙන් යුතුව කියා සිටියේය
.
ඔහු ව්‍යංගයෙන් කිව්වේ හමුදා පාලනයක් පවතින මියන්මාරය ලංකාවට වඩා හොඳ බවයි.

ඔහු  එසේ කියද්දී පෙරමුණේ රාල වැනි රාජපක්ෂික අන්තේවාසික බ්ලොග් කරුවන් බියොන්ඩ් ෆ්‍රේම්ව පට්ට ගැසුවේ ඔහුගේ ව්‍යංගය පවා වටහා ගත නොහැකිවය.

යම්තම වසර  තුනක් ගත වී තිබේ . ආශ්චර්යමත් ලංකාවේ ජනී ජනයා දැන් මියන්මාරය බලා නැව් නැගීමට පටන් ගෙන තිබේ.

මුලින්ම වැඩේ පටන් ගෙන ඇත්තේ ලංකාවේ වාහන ආනයන කරුවන්ය. වාහන වලට පනවා ඇති අධික බදු නිසා තම වෙලඳාම කඩා වැටී ඇති නිසා නව වෙලඳපොලවල් සොයා යාමට මෙසේ වෙලෙන්දෝ පෙලඹ සිටිති.

තමන්ගේ නාස්තිකාර වියදම් සඳහා මුදල් සොයා ගැනීම සඳහා වත්මන් පාලක රෙජිමය වාහන වලට පමණක් නොව  කුඩා දරුවාගේ කිරිපිටිපැකට්‍ටුවේ සිට අත්‍යවශ්‍ය ආහාර දක්වා වන සෑම දෙයකටම  පොදු ජනයාට දරා ගත නොහැකි අහස උසට බදු ගසමින් සිටියි.

එසේ බදු අය කර සොයා ගන්නා මුදලින් ජාතියේ ලොකු හා පොඩි පුතුන් හින්දි නිලියන් ගෙන්වමින් හා මාර්ග වසමින්  පිස්සු කෙලිද්දී  රටේ පොදු ජනයාට වේලක් ඇර වේලක්වත් කෑමට නම් මියන්මාරයට හෝ අඩු තරමෙන් මාල දිවයිනටවත් නැව් නැගීමට නම් නොදුරේ දී සිදු වනු නො අනුමානය.

Friday, October 19, 2012

බන්ඩුලගේ ගුන්ඩු


ඇමති ගුන්ඩුල බණවර්ධන හිටපු ටියුෂන් කාරයෙකි. එතුමා දේශපාලනෙට ආවෙත් ටියුෂන් වලට පිං සිද්ද වෙන්ටය.

 කුජිනෝල්ඩ් රෙරේ, ග්‍රෙහාන් ලාල් මෝරෝ, ඒ විදියට ටියුෂන් වලින් දේශපාලනේට ආපු උදවියය.   අපේ සක්විති රනසිංහ තුමාත් තව ටික කාලයක් හිටියානම් දේශපාලනේට එනවා නිසැකය.

ගුන්ඩුල බනවර්දන ඇමති තුමා චිරාත් කාලයක් ටියුෂන් කොරපු නිසා ටියුෂන් මාස්ටර් ලාගේ සෙල්ලම් ගැන එතුමා අත් දැකීමෙන්ම දන්නවාය.  ඒක නිසා එතුමා එක්ක පරණ සෙල්ලම් දාන්ට බැරිය.

විබාග වලට සතියක කාලයක් ඇතුලේ සාකච්ඡා , සම්මන්ත්‍රණ ආදිය තියන එක එතුමා  තහනම් කලේ ඒ නිසාය. විභාග ප්‍රශ්න පත්‍ර  කලින් පිට වුනත් මාස්ටර්ලා ලමයින්ට ඒවා කියලා දෙන්නේ ඒ අන්තිම  කාලයේ බව එතුමා හොඳින්ම දන්නවාය. ඒ අත් දැකීමෙන් වෙන්ට ඕනෑය.

ඔන්න දැන් එතුමා වඩේ වැඩේ දුන්නේය. ප්‍රශ්න පත්‍ර පිට වුනත් ලමයින්ට කියලා දෙන්ට බැරිය.ඇයි අන්තිම සතියේ සම්මන්ත්‍රණ කරන එක තහනම් කරලා නොව. දැන් ඉතින් දාහ දෙදාහ ඉන්න ටියුෂන් ක්ලාස් වලට යන හිඟන පැටවුන් විබාග වංචා කොරලා හමාරය. (ගෙවල්වලට ගුරුවරු ගෙන්න ගෙන ඉගෙන ගන්න සල්ලි කාර උන් එහෙම කුජීත වැඩ කරන්නේ නැත. අනික කොලත් මොකද?)

පහු ගිය සිස්සත්ත විබාගේ ප්‍රශ්න පත්‍රය කලින් පිට උනා කියලා ගුරු සංගම් කියන කොට ඒක එහෙම උනේ නැතිය කියලා ගුන්ඩුල බනවර්දන ඇමති තුමා අමුඩේ මල පහ වෙන කම් කෑ ගැහුවේය. එහෙම චෝදනා කරපු ගුරු සංගම් කාරයෝ අල්ලා හිරේ දානවා කියලත් කීවෝය. මේ විදියට විබාග වලට චෝදනා කරන්නේ විබාග දෙපාර්තමේන්තුව ගැන අප්‍රසාදයක් ඇති කරන්ටය, ඒක ලංකාවේ අධ්‍යාපනයට විරුද්ද කුමන්ත්‍රනයක් ය ආදි වශයෙන් එතුමා බඩ යනකම් කෑ ගැහුවෝය.

එහෙනම් දැන් මේ විදියට අලුතින් නීති රීති දාන්නේ අම්මගේ රෙද්දට දැයි එතුමාගෙන් අහන්ට එතුමා හිරේ දාපු ගුරු සංගම් කාරයෙක් වත්  නැත්දැයි අපි බලාන ඉන්නෙමු.


Wednesday, October 17, 2012

බුදු අම්මෝ අපි නැ‍තෝ



දකුණු ඉන්දියාවේ ඉදි කරන න්‍යෂ්ඨික බලාගාර වලින් ලංකාවට බල පෑමක් එල්ල වෙන්නේ නැති  බවට  අපට ඉස්තීර වසයෙන්ම දැන ගන්නට ලැබී තිබේ. ඒ අනුව එම න්‍යෂ්ඨික බලා ගාරයක අනතුරක් සිදු වුනත් ලංකාවට  විකිරණ කාන්දු වන්නේ නැත.
 
අප ඒ පිලිබඳව මේ තරම් විස්වාසයකින් යුතුව කියන්නේ ඊයේ අපට අසන්නට ලැබුණ එක්තරා කාරණයක් නිසාය.
 
විදුලිබල ඇමති චම්පික රණවක මැතිතුමා ඊයේ (15 දා ) එතුමාගේ අමාත්‍යාංශයේ පැවති පුවත් සාකච්චාවකදී ස්ථීරවම කියා සිටියේ දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර වලින් ලංකාවට කිසිම් අබල පෑමක් නැති බවයි. එතුමා හත් අතේ දිවුරමින් මේ බව පවසා තිබේ.
 
අපේ චම්පික ඇමති තුමා එහෙම කියනවානම් තවත් මොන කතාද?
 
බලපෑමක් නෑ කිව්වොත් නෑ තමා ඉතින්.
 
මතකනේ, පහුගිය දවස් වල එතුමා පොලවේ හැපි හැපි කිව්වා මොන තරම් නියඟයක් ආවත් විදුලිය කපන්නේ නැත කියලා. බලන්න පොලව කරුකුට්ටම් වෙන්න පෑයුවත් විදුලිය කැපුවේ නැහැනේ.ශෝක් ඇමතිතුමා නේද?
 
ඒ වගෙම එතුමා කිව්වා විදුලි බල මණ්ඩලේ කොච්චර පාඩුවට දිව්වත් පොදු ජනයාගේ පිට ඒ බර පටවන්නේ නැතිය කියලා. කිව්වා වගේම කරා ,හොඳා, නැත්ද?
 
ඒ නිසා අපේ රටේ ජහ මනයා මහජනයා ඔය දකුණු ඉන්දියාවේ හදන න්‍යෂ්ඨික බලාගාර ගැන කිසි බයක් ඇති කර ගන්ට ඕනෑ නැත.
 
සටහන- හැබැයි ඉතින් විනෝදෙට වගේ ගෙදර යට කොන්ක්‍රීට් වලින් පොඩි බංකරයක් හදා ගෙන , ගෙදර  වහල දොර ඊයම් තහඩු වලින් ආවරණය කර ගෙන මාස දෙක තුනකට කෑම බීම ලෑස්ති කර ගෙන හිටියට කමක් නැහැ. බයකට නොවේ , විනෝදෙට හොඳේ. චම්පක මැතිතුමා කිව්වොත් කිව්වනේ. හිහ් .

