Monday, February 29, 2016

බද්යුද්දින් ගොනා ගොනා ,ගොන් පනතක් ගෙනා ගෙනා,

  1.  


බද්යුද්දින් ගොනා ගොනා
ගොන් පනතක් ගෙනා ගෙනා,
විතානගේ නගුට වනා
ඒ පනතට එකඟ වුනා ,


මේ 1976 දී එවකට අධ්‍යාපන ඇමැත්තා වු  බද්යුද්දින් මොහමඩ් ගෙනා පනතකට එරෙහිව සරසවි සිසුන් ගෙන ගිය විරෝධතා වලදී කියවුන සටන් පාඨයකි. මගේ මතකයේ හැටියට පේරාදෙණිය සරසවියේ රෝහණ වීරසූරිය සිසුවා මිය ගියේද මෙම උද්ඝෝෂණවලදී විය යුතුය.

මහාචාර්ය විතානගේ යනු එවකට පේරාදෙණිය මණ්ඩපයේ මණ්ඩපාධිපති වරයාය. එවකට පැවතියේ ලංකා විශ්වවිද්‍යාලය නමින් එක විශ්වවිද්‍යාලය වන අතර පේරාදෙණිය,කොළඹ ,  කැළණිය ආදිය හැඳින්වුනේ මණ්ඩප වශයෙනි.

එදා සිට මේ වනතෙක් ම සිටි අධ්‍යාපන ඇමති වරුන් ගොන් පනත් ගෙනෙන විට  ඒ ඒ කාලවල සිටි සමහර උපකුලපතිවරුද නගුට වනා එම පනත්  පිළිගත් ‍තෝය  .මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, වැන්නෙක් කලාතුරකින් එසේ නොකළ බවද කිව යුතුය.ශිෂ්‍යයෝද අහවල් ඇමති ගොනා ගොනා ගොන් පනතක් ගෙනා ගෙනා ආදි වශයෙන් කියමින් උද්ඝෝෂණය කලෝය. 

නමුත් පත්වෙන කිසිම අධ්‍යාපන ඇමතියෙක් පරණ කවි සිංදු වලින් පාඩම් ඉගෙන ගන්නේ නැත.

දැන් කිරිඇල්ල ඇමතිවරයාද ගොන් වැඩක් කර තිබේ.විශ්ව විද්‍යාලයකට තබා මොන්ටිසෝරියකටවත් ගුරුවරුන් බඳවා ගැනීමට  නොකල යුතු  වැඩක් එනම් , අහවල මගේ සපෝටර් කෙනෙක් ය, ඔහු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට බඳවා ගන්න මෙන් දන්වා තමන් අධිනීතිඥයෙක් යැයි කියා ගන්නා  ඇමතිවරයා ලිපියක් නිකුත් කර තිබේ. මෙය නම් වැස්සකට වත් විශ්ව විද්‍යාලයකට  තබා මොන්ටිසෝරියකටවත් ගොඩ වූවකු නොකරන වැඩකි.

ඇන්නාවයි, ලංකාවේ උසස් අධ්‍යාපන ඇමත්තා ඒ ගොන් වැඩය කර තිබේ.  එදා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුව  තුල කල හැම දෙයටම හොට දා බෙරිහන් දෙන රෝල් එක අද කරන්නේ ද මේ කිරිඇල්ල ම බව සිහි වෙන විට , ඔහුට උසස් අධ්‍යාපන ඇමති දූරයට අමතරව මහාමාර්ග ඇමති කමද දුන්නේ මක් නිසා දැයි අපට සිතා ගත හැක. සරසවි සිසුන් පමණක් නොව ඇදුරන් ද මහ පාරට ඇද දැමීම ටය.

කෙසේ නමුත් අද තත්වයට ගැලපෙන්නට නම් අපේ කවිය මදක් සංස්කරණය කළ යුතූය.

කිරිඅලයා ගොනා ගොනා
ගොන් ලියුමක් දෙනා දෙනා
....................................................
..................................................


 අපට ඇති එකම සතුට නම් අද සිටින උපකුලපතින්ට රෙද්දක් ඇඳ ගෙන එම පනත් හෝ ලියුම්  බාර ගැනීමට  නොහැකි තත්වයක් උදා වී තිබීමයි .කථිකාචාර්ය තනතුරක් සඳහා මෙවැනි ලිපියක් ඉදිරිපත්  කල අගග්ගයා ගැන නම් කතා කිරීම කිසිම පලකට නැති දෙයකි.

