Friday, January 30, 2015

රාජපක්ෂ පාලනයේ අවසන් හෝරා කිහිපයේ මොකද වුණේ?

 ඩේලි එෆ්ටී අනුග්‍රහයෙනි ( පරිවර්තනය - කෝවිද ගුණසේකර)


ජනවාරි මස 9 වැනිදාට පහන් වෙද්දී රාජපක්ෂ රජය ජනාධිපතිවරණයේ අවසාන ප‍්‍රතිඵලය නිකුත් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව දැන් අනාවරණයව තිබෙන්නකි.මේ දෛවෝපගත හෝරා කිහිපයේදී සැබෑවටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර ගත හැකි වනු ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විධිමත් පරීක්ෂණයකින් පසුවය.එනමුත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ව්‍යාපාරයේ (කැෆේ) අපගේ නිරීක්ෂකයින් කාර්ය මණ්ඩලය හා වෙනත් හවුල්කරුවන් වාර්තා කළ පරිදි ජනවාරි මස 8 වැනිදා ගෙවීයෑමට ඉතිරිව තිබූ අවසන් හෝරා කිහිපයේදීත් ජනවාරි මස 9 වැනිදාට පහන්වූ පළමු හෝරා කිහිපයේදීත් ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ නව පිටුවක් පෙරළීමට තිබුණු මොහොතේ සිදුවූ දේ මෙසේ  සටහන් කරන්නෙමු.