Monday, October 15, 2012

ලංකා තලේබාන්


මෙතුවක් කල් තලේබාන් ලා හිටියේ ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය වගේ මුස්ලිම් රටවල පමණි.. දැන් ලංකාවෙත් තලේබාන් සංවිධානයක් බිහි වී තිබේ. එහි  නම බොදු බල සේනාව ය. ඔරිජිනල් තලේබාන් ලා සේම මේ තලේබාන් ලා ටත් තමන්ගේ ආගම හැර වෙන ආගම් නයාට අඳු කොල බඳුය.

එපමණක් නොවේ. බුද්ධාගමේ නිල ආරක්ෂකයා හා ප්‍රකාශකයා විදියට තමන්වම පත් කරගෙන සිටින මේ  ලංකා තලේබාන් ලා දැන් බෞද්ධයින්ට බුද්ධාගම අදහන්න හැටිද කියා දීමට පටන් ගෙන තිබේ. දැන් බුද්ධාගම අදහන්නට සිදු වී ඇත්තේ  ගලගොඩ අත්තේ කියන විදියටය. අනම් මනම් වලට ආවෝත් සුම්මා තමාය.

පිටිදුවේ සිරිධම්මට වගේම තමන් බුදු වී ඇතැයි කියන ගාල්ලේ  සිරිවර්ධනටත් මේ ආගමික පොලිසීයේ හිරිහැර විඳින්නට සිදු වුනේ වැඩි ඈතක නොවේ.

 බෞද්ධයින් වෙනත් ආගම්වලට හරවනවා යැයි කියමින් චෝදනා කර අල්ලා ගත් පිරිසක් මේ තලේබාන් බල සේනාව විසින් ශ්‍රී ලංකා පොලිසියට භාර දුන් පුවත අද දින පුවත්පත් වල පල වී තිබුනි.

යමෙක් ආගමකට අපහාස කරන්නෙ නම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් කරන්නේ නම් ඒ ගැන නීති මගින් කටයුතු කල යුතු ආකාරයක් තිබේ.

එසේ නැතිව නීතිය තම අතට ගෙන මෙසේ ක්‍රියා කරන්නට ඊනියා බොදු බල සේනාවට බලයක් ලැබුනේ කෙසේද? ඔවුන් බුද්ධාගමේ ආගමික පොලිසීය වශයෙන් පත් කලේ කවුද?  කවදා සිටද?

අද මෙසේ වෙනත් ආගම් වලට හා බුද්ධාගමේ ම වෙනත් ඇදහිලි කරුවන්ට පහර දෙන මේ බෞද්ධ තලේබාන් ලා අනාගතයේ දී සැබෑ තලේබාන්ලා මෙන් මිනිසුන්ගේ නිදහසට බාධා කරන ක්‍රියා වලට නොපෙලඹෙතැයි සහතිකයක්  ඔවුන්ගේ මේ උමතු ආගම්වාදි ක්‍රියාවලට උඩගෙඩි දෙන ජනමාධ්‍ය  වලට දිය හැකිද?

පන්සල් නොයන අයට දඬුවම් කරන්නට, පන්සිල් අනිවාර්ය කරන්නට, ඇඳුම් පැලඳුම් ගැන නීති හදන්නට ඔවුන් අනාගතයේ දී ක්‍රියා නොකරනු ඇත්ද?

ඒ ආකරයේ මූලධර්මවාදයකට ලංකාව පත් කිරීමට පෙර මේ තලේබාන්  ක්‍රියා වල අනතුර හෙලිදරව් කිරීම සිහි බුද්ධියක් ඇති  සියලු දෙනාගේ වගකීමකි.

සටහන- බුද්ධාගම හෝ වෙනත් ආගම් ගැන අපේ උනන්දුවක් නැත. එහෙත් කැමති කෙනෙකුට තමන් කැමැති ආගමක් තමන් කැමති පරිදි ඇදහීමේ නිදහස තිබිය යුතු යැයි අප විශ්වාස කරමු.

Saturday, October 13, 2012

හොරිකඩ පන්දන් මූදට දක්කන්- පා ගේ පුංචි මොලේ


ඉස්සර කාලේ අප්‍රිකාවේ,දකුණු ඇමෙරිකාවෙ , කැලෑ වල හිටි නොදියුණු ගෝත්‍රිකයෝ කෑවේ මිනී මස්ය. උන් තමන්ගේ ගෝත්‍රයෙන් පිට මිනිහෙක්  අහු වුනොත් හෙම ඌ අරගෙන ගිහින් මරලා පුච්චලා හරි අමුවෙන් හරි කනවාය. කාලා මදිවට ඒ මිනිහාගේ ඇට කෑල්ලක් බෙල්ලේ හරි ඉණේ හරි එල්ල ගන්නවාය.

මේ විදියට අප්‍රිකාවේ හිටි එක ගෝත්‍රයක් පස්සෙ කාලෙක කැලෑ එලි වෙලා  උන්හිටි තැන් නැති වුනාම නොයෙක්  රටවල් වලට පැන ගොහින්  වෙස් වලාගෙන හිටියෝය.

එහෙම කට්ටියක් ලංකාවටත් ඇවිත් වෙස්වලාගෙන හොඳට ඉගෙන ගෙන විශ්වවිද්‍යාලවලටත් ගොහින් වෛද්‍ය  උපාධිත් ලබා ගත්තේය. ඊට පස්සේ ඒ ගෝත්‍රික කට්ටිය ඔක්කොම එක්කාසු වෙලා වෘත්තීය සංගමයකට බැඳුනේය.  ඒකේ නම රජයේ වෛද්‍ය නිලධාරි සංගමේය.

දැන් එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනෑ රජයේ වෛද්‍ය නිලධාරි සංගමේ දැන් ඉන්න නිලධාරි ටික අර මං කිව්ව අප්‍රිකානු ගෝත්‍රිකයෝ කියලා.

එයාලා  වෘත්තීය සංගම් කාරයෝ  උනාට හැබෑ අරමුණ පුලුපුලුවන් වෙලාවට තමන්ගේ ගෝත්‍රයෙන් පිට මිනිස්සු අල්ලගෙන මරලා කන එකය.

මේ ගොල්ලෝ මෙච්චර කල් වැඩිපුර කෑවේ තමන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කට්ටියමය. නර්ස් නෝනලා , එම්.එල්.ටී ලා සුළු සේවකයෝ වගේ කට්ටියය. එයලා තමන්ගේ වෘත්තීය සමිති වලින් සටන් කරලා මොක හරි දිනා ගත්තොත් ඒකට අකුල් හෙලන එක මෙයාලගේ ජන්ම පුරුද්දක්ය.

මෙයාලා කියන්නේ තම ක්ෂේත්‍රයේ පහලම ඉන්න කෙනාට වැඩිය 12 ගුණයක පඩියක් තමන්ට ඕනෑ කියලාය.

මේ ගෝත්‍රිකයෝ කට්ටිය ගණන් බලන්නේ අවම වැ‍ටුප රුපියල් 10,000 කියලාය. එතකොට උපරිම වැ‍ටුප 120,000 ක්ය.ආණ්ඩුවේ නිලධාරින්ට සාමාන්‍යයෙන් ගෙවන උපරිම වැ‍ටුප් දිහා බැලුවම මීට වඩා උපරිම වැ‍ටුපක් ලැබෙන්නට ඇති ඉඩ අඩුය. ඒ නිසා ම ගොල්ලෝ නොකියා  කියන්නේ තමන්ගේ වැ‍ටුප 120,000 දක්වා වැඩි කරලා පහල මට්ටමේ සේවකයින්ට 10,000 හිඟන පඩියක් විතරක් දුන්නම ඇති කියලාය.

කෙටියෙන් කිව්වොත් මෙයාල මේ හදන්නේ ආණ්ඩුවට උදව්වක් විදියට පහල මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්ට එපා කියන එකය.

මෙයාල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය විතරක් නොවේ කන්ට ගන්නේ . ඊයේ පෙරේදා මෙයාල තමන්ගේ වල්,  වනචාරි , ම්ලේච්ච  දීන ,ආන්ඩු ගැති ගතිය පෙන්නමින් විශ්ව විද්‍යාල ආචාර්ය සටනත් විරුද්ධ වුනේය.

මේ දවස් වල ඩීල් පා...නිය ලංකාවේ නැති හින්දා සටනට එවා තිවුනේ  හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂටත් චරිත සහතික දෙන්ට ආපු න.ර.  වනචාරි ගෝත්‍රිකයාමය.

මේ ගොත්‍රිකයා කිසි හිරිකිතක් නැතිව කිව්වා ආචාර්යවරුන්ට පඩි වැඩි කරනවාට අපි විරුද්ධය, එයලාට වැඩි කලොත් අපිටත්  වැඩි කරන්ට ඕනෑය. ආචාර්යවරු විශේෂ කට්ටිඅයක් විදියට සලකන්න එපාය. ලංකාවේ ඉන්න සුවිශේෂම කට්ටිය අපිය ආදි වශයෙනි.

මේ උන්නැහෙලා ආයෙත් සැරයක් කොලේ  අර පරණ හොරිකඩ වැඩේමයි. ආචාර්ය සටනට ගහන්න ආණ්ඩුවට ආයුධ දීපු එක.

