Thursday, November 24, 2016

ඉර හඳ පෙන්නුව ලෝකේ



ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 බාගෙට කාලා දිවි මග වැනවෙන //
ජීවිත නට්ටම් වේ
 රොකට් එකක් යන සේ //
බඩු මිල   තව වැඩි වේ.
දඩ කොල, ජල බිල  වැඩි වෙන වේගේ//
 ජීවිත සමතල වේ
මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 වැඩිවන වියදම   මැඩලනු බැරි වී  //
බදු බර තව වැඩි වේ.
බත් පත වැලි  මුසුවේ
 යහ පාලන වගුරේ මන්ත්‍රිට සැප වැඩි වේ. //
බෙන්ස් කාර් හිනැහේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ

Wednesday, November 23, 2016

ඉරා අඳුරු පට


ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ

ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ
මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස්
රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා
අහස් ගඟේ

ඉර හඳ නැති වී සුළඟ සසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

ගායනය - සනත් නන්දසිරි
පදමාලාව  -චන්ද්‍රසිරි පල්ලියගුරු
  සංගීතය - ප්‍රේමසිරි කේමදාස

1974 වසරේ තිරගත වූ අහස් ගව්ව චිත්‍රපටයේ තේමා ගීතය.
video
 
රඟපෑවෝ-
විමල් කුමාර ද කොස්තා, අමරසිරි කලංසූරිය, විජය කුමාරතුංග,වික්‍රම  බෝගොඩ,
 ස්වර්ණා ඹල්ලවාරච්චි, බන්දුල විතානගෙ, මැණික් කුරුකුලසුරිය, මාලිනි ෆොන්සෙකා, සෝමසිරි දෙහිපිටිය,
සිරිල් වික්‍රමගෙ, අලෙක්සැන්ඩැර් ප්‍රනාන්දු, දයා තෙන්නකෝන්

Tuesday, November 22, 2016

චීන පටස්




චීනපටස් යනු මහ හඬක් නගමින් පුපුරා යන  ගිනි කෙලි විශේෂයකි. ඒ අකාරයේ  ගිනි කෙලියක් පසුගිය දාක  ලංකාවේ චීන තානාපති පැවත්වුවේය. . ඒ ලංකාවේ මුදල්  ඇමති රවී කරුණානායකත්, ලංකාණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියත් , ප්‍රසිද්ධ මාධ්‍ය සාකාච්ඡාවක් පවත්වමින්  විවේචනය කිරීමෙනි.

තානාපති යී ශියාං ලිං ගේ මේ ක්‍රියාව ලෝකය පිලිගත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. දේශපාලන පොතේ වචන වලින් කියන්නේ නම් රටේ ස්වෛරී භාවය කෙළෙසා දැමීමකි. අභ්‍යන්තර  ප්‍රශ්න වලට අත දැමීමකි.  එය 1987 දී ඉන්දියාව විසින් ලංකාවට ගුවනින් පරිප්පු දැම්මා බඳු ක්‍රියාවකි.

එහෙත් ඒ ගැන සියලු දෙනා නිහඬය. මේ කථාව ඇමෙරිකානු තානාපති හෝ යුරෝපීය රටක තානාපතියෙක් විසින් සිදු කළේ නම් වීරවංශ/ගම්මන්පිල  හවුල එම රටේ තානාපති කාර්යාලය වටලා , අදාල නිලධාරියා රටෙන් එලවන ලෙස බල කරමින් මහා උපවාසයක් අරඹනු නිසැකය.  එහෙත් ඔවුන්ගෙන් කෙඳිරිලි හඬක් වත් නැත. චීනය විසින් සිදු කළ රටේ ස්වෛරීභාවය කෙළෙසීම ගැන මේ මහා දේශප්‍රේමින්ට වගක් වත් නැති හැටියකි. ඒ අනුව පෙනී යන්නේ  රටේ ගෞරවය , ස්වෛරීභාවය , ජාතික ආරක්ෂාව , හා එබඳු තවත් බොහෝ දේ , පිලිබඳ දේශප්‍රේමීන්ගේ ප්‍රතිචාර රඳා පවතින්නේ  හුදෙක් එම කරුණු මත නොව තමගේ පක්ෂපාතිත්වය අනුව බවය. කෙටියෙන් කිවහොත් චීනයට අප රට කෙරෙහි එලෙස හැසීරීමට ලයිසන් ඇති බවත් ලංකාව චීනයේ යටත් විජිතයක් බවත්    එම දේශප්‍රේමින් සිතනවා  විය යුතුය.

එසේම ලංකාවේ රජය කොතරම් දුර්වලද යන්න එම සිදු වීම අපට පෙන්වා දෙයි. තම රජයේ ප්‍රබල ඇමත්තෙකුට එරෙහි ව තානාපතියෙකු එල්ල කළ ප්‍රහාරය පිළිබඳව රජය ද අනුගමනය කළේ නිහඬ හා නිවට ලෙසිනි. ඒ ගැන කිසිම රාජ්‍යතාන්ත්‍රික විරෝධය පෑමක් සිදු නොවීය. කොන්ද පණ  ඇති රජයක් නම් කළ යුතුව තිබුණේ වහාම තානාපති ශියාං ලිං පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමය. එහෙත් කඩා වැටෙන ආර්ථිකයක් සහිත ලංකාවේ රජය එතරම් නිර්භීත නොවනු ඇත.

චීන තානාපතිගේ කථාව ට එරෙහිව යම්තම් කෙඳිරියක් බඳු හඬක් නැගුවේ ප්‍රහාරයට ලක් වූ මුදල් ඇමතිවරයා පමණි. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට මිතුරෙක් පවා රජය තුල නොසිටීම ද   අපූරුය.

සටහන-1990 ගණන් වලදී මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවකදී වූ සිදු වීමක් නිසා එවක පැවති ප්‍රේමදාස ආණ්ඩුව සිද්ධියට මැදිහත් වූ බ්‍රිතාන්‍ය තානාපති ග්ලැඩ්ස්ටන් රටෙන් නෙරපා දැමුවේය.

Friday, November 18, 2016

නොමිලේ වයි ෆයි

 
 
නොමිලේ දෙනවා  වයි ෆයි කී උන්දෑලා
කෙලියා වැට් එක්ක තව ටැක්ස්  'ටහිකෙන්න
මක්කා කොරන්නද කියලා හිතන කොට
ටැබ් එකකුත් දෙනවාලු  රෙද්ද තමා
 
 
සීනි කිලෝවෙන්   දෙක බේරා ගත්තු
මැති උතුමන්ලාට තව තව සැප දෙන්ට
නෙලුම් කොලෙන් බත් කනවා එතුමානෝ
අයියෝ යහපාලනේ අයිඅයියො
 
_රංචාගොඩ ළමයා-
 





Sunday, November 13, 2016

කිසිවක් සිදුව නැත ---------



මහවත්ත කදු බිම නිසලය
උසැති ගල්කුලු අතර
දැවී නටඹුන් වූ පැලකි...
පෙර මග බලා සිටිනා......
කිසිවෙකුත් නැත
නිදිකුම්බා මලක්වත්.......
පෙරලුණු බූරූ ඇද
වේ පසින් වැසින
සමන් පිච්ච පදුර අස
ගවුම් පොඩියක් දිරා යයි
බෝනික්කෙකුගේ හිසක්
උදුරා නොදැමුණු අනිත් ඇසින්.....
අරංගල පල්ලම දෙස බලා සිටී
කිසිවක් ...
කිසිවක් සිදු නොවු ලෙස
කිසිවක් සිදුව නැත
කොලුවකු එළිපත්ත මත
වාඩි වී සිටී
බෙදු බත් පිගානක් කුස්සියේය
කිසිවක් සිදුව නැත
_________________________
 