හමුදා පාලනයක් ගැන කටකතා ජනපතිවරණයට දින දෙකක් තිබියදී විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලඥයින් කිහිපදෙනෙකු හා තවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් ලබාදුන් තොරතුරු වලින් ජනවාරි මස 8 වැනිදා ඡන්ද විමසීම අවසානවූ පසු රටේ මූලෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයකට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට සකස් කර තිබෙන සැලැස්මක් පිළිබඳව කැෆේ වෙත වාර්තා විය. තොරතුරු ලබා දුන් පුද්ගලයන් කැෆේ වෙත පවසා සිටියේ මෙම සැලැස්ම කෙරේ මනාපයක් නොමැති ආරක්ෂක අංශ  වල ඉහළ නිලධරයින් කිහිපදෙනෙක් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලියැකියවිලි තමන්ගේ අතට ලැබෙන්නට සැලැස්වූ බවය.
ජනවාරි මස 6 වැනිදා හමුදා භට පිරිස් කොළඹ නගරයේ මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානවලද, බණ්ඩාරනායක ගුවන්තොටුපළේද, කොළඹ මාධ්‍ය ආයතන ආසන්නයේද, කොළඹ හා දකුණේ පිහිටි ගුවන්විදුලි හා රූපවාහිනී සම්පේ‍්‍රෂක කුළුණු අසලද රඳවා තිබෙණු දැකගත හැකිවිය. පොලිසියේ මෙන්ම ආරක්ෂක අංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උද්ගත වෙමින් තිබෙන තත්ත්වය සම්බන්ධව විපක්ෂ දේශපාලඥයින් දැනුම්වත් කර තිබුණු අතර විශේෂයෙන් සම්පේ‍්‍රෂක කුළුණු අසළ භට පිරිස් රැඳවීමේ අරමුණ විය හැක්කේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනයන් අඩපණ කිරීම විය හැකි  බවට ඔවුහු අනතුරු ඇඟවූහ.
ඡන්ද විමසීමට පෙර දිනයේ එනම් 7 වැනිදා මෙවැනි එක් භට කණ්ඩායමක් කොළඹ ටි‍්‍රපොලි සංකීර්ණය වෙත පැමිණියහ. අදාළ ස්ථානයට පැමිණෙන්නට යැයි හැර ඔවුන්ට වෙනත් කිසිදු උපදෙසක් ලබාදී නොතිබුණි. සිවිල් ඇදුමින් සැරසී සිටි ඔවුන්ගේ අවි ඔවුන් රැගෙන විත් තිබූ ගමන්මලූ වල සඟවා තිබුණි. අවි ගත් සෙබළුන්  කිහිපදෙනෙක් කොළඹ 7 පිහිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපස රඳවා සිටිනු දැකගත හැකිවිය.මේ අතරතුරදී හමුදාපති ජගත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණි. එයට සහභාගීව සිටියෝ ආරක්ෂක අංශවල හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වූහ. සාකච්ඡාවේදී විශේෂයෙන් සඳහන් වූයේ ආරක්ෂක පියවරක් ලෙස ඡන්ද විමසීමෙන් පසු ආරක්ෂක අංශ රටේ විවිධ ස්ථාන වලට අනුයුක්ත කිරීම සම්බන්ධවය. මෙහිදී පොලිසිය නියෝජනය කරමින් හමුවට සහභාගීව සිටි නිලධරයින් එම තීරණයට විරෝධය පළ කර ඇත. කැෆේ වෙත වාර්තාවන ආකාරයට තවත් මෙවැනිම හමුවක් ඡන්ද විමසීම සිදුවුණු දිනයේදීද  පැවැත්වී ඇත.
මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ මෙහෙය
මෙසේ තිරය පිටුපස සැළසුම් කෙරෙමින් තිබුණු දේ පිළිබඳව විපක්ෂ දේශපාලඥයෝ  පොලිස්පති, මැතිවරණ කොමසාරිස්, විදේශ නිරීක්ෂයෝ, තානාපති කාර්යාල ආදීන් දැනුම්වත් කිරීමට කටයුතු කළහ.වහාම කි‍්‍රයාත්මකවූ පොලිස්පති හා මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරයක්ම ගැනීමට  උත්සුක වූහ. මේ පිළිබඳව කැෆේ හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පෞද්ගලික සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර එහිදී කිසිදු නීති විරෝධී කි‍්‍රයාවක් සිදුවීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය.
පොලිස්පති හා මැතිවරණ කටයුතු භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඡන්ද මධ්‍යස්ථාන වල සිටි පොලිස් නිලධාරීන්ට කුමන බලපෑමක් පැමිණියද නීතිය අකුරටම ඉටු කරන ලෙසට දන්වා තිබුණි. ඊට අමතරව පොලිස් මූලස්ථානයට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා සෘජුව සම්බන්ධ විය හැකි ක‍්‍රමවේදයක්ද විය.මෙවන්නක් ඇතිකිරීමට ප‍්‍රධානම හේතුව වී තිබුණේ ගෙවුණු සති කිහිපයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා වත්මන් පොලිස්පති හා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් නොකර දිවයිනේ පොලිස් ස්ථාන වල නිලධාරීන්ට තමන්ම උපදෙස් නිකුත් කිරීමට කටයුතු කිරීමය.දෙපාර්ශවයකින් ලැබෙන උපදෙස් වලින් කවරක් පිළිපැදිය යුතුදැයි නොදැන ලතවෙමින් සිටි පොලිස් නිළධාරීන්ට සෘජු නියෝග 
නිකුත් කිරීම මෙම ක‍්‍රමවේදය ඇති කිරීමේ අරමුණ විය.
