යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය

1989දී පැහැරගත් සිය පුතුන්ගේ සේයා රූ සමඟ මාතලේ උකුවෙල වරාකන්දවත්තේ කේ.ජී. කමලාවතී මාතාව 2013 වසරේ දී
 
ත්තොට, ගුරුබැබිල පදිංචි ටී.එම් මුදලි මැණිකේ අම්මා වරක් ජනාධිපති ප්‍රේමදාසට මෙසේ ලියා යැව්වා ය.
"උතුමාණනි,
ගරු ජනාධිපතිතුමන් වෙත ඉතා සංවේගයෙන් ලියමි.
ටී.එම් මුදලි මැණිකේ වන මගේ පුතු ටී.එම් තෙන්නකෝන් බණ්ඩා ය. මාගේ පුතු 27 හැවිරිදි ය. මාතලේ රත්තොට පොලිසියේ නිළධාරීන් පුතු සෙවීමට පැමිණි විට මම ඔහු  රැගෙන ගොස් එම නිළධාරින්ට භාර කළා. එම බාර දීමෙන් පසුව කිසිම තොරතුරක් ලැබුනේ නැත.
මම මේ ලිපිය ලියන්නේ ඔබතුමන්ගේ සහයෝගය ඇතුව මගේ පුතා සොයා ගැනීමටයි. ගරු ජනාධිපතිතුමනි, මගේ පුතා සොයා දෙන්න කියා මම ඉල්ලා සිටිමි. මගේ පුතාට විපතක් කරදරයක් වෙන්න ඉඩ නොදී සොයා දෙන්න කියා මම මෙතනනින් නවතිමි.
මෙයට පුතුගේ මව් ටී.එම් මුදලි මැණිකේ"
 
දශක දෙක හමාරකට කලින් මේ ලිපිය ලියූ අම්මාට සිය පුතු හමු වී යැයි කියන්නට කිසිදු සාක්‍ෂියක් අප හමුවේ නොවේ. එහෙත් දස දහස් සංඛ්‍යාත මනුෂ්‍යයන් රහසේ මරා පුළුස්සා දැමූ හෝ මිහිදන් කළ  ඒ අන්ධකාර යුගයේ දි ගුරුබැබිල මුදලි මැණිකේ අනන්ත දුක් විඳ උස් මහත් කළ තෙන්නකෝන් බණ්ඩා ද ඇතැම් විට එසේ මැකී ගිය මිනිස් ප්‍රාණයන් අතර එක් ගොදුරක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බොහෝ සාක්‍ෂි ඕනෑ තරම් ඇති බව අපි දනිමු. සිය පුතුට නපුරක් නොකොට යළි තමන් වෙත එවන්නැයි රටේ පාලකයාට ආයාචනා කරමින් ෆූල්ස් කැප් කොලයක ඇය ලියු ලිපියේ  නිළ මුද්‍රාවන් කිහිපයක්ම සටහන්ව තිබේ. අකුරු වියැකී දුර්වර්ණ වන තරමට රාජ්‍ය ආයතනයෙන් ආයතනයටත්, නිලධාරීන් අතින් අතටත් යන්නට ඇතැයි සිතිය හැකි ඇගේ ලිපිය අවසානයේ නතරව ඇත්තේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් පත්කරනු ලැබු  වයඹ, මධ්‍යම, උතුරුමැද හා ඌව පළාත්වල පැහැරගෙන යාම් හා අතුරුදහන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ය.

ජීවිතයකට ජීවිතයක්
එවකදී 60 වැනි වියෙහි පසුවු මුදලි මැණිකේ මාතාව, ටී. සුන්දරලිංගම් සභාපතිත්වය දැරු අදාළ කොමිසම හමුවේ 1995 සැප්තැම්බර් මාසයේ 18 වැනි දා සාක්‍ෂි දෙමින් මෙසේ කියා සිටියාය.

''අතුරුදහන්ව සිටින තෙන්නකෝන් බණ්ඩා මගේ පුතා. අතුරුදහන් වන විට වයස අවුරුදු 23 යි.1989 දි පුතාව පොලිසියෙන් හෙව්වා. හමුදාවෙන් ගෙදරට ආවා පුතාව හොයාගෙන. ඒ නිසා පුතා හැංගිලා හිටියේ. පුතා වෙනුවට වීරසිංහ බණ්ඩා බෑනාව හමුදාවෙන් අරන් ගියා. 1989 නොවැම්බර් 23 දින පුතාව එක්ක ගිහින් රත්තොට කඳවුරට භාරදුන්නා. පුතා භාර දුන්නම බෑනා එව්වා. පසුව පුතා බලන්න ගියාම කිව්වා පුතාව විජය කොලජ් එකේ රැඳවුම් කඳවුරට යැවුවා කියලා. ඊට පසුව කවදාවත් පුතාව විජය කොලෙජ් එකේ කඳවුරේදි දැක්කේ නැහැ. කඳවුරුවල හොයලා බැලුවත් අද වන තුරු දැක්කේ නැහැ. මාත් එක්ක අද ඇවිත් ඉන්න මගේ දුව රත්තොට කඳවුරේදි වරක් පුතාව දැක්කා කිවුවා''.

