රෝගීන් මැද රෝගීව

 
 ඉරිදා දවසේ උදේ ඇහැරෙන කොට  ඉන්න බෑ හෙම්බිරිස්සාව, නාහේ හිරවෙලා, උගුර කහනවා, කැස්සත් ටිකක් තියෙනවා. මොකෑ කරන්නේ ගියා ගෙවල් ලඟ තියෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. ආයේ මොකටද සල්ලි දීලා බෙහෙත් ගන්නේ ආණ්ඩුවෙන් නිකම් දෙනකොට, ඉරිදාටත්.

ඉස්පිරිතාලෙට ඇතුල් වෙනකොටම හැඩකාර  නර්ස් නෝනා කෙනෙක් ඇවිත් මගේ අතින් අල්ලගෙන ගියා කියපංකෝ දොස්තර මහත්තයා ලඟට. උන්නැහේ වෙද නලාව මගේ සර්වාංගේ පුරාම තියලා පැය තුන් කාලක් විතර පරීස්සා කොරලා හිටං  කියපි  මාව වාට්‍ටුවට ඇතුල් කරලා ලේස්ති කරන්න කියලා. මගේ ඇඟේ හීන් දාඩිය දැම්මා , මොකොටද ලේස්ති කරන්නේ කියලා. ඔපරේෂමක් වත් කරන්න යනවද කියලා හිතුවේ. කැස්සට බෙහෙත් ගන්න ඇවිත් කකුලක් නැතිව යන්න වෙයිද කියලා හිතුනා. ඇයි ඉතින් වම් කකුල වෙනුවට දකුනු කකුල කපපු උදවියනේ.

මට වාට්‍ටුවේ ටික වෙලාවයි ඉන්න ලැබුනේ. මාව රෝද පු‍ටුවක තියලා අරන් ගියා කියපංකෝ තැනකට.අම්මපා හෙලි පෑඩ් එකක්. එතැන නවත්තලා තිබුනා රතු කුරුසයක් ගහපු හෙලිකොප්ටරයකට මාව පටවගෙන ආවේ  නැතිද කොළඹටම. එහෙමයි සලකන්නේ  මිනිස්සුන්ට. මම හිතුවේ මාව කොළඹ මහ ඉස්පිරිතාලෙට දාන්න යනවා කියලා. මොන ?

හෙලිකොප්පරේ කොළඹත් පහු කරගෙන යනවා, ගෙහුන් ගෙහුන් ගියේ නැත්ද ක‍ටුනායක එයාර්පෝර්ට් එකටම. එතැනින් පැටෙව්වා මාව ප්ලේන් එකකට. සුරුස් ගාල සිංගප්පූරුවේ. මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාලේ.

එහෙමයි අපේ ආණ්ඩුව හෙම්බිරිස්සාවක් හැදුනත් රටේ සාමාන්නිය ජනතාවට සලකන්නේ. රජයේ වියදමින් මවුන්ට් එලිසබෙත් එකට මාව එව්වා කියහන්කෝ. කවුරු වීස්වාස කොරයිද විටමින් සී පෙති ටිකකුයි පැරසිටමෝල් සුට්ටකුයි ඇන්න යන්ට ඉස්පිරිතාලේ ගිය  මම සිංගප්පූරුවේ සුපිරි ඉස්පිරිතාලෙක.

 හෙම්බිරිස්සාව හොඳ වුනාම ආයේ ලංකාවට එන්නම් හො‍ඳෙ.  මෙහෙ එච්චර පාලුවක් නැහැ. අල්ලපු කාමර වල පිරිලා ඉන්නේ කැකිරාවෙන්, අඟුනකොලපැලැස්සෙන්, පදවියෙන් ට්‍රාන්සර් කරලා එවපු හීන් මැනිකෙලා, ලොකු බන්ඩලා, සූටින්ලා කට්ටිය.

බයි බයි.

සටහන-
මේ ලියුම කොටන්නෙත් ඉසිප්‍රිතාලෙන්ම ලෙඩ්ඩුන්ට දෙන ලැප්ටොප් එකකින් හොඳේ. 




 

Comments

  1. ලෙඩේ කාලයක් අල්ලා සිටීවා යැයි ප්‍රාර්ථනා කරමි.
    මාස දෙක තුනක් ඉඳලා සනීප වෙලා, රට තොටත් බලා කියා ගෙන එන්න!