ජනාධිපතිවරණ දිනය - සාමකාමී වගේම ආතතියෙන් පිරුණු දිනයක්.
මැතිවරණ දිනය සමස්ථයක් වශයෙන් ගත් කළ සාමකාමී විය. එසේවුවත් කල්පිටිය නාවික  හමුදා කදවුරේ තබාගෙන පුරවන ලදැයි කියන ඡන්ද පෙට්ටි තොගයක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යැවීමේ තැතක් පවතින බවට තොරතුරු කැෆේට අනාවරණය  විය.මැතිවරණ නිරීක්ෂකයින් මේ පිළිබඳව ප‍්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් හා මාධ්‍යවේදීන් වහාම දැනුම්වත් කළ අතර ප‍්‍රතිඵලයක් ලෙස ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවසාන මොහොත එළැඹීමට ඔන්න මෙන්න තිබියදී සිටම කල්පිටිය නාවික හමුදා කඳවුර ඉදිරියේ විශාල පිරිසක් රැස්ව සිටියහ. ඡන්ද ප‍්‍රතිඵලය වෙනස් කිරීමට දරන කවර වෑයමක් හෝ නිශ්ප‍්‍රභ කිරීම එම රැස්ව සිටි පිරිසගේ අරමුණ වුනි.
මේ හා සමානම පුවතක් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයෙන්ද වාර්තා වු අතර ති‍්‍රකුණාමලයේ ජනතාවද එහි පිහිටි නාවික හමුදා කදවුර දෙස ඇස ගසාගෙන සිටියහ.මේ සිදුවීම්  දෙකෙන් ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ජනතාව කෙරෙහි වූ උනන්දුව හොදින්ම පෙනුණි. කැෆේ මැතිවරණ නිරීක්ෂකයින් කල්පිටිය නාවික  හමුදා කඳවුරේ කිසියම් අකටයුතුකමක් සිදුවේනම් ඒ පිළිබඳව නිරීක්ෂණය කර වාර්තා  කිරීමට යොදවා තිබුණත් එම නිරීක්ෂකයින්ගේ සහයට ප‍්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් මෙන්ම ජනතාවද ඔවුන්ගේ කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටියේය. සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙසේ ජනතාව පෙළ ගැසුණු වෙනත් අවස්ථාවක් මෑත ඉතිහාසයේ නොමැති තරම්ය.
මැතිවරණ දිනය සාමකාමීව ගෙවුනත් රටේ ජනතාව ජනපතිවරණයේ ඡන්ද විමසීමේ  කටයුතු වලදී කිසියම් අකටයුතුකමක් සිදුවන්නට ඉඩ තිබෙන බව ඉවෙන් මෙන් දැන සිටියාක් වැනි විය. කිසිදු නීති විරෝධී කි‍්‍රයාවකට ඉඩ නොදීමට ඔවුහු ඉටාගෙන සිටියහ.
උතුරේ හා නැගෙනහිර ප‍්‍රදේශ වල ජනතාවට ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඉඩනොදී බාධා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයි මුලින් විශ්වාස කෙරුණත් සම්පූර්ණ ඡන්ද දිනය පුරාම ආරක්ෂක අංශ සිටියේ ඔවුන්ගේ කඳවුරුවලය. උතුරේ හා නැගෙනහිර ජනතාවට බාධා ගෙනදුන් කිසිදු සිදුවීමක් වාර්තා නොවුනු අතර ඡන්ද මධ්‍යස්ථාන අසළ වූ පිපිරීම් 3 ක් ගැන මාධ්‍ය සදහන් කළත් ඒවා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාවගේ තිබූ උනන්දුව හීන කළ ආකාරයක් නොපෙනුණි. ප‍්‍රචාරක සමයේ හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවීම වෙනුවෙන් ඉහළින්ම ප‍්‍රචාරණ කටයුතු වලට යොදවා තිබුණු ආරක්ෂක අංශ මැතිවරණ දිනයේදීත් නීතිවිරෝධී අයුරින් ප‍්‍රචාරණ කටයුතුවල නියැලූනත් ඒ ඉතා අවම මට්ටමෙන් විය. මීට හේතුව ලෙස ජනපතිවරණයට අන්තර්ජාතික අවධානය යොමුව තිබීම හෝ දේශීය විදේශීය නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා යොදවා තිබීම හෝ හේතුවූවා වන්නට පිළිවන.
ඡන්ද ගණන් කිරීම - බිය හා බලාපොරොත්තු
මැතිවරණයට දින දෙකකට පෙර සිටම එම කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් කාර්යක්ෂමව ඔවුන්ගේ සේවය ලබාදුන්නේය. හම්බන්තොට,මොණරාගල,මාතර හා පුත්තලම දිස්ති‍්‍රක්ක වලින් වාර්තාවූ සිදුවීම් කිහිපයක් හැරෙන්නට කනිෂ්ඨ මෙන්ම  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බහුතරය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ උපදෙස් පරිදි කටයුතු කළේය.
එසේවුවත් ඞී.ඇස්.සේනානායක විද්‍යාලයේ ඡන්ද  ගණන් කිරීමේ  මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීන් තම රාජකාරිය ඉටු කරමින් සිටියේ දුෂ්කරතා මැදය.පොලිස්පතිගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් වලට  අමතරව ඔවුන්ට තෙවැනි පාර්ශවයකගේ උපදෙස් වලට අනුවද කටයුතු කිරීමට සිදුව තිබුණි.මේ තෙවැනි පාර්ශවය ස්වකීය උපදෙස් අදාළ පොලිස් නිළධාරීන්ට නිකුත් කරමින් සිටියේ පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අනුදැනුමකින් තොරවය.එම  නිළධරයින් මෙම තෙවැනි පාර්ශවය ගැන දැනගත්තේද මැතිවරණ දිනයේදීය.

