Tuesday, November 22, 2016

චීන පටස්




චීනපටස් යනු මහ හඬක් නගමින් පුපුරා යන  ගිනි කෙලි විශේෂයකි. ඒ අකාරයේ  ගිනි කෙලියක් පසුගිය දාක  ලංකාවේ චීන තානාපති පැවත්වුවේය. . ඒ ලංකාවේ මුදල්  ඇමති රවී කරුණානායකත්, ලංකාණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියත් , ප්‍රසිද්ධ මාධ්‍ය සාකාච්ඡාවක් පවත්වමින්  විවේචනය කිරීමෙනි.

තානාපති යී ශියාං ලිං ගේ මේ ක්‍රියාව ලෝකය පිලිගත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. දේශපාලන පොතේ වචන වලින් කියන්නේ නම් රටේ ස්වෛරී භාවය කෙළෙසා දැමීමකි. අභ්‍යන්තර  ප්‍රශ්න වලට අත දැමීමකි.  එය 1987 දී ඉන්දියාව විසින් ලංකාවට ගුවනින් පරිප්පු දැම්මා බඳු ක්‍රියාවකි.

එහෙත් ඒ ගැන සියලු දෙනා නිහඬය. මේ කථාව ඇමෙරිකානු තානාපති හෝ යුරෝපීය රටක තානාපතියෙක් විසින් සිදු කළේ නම් වීරවංශ/ගම්මන්පිල  හවුල එම රටේ තානාපති කාර්යාලය වටලා , අදාල නිලධාරියා රටෙන් එලවන ලෙස බල කරමින් මහා උපවාසයක් අරඹනු නිසැකය.  එහෙත් ඔවුන්ගෙන් කෙඳිරිලි හඬක් වත් නැත. චීනය විසින් සිදු කළ රටේ ස්වෛරීභාවය කෙළෙසීම ගැන මේ මහා දේශප්‍රේමින්ට වගක් වත් නැති හැටියකි. ඒ අනුව පෙනී යන්නේ  රටේ ගෞරවය , ස්වෛරීභාවය , ජාතික ආරක්ෂාව , හා එබඳු තවත් බොහෝ දේ , පිලිබඳ දේශප්‍රේමීන්ගේ ප්‍රතිචාර රඳා පවතින්නේ  හුදෙක් එම කරුණු මත නොව තමගේ පක්ෂපාතිත්වය අනුව බවය. කෙටියෙන් කිවහොත් චීනයට අප රට කෙරෙහි එලෙස හැසීරීමට ලයිසන් ඇති බවත් ලංකාව චීනයේ යටත් විජිතයක් බවත්    එම දේශප්‍රේමින් සිතනවා  විය යුතුය.

එසේම ලංකාවේ රජය කොතරම් දුර්වලද යන්න එම සිදු වීම අපට පෙන්වා දෙයි. තම රජයේ ප්‍රබල ඇමත්තෙකුට එරෙහි ව තානාපතියෙකු එල්ල කළ ප්‍රහාරය පිළිබඳව රජය ද අනුගමනය කළේ නිහඬ හා නිවට ලෙසිනි. ඒ ගැන කිසිම රාජ්‍යතාන්ත්‍රික විරෝධය පෑමක් සිදු නොවීය. කොන්ද පණ  ඇති රජයක් නම් කළ යුතුව තිබුණේ වහාම තානාපති ශියාං ලිං පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමය. එහෙත් කඩා වැටෙන ආර්ථිකයක් සහිත ලංකාවේ රජය එතරම් නිර්භීත නොවනු ඇත.

චීන තානාපතිගේ කථාව ට එරෙහිව යම්තම් කෙඳිරියක් බඳු හඬක් නැගුවේ ප්‍රහාරයට ලක් වූ මුදල් ඇමතිවරයා පමණි. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට මිතුරෙක් පවා රජය තුල නොසිටීම ද   අපූරුය.

සටහන-1990 ගණන් වලදී මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවකදී වූ සිදු වීමක් නිසා එවක පැවති ප්‍රේමදාස ආණ්ඩුව සිද්ධියට මැදිහත් වූ බ්‍රිතාන්‍ය තානාපති ග්ලැඩ්ස්ටන් රටෙන් නෙරපා දැමුවේය.

7 comments:


  1. ලංකාවේ දී විතරක් නොවෙයි, චීන නිලධාරීන්ට හොංකොං වලදීත් ඔය වගේ කතා කියන්න පුළුවනි!

    ReplyDelete
  2. අර මහින්ද ගේ කාලේ ලියවුණු "නමෝ නමේා් චීනා, අප චී ලංකා" කියන ගීතය මතක කාටද?

    ReplyDelete
    Replies
    1. ඒ කීවේ චීනව දෙසැරයක් නමන්න කියලද ...

      සැහෙන්න කල්පනා කලා මොකද්ද නමෝ කියන එකේ තේරුම කියලා, නමස්කාර නේද? එත් නමස්කාර කියන එක නමො වුනේ කොහොමද?

      Delete
  3. නිකං වල්පල් නැතුව කියපු ේවල් ගැන කතා කරානම් නරකද

    ReplyDelete
    Replies
    1. රසිකයාටද කිව්වේ? ඕකට කවදාවත් බෑ මාතෘකාවට අදාලව කොමෙන්ට් දාන්න. උගේ මංපොරත්වය පෙන්නන්න ගිහින් මේ දවස්වල හැමතමදීම අනාගන්නවා. ඕකා උපන් මෝඩයෙක්.

      Delete
  4. ඔයවගේ කතාවල් ඇමරිකන් සහ යුරෝපීය තානාපතිලා කරනව නේද?

    ReplyDelete
  5. අපටත් පුළුවනි ඔහොම කතා මාලේ වලදි.

    ReplyDelete