අමරයෝද මැරෙති



මට මතක හැටියට මේ මාතෘකාව ‍රැගත් තීරු ලිපියක් පල වූයේ 1980 ගණන් වල මුල් කාලයේ දිවයින පත්‍රයේය. මගේ මතකය හරි නම්  එය ලිව්වේ උකුස්සා නමින් කොළමක් ලියු දයාසේන ගුණසිංහයන්ය. එහි වූයේ  එවක ආණ්ඩු බලයේ සිටි පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගේ දේශපාලන ‍රැස්වීමක ගී ගැයූ ගායක ගායිකාවන් පිරිසක්  එම දේශපාලකයාගේ නිවසට ගෙනවුත් කුස්සීය පැත්තේ රඳවා ඔවුන්ට මධුවිතින් සංග්‍රහ කළ හැටිය. එම සාදයට සහභාගි වූ අමරදේවයන්ද එක් අතෙකින් මධු විතත් අනිත් අතින් කට ගැසුමක් ද ගෙන එහි සිටි අයුරු ඔහු ව්‍යංගයෙන් විස්තර කළේ අමරයෝද මැරෙති කියමිනි.

එහෙත් එදා ගැටවර  වියේ සිටි මගේ සිතේ එයින් ඇති වූයේ අමරදේවයන් ගැන දුකක් මිස තරහක් නොවේ. මෑත යුගයේද මහින්ද රාජපක්ෂට කඩේ ගියා යැයි කියමින් අමරදේවයන්ට ගරහන විට මට සිහි වන්නේ එදා උකුස්සාගේ කොළම කියවද්දි මට දැනුනු හැඟුමන් ම නෙවේ. එදා ඔහු ගැන දුකක් සිතුනත් අද  මා සිතන්නේ එලෙස නෙවේ. අමරදේවයන් යනු ඉතා අහිංසක මිනිසෙකි. දේශපාලනය වැනි පෘතග්ජන කාරණා ගැන සිත යොමු නොකළ, තම මුළු දිවියම , එහි අරුතින්ම සංගීතයට කැප කළ මේ සුන්දර මිනිසා  ඒ තත්වයට ඇද ගෙන ගොස් ඔහුගේ ‍රැස් වලල්ලෙන් තම ලාම්පු පත්තු කර ගැනීමට හිතූ දේශපාලන තක්කඩීන් ගැන පිළිකුලකි.

එය එලෙස සිදු වූ දෙයක් බව හොඳින් දැනගෙනම ඔහුගේ ක්‍රියාවන් දේශපාලන අරුතින් විවේචනය කරන කුහකයින් ගැන තරහකි.පිළිකුලකි.මෙයින් එක් අයෙක් අමරදේවයන් හොඳ සංගීත ඥාණයක් නැත්තවුන්ට බවක් ද කියා තිබුණේ තමන් වටා සිටින කල්ලියක ප්‍රශංසා වලින් උදුම්මා ගත් හිසක් නිසාය.

 ගැටවර වියේ  පවා අමරදේවයන් අපගේ සොඳුරු ගායකයා විය. සේකරයන්ගේ සොඳුරු පදවැල් අමරදේවයන්ගේ මුවින් සංගීතය හා මුසුව නික්මුණේ අපගේ යොවුන් හදවත් විටෙක  ප්‍රේමයෙන් ද විටෙක අප්‍රමාණ වූ ශෝකයෙන්ද පුරවාලමිනි. ඔහු ගැයූ " ඈත කඳුකර හිමව් අරණේ"  එසමයේ මගේ ප්‍රියතම ගීතය විය.පසු කලෙක   එතැන විටින් විට ගුණදාස කපුගේ , ප්‍රේමසිරි කේමදාස ආදින් විසින් පිරවුණද අමරදේව නිර්මාණයන්ට අප හදවතේ කොණක් සැමදාම විවරව තිබිණි.

එය වික්‍රමසිංහයන්ගේ නවකතාවක් මෙන්, මහගම සේකරයන්ගේ කවියක් මෙන්, අමරදේවයන්ගේ ගීයක් මෙන් සුන්දර වූ ළමා වියකින් අපට උරුම දේය.   ඒ 1976  ජනවාරි  මස එක් දිනක, මහගම සේකරයන් මිය ගිය පුවත ඇසු මගේ මව අනේ මහගම සේකර මැරිලා යයි කියනු ඇසී මම ඒ කවුදැයි ඇසූ හැටිත් , ඔහු ගැන විස්තරයක් කියා දුන් මව පාසැල් පුස්තකාලයට,   එවකට නම වැනි වියේ උන් මා කැ‍ටුව ගොස්  ඔහුගේ තුන් මන් හන්දිය නවකතාව කියවන්නට දුන් හැටි අද වගේ මතකය.