ජනාධිපතිවරණ දිනයේදී පොලිසිය එකක් පොලිස්පතිවරයාගේද තවෙකක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේද ප‍්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය හමු දෙකක් පැවැත්වීය.එල්ල වන බලපෑම්  හමුවේ වුවද නොසැළී කටයුතු කරන ලෙස පොලිස් නිළධාරීන්ට පණිවුඩයක් ලබාදීම මෙම මාධ්‍ය හමු වල අරමුණ විය.මෙයින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලිසියේ වූ වුවමනාව හොදින් පෙනුනි.ජනවාරි මස නව වැනිදා අළුයම 12.30 වෙද්දීත් ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල හෝ මැතිවරණ දෙපාර්තමෙන්තුවේ හෝ කිසිදු සිදුවීමක් වාර්තා 
නොවුනි.නමුත් කොළඹ ඞී.ඇස් සේනානායක විද්‍යාලයේ තිබුණු ඡුන්ද  ගණන් කිරීමේ මධ්‍යස්ථානයට හමුදා භටයින් කණ්ඩායමක් පැමිණ සිටි අතර ඔවුන් කුමන අංශයකට  අනුයුක්තව සිටීදැයි කිසිවෙකු දැන සිටියේ නැත.මෙවැනිම හමුදා කණ්ඩායමක් රාජකීය විදුහලේ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයටත් පැමිණ සිටින බව කටකතා වලින්  කියැවුනි.