මෙච්චර හොරිකඩකම් කරන්න මොකද්ද ආණ්ඩුවත් එක්ක ඩීල් පා....නිය  දාගත්තු ඩීල් එක කියලා හොයලා බැලුවම හොරේ අහු වුනා.

රාජකාරි වෙලාවෙත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න මෙයාලා  ආණ්ඩුවෙන් අවසර  ඉල්ලලා. සෞඛ්‍ය  ඇමතිගෙන්වත් , සෞඛ්‍ය ලේකම්ගෙන්වත් නෙවේ, ජනාධිපතිගෙනුයි , මල්ලිගෙනුයි. 
මෙන්න ඩීල් එක.

අපිට රාජකාරි වෙලාවේත් පුද්ගලික සේවයේ යෙදෙන්න අවසර දෙනවා නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන එකට තියෙන අපේ සාමාජිකයන්ගේ විරෝධෙ අයින් කරලා දෙන්නම්. ඒ විතරක් නොවේ මීට පස්සේ ඕනෑම වෘත්තිය සමිති සටනකට විරුද්ධව හොරිකඩ කම් කරන්නම්.

හොඳයි නේද පා.. ගේ මොලේ.



Friday, October 12, 2012

මංජුලට දඬුවම් කලේ ආයතන සංග්‍රහය අනුව


අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දුන් හේතුව ඊයේ හෙලිවිය. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ ගැන හෙලි කලේ කෙහෙලිය රමුක්වැල්ල මහතාය.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ප්‍රකාශ නිකුත් කිරීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම කළ නොහැකි නමුත් හෙතෙම රාජකාරිය ඉක්‌මවා කටයුතු කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති  රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

මේ අනුව පෙනී යන්නේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයා කර ඇති ඉහත වරදට දඬුවම් ලෙස ඔහුට පහර දී ඇති බවයි.  

සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් මෙවන් වරදක් කල විට ගත යුතු පියවර ආයතන සංග්‍රහයේ සඳහන් වන අතර , මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම කළ විට දිය යුතු දඬුවම ලෙස  මුහුණ කට තලා පොඩි කර  දැමීම ලෙස ඉතා මෑතදී සංශෝධනය කර ඇත.

සටහන- මින් පසු සියලු රජයේ සේවකයින් මාධ්‍යවලට තොරතුරු ලබා දීමේ දී ඉතා ප්‍රවේශම් විය යුතුය.

Wednesday, October 10, 2012

විපස්සක දෙවියන්ගේ පොහොර


(තමන්ගේ කුඹුරේ කෙමක් කිරීමට යන ගෙවිලියක්)
 


අපේ නලින් සිල්වා මැති තුමාට දෙවියන් මාර සපෝර්ට් දෙන්නේය. මීට කලින් ආසනික් කේස් එක වෙලාවේ නාථ දෙවියන් ඇවිත් ෆුල් බැක් අප් එකක් දුන්නේය. ඒ සපෝර්ට් එක නිසා රජ රට වකුගඩු කන ආසනික් යකා  හොයා ගන්නට ඇහැක් විය.

නාථ දෙවියන් නොහිටින්ට එක  රජරට ගොවියකුගේවත් වකුගඩුවක් ඉතුරු වෙන්නේ නැත. දැන් කැළණිය විස්ස විද්දියාලේ විද්‍යා පීඨෙත් ,රජරට විස්ස විද්‍යාලේ වෛද්‍ය පීඨෙත් නාථ දේවාල දෙකක් හදා වකුගඩු රෝගෙට බෙහෙත් ගජරාමෙට කරගෙන යනවාය. අනුරාධපුර පැත්තේ ඉස්පිටිතාල ඔක්කොම වසා දමලාය. දේවාලෙන් ලෙඩ හොඳ කොරන කොට ඉස්පිටිතාල මොකටද කියා බම්බු ඇමති තුමා ඒවා වසා දැම්ම අතර ඒවායේ නාථ දේවාල හැදීමට මර්වින් තුමාට භාර දී තිබේය.

නාථ දෙවියන්  විතරක් නොව විපස්සක දෙවියනුත් අපේ නලින් තුමාට උදව් කරනවාය.ආසනික් පොලවට එකතු වෙන්නේ පොහොර හා කෘෂි  රසායනික නිසා බව නාත දෙවියන්ට පෙනුනත් , ඒ වෙනුවට මොනවා යොදා ගන්නදැයි එතුමා දැන හිටියේ නැත. ඒ නිසා නාත දෙවි තුමා ඒ වැඩේ ගැන පරීක්ෂණ කොරන්නට භාර දුන්නේ විපස්සක දෙවියන්ටය. ( නලින් තුමා චන්න ජයසුමනට වැඩේ භාර දුන්නා වගේය.)

විපස්සක දෙවියනුත් පරීක්ෂණ කරලා පොහොර හා කෘෂි රසායනික වලට විකල්පයක් හොයාගත්තේය. හැබැයි හොයා ගෙන , තමන්ට වැඩේ පවරපු නාථ දෙවියන්ට දැනුම් දුන්නේ නැත. ඒ වෙනුවට කෙලින්ම තමන්ගේ නමට පේටන්ට් එක ගත්තේය. දැන් ඒ නිසා ඒ පොහොර හඳුන්වන්නේ විපස්සක පොහොර කියාය.  මේ ගැන ලෝකෙට හෙලි කරන්ට වැඩේ භාර ගත්තේ අපේ නලින් සිල්වා තුමාය.

එතුමාට අනුව රසායනික හා කාබනික පොහොර දෙකම බටහිරයන්ගේ අදහස්ය. ඒ නිසා ඒවා හොඳ නැත.  ඒවා වෙනුවට විපස්සක පොහොර භාවිතා කරන්නට පුලුවන්ය.

විපස්සක පොහොර ගැන නලින් තුමා පහු ගියදා තිබුනු දෙරණ 360 වැඩසටහනේ දී හෙලි කලේ මෙසේය.

"අරකෙන් ටිකක් දානවා, මේකෙන් ටිකක් දානවා, කෙමක් කරනවා , පිරිත් ටිකක් කියනවා"

සටහන- එක්කෝ මූට පිස්සුය. නැත්නම් මේවා අහන බලන අපට පිස්සුය.

Monday, October 8, 2012

මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට -2013 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අනුමාන ප්‍රශ්නයක්



අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට මැර පිරිසක් විසින්  පහර දී තිබේ.

එම පහර දීම

1. ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම  යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක්.

2. ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහර දීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බවට පෙන්වීමට ආණ්ඩුවේ හතුරන් කළ වැඩක්.
.
3.ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බව පෙන්වීමට තම හතුරන්  පහර දුන් බව  කීමට හැකි වේ යැයි සිතා ආණ්ඩුව කල වැඩක්.

4.ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බව පෙන්වීමට තම හතුරන්  පහර දුන් බව  කීමට හැකි වේ යැයි සිතා ආණ්ඩුව කල වැඩ ක් බව පෙන්වීමට ආණ්ඩුවේ හතුරන් කල වැඩකි...

5.ටී-20 ක්‍රිකට් ලෝක කුසලාන ලංකාව දිනනු ඇතැයි සිතා එම උණුසුමෙන් පහරදීම යටපත් කරනු හැකි වේ යැයි සිතා ආණ්ඩුව කළ එකක් බව පෙන්වීමට තම හතුරන්  පහර දුන් බව  කීමට හැකි වේ යැයි සිතා ආණ්ඩුව කල වැඩ ක් බව පෙන්වීමට ආණ්ඩුවේ හතුරන් කල වැඩක් බව පෙන්වීමට ආණ්ඩුව කල වැඩකි...

6.................

7....................

8..................

9......................

10.ඒ මහතා නාන කාමරයේ වැටී සිදු වූ අනතුරක් මිස පහර දීමක් සිදු වී නැත.

Sunday, October 7, 2012

දිවිනැගුමද දිවිනැසුමද?


1987 දී දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පලාත්  සභා  ගෙන ආවේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස  දෙමල ජනයාට යම් තරමකට හෝ ස්වයං පාලනයක් දෙන්නටය. එසේ බිහි වූ පලාත් සභා දිවයිනේ අනෙක් සෑම පලාතකටම දුන්නත් දෙමල ජනයා වෙසෙන උතුරු පලාතේ තවම පලාත් සභාවක් පිහි‍ටුවා නැත.

සමෘද්ධි බැංකු වල තැන්පත්ව ඇති සමෘද්ධීලාභින්ගේ අනිවාර්ය ඉතුරුම් කෝටි 9000 කට අධික මුදල ඉතා  රහස්‍ය ලෙස  පාරිභෝජනය කිරීම සඳහා ගෙන එන දිවි නැසුම නැගුම පනත පලාත් සභා සියල්ලම සම්මත කල යුතු යැයි නීතියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කල පසු දැනට පිහි‍ටුවා ඇති  පලාත් සියල්ල වැඩි චන්දයෙන් එම පනත සම්මත කර දී ඇත.

