Saturday, March 30, 2013

ඇමතිගේ බිත්තරේ



ලෙඩ්ඩුන්ගේ බිත්තරේ ගිලලා
සර්ජිකල් ස්ප්‍රිට් බොන්නටයි
සෞඛ්‍ය සේවකයෝ ඉන්නේ
කිව්වලු වන සතුන්ගේ  ඇමතියා

කැලෑ කපලා ගංජා වවලා
හොර හරක් ලොරි ඇදීමට
වඩා නරකද  ඒ වැඩේ
නොදන්නා නිසයි ඇහුවේ ඇමතිතුමෝ

-රංචාගොඩ ළමයා-

Friday, March 29, 2013

කිසිදා යානා නාවත් කම් නෑ මත්තල මම එන්නම්



සිහිනෙන්වත් එක නැවක් එනවනම්
හම්බන්තොට ඉන්නම්
කිසිදා යානා නාවත් කම් නෑ
මත්තල මම එන්නම්

මිලියන දහයේ භාතිය ගී  මැද 
මෝඩයෝ රවටා මුසාව වපුරා
බදු බර පටවන්නම්, මම  ප්ලේන් එකේ එන්නම්
බදු බර පටවන්නම්,  මම ප්ලේන් එකේ එන්නම්

සිහිනෙන්වත්  එක නැවක් එනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා යානා නාවත් කම් නෑ
මත්තල  මම එන්නම්


 බඩගිනි ලෙඩ දුක හැදිලා මැරුනත්
මගේ පච පිළිගෙන හිනැහෙනු මැන ඔබ
ලේලිය පදවන යානේ ඉඳගෙන
මත්තල මම එන්නම් ,බදු බර පටවන්නම්

සිහිනෙන්වත්  එක නැවක් එනවනම්
හම්බන්තොට ඉන්නම්
කිසිදා යානා නාවත් කම් නෑ
මත්තල  මම එන්නම්

Wednesday, March 27, 2013

බිල් කැඩීම




රජයේ රෝහල් වලි න් ප්‍රතිකාර ලබන රෝගීන්ට ,එම ප්‍රතිකාර සඳහා වැය වූ මුදල දැන ගැනීම සඳහා බිල් පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. බිල්පත ලබා දුන්නද කිසිම අය කිරීමක් නොකරන බවද රජය පවසයි.මෙම පියවර ගන්නේ රෝහල්වල පලදායිතාව වැඩිකිරීමටලු.

මුලදී බිල පමණක් ලබා දී ක්‍රම ක්‍රමයෙන් මුදල් අය කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව නවතා දැමීමේ ආරම්භක පියවර ,සමහර විට මෙය විය හැක.

නිදහස් සෞඛ්‍ය සේවාවක් කීවත් රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට යන රෝගීන්ට ඉතා විශාල මුදලක් දැනටමත් වියදම් කිරීමට සිදුවේ.

ඉතාමත්  අත්‍යවශ්‍ය රසායනාගාර පරීක්ෂණ පවා  මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් කරගෙන ඒමට සිදුවේ. රජයේ රෝහල් වල මෙම පරීක්ෂණ කිරීමට පහසුකම් තිබුණත් සමහර විශේෂඥ වෛද්‍යවරුන් ඒවා පිටත රසායනාගාරවලින් කරගෙන එන ලෙස නියම කරන්නේ රෝහලේ රසායනාගාරයේ පරීක්ෂණ ප්‍රතිපල විශ්වාසිදායක නැති බව පවසමිනි.

එසේම එම්.ආර්.අයි, සී.ටී ස්කෑන් වැනි පරීක්ෂණ වලට රජයේ රෝහල් වල මාස ගණන් දිගු පෝලිම් ඇති අතර එම පරීක්ෂණද බොහෝ විට මුදල් ගෙවා පිටතින් සිදු කරගැනීමට සිදු වේ.( කෙසේ වෙතත් මුදල් ගෙවන්නේ නම් මාස ගණන් පෝලිමේ නොසිට ඉතා ඉක්මණින් එම පරීක්ෂණ කරගත හැකි රහසිගත ක්‍රමයන්ද රජයේ රෝහල් වලම ක්‍රියාත්මක වේ.)

එසේම රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගත්තත් නියම කරනු ලබන ඖෂධ වලින් වැඩි හරියක් ගැනීමට සිදුවන්නේ මුදල් ගෙවා පිටත පාමසියකිනි.

මේ අනුව බලන විට මෙම රෝග නිර්ණය කරනු ලබන පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර සඳහා දෙන ඖෂධවලටද රෝගින්ට මුදල් ගෙවීමට සිදුව ඇති තත්වය තුල රෝගින්ට දීමට යෝජනා වී ඇති ඊනියා බිලේ සටහන් කරනු ලබන්නේ මොනවාද යන්න ප්‍රශ්නයකි.

අත්‍යවශ්‍ය හා අනවශ්‍ය සෑම තැනෙකම විදුලි බල්බ පත්තු කිරීමට, වායු සමනය කිරීමට යන වියදමද ඇතුලුව විදුලි බිල, වෛද්‍යවරුන්ට මල් කැඩීමට ගෙවනු  ලබන ඉතා විශාල ටෙලිෆෝන් බිල් යනාදිය අනිවාර්යෙන්ම එකතු කල හැකිය.

එසේම මීට පෙර බදුල්ලෙනුත්, දැන් පොලොන්නරුවෙනුත් අනියම් කම්කරුවන් වශයෙන් බඳවාගෙන සිටින කිසි වැඩක් නොකරන  දහස් ගණන් කම්කරුවන්ගේ වැ‍ටුප්ද, දිනකට පැය දෙකක්  පමණ රෝහලේ සිටිමින්   උපරිම අතිකාල වැ‍ටුප් පවා ලබාගන්නා වෛද්‍යවරුන් ඇතුලු අනිකුත් සේවකයින්ගේ වැ‍ටුප්ද වැනි එම ආකාරයේ බොහෝ වියදම් මෙම බිලට එක් කර ඔන්න උඹලාට බෙහෙත් කරන්න අපේ ආණ්ඩුව මෙච්චර වැය කරනවා යැයි කීමට හැකිය.