Friday, February 26, 2016

පුත්‍ර භිල්ල ජාතකය

 
තවද යටගිය දවස ජම්බුද්වීප අසබඩ   රජපස පුරයේ මැද මූලනි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරමින් සිටිනා සඳ  හිටංපාල නම් වූ  ඇමත්තා තෙමේ රජ්ජුරුවන්ගේ සතුරන් හා රහස් කතා කොට උහු  පලවා හැර තෙමේම  රාජමස්තක වෙන්ට කුමන්ත්‍රණ කොටපියා සිටියහ.
 
බොහෝ කල් බලා සිටත් රජ විය නොහී ගත් රනිලයා නම් වූ හිටපු  මහමැතියා ද හිටංපාල ඇමත්තාට සහය දෙන්නේ මැදමූලනි බ්‍රහ්ම දත්ත පලවා හැර හිටංපාල  ඇමත්තා මහරජ්ජුරුවන් ලෙස අභිෂේක කොටපියා රනිලයා  තෙමේ නැවතත් මහ මැතිකමින් සැනහී සිටින්නාහු, සිතන්නේ ඉදින් මැදමූලනියා රටේ භාණ්ඩාගාරය සිස් කොට උගේ සුතනඹුවන්ගේ සුඛ විහරණයම හැදුවේය. රටවැස්සන් සාදුකින් අඬද්දී සුර සැප වින්දෝය.

ඉදින් මා ද හිටංපාල ඇමත්තාටද යටහත් වී ඉන්ට සිද්ධ වූ යේ , මීයක් කඩන්නේ අත ලෙව කන්ටදැයි සිතා භාණ්ඩාගාරය තුලට වැද එහි බිල් නම් වූ පත්‍රිකා  වර්ගයක් හැර සොරා ගන්ට අන් දෙයක් නොදු‍ටුවේ භාණ්ඩාගාර බිල්පත්‍රිකා රාශියක්ද ‍රැගෙන තම යහලු මිත්‍රාදින්ට බෙදා දුන්නේය  උනට දෙන්ට අන් දෙයක් නැත්තේ විස්සෝපව සිටින්නේ  මැදමූලනියා කිසිත් ඉතිරි නොකොටම සොරා කා ඇතැයි සිත සිතා ඉන්නේ මුහු කල දෑට කදිම පාඩමක් උගන්නාපිය මනායැයි සිතා විශ්වාසී  රාජපුරුෂයන් කැලක් බනවා  අද සිට තොප එප්සයිඩියෝ නම් වන්නාහ. තොපගේ කාරිය වනුයේ මැදමූලනයා හා උහුගේ සහචරයන් විසින් සොරා කෑ රාජසම්පත් සොය සොයා සොරුනට දණ්ඩණය දීම යැයි කියූහ.

 රාජපුරුෂයෝද සොරා කෑ ධනය සොයන මෙන් එකෙල මෙකෙල වෙමින් සිටිනු දැක මැදමූලනී දිරිමත්ව සිතන්නේ මා ද මාගේ පුතුන්ද සොරා කෑ ධනය මුන් ට සොයා ගත නොහැකිමය,  කුමට බිය වන්නටද සිතා  මහ හඬින් නාද කරන්නේ "එම්බ හිටංපාල  , එම්බා රනිල කොලුව හැකිනම් මා අල්ලා ගනුව , මා බිය නැත "යි ගුගුළේය. තවද මැදමූලනියා කියන්නේ " එම්බල දුෂ්ට කොලුවනි, තොප වෛරය මා හා සමග නම් මා සමග සටනට එනු, මගේ නෑ හිත මිත්‍රාදීන්ට හිරිහැර නොකරව , " යිද මරු විකලෙන් මෙන් දොඩන්නේය.