1989 දී හමුදාව විසින් අරංගල මහ වත්තේදී තම පවුලේ සියල්ලන් ඝාතනය කල පසු සිර කදවුර තුල උමතු වූ පාලිත සහෝදරයාගේ මතකය නිර්නාමික සහෝදරයෙක් ලියා තිබූ අයුරු

Friday, November 11, 2016

බබා ලගේ හීන හා අපේ හීන

කා‍ටුනය අවන්ත ආටිගලගේ ෆේස්බුක් පි‍ටුවෙන් උස්සන ලදි

සජිත් බබා පොඩි කාලේ ඉඳලා හැදුනේ උදාගම් සංකල්පය යටතේය. සජිත් බබාගේ තාත්තා රට ඇල්ලුවේ උදාගම් හරහාය,. ඉතින් සජිත් බබාත් හිතන් ඉන්නේ උදාගම් හරහා රට ඇල්ලීමටය. බබා නිවාස අමාත්‍යාංශය ඉල්ලා ගත්තේත් මේ හීනය නිසාය.බබාගේ මුළු ලෝකයම  එකම උදාගමක්ය. බබා රෑට හීනෙන් දකින්නෙත් උදාගම්ය. කොටින්ම කිව්වොත් බබා කන්නෙත් බොන්නෙත් නාන්නෙත් උදාගම් ගැන හීන දකිමින්ය.

සජිත් බබා උදාගමෙන් උදාගමට පැන පැන ගොහින් රට අල්ලන හැටි  හීන දකිමින් ඉන්න අතරේ අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වුනේය. හීනෙන්වත් අමරදේවගේ සිංදුවක් නො අහපු අය එක පැයෙන් අමරදේව  ෆෑන්ස් ලා වුනෝය. ශෝක ප්‍රකාශ, කවි, සිංදු , අන්තර් ජාල, ෆේස්බුකි, පත්තර පි‍ටු, ටී.වී , රේඩියෝ හරහා දෝරේ ගලා යන්නට වුනේය.

තමනුත් අමරදේව මාස්ටර් ගැන ප්‍රකාශයක් නොකොලොත් හොඳ නැති බව හිතූ බබා හම්බන්තොට පැත්තේ උත්සවයකදී , ඇඟිලිවලින් මදක් ඉස්සී මෙහෙම කිව්වේය.

" මම අමරදේව තුමාට ගෞරව පිණිස සතියක් ඇතුලත උදාගමක් හදලා ඒක අමරදේව උදාගම කියලා නම් කරනවාය"

සටහන 1 - අපේ මෛත්‍රී ජනාධිපති තුමා ද සජිත් බබාට දෙවැනි නොවෙන්නට හිතා අමරදේව මාස්ටර්ගේ අවමගුලේ දී කියා හිටියේ අමරදේවට ගෞරව පිණිස අමරදේව සංගීත ආශ්‍රමය කියා එකක් හදන බවකි. ඉතින් අපේ යහපාලන ආණ්ඩුව කොතරම් කාර්යක්ෂම ද කිව්වොත් ඊ ලඟ සතියේ තිබුණු අය වැය කතාවේ දී මුදල් ඇමති තුමා ඒ ආශ්‍රමය හදන්න රුපියල් මිලියන 25ක් ම වෙන් කලේය.

සටහන 2- පහුගිය කාලයේ ඇමති ගොල්ලන්ට  වාහන ගෙන්වීමට රුපියල් මිලියන 1175ක්ම  වෙන් කලේ ය.

Thursday, November 10, 2016

යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය

1989දී පැහැරගත් සිය පුතුන්ගේ සේයා රූ සමඟ මාතලේ උකුවෙල වරාකන්දවත්තේ කේ.ජී. කමලාවතී මාතාව 2013 වසරේ දී
 
ත්තොට, ගුරුබැබිල පදිංචි ටී.එම් මුදලි මැණිකේ අම්මා වරක් ජනාධිපති ප්‍රේමදාසට මෙසේ ලියා යැව්වා ය.
"උතුමාණනි,
ගරු ජනාධිපතිතුමන් වෙත ඉතා සංවේගයෙන් ලියමි.
ටී.එම් මුදලි මැණිකේ වන මගේ පුතු ටී.එම් තෙන්නකෝන් බණ්ඩා ය. මාගේ පුතු 27 හැවිරිදි ය. මාතලේ රත්තොට පොලිසියේ නිළධාරීන් පුතු සෙවීමට පැමිණි විට මම ඔහු  රැගෙන ගොස් එම නිළධාරින්ට භාර කළා. එම බාර දීමෙන් පසුව කිසිම තොරතුරක් ලැබුනේ නැත.
මම මේ ලිපිය ලියන්නේ ඔබතුමන්ගේ සහයෝගය ඇතුව මගේ පුතා සොයා ගැනීමටයි. ගරු ජනාධිපතිතුමනි, මගේ පුතා සොයා දෙන්න කියා මම ඉල්ලා සිටිමි. මගේ පුතාට විපතක් කරදරයක් වෙන්න ඉඩ නොදී සොයා දෙන්න කියා මම මෙතනනින් නවතිමි.
මෙයට පුතුගේ මව් ටී.එම් මුදලි මැණිකේ"
 
දශක දෙක හමාරකට කලින් මේ ලිපිය ලියූ අම්මාට සිය පුතු හමු වී යැයි කියන්නට කිසිදු සාක්‍ෂියක් අප හමුවේ නොවේ. එහෙත් දස දහස් සංඛ්‍යාත මනුෂ්‍යයන් රහසේ මරා පුළුස්සා දැමූ හෝ මිහිදන් කළ  ඒ අන්ධකාර යුගයේ දි ගුරුබැබිල මුදලි මැණිකේ අනන්ත දුක් විඳ උස් මහත් කළ තෙන්නකෝන් බණ්ඩා ද ඇතැම් විට එසේ මැකී ගිය මිනිස් ප්‍රාණයන් අතර එක් ගොදුරක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බොහෝ සාක්‍ෂි ඕනෑ තරම් ඇති බව අපි දනිමු. සිය පුතුට නපුරක් නොකොට යළි තමන් වෙත එවන්නැයි රටේ පාලකයාට ආයාචනා කරමින් ෆූල්ස් කැප් කොලයක ඇය ලියු ලිපියේ  නිළ මුද්‍රාවන් කිහිපයක්ම සටහන්ව තිබේ. අකුරු වියැකී දුර්වර්ණ වන තරමට රාජ්‍ය ආයතනයෙන් ආයතනයටත්, නිලධාරීන් අතින් අතටත් යන්නට ඇතැයි සිතිය හැකි ඇගේ ලිපිය අවසානයේ නතරව ඇත්තේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් පත්කරනු ලැබු  වයඹ, මධ්‍යම, උතුරුමැද හා ඌව පළාත්වල පැහැරගෙන යාම් හා අතුරුදහන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ය.