තමන් සතුව තිබු බලයක් මෙසේ වැඩි චන්දයෙන් මහ ආණ්ඩුවට පවරා දීම පලාත් සභා පැත්තෙන් ගත් කල සිය දිවි නැසුමක් ම වේ. ආණ්ඩුව නැගෙනහිර පලාත් සභාවේ බලය වෙනුවෙන් මාරන්තික සටනක නියලුනේ මන්දැයි දැන් හොඳින්ම පැහැදිලිය.

දැන් ආණ්ඩුවේ සිටින ඊනියා වාමංශිකයන් ඇතුලු සියලු දෙනාට පලාත් සභා පිහිටවූ අරමුණ අමතකය. බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරු මැද,ඌව හා නැගෙනහිර පලාත් සභා වලින් දිවිනැසුම නැගුම පනත සම්මත වූ නිසාත් උතුර පලාත් සභාව තවමත් පිහිටවා නැති නිසාත් එම පනත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත හැකි යැයි ආණ්ඩුවේ න්‍යාචාර්යයන් සිතයි.

උතුරේ දෙමල ජනයාගේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙන ආ 13 වැනි ව්‍යවස්තාවෙන් පලාත්සභාවලට පැවරූ බලතල සියලු පලාත් සබාවලින් විමසා මිස මධ්‍යම රජයට නොගත යුතු යැයි අධිකරණ කියද්දීත්  උතුර පලාත් සභාව සඳහා ආණ්ඩුවෙන්ම ආණ්ඩුකාරයා ලෙස  පත් කල හමුදා නිලධාරියාගේ අනුමැතිය ඒ සඳහා ප්‍රමාණවත් ආණ්ඩුව කියන්නේ නම්   ව්‍යවස්ථාව  කෙසේ වෙතත් අවම සදාචාරයවත් ඔවුන් නොසලකන බව නැවත වතාවක්  ඉතා පැහැදිලි ය.

තමන්ගේ පාත්‍රයට කඩා වැදුනු සෙනසුරා වෙනුවෙන් හිඟන්නන් ජය ගෝෂා නගයි නම් අප කුමක් කරන්නද?

Friday, October 5, 2012

හෙල උරුමය බටහිර පිල්ලියක් - නලින් ද සිල්වා හෙලි කරයි



මේ දිනවල විශ්ව විද්‍යාල ආචාර්ය සමිතිය විසින් ගෙන යනු සටන සහය දෙන සියල්ලන්ම බටහිර  ඩොලර් වලට නටන ඩොලර් කාක්කන් බව ඊයේ එම සංගමයේ සභාපති සමග රූපවාහිනි විවාදයකට එක් වෙමින් ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවසීය.

මෙහිදී නම් ගම් ඇතිවම කතා කල  ද සිල්වා මහතා ලංකා සමසමාජ පක්ෂය මෙන්ම ජාතික හෙල උරුමයද සිංහල සංස්කෘතියට එරෙහි විජාතික බලවේග බව පැවසීය.

ලංකා සමසමාජය සමග තමන් එක ගොඩට දැමීම ගැන හෙල උරුමයේ දේශප්‍රේමින්ට දැනෙන්නේ කෙසේ දැයි දැන ගැනීමට අපි පුලපුලා බලා සිටිමු.

සිංහල බෞද්ධ සංස්කෘතියේ එකම ආරක්ෂකයින් වශයෙන් පෙනී සිටින ජාතික හෙල උරුමයේ නායක කාරකාදින් වන චම්පක රණවක හා  අතුරලියේ රතන දේශප්‍රේමිනි, මෙය ඔබේ අවධානයටයි.

සටහන-1 ජාතික හෙල උරුමයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වන කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා මේ දින වල විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය විසින් ගෙන යනු ලබන වෘත්තීය සටනේ ප්‍රමුඛ සටන් කරුවෙකි.  මෙම වර්ජනය ඇරඹීමටත් කලකට පෙර සිටම ඔහු අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විශාල හඬක් නැගුවෙකි.

සටහන-2 ලිපියේ අවසාන වාක්‍ය සඳහා සාදර අනුග්‍රහය සිරස නිව්ස් ෆර්ස්ට් .

Thursday, October 4, 2012

එස්.බී පන්නමු හා වෙනත් එවැනි කථා


එස්.බී පන්නමු යන්න අද රට තුල ඉතාම ජනප්‍රිය සටන් පාඨයකි. මේ දිනවල සමහරුන් පෙන්වීමට  හා සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටලු සියල්ලට මුල එස්. බී දිසානායක ඇමතිවරයා හා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බවයි. මේ මතය ඉදිරියට ‍රැගෙන යනවුන් අතර විමල් වීරවංශ හා ඔහුගේ ජාතිවාදි නඩයත්,ජාතික පුවත් පත් යැයි හඳුන්වාගන්නා දිවයින ,රිවිර හා සමහර විද්‍යුත් මාධ්‍යත්  ප්‍රමුඛ වේ.

මොවුන් සියලු දෙනාම වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ කොන්දේසි විරහිත ආරක්ෂකයින්ය.
අද රජයේ සිටින එක ඇමතිවරයෙක්වත් රාජපක්ෂලාගේ අනුමැතියකින් තොරව  බරපතල  තීන්දු තීරණ කිසිවක් නොගන්නා බව ඉතාමත් පැහැදිලිය. මේ බව දැන දැන ම එස්.බී  පන්නමු බඳු සටන් පාඨ මතු  වන්නේ නියම වග උත්තරකරුවන් සැඟවීමටය. මෙම අර්බුද ඇතිවන නියම හේතු සැඟවීමටය.'

අද විශ්වවිද්‍යාල තුලත් පොදුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලත් මතු වී තිබෙන අර්බුදය එස්.බී ගෙ ප්‍රශ්නයක් නොව වත්මන්  ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි අධ්‍යාපන වියදම් ක්‍රමිකව කප්පාදු කිරීම නිසා වූවක් බව සැඟවීම ඔවුන්ගේ අරමුණයි. එය විශේෂයෙන්ම තමන් මහා ‍රැඩිකල් විප්ලවවාදින් යැයි කියමින් තම මෝඩ අනුගාමිකයෛන් රවටාගෙන සිටින  වීරවංශ වැන්නවුන්ගේ දේශපාලන පැවත්මට අත්‍යවශ්‍ය වේ.

එස්.බී ඇමතිවරයා අද තමන් ශ්‍රී ලංකාවේ සරසවි අධ්‍යාපනයේ ස්වාමියා වශයෙන් පෙන්වීමට උත්සාහ කලත් ඔහු මෙරට රාජ්‍ය සරසවි අධ්‍යාපනය වැනසීමට ආණ්ඩුවේ සැබෑ පාලකයින් විසින් යොදා ගනු ලබන රූකඩයක් පමණි.

මෙබඳු රූකඩ සිටීමේ විශේෂ වාසියක්ද රජයකට තිබේ. එනම් ප්‍රශ්නයක් ඔඩු දුවා දෑවන්ත මහජන විරෝධයක් පැන නැගුන විටෙක මෙවන් රූකඩ යක් පාවා දී සියලු වරද ඔහු පිට පැටවීමට හැකි වීමයි.

සරසවි ප්‍රශ්නය හෝ උසස් පෙල විභාග අර්බුදය නිසා රජය අපකීර්තියට ලක් වන විට එස්. බී හා බන්දුල ඇමතියන්ගේ ඇමතිකම් ඉවත් කර විරෝධය සමනය කර ගත හැක. එසේම කොමිස් සෙල්ලම් නිසා ඇතිවූ ඉන්ධන අර්බුද වලට වගකිව යුත්තා ලෙස සුසිල් ප්‍රේම් ජයන්ත ඉතා හොඳ බිලිබෝයි කෙනෙකි.
මොවුන්ගේ ඇමතිකම් ඉවත් කල විට සියලු ප්‍රශ්න විස‍ඳෙන බවට සිතීමට පුරුදු කල ජනතාවක් අද සිටින අතර එස්. බී ලා  දැන් දරන ඇමතිකම් වලින් ඉවත් කර වෙන ඇමතිකම් දුන්නත්  ඒ ගැන පවා කිසිවෙක් ප්‍රශ්න නොකරනු ඇත..


සටහන- මෙවැනිම තත්වයක්  1980 ගනන් වල අග කාලයේ ද ඇති විය. එකල තිබූ සියලු අර්බුද වලට වගකිවයුත්තා  ජනාධිපති ජේ ආර්. යැයි මතයක් සමාජ ගත වූ අතර එකල ඉතා ජනප්‍රිය සටන්පාඨයක් වූයේ  ජේ.ආර්. මරමු යන්නයි. කෙසේ වෙතත් පාලක පංතිය  ඉතාම කපටි ලෙස ජේ .ආර්. බලයෙන් ඉවත් කර ප්‍රේමදාස ඒ තැනට පත් කර ගත්තේය. ජේ ආර් මරමුයි කෑ ගසමින් උන් පිරිස් අන්ද මන්ද වී ගිය අතර ප්‍රේමදාස බලයට පැමිණ ජේ ආර් විරෝධීන්ගේ සියලු සටන් පාඨ සියතට ගෙන ඔවුන් සුනු විසුනු කර දැම්මේය.