එම කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් රත්තොට පොලිස් වසමේ ගුරු බැබිල, මැටිහක්‍ක ග්‍රාමයේ පදිංචි වීරසිංහ කඩේ ගෙදර වීරසිංහ බණ්ඩා කියා ඇත්තේ සේවය අවසන්ව නිවසට පැමිණෙමින් සිටියදි යුද හමුදාව තමන්ව අල්ලා ගෙන රත්තොට කඳවුරට රැගෙන ගිය බවයි.
''මම විවාහ කරගෙන ඉන්නේ තෙන්නකෝන් බණ්ඩාගේ සහෝදරියව. 1989 සැප්තැම්බර් 19 වැනි දින මාව හමුදාවෙන් අල්ලාගෙන රත්තොට හමුදා කඳවුරට රැගෙන ගියා. මාව අල්ලා ගෙන තෙන්නකෝන් බණ්ඩා කියන්නේ කවුද, දසනායක කියන්නේ කවුද කියලා ඇහුවා. ඒ අයගේ ගෙවල් පෙන්වන්න කිවුවා. දසනායකගේ ගේ පෙන්නුවාම ඒ මහත්තයාගේ ළමයාව අල්ලා ගත්තා. එතනදීම මගේ කමිසය ඉරලා අත් දෙක පිටු පස්සට කරලා බැන්ඳා. පස්සේ තෙන්නකෝන්ගේ විස්තර කියන්න කියලා මට ගගහා කෑම්ප් එකට අරන් ගියා. 23 වැනිදා මාව නිදහස් කළේ තෙන්නකෝන්ව අත්අඩංගුවට ගත්තට පසුවයි''.


මුදලි මැණිකේ සිය පුතු රත්තොට පොලිසියට භාර දෙන්නට ඇත්තේ තම දියණියගේ සැමියා බේරා ගැනීමේ අටියෙන් මුත් එය ජීවිතයකට ජීවිතයක් හුවමාරු කිරීමකැයි ඇය කිසිවිටක නොසිතන්නට ඇත. නමුත් ඈ වැනි බොහෝ දෙනෙක් නින්දා තර්ජන හා පරුෂ බස් ඉවසා හමුදා කඳවුරුවල යකඩ වැටවල්වලින් එබී බලමින් තම ආදරණීයයන් ඒවායෙහි සිටි දැයි කොතෙක් සොයන්නට ඇතිදැයි මතක ඇත්තෝ දැන් විරල ය. නමුත් අතුරුදහන්කෙරු, පැහැරගෙන ගියා වු හෝ මරා දැමුවා වු තම සමීපතමයා තමන් සමග සිටි අවසන් තත්පර කිහිපය පිළිබඳ මතකය කැටිකොට ඔවුන්ව සොයා දෙන්නැයි ආයාචනා කරමින් බලධාරින් වෙත ලියා ඇති පැරණි ලිපි යළි කියවීම හද කම්පා කරවන සුළු ය. මතකයෙන් මකා දමන ලද ඉතිහාසයේ එක් යුගයක් නිරවුල් විනිශ්චයට ලක් කිරීමට හැකි එවන් සටහන් සහ සාක්ෂි සම්පිණ්ඩනයන් යළිත් පෙරළා බලන කවරෙකු හෝ රණකාමී වීරත්වය පිළිබඳ වත්මනෙහි රජයන බොල් විශ්වාසයන් හි සරණ යතැයි සිතීම අසීරු ය. යුක්තිය ඉටු නොවූ අතීත සංහාරයක බිහිසුණු උරුමය අමතක කොට  'අපේ හමුදා යුද අපරාධ නොකළ බව'ට අදහන්නට දශක දෙක හමාරක් තිස්සේ හුරු කළ පරම්පරාවන් මේ සටහන් යළිත් කියවා බැලීමට පොළඹවාලිය යුත්තේ ජනවාර්ගික බෙදුම්රේඛා නොතකා යුක්තිය ගැන සිතන්නට අවශ්‍ය විචාර බුද්ධිය අවදි කරනු පිණිස ය.


පිළිස්සූ මළ සිරුරු


මාතලේ, උඩස්ගිරිය, කොස්වත්ත ග්‍රාමයේ පදිංචිව සිටි එවකට 33 හැවිරිදි වියේ පසුවු එරමුදු ගෙදර කාන්ති පුෂ්පලතා නැමැත්තිය 1995 සැප්තැම්බර් 27 දින අදාළ කොමිසම හමුවෙහි සාක්ෂි දෙමින් තම විවාහක පුරුෂයා වු පී.ඩී කරුණාරත්න නැමති අයගේ අතුරුදහන්වීම සම්බන්ධව කියා සිටිනුයේ මෙවැන්නකි:


''පී.ඩී කරුණාරත්න මගේ ස්වාමී පුරුෂයා 1989 නොවැම්බර් 04 වැනි දින සවස 4ත් 5 ත් අතර කාලයේදි නිවස අසල කඩයේදි  යටවත්ත හමුදා  කඳවුරෙන් පැමිණි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මගේ මහත්තයාව අත්අඩංගුවට අරගන්නවා කඩේ මුදලාලිත්, ගුණසේන යන අයත් දැක තිබෙනවා. මහත්තයාව රැගෙන යාමට පැමිණි හමුදා නිළධාරින්ව හොඳින් හඳුනමි.ඔවුන් යටවත්ත හමුදා කඳවුරේ පළමුවැනි හමුදා රෙජිමේන්තුවේ කෝප්‍රල් විමලසිරි, කැප්ටන් බණ්ඩාර ඇතුළු පිරිසකි. මගේ මහත්තයාව දින හයක් යටවත්ත කඳවුරේ තියාගෙන සිටියා.

ඔහු බේරා ගැනීම සඳහා කොම්පඤ්ඥවීදිය හමුදා කඳවුරේ ලොකු නිළධාරියෙකුගෙන් ලිපියක් අරන් ඇවිත් දුන්නා. ඒ අතර මගේ මවත් හමුදාවෙන් අල්ලන් ගියා. ලිපිය දෙන්න යන කොට මාවත් අල්ලා ගත්තා. යටවත්ත කඳවුරේ මහත්තයා සිටිය කාමරයටම මාවත් දැම්මා. පසුදා තුනට මාව නිදහස් කළත් පුරුෂයාව තියා ගත්තා."1989 දෙසැම්බර් 25 වැනි දින පුරුෂයා බැලීමට මම කඳවුරට ගියත් ඔහු එහි සිටියේ නැහැ. මට කිව්වා මාතලේට අරන් ගිය බව. නමුත් ඔහු වෙන කිසිම කඳවුරක සිටියේ නැහැ. පස්සේ මට ආරංචි වුණා වල්ලේවෙල හන්දියේ පුච්චලා දමා තිබෙන බවට. මා එහි ගොස් බැලුවේ නැහැ. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා දුව වයස අවුරුදු 14 යි. දෙවැනි පුතාට වයස අවුරුදු 12 යි''

කාන්ති පුෂ්පලතාගේ සැමියාගේ අතුරුදහන්වීම පිළිබඳව එගොඩපිටියේ ‍ගෙදර අනුර ජයරත්න නැමැති අය  අතුරුදහන්වුන් පිළිබඳ කොමිසමේ සභාපති ටි.සුන්දරලිංගම් ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටිනුයේ යටවත්ත කඳවුරේ තමන් සමග එකට සිටි 'රසික' නම් රැඳවියෙකු දිනක් තමන් හමුවට පැමිණ හමුදාවෙන් කරුණාරත්නට පහරදී මරා දමා පුළුස්සා දැමීමට රැගෙන ගියා යැයි කියු බවයි.

ඔහුගේ ප්‍රකාශයෙ හි මෙසේ සඳහන් වේ: ''මම එගොඩපිටියේ ගෙදර අනුර ජයරත්න. පදිංචිය එගොඩපිටිය, උඩස්ගිරිය, මාතලේ. වයස අවුරුදු 28 යි. සිංහල බුද්ධාගම. අතුරුදහන් කරුණාරත්න යන අය මා ගමේදි හොඳින් හඳුනමි. ඔහුව යටවත්ත හමුදා කඳවුරෙන් 1989 නොවැම්බර් 04 වැනි දින රැගෙන ගිය බව ආරංචි වුණා. හමුදා කඳවුරට පැමිණෙන ලෙස මගේ අම්මා අතේ මටත් දන්වා එවා තිබුණා. මා 1989 නොවැම්බර් 11 දින යටවත්ත කඳවුරට ගොස් භාර වුණා. එහිදි වරෙක කරුණාරත්න මට කිවුවා මල්ලිලා ආව එක හොඳයි කියා. එම කඳවුරේ මා දින 12 රඳවාගෙන සිටියා. එක් දිනක් රාත්‍රි 9 ට පමණ ගහන්න එපා‍‍, ගහන්න එපා යනුවෙන් මහ හඬින් කෑගසනවා ඇසුනා.පසු දිනෙක එම කඳවුරෙම රඳවා සිටි රසික නම් අයෙක් මට ඇවිත් කිවුවා හමුදාවෙන් කරුණාරත්නට ගහලා,ගහලා මරලා දාලා පුලුස්සා දාන්න වාලවෙල හන්දියට ගෙන ගිය බව''.

මාතලේ දිස්ත්‍රිකය පුරා තැන තැන ස්ථානගත කොට තිබුණු හමුදා කඳවුරු, රැඳවුම් මධ්‍යස්ථානයන් මෙන්ම නොයෙක් නම්වලින් පසුකලක හඳුනා ගත් වධකාගාරයන් බොහෝමයක සිදුවු දෑ එයින් වසර කිහිපයකට පසුව යම් තරමින් හෝ හෙළිදරව් වුණද ඒවායෙහි ගොදුරු බවට පත්වුවන්ට ඉටුවු යුක්තියක් නොමැත. එනිසාම බොහෝ දෙනෙකුට සිදුවුයේ බලාපොරොත්තුව පමණක් ඉතිරි කොටගෙන පැමිණිළි කළ හැකි, යුක්තියක් යැදිය හැකි තැනින් තැන රස්තියාදු වී හිස් අතින් පිටව යෑමට ය. ඉක්බිති ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන්ම  මිය යාමට ය.