එකල්හි එපසයිඩියෝ ද සියල්ල පිරික්සා බලා මැදමූලනියාගේ කණි‍ටු පුත් යෝ නම් වූ  මානවකයා මහත් සේ  රන් කහවණු විශුද්ධ කර ඇතැයි කියා උහුව අල්ලා පිටිතල බැඳ පියා සිපිරිගෙට දක්කා ගෙන ගොස් සිර කර තබා සිටියෝය. යෝ නම් වූ මානවකයා තමන්ගේ  වෑපාර ආදිය කරන්ට කහවණු ලැබුනේ කෙසේදයි කියා ගත නොහැක්කේ එක එක පුරුෂයා තමන්ට ණය දුන් බව කියන්නේ , එපසයිඩියෝද ඒ පුරුෂයන් ගෙන්වා හගිස්සවන්නේ තමන් නම් යෝ මානවකයාට කහවණු නොදුන් බව ම කියා සිටින සඳ  යෝ මානවකයා සිරකුටියේම තපින්නට වන නියායකැයි සියල්ලෝ සිතන්නාහු.

එනුවර වසන එක් එක් පුරුෂයන් හා  ස්ත්‍රීන් රහසින් එක එකා හා කියන්නේ  " සිංහ නාද කල මැදමූලනියා කොහිබද, ඉදින් උහු පැමිණ මාගේ පුතනුවන්ට වෑපාර කරනුන් වස් කහවණු දුන්නේ මම්ම වේදැයි නොකියන්නේ මන්දැ, උහු එසේ නිර්භීතව එන්නේ නම් යෝ මානවකයා නිදහස් නොවන්නේ දැයි   තැන් තැන් වල කියන්නාහු, ඒ වදන් මැදමූලනියාගෙ කණටද වටෙන්නේ මහත් සේ විලි වැද කලු කබා නම් වූ වස්ත්‍රාභරණයෙන් සැරසී යහන් ගබඩාවේ සැඟව  තුන්මුල්ලේ විමලයා හෝ ගොම්මන්පිලයා හෝ පැමිණ යෝ මානවකයාට කහවණු දුන්නේ අප යැයි කිව්වොත් කදිම යැයි දහවල් සිහින දැක දැක බමන මතින් සිටින්නාහු  නින්දට වැටී මහත් වූ බයංකර සිහිනයක් දැක බිය වී දහඩියෙන් තෙමී නැගිට විලාප දුන්හ.

ඉදින් ඒ සිහිනයේ විස්තර කෙසේද යත් රාජත්වයද ධනයටද අස්වාමිකව තැවුලෙන් සිටින මැදමූලනියා තෙමේ තමාගේ අතිජාත මිත්‍රාය වන මකර රජුන් හමුවට යන්නේ පිලිසරණක් ඉල්ලා සිටින සඳ මකර රජු තෙමේ කියන්නේ "තාගෙන් මට කම් නැත මා දැන් හිටංපාල හා රනිලුන් සමග සන්ධාන ගතව සිටින්නමෝ වෙම්හ, තා යන අතක යවයි" කීහ.

උහු  ද සියොලඟ දදියෙන් තෙත්ව සිතන්නේ රජකම් කලත් කලකම් පල දීම නම් මකර රජුටත්  නවතනු නොහැකිය, මේ උගුලෙන් ගැලවෙන උපායක් නොසොයා ගත හොත් මා කම්මුතුය යැයි  සිත සිතා වලප්නෝය.

මැදමූලනියා මම නම් කිසිවෙකුට බිය නැතිම්හ යි ගෝරනාඩු කලද බියෙන් වෙලෙවි උහුගේ පුතෙකුන් බිල්ලට දී සිටින සැටි දූ‍ටු එනුවර වැස්සෝද  මූගේ කථාව දෝලාවෙන් ගමන පයින් යැයි අතීත උපමා කතාද මැදමුලනියා එප්සයිඩියට බිය නැතැයි කිව්වා වගේ ආදි වශයෙන් නව උපමාද ගොතා කිය කියා ප්‍රීතියෙන් පිනා යන්නේ, සියලු ප්‍රශ්න අමතකව නටමින් ගයමින් සිටින්නෝය.


Wednesday, February 24, 2016

රෝගීන් මැද රෝගීව

 
 ඉරිදා දවසේ උදේ ඇහැරෙන කොට  ඉන්න බෑ හෙම්බිරිස්සාව, නාහේ හිරවෙලා, උගුර කහනවා, කැස්සත් ටිකක් තියෙනවා. මොකෑ කරන්නේ ගියා ගෙවල් ලඟ තියෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. ආයේ මොකටද සල්ලි දීලා බෙහෙත් ගන්නේ ආණ්ඩුවෙන් නිකම් දෙනකොට, ඉරිදාටත්.