Wednesday, October 3, 2012

Tuesday, October 2, 2012

පුහුල් හොරා කරෙන් දැනේ.



ගාල්ලේ විද්‍යාලෝක මහ විද්‍යාලයට රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් නීත්‍යානුකූලව පත් කරනලද සියලු සුදුසු කම් සහිත  විදුහල් පතිවරයාට එහි සිසුන් හා දෙමව්පියන් විසින් පහර දී ඔහුගේ මෝටර් රථයට ද බරපතල හානි කොට එලවා දමා තිබේ. ඔහු තම පාසලට පැමිණීම ගැන මෙම පිරිස් අකැමති බව කියවේ. මෙම සිදු වීම පිලිබඳව පාසලේ වැඩ බැලූ විදුහල් පතිවරයාගේ වැඩ තහනම් කර ඇත.

නිසැකවම  මෙම මැර ක්‍රියාව එහි වැඩ බැලූ විදුහල්පතිවරයාගේ අනු දැනුම ඇතිව වූවක් විය යුතුය.අලුතින් එන විදුහල්පති එලවා ගන්නට උවමනාව ඇත්තේ ඔහුටය. එසේ නැතිව සිසුන්ට හා දෙමව්පියන් ස්වේච්ඡාවෙන් එය කලා යැයි කීම සමාන වන්නේ තමන්ම ගස් බැඳගත් සමෘද්ධි නිලධාරියාගේ ක්‍රියාවට හා ජායික් හිල්ටන් හෝටලයේ තමන් විසින්ම ඔලුව තුවාල කරගත් මේජර්වරයාගේ ක්‍රියාවටය.

කෙසේ වෙතත් මෙවන් තකතීරු මෝඩ වැඩක් බලවතුන්ගේ ආරක්ෂාව නැතිව කරන්නට තරම් එම වැඩ බලන විදුහල්පතිවරයා මෝඩයෙක් විය නොහැක.

 වැඩ බලන විදුහල්පතිකම්  බොහෝ විට සැමවිටම ලැබෙනුයේ පලාතේ දේශපාලනඥයින්ගේ ඇම්බැට්ටයින්ටය. පස්ස හම යන තෙක් කඩේ ගොස් ලබා ගත් විදුහල්පතිකමට කෙලින්නට කවුරුන් හෝ එන විට වැ.බ. විදුහල්පතිට මෙන්ම , තම වැයික්කියේ ඇති ආයතනයක තමන්ට අඩංගු නැති එකේක් සිටීම දේශපාල-අඥානයින්ද කැමති නැත.

සටහන- මෙම සිදුවීම ගැන නි.කථානායක ච.වීරක්කොඩි මැතිතුමා පැවසුවේ විදුහල්පතිවරුන් පත් කරන්නට අවශ්‍ය පාසල් ඕනෑ තරම් තිබියදී මෙසේ හොඳින් වැඩ කරගෙන යන පාසල් වලට අලුත් විදුහල්පත්වරුන් ඒවායේ  වැඩ අවුල් කරන්නේ මෝඩ නිලධාරින් හා කොමිසම් සභා බවයි. ඔවුන්ට දඬුවම් කල යුතු බවත් ඔහු කීවේය.
-

Monday, October 1, 2012

නාට්ටිය කෑලි-අංක 1 . විස්සවිජ්ජාල ආචාර්යවරුන්ට විරුද්දව ලෙමන් පෆ් සටන අරඹයි


- ඒයි විමලේ මෙහෙ වරෙන්

- ඇ..ඇයි සර්

-මෙහෙ වර මෙහෙ වර.‍තෝ කොහෙද මෙච්චර දවසක් හැංගිලා හිටියේ.

- කොහෙවත් නැහැ සර්ර

-නැත්නම් ඇයි උඹ මෙච්චර දවසක් අර විස්ස් විජ්ජාල කාරයන්ගේ හුට පටේ ගැන වචනයකත් කිව්වේ නැත්තේ?

- කිව්වා සර්ර

- පල ඩෝ බොරු කියන්නේ නැතිව, කිව්වා ලබ්බ

-නෑ සර්ර්, මම අපේ තට්ට විජයා, ගූ දාස සරමසේකර ලොක්කා වගේ ඈයෝ ලව්වා කියෙව්වා

-හුක්, කියෙව්වා,ඇයි උඹට ඉස්සරහට ඇවිත් කියන්න බයද?

- බය නෑ සර්ර, ඒ වුනාට මම අර ජෙප්පෝ එක්ක ඉන්න කාලේ කෑගැහුවේ අද ඔය විස්ස විජ්ජාල කාරයෝ කියන කතා කියලානේ.. ඉතින් නිකම් ලජ්ජයි ලජ්ජයි වගේ..හ්හික්,හික්

- අනේ පල යන්න ,තොගේ ලජ්ජාව, ‍තෝ මෙච්චර දවසක් කරේම ලජ්ජාව තියෙන වැඩනේ.

-හික් හික් සර්රුත් කියන කතා

- දැන් මෙතැන හිකි හිකි ගාන්නේ නැතිව පලයන් ගිහින් අදම ඔය විස්ස විජ්ජාල කාරයින්ට විරුද්දව කතා කරපන්...

-හරි සර්ර් මේ යනවා

- ඒයි ඔහොම හිටපන් කලුවා මාරපන් ගියා වගේ යන්නේ නැතිව.
.
- ඇයි සර්ර්

-ඇත්ත කියපන්, උඹ හැංගිලා හිටියේ අර තිරිකුනාමලේ පිස්සු හුටන්ට ඇමති කමක් දුන්නේ නෑ කියලා නේද,

-අනේ නෑ සර් ඔය එක එකාට ඇමතිකම් අරන් දෙන්න මට පිස්සුයැ? මම මේ මගේ එක ආරක්ෂා කර ගෙන ෂේප් එකේ ඉන්න හදන්නේ,,, හික්.හික්

 -හ්ම්ම් , පලයන් දැන් ගොහින් ටීවී එකේ , රේඩියෝ එකේ ‍රැස්වීම් වල අර විස්ස විජ්ජාල කාරයන්ව පතුරු ගහපන්..
-රයිට් සර්ර්, මේ ගියා
......................................
....................................

..................................
 -ආදරණීය අම්මේ ,තාත්තේ , සහෝදරයා සහෝදරිය, අද මේ දේශප්‍රේමි ආණ්ඩුවට විරුද්දව මහා කුමන්ත්‍රණයක් විදේශ බලවේග , ඩයස්පෝරාවත් එක්ක එකතු වෙලා ආරම්බ කරලා තියෙනවා...මුන් මේ නිදහස් ආද්දියාපනය , සීයට හය කිය කියා එන්නේ ඒ කුමන්ත්‍රනේ ප්‍රතිපලයක් විදියට, අපි ඒක හොඳින්ම දැන ගන්න ඕනේ අම්මේ තාත්තේ, මේ දේශරේමි ආන්ඩුවට එරෙහිව තියෙන බලවේග අපි හඳුනා ගන්න ඕනේ. පිරපාහරන් පරද්දපු එක ගැන අපේ රටත් එක්ක මාරන්තික වෛරයකින් ඉන්න , ඇමෙර්කාව, නෝර්වේ, එංගලන්තේ ,ජර්මනිය, ජපානේ, චීනේ.. සොරි සොරි චීනේ නෑ හොඳේ , චීනෙ හරි හොඳායි .. මුං ඔක්කොම එකතුවෙලා .. මේ ආචාර්ය සංගම් කාරයෝ පස්සේ අද ඉන්නේ ඔය විදේශ බලවේග, එන් ජී ඕ ඒජන්තයෝ, යූඑස් ඒ කාරයෝඅ, කේජීබී කාරයෝ,, ආයෙත් සොරි හොඳේ ,කේජීබී නැහැ හොඳේ.. මේ සකල අදිරාජ්‍යවාදි බලවේග, බලල් අත්, කුකුල් කකුල්, හරක් පීකුදු, හෝව්,...බලල් අත්, අම්මපා ඔව්ව්ව්
-

කුම්බලාවො කෑවානම් දුක විඳපන් බළලෝ


පසු ගිය පලාත් සභා චන්දයේදී පස්ස උඩ දාගෙන ගොස් ඊනියා ජනතා , දේශප්‍රේමී ,අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවට චන්දය දුන් අපේ රටේ දේශප්‍රේමි ජනතාවට ඔවුන්ගේ ආණ්ඩුව තෑගි පිට තෑගි එවමින් තිබේ.

චන්දය අවසන් වූ වහාම අර්තාපල් අල හා ටින් මාලු මිල වැඩි කලේ දේශීය ගොවියා හා ධීවරයා ආරක්ෂා කර ගැනීමට කියමින්ය.ටින් මාලු මිල වැඩි කිරීමෙන් ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු වෙන්නේ කෙසේදැයි ඔවුන් අපට කියන්නේ නැත.

