බිල් කැඩීම




රජයේ රෝහල් වලි න් ප්‍රතිකාර ලබන රෝගීන්ට ,එම ප්‍රතිකාර සඳහා වැය වූ මුදල දැන ගැනීම සඳහා බිල් පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. බිල්පත ලබා දුන්නද කිසිම අය කිරීමක් නොකරන බවද රජය පවසයි.මෙම පියවර ගන්නේ රෝහල්වල පලදායිතාව වැඩිකිරීමටලු.

මුලදී බිල පමණක් ලබා දී ක්‍රම ක්‍රමයෙන් මුදල් අය කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව නවතා දැමීමේ ආරම්භක පියවර ,සමහර විට මෙය විය හැක.

නිදහස් සෞඛ්‍ය සේවාවක් කීවත් රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට යන රෝගීන්ට ඉතා විශාල මුදලක් දැනටමත් වියදම් කිරීමට සිදුවේ.

ඉතාමත්  අත්‍යවශ්‍ය රසායනාගාර පරීක්ෂණ පවා  මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් කරගෙන ඒමට සිදුවේ. රජයේ රෝහල් වල මෙම පරීක්ෂණ කිරීමට පහසුකම් තිබුණත් සමහර විශේෂඥ වෛද්‍යවරුන් ඒවා පිටත රසායනාගාරවලින් කරගෙන එන ලෙස නියම කරන්නේ රෝහලේ රසායනාගාරයේ පරීක්ෂණ ප්‍රතිපල විශ්වාසිදායක නැති බව පවසමිනි.

එසේම එම්.ආර්.අයි, සී.ටී ස්කෑන් වැනි පරීක්ෂණ වලට රජයේ රෝහල් වල මාස ගණන් දිගු පෝලිම් ඇති අතර එම පරීක්ෂණද බොහෝ විට මුදල් ගෙවා පිටතින් සිදු කරගැනීමට සිදු වේ.( කෙසේ වෙතත් මුදල් ගෙවන්නේ නම් මාස ගණන් පෝලිමේ නොසිට ඉතා ඉක්මණින් එම පරීක්ෂණ කරගත හැකි රහසිගත ක්‍රමයන්ද රජයේ රෝහල් වලම ක්‍රියාත්මක වේ.)

එසේම රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගත්තත් නියම කරනු ලබන ඖෂධ වලින් වැඩි හරියක් ගැනීමට සිදුවන්නේ මුදල් ගෙවා පිටත පාමසියකිනි.

මේ අනුව බලන විට මෙම රෝග නිර්ණය කරනු ලබන පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර සඳහා දෙන ඖෂධවලටද රෝගින්ට මුදල් ගෙවීමට සිදුව ඇති තත්වය තුල රෝගින්ට දීමට යෝජනා වී ඇති ඊනියා බිලේ සටහන් කරනු ලබන්නේ මොනවාද යන්න ප්‍රශ්නයකි.

අත්‍යවශ්‍ය හා අනවශ්‍ය සෑම තැනෙකම විදුලි බල්බ පත්තු කිරීමට, වායු සමනය කිරීමට යන වියදමද ඇතුලුව විදුලි බිල, වෛද්‍යවරුන්ට මල් කැඩීමට ගෙවනු  ලබන ඉතා විශාල ටෙලිෆෝන් බිල් යනාදිය අනිවාර්යෙන්ම එකතු කල හැකිය.

එසේම මීට පෙර බදුල්ලෙනුත්, දැන් පොලොන්නරුවෙනුත් අනියම් කම්කරුවන් වශයෙන් බඳවාගෙන සිටින කිසි වැඩක් නොකරන  දහස් ගණන් කම්කරුවන්ගේ වැ‍ටුප්ද, දිනකට පැය දෙකක්  පමණ රෝහලේ සිටිමින්   උපරිම අතිකාල වැ‍ටුප් පවා ලබාගන්නා වෛද්‍යවරුන් ඇතුලු අනිකුත් සේවකයින්ගේ වැ‍ටුප්ද වැනි එම ආකාරයේ බොහෝ වියදම් මෙම බිලට එක් කර ඔන්න උඹලාට බෙහෙත් කරන්න අපේ ආණ්ඩුව මෙච්චර වැය කරනවා යැයි කීමට හැකිය.


එවිට රෝගින් වන අපටද " අනේ අපේ ආණ්ඩුව අපිට බෙහෙත් කරන්න කොච්චර නම් වියදම් කරනවාදැයි" විස්සෝප වීමට හැකිය.

සටහන-රජය 2013 දී සෞඛ්‍යයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.33% ක්ම වෙන් කර ඇත. අධ්‍යාපනයට එය 1.51% කි. හැබයි ආරක්ෂක වියදම 19%කි.








Comments

  1. නිකම් බිල් කඩන්න මුන්ට පිස්සුද මන්ද!