ඉස්පිරිතාලෙට ඇතුල් වෙනකොටම හැඩකාර  නර්ස් නෝනා කෙනෙක් ඇවිත් මගේ අතින් අල්ලගෙන ගියා කියපංකෝ දොස්තර මහත්තයා ලඟට. උන්නැහේ වෙද නලාව මගේ සර්වාංගේ පුරාම තියලා පැය තුන් කාලක් විතර පරීස්සා කොරලා හිටං  කියපි  මාව වාට්‍ටුවට ඇතුල් කරලා ලේස්ති කරන්න කියලා. මගේ ඇඟේ හීන් දාඩිය දැම්මා , මොකොටද ලේස්ති කරන්නේ කියලා. ඔපරේෂමක් වත් කරන්න යනවද කියලා හිතුවේ. කැස්සට බෙහෙත් ගන්න ඇවිත් කකුලක් නැතිව යන්න වෙයිද කියලා හිතුනා. ඇයි ඉතින් වම් කකුල වෙනුවට දකුනු කකුල කපපු උදවියනේ.

මට වාට්‍ටුවේ ටික වෙලාවයි ඉන්න ලැබුනේ. මාව රෝද පු‍ටුවක තියලා අරන් ගියා කියපංකෝ තැනකට.අම්මපා හෙලි පෑඩ් එකක්. එතැන නවත්තලා තිබුනා රතු කුරුසයක් ගහපු හෙලිකොප්ටරයකට මාව පටවගෙන ආවේ  නැතිද කොළඹටම. එහෙමයි සලකන්නේ  මිනිස්සුන්ට. මම හිතුවේ මාව කොළඹ මහ ඉස්පිරිතාලෙට දාන්න යනවා කියලා. මොන ?

හෙලිකොප්පරේ කොළඹත් පහු කරගෙන යනවා, ගෙහුන් ගෙහුන් ගියේ නැත්ද ක‍ටුනායක එයාර්පෝර්ට් එකටම. එතැනින් පැටෙව්වා මාව ප්ලේන් එකකට. සුරුස් ගාල සිංගප්පූරුවේ. මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාලේ.

එහෙමයි අපේ ආණ්ඩුව හෙම්බිරිස්සාවක් හැදුනත් රටේ සාමාන්නිය ජනතාවට සලකන්නේ. රජයේ වියදමින් මවුන්ට් එලිසබෙත් එකට මාව එව්වා කියහන්කෝ. කවුරු වීස්වාස කොරයිද විටමින් සී පෙති ටිකකුයි පැරසිටමෝල් සුට්ටකුයි ඇන්න යන්ට ඉස්පිරිතාලේ ගිය  මම සිංගප්පූරුවේ සුපිරි ඉස්පිරිතාලෙක.

 හෙම්බිරිස්සාව හොඳ වුනාම ආයේ ලංකාවට එන්නම් හො‍ඳෙ.  මෙහෙ එච්චර පාලුවක් නැහැ. අල්ලපු කාමර වල පිරිලා ඉන්නේ කැකිරාවෙන්, අඟුනකොලපැලැස්සෙන්, පදවියෙන් ට්‍රාන්සර් කරලා එවපු හීන් මැනිකෙලා, ලොකු බන්ඩලා, සූටින්ලා කට්ටිය.

බයි බයි.

සටහන-
මේ ලියුම කොටන්නෙත් ඉසිප්‍රිතාලෙන්ම ලෙඩ්ඩුන්ට දෙන ලැප්ටොප් එකකින් හොඳේ. 




 

Saturday, February 20, 2016

ETCA, CEPA සහ සිව්පා

 
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ඊනියා ආර්ථික හා තාක්ෂණ ගිවිසුම ගැන බොහෝ දෙනා බොහෝ දේ කියමින් සිටිති.

ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, තොරතුරු තාක්ෂණ ශිල්පීන් ඇතුලු වෘත්තීයවේදින් මෙම ගිවිසුමට විරුද්ධව දැනටම පාරට බැස ඇත. එය ඔවුන්ගේ අයිතියයි. ඒකාධිපති රෙජිමයක් පරදවා මෙරට ජනතාව දිනාගත්තේ එම අයිතිය, එනම් තමන් කැමති මතයක් දැරීමට ඇති අයිතියයි. නමුත් ජනතාව සතු එම අයිතිය පැහැර ගැනීමට , යහපාලනයක් ස්ථාපිත කරනවා යැයි බලයට පැමිණ , ලිච්ඡ්වී ක්‍රමයක් ගැන නිතර දොඩන අගමැති රනිල් වික්‍රමසිංහ කැස කවමින් සිටියි.