දැන් ශ්‍රී ලංකාවේ ජනයාගේ දේශප්‍රේමි කමට ලැබී ඇති අලුත්ම තෑග්ග ජල බිල්පතයි. සීයට දෙසීයකින් පමණ ජල බිල්පත ඉහල දැම්මේ මොකා ආරක්ෂා කරන්නදැයි කියන්නට තවම එකෙක් වත් එලියට ආවේ නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශප්‍රේමි ලෙස උම්බෑ කියන ජනයාට කීමට දෙයක් අපට ඇත.

"කුම්බලාවො කෑවානම් දුක විඳපන් බළලෝ"

මක් නිසාද යත් මෙවැනි තෑගි ඉදිරි කාලයේ පෝලිමට එනු ඇති බැවිනි.

මූව නම් අනිවා මරන්න ඕන-Kill'em All

අන්තරේ කැඳවුම් කරු සංජීව බණ්ඩාර පසුගියදා පොලිස් අත් අඩංගුවට පත් විය. ඔහුගේ දේශපාලනය හා අප එකඟද නො එකඟද යන්න වෙනම ප්‍රශනයකි. එහෙත් ඔහුට තමන් හා තම ප්‍රජාව වෙනුවෙන් හඬ නැගීමට ඇති අයිතිය ගැන කිසිවෙකුටත් ප්‍රශ්නයක් තිබිය නොහැක.

පහතින් දැක්වෙන්නේ සංජීව බංඩාර අත් අඩංගුවට පත් පුවත විමල් වීරවංශ ඇමති වරයා විසින් පවත්වාගෙන යනු ලබන සීනිව්ස් වෙබ් අඩවියේ පල වූ විට එයට ලැබී තිබූ ප්‍රතිචාර වලින් සමහරකි.

මෙම වෙබ් අඩවියේ ප්‍රතිචාර වලින් බහුතරයක් ලියන්නේ එම අඩවිය කරන උන් විසින්ම බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන්ම ඔවුන්ගේ මතයට එරෙහි කොමෙන්‍ටු පල නොකරන තරම්ය. පල කලත් එක හෝ දෙකක් , පල නොකරම බැරි විටය.

ඒ අනුව මෙම කොමෙන්‍ටු වීරවංශලා ගේ නිල මත සේ සැලකිය හැක. ජවිපේ සිටිද්දී හා එයටත් ප්‍රථම ලක්බිම, හිරු වැනි පුවත් පත් වල සිටිද්දී අකුර වැනි කොලම් වලින් සිසු ප්‍රශ්න ගැන ලියූ වීරවංශලා අද අධ්‍යාපනය හා සිසු අයිතීන් ගැන දරන මතය මෙයින් මනාව පිළිබිඹු වේ.

 1.පලයන් බන් යන්න…කැම්පස් ගියා නම් ඉගෙන ගනින්…රටේ මිනිස්සුගෙ සල්ලි නාස්ති කරන්නෙ නැතුව…අනික හවසට වැඩ ඇරිල මහන්සි වෙලා එන මිනුස්සුන්ව ගෙදර යන්න දෙන්නෙ නැතුව පාරෙ රස්තියාදු කරන එවුන්ව හුරතල් කරන්නද කියන්නෙ

2.එස් බි නෙමේ මූව මරන්න කියලා කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වුන ළමයින්ගේ දෙමාපියෝ .මේ කාලකන්නි අලුගොසුවන්ව මොනවහරි කරලා විනාශ කරලා දුන්නොත් එස් බි ට ආත්ම ගානක් පින් සිද්ද වෙනවා.

3.මූව නම් අනිවා මරන්න ඕන

4.එවන්ඩ නම් එපා ඕකාව.

5.මුන් ට හොද වැ‍‍ඩේ.සිසුන් සස්පෙන්ඩ් වෙනකොට ආචර්ය වරු එස්.බීට ක‍ඩෙ ගියා,දැන් මුන් ඒ ආචර්වරු ට ක‍ඩෙයනකොට ආංඩුව මුන් ව හිරේ දානවා,ඔය ගොන් හරකව එලියට දාන්න නරකයි

6.උබලා මැරි මැරී ,,උපදින නිසා තමා මේ රට තවම 3 වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ,,අනේ පිංසිදුවෙයි තොපි මැරිලා ,,පලයව්කෝ වෙන කොහේහරි අපිවම කන්න මේකටම එන්නේ,,නැතුව

7.ප්‍රේමදාස මහත්තය හිටියනම් මූව ටයර් එකකට දාල මෙලහකටත් ගිණි තියල. කෝ මුන්ව ඉවර කරල දාන්නවත් මේ මහින්දට කොන්දක් නෑනෙ

8.කාලකන්නි තමා නිදහස් අද්‍යාපනය කන්නේ කෝ මේකත් එක්ක ඉන්න අනිකා උදුල් පේමරත්න,,හොද වෙලාවට ආර් ,ප්‍රේමදාස මහතා නැත්තේ නැත්නම් පරන ටයර් එකෙන් ගේම සෙට්

මිල මුදල් ,තනතුරු හමුවේ මිනිසුන් කොතරම් ඉක්මණට ජරාජීර්ණ වෙන්නේද යන්නට මීටත් වඩා උදාහරණ අවශ්‍යද?

පිං මද පුතුන්- A Tale of Two Sons

අයුතු ජන රාශිය , පොලෝසියට පහර දීම ඇතුලු චෝදනා කිහිපයක් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සිරි ලංකා පොලෝසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිරි ලංකා පොලොස්සිය යනු එසේ මෙසේ පොලෝසියක් නොව , හමුදා නිලධාරියෙකුට පහර දුන්නා යැයි චෝදනා ලැබ සිටි( අතීත කාලයෙන් ලියා ඇති බව සලකන්න) ඩොක්ටර් ගැමුණු ඇමතිගේ අතිජාත පුත්‍රයා දකින විට බිත්තර ක‍ටු අස්සේ සැඟවී අපි නම් මාලක දැක්කේ නැහැ, යනාදි වශයෙන් කියූ පොලෝසීයමය.
ඇමති පුතුන්ට එහෙමය. සංජීවලාට මෙහෙමය.

මෙහි තවත් කතාවක් තිබේ . මාස දෙකක් තිස්සේ ඇදි ඇදි යන සරසවි ආචාර්ය සටනට මුල සිට සහය දුන් අන්තරයේ කැඳවුම් කරු සංජීව බංඩාර මේ අවස්ථාවේ අත් අඩංගුවට ගැනීම යනු ආචාර්ය සංගමයට පෙන් වූ රතු එලියක් විය හැකිය. ආචාර්ය සටන මර්ධනයෙන් පරාජය කිරීමට ගත් පලමු පියවර මෙය විය හැක.

එම නිසා මේ ඒකාධිපති රෙජිමය හමුවේ තවමත් දණ නොනමා ගෙන යන මේ සටනට සහය දීම අප යුගයේ සියලු ප්‍රගතිශීලින්ගේ කාර්ය භාරය විය යුතුය.

එය තේරුම් ගෙන අප ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට තීරණය කර ඇත්තෙමු.
එසේම අප තේරුම් ගෙන ඇති තවත් දෙයක් නම් මේ ප්‍රශ්නය එස්. බී ඇමතිගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, එස්.බී ඉවත් කර වෙන කෙනෙක් එම තනතුරට පත් කිරීමෙන් අද අප රටේ නිදහස් අධ්‍යාපනය මුහුණ පා ඇති අනතුර ඉවත් නොවන බවත්ය.

එස්.බී යනු තමන්ට ලැබී ඇති නියෝග පිලිපදින මොලේ නැති සෙබලෙක් පමණි. ප්‍රශ්නය ඇත්තේ එස්.බීගේ දඩබ්බර කම නොවන බවත් , මේ රටේ නිදහස් අධ්‍යාපනය ඈවර කිරීමට පාලකයින්ට අවශ්‍ය වීම බවත් අප නිවැ‍රැදිව තේරුම් ගත යුතුය.

සටන කල යුත්තේ එම අරමුණට එරෙහිවය.

පිං ඇති සරසවි වරමක් දෙන්නේ- A Word to FUTA

 
සරසවි ඇදුරු අරගලය දෙවැනි මාසයද ඉක්මවා ඇදී යමින් තිබේ. රජය තම මුලු ශක්තිය යොදමින් එම සටන කුඩු පට්ටම් කිරීමට උත්සාහ කරමින් සිටී. සියලු සරසවි වැසී ඇති අතර සිසුන් නන්නත්තාර වී ගොසිනි.
රූපවාහිනි අයි.ටී.එන් පමණක් නොව ස්වර්ණවාහිනි, දෙරණ වැනි නාලිකාද , සිළුමිණ,දිනමිණ හා රන්දිව පමණක් නොව මාසයකට වරක් ලැබෙන කුරහන් පිට්‍ටු කැබැල්ලක් වෙනුවෙන් ,දිවයින,ලංකාදීප හා රිවිරත්, උපතේ පටන්ම කඩේ යාම ජීවන වෘත්තිය කර ගත් මවුබිමද රජය හා එක්ව සරසවි ගුරුන්ට පහර දෙමින් සිටිත්. නො එසේ නම් රජය උපදෙස් දී ඇති පරිදි අරගලය ගැන වචනයක්වත් නොලියා සිටිති.