මාතලේ ඕවිලිකන්ද ,රත්තොට ආදි ප්‍රදේශයන්හි පිහිටුවා තිබුණු හමුදා කඳවුරුවලටත්, විජය විද්‍යාලයේ පිහිටුවා තිබුණු හමුදා වධකාගාරයටත් රැගෙන ගිය බොහෝ දෙනෙකුන් නැවත පණ පිටින් පැමිණි නැති බව අදාළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කොට ඇති පැමිණිළි සහ ලිපි මගින් සනාථ වේ. ජනාධිපති කොමිසම් සභා සහ වෙනත් පුද්ගලයන් වෙත ඉදිරිපත් කොට ඇති ලිපිවල ඉතා පැහැදිලිව සඳහන් වන්නේ 'ඕවිලිකන්ද සහ රත්තොට හමුදා කඳවුරුවලින්' පැමිණි හමුදා පිරිස් දිනපතාම ප්‍රදේශයේ නිවෙස් වටකොට විශාල වශයෙන් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඇති බවටයි.

ඕවිලිකන්ද සහ රත්තොට වධකබිම්

මේ ‍ඕවිලිකන්ද, රත්තොට මෙන්ම  මාතලේ අනෙකුත් ප්‍රදේශයන්වලින් වාර්තා වු පුද්ගල අතුරුදහන් කිරීම් සහ ඝාතන කිහිපයකි.
මාතලේ, මුවන්දෙනිය, වැටස්යාය ලිපිනයේ පදිංචිව සිටි එවකට 68 වන වියේ පසු වු වාසලආරච්චි සරත් චන්ද්‍රසිරි නැමති අය සිය පුත්‍රයා වු ඩබ්ලියු. ඒ. සිසිර කුමාර වාසලආරච්චි ගේ අතුරුදහන්වීම පිළිබඳව කොමිසම හමුවේ ලබා දී ඇති සාක්ෂියේ මෙසේ සඳහන් වේ.

''මගේ පුතා 1989 නොවැම්බර් 10 වැනි දින රාත්‍රි 2.30 ට පමණ නිවසේ සිටියදි අල්ලාගෙන ගියා. කළු පාට ටී ෂර්ට් සහ කළු කොට කලිසම් ඇඳ ටී 56 තුවක්කු අරන් ඇවිත් තිබුණේ. පුතාව එළියට අරන් වෙඩි 6ක් විතර තිබ්බා. ගෙයින් පිටත 25 පමණ රැඳි සිටියා. පුතා අරන් යන කොට මමත් පස්සෙන් ගියා. වාහන දෙකක් පාර අයිනේ තිබුණා. අංක තහඩු නැහැ. පැජරෝ එක නිල් පාටයි. ඩෙලිකා එක සුදුපාටයි. එදා සිට පුතාව හෙව්වත් හමුවුණේ නැහැ. පුතා හමුදාවේ ඉංජිනේරු අංශයේ කෝප්‍රල් කෙනෙක්. පුතා පැහැර ගන්න කොට හමුදාවෙන් ඉවත් වෙලයි හිටියේ. පුතා ගැන හමුදාවෙන් විමසුවා.

මාතලේ විජය කඳවුරේ 'ගෝඨාභය රාජපක්ෂ' මහතාගෙන් විමසුවාම අපි නොවෙයි ගෙනාවේ පොලිසියෙන් යැයි කිවුවා. පොලිසියට ගිහින් පොලිස් අධිකාරි මහින්ද බාලසුරිය මහතාගෙන් විමසුවත් ඔහු කිවුවෙත්  අපි ගෙනාවේ නැහැ කියලයි. පස්සේ මාතලේ පොලිසියේ 'අයි ශාඛාව' භාරව සිටි නාවලගේ මහාතාගෙන් විමසුවා. ඔහුත් කිවුවේ අපි ගෙනාවේ නැති බවයි. මගේ පුතාව ගෙනිච්චේ කවුද? එයාට මොනවද වුණේ? පුතා පැහැරගෙන යන විට පුතාගේ දරුවට මාස දෙකයි''.

මාතලේ, ඕවිලිකන්ද, වදේමඩ ලිපිනය සඳහන් ගල්පොත්තාගාව ගෙදර චන්ද්‍රාවතීගේ කතාවද එයට නොවෙනස් එකකි. ඇගේ සැමියා වන ඒ.පී.රූපසිංහ 1989 ඔක්තෝබර් 07 වැනි දින හමුදා අත්අඩංගුවට පත්වන්නේ එදින ඕවිලිකන්ද ගම්මානයේ සිදුකරන හමුදා වැටලිමක් අතරවාරයේ ය. අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඕවිලිකන්ද කඳවුරට රැගෙන යන ඔහු ඇතුළු පිරිස යළි කිසි දිනක ඔවුන්ගේ ඥාතීන්ට දක්නට නොලැබුණු බවයි ඇය කියා සිටිනුයේ. එසේම ඕවිලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටි කාලයේ දි තම සැමියා බලන්නට උත්සහ ගනු ලැබුවද එහි සිට හමුදා සෙබළුන් තම කොණ්ඩය කපා එළවා දැමු බව ඇය සාක්‍ෂි දෙමින් කියා තිබේ.