    ReplyDelete
  2. අහෝ සම සවුක්‍ය....

    ReplyDelete
    Replies
    1. අහෝ බයි එම්බීබීඑස්

      Delete
  3. මහත්තයා ඉන්න ඕනි ඔය හොස්පිටල් එකේ නෙමෙයි මම හිතන්නේ. ඉන්න ඕනි අංගොඩ රෝහලේ. වැරදිලා වෙන කොහෙද අරං ගිහිං තියෙන්නේ.

    ReplyDelete
  4. ලංකාවේ රෝහලේ වල හොදකම රාජිත මහත්තයා ලෝකෙටම පෙන්නලා දුන්නා. ඒක උබලට වටින්නේ නැද්ද බොල.. හැක්.

    ReplyDelete
  5. ලංකාවෙ හොස්පිරිතාල ගැන හොඳට දන්නෙ සෞක්‍ය ඇමැත්තනෙ. බයට වෙන්ටෑ සිංගප්පූරුවේ යන්නැත්තේ.

    මටත් දැන් සතියක ට වඩා වැඩි හෙම්බිරිස්සාවක් කැස්සක් තියෙනවා. සිංගප්පූරු යන්න වෙයි වගේ. ඕවයෙ ගියාම හදිසි නැති නහර එහෙමත් බද්ද කරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  6. ඇයි බං ඉස්පිරිතාලේ ගියේ... හංදියේ ෆාමසියට ගිහිං ලෙඩේ කිව්වානං ඌ බෙහෙත් දෙනවානේ..... ආය මොන කතාද???

    ReplyDelete
  7. ලංකාවේ රජයේ රෝහල් වල මට තිබූ මූලික ප්‍රශ්නය මැස්සන්‍ ය​. වරක් මාතලේ මූලික රෝහලේ මෝචරියේ එකල ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහ මිනියක් කපමින් සිටියේය​. රෝගියා අපේ වාට්ටුවේ නිසා මටද පශ්චාත් මරණයට සහභාගි වන ලෙසට නියෝග ලැබුණි. මමද වෛද්‍ය සිරිමල් ජයසිංහට මිනිය කැපීමට සහය වූයෙමි. රෝගියාගේ වකුගඩු වල සැරව පිරී තිබුණි. මැස්සෝ තොග ගනනේ අප වටා පියාසර කරමින් සිටියහ​. මාගේ විශාලතම බිය සහ පිළිකුල වූයේ ශීතකරණ නොමැති නිසා අඩක් කුණුවූ ඕජස් ගලන මෘත ශරීරයේ වසන මැස්සන් යළිත් මගේ කටේ හෝ තොල් මත වසයි ද යන්නයි.

    කළුබෝවිල රෝහලේ ඒ කාලයේ (1993) බල්ලන් ගෙන් අඩුවක් ද නොවීය​. සමහර බල්ලන් වාට්ටුවලද ලැග සිටියහ​. එක් දිනක් මා රෝහලට යන විට බල්ලන් රෝහල තුල සෙම හලාගෙන වැටී සිටියහ​. මේ ගැන මම නේවාසික වෛද්‍ය අඹවත්ත ගෙන් ඇසුවෙමි. ඔහු මට කරුණු පැහැදිළි කලේය​. බල්ලන් මර්ධනයට බල්ලන්ට වස දමා තිබේ. බල්ලෝ උග්‍ර දුක් විඳ මිය ගියහ​. එය වේදනාකාරී දසුනක් විය​.

    වරක් වැසි දිනයක මාතලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවට යන විට වාට්ටුවට යන මග අසුරාගෙන එළදෙනක් ලැග සිටියාය​. ඇය වටා ගොම තළි දක්නට ලැබුණි. මම ජහ ජහ කීවද එළදෙන යන්න්තම් මා දෙස බලා නිසලව වැතිර සිටියාය​. ඌ මාව ගනනකටවත් ගත්තේ නැත​. එම නිසා මා වෙනත් මගකින් තෙමීගෙන වාට්ටුවට ගියෙමි.