ඔවුන් පල කරන්නේ ආණ්ඩුවෙන් කියන දෑ පමණි. වතාවක්ද කට නිසා මට්‍ටු වූ උසස් අධ්‍යාපනය බාර ඇමැත්තා තම චාරයක් නැති මුවෙන් කුනු හරුප දෙසා බාමින් වර්ජිත ගුරුන්ට අපහාස කරමින්ද තර්ජනය කරමින්ද සිටින අතර මාධ්‍ය කරුවෝද එම කුණුහරුප රස කරමින් ලියති, කියවති.

ඇමත්තන් පම්ණක් නොව ඇදුරන් අතරම සිටින බත් බැලයන්ද ඇදුරු වර්ජනයට සටනට එරෙහිව අවි ඔසවා ඇත. ඔවුන්ද තම ස්වාමීන් ලියා දෙන කුනුසරුප තම ඇදුරු කමටත් නිගා දෙන ලෙස , රූපවාහිනි නාලිකා තුල වපුරති.

ඔවුන් හා නලින් සිල්වා ,අමරසේකර ප්‍රමුඛ ජාතිවාදි නඩය කියන පරිදි මෙම අරගලය බටහිර කුමන්ත්‍රණයකි. නලින් සිල්වා, වීරවංශ කල්ලිය හා අමරසේකර ඇතුලු නඩයට නම් තම ස්වාමියා කියන දෙය හැරෙන්නට අනිත් සියල්ලම බටහිර විජාතික කුමන්ත්‍රණය.

ඒ අතර රටේ ජනයාද වගේ වගක් නැතිව ධාතු වන්දනා කරමින්ද , තම දරුවන්ගේ අයිතීන් සොරාකන ආණ්ඩුවටම චන්දය දෙමින්ද සුව නින්දේය. මෙම සටන ගැන රටේ පොදු ජනයා අතර කිසිම හැඟීමක් නැත.
මෙය හුදු වෲත්තීය සටනක් නොවන බවත් ජනතාවගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නක් බවත් සරසවි ඇදුරන් රටේ ජනයාට කියා දිය යුතුය. .

 දැන් සටන ඇරඹී ඇත. එය අතරමග නැවත්විය නොහැක. අතරමැද සාමදාන නැත. මෙය ජයගත යුතුය. රටේ වෘත්තීය අරගල වලට නව මානයක් ගෙන ආ මෙම සටන පැරදීම යනු මෙරට නිදහස් අධ්‍යාපනයේ මලගමයි.
එය වීමට ඉඩ දිය යුතු නැත. රටේ සම්පත් සියල්ල වේගයෙන් කා දමමින් සිටින රෙජිමයට අධ්‍යාපනයටද අත තැබීමට ඉඩ නොදිය යුතුය.

එය සරසවි ඇදුරන්ට පමණක් කිරීමට නොහැක. මේ සඳහා සියලු දෙනා එක් කරගත යුතුය.අනෙකුත් වෘත්තීය සමීති, සිසුන් හා කඩේ යන ඇම්බැට්ටයන්ගේ විවේචන ගණනකට නොගෙන දේශපාලන පක්ෂ පවා මෙයට එක් කර ගත යුතුය. කොටින්ම මෙය බහුජන අරගලයක් කර ගත යුතුය.
එසේ නැතිව මෙම අරගලය ජය ගැනීම ඉතා දුෂ්කර වනු ඇත.

අනාථ කතා

 
සාමාන්‍යයෙන් ජනතාවගේ විශ්වාසය තියෙන්නේ දේශපාලඥයෝ බොරු කියන බවයි.

 එහෙත් මෑතක සිට ලංකාවේ ඇමති වරු ඇත්ත කියන්නට පටන් ගෙන තිබේ. ඇත්ත කියා පැත්තක් ගියත් කමක් නැතයි සිතා එතුමන්ලා ඇත්ත කියති.

නොබෝදා අවසන් වූ ධාතු ප්‍රදර්ශනය ගැන ඩලස් ඇමති තුමා කීවේ කපටියාගේ අන්තිමට සැඟවෙන්නේ ආගම පි‍ටුපස බවයි.

ඔහු එසේ කියා කට ගන්නටත් කලින් මේ දිනවල මහා පරිමාණයෙන් සිදුවන ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරම ගැන කෙහෙලිය ඇමති තුමා කටේ මසුරං දාන්නට වටින කතාවක් පුවත් සාකච්ඡාවකදී කීවේය.

ඔහුට අනුව ඕස්ට්‍රේලියා පනින්නට හදන්නේ දේශපාලන අනාථයින් නොව ආර්ථික අනාථයින්ය.
දේශපාලන ‍රැකවරණ පතන්නන් ඇති නැති බව වෙනම කතා කල යුතු ප්‍රශ්නයකි.

එහෙත් ආසියාවේ ආශ්චර්ය බවට පත් කර ඇති බවට පම්පෝරි ගසන මේ සිරි ලංකාවේ ජනයා අතර රටේ ජීවත් වීමට ක්‍රමයක් නැති නිසා ජීවිතය පරදුවට තබා ඕස්ට්‍රේලියාව බලා පලා යන්නට තරම් ආර්ථික අනාතයින් සිටින බව කියා දුන්නාට ඇමති තුමනි ඔබටයි මේ ස්තූතිය.

සරසවි සටන ඉවරයි

මෙදා පොටේ නම් විශ්ව විද්‍යාල ආචාර්ය වරු වැඩේ වරද්ද ගන තිබේ.


එස්.බී ඇමතිතුමා ස්ට්‍රයික් කර සිටින විශ්ව විද්‍යාල ඇදුරන්ට අනතුරු අඟවා තිබේ. එතුමා කියන දවසට කලින් වර්ජනය අත හැර වැඩට ආ යුතුය.

නාවොත්?

නාවොත් ආචාර්ය මහාචාර්ය කම් ඉවරය.

නියමිත දවසට වැඩට නො එන තක්කඩි හැමෝම රස්සා වලින් එලවනවා නියතය.

ඊට පස්සේ?

ඊට පස්සේ තමා වැඩේ තියෙන්නේ.

සෞඛ්‍ය ඇමතිලා තම තමන්ගේ ආසන වලින් ගෙනත් ලංකාවේ ඉස්පිරිතාල සනීපාරක්ෂක කම්කරුවන්ගෙන් පිරෙව්වා වගේ එස්.බී ඇමති තුමා ගේ ගෝල බාලයින්, පෝස්ටර් අලවපු එවුන්, චන්ද වලට කඩේ ගිය එවුන් , හඟුරන්කෙතින් ගෙනවිත් විශ්ව විද්‍යාල වල කථිකාචාර්ය, මහාචාර්ය ,ජ්‍යෝෂ්ඨ මහාචාර්ය තනතූරු වලට දා ගන්නට හැකිය.

තවත් මදි වුනොත් නාමල් බේබිගේ නිල් බලකායේ මල්ලිලා දාගෙන වැඩේ කර ගෙන යන්නටත් පුලුවන්ය.
ඒත් බැරිම වුනොත් අනිත් තැන් වලදී කලා වගේ හමුදාවේ කට්ටිය දාලා කරන්නටහ් ඇහැකි නොව.

බර්ටිගේ පොලිටික්ස් ඉවරද?

හුඟ දෙනෙක් හිතන්නේ එහෙමය.
ඒත් මුලු රාජාණ්ඩුවේම සපෝර්ට් එකෙන් රංජි මල්ලියා චන්ද එක් ලක්ෂ පන්දාහක් ගනිද්දී ,හුදකලාව, තමන් හිසට තම අතමය සෙවනැල්ල කියමින් , ස්ව ශක්තියෙන් චන්ද අනුපන්දාහක් ගත් බර්ටිට මහ ඇමතිකම නොදී ඉන්න පුලුවන්ද?
මේ පලාත් සභා චන්දේ ලොක්කට වැඩක් නැත. එයාට ඕනෑ ඉස්සරහට එන ජනාධිපති චන්දේට බේස් එක හදා ගන්නටය. එහෙම තියෙද්දි මහ ඇමති කම රංජි මල්ලිට දී අවුල් හදා ගන්නට ලොක්කා කැමති වෙන එකක් නැත.
ඒ නිසා කවුරු මොනවා කිව්වත් නැවත මහ ඇමති බර්ටිම වෙන්ට ඉඩ තිබේ.
බැරි වෙලාවත් දුන්නේ නැත්නම් ............................. මොනව වෙයිද?
මොනවා වෙන්ටද?
ඒත් මොකුත් වෙන්නේ නැත.
ලංකාවේ පොලිටික්ස් එහෙමය.


අලුත් ජනතාවක් පත් කරගනිමු.