ජීවිතයකට ජීවිතයක්
එවකදී 60 වැනි වියෙහි පසුවු මුදලි මැණිකේ මාතාව, ටී. සුන්දරලිංගම් සභාපතිත්වය දැරු අදාළ කොමිසම හමුවේ 1995 සැප්තැම්බර් මාසයේ 18 වැනි දා සාක්‍ෂි දෙමින් මෙසේ කියා සිටියාය.

''අතුරුදහන්ව සිටින තෙන්නකෝන් බණ්ඩා මගේ පුතා. අතුරුදහන් වන විට වයස අවුරුදු 23 යි.1989 දි පුතාව පොලිසියෙන් හෙව්වා. හමුදාවෙන් ගෙදරට ආවා පුතාව හොයාගෙන. ඒ නිසා පුතා හැංගිලා හිටියේ. පුතා වෙනුවට වීරසිංහ බණ්ඩා බෑනාව හමුදාවෙන් අරන් ගියා. 1989 නොවැම්බර් 23 දින පුතාව එක්ක ගිහින් රත්තොට කඳවුරට භාරදුන්නා. පුතා භාර දුන්නම බෑනා එව්වා. පසුව පුතා බලන්න ගියාම කිව්වා පුතාව විජය කොලජ් එකේ රැඳවුම් කඳවුරට යැවුවා කියලා. ඊට පසුව කවදාවත් පුතාව විජය කොලෙජ් එකේ කඳවුරේදි දැක්කේ නැහැ. කඳවුරුවල හොයලා බැලුවත් අද වන තුරු දැක්කේ නැහැ. මාත් එක්ක අද ඇවිත් ඉන්න මගේ දුව රත්තොට කඳවුරේදි වරක් පුතාව දැක්කා කිවුවා''.

එම කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් රත්තොට පොලිස් වසමේ ගුරු බැබිල, මැටිහක්‍ක ග්‍රාමයේ පදිංචි වීරසිංහ කඩේ ගෙදර වීරසිංහ බණ්ඩා කියා ඇත්තේ සේවය අවසන්ව නිවසට පැමිණෙමින් සිටියදි යුද හමුදාව තමන්ව අල්ලා ගෙන රත්තොට කඳවුරට රැගෙන ගිය බවයි.
''මම විවාහ කරගෙන ඉන්නේ තෙන්නකෝන් බණ්ඩාගේ සහෝදරියව. 1989 සැප්තැම්බර් 19 වැනි දින මාව හමුදාවෙන් අල්ලාගෙන රත්තොට හමුදා කඳවුරට රැගෙන ගියා. මාව අල්ලා ගෙන තෙන්නකෝන් බණ්ඩා කියන්නේ කවුද, දසනායක කියන්නේ කවුද කියලා ඇහුවා. ඒ අයගේ ගෙවල් පෙන්වන්න කිවුවා. දසනායකගේ ගේ පෙන්නුවාම ඒ මහත්තයාගේ ළමයාව අල්ලා ගත්තා. එතනදීම මගේ කමිසය ඉරලා අත් දෙක පිටු පස්සට කරලා බැන්ඳා. පස්සේ තෙන්නකෝන්ගේ විස්තර කියන්න කියලා මට ගගහා කෑම්ප් එකට අරන් ගියා. 23 වැනිදා මාව නිදහස් කළේ තෙන්නකෝන්ව අත්අඩංගුවට ගත්තට පසුවයි''.


මුදලි මැණිකේ සිය පුතු රත්තොට පොලිසියට භාර දෙන්නට ඇත්තේ තම දියණියගේ සැමියා බේරා ගැනීමේ අටියෙන් මුත් එය ජීවිතයකට ජීවිතයක් හුවමාරු කිරීමකැයි ඇය කිසිවිටක නොසිතන්නට ඇත. නමුත් ඈ වැනි බොහෝ දෙනෙක් නින්දා තර්ජන හා පරුෂ බස් ඉවසා හමුදා කඳවුරුවල යකඩ වැටවල්වලින් එබී බලමින් තම ආදරණීයයන් ඒවායෙහි සිටි දැයි කොතෙක් සොයන්නට ඇතිදැයි මතක ඇත්තෝ දැන් විරල ය. නමුත් අතුරුදහන්කෙරු, පැහැරගෙන ගියා වු හෝ මරා දැමුවා වු තම සමීපතමයා තමන් සමග සිටි අවසන් තත්පර කිහිපය පිළිබඳ මතකය කැටිකොට ඔවුන්ව සොයා දෙන්නැයි ආයාචනා කරමින් බලධාරින් වෙත ලියා ඇති පැරණි ලිපි යළි කියවීම හද කම්පා කරවන සුළු ය. මතකයෙන් මකා දමන ලද ඉතිහාසයේ එක් යුගයක් නිරවුල් විනිශ්චයට ලක් කිරීමට හැකි එවන් සටහන් සහ සාක්ෂි සම්පිණ්ඩනයන් යළිත් පෙරළා බලන කවරෙකු හෝ රණකාමී වීරත්වය පිළිබඳ වත්මනෙහි රජයන බොල් විශ්වාසයන් හි සරණ යතැයි සිතීම අසීරු ය. යුක්තිය ඉටු නොවූ අතීත සංහාරයක බිහිසුණු උරුමය අමතක කොට  'අපේ හමුදා යුද අපරාධ නොකළ බව'ට අදහන්නට දශක දෙක හමාරක් තිස්සේ හුරු කළ පරම්පරාවන් මේ සටහන් යළිත් කියවා බැලීමට පොළඹවාලිය යුත්තේ ජනවාර්ගික බෙදුම්රේඛා නොතකා යුක්තිය ගැන සිතන්නට අවශ්‍ය විචාර බුද්ධිය අවදි කරනු පිණිස ය.


පිළිස්සූ මළ සිරුරු


මාතලේ, උඩස්ගිරිය, කොස්වත්ත ග්‍රාමයේ පදිංචිව සිටි එවකට 33 හැවිරිදි වියේ පසුවු එරමුදු ගෙදර කාන්ති පුෂ්පලතා නැමැත්තිය 1995 සැප්තැම්බර් 27 දින අදාළ කොමිසම හමුවෙහි සාක්ෂි දෙමින් තම විවාහක පුරුෂයා වු පී.ඩී කරුණාරත්න නැමති අයගේ අතුරුදහන්වීම සම්බන්ධව කියා සිටිනුයේ මෙවැන්නකි:


''පී.ඩී කරුණාරත්න මගේ ස්වාමී පුරුෂයා 1989 නොවැම්බර් 04 වැනි දින සවස 4ත් 5 ත් අතර කාලයේදි නිවස අසල කඩයේදි  යටවත්ත හමුදා  කඳවුරෙන් පැමිණි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මගේ මහත්තයාව අත්අඩංගුවට අරගන්නවා කඩේ මුදලාලිත්, ගුණසේන යන අයත් දැක තිබෙනවා. මහත්තයාව රැගෙන යාමට පැමිණි හමුදා නිළධාරින්ව හොඳින් හඳුනමි.ඔවුන් යටවත්ත හමුදා කඳවුරේ පළමුවැනි හමුදා රෙජිමේන්තුවේ කෝප්‍රල් විමලසිරි, කැප්ටන් බණ්ඩාර ඇතුළු පිරිසකි. මගේ මහත්තයාව දින හයක් යටවත්ත කඳවුරේ තියාගෙන සිටියා.