    ReplyDelete
  2. මෙතරම් කාලයකට රජයේ රෝහලකින් රෝගියකු වෙනුවෙන් කොපමණ වියදම් කරන්නේද යන්න ඇස්තමේන්තු කරන ක්‍රම වේදයක් රෝහල සතුව නොතිබුණි. කුරුණෑගල රෝහලේ යම් තරමකට මෙය සිදු කළද එය ප්‍රමාණවත් නොවන බව පොදු මතයයි. මෙම ඇස්තමේන්තු ගත කිරීම දැන් රෝහල් කීපයක ආරම්භ කර ඇති නිසා රෝගීන් ගේ දැනගැනීම තකා මෙම බිල ලබා දීම කරනවා විය හැකිය. නමුත් මෙම ඇස්තමේන්තුව වඩා වැදගත් වන්නේ සෞඛ්‍ය සේවා සැලසුම් කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට සහ මහා භාණ්ඩාගාරය ටයි.

    දුෂ්කර ප්‍රදේශ කීපයක සේවය කර ඇත්තකු හැටියට රෝගීන් විසින් ඖෂධ සහ රෝහලේ අනෙක් සම්පත් වලට කරන නාස්තිය මම දැක ඇත්තෙමි. එකම රෝගීන් පිරිසක් දින පතාම රෝහල් වලට පැමිණ ලබා දෙන ඖෂධ කාණුවට දමා යන අයුරු ද රජයේ රෝහලෙන් බෙහෙත් ගෙන එදාම හවස එම දොස්තරගේ මැ පෞද්ගලික දිස්පෙන්සරියෙන් ද බෙහෙත් ගන්නා රෝගීන් බොහොමයකි. එහිදී සිදු වන්නේ රජයේ මෙන්ම එම පුද්ගලයාගේ ද මුදල් නාස්ති වීමයි. මේ නිසා තමා වෙනුවෙන් රජයට වියදම් වූ මුදල රෝගියාට දැන ගන්නට සැලැස්වීම වැදගත් බව මගේ හැඟුම යි.

    ළඟදී කළ ඇස්තමේන්තුවකට අනුව රජයේ රෝහලකින් රෝගියකුට බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීම සඳහා රුපියල් 600 ක පමණ මුදලක් රජයට වැය වේ. මේ මුදල පෞද්ගලික දිස්පෙන්සරියකින් ඇය කරන මුදලට වඩා බොහෝ වැඩි ය. මෙසේ බලන කළ රජයේ බාහිර රෝගී අංශ වසා දමා වෙනත් රටවල් කීපයක කෙරෙන පරිදි පෞද්ගලික අංශය කරා යන රෝගීන් ගේ වියදම රජය විසින් දැරීම මගින් රජය දැරිය යුතු වියදම අඩකින් අඩු කර ගැනීමට හැකිය. නමුත් එසේ කරන්නේ නම් දොස්තරලාට රජයේ රැකියා ලබා දීම සීමා කළ යුතුය.

    ලංකාවේ ජනගහනය මිලියන 20 කි. නමුත් වසරකට ලංකාවේ රජයේ රෝහල් වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණය මිලියන 40 කි. මේ වෙනුවෙන් රජය වැය කළ යුතු වියදම රුපියල් බිලියන 24 කි. මේ මිලියන 40 ක් වූ රෝගීන් ගෙන් සැබවින් මැ ප්‍රතිකාර ලැබිය යුතු සංඛ්‍යාව 20% ක් පමණක් බව සොයාගෙන ඇත. මේ නිසා දැන හෝ නොදැන බාහිර රෝගීන් අතින් පමණක් වන නාස්තිය රුපියල් බිලියන 19.2 පමණ වේ. මෙම නාස්තිය අවම කිරීමට ද කටයුතු කළ යුතුය.

    ඩොකෙක්

    ReplyDelete
    Replies
    1. දිනකට පැය දෙකක් පමණක් වැඩ කර සම්පූර්න අතිකාල දීමනාවම ගන්නා වෛද්‍යතුමන්ලා ගැන ඔබේ අදහස කුමක්ද? එකම රසායනාගර පරීක්ෂණය කෑලි කීපයකට කඩා පීස් රේට් යැයි කියමින් මහජන මුදල් වංචා කරන එම්.එල්.ටී ලා ගැන ඔබ කියන්නේ කුමක්ද?

      Delete
  3. හෙමීට ප්‍රයිවටයිස් කරයි වගේ.. දුෂ්කර වූවත්, විය යුත්තේ නම් එයයි. රජයේ වෛද්‍ය සේවය මාෆියාවක්. දූෂණ වංචා අපමණයි. තරඟකාරි බිස්නස් එකක් උනාම මිනිස්සු මිළ අඩු තැනට යාවි. දැන් හද්ද පිටිසර ගම් වල මිනිස්සු හිටන් බෙහෙත් ගන්නේ චැනල් සර්විස් වලින්. ළොකු ඔපරේෂන් එකක් ආවොත් තමා ලෙඩේ. ඒත් මිනිස්සු රක්ෂණ ක්‍රමයකට වගේ පුරුදු වෙයි.