එවිට රෝගින් වන අපටද " අනේ අපේ ආණ්ඩුව අපිට බෙහෙත් කරන්න කොච්චර නම් වියදම් කරනවාදැයි" විස්සෝප වීමට හැකිය.

සටහන-රජය 2013 දී සෞඛ්‍යයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.33% ක්ම වෙන් කර ඇත. අධ්‍යාපනයට එය 1.51% කි. හැබයි ආරක්ෂක වියදම 19%කි.








Monday, March 25, 2013

ණයට බය නැත.



අපේ ගෙදර තත්වය මෙහෙමය. කාමර දෙකකි. සාලයකි. කුස්සියකි.නාන කාමරයකි. එපමණකි.තට්‍ටු නිවාස සංකීර්ණයක නොහොත් සිංහලෙන් කිව්වොත් ප්ලැට් එකක ඇති එම නිවසේ අපේ අම්මාත්  ,තාත්තාත්, මමත් ,අක්කාත් සිටිමු.

අපේ ආර්ථිකය ගැන කථා කලොත් ආණ්ඩුවේ කන්තොරුවක  ලියන මහත්තයෙකු වන තාත්තා ගේ පඩිය හා ගෙදරට නගින පඩි තිහ හතලිහ හැර වෙන පඩියක් නැත.

තාත්තාගේ පඩියත් පඩියක් නොවේ ලඩියකැයි අම්මා හැම තිස්සේම කියන්නීය. ඒ මක් නිසාද යත් ගන්ට පුලුවන් හැම විදියටම බැංකු ණය අරගෙන ඇති නිසා තාත්තා අතට ලැබෙන්නේ ණයට කැපී හිලව් වී ඉතුරු වෙන සීයට හතලිහකටත් අඩු ගානකි.

ඒ මදිවාට අල්ලපු ගෙදර ප්‍රේමා ඇන්ටිගෙන් ගත්තු ණයත්, පාරෙන් එහා පැත්තේ විල්මට් ගේ කඩේ ණයත් ගෙවූ පසු ඉතුරු වන ලබ්බක් නැත.

ඒ නිසා අපි වේලක් ඇර වේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්ය. ඒකත් පාන්වාටි හා සම්බල් වැනි බොහොම පෝෂ්‍යදායක ආහාරය.

චිත්‍රපටියක් නාට්‍යයක් බලන්නට ගිය කාලයක් මතක නැත.

අපේ එකම විනෝදාංශය ටී.වී නොහොත් රූපවාහිනි බැලීමයි.

මේ ටී.වී. කෙරුවාවත් හරිම කචල් වැඩක්ය. තාත්තාට හවස හතේ සිට එක දිගට ප්‍රවෘත්ති බලන්නට ඕනෑ අතර, අම්මාත් අක්කාත් හැම චැනල් එකකම තියෙන මෙගා හා අනෙකුත් ටෙලි නාට්‍ය   බලන්නට  කැමතිය. මේ නිසා හැමදාම හවසට ගෙදර රංඩුය.

එම නිසා තව ටී.වී. එකක් ගත යුතු යැයි තාත්තා යෝජනා කලේය.එය ණයට ගෙන කොටස් වශයෙන් ගෙවිය හැකි බවත් ඔහු කීවේය.

අක්කා දිගටම බර බරය දැම්මේ අලුත්ම පන්නයේ එල්.සී.ඩී. ටී.වී එකක් මිලට ගත යුතු බවයි.අම්මාද කිව්වේ  රෑට උයන වෙලාවට කුස්සියේ සිටම ටී.වී  බැලීමට ඕනෑ බවත්, කුස්සියේ ඉඩ පාඩු මදි නිසා ප්ලැට් පැනල් ටී.වී. එකක් සුදුසු බවත්ය.

මෙහිදී කට දැමූ මම දැනටත් අපි සෑහෙන්න ණය වී තිබෙන නිසා මේ වගේ දේකට ණය වීම සුදුසු මදි බව කීවෙමි. එවිට තාත්තා කීවේ තමන් ණය වීමට බය නැති බවත්, ඉදිරියේදී තව තවත් ණය ගන්නා බවත්ය.

මේ සියලු කාරණා සලකා බැලූ තාත්තා ණයට ගෙනා අලුත්ම පන්නයේ රූපවාහිනිය කුස්සියේ සවි කලෙමු.

දැන් අම්මාටත් අක්කාටත් කුස්සියේ සිටම  ටී. වී බැලීමට පුලුවන. තාත්තාට සාලයේ ඉඳගෙන නිව්ස් බැලීමට කාගෙන්වත් බාධාවක් නැත. අලුත් ටී.වී. එක ගැන තාත්තා දැමු එකම කොන්දේසිය වූයේ එහි තාත්තාගේ නම ලියූ කොලයක් ඇලවීම පමණි.

දැන් අපිට ටී.වී. වලින් අඩුවක් නැත.
කාටද ආඩම්බර?

Sunday, March 24, 2013

හුටා මලකෙලියයි!




හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට නැව් නො එන හේතුව මට වැටහුනේ අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවත්වූ බංග්ලාදේශ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟය සී.එස්.එන් නාලිකාවේ නරඹමින් සිටියදීය.

ඔබටත් එය වැටහුණාද?