ඔහු බේරා ගැනීම සඳහා කොම්පඤ්ඥවීදිය හමුදා කඳවුරේ ලොකු නිළධාරියෙකුගෙන් ලිපියක් අරන් ඇවිත් දුන්නා. ඒ අතර මගේ මවත් හමුදාවෙන් අල්ලන් ගියා. ලිපිය දෙන්න යන කොට මාවත් අල්ලා ගත්තා. යටවත්ත කඳවුරේ මහත්තයා සිටිය කාමරයටම මාවත් දැම්මා. පසුදා තුනට මාව නිදහස් කළත් පුරුෂයාව තියා ගත්තා."1989 දෙසැම්බර් 25 වැනි දින පුරුෂයා බැලීමට මම කඳවුරට ගියත් ඔහු එහි සිටියේ නැහැ. මට කිව්වා මාතලේට අරන් ගිය බව. නමුත් ඔහු වෙන කිසිම කඳවුරක සිටියේ නැහැ. පස්සේ මට ආරංචි වුණා වල්ලේවෙල හන්දියේ පුච්චලා දමා තිබෙන බවට. මා එහි ගොස් බැලුවේ නැහැ. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා දුව වයස අවුරුදු 14 යි. දෙවැනි පුතාට වයස අවුරුදු 12 යි''

කාන්ති පුෂ්පලතාගේ සැමියාගේ අතුරුදහන්වීම පිළිබඳව එගොඩපිටියේ ‍ගෙදර අනුර ජයරත්න නැමැති අය  අතුරුදහන්වුන් පිළිබඳ කොමිසමේ සභාපති ටි.සුන්දරලිංගම් ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටිනුයේ යටවත්ත කඳවුරේ තමන් සමග එකට සිටි 'රසික' නම් රැඳවියෙකු දිනක් තමන් හමුවට පැමිණ හමුදාවෙන් කරුණාරත්නට පහරදී මරා දමා පුළුස්සා දැමීමට රැගෙන ගියා යැයි කියු බවයි.

ඔහුගේ ප්‍රකාශයෙ හි මෙසේ සඳහන් වේ: ''මම එගොඩපිටියේ ගෙදර අනුර ජයරත්න. පදිංචිය එගොඩපිටිය, උඩස්ගිරිය, මාතලේ. වයස අවුරුදු 28 යි. සිංහල බුද්ධාගම. අතුරුදහන් කරුණාරත්න යන අය මා ගමේදි හොඳින් හඳුනමි. ඔහුව යටවත්ත හමුදා කඳවුරෙන් 1989 නොවැම්බර් 04 වැනි දින රැගෙන ගිය බව ආරංචි වුණා. හමුදා කඳවුරට පැමිණෙන ලෙස මගේ අම්මා අතේ මටත් දන්වා එවා තිබුණා. මා 1989 නොවැම්බර් 11 දින යටවත්ත කඳවුරට ගොස් භාර වුණා. එහිදි වරෙක කරුණාරත්න මට කිවුවා මල්ලිලා ආව එක හොඳයි කියා. එම කඳවුරේ මා දින 12 රඳවාගෙන සිටියා. එක් දිනක් රාත්‍රි 9 ට පමණ ගහන්න එපා‍‍, ගහන්න එපා යනුවෙන් මහ හඬින් කෑගසනවා ඇසුනා.පසු දිනෙක එම කඳවුරෙම රඳවා සිටි රසික නම් අයෙක් මට ඇවිත් කිවුවා හමුදාවෙන් කරුණාරත්නට ගහලා,ගහලා මරලා දාලා පුලුස්සා දාන්න වාලවෙල හන්දියට ගෙන ගිය බව''.

මාතලේ දිස්ත්‍රිකය පුරා තැන තැන ස්ථානගත කොට තිබුණු හමුදා කඳවුරු, රැඳවුම් මධ්‍යස්ථානයන් මෙන්ම නොයෙක් නම්වලින් පසුකලක හඳුනා ගත් වධකාගාරයන් බොහෝමයක සිදුවු දෑ එයින් වසර කිහිපයකට පසුව යම් තරමින් හෝ හෙළිදරව් වුණද ඒවායෙහි ගොදුරු බවට පත්වුවන්ට ඉටුවු යුක්තියක් නොමැත. එනිසාම බොහෝ දෙනෙකුට සිදුවුයේ බලාපොරොත්තුව පමණක් ඉතිරි කොටගෙන පැමිණිළි කළ හැකි, යුක්තියක් යැදිය හැකි තැනින් තැන රස්තියාදු වී හිස් අතින් පිටව යෑමට ය. ඉක්බිති ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන්ම  මිය යාමට ය.

මාතලේ ඕවිලිකන්ද ,රත්තොට ආදි ප්‍රදේශයන්හි පිහිටුවා තිබුණු හමුදා කඳවුරුවලටත්, විජය විද්‍යාලයේ පිහිටුවා තිබුණු හමුදා වධකාගාරයටත් රැගෙන ගිය බොහෝ දෙනෙකුන් නැවත පණ පිටින් පැමිණි නැති බව අදාළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කොට ඇති පැමිණිළි සහ ලිපි මගින් සනාථ වේ. ජනාධිපති කොමිසම් සභා සහ වෙනත් පුද්ගලයන් වෙත ඉදිරිපත් කොට ඇති ලිපිවල ඉතා පැහැදිලිව සඳහන් වන්නේ 'ඕවිලිකන්ද සහ රත්තොට හමුදා කඳවුරුවලින්' පැමිණි හමුදා පිරිස් දිනපතාම ප්‍රදේශයේ නිවෙස් වටකොට විශාල වශයෙන් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඇති බවටයි.

ඕවිලිකන්ද සහ රත්තොට වධකබිම්

මේ ‍ඕවිලිකන්ද, රත්තොට මෙන්ම  මාතලේ අනෙකුත් ප්‍රදේශයන්වලින් වාර්තා වු පුද්ගල අතුරුදහන් කිරීම් සහ ඝාතන කිහිපයකි.
මාතලේ, මුවන්දෙනිය, වැටස්යාය ලිපිනයේ පදිංචිව සිටි එවකට 68 වන වියේ පසු වු වාසලආරච්චි සරත් චන්ද්‍රසිරි නැමති අය සිය පුත්‍රයා වු ඩබ්ලියු. ඒ. සිසිර කුමාර වාසලආරච්චි ගේ අතුරුදහන්වීම පිළිබඳව කොමිසම හමුවේ ලබා දී ඇති සාක්ෂියේ මෙසේ සඳහන් වේ.

''මගේ පුතා 1989 නොවැම්බර් 10 වැනි දින රාත්‍රි 2.30 ට පමණ නිවසේ සිටියදි අල්ලාගෙන ගියා. කළු පාට ටී ෂර්ට් සහ කළු කොට කලිසම් ඇඳ ටී 56 තුවක්කු අරන් ඇවිත් තිබුණේ. පුතාව එළියට අරන් වෙඩි 6ක් විතර තිබ්බා. ගෙයින් පිටත 25 පමණ රැඳි සිටියා. පුතා අරන් යන කොට මමත් පස්සෙන් ගියා. වාහන දෙකක් පාර අයිනේ තිබුණා. අංක තහඩු නැහැ. පැජරෝ එක නිල් පාටයි. ඩෙලිකා එක සුදුපාටයි. එදා සිට පුතාව හෙව්වත් හමුවුණේ නැහැ. පුතා හමුදාවේ ඉංජිනේරු අංශයේ කෝප්‍රල් කෙනෙක්. පුතා පැහැර ගන්න කොට හමුදාවෙන් ඉවත් වෙලයි හිටියේ. පුතා ගැන හමුදාවෙන් විමසුවා.