ස්වාමි පුරුෂයන් අහිමි වු බිරින්දෑවරුන්ගෙනුත්, දරුවන් අහිමි වු මව්පියන්ගෙනුත් නැගෙන  ඕවිලිකන්දේ ශෝකාලාපයන් ඒ සංහාරය නිමා වූ පමණින් අවසන් නොවේ. හමුදා සෙබළුන් තම දරුවන්, විවාහක පුරුෂයන් උදුරාගෙන යන විට පිළිසරණක් නොමැතිව සිටියවුන් එයින් සය වසරකට පසු පත්කරන ලද ජනාධිපති කොමිසම් සහ පරික්ෂණ මණ්ඩලයන් හමුවේ යළි යළිත් සාක්ෂි දෙන්නේ තමන්ගෙන් උදුරා ගත් දරුවන් දෑසින් දැකගැනීමේ  ආශාව අත් නොහරිමිනි. නමුත් වැදගත් ප්‍රශ්නය වන්නේ, ඒ තරම් වූ දුක් තැවුල් විඳි ජන සමාජයක් වන්නියේ මිනිස් සංහාරයෙන් සය වසරක් ගෙවෙන මේ වසරේදීත් සිය දරුවන් සොයා ඇවිදිමින්, මළවුන්ට යුක්තිය අයදින දෙමළ ජනයාගේ ඉරණම නොතකා ඒ දුක් ගැනවිලි මැඩලන්නට කල්පනා  කරන්නට පුරුදු වූයේ කෙසේද යන්නයි. 

මාතලේ ඕවිලිකන්ද ඇටිපොල වත්ත පදිංචිව සිට ඇති 70 හැවිරිදි ගලහෑන හේනේගෙදර ධර්මකීර්ති දේවගේ ජිනදාසගේ පිරිමි දරුවන් තිදෙනාම එකම දිනෙක හමුදාවෙන් රැගෙන යන්නේ ඕවිලිකන්ද හමුදා කඳවුරට ගෙන යන බව පවසමිනි. ඒ 1989 ඔක්තෝබර් 07 වැනි දා ය.ප්‍රේමසිරි, සෝමසිරි සහ කුසුම්සිරි යන තම දරු තිදෙනා කඳවුරට රැගෙන යාමෙන් පසුව ඔවුන් බැලීමට තමන් ගිය බවත් කඳවුරෙ සිටි 'ජයතිස්ස' නැමති හමුදා නිළධාරියෙක් තමන්ට පහර දී එළවාගත් බවත් ඔහු කියා සිටියි. පසු දිනෙක ප්‍රේමසිරි සහ සෝමසිරි යන දරුවන්ව නිදහස් කර එවු බවත්, කුසුම්සිරිව ට්‍රක් රථයකට පටවාගෙන යනු දුටු බවත් එයින් පසුව ඔහුව යළි කිසි දිනෙක නොදුටු බවත් ඔහු කොමිසම හමුවේ කියා තිබේ.

කඳවුරෙන් නිදහස්ව පැමිණෙන එච්.ඩී.සෝමසිරි, කොමිසම හමුවේ කියා සිටිනුයේ කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන් සහ සහොදරයන් දෙදෙනාව බිල්ලෙකුට පෙන්නු බවත්, බිල්ලා කුසුම්සිරි දෙස බලා හිස සැලු පසු හමුදාව ඔහුට පහරදී ඉවතට රැගෙන ගිය බවත් ය.
ඕවිලිකන්ද, පන්වත්ත පදිංචිව සිට 19 හැවිරිදි පාසැල් ශිෂ්‍යයකු වු කේ.පී. සිරිසේනව 1989 නොවැම්බර් 04 වැනි දින  උඩුපිහිල්ල හමුදා කඳවුරෙන් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් රැගෙන යන්නේ ‍ඕවිලිකන්ද කඳවුරට පසුදා පැමිණ දරුවා භාර ගන්නා ලෙස පියාට දැනුම් දෙමිනි. ඔහු රැගෙන යාමෙන් වසර කිහිපයකට පසුව, එනම් 1995 සැප්තැම්බර් 25 වැනි දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම හමුවේ සාක්ෂි දුන් එච්.පී.ගුණපාල නැමැත්තා කියා ඇත්තේ තම ඥාති පුත්‍රයා හමුදාවෙන් රැගෙන යනු තමන් දුටු බවයි. එසේම කිසිදු බියක් ඇතිකර නොගෙන පසුදා ඕවිලිකන්ද කඳවුරට පැමිණ ඔහුව භාර ගන්නා ලෙසට සිරිසේනගේ පියාට හමුදා නිළධාරියෙක් කියා සිටිනු තමන්ට ඇසුනු බවද ඔහු සඳහන් කරයි. නමුත් එසේ රැගෙන යාමෙන් පසු යළිත් සිය ඥාති පුත්‍රයාව කිසිවකුටත් දක්නට නොලැබුණු බවයි ගුණපාල තම සාක්ෂියෙන් සඳහන් කර සිටිනුයේ.