සටහන- හපොයි මත්තල රාජපක්ෂ ගුවන්තොට හදන්නට ගිය සල්ලි

Saturday, March 23, 2013

බෞද්ධ භික්ෂුන්ට පහර දුන් අන්තවාදින් ට දඬුවම් කරනු




පසුගියදා තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික  භික්ෂුන්ට අන්තවාදින් විසින් පහර දීම නිසා ශ්‍රී ලංකාවේ සමාජය ඇවිලී තිබේ.ඇත්තෙන්ම ඒ පහර දීම අපි හෙලා දැකිය යුතුය. තවත් කෙනෙකුට පහර දීමට කිසිවෙකුට ඉඩ දිය යුතු නැත. විශේෂයෙන්ම ජාතිවාදි අන්තවාදින්ට ඉඩ දිය යුතු නැත.

එම නිසා එම පහර දීම වලට වගකිව යුතු අයට එරෙහිව නීති ප්‍රකාරව දඬුවම් කිරීම ඉන්දියාවේ ආණ්ඩුවේ වගකීමකි.

එම වගකීම නිසියාකරව නොකෙරෙන්නේ නම් ඒ බව පෙන්වා  දී හොඳින් හෝ නරකින් එය කරවා ගැනීමේ වගකීම මෙරට වැසියන්ට භාර වේ.

එම යුතුකම කරට ගත් බී.බී.ඇස්, රාවණා බැටෑලියන්, ආදි බලසේනා මේ වන විට ඉන්දියාවට එරෙහිව කෙලින්ම සටනට බැස තිබේ.

තමිල්නාඩුව සමග සියලු ගනුදෙනු නැවත්වීමට සමහරු යෝජනා කරන අතරේ තව සමහරු කියා තිබෙන්නේ තමිල්නාඩුව  ශ්‍රී ලාංකිකයන්ට කරන හිරිහැර අනුව මින්පසු තමිල්නාඩුවේ සිට පැමිණෙන ද්‍රවිඩයන්ට උපරිම මට්‌ටමෙන් නීති ප්‍රකාර දඬුවම් දෙන බවයි.

මේ ප්‍රවණතාව ඉතා හොඳය. වරදකරුවන්ට පැන යාමට ඉඩ නොදිය යුතුය. එසේ නොකළහොත් අපේ භික්ෂුන්ට ඉදිරියේ දිත් පහර දීමට ඉඩ තිබේ.

මෙවර පහර දීම කලවුන්ට පමණක් නොව මීට කලින්ද ඉන්දියාවේදී මෙවන් සිදු වීම් සිදුව ඇත්දැයි සොයා බැලිය යුතුය. එසේ සිදුව ඇත්නම් එම සිද්ධි වලද වගකිව යුත්තන් නීතියේ ‍රැහැනට හසු කර දිය යුතුය.

දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මමද මේ ගැන පෞද්ගලිකවම සොයා බැලුවෙමි. එසේ සොයද්දි මීට ප්‍රථමයෙන්ද තම්ල්නාඩුවේ මහරගම නම් වූ ස්ථානයෙදීද තමිල්නාඩුවේම කොළඹ නම් වූ ස්ථානයකද මෙවන් පහර දීම කරන අයුරු දැක්වෙන ඡායාරූප දෙකක් හමු විය.


ඉතාමත් හොඳින් එම ඡායාරූප දෙක දෙස බැලූ විට පෙනී ගියේ මෙම පහර දීම් කරන්නේ දෙමල ඩයස්පෝරාවට සම්බන්ද කොටි හිතවාදි කොටස් හා මුස්ලිම් අන්තවාදින් පිරිසක් බවයි.( පහත ඡායාරූප දෙස හොඳින් බලන්න)

එම නිසා මෙම අන්තවාදින්ටද නිසි දඬුවම් දීම ඉන්දියාවේ වගකීමක් බව අප මතක් කර සිටිමු.






Friday, March 22, 2013

මුංට හොඳ පාඩමක් .........



ජීනිවා වලදී ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට පක්ෂව ඉන්දියාව චන්දය ප්‍රකාශ කිරීම නිසා මල පැන්න චම්පක රණවක ඇමතිතුමා ඉන්දියාවට සම්බාධක දැමිය යුතු බව කියන්නේය.

එතුමා කියා සිටින්නේ කියන්නේ ඉන්දියන් ව්‍යාපාරිකයන්ට හා  සංචාරකයින්ට කිසිම ඉඩ කඩක් ලබා නොදිය යුතු  බවයි.

මේවා ඉතාම හොඳ යෝජනා බව අපිටද හිතේ. එම නිසා එම යෝජනා ක්‍රියාත්මක කරන මෙන් අපි ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

නමුත් මේ අවස්ථාවේදී අපට මතක් වෙන්නේ ජීනිවා සමුලුවේදී ලංකාණ්ඩුවට එරෙහිව යෝජනාව ගෙන ආවේ ඇමෙරිකාව බවත් ඉන්දියාව ඇතුල්ව  තවත් රටවල් 25ක් එම යෝජනාවට පක්ෂ වූ බවත්ය.

එක්සත් ජනපදය, ජර්මනි, අයර්ලන්තය, ඉතාලි, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, බෙනින්, කොස්ටරිකා අයිවරි, ලිබියාව, සියරා ලියෝන්, ඉන්දියාව, කොරියාව, චිලි, පේරු, ඔස්ට්‍රියා, චෙක් ජනරජය, එස්තෝනියාව, මොන්ටිනෙග්‍රෝ, පෝලන්තය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, රුමෙනියාව, ගෝතමාලාව, මෝල්ඩෝවා ජනරජය යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල්ය.


මේ කාලකණ්නි රටවලටද ඉන්දියාවට මෙන්ම   මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක කල හැකි යෝජනා කීපයක් පහත දැක්වේ. මේ ජාතික කලබල අවස්ථාවේ අපට සියලු රටවලට කල යුතු දේවල්  ගැන සිහියට එන්නේ නැතත් ,අඩුම තරමෙන් ප්‍රධාන රටවල් කීපයකට හෝ ඉතා ඉක්මණින් පාඩම් ඉගැන්වීම අරඹා අනිත් රටවලට පසුව ඉගැන්විය හැකිය.