මාතලේ විජය කඳවුරේ 'ගෝඨාභය රාජපක්ෂ' මහතාගෙන් විමසුවාම අපි නොවෙයි ගෙනාවේ පොලිසියෙන් යැයි කිවුවා. පොලිසියට ගිහින් පොලිස් අධිකාරි මහින්ද බාලසුරිය මහතාගෙන් විමසුවත් ඔහු කිවුවෙත්  අපි ගෙනාවේ නැහැ කියලයි. පස්සේ මාතලේ පොලිසියේ 'අයි ශාඛාව' භාරව සිටි නාවලගේ මහාතාගෙන් විමසුවා. ඔහුත් කිවුවේ අපි ගෙනාවේ නැති බවයි. මගේ පුතාව ගෙනිච්චේ කවුද? එයාට මොනවද වුණේ? පුතා පැහැරගෙන යන විට පුතාගේ දරුවට මාස දෙකයි''.

මාතලේ, ඕවිලිකන්ද, වදේමඩ ලිපිනය සඳහන් ගල්පොත්තාගාව ගෙදර චන්ද්‍රාවතීගේ කතාවද එයට නොවෙනස් එකකි. ඇගේ සැමියා වන ඒ.පී.රූපසිංහ 1989 ඔක්තෝබර් 07 වැනි දින හමුදා අත්අඩංගුවට පත්වන්නේ එදින ඕවිලිකන්ද ගම්මානයේ සිදුකරන හමුදා වැටලිමක් අතරවාරයේ ය. අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඕවිලිකන්ද කඳවුරට රැගෙන යන ඔහු ඇතුළු පිරිස යළි කිසි දිනක ඔවුන්ගේ ඥාතීන්ට දක්නට නොලැබුණු බවයි ඇය කියා සිටිනුයේ. එසේම ඕවිලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටි කාලයේ දි තම සැමියා බලන්නට උත්සහ ගනු ලැබුවද එහි සිට හමුදා සෙබළුන් තම කොණ්ඩය කපා එළවා දැමු බව ඇය සාක්‍ෂි දෙමින් කියා තිබේ.

ස්වාමි පුරුෂයන් අහිමි වු බිරින්දෑවරුන්ගෙනුත්, දරුවන් අහිමි වු මව්පියන්ගෙනුත් නැගෙන  ඕවිලිකන්දේ ශෝකාලාපයන් ඒ සංහාරය නිමා වූ පමණින් අවසන් නොවේ. හමුදා සෙබළුන් තම දරුවන්, විවාහක පුරුෂයන් උදුරාගෙන යන විට පිළිසරණක් නොමැතිව සිටියවුන් එයින් සය වසරකට පසු පත්කරන ලද ජනාධිපති කොමිසම් සහ පරික්ෂණ මණ්ඩලයන් හමුවේ යළි යළිත් සාක්ෂි දෙන්නේ තමන්ගෙන් උදුරා ගත් දරුවන් දෑසින් දැකගැනීමේ  ආශාව අත් නොහරිමිනි. නමුත් වැදගත් ප්‍රශ්නය වන්නේ, ඒ තරම් වූ දුක් තැවුල් විඳි ජන සමාජයක් වන්නියේ මිනිස් සංහාරයෙන් සය වසරක් ගෙවෙන මේ වසරේදීත් සිය දරුවන් සොයා ඇවිදිමින්, මළවුන්ට යුක්තිය අයදින දෙමළ ජනයාගේ ඉරණම නොතකා ඒ දුක් ගැනවිලි මැඩලන්නට කල්පනා  කරන්නට පුරුදු වූයේ කෙසේද යන්නයි. 

මාතලේ ඕවිලිකන්ද ඇටිපොල වත්ත පදිංචිව සිට ඇති 70 හැවිරිදි ගලහෑන හේනේගෙදර ධර්මකීර්ති දේවගේ ජිනදාසගේ පිරිමි දරුවන් තිදෙනාම එකම දිනෙක හමුදාවෙන් රැගෙන යන්නේ ඕවිලිකන්ද හමුදා කඳවුරට ගෙන යන බව පවසමිනි. ඒ 1989 ඔක්තෝබර් 07 වැනි දා ය.ප්‍රේමසිරි, සෝමසිරි සහ කුසුම්සිරි යන තම දරු තිදෙනා කඳවුරට රැගෙන යාමෙන් පසුව ඔවුන් බැලීමට තමන් ගිය බවත් කඳවුරෙ සිටි 'ජයතිස්ස' නැමති හමුදා නිළධාරියෙක් තමන්ට පහර දී එළවාගත් බවත් ඔහු කියා සිටියි. පසු දිනෙක ප්‍රේමසිරි සහ සෝමසිරි යන දරුවන්ව නිදහස් කර එවු බවත්, කුසුම්සිරිව ට්‍රක් රථයකට පටවාගෙන යනු දුටු බවත් එයින් පසුව ඔහුව යළි කිසි දිනෙක නොදුටු බවත් ඔහු කොමිසම හමුවේ කියා තිබේ.

කඳවුරෙන් නිදහස්ව පැමිණෙන එච්.ඩී.සෝමසිරි, කොමිසම හමුවේ කියා සිටිනුයේ කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන් සහ සහොදරයන් දෙදෙනාව බිල්ලෙකුට පෙන්නු බවත්, බිල්ලා කුසුම්සිරි දෙස බලා හිස සැලු පසු හමුදාව ඔහුට පහරදී ඉවතට රැගෙන ගිය බවත් ය.
ඕවිලිකන්ද, පන්වත්ත පදිංචිව සිට 19 හැවිරිදි පාසැල් ශිෂ්‍යයකු වු කේ.පී. සිරිසේනව 1989 නොවැම්බර් 04 වැනි දින  උඩුපිහිල්ල හමුදා කඳවුරෙන් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් රැගෙන යන්නේ ‍ඕවිලිකන්ද කඳවුරට පසුදා පැමිණ දරුවා භාර ගන්නා ලෙස පියාට දැනුම් දෙමිනි. ඔහු රැගෙන යාමෙන් වසර කිහිපයකට පසුව, එනම් 1995 සැප්තැම්බර් 25 වැනි දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම හමුවේ සාක්ෂි දුන් එච්.පී.ගුණපාල නැමැත්තා කියා ඇත්තේ තම ඥාති පුත්‍රයා හමුදාවෙන් රැගෙන යනු තමන් දුටු බවයි. එසේම කිසිදු බියක් ඇතිකර නොගෙන පසුදා ඕවිලිකන්ද කඳවුරට පැමිණ ඔහුව භාර ගන්නා ලෙසට සිරිසේනගේ පියාට හමුදා නිළධාරියෙක් කියා සිටිනු තමන්ට ඇසුනු බවද ඔහු සඳහන් කරයි. නමුත් එසේ රැගෙන යාමෙන් පසු යළිත් සිය ඥාති පුත්‍රයාව කිසිවකුටත් දක්නට නොලැබුණු බවයි ගුණපාල තම සාක්ෂියෙන් සඳහන් කර සිටිනුයේ.