බලය අහිමිව සිටින තාක් කල්  පූසෙක් මෙන් සිටි රනිල් වික්‍රමසිංහ හිටි අඩියේ චණ්ඩියෙක් වී ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙන්නන්ට තර්ජනය කිරීමට, මෙතෙක් කල් හැඳ සිටි ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සලුපිලි ගලවා පසෙකින් තබා තම සැබෑ ස්වරූපය අමු හෙලුවෙන්ම රටට පෙන්වීම අරඹා තිබේ.ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳ ප්‍රශ්නයේ දී රනිල් හැසිරෙන්නේ ඉතාමත් උද්ධච්ච ලෙසය. මහ පාරේ සිටින රස්තියාදුකාර චණ්ඩියෙක් ලෙසය. රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන ලෙසය.

ඔහුගේ දැඩි වෛරයට පාත්‍රව ඇත්තේ ගිවිසුම් විරෝධී කණ්ඩායම්   අතර සිටින ශක්තිමත්ම කණ්ඩායම වන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හා එහි නායකයින්ය. වෛද්‍ය සංගමය තුල පාදෙනියගේ ක්‍රියා කලාපය වෙනම ප්‍රශ්න කල යුතු වුවත් ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳ ප්‍රශ්නයේ දී ඔවුන්ට රනිල් වික්‍රමසිංහ විසින්  කරන තර්ජන පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.තමන්ට විරුද්ධ කණ්ඩායම් වලට ඔහු  තර්ජනය කරන්නේ එක් අයෙකුට දහ දෙනෙක් පාරට බස්සනවා යැයි කියමිනි. මෙම එකට දහයේ අනුපාතය අපට හොඳ හැටි මතකය.  එය  1989 දී රජයේ ඝාතක කල්ලි  ජවිපෙට එරෙහිව භාවිතා කල සටන් පාඨයකි.

අනිත් කාරණය මාධ්‍ය වලට කරන තර්ජනයයි. දන්නෝ බුදුන්ගේ ගීතය  අලුත් ආරකින් ගැයීම විවේචනය කළ මාධ්‍යවේදියාට අත් වූ ඉරණම ගැන කිසිවෙක් කථා නැත. එම තර්ජනය අදාල මාධ්‍යවේදියා තදබල මහින්දවාදියෙක් වීම නිසා බව නිසැකය. 

කවර හෝ මාධ්‍යවේදියෙකුට  හෝ මාධ්‍යයකට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන්ට අවස්ථාව තිබිය යුතුය. එසේ කරන්නන්ට තර්ජනය කර බිය වැද්දවීම හිට්ලර් පන්නයේ දේශපාලනය මිස ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය නොවේ. 

  කෙසේ නමුත් මෙම  හැසිරීමෙන් පෙනෙන්නේ 2015 ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂ රෙජිමයට ජනතාව ඉගැන්වූ පාඩම  අගමැතිවරයා අවබෝධ කරගෙන නැති බවයි.

Friday, February 19, 2016

කතන්දර

 
මම අද මේ දූලා පුතාලට කතන්දර දෙකක්ම කියලා දෙන්ටයි හදන්නේ? හොඳින් අහගෙන ඉන්ට.


පලමුවැනි කතන්දරය-

ඔන්න එකෝමත් එක රටක හිටියලු ගමරාල කෙනෙක්. දවසක් ගම මහගේ ගියාලු එයාගේ ගෙදර , අම්මා තාත්තා බලන්න. ගම මහගේ එහෙම ගමේ ගියාම දවසක් දෙකක් නතර වෙලා , ඉඳලා තමයි ආපහු එන්නේ. ඉතින් ඒ දවස්වලට ගමරාල හරිම පාලුවෙන් තමා ගෙදර ඉන්නේ. කලේ පැන් ඇත, නැවුම් රහ නැත, පුලුස්සා ගත් රොටිය කරවිය  වගේ කවි කිය කියා දවල් දවස ගත කරගෙන තනි පැදුරේ සුසුම් හෙල හෙල නිදා ගන්නවා.