අවශ්‍ය වුවහොත් මාරන්තික උපවාස පවා කරමින්  මේ යෝජනා  ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බල කිරීමට හෙල උරුමය, දේශහිතෙෂී ජාතික ව්‍යාපාරය, බොදු බල සේනාව, රාවණා නිකාය ඇතුලු සියලු දේශප්‍රේමින් ඉදිරියට ආ යුතුය. උපවාස කරන්නේ නම් ලෙමන් පෆ් ආදිය සපයමින් අපටද ඒ සඳහා උදව් කල හැක.

1. ඇමෙරිකානු පුරවැසි භාවය හිමි සියලු ලාංකිකයන් එම පුරවැසි භාවය අත හැරිය යුතුය.

2. ස්විස් බැංකුවල ඇති  ශ්‍රී ලාංකිකයන් සතු ගිනුම් වසා දමා ඒවා ලංකාවේ බැංකුවල දැමිය යුතුය.

3. කොරියාවේ හා ඉතාලියේ ‍රැකියා කරන ශ්‍රී ලාංකිකයන් වහාම නැවත ගෙන්විය යුතුය.

4. ජර්මනිය ............

(ම්ම්ම් අනිත් රටවලට  කල යුතු දේ පස්සට.)
( Pic from FB)



Wednesday, March 20, 2013

රාවණ නිකාය



දඹදිව වන්දනාවෙ යන අපෙ අයට 
ගුටි බැට දෙන එක නවත්තනු
නැත්නම් තලනවා මෙහි එන මගියන්ට 
කියයි රාවණ නිකායේ හාමුදුරුවරු


බුදු හාමුදුරුවො වැඩියත් අද සිරිලකට
ඉන්දියාවෙන්ද ආවේ කියලා අහලා
ඇටක‍ටු කඩනවා සත්තයි මේ ගණින ‍රැල
අසුර නිකායේ වෛරය වපුරවන 

-රංචාගොඩ ළමයා-


Tuesday, March 19, 2013

බ්‍රිජට් බාඩෝ අතුරුදහන්


පොඩි එකාගේ ලියුම
2013.11.01

ආදරනීය ලොකු මාමා  වෙත ලියමි

මාමේ  මේ ලියුම් ලියන්නේ ඉතා හදිසියෙන්ය. අපිට වෙච්චි දේ කියන්න මාමා ඇර වෙන කවුරුත් නෑ කියා අම්මා කීවෙමි. ඒක නිසා මාමාට ලියමි.

පෙරේදා රාත්තිරියේ අපේ ගෙදරට කට්ටි දෙකක් කඩා පැන්නෙමු. එක කට්ටියක් ඉස්සරහා දොරෙනුත් අනික් කට්ටිය පස්ස දොරෙනුත් කඩං පැන්නෙමුය.

එක කට්ටියක් බී.බී.ඇස් කෙන් එකෙන් කියලා කිව්වෙමි. අනිත් කට්ටිය එයල  සිංහල රාවෙන් කීව්වෙමු.

අපේ ආච්චි උඩේ උදේ හවස මල් පූජා කරන බුදු පිලිමේ මාට මාමාට මතකද?

ඒ කට්ටිය ආවේ ඒ පිලිමේ නිසාය.

අපේ ගෙදර ඒ පිලිමෙට අගවුරව  වෙන ජාතියේ වැඩ සිද්ද වෙනවාය, අගවුරව වෙන දේවල් තියෙනවා කියලා කවුදෝ එයාලට කීයා තිබෙමු.

ඉතින් මාමේ එයාලා මුලු ඇවිත් මුලු ගෙදරම පෙරලලා හෙව්වෙමි.

හොයාගෙන හොයාගෙන යනකොට අපේ අය්යාගේ පරන පොත් පෙට්ටියක් ඇතුලේ තිබිලා එයලාට බ්‍රිජට් බාඩෝගේ පරන පිංතූරයක් හම්බ වුනෙමි.

ලයිට් කපන වෙලාවට ලාම්පු ලයිට් පත්තු කරන්ට ලාම්පු තෙල්  ගේන පරන අරක්කු බෝතලයක්ද  කුස්සියේ මුල්ලක  තිබුනෙමි.

ඒ දෙක අතට ගත්තු ඒ කට්ටිය මෙව්වා තියෙන තැන් වල පිලිම තියන්ට බැරිය කියා ගෝසා කලෝය.

ඒ ගෝසාවට අපේ පුංචිගේ මාස දෙකක් වයස පොඩි එකාද ඇහැරී අඬන්නට ගත්තෙමි.

එතකොට බී.බී.ඇස් කට්ටිය කීවේ මේ බලන්ට මේ ගෙදර පොඩි උනුත් ඉන්නවාය. ඒ කියන්නේ මුං හැමිනෙන අහවල් වැඩෙත් කරන්නේ මේ ගේ ඇතුලෙ කියාය.

මෙහෙම තැන් වල පිලිම බැරිය කියා ඒක අරගෙන ගියෙමු.

දැන් ආච්චි මල් ටිකක් වත් තියන්ට විදියක් නැතිව විස්සෝප වී අපිට බයිනවාය. මෙහෙම උනේ උඹලාගේ වැඩ නිසා කියා පුංචි අම්මාටත් බැන්නෝය.

අපි කියලා මක් කරන්නද මාමේ.මාමාවත් ඇවිත් කතා කරලා බලන්ටකෝ

මීට

හිච්චි එකා

ප/ලි. මාමේ අර කට්ටි දෙගොල්ලෝ ගියාට පස්සේ අපේ අය්යාගේ පොත් පෙට්ටියේ තිබ්බ බාඩෝගේ පිංතූරෙත් නැතිය. ඒක අරන් ගියේ බී.බී.ඇස් කට්ටියද රාවේ කට්ටියද කියා හොයා ගන්ට බැරි වෙයිද මාමේ. නැත්නම් මට අය්යාගෙන් ටොකු කන්ට වෙන්නෙමු.