බොහෝ දෙනා විශ්වාස කළේ මෙම හමුදා භටයින් හිටපු ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබුණු ගජබා රෙජිමෙන්තුවට අයත්වූවන් කියාය.ලැබී තිබුණු වාර්තා වලට අනුව හමුදා භට පිරිස් රොක් හවුස් කදවුර,වැලිසර නාවික හමුදා කදවුර,කඩොල් කැළේ,මිීගමුව ආදී ප‍්‍රදේශවල රදවාගෙන සිට ගණනින් දහසක් පමණ වූ ඔවුන් කණ්ඩායම් 9 කට බෙදා කොළඹ නගරය අවට රදවා තිබුණු බවටද එම වාර්තා වල වැඩිදුරටත් සදහන්  වුනි.

අළුයම 1.30 ට පමණ කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාට දැනට දේශපාලනයේ නිරතව සිටින විශ‍්‍රාමික හමුදා නිළධාරියෙකුගේ නියෝජිතයෙකුගෙන් වහාම මැතිවරණ දෙපාර්තමෙන්තුව වෙත පැමිණෙන්නැයි පණිවුඩයක් ලැබුණි. මැතිවරණ  දෙපාර්තමෙන්තුවේ රැුදී සිටි වෙනත් විපක්ෂ දේශපාලඥයෝද වහාම පැමිණෙන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියහ.කුමක් හෝ බරපතල දෙයක්  සිදුවන්නට යන පෙර ලකුණු දැක සියලූදෙනා බියපත්ව සිටි සෙයක් පෙනුනි.මෛති‍්‍රීපාල සිරිසේන මහතා හා කලක් ඉතා සමිීපව කටයුතු කළ නීතිඥ චම්පනී පද්මසේකර එක්සත්  ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැදී සිටි එකම නියෝජිතයා විය.බොහෝ දෙනා මෙය අසුභ ලකුණක් ලෙස සැළකූහ. සාමාන්‍යයෙන් මැතිවරණ රැයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙළ නියෝජිතයෝ මැතිවරණ කාර්යාලයට පැමිණ සිටින්නේ දුසිම් ගණනින් වුවත් මෙවර එවැන්නක් දැකගත නොහැකි විය.
කැෆේ අධ්‍යක්ෂකවරයා මැතිවරණ දෙපාර්තමෙන්තුවට පැමිණි අවස්ථාවේ එහි තිබුණේ  නොසන්සුන්කාරී තත්ත්වයකි. ඩී.ඇස් සේනානායක විදුහල අවට හමුදා භටයින් රදවමින් සිටින බව සදහන්වූ වාර්තා එක පිට එක පැමිණෙමින් තිබුනි. ඒ වන විට දෙපාර්තමෙන්තුවේ සිටියේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කිහිපදෙනෙකු හා මැතිවරණ පැමිණිලි කාර්යාලයේ සේවය කළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු පමණි.
අලූයම 1.45 ට පමණ දෙපාර්තමෙන්තුවට පැමිනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දෙපාර්තමෙන්තුවේ රැඳී සිට විශේෂ කාර්ය බලකා භටයින් මූලෝපායික වශයෙන් වැදගත්වන ස්ථාන වල රැඳවූයේ පිටතින් එල්ල විය හැකි  ඕනෑම ආකාරයේ තර්ජනයකට  මුහුණදීමට හැකිවන අයුරින්ය.මේ අවස්ථාවේදී කැෆේ වෙත වාර්තාවූයේ අගවිනිසුරුවරයා ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් අරලියහග මන්දිරයට කැඳවා තිබෙන  බවය. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කෙරෙමින් තිබෙන අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා  අපේක්ෂකයෙකුගේ නිවහන වෙත ගොස් සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත.
කියන තරම් ලෙහෙසි නොවූ බලය අත්හැරීමක්
තමන්ට බලය අත්හැරීමට සිදුවන බව දැකගත් විහස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීය. පසුගිය මැතිවරණයක් සැළකීමේදී දේශපාලන පක්ෂ වලට හා මැතිවරණ නිරීක්ෂකයින්ට මාධ්‍ය වලින් නිල ඡන්ද ප‍්‍රතිඵල අනාවරණය කරන තෙක් රැදී සිටින්නට සිදුවුනත් මෙවර ජනවාරි 9 වැනිදා අලුයම 2.15 වන විට ඔවුන් අවසාන ප‍්‍රතිඵලය ගැන දැනගත්තේය.මැතිවරණ නිරීක්ෂකයින්ට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල රැඳී සිටීමේ අවසරය ඇති හෙයින් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගෙන ඇත්දැයි කැෆේ දැනගත්තේ අලුයම 2.37 වෙද්දීය. කරුණු මෙසේ වෙද්දී රාජගිරිය මැතිවරණ දෙපාර්තමෙන්තුවේ කි‍්‍රයාකාරීව තිබූ මාධ්‍ය වෙත මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කරමින් සිටි පරිගණක පද්ධතිය අලුයම 1.30 - 2.30 අතර කාලයේදී එක්වරම කි‍්‍රයාවිරහිත විය. තාක්ෂණික දෝෂයක් යැයි පැවසුනත් එම දෝෂය කවරක්දැයි සොයාගැනීමට නොහැකිවුණි. වාසනාවට මැතිවරණ කොමසාරිස්වරයා යටතේ මෙවන් අවස්ථාවකට සූදානමින් සිටි කණ්ඩායමක් සිටි අතර ඔවුන් වහාම පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය.මේ කටයුතු සිදුවෙද්දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නැයි කැඳවීමක් ලැබී තිබුණි. අගවිනිසුරුවරයා ඒ වන විටත් සිට ඇත්තේ අරලියගහ මන්දිරයේය. වික‍්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිවරයා අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවට තොරතුරු වාර්තාවී තිබේ. අවසානයේ මහින්ද රාජපක්ෂට මැදමුලනේ තම නිවහන වෙත යෑමට එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් සපයාදීමට එකඟතාව පළවී ඇත.
ඡන්ද විමසීමකින් පසු පරාජිතයා නිහතමානීව ජයග‍්‍රාහකයා වෙත තම බලය පවරා දෙන දේශපාලන සංස්කෘතියක් ශී‍්‍ර ලංකාවේ අපට තිබුණි.මෙවරද පරාජිතයා ජයග‍්‍රාහකයා වෙත තම බලය පවරාදුන් නමුත් එය සිදුවූයේ මහා ව්‍යසනයක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මැතිවරණ කොමසාරිස්වරයා,පොලිස්පතිවරයා ආදී පුද්ගලයෝ එදා තම රාජකාරිය සාධාරණව හා යුක්තිසහගතව ඉටු කිරීම මොහොතකට හෝ අතපසු කළේ නම් ජනවාරි 8 වැනිදායින් පසු රටේ කුමන් තත්ත්වයක් ඇතිවන්නට තිබුණේදැයි සිතාගැනීමටවත් පවා නොහැක.කැෆේ අපගේ හෘදයාංගම කෘතඥතාවය එවන් පුද්ගලයින්ට හිමිය.රාජපක්ෂ පාලනයේ අන්තිම හෝරා කිහිපයේදී කුමක් සිදුවූවේද යන්න ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කැෆේ අපගේ මතයයි. අස්සක් මුල්ලක් නෑර කරුණු සොයා බලා එම තොරතුරු පොදු ජනතාවට අනාවරණය කළයුතුව ඇත.මෙම පරීක්ෂණය අපක්ෂපාතී විය යුතුය.එම දෛවෝපගත හෝරා කිහිපයේදී අරලියගහ මන්දිරයේ රැඳී සිටි මුල් පෙලේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතුය.
උපුටා ගැනීම ලංකාදීපයෙන්