ජයතිස්සගේ මිනිස් දඩයම්

මිනිසුන් පැහැර ගැනීමට ඕවිලකන්ද හමුදා කඳවුරෙන් පැමිණි හමුදා භටයන්ට නායකත්වය දී ඇත්තේ ජයතිස්ස නැමති නිළධාරියෙක් යැයි අවස්ථා කිහිපයකදිම හෙළිදරව් වී තිබේ. ඔහු විසින් කරන ලද තවත් පැහැර ගැනීමක් පිළිබඳව කතාව කොමිසමේ සාක්‍ෂි ලියැවිලි අතර මෙසේ දැක් වේ

ඕවිලිකන්ද, පරගස්තැන්නේ පදිංචිව සිටි 23 හැවිරිදි එක් දරු පියෙකු වු ඊ.ජී. ජයතුංග නැමැත්තාව ඕවිලිකන්ද හමුදා කඳවුරෙන් පැමිණි බැව් පවසා රැගෙන යන්නේ 1989 නොවැම්බර් 14 වැනි දා ය. ඔහුගේ බිරිඳගේ මව කියා ඇත්තේ එදින රාත්‍රි 12 ට පමණ පැමිණි පිරිසක් තම බෑණනුවන්ව පැහැරගෙන ගිය බව ය. පැමිණි පිරිස ඕවිලිකන්ද කඳවුරට අනුයුක්ත කොට සිටි 'ගජබා රෙජිමේන්තුවේ' අය බවටත්, එක් අයෙක් ජයතිස්ස යන නිළධාරියා බවටත් පසුව හඳුනා ගන්නට ලැබුණු බවඇය කියා සිටියි. එසේම තම බෑණා රැගෙන යාමට පැමිණි දින අසල නිවෙස්වල තරුණයන් තිදෙනෙක් සහ තරුණියක්වද හමුදාව විසින් රැගෙන ගිය බවත් එසේ රැගෙන ගිය අයවලුන් යළි කිසි දිනෙක නොපැමිණි බවත් ඇයගේ සාක්‍ෂියෙහි දැක් වේ.

හමුදා නිලධාරී ජයතිස්සගේ මිනිස් දඩයම් ‍එතෙකින් අවසන් නොවේ. මෙයද එවන් කතාවකි.

ඕවිලිකන්ද හොරගහපිටියේ පදිංචිව සිටි 42 හැවිරිදි, ඉඩම්ගෙදර සමරසිංහ කියා ඇත්තේ එන්.පී.උපසේන නැමති අය තමන් සමග 1989 ඔක්තෝබර් 22 දින  ඕවිලිකන්ද පාලුවත්ත කුඹුරේ වැඩ කරමින් සිටියදි එහි පැමිණි ජයතිස්ස නැමති හමුදා නිළධාරියා සහ පිරිසක් විසින් ගිණි අවි පෙන්වා රැගෙන ගිය බවයි. ඔහුගේ ඉරණමද සෙස්සන්ගේ ඉරණමට වෙනස් නොවේ.

ඕවිලිකන්ද, පන්වත්තේ පදිංචිව හුන් 50 හැවිරිදි උඩගම්මැද්දේ ගෙදර දිනදාස සහ ඔහුගේ පුතු වු 25 හැවිරිදි යු.ජී. චන්ද්‍රපාලව 1989 නොවැම්බර් 12 වැනි දින ඕවිලිකන්ද හමුදා කඳවුරට රැගෙන යන්නේ ද මෙම ජයතිස්ස නැමති නිළධාරියා විසිනි. පසුව නිදහස්ව පැමිණෙන දිනදාස නැමැති අය කියා සිටිනුයේ  ඕවිලිකන්ද කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන්ට පහර දී උඩුපිහිල්ල කඳවුරට  රැගෙන ගිය බවයි.

'කඳවුරුවලදි අපි දෙන්නට පහර දුන්නේ ජයතිස්ස සහ ප්‍රේමදාස කියන නිළධාරීන්. පසුව මගේ දෑස් බැඳ උකුවෙලට ගෙනත් දැම්මා. නමුත් වරින් වර හත් වතාවක් මාව කඳවුරට අරන් ගිහින් පහර දුන්නා. නමුත් ඒ කිසිදු අවස්ථාවක මට මගේ පුතාව දකින්න ලැබුණේ නැහැ'.

සමුහ වැටලීම්
පැහැරගෙන යාම් හැමවිටම එකා දෙන්නා වශයෙන් නොවේ. ඇතැම් තැනෙක සමූහ වශයෙන් කරන ලද බලහත්කාරී පැහැරගෙන යාම් සමූහ අතුරදහන්වීම් වශයෙන් ඉතිහාසයට එක්ව තිබේ.

