Wednesday, September 18, 2013

කැකිල්ලේ නාමය නගා සි‍ටුවමු, කැකිල්ලේ බලය ගොඩ නගමු



ශ්‍රී ලංකාද්වීපයේ වාසය කළ ශ්‍රේෂ්ඨතම රාජෝත්තමයාණන් හා අසමසම  ඥාණ ශක්තියකින් යුක්තව තම පාලනය  ගෙන ගියා වූත්, තම ඥාණ ශක්තියෙන් ලොවම මවිත කළා වූත්  ශ්‍රී කැකිල්ලේ මහ රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත්, එතුමාගේ ඥාණ බලයත් ලොවට විදහා දක්වනු වස් ද කැකිල්ලේ රාජ්‍ය විචාරණ ක්‍රමය තුලින් අද ලබා ගත යුතු වූ ආදර්ශය පෙන්වනු වස් ද , කැකිල්ලේ නරපතියාණන් හා වත්මන් රාජ පරම්පරාව අතර ඥාති සම්බන්ධය සොයනු වස් ද , එතුමාගේ ශ්‍රී නාමය අපයෝජනවලින් ආරක්ෂා කරනු සඳහා ද " කැකිල්ලේ බලය " සංවිධානය පිහි‍ටුවාලන බව ශ්‍රී ලංකා වාසි සකල දේශප්‍රේමි , දේශමාමක, දේශහිතෛෂී,ජනතාව වෙත ජාති  ආලයෙන් යුක්තව මෙයින් දැනුම් දෙමු.

එසේම මින් මතුවට කැකිල්ලේ රාජොත්තමයාණන් පිලිබඳව චිත්‍රපටි, නාට්‍ය, කවි සිංදු, කෙටිකතා නවකතා හා කතන්දර ආදිය නිපදවීමට, ලිවීමට ,කියවීමට ප්‍රථම අප සංවිධානයෙන් නිසි අවසරය ලබාගත යුතු බවත් එසේ නොවුවහොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවටත් තව දුරටත් මෙයින් දැනුම් දෙමු.

මීට 

ජාති ආලයෙන් යුක්තව 

කිහිල්ලේ මයිලානන්ද  

ගරු ලේකම් 
කැකිල්ලේ බලය සංවිධානය

Thursday, September 12, 2013

ඔබ මේ ඊරිසියාව දු‍ටුවාද?



ඇමෙරිකාවට වී සිටිමින් ලංකාව ඇතුලු ලෝකයේ අනෙක් සියලු රටවල් තුට්‍ටු දෙකට දමා ලිපි ලියමින් සිටි ඇරුණි ෂපිරෝ නම් කාන්තාව  හිටි හැටියේ දේශප්‍රේමි ලඳක් වී  ලංකාවේ බිහි වූ විශිෂ්ට මානව හිමිකම් ක්‍රියා කාරිනියක් වූ අභාවප්‍රාප්ත සුනිලා අබේසේකරට  මඩ ගසමින් ලිපියක් ලියා තම බොගේ පල කර තිබේ.

මේ ලිපිය පුරාම ෂපිරෝ පෙන්වන්නේ තම කුඩු කේඩු කම, ඊරිසියාව  මිස අන් කිසිවක් නෙවේ.

 ෂපිරෝ ගේ ලිපිය අනුව 13 හැවීරිදි දැරියන් දූෂණය කිරීම හොඳය. ඒවා එලි කිරීම නරකය.

 එසේම ඇය තම මොලයේ තරම පෙන්වමින්  තම මත සනාථ කිරීමට යොදා ගන්නේ ආණ්ඩුවේ සිළුමින පුවත් පතයි. ලිපියේ අන්තර්ගතය ගැන එතැනින් එහාට කතා කිරීම පලක්  නැත.

 ඇයට මේ ලිපිය වෙනුවෙන් කීයක් ගෙව්වා දැයි අසන්නට අපිට හිතෙන්නේ ඇය කියන කරුනු අනුවමය.

මේවා කෙසේ වෙතත් ඇය තම ලිපිය මගින් පෙන්වා ඇත්තේ තමන් ජාතික හෙල උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට, වීරවංශගේ පක්ෂයේ නියෝජ්‍ය නායක කමට පමණක් නොව බොදු බල සේනාව , සිහල රාවය වැනි සංවිධාන වලත් ඉහලම තනතුරු වලට සුදුසු බවයි.

Tuesday, September 10, 2013

උදුම්බරා නැවත හිනැහෙන්නේ නැත.- Tribute to Sunila Abeysekara



සුප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූ සුනිලා අබේසේකර ඊයේ මියගියාය.

වරප්‍රසාද ලාභි පංතියට අයත් පවුලක ඉපිද , තවමත් 19 හැවිරිදි වියේ සිටිද්දීම , 1971 කැ‍රැල්ලේ සිරගත තරුණන්ගේ මානව හිමිකම් හා සුභසාධනය වෙනුවෙන් පෙනී සිටිමින් තම සමාජ ක්‍රියාකාරි ජීවිතය ඇරඹු ඇය පසුව ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ප්‍රසංගයටද සම්බන්ධව කටයුතු කලාය.

මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නයේදී  පීඩාවට පත් වූවන් වෙනුවෙන් ජාති, ආගම් ,බේදයකින් තොරව සටන් කල ඇය පීඩාවට පත් ස්ත්‍රීන් වෙනුවෙන් සුවිශේෂ අරගලයක  නියලුනාය.

කේමදාසයන් සංගීතවත්  කළ  උදුම්බරා, හඳුනා ගත්තොත් ඔබ මා ගීත පමණක් වුව ඇයගේ ගායන කුසලතාවට සාක්ෂි සපයයි.

මේ කෙටි සටහන, ඒ අභීත ගැහැණිය වෙනුවෙනි.