Sunday, March 17, 2013

වීරවංශ චාවේස් ගැන ලියූ ගීතය-ඔරිජිනල් එක ලැබුණා



විමල්  හිටපු සහෝදරයා චාවේස් වගේ වෙන්ට හරිම ආසය. එතුමාගේ ගෝලයන් කියන්නේ අපේ විමලේ අයියා චෑවේස් වගේ කියලාය.එතුමා චාවේස්ට කොච්චර ආදරේද කිව්වොත් චාවෙස්ගේ අවමගුලට වෙනිසියුලාවට ද ගියේය.

ඉන්පසු චාවේස්ගේ දේහයට ආචාර කරන ෆොටෝ එකකුත් මීඩියාවලට දුන්නේය. ඒකේ එතුමා ඉන්නේ කැමරාවට පස්ස හරවාගෙනය. එතුමා එක්ක මලගෙදර ගිය නියෝමාල් ඇමති තුමා ආගිය අතක්වත් නැත.

වරෙත්තු කොල්ලෝ නම් ඕක ඔය ෆොටොෂොප් වැඩක් වගේ කුණු කතා කියනවාය. නැත්නම් කෝ නියෝමාල් කියලා අහනවාය.

අපි එව්වා දන්නේ නැත. කොහොම උනත් එතුමා වෙනිසුලාවට නම් ගියේය. ඒක ෂුවර්ය.

ඒ බව අපි දැනගත්තේ වෙනිසියුලාවෙන් අපිට ආපු ලියමනක් නිසාය. ඒක එවා තිබුනේ අපේ විමල් හිටපු සහෝදර තුමා නැවතී හිටි හෝටලෙන්ය. බය වෙන්ට එපා, හෝටලේ බිල නොවේ.

එතුමා ලියපු ගීතයක් හෝටලේ මේස ලාච්චුවක අමතක වෙලා ඇවිත්ය. මේ බව එතුමා පසුගිය දාක ‍රැස්වීමකදීත් කිව්වාය.

හෝටලේ මැනේජර් මගේ යාලුවෙක්ය, ඒ නිසා එයා ඒ සිංදුව විමල් තුමාට දෙන්ට  කියා මට එව්වේය.

ලියුම දෙන්ට  එතුමා හෙව්වත් හොයා ගන්ට බැරි වුන නිසා මෙසේ පල කරමි.

එතුමා දැක්කොත් හෙම කියන්ට හොඳේ.

මෙන්න  ගීතය


සමාජවාදය ගුණවත් උනත්
ධනවාදේ  හරිම රසවත්
සල්ලි ගස් බොහෝ ඇත
සොලවගන්නට හැකිනම්

වෙන වැඩක් ඕනෑම නැත
සල්ලි ගස් සෙලවිය හැකිනම්
හොලවන්නට හොඳ ගසකි
ඔබේ වෙනිසියුලාව

සල්ලි නැත්නම්
සල්ලි නැත
කොමිස් ඇත්නම් 
සල්ලි ඇත

 සල්ලි ඇති තරම් ඇත්නම් 
ඉස්තරම් විස්කි ඇත
ඩිස්නිලන්තේ 
හරිම සැප ඇත

ඇඹිලිපිටියේ මල් ඇත
පත්තු කල විට සුවඳ දෙත
උඩට ඇදි විට
දෙව්ලෝ සැපත

ඉස්තරම් විස්කි
ඇති තරම් නැත්නම්
සත්තමයි මල් අදිමි
එවන් සැප ලොවෙත් නැත

Friday, March 15, 2013

වෙල්ගමගේ ළම්යි



වැඩි වැඩියෙන් ළමයි හැදිය යුතු
වඳ වෙන නිසා සිංහල ජාතිය
ලංගම  සේවකයින්ට කියලා දුන්නේ 
වෙල්ගම අපේ ගරු ඇමති තුමා

මාස ගණන් පඩි නැති ලංගමයෝ උනත්
ළමයි හදන එක නම් හරි සිම්පල්
ඒත් ඇමතිතුමෝ උන් කන්නේ
අම්මගේ රෙද්ද විකුණා ගෙනද?

-රංචාගොඩ ළමයා-

Wednesday, March 13, 2013

හලාල් සහ බකමූණන්



දැන් හලාල් සහතිකය ඉවත් කර ගෙන තිබේ, එහෙත් හලාල් වලට විරුද්ධව සටන් කල  බොරු බල සේනාංකයත්, ආණ්ඩුවෙන්  කැපී නන්නාත්තාර වී එල්ලෙන්ට වැලේ වැල් නැතිව සිටින අතරේ හලාල් සහතිකේ එල්ලුනු  චම්පකගේ හෙල උරුමෙත් ඒ තරම් ලේසියෙන් හලාල් අතාරින්නට කැමති නැති පාටය.

ඇත්තටම මුන්ට හලාල් තිබුනත් එකය, නොතිබුනත් එකය. ඕනෑ වුනේ බඩු මිල ඉහල ගොස්, පඩි වැඩි නොවී, ආදායම වැඩි නොවී,  ජීවත් වන්ට අමාරු වෙනකොට කුලප්පු වෙන ජනතාවගේ අවධානය රඳවා ගන්ට යමක්ය.

නමුත් උලමා සංවිධානය මොකක්දෝ හේතුවකට , ගලබොඩ අත්තෙලා හා චම්පකලා  නොසිතු ඉක්මනින්  හලාල් සහතිකය අයින් කරගන්නට තීරණය කිරීම නිසා මඤ්ඤං වී ගිය දේශප්‍රේමින්  දැන් අලුත් බයිලාවක් ගසයි.