අමරදේවයන්ගේ  සංගීත ඥාණය ගැන හෝ  වාදක හැකියාව ගැන කීමට සංගීතය ගැන අප දැනුම මඳය. එහෙත් ඒ ඈත අතීතයේ සිටම ඔහුගේ ගී ඇසු , රස විඳි පරම්පරාවකට අයිති අපට අද දැනෙන්නේ මහා ගායකයකුගේ වියොවටත් වඩා  ප්‍රියයෙකුගේ  නික්ම යෑමක් ලෙසිනි.

අමරදේවයනි ! ඔබට පෙම් කළ බොහෝ දෙනෙකුන් ඔබ වෙනුවෙන් දුක් ගී ගයනු ඇත.

Comments

  1. ඒ ගම්පහ එපාප සංවිධායක ඩොනල්ඩ් පෙරේරා ගේ ගෙදර කියායි මට මතක ඒ ලිපියෙන්.

    දේශපාලන වේදිකාවල සින්දු කියන්න පටන් ගත්තේ එජාපයයි. නමුත් ඒ වගේ වැඩවලට නම් අමරදේවලා කවදාකවත් ගියේ නෑ.

    මං හිතන්නේ නලාකාරයෙකු කියන්නේ ආණ්ඩුපැත්තට කත් අදින කලාකරුවන්ටයි. ඒ අනුව කපුූගේ වුනත්, නලාකාරයෙකු වෙනවා ජවිපෙ බලයට ආවා නම්!

    ReplyDelete
  2. සුනිල් පෙරේරා නලාකාරයෙකු නව දිනය කවදා උදාවේද?

    ReplyDelete
  3. Let's talk something good about Amaradeva. He really deserves it.

    ReplyDelete
  4. අමරදේව කියන්නේ බොහොම සිම්පල් මනුස්සයෙක්... මෙතන විවේච්නය එන්නේ ඔහුගෙන් බැබලෙන්න ගිය අයට.. මාතලනුත් ඔහුගේ රසිකයෙක්.. ඒත් ඔහු ජනතාවගේ ගායකයෙක් නම් නෙමෙයි.

    ඒ බව මම හොඳින්ම දන්නේ මැද පෙරදිග සංගීත සංදර්ශණයක් වෙලාවේ ගෘහ සේවීකාවන් පිලිබඳව ඔහු දැරූ අදහසෙන්.

    දැන් ආන්ඩුව ඒ මනුස්සයගෙ අවසන් කැමත්තටත් පයින් ගහලා මිනීයෙන් බැබලෙන්න යනවා.. මේ තමයි අපේ සමාජය.

    ReplyDelete
    Replies
    1. ඕන් බලාපල්ලා සීයක් දෙසීයක් බලන බ්ලොග් කට්ටටයි බුකියටයි පින් සිද්ද වෙන්ඩ මැස්සෙක් ගිය උඩ.කෙස්ස පැහුනු නූගත් බේබදු ගයිඩෙක් තමුන්ගෙ හිස්කමේ වසුරු ටික බුකියෙයි බ්ලොග් වලයි හැමතැනම හලල .අර කුණු හරුප බ්ලොග් කට්ටෙන් තමුන්ගෙ හිස්කම වහ ගන්ට හැදුවට වචනයක් ලියපු ගමන් ජාතකේ එලියෙ.

      Delete
    2. දැක්කනේ මිනීයට ආපු සෙනඟ... කාළකන්නි අමරදේව ඝාතනය කලා..

      ඔහුගේ අවසාන ඉල්ලීමටවත් ඉඩ නොදී..

      ගයිඩාට පේන දේ පන්ඩිතයින්ට පේන්නේ නෑ...

      Delete
  5. මේ මනුස්සයා මියගියාට පස්සෙත් ඒ මරණය අල්ලන් දේශපාලනය කරන උන් ඒක කරනවා. ඒ මරණය දේශපාලන ඇසකින් බලන්න හදන බොහෝ බ්ලොග්කරුවනුත් උගුරට හොරා බෙහෙත් බොනවා. ඒත් ඇත්ත මේකයි....... අමරදේව කියන සංගීතඥයා මැරුණා. එච්චරයි..............

    ReplyDelete

Post a Comment