    මීගමුව රෝහලේ වෛද්‍ය නිල නිවාසයේ සිට ශල්‍යාගාරයට යන කෙටිම මග තිබුනේ ළමා වාට්ටුවේ කොරිඩෝව හරහාය​. වැසිකිළියද ඒ ලඟ තිබුනි. මව්වරු සමහරක් විට ළමුන්ට මළපහ කෙරෙව්වේ වැසිකිලියේ නොව මේ කොරොඩෝවේය​. උදෑසනම ශල්‍යාගාරයට යන අපට කක්කා බෙටි පෑගේ. ඒ මන් ද යත් කොරොඩෝවේ විදුළි බුබුළ යම් අයෙකු විසින් ගලවාගෙන තිබීම නිසාය​.

    ළමා රෝග විශේෂඥ වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතගේ කාරුණික අනුග්‍රහයෙන් කොරොඩෝවේ විදුළි බුබුළ යළි සවි කෙරුනද දවස් දෙක තුනකින් එය යළි අතුරුදහන් වේ. රාත්‍රියට රෝගින් බැලීමට යන අපිට චිරි චිරි හඞින් කක්කා පෑගේ. පාවහන් වලට පෑගුනු අසූචි ඉවත් කිරීමට අප රෝහලේ මැද මිදුලේ තිබෙන තණකොළ ගොල්ලට ගොස් තණකොළ වල පාවහන් අතුල්ලමු.

    වරක් එක් වෛද්‍යවරයෙක් අසූචි පෑගී ලෙස්සා වැටුණි. කරුමයට මෙන් ඔහු වැටී තිබුනේ දියරමය කක්කා ගොඩක් උඩටය​. අසූචි නෑවී සිටි ඔහු වාට්ටුවට යාම පසෙක තබා ත්‍රී රෝද රථයකින් ගෙදර ගියේය​. ත්‍රී රෝද රියැදුරා රථය පදවන ලද්දේ එක අතකින් හැඞ්ල් එකද අනෙක් අතින් නාස් කුහර වසාගෙන බව පසුව අපට ආරංචි විය​.

    ලංකාවේ රජයේ රෝහල් වල වැසිකිළි අපාය සිහි ගන්වයි. රාගම රෝහලේ නිර්වින්දනයට නියමිත රෝගීන් ශල්‍යකර්මයට පෙර හමුවී රෝග විස්තර ලබා ගන්නා ලෙස එකල මගේ බොසිය වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මැඩම් නීතියක් දමා තිබූ නිසා මම වාට්ටු වලට ගොස් රෝගීන් හමු වූයෙමි. වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ බොහෝ විට සිටින්නේ කන්ටැක්ස් නැති රෝගීන් ය​. (කන්ටැක්ස් ඇති රෝගීන් වාට්ටුවේ රෝගින් බලන මේසයට ලංව ඇති ඇඳන් වල සිටිති.ඔවුන් බොහෝ විට වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ රෝහල් වල නිලධාරීන් ගේ ඥාතී හෝ දැන ඇඳුනුම්කම ඇති අය වෙති. )

    වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ සිටින කන්ටැක්ස් නැති රෝගීන් බොහෝ විට දුප්පත් ය​. එසේත් නැතහොත් ඇවිද ගැනීමට අපහසු ඇඳිවතේ මළ මුත්‍ර පහ කර ගන්නා රෝගීන් වෙති. ඔවුන් අසලට වෙද හෙද කාර්‍ය මණ්ඩලය යන්නේ බොහෝ විට වෝඩ් රවුන්ඩ්ස් වලදී පමණි.

    වාට්ටු වල අවසාන ඇඳන් පේලිය වැසිකිලියට ආසන්න නිසා ඉතා හොඳින් මුත්‍රා අසූචී ගඳ දැනේ. එක් දිනක් හෙදියක් අවසාන ඇඳන් පේලියේ සිටි මහළු ලෙඩෙකුට බැන වැදුනාය​. ඒ පෙරදා රාතියේ ඔහු වැසිකිලියට නොගොස් ඇඳ උඩ සිට බිමට මුත්‍රා කිරීම නිසාය​. ලංකාවේ රජයේ වල මේ ආවේනික ගන්ධය ඇස් වසාගෙන මට දැන් වූවද මතකයට ගෙන ආ හැක​. එය බෙහෙත් , කාර්බෝලික් , මුත්‍රා , අසූචි ගන්ධයන් ගේ සම්මිශ්‍රණයකි.

    ReplyDelete
  8. මේ රටේ සියලු පුරවැසියන් කැබිනට් ඇමතිවරුන් කලා නම් ඉවරයිනේ.

    ReplyDelete

Post a Comment