ඔවුන් දැන් කියන්නේ හලාල් සංකල්පයම අයින් කරගත යුතු බවයි.

එනම් මුස්ලිමුන් තමන්ගේ ආගමික සංකල්ප අත හැර දැමිය යුතු බවයි.ඔවුන් ජීවත් විය යුත්තේ බී.බී. ඇස් එකේ කට්ටිය හෙවත් ලංකාවේ නොනිල පොලිසිය කියන පරිදිය.

ඔවුන්ට අවශ්‍ය මේ ඝෝෂාව තව කලක් රඳවා ගෙන ඉන්නටය.

ගලබොඩ අත්තේ භික්ෂුව මේ තර්ජනය කලේ මුස්ලිම් පූජකයින්ටත් ඉතා පහත් ලෙස අපහාස කරමිනි. එනම් උලමලා බකමූනන් කරන  බව කියමිනි.එපමණක් නොව මේ භික්ෂුව එම අවස්ථාවට පැමිණ සිටි නායක භික්ෂුන්ටද ඉතාමත් පහත් ලෙස අපහාස කලේය.

මිනිසුන්ගේ ආගම් යනු ඉතා සංවේදී කරුනකි. එය කුඩා ගිනි පුපුරකින් ඇවිලී යා හැකි වෙඩි බේත් කන්දක් බඳුය. වෙනත් ආගමිකයන්ට මෙසේ අපහාස හා තර්ජනය කිරීමෙන් මෙම  භික්ෂුව බලාපොරොත්තු වන්නේ කුමක්ද ? එම වෙඩි බේත් කන්දට ගිනි තැබීමටද?

නැවත වතාවක් මේ රට යුද පිටියක් කිරීමටද?

මම උපතින් සිංහල බෞද්ධයෙක් වුවද දැන්  කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි. ඒ ආගම් වලින් මිනිසුන්ට යහපතකට වඩා අයහපතක් වන බව ඉතිහාසය පෙන්වා දෙන නිසාය.ගලබොඩලාගේ හැසිරීම ඒ අදහස නැවත වතාවක් මගේ අදහස ස්ථීර කරයි.

එහෙත් මුස්ලිමුන්ගේ හෝ බෞද්ධයින්ගේ හෝ වේවා ආගමික සංකල්ප වෙනුවෙන් මා මිල දී ගන්නා භාණ්ඩ වලට වැඩි මිලක් ගෙවන්නට වන්නේ නම් එය සලකා බැලිය යුතු කරුනකි. මෙය හලාල් වලට එරෙහිව  හඬ නැගු බී.බී.ඇස් ලා හා හෙල උරුම නඩය නැගූ එක් ප්‍රධාන තර්කයකි.

 දැන් හලාල් සහතිකය ඉවත් කරගෙන ඇති නිසා එම බඩු මිල අඩු විය යුතු යැයි මෙම එක ජාති මාමකයෙක්වත් කියන්නේ නැත.එමනිසා හලාල් තිබීම හෝ නොතිබීම මට අදාල නැත.

මා භාණ්ඩයක් මිලට ගැනීමේදී සලකන්නේ එහි අවශ්‍යතාව, තත්වය හා මිල පමණි. එය මට විකුණන තැනත්තාගේ ජාතකයෙන් මට පලක් නැත.

එම නිසා කවුරුන් හෝ මා භාණ්ඩ මිල දී ගත යුතු තැන් පිලිබඳව බල කිරීමට පැමිණියොත් බකමූනන් වන්නේ ඔවුන්ය.







Tuesday, March 12, 2013

වැඩි කරන්ට රත්තරනේ, වැඩි කරන්ට.



විදුලි මිල වැඩි කරන්න ඕනෑ ද එපාද කියලා ජහමනයාගෙන් මහජනයාගෙන් අහන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාරිය ජ.කොස්තා මහතා කියා තිබේ.ඒ සඳහා මේ මාසේ 28 දක්වා කල් දී තිබෙන බවද , 28 දා මහජන හමුවක් පවත්වා ඒ ගැන තව දුරටත් අසා ජනතා මතය අනුව තීරණයක් ගන්නා බවද ආචාරිය තුමා කියා තිබේ.

ඕක ආයේ අමුතුවෙන් අහන්ඩ දෙයක් නැත.

අපි , ඒ කියන්නේ ජහමනයා මහජනයා විදුලි බිල වැඩි කරනවාට එක පයින් කැමතිය. අපිට තියෙන එකම අවුල ප්‍රමාණවත් ලෙස වැඩි කරයිද කියන එකය.

අඩුම තරමෙන් සීයට හාර පන්සීයකින්වත් වැඩි කරන්ට කියලා අපි ඉල්ලා සිටිනවාය.

විදුලි බිල වැඩි කරනවාට මේ රටේ දේශප්‍රේමි  ජනයාගෙන් සීයට අනූ පහක්ම කැමතිය. ඕකට අකැමති වෙන්නේ හම්බන්තොට ගල් වරාය, මත්තල මාරයි මාරයි ගුවන් තො‍ටුපල වගේ ආශ්චර්යන්ට කැමති නැති දේශද්‍රෝහින් හතර පස් දෙනෙක් විතරය. අනික් සියලුදෙනා කැමතිය.

මං කියන දේ බොරු නම් ඔන්න බලන්න, 28 දා උදේ පාන්දර ජයතිස්ස හා රොසලින් මැති තුමා මාධ්‍යවලට ඇවිත් එතුමාට ප්‍රතිචාර දක්වපු ජනයාගෙන් සීයට 98.3457852 ක්ම විදුලි බිල වැඩි කරන්ට කැමත්ත පල කරලා තියෙනවා නොකිව්වොත් මම මගේ කණ කපා ගන්නවාය.