ඔන්න ඉතින් මේ කියන දවසේත් ගමරාල තනියම පැදුරේ නිදා ගෙන ඉන්න කොට ගමරාල ගැන දුක හිතුන ශක්‍ර දේවේන්ද්‍රයා ගමරාලගේ අල්ලපු ගෙදර උන්න රූබර කාන්තාව ගමරාලගේ පැදුරේ පැත්තකින් නිදිකොරවලා ගියාලු , ගමරාලට තනිවට.

හැබැයි පහුවෙනිදා එලිවෙද්දී ගම මහගේ ආපහු ආවාලු. ඇවිත් බලන කොට ගමරාලයි අර ලලනාවයි එක පැදුරේ බුදිලු. ගමරාල හත් අතේ දිවුරලා කිව්වලු මේ ස්ත්‍රියාව තමන්ගේ පැදුරට ආව විදිය දන්නේ නැහැ කියලා. ඒත් ගම මහගේ නෙවේලු විශ්වාස කලේ.

හොඳයි දැන් මේ කතාව අහගෙන උන්න උපාසක මහත්තුරු ,නෝනලා කියන්න බලන්න ගමරාල වැරදිද කියලා?

නැහැනෙ?

දෙවැනි කතන්දරය-

ඔන්න එකෝමත් එක රටක, ඉස්සෙල්ලා රටේ නෙවේ වෙන රටක. හිටියලු හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ හරිම සිල්වත්, පිංවත් , ධනවත්, මහන කෙනෙක්ලු. උන්වහන්සේ හීනියට සෙන්ට් ටිකක් ගාලා, පට සිවුර ඇඳලා ටී වී එකේ බණ කියන කොට අහන් ඉන්න උපාසක උපාසකාවියෝ ඔක්කොම සෝවාන් පලයට පත් වෙනවලු. අපේ මේ හාමුදුරු නමත් අඩුම ගානේ සකෘදාගාමි වෙලා ඇති කියලා තමා කවුරුත් හිතුවේ.
ඒ වගෙම තමා ,අපේ හාමුදුරුවෝ බොහෝම ලොකුවට දාන පාරමිතාව පුරමිනුයි හිටියේ.

ඉතින් ඒ නිසා රටේම ඉන්න මිනිස්සු තමන්ට කෑම බීම සපයන්න බැරි බල්ලො, බලල්ලු ,හරක්, එලුවෝ , බූරුවෝ, කුකුලෝ, කිකිලියෝ විතරක් නෙවේ උකුනෝ මකුනෝ මැක්කෝ පවා මේ පන්සලට ගෙනත් ඇරලනවලු. මොකද ඒ උපාසක කට්ටිය දන්නවා අපේ හාමුදුරුවො මොකා ගෙනාවත් නොසලකා ඉන්නේ නෑ කියලා.

ඕන්න ඔය කාලේ ඒ රටේ හිටියලු හස්ති රෝසන කියලා මනුස්සයෙක්. මේ මනුස්සයා ඉස්සර කාලේ සිටාණ කෙනෙක්. හැබයි පස්සේ කාලෙක රාජ  උදහසට ලක් වෙලා ධනය නැති භංග වෙලා හිටියේ .

 ඉතින් මේ හස්තිරෝසන ලඟ උන්නා අපූරු අලි පැටියෙක්. ඌට කන්න බොන්න දෙන්න තියා තමන්ට කන්න බොන්නත් නැති වෙලා හිටපු  හස්තිරෝසන මොකද කලේ? ශක්‍ර දෙවියන්ට කන්නලව් කරාලු මේ අලි පැටියාව හදා ගන්න උදව් කරන්න කියලා.

එතකොට  අලිපැටියා ගැනයි, හස්තිරෝසන ගැනයි කම්පා වෙච්චි ශක්‍ර දේවයන්ගේ පඬුපුල් ආසනේ රත් වෙලා ඇවිත් අර අලි පැටියාව  ,  අපේ හාමුදුරුවන්ගේ ආරාමේ ඇතුලට දාලා ගියාලු.

හැබැයි මේ අලි පැට්ටා රජ්ජුරුවන්ට අයිති එකෙක්ලු. දැන් රාජපුරුෂයෝ අපේ හාමුදුරුවන්ව අලි චෞරයෙක් කියලා දණ්ඩනය දෙන්ට ලෑස්තිලු.