රත්තොට පොලිස් වසමේ කයිකාවල පොල්වත්තේ දි 1989 ජූලි මාස15 වැනි දින එකවර පැහැර ගනු ලබන පුද්ගලයන් 13 දෙනෙක් පිළිබඳව ලියැවි ඇත්තේ එවැනිම සාක්ෂි සටහනකි. කයිකාවල පොල්වත්ත නැමති ප්‍රදේශයේ නිවසක පැවති දානමය පිංකමක් වෙනුවෙන් උදව් උපකාර කිරීමට පැමිණ සිටි බව පැවසෙන පිරිසක් අතරින් තෝරා වෙන්කොටගත් 13 දෙනෙක් මෙසේ පැහැරගැනීමට ලක්ව තිබේ. සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂිවලට අනුව ටී 56 සහ එල්.එම්.ජී. ස්වයංක්‍රීය ගිනි අවි සහ අත් බෝම්බවලින් සන්නද්ධව අංක තහඩු රහිත වාහනවලින් පැමිණ මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ  අදාළ නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද බණ්ඩා, කරුණාරත්න බණ්ඩා, ආර්.ඒ රණසිංහ, ආර්.ඩබ්ලියු.ඩබ්ලියු විජේසිංහ, එම්.ජිනසේන, ලැම්බට් පෙරේරා, එච්.ගුණසිරි, කේ.ජි.රත්නපාල, ජිනසේන ප්‍රනාන්දු, සුදත් නොහොත් සනා, ආර්.එම් කරුණාරත්න,ගාමිණි සහ තවත් එක් අයෙකි.

පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ අදාළ නිවසේ සිටි උපුල් ඉන්ද්‍රලාල් දසනායක නැමැත්තා විසින් ලබා දෙන ලද සාක්ෂි සටහනේ දැක්වෙනුයේ උක්ත දිනයෙහි සවස 4-5 ත් අතර කාලයේ ටෲපර් රථ දෙකකින් සහ නිසාන් ඩබල් කැබ් රථයකින් පැමිණි හමුදා භට පිරිසක් විසින් නිවස වටලා එහි සිටි සියළු පිරිමින් පිටතට ගෙන බිම දණ ගැස්වු බවයි. පසුව පිස්තෝලයක් කරකවමින් පැමිණි පුද්ගලයෙක් තමන් කැප්ටන් බැද්දෙවෙල ලෙස හඳුන්වා දුන් බවත් ඔහු කියා සිටියි.

ඇස් ඉගිල්ලූ මළ සිරුරු

පුද්ගලයන් පැහැරගනු ලැබු නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වු විශ්‍රාමික හමුදා සැරයන් පි.එම්.සෙනරත් බණ්ඩා එම පැහැර ගැනීම පිළිබඳව මෙසේ කියා තිබේ:
''අත්අඩංගුවට ගත්ත සියළු දෙනාගේම අත් පිටුපස්සට කරලා ගැට ගැසුවා. ඇඳගෙන හිටිය කමිස ගලවලා මුණ වැහුවා. පස්සේ අපිට කිවුවා හෙට උදේට පල්ලේකැලේ කඳවුරට වරෙල්ලා, මුන්ව භාර දෙන්නම් කියලා. පසුවදා පල්ලේකැලේ කඳවුරට ගිහින් මගේ හමුදා හැඳුන්ම්පත පෙන්වලා කැප්ටන් කෙනෙක්ගෙන් ඇහුවා ගෙනාපු අය කෝ කියලා. ඔහු කිවුවා අපි ගෙනාවේ නැහැ, මේක උඩුගම්පලගේ වැඩක් ඉක්මනට ගිහින් මරලා දාලා තියෙන තැන්වල බලපල්ලා යනුවෙන්. සිද්ධියෙන් දින හතරකට පස්සේ අපිට ආරංචි වුණා මාරස්සන පාලමක් ලඟ පුද්ගලයෝ හතර දෙනෙක්ව මරලා දලා තිබිලා නුවර පොලිස් මෝචරියට ගෙනත් දා තිබෙනවා කියා. අපි ගිහින් ඒවා බැලුවා. ඒ මළ සිරුරු හතර මගේ ඥාති පුත්‍රයා වන දයානන්ද, ලැම්බට් පෙරේරා, රණසිංහ සහ ගාමිණි යන අයගෙයි. හඳුනාගන්න බැරි තරමටම විරුපී කරලා දසවද දිලායි මරලා තිබුණේ. ඇස් උගුල්ලලා, ඇස්වලට වෙඩි තියලා ඔලු ගලවලා මරලා තිබුණේ. අනෙක් අයගේ සිරුරු හමුවුණේවත් ඉන්න තැනක් ගැනවත් මේ වනකම් ආරංචියක් නැහැ''.