ජයතිස්සගේ මිනිස් දඩයම්

මිනිසුන් පැහැර ගැනීමට ඕවිලකන්ද හමුදා කඳවුරෙන් පැමිණි හමුදා භටයන්ට නායකත්වය දී ඇත්තේ ජයතිස්ස නැමති නිළධාරියෙක් යැයි අවස්ථා කිහිපයකදිම හෙළිදරව් වී තිබේ. ඔහු විසින් කරන ලද තවත් පැහැර ගැනීමක් පිළිබඳව කතාව කොමිසමේ සාක්‍ෂි ලියැවිලි අතර මෙසේ දැක් වේ

ඕවිලිකන්ද, පරගස්තැන්නේ පදිංචිව සිටි 23 හැවිරිදි එක් දරු පියෙකු වු ඊ.ජී. ජයතුංග නැමැත්තාව ඕවිලිකන්ද හමුදා කඳවුරෙන් පැමිණි බැව් පවසා රැගෙන යන්නේ 1989 නොවැම්බර් 14 වැනි දා ය. ඔහුගේ බිරිඳගේ මව කියා ඇත්තේ එදින රාත්‍රි 12 ට පමණ පැමිණි පිරිසක් තම බෑණනුවන්ව පැහැරගෙන ගිය බව ය. පැමිණි පිරිස ඕවිලිකන්ද කඳවුරට අනුයුක්ත කොට සිටි 'ගජබා රෙජිමේන්තුවේ' අය බවටත්, එක් අයෙක් ජයතිස්ස යන නිළධාරියා බවටත් පසුව හඳුනා ගන්නට ලැබුණු බවඇය කියා සිටියි. එසේම තම බෑණා රැගෙන යාමට පැමිණි දින අසල නිවෙස්වල තරුණයන් තිදෙනෙක් සහ තරුණියක්වද හමුදාව විසින් රැගෙන ගිය බවත් එසේ රැගෙන ගිය අයවලුන් යළි කිසි දිනෙක නොපැමිණි බවත් ඇයගේ සාක්‍ෂියෙහි දැක් වේ.

හමුදා නිලධාරී ජයතිස්සගේ මිනිස් දඩයම් ‍එතෙකින් අවසන් නොවේ. මෙයද එවන් කතාවකි.

ඕවිලිකන්ද හොරගහපිටියේ පදිංචිව සිටි 42 හැවිරිදි, ඉඩම්ගෙදර සමරසිංහ කියා ඇත්තේ එන්.පී.උපසේන නැමති අය තමන් සමග 1989 ඔක්තෝබර් 22 දින  ඕවිලිකන්ද පාලුවත්ත කුඹුරේ වැඩ කරමින් සිටියදි එහි පැමිණි ජයතිස්ස නැමති හමුදා නිළධාරියා සහ පිරිසක් විසින් ගිණි අවි පෙන්වා රැගෙන ගිය බවයි. ඔහුගේ ඉරණමද සෙස්සන්ගේ ඉරණමට වෙනස් නොවේ.

ඕවිලිකන්ද, පන්වත්තේ පදිංචිව හුන් 50 හැවිරිදි උඩගම්මැද්දේ ගෙදර දිනදාස සහ ඔහුගේ පුතු වු 25 හැවිරිදි යු.ජී. චන්ද්‍රපාලව 1989 නොවැම්බර් 12 වැනි දින ඕවිලිකන්ද හමුදා කඳවුරට රැගෙන යන්නේ ද මෙම ජයතිස්ස නැමති නිළධාරියා විසිනි. පසුව නිදහස්ව පැමිණෙන දිනදාස නැමැති අය කියා සිටිනුයේ  ඕවිලිකන්ද කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන්ට පහර දී උඩුපිහිල්ල කඳවුරට  රැගෙන ගිය බවයි.

'කඳවුරුවලදි අපි දෙන්නට පහර දුන්නේ ජයතිස්ස සහ ප්‍රේමදාස කියන නිළධාරීන්. පසුව මගේ දෑස් බැඳ උකුවෙලට ගෙනත් දැම්මා. නමුත් වරින් වර හත් වතාවක් මාව කඳවුරට අරන් ගිහින් පහර දුන්නා. නමුත් ඒ කිසිදු අවස්ථාවක මට මගේ පුතාව දකින්න ලැබුණේ නැහැ'.

සමුහ වැටලීම්
පැහැරගෙන යාම් හැමවිටම එකා දෙන්නා වශයෙන් නොවේ. ඇතැම් තැනෙක සමූහ වශයෙන් කරන ලද බලහත්කාරී පැහැරගෙන යාම් සමූහ අතුරදහන්වීම් වශයෙන් ඉතිහාසයට එක්ව තිබේ.

රත්තොට පොලිස් වසමේ කයිකාවල පොල්වත්තේ දි 1989 ජූලි මාස15 වැනි දින එකවර පැහැර ගනු ලබන පුද්ගලයන් 13 දෙනෙක් පිළිබඳව ලියැවි ඇත්තේ එවැනිම සාක්ෂි සටහනකි. කයිකාවල පොල්වත්ත නැමති ප්‍රදේශයේ නිවසක පැවති දානමය පිංකමක් වෙනුවෙන් උදව් උපකාර කිරීමට පැමිණ සිටි බව පැවසෙන පිරිසක් අතරින් තෝරා වෙන්කොටගත් 13 දෙනෙක් මෙසේ පැහැරගැනීමට ලක්ව තිබේ. සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂිවලට අනුව ටී 56 සහ එල්.එම්.ජී. ස්වයංක්‍රීය ගිනි අවි සහ අත් බෝම්බවලින් සන්නද්ධව අංක තහඩු රහිත වාහනවලින් පැමිණ මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ  අදාළ නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද බණ්ඩා, කරුණාරත්න බණ්ඩා, ආර්.ඒ රණසිංහ, ආර්.ඩබ්ලියු.ඩබ්ලියු විජේසිංහ, එම්.ජිනසේන, ලැම්බට් පෙරේරා, එච්.ගුණසිරි, කේ.ජි.රත්නපාල, ජිනසේන ප්‍රනාන්දු, සුදත් නොහොත් සනා, ආර්.එම් කරුණාරත්න,ගාමිණි සහ තවත් එක් අයෙකි.

පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ අදාළ නිවසේ සිටි උපුල් ඉන්ද්‍රලාල් දසනායක නැමැත්තා විසින් ලබා දෙන ලද සාක්ෂි සටහනේ දැක්වෙනුයේ උක්ත දිනයෙහි සවස 4-5 ත් අතර කාලයේ ටෲපර් රථ දෙකකින් සහ නිසාන් ඩබල් කැබ් රථයකින් පැමිණි හමුදා භට පිරිසක් විසින් නිවස වටලා එහි සිටි සියළු පිරිමින් පිටතට ගෙන බිම දණ ගැස්වු බවයි. පසුව පිස්තෝලයක් කරකවමින් පැමිණි පුද්ගලයෙක් තමන් කැප්ටන් බැද්දෙවෙල ලෙස හඳුන්වා දුන් බවත් ඔහු කියා සිටියි.