ඔන්න ඔහොමලු සිද්ද වුනේ.

හොඳයි දැන් ඔයාලා කියන්න අපේ හාමුදුරුවෝ වැරදිද කියලා.

නෑ නේද?

Monday, February 15, 2016

එෆ්.සී.අයි.ඩීය වහා අහෝසි කරනු




එෆ්.සී.අයි.ඩීය වහා අහෝසි කරන මෙන් අපි රජයට බලකර කියා සිටිමු.

හැබැයි ඒ  රටේ පොදු දේපල ගසා කෑ කාලකණ්නි රොත්ත බේරා ගැනීමට නම් නොවේ.

එෆ්.සී.අයි.ඩිය අහෝසි කරන්නටැයි ඉල්ලමින්  මුං පොල් ගහන ගැහිල්ලේ හැටියට වැඩි කල් නොගොස් පොල් ගෙඩිය රුපියල් 1000 ද පනිනවා සිකුරුය.

එහෙම වුනොත්  පොල් සම්බලේටත් කෙලවෙන නිසා හා  අපේ ගෙවතු වල තියෙන පොල් කලටි ගෙඩි දෙක මේ පොල් හොරුන්ගෙන්  බේරා ගැනීමටත්  පමණි

සටහන- එෆ්.සී.අයි ඩියට  මෙච්චර බය වෙන්ට මුං ආණ්ඩු කරන කාලේ  කොහොම හොරා කෑමක් කාලා තියෙන්ඩ ඕනෑද ?

Sunday, February 14, 2016

දයාසිරිගේ ආදර්ශය


 

අපේ ක්‍රීඩා අමාත්‍ය දයාසොරි සිරි තුමා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක ඉන්දියා ‍ටුවර් එක ගිහින් , ඇඟට ඇලෙන්න ටී ෂර්ට් එකක් ගහලා ග්‍රවුන්ඩ් එකටම බැහැලා චියර් පාර දෙන ෆොටෝ කෑලි මේ දවස් වල හතර අතේ පාවෙනවා.

ඒක දැකලා කට්ටියට මාරචූන්. සාරස කියන විදියට ඇඟ පුරා මොලේ තියෙන පැරා තුමා දයාසිරිව ජාතියට නායකත්වය දෙන්ටත් ‍තෝරාගෙන ඉවරයි.

 දැන් ක්‍රීඩා ඇමති තුමාට අයිති කාරිය තමා ක්‍රීඩකයින්ට චියර් කොරන එක. එහෙම කරාම ජාතික නායකයෙක් වෙනත් සුදුසුයි.

එතකොට අපේ අනික් ඇමති කට්ටිය මොකද කරන්නේ . එයාලත් ආසා නැතැයි ජාතික නායකවා වෙන්ට.

ඉතින් සා රස ට හා පැරා වගේ ඇඟපුරාම මොලේ නැති මම මගේ හින්නිකිතර මොලේට තේරෙන විදියට ඒ ඇමත්තන්ටත් කොරන්ට පුලුවන් වැඩ ටිකක් ලැයිස්තු කොරා.


1. මුදල් ඇමති- ටිං එකක් අරගෙන හිඟා කෑම

2. සෞඛ්‍ය ඇමතිඋ- ඉස්ප්‍රිතාලයක සනීපාරක්ෂක කම්කරු වැඩ කිරීම

3. ප්‍රවාහන ඇමති- ලංගම බස් එකක් එලවීම( කලින් හිටපු ඇමති තුමියක් කො‍ටුව ඉස්ටේෂම අතු ගෑවා වගේ මතකයි)

4. පොල් කර්මාන්ත ඇමති- පොල් කැඩීම

5.අධ්‍යාපන ඇමති- ඉස්කෝලය අරින සීනුව නාද කිරීම ( ශිෂ්‍යයෝ වගේම ගුරුවරුත් කැමතිම සද්දේ ඒක . ඉස්කෝලේ අරින එක විතරයි, පටන් ගන්න එක එහෙම නෙවේ. බොරු නම් ජේවීපී එකේ මහින්ද ජයසිංහ මහත්තයාගෙන් අහලා බලන්න. එතුමා ජේවීපී වුනෙත් ඉස්කෝලේ අරින සීනුව ජේවීපී ලාංචනේ නිසා)