    ReplyDelete
  4. කොහොම උණත් අන්තිමට වෙන්නෙ සාමාන්ය. මිනිස්සුන්ට දරා ගන්න බැරි තරම් ජීවිතේ අමාරු වීම තමයි... දැනටත් ඒ‍ක එහෙමම තමයි...

    ReplyDelete
  5. මීට අවුරුදු ගණනාවක පෙර ඉන්දියන් හොස්පිටිතාල කාරයෙක් ඇවිත් ජනාව මුණ ගැසී ලංකාවේ හැමෝටම හදවත් සැත්කම් කරන්න රක්‍ෂණයක් දවසකට රුපියලකට දෙන්න හැකි බව කියා තිබුණා.

    පත්තරවල මේ කතාව දාලා තිබුනේ මාර වාසිදායක ක්‍රමයක් විදියටයි.

    ඒ ගොල්ලන්ට නොතේරුන කතාව තමයි මේ කියන්නේ ලංකාවේ මිලියන් 20ක් ජනතා වෙනුවෙන් දවසකට රුපියල් මිලියන් විස්සක් වාරික ගෙවියුතු බව.

    මොන රක්‍ෂණය තිබුණත් වියදම යනවා. ඒක කවුද, කොහොමද ගෙවන්නේ කියන එකයි ප්‍රශ්ණය.

    ඇක්සිඩන්ට් වෙන වාහනවලට යන විදයම ගෙවන්නේ ඇක්සිඩන්ට් නෙවෙන වාහනවල අයිතිකාරයෝ.

    කාලෙකට ඉස්සර ශත හොස්පිටිතාලෙන් බේත් ගන්න මුද්දරයක් ගහන්ණ තිබුණා නේද? දැන් ඒකට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. ඒක පප්පා නැති කළා.. හැම දේම නිකං දුන්න එක තමයි මේ රටේ ප්‍රධාන කරුමය. වැඩවසම් යුගයේ රජවරු ජීවත් කරවපු මිනිස්සු. අද හිඟන්නෝ වගේ ආන්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා. රජවරු පිටරටවලින් ණය ගත්තේ නෑනේ. මිනිස්සු මහන්සියෙන් හම්බ කරණ එකෙන් උනුත් කෑවේ. දුප්පතා කොහොමත් වක්‍රාකාරව බිල් ගෙවන එකේ. බිලක් දීලා. සීනී වලට ඇමරිකන් පිටි වලට ගහන බද්ද අඩු කරා නම් ඊට වඩා වටිනවා. රක්ෂණය තුල කවුරුත් ආරක්ෂිතයි. ඇත්ත.. ඒක බිස්නස් එකක්..

      Delete
    2. සෞඛ්‍ය රක්ෂණයේ ඇත්ත දැනගන්න මයිකල් මුවර් ගේ සිකෝ චිත්‍රපටිය බලන්න

      Delete
    3. බැලුවා... ඒ ඇමරිකාව ගැන නේ. ඇමරිකාවේ වැඩි පිරිසකට රක්ෂණය නෑ. මම කතා කරන්නේ සියළුම දෙනා රක්ෂණය කිරීම ගැන.

      Delete
    4. රක්ෂන සමාගම් සමග වෛද්‍යවරුන් එක් වී රෝගින් අමාරුවේ දාන හැටි දැක්කේ නැද්ද?

      Delete
    5. දැක්කා. ඒ ඇමරිකාව නේ.. මම ගිය අනෙක් රටවල එහෙම නෑ..

      Delete
  6. නිදහස් සෞඛ්‍ය ලැබිය යුත්තාට ලැබෙන ක්‍රමයක් සකසන්න වෙනවා , ඊලඟට නාස්තිය අවම කිරීම (මේක ලංකාවෙ මොනම දේටත් අදාලයයි ) . කිසිම රජයකට 100%ක් සහනාධාර කපාහරින්න බැනේ , ඒ නිසා එක් පිරිසකට තවත් පිරිසකගේ සෞඛ්‍ය වියදම් දරන්න වීම සම්පූර්නයෙන් නැති කරන්න බැ .

    ReplyDelete
  7. ඇත්තටම නරකද ණයට කිරුළ ප්‍රදර්ශනය බලලා එනකොට එයට සහභාගිවෙන එක නරඹන්නෙකුට තමා වෙනුවෙන් රජය නාස්තිකළ (වියදම්කළ) මුදල ගැන බිලක් කැඩුවෝත්.
    // " අනේ අපේ ආණ්ඩුව අපිට බෙහෙත් කරන්න කොච්චර නම් වියදම් කරනවාදැයි"//
    එතකොට මෙහෙම කියන්න පුළුවන්
    “අනේ අපේ ආණ්ඩුව අපිට සිරි නරඹන්නයි, උන්ගේ සාක්කුවට දාගන්නයි, රටේ ප්‍රශ්න අමතක කරන්නයි කොච්චර නම් වියදම් කරනවාදැ“

    ReplyDelete

Post a Comment