ඇස් ඉගිල්ලූ මළ සිරුරු

පුද්ගලයන් පැහැරගනු ලැබු නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වු විශ්‍රාමික හමුදා සැරයන් පි.එම්.සෙනරත් බණ්ඩා එම පැහැර ගැනීම පිළිබඳව මෙසේ කියා තිබේ:
''අත්අඩංගුවට ගත්ත සියළු දෙනාගේම අත් පිටුපස්සට කරලා ගැට ගැසුවා. ඇඳගෙන හිටිය කමිස ගලවලා මුණ වැහුවා. පස්සේ අපිට කිවුවා හෙට උදේට පල්ලේකැලේ කඳවුරට වරෙල්ලා, මුන්ව භාර දෙන්නම් කියලා. පසුවදා පල්ලේකැලේ කඳවුරට ගිහින් මගේ හමුදා හැඳුන්ම්පත පෙන්වලා කැප්ටන් කෙනෙක්ගෙන් ඇහුවා ගෙනාපු අය කෝ කියලා. ඔහු කිවුවා අපි ගෙනාවේ නැහැ, මේක උඩුගම්පලගේ වැඩක් ඉක්මනට ගිහින් මරලා දාලා තියෙන තැන්වල බලපල්ලා යනුවෙන්. සිද්ධියෙන් දින හතරකට පස්සේ අපිට ආරංචි වුණා මාරස්සන පාලමක් ලඟ පුද්ගලයෝ හතර දෙනෙක්ව මරලා දලා තිබිලා නුවර පොලිස් මෝචරියට ගෙනත් දා තිබෙනවා කියා. අපි ගිහින් ඒවා බැලුවා. ඒ මළ සිරුරු හතර මගේ ඥාති පුත්‍රයා වන දයානන්ද, ලැම්බට් පෙරේරා, රණසිංහ සහ ගාමිණි යන අයගෙයි. හඳුනාගන්න බැරි තරමටම විරුපී කරලා දසවද දිලායි මරලා තිබුණේ. ඇස් උගුල්ලලා, ඇස්වලට වෙඩි තියලා ඔලු ගලවලා මරලා තිබුණේ. අනෙක් අයගේ සිරුරු හමුවුණේවත් ඉන්න තැනක් ගැනවත් මේ වනකම් ආරංචියක් නැහැ''.

කෙසේ නමුත් පැහැරගැනීමට ලක්වු ආර්.ඩබ්.විජේසිංහ නැමැත්තාගේ සොහොයුරෙකු වන දිසානායක මුදියන්සෙලාගේ ජයතිලක නැමැත්තා  විසින් සපයන ලද සාක්‍ෂියට අනුව මෙම පැහැර ගැනීම සහ ඝාතනයන්ට හේතුව අතුරුදහන් වු ඇතැමුන් ප්‍රදේශයේ එවක දේශපාලන බලවතාව සිටි පී.බී. කවිරත්නට එරෙහිව දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම ය.
දකුණේදී රාජ්‍ය හමුදා සහ ආරක්‍ෂක අංශ විසින් කරන අපරාධ පිළිබඳ සාක්‍ෂි වාර්තා '90 දශකයේ මුල් වසර කිහිපයෙන් පසු මාධ්‍ය වාර්තාවලින් ක්‍රමානුකලව අතුරුදහන් විය. ඒ, උතුරු නැගෙනහිර පළාත්වල අලුත් වටයකින් දියත් කෙරුණු දෙමළාට එරෙහි නව සංග්‍රාමයට අවශ්‍ය 'ජීව ගුණයෙන්' ජාතිය පණ පොවනු පිණිස දකුණේ සංහාරයන් අමතක කළ යුතුව තිබූ නිසාවෙනි. චෙම්මනි ගැන නොතකා හරින්නට නම් ඕවිලිකන්ද මතකයෙන් මකාලිය යුතුව තිබුණි.  '90 දශකයේ පළමු භාගයේදී  අළුගෝසු හමුදා සේ සමාජ වෛරයට පාත්‍ර වූ රාජ්‍යයේ නිල සේනා එම දශකයේම දෙවන භාගයේදී දෑ හිතකාමී රණ ශූරයන් සේ බෞතීස්මය ලැබීමේ රහස එයයි.☐


කිත්සිරි විජේසිංහ
http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/496-2015-12-04-11-39-05

Tuesday, November 8, 2016

කුමාර් ගුණරත්නම් ප්‍රශ්නය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය


ලංකාවේ උපන් අයකු ලෙස කුමාර් ගුණරත්නම්ට හිමි පුරවැසි අයිතිය ආණ්ඩුව විසින් පිලිගතයුතු බව අවධාරණය කරමින් ඔහුට ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරන් විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් නොවැම්බර් 07 දින කොළඹ පදනම් ආයතනයේදී පැවැතිවිණි.

‘කුමාර් ගුණරත්නම් ප්‍රශ්නය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය‘ යන තේමාවෙන් එම සම්මන්ත්‍රණය සංවිධානය කරණ ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔහු හා අධ්‍යාපනය ලැබූ දැනට මෙරට විවිධ ක්ෂේත්‍රවල සේවය කරන වෘත්තිකයන් විසිනි. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරනු ලැබූ දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන් සහ කුමාර් ගුණරත්නම්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින තවත් බොහෝ දෙනා එක්වී සිටියහ. එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි දැක්වූ අදහස්


"

මම කැමතියි කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නය පිළිබඳව ෆේස්බුක් වේබ් අඩවිය තුළ එත්තරා විවේචකයෙක් අහපු ප‍්‍රශ්නයකින් පටන් ගන්න.

කෝප් වාර්තව සම්බන්ධයෙන් සාකච්ඡුාවක් මතු වෙලා තිබුණ වෙලාවක, මම ඒ ගැන ප‍්‍රසාදයෙන් කතා කරපු අවස්ථාවක අහලා තිබුණා ”ඔබ නොයෙක් ප‍්‍රශ්න ගැන කතා කරනවා කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් අනුර කුමාරගේ ස්ථාවරය ගැන ඔබ මොකද කියන්නේ?’ කියලා. මම කිව්වා ඒක දැනගන්න අවශ්‍ය නම් 07 වෙනිදා පදනම් ආයතනයට එන්න කියලා. දැන් මම හදන්නේ ඒ විවේචකය අහපු ප‍්‍රශ්නයට උත්තර දෙන්න.

මේක නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක්ම නෙවෙයි. පුරවැසිභාවය, පාස්පොට් ප‍්‍රශනය ඇතුළු ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා. විමල් විරවංශගේ පාස්පොට් ප‍්‍රශ්නය. අර්ජුන් මහේන්ද්‍රගේ පුරවැසිභාය පිළිබඳ ප‍්‍රශ්නය. මේවැනි අවස්ථා තිබෙනවා. මේ පිළිබඳව තීරණ ගැනෙන්නේ දේශපාලන බල තුලනය සලකා බැලීම තුළ. ජනාධිපති වරණයෙන් පසුව අගමැතිවරයා සමග වෙනත් ප‍්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡුාවකදී  මම ඇහුවා. ඒ වෙලාවෙදී ඔහු කිව්වේ ගැටලූවක් නැහැ ඒක ඉක්මනට විසදේයි කියලා කිව්වා. ඒ 2015 මාර්තු විතර ඇති.