6. බුද්ධ ශාසන ඇමති- පංසලක ඇබිත්ත කමක් කිරීම

7. කෘෂිකර්ම ඇමති- අමුඩයක් ඇඳගෙන කුඹුරක් හෑම හෝ, කො‍ටුවේ උද්ඝෝෂණයක් කිරීම

8. අධිකරණ ඇමති- උසාවියක් ඉස්සරහ පිකටින් කිරීම

9. ධීවර ඇමති- හංදියේ මාලු ලෑල්ලක් දා ගැනීම හෝ වැල්ලට ගොස් දැල් ඇදීම

10..... මොන දහයද, ලංකාවේ ඉන්න ඇමතිලා ඔක්කොම  ජාතික නායකයෝ කරන්න ගියොත් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ,,, ඇමතිලා පැටවු ගහන විදිහට. මමත් යනවා ජාතික නායකයෙක් වෙන්ඩ ,ගංජා සුරුට්‍ටුවක් උරලා කස්තිරම්, කඩු පයිට් පුරුදු වෙන්න ඊ ලඟ මැයි දින පෙලපාලියට.
 

Saturday, February 13, 2016

සපත්තු ලෙව කන පිංසිබෝල්



මීට ටික කාලෙකට කලින් ආනමඩුවේ පලා බබෙක් අපූරු ගුරු උපහාරයක් පැවත්තුවා . ඒ පාසැල් ගුරුවරියක්  ඇයගේ පාසැල ඇතුලෙදිම  මුගුරක බලෙන් දණ ගස්සලා. ඒ කාලේ රට  කරවපු රජ්ජුරුවෝ රට පාලනය කරන්න හැදුව විදියටම තමා  එතුමාගේ ගෝලබාලයොත් වැඩ කලේ.

පේන්න තියෙන විදියට නම් දැන් රට කොරන උන්නැහේලාත් යන්නේ ඒ පැන්සොන්  රජා ගිය පාරේ වගේ , හැම පැත්තකින්ම බැලුවාම. ඒ ගැන සෙස්ස පස්සට.අපේ අද කතාව වෙන එකක්.

ඒ මදාවි කාර පලා බබා දණ ගැස්සුවේ එක ගුරුවරියක් විතරයි.

හැබැයි ඒ පාසැලේ පිංසිබෝල් තුමා ඊයේ ලංකාවේ සමස්ත  ගුරු පරම්පරාවම අර මදාවියා ඉස්සරහ දණ ගස්සලා වන්දවලා, පජාති කරලා, නෝණ්ඩි කරලා දාලා.

ඒ අර කුජීත දේශපාලුවා තමන්ගේ පාසැලේ ක්‍රීඩා උත්සවේට ප්‍රධාන අමුත්තා විදියට , බෑන්ඩ් ගහලා නැ‍ටුම්  කණ්ඩායම් ඉස්සර කරගෙන වඩම්මගෙන ඇවිල්ලා.

මේකා මොන විදියේ ගුරෙක් ද කියන්න අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඔය ජාතියේ ගුරුන්ගෙන් ඉගෙන ගන්න සිද්ද වෙලා තියෙන ශිෂ්‍යයන්ට නම් අබ සරණයි .

අනික ඔය ඉස්කෝලේ කොන්ද පණ තියෙන එක ගුරෙක්වත් හීටියේ නැතුව ඇති මේ පජාති වැඩේට විරුද්ද වෙන්න.

අපි ඔය පලා බබාලා , ඉස්කෝල පිංසිබෝල්ලා, සඳරුවන්ලා  වගේ නෙවේ ඊට වඩා  සදාචාර සම්පන්න නිසා උපුටා පල කරන්නේ නැහැ, නැත්නම් මේ සිද්දිය ගැන හොඳ කතාවක් කියලා තිවුනා ඊ නිව්ස් එකේ , කැමති නම් ගිහින් බලන්න. ලින්ක් දෙන්නේ නැහැ ඊ නිව්ස් එකත්  හඩ්සන්ගේ ප්‍රෝගෑම් එක වගේ ගඳ ගහන නිසා.

Saturday, February 6, 2016

කඳුලු

 
 
නුඹට අමතකද මේ කඳුලු

හලාවත, ක‍ටුනායක


යක්කල


රතුපස්වලදී ,

වෙල්ලමුල්ලි වෛක්කාලෙදි


උණු ලේ සමග ගලා ගිය



කඳුලු
..................................................................................................