කෙසේ නමුත් පැහැරගැනීමට ලක්වු ආර්.ඩබ්.විජේසිංහ නැමැත්තාගේ සොහොයුරෙකු වන දිසානායක මුදියන්සෙලාගේ ජයතිලක නැමැත්තා  විසින් සපයන ලද සාක්‍ෂියට අනුව මෙම පැහැර ගැනීම සහ ඝාතනයන්ට හේතුව අතුරුදහන් වු ඇතැමුන් ප්‍රදේශයේ එවක දේශපාලන බලවතාව සිටි පී.බී. කවිරත්නට එරෙහිව දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම ය.
දකුණේදී රාජ්‍ය හමුදා සහ ආරක්‍ෂක අංශ විසින් කරන අපරාධ පිළිබඳ සාක්‍ෂි වාර්තා '90 දශකයේ මුල් වසර කිහිපයෙන් පසු මාධ්‍ය වාර්තාවලින් ක්‍රමානුකලව අතුරුදහන් විය. ඒ, උතුරු නැගෙනහිර පළාත්වල අලුත් වටයකින් දියත් කෙරුණු දෙමළාට එරෙහි නව සංග්‍රාමයට අවශ්‍ය 'ජීව ගුණයෙන්' ජාතිය පණ පොවනු පිණිස දකුණේ සංහාරයන් අමතක කළ යුතුව තිබූ නිසාවෙනි. චෙම්මනි ගැන නොතකා හරින්නට නම් ඕවිලිකන්ද මතකයෙන් මකාලිය යුතුව තිබුණි.  '90 දශකයේ පළමු භාගයේදී  අළුගෝසු හමුදා සේ සමාජ වෛරයට පාත්‍ර වූ රාජ්‍යයේ නිල සේනා එම දශකයේම දෙවන භාගයේදී දෑ හිතකාමී රණ ශූරයන් සේ බෞතීස්මය ලැබීමේ රහස එයයි.☐


කිත්සිරි විජේසිංහ
http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/496-2015-12-04-11-39-05

Comments

  1. එදා 1989 දී ජවිපෙ ත්‍රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරාගත් අපේ රණවිරුවන්ට පහර නොගසනු!

    ReplyDelete
  2. දකුණේ තමන්ගේ ම ජාතියේ සිංහලයන් හමුවේ රණවීරලා හැසිරුණේ මෙසේ නම් උතුරේ දෙමල ජනයා හමුවේ හැසීරීම ගැන කවර කතාද?

    ReplyDelete
  3. උපුටා ගැනීමකි!

    ==============
    ඉතා කෙටියෙන් කියමි.

    ආච්චී කියූ පරණ කතන්දරයේ වගේම 1989 දී ද එක්තරා කොල්ලෙක් පොලිසිය එනු දැක දිව්වේ ය.

    මේ මාතර අසල ගමක දී ය. මෙදා ආවේ එදා අපේ ආච්චිලා ගේ කාලයේ මෙන් නිකංම නිකං බැටන් පොල්ලක් හෝ නෝට් පොතක් රැගත් රැලේ බයිසිකලයක නැගි බාච්චු කොට කලිසමක් ඇඳි රාලහාමි කෙනෙක් නොවේ.

    පොලීසියේ එලීට් යුනිට් එකක කෂ්ටිය ය. ඒ.කේ.ෆෝටි.සෙවන් දරා ගෙනය. පැජරෝ යනාදී රථවල ය.

    මෙදා දිව්වේ එදා මෙන් පොඩි කාලේ සිට බත් නොකන විට, දඟ කරන විට පොලිසියට බාර දෙනවාය කියා බිය ගන්වන ලද කොළු ගැටයෙක් අම්මාගේ රෙද්ද බේරා ගන්නට නොවේ.

    උසස් පෙල හදාරමින් සිටි කොල්ලෙකි. පාඩම් කරමින් සිටි කොල්ලෙකි. පැවති වාතාවරණය නිසා බිය වූ මුව පැටියෙකි.

    මුව පැටියෙකු ගේ කකුලක් වේගයෙන් ඇදී යන ජීප් එකක මදක් විවර වූ දොරකින් පෙණුනු බවට ඇසින් දුටුවෝ සිටියහ.

    මුව පැටියෙකු ගේ පිළිස්සුණු සිරුරක් පාරක් අසල තිබුණු බව ඇසින් දුටුවෝ සිටියහ.

    එපමණකි.

    "මචං එදා මුං මඩකලපුවේ ඉඳිද්දී අපි උන්ගේ වැඩ කිඩ ගැන කතන්දර අසා හුරේ දැම්මා. අපිට කෙලවුණු අදයි හිතෙන්නේ, මෙදා අපිටම මෙහේදී මෙහෙම නං එදා එහෙදී මුං අරුන්ට කොහොම කෙළවන්න ඇද්ද කියලා."

    මින් වසර දෙකකට පසුව දුකින් තැවෙන සොහොයුරෙකුගේ මුවින් පිටවුණු වදන් කිහිපයකි ඒ.

    අද කතාව මෙයින් නිමි.

    සමහර විට නොනිමි දැයි ද සිතේ.

    =========================

    ReplyDelete
  4. දෑසින් දුටු දේත් අත්විඳි දේත් බොහොමයි.

    ReplyDelete

Post a Comment