 
පලාත් සභා චන්ද ප්‍රතිපල නිකුත් වී තිබේ. අප සහ තවත් බොහෝ අය සිතූ ලෙසම ආණ්ඩුව නැවත වතාවක් මහ ඉහලින් ජයගෙන ඇත.
විපක්ෂය යැයි නම් කර තිබෙන කණ්ඩායම් වල සිටින උන් මීට වඩා වෙනස් ප්‍රතිපලයක් බලාපොරොත්තු වූව යැයි සිතිය නොහැක.
දිවා රෑ දෙකේ ගිනිඅව්වේ , මහවැස්සේ කිලෝ මීටර් හත අටේ පෝලිම් වල වේලෙමින් ධාතු වඳින්නට ගිය ලක්ෂ ගනන් සෙනග දැක දැකත් විපක්ෂයේ උන් මේ චන්ද දිනන්නට සිතුවා නම් උන්ට පොල් පිත්තකින් තැලිය යුතුය.
ආණ්ඩුවේ මහත්වරු කියන පරිදි විපක්ෂයේ බොරු වලට ජනතාව ‍රැව‍ටුනේ නැත.
ඒ අනුව ලංකාවේ තිබෙනවා යැයි විපක්ෂ කියන සියලු ප්‍රශ්න බොරුය. ඉසැඩ් ස්කෝර් අර්බුදයක් නැත. 2011 විභාගයට ලියූ සියලු සිසුන් මේ වන විටත් සරසවි වලට ඇතුලත් කරගෙන හමාරය. සරසවි වල ඇදුරන්ගේ වැ‍ටුප් ප්‍රශ්න සියල්ල විසඳා ඇති නිසා උන් ඩබල් එකේ වැඩය. ජලය ඉතිරි කර ගැනීමට ජල විදුලි බලාගාර වසා දමා ඇත. ලංකාවට අවශ්‍ය සියලු විදුලි බලය ලබා දෙන්නේ නොරොච්චේ ගල් අඟුරු බලාගාරයෙනි. ඒකෙන් ලැබෙන විදුලිය කොපමණ ලාබ දැයි කිවහොත් ජනතාවට විදුලිය දෙන්නේ නොමිලේය.
මැතිවරණ ප්‍රතිපල අනුව ජනතාවත් සිතන්නේ එහෙමය.
කන්ට බොන්ට නැතිව මැරී ගියත් මෙබඳු දේශප්‍රේමි, ආගම්ප්‍රේමී ජනතාවක් එක්ක අලුත් ආණ්ඩුවක් පිහි‍ටුවනවා බොරුය.
අලුත් ආණ්ඩුවක් පිහි‍ටුවීමට විපක්ෂයට අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ අලුත් ජනතාවක් පත් කර ගැනීමය.

ඩලස් ගේ කෙලින් කතාව


ඩලස් ඇමතිතුමා කෙලින් මිනිහා බව අපි මුල ඉඳලා දැනගෙන හිටියෙමු. එතුමා කට කෑවත් කියන්ට තියෙන දේ කියන බඩුවක්ය. දකුණේ ඈයෝ එහෙමය. එක එක ප්‍රශ්න නිසා මෙච්චර කල් සද්ද වහලා හිටියත් කියන්ට ඕනේ දේ ඕනෑ තැනදී බය නැතුව කියලා දැම්මේ ඒ නිසාය.

ඇමති වුනාට පස්සේ කාලයක් තිස්සෙන් සද්ද නැතිව හිටියත් උන්නැහේ ඇතුලේ අර ඒ කාලේ ලක්දිව පත්තරේ හිටි මාධ්‍යවේදියා තාමත් ඉන්නවා කියලා පෙන්නුවා මේ ලඟදී කියපු කතාවකින්.

"කපටියා අන්තිමට හැංගෙන්නේ ආගම පිටිපස්සේ " කියලා උන්නැහේ පහුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ මේ දවස් වල හි‍ටු කියලා පෙන්වන කපිල වස්තු ධාතු ගැන කතාකරමින්. .

බලන්න කොච්චර ඇත්ත කතාවක්ද කියලා.

වතුර නැතිව රජරට ගොවියෝ නන්නත්තාර වෙලා, දවසට පැය ගනන් විදුලිය කපනවා , කෝටි දහස් ගානක් වියදම් කරපු නොරොච්චේලේ බලාගාරේ කැඩිලා, විශ්වවිද්‍යාල වහලා, ආචාර්යවරු මහ පාරේ සටන් කරනවා, උසස්පෙල ඉඳලා 5 ශිෂ්‍යත්වයට යනකම් විභාග අවුල්.

මේ මගුල් අස්සේ චන්ද දිනන්න පුලුවන්ද? බෑනේ.

ධාතුන්වහන්සේ ගෙනාවේ ඒවා පෙන්නලා චන්දේ කොරන්න කියලා විපක්ෂේ කියන කොට අපේ ඩලස් ඇමති තුමාත් ඒකම කියනවා.

එතුමා කොච්චර හොඳද නේද?

සාධු කියලා චන්දේ දෙමු

 
 
සාදු කියලා ධාතු බලාලා
සාදු කියලා චන්දේ දෙමු
ජාතියේ ලොකු පුතු හිසින් ගෙනා
ධාතු බලාලා චන්දේ දෙමු
 
විබාග අබාග සරසවි හුටපට
විදුලිය ජරමර බඩුමිල කරදර
අමතක වෙන්නට සාදු කියාලා
පෝලිමෙ ගොස් අපි චන්දේ දෙමු


අප කුමක් කරමුද?

 

මම බොහෝ කලක් සිංහල බ්ලොග් පාඨකයෙක් වී සිටියෙමු. බ්ලොග් එකක් ලිවීමේ ආශාව පහල වූයේ බ්ලොග් කියවීමට ගත් මුල් කාලයෙදීමය. එහෙත් නොයෙක් නොයෙක් හේතුන් ,ඒ හේතුන් සමහර විට ගණන් ගත් යුතු තරම් නොවෙන ඒවා වුවද , එම අදහස දිනෙන් දින නොදැනීම අවුරුදු ගණනක් පස්සට ගියේය.
එම කාලය තුල අප බොහෝ ආශාවෙන් කියවූ ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් , ඇටමැස්සා වැනි බ්ලොග් ගණනාවක්ම හෙලි නොවූ හේතුන් මත වැසී යනුද අප දු‍ටුවෙමු. ඒ අතරම අප ප්‍රිය කරන තවත් බ්ලොග් කීපයක්ම සාර්ථකව ඉදිරියට ඇදෙමින් තිබේ .කතන්දරකාරයාගේ බ්ලොගය, w3lanka , මාතලන් ඒ අතර ප්‍රමුඛය.

සිංහල බ්ලොග් රචනා නවමානයකට ‍රැගෙන යන සමනල විප්ලවය වැනි අලුත් බ්ලොග්ද අවකාශයට එක් වෙමින් තිබේ.

අපගේ බ්ලොග් ලිවිල්ල දැන්වත් පටන ගත යුතුයැයි සිතුනේ මේ හේතු සියල්ලේ එකතුව නිසාය.
අප ලියන්නේ මොනවාදයි යන්න ගැනද කිව යුතුය.

අපේ රට දැන් තිබෙන තත්වයට අප කිසිසේත් ප්‍රිය නැත.එය ,එය ගමන් කරමින් සිටින්නේ මහා ආගාදයක් දෙසට බව අපට හැඟේ.

අප එම විනාශයෙන් රට ගලවා ගැනීමට පහල වූ දියසේන කුමාරයා නම් නොවෙමු.

අප ලියන්නේ මේ සමාජය , ලෝකය හා ලංකාව , අපට දැනෙන හැ‍ඟෙන හැටිය.

එය අපේ පුද්ගලික මතය වන අතර යමෙකු එය කියවා , අපට විරුද්ධව හෝ මේ සිදුවෙමින් තිබෙන දෙය ගැන සිතීමට පටන් ගන්නේ නම් අප සාර්ථක වූවා වේ.

මක් නිසාද යත් ලාංකීකයන් බොහෝ දෙනෙකුන් මේ වන විට සිතීම නවතා දමා ඇති බැවිනි.

අමාවක හා කලා මැදිරියා


මම වර්ඩ්ප්‍රෙස් හි පන්හිඳ නමින් ඇරඹු බ්ලොගය මෙලෙස බ්ලොග්ස්පොට් වෙත ගෙන එමි. එය වඩාත් ආකර්ෂණීය හා නම්‍යශීලී යැයි සිතූ බැවිනි. (පන්හිඳ නමින් තව බ්ලොගයක් තිබූ බැවින් පසුව එය පෑන ලෙස නම් විය)

එසේම නම ගැනත්........

මේ අන්ධකාර රාත්‍රියේ කලාමැදිරි එලියක්වත් වන්නට හැකි නම්. ...

( වහින්නට හැකි නම් ගිගුම් දී ... මතක් කරන්ට එපා ඔව්වෝ .... සිරස සමග ශ්වේත රාත්‍රිය..)