ඒ විතරක් නොවේ එතුමා 28 දා තියන්ට ලෑස්ති වෙන ජනතා හමුවට ගෙන්නන එන අයගෙනුත් සීයට 99.99923498 ක්ම ඔය වැඩි කිරීමට කැමති වෙනවා ෂුවර්ය.

ඒක නිසා බය නැතිව වැඩි කරන්ට රත්තරනේ, වැඩි කරන්ට.

Sunday, March 10, 2013

ජිනීවා- රමණය හා සුරතාන්තය




මේ දිනවල ලංකාවේ සිටින තමන් දේශප්‍රෙමීන් වශයෙන් හඳුන්වා ගන්නා අය හා එම ඊනියා දේශප්‍රේමින් විසින් දේශද්‍රෝහින් වශයෙන් හඳුන්වන අය යන දෙගොල්ලන්ම ජිනීවා හා රමණයේ යෙදෙමින් සිටිති.

මේ දෙපිරිසටම අවශ්‍ය සැඩ පරුෂ ප්‍රචණ්ඩ ,සිරුර වෙව්ලුවා දමන සුරතාන්තයකි.

එනම් ලංකාවට එරෙහිව  ප්‍රබල බලපෑමක් සහිත යෝජනාවක් සම්මත වීමය.

එවිට එම සුරතාන්තය මතක් කරමින් ලබන මාර්තු වෙන තෙක් මෙරට ජනතාව සුරතල් කිරීමට දේශප්‍රේමින්ට හැකි අතර තමන් ජය ගත්තා යැයි සතු‍ටු වීමට  අනික් කණ්ඩායමටද  හැකිය.

එම සුරතාන්තයෙන් ලැබෙන සතුටේ   ප්‍රමාණයට අනුරූපව විදුලි බිල වැඩි වන ප්‍රතිශතය  100% ක්ද ,200ක්ද , 300% ද යන්න  තීරණය වනු ඇත.

එහෙත්  එසේ රමණයේ යෙදෙන අතරම  ,ආණ්ඩුව ඉන්දියාව හා ඇමෙරිකාව සමග ඩීල් එකක්  දමා ගැනීමට හැකි වුවහොත් සුරතාන්තය එතරම් පලක් නැති දියාරු එකක් වනු ඇත.

එම නිසා රති ක්‍රීඩාවේ උච්ච ස්ථානයකට ඒමට ප්‍රථමයෙන්ම, එනම් පෙර ක්‍රීඩාවේ නියලී සිටින අතරේම  සමහර විට විදුලි බිල මෙන්ම තව බොහෝ දෑ මිල ඉහල යාම ට ඉඩ තිබේ.

කෙසේ නමුත් රමණයේ සතුට බොහෝ දෙනෙකුට දැනෙනු ඇත්තේ මාර්තුවේ අප්‍රේල් මාසයේ අවුරුදු කන විටය.

Friday, March 8, 2013

චාවේස් නම් වූ සටන් කාමියා




හියුගෝ චාවේස් මිය ගොසිනි. එය මෙසේ ඉක්මණින්ම සිදු වනු ඇතැයි හැඟී තිබුනද එම පුවත ඇසූ විට සිතට නැගුනේ මහා පාලු හා මූසල හැඟුමකි.ඔහුගේ මරණයෙන් දේශපාලන ලෝකයේ මහා හිඩැසක් ඇති විනැයි මට සිතේ.

ඔහු තමන්ගේ රට වැසියන් ඉදිරියේ බොරුවට ගිරිය පුප්පමින් අධිරාජ්‍ය විරෝධියෙක් වී , හොර රහසේ ඔවුන් සමග ඩීල් දමන ,ඔවුන්ගේ පස්සෙන් යන කපටියෙක් නොවීය.ඒකධ්‍රැවීකරණයට ලක් වූ ලෝකය තුල ඔහු සැබැවින්ම විප්ලවාදියෙක් විය.

ඔහු විශ්වාස කලේ සමාජවාදයයි. ඔහු එය ක්‍රියාවෙන්ම පෙන්වීය.

සමාජවාදය ගැන දෙසමින් රටේ ජාතික ධනය තම බැංකු ගිණුම් වල පොදි ගසා ගත් චෞරයෙක්ද නොවීය.

 වෙනිසියුලාවේ අති විශාල තෙල් සම්පතින් උනන ධනය තම ඔහු යෙදුවේ එරට දුක් විඳින ජනයා සුවපත් කරනු පිණිසය.

ඔහුගේ පාලන කාලය තුල ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය රටේ දරුවන්ට ලබා දුන් අතර සරසවි ශිෂ්‍ය ප්‍රතිශතය අනුව වෙනිසියුලාව ලෝකයේ පස් වැනි තැනට පත් කිරීමට ඔහුට හැකි විය.

ඔහු රටේ දුප්පත්කම 44% කින්ද  ළදරු මරණ අනුපාතය අඩකින් අඩු කලේය.

කෙටියෙන් කිවහොත්  රටේ ඉතා සුලු පිරිසක් භුක්ති විඳි තෙල් සම්පතෙන් ලැබුණු ධනය පොදු දේපලක් බවට පත් කලේය.

ඔහුගේ දේශපාලනයේ ප්‍රතිවිරෝධතා  තිබුණා වුවත් ඔහු තම ප්‍රතිවාදින්ගේ පවා ගෞරවයට ලක්  වෙන ආකාරයේ අචපල සටන් කාමියෙක් විය.

අප යුගයේ නොනැමුණු , දණ නොනැගැසූ විප්ලවවාදියා ඔහුය.

මේ කෙටි සටහන එවන් වූ ඔහු වෙනුවෙනි.

සුභ රාත්‍රියක් සොඳුරු කුමරුනි...

Adios amigo

Wednesday, March 6, 2013

Monday, March 4, 2013

රාජ-පක්ෂයේ මධ්‍යම කාරක සභා වාර්තාව


ශ්‍රිලනි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වූවා යැයි කියන සාකච්ඡාවක සටහනක් ඊයේ ඉරිදා දිවයින පත්‍රයේ පල වී තිබිණි.