මම වෙනත් පාර්ශවන් සමඟ කතා කලා එතකොට කවුරුවත් කිව්වේ නැහැ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. එක්තරා දේශපාලන චරිතයක් මට කිව්වා මේක නොවිස`දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නිසා කියලා. ඉන්පස්සෙ මම ඒ ගැන ප‍්‍රසිද්ධියෙ කතා කළා. ඊට පසුව අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවුණු වෙලාවක මට කිව්වා. මම කළ ප‍්‍රකාශය සඳහන් කරමින් ”අපේ එහෙම ප‍්‍රශ්නයක් නැහැ” කියල ඔහු ප‍්‍රකාශ කළා. මට අහවලා තමයි කිව්වේ කියා සඳහන් කළා. ඒ ප‍්‍රකාශය සත්‍ය හෝ නොවේවා. මම හිතනවා ජවිපෙ මැදිහත් වීම මූලික වශයෙන් අවශයි.

මීට පෙර ආණ්ඩුවක් ඔහු පැහැර ගත්තා ගොඪාභය රාජපක්ෂ පුවත් පතකට කිව්වා ජවිපෙ උවමනාවතට මෙහෙම කළ බව. එවිට ජවිපෙ ඒක ප‍්‍රතික්ෂෙප කළා. නමුත් ජවිපෙ නිශ්ශබ්දතාවය. මේ ප‍්‍රශ්නය යම් පාර්ශවයකට අවශ්‍යතාවක් තිබෙනවා නම් ඒක ජවිපෙ නිහැඩියාව සේවය කරනවා. පුද්ගලිකව හමුවෙන කොට  කියලා වැඩක් නැහැ. එයාලා ප‍්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම අවශයි. මගහැර යාමට හැකියාවක් නැහැ.  මේ ආණ්ඩුවේ ප‍්‍රජතන්ත‍්‍රවාදී අක්ත පත‍්‍රය පරික්ෂාවට ලක්වන දෙයක් තමයි කුමාර් ගුණරත්නම් සිද්ධිය."




https://www.facebook.com/free.kumar.gunaratnam/videos/1098038193642900/

Friday, November 4, 2016

අමරයෝද මැරෙති



මට මතක හැටියට මේ මාතෘකාව ‍රැගත් තීරු ලිපියක් පල වූයේ 1980 ගණන් වල මුල් කාලයේ දිවයින පත්‍රයේය. මගේ මතකය හරි නම්  එය ලිව්වේ උකුස්සා නමින් කොළමක් ලියු දයාසේන ගුණසිංහයන්ය. එහි වූයේ  එවක ආණ්ඩු බලයේ සිටි පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගේ දේශපාලන ‍රැස්වීමක ගී ගැයූ ගායක ගායිකාවන් පිරිසක්  එම දේශපාලකයාගේ නිවසට ගෙනවුත් කුස්සීය පැත්තේ රඳවා ඔවුන්ට මධුවිතින් සංග්‍රහ කළ හැටිය. එම සාදයට සහභාගි වූ අමරදේවයන්ද එක් අතෙකින් මධු විතත් අනිත් අතින් කට ගැසුමක් ද ගෙන එහි සිටි අයුරු ඔහු ව්‍යංගයෙන් විස්තර කළේ අමරයෝද මැරෙති කියමිනි.

එහෙත් එදා ගැටවර  වියේ සිටි මගේ සිතේ එයින් ඇති වූයේ අමරදේවයන් ගැන දුකක් මිස තරහක් නොවේ. මෑත යුගයේද මහින්ද රාජපක්ෂට කඩේ ගියා යැයි කියමින් අමරදේවයන්ට ගරහන විට මට සිහි වන්නේ එදා උකුස්සාගේ කොළම කියවද්දි මට දැනුනු හැඟුමන් ම නෙවේ. එදා ඔහු ගැන දුකක් සිතුනත් අද  මා සිතන්නේ එලෙස නෙවේ. අමරදේවයන් යනු ඉතා අහිංසක මිනිසෙකි. දේශපාලනය වැනි පෘතග්ජන කාරණා ගැන සිත යොමු නොකළ, තම මුළු දිවියම , එහි අරුතින්ම සංගීතයට කැප කළ මේ සුන්දර මිනිසා  ඒ තත්වයට ඇද ගෙන ගොස් ඔහුගේ ‍රැස් වලල්ලෙන් තම ලාම්පු පත්තු කර ගැනීමට හිතූ දේශපාලන තක්කඩීන් ගැන පිළිකුලකි.

එය එලෙස සිදු වූ දෙයක් බව හොඳින් දැනගෙනම ඔහුගේ ක්‍රියාවන් දේශපාලන අරුතින් විවේචනය කරන කුහකයින් ගැන තරහකි.පිළිකුලකි.මෙයින් එක් අයෙක් අමරදේවයන් හොඳ සංගීත ඥාණයක් නැත්තවුන්ට බවක් ද කියා තිබුණේ තමන් වටා සිටින කල්ලියක ප්‍රශංසා වලින් උදුම්මා ගත් හිසක් නිසාය.

 ගැටවර වියේ  පවා අමරදේවයන් අපගේ සොඳුරු ගායකයා විය. සේකරයන්ගේ සොඳුරු පදවැල් අමරදේවයන්ගේ මුවින් සංගීතය හා මුසුව නික්මුණේ අපගේ යොවුන් හදවත් විටෙක  ප්‍රේමයෙන් ද විටෙක අප්‍රමාණ වූ ශෝකයෙන්ද පුරවාලමිනි. ඔහු ගැයූ " ඈත කඳුකර හිමව් අරණේ"  එසමයේ මගේ ප්‍රියතම ගීතය විය.පසු කලෙක   එතැන විටින් විට ගුණදාස කපුගේ , ප්‍රේමසිරි කේමදාස ආදින් විසින් පිරවුණද අමරදේව නිර්මාණයන්ට අප හදවතේ කොණක් සැමදාම විවරව තිබිණි.

එය වික්‍රමසිංහයන්ගේ නවකතාවක් මෙන්, මහගම සේකරයන්ගේ කවියක් මෙන්, අමරදේවයන්ගේ ගීයක් මෙන් සුන්දර වූ ළමා වියකින් අපට උරුම දේය.   ඒ 1976  ජනවාරි  මස එක් දිනක, මහගම සේකරයන් මිය ගිය පුවත ඇසු මගේ මව අනේ මහගම සේකර මැරිලා යයි කියනු ඇසී මම ඒ කවුදැයි ඇසූ හැටිත් , ඔහු ගැන විස්තරයක් කියා දුන් මව පාසැල් පුස්තකාලයට,   එවකට නම වැනි වියේ උන් මා කැ‍ටුව ගොස්  ඔහුගේ තුන් මන් හන්දිය නවකතාව කියවන්නට දුන් හැටි අද වගේ මතකය.

අමරදේවයන්ගේ  සංගීත ඥාණය ගැන හෝ  වාදක හැකියාව ගැන කීමට සංගීතය ගැන අප දැනුම මඳය. එහෙත් ඒ ඈත අතීතයේ සිටම ඔහුගේ ගී ඇසු , රස විඳි පරම්පරාවකට අයිති අපට අද දැනෙන්නේ මහා ගායකයකුගේ වියොවටත් වඩා  ප්‍රියයෙකුගේ  නික්ම යෑමක් ලෙසිනි.

අමරදේවයනි ! ඔබට පෙම් කළ බොහෝ දෙනෙකුන් ඔබ වෙනුවෙන් දුක් ගී ගයනු ඇත.