එය කියවූ මට නම් අනේ අපොයි කියා කියවිණි.



මෙය කියවූ විට ඔබට කියවෙන්නේ මොනවා දැයි දැන ගැනීමට අප කැමතිය.ඔබ එය මෙහි සටහන් කර තබන්නේ නම් අප කැමතිය.


" ජනාධිපතිවරයාගේ එම කතාවෙන් පසු නැගී සිටියේ නැවතත් අනුර යාපා ය. අනුර යාපා ජාතික සංවිධායක තනතුර සඳහා බැසිල් රාජපක්‍ෂගේ නම යෝජනා කළේය. යෝජනා කරනවාත් සමගම එය ස්‌ථිර කරන්නට පස්‌දෙනෙක්‌ නැගී සිටියේය. පස්‌දෙනා බැසිල්ගේ නම ස්‌ථිර කරන්නට පොරකන අයුරු දක්‌නට ලැබිණි. අමුණුගම සියල්ලට පළමුව එම යෝජනාව ස්‌ථිර කළ අතර මර්වින් සිල්වා ඒ හඬ යටපත් කරමින් කතා කර යෝජනාව ස්‌ථිර කළේය. 

"මම ස්‌ථිර කරන්න නෙවේ හිටියේ. මම අපේ බැසිල් මහත්තයව මේ තනතුරට යෝජනා කරන්නයි හිටියෙ. කවුද ඉන්නෙ මෙතුම තරම් සුදුස්‌සෙක්‌ මෙතන. ඔන්න මමයි ස්‌ථිර කළේ. ඒ වන විට රෝහිත අබේගුණවර්ධන ඇතුළු තිදෙනෙක්‌ද ස්‌ථිර කරන්නට නැගිට යළි වාඩි වුණහ. 




මේ අතර මර්වින් යළි කතා කළේය. මර්වින්ගේ කතාව තුළ කරුණු රාශියක්‌ම විය. 

"හැමෝම මට කිව්වනෙ මගෙ කට හොඳ නැහැ කියලා. මගේ කට වහන්නත් සමහර අය ලොකු වෑයමක්‌ දැරුවා. කවුරුත් කියන එකේ මමත් කටවහගෙන මාස දෙකක්‌ විතර හිටියා. කට ඇරගෙන ඉඳල පුරුදු අපිට කට වහගෙන ඉන්න බෑ නලියනවා. මාව දැන් නලියන්න අරගෙන. අද වෙනකොට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. එකෙක්‌වත් හැබැයි කතා කරන්නෙ නැහැ. පැත්තක ජිනීවා ප්‍රශ්නය. අනික්‌ පැත්තෙ හලාල්. මාතෘකා කොච්චර තිබුණත් කතා කරන්න කෙනෙක්‌ නැහැ. කතා කරන්න කැමැති අපිව නතර කරල දාල. අනේ සර් මෙච්චර කල් කට වහගෙන හිටිය ඇති. දැන් මට කතා කරන්න ඉඩ දෙන්න. මම දැන් ලෑස්‌තියි කට අරින්න..." 

මර්වින්ගේ කතාවට හැමෝම සිනාසුණා මිස කිසිවෙක්‌ අදහස්‌ පළ කළේ නැත. 

ඉන් අනතුරුව මධ්‍යම කාරක සභාවේදී කවදත් ලොකු කතාවක්‌ ඇද ගන්නා උපාලි කොඩිකාර නැගිට කතා කරන්නට පටන් ගත්තේය. ඔහු කීවේ පක්‍ෂය ඇතුළේ ලොකු ලොකු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවය. ඒවා වැළැක්‌විය යුතු බව කියමින් එත්ම... ජනාධිපතිවරයා කටවහගෙන වාඩි වෙන්නට සංඥ කළේය. 

මේ අයුරින් කතාබහ කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාව කෙටිකාලීන රැස්‌වීමක්‌ ලෙස අවසන්ව ගියේය. රැස්‌වීම ඉවර වූවා පමණි. සාමාජිකයෝ පොරකමින් පැමිණ බැසිල්ට සුබ පතන්නට පටන්ගත්හ. 

(උපුටා ගැනීම දිවයින ඉරිදා සංග්‍රහයේ දේශපාලන (ඕප දූප ) තීරුවෙන්)

Saturday, March 2, 2013

ඇබෑර්තු- කොන්ඩම් ඉන්ස්පැක්ටර් තනතුර




සිංහලයින් ලිංගිකව එක් වන විට කොන්ඩම් භාවිතා කිරීම නිසා සිංහල ජාතිය වඳ වීමේ තර්ජනයකට ලක් ව ඇති බව බොදු බල සේනාව සොයා ගෙන තිබේ.

එම නිසා සිංහලයින් ලිංගිකව එක් වීමේදී කොන්ඩම් භාවිතා කරන්නේ දැයි සොයා බලා එසේ කරන අයට විරුද්ධව ක්‍රීයා කිරීම සඳහා කොන්ඩම් පරීක්ෂක හමුදාවක් හැදීමට බොදු බල සේනාව තීරණය කර තිබේ.

එම හමුදාව රාත්‍රි කාලයේ නිදන කාමර වලට කඩා වැදී තම බිරියන් හා පෙම්වතියන් සමග ලිංගිකව එක් වී සිටින පිරිමින් කොන්ඩම් පැලඳ ඇත් දැයි සොයා බලනු ඇත.

මේ සඳහා එක් වීමට ඔබත් කැමතිනම් වහාම අයැදුම් පතක් එවන්න.

සටහන- බොදු බල සේනාවේ  හරක් මස් ඉන්පැක්ටර් තනතුර සඳහා වූ ඇබෑර්තු පුරවා ඇති බව කරුණාවෙන් සලකන්න.