Thursday, January 29, 2015

හිත් උණුවන මිනිසුන්ගෙන් කරනු ලබන කාරුණික ආයාචනයයි



රැකියාවෙන් පහ කරනු ලැබ උන් හිටි තැන්ද අහිමිව සිටින අසරණයෙක් නිවසක් සදා ගැනීම සඳහා කාරුණික මහජනතාවගේ ආධාරය පතයි.මෙතෙක් කල් ජීවත් වූ නිවසින් එලවා දැමීම නිසා නිවසේ තිබූ  බඩුමුට්‍ටු පෙට්ටියක පුරවා හිතවතෙකුගේ වත්තක තබා තැන් තැන් වල ජීවත් වන  මේ අසරණයාගේ තත්වය කොතරම් සෝචනීයද කිවහොත් ඔහුගේ  දරුවන් මේ දිනවල ජීවත් වන්නේ ප්ලේන්ටී බීමෙනි. 

වැසිකිලිය හා බලු කූඩුව පමණක් වායු සමීකරණය කළ  ඉතා කුඩා නිවසක් සදා ගැනීමට ඔබට හැකි ආධාරයක් කල හොත් එය මහත්ම වූ  පුණ්‍ය කර්මයකි. 

Tuesday, January 27, 2015

රාජපක්ෂලාට නැවත ඉඩ නොදෙමු



ජනාධිපතිවරණයෙන් අත් වූ පරාජයෙන් පසු කීප දිනක් මුළු ගැන්වී සිටි මහින්ද රාජපක්ෂ ඇතුලු කල්ලිය නැවත වතාවක් හෙමින් සීරුවේ මුට්ටිය දමමින් සිටිති. ඒ සඳහා පන්දම් අල්ලන්නේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන වැනි දේශපාලනිකව බංකොලොත් වූ චරිතයන්ය. අද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා පුවත් නිවේදනයක් නිකුත් කරමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමට උත්සාහයක නිරත විය. එසේම ඔහු පසු ගිය දිනෙක මහනුවර සංචාරය කරමින් තමන් නැවතත් දේශපාලනයට එන බවට ඉඟි පෑවේය.

කිසිම රටක ඒකාධිපතියන් පන්නා දැමූ විට ඔවුන්ට නැවත හිස එසවීමට ඉඩ දෙන්නේ නැත. උගන්ඩාවේ ඉඩි අමින් , ඉරානයේ ෂා  , නිකරගුවාවේ  සොමෝසා,පිලිපීනයේ මාකෝස් හා මෙකී නොකී තවත් බොහෝ ඒකාධිපතියන් නායකත්වයෙන් පන්නා දැමූ පසු ඔවුන්ට නැවත හිස එසවීමට එම රටවල වැසියන් ඉඩ දුන්නේ නැත. යම් හෙයකින් ඔවුන්ට නැවත ඉඩ ලැබුනා නම් තම රටවල් ලේ ගංගාවලින් යට කිරීමට මේ ඒකාධිපතියන් පසු බට නොවන බව එම ජනයා දැන සිටි නිසාය.

රාජපක්ෂට එරෙහිව තිබූ ලොකුම චෝදනාව වූයේත්  ඔහුගේ පාලනයේ වූ අත්තනෝමතික ඒකාධිපති ස්වරූපයයි. එසේ නම් බලයෙන් පන්නා දැමූ ලෝකයේ අනිත් ඒකාධිපතියන් මෙන් රාජපක්ෂ හා ඔහුගේ රෙජිමයේ ඉතුරු බිතුරුද කරලියෙන් පලවා හැරිය යුතුය. ඔවුන් කර ඇති අපරාධ කඩිනමින් විභාග කර දඬුවම් ලබා දිය යුතුය. කොල්ල කන ලද මහජන දේපල නැවත ලබා ගත යුතුය. ඔහු විසින් තැන් තැන් වල පැල කර ඇති ඔහු අනුගාමිකයන් පලවා හැරිය යුතුය.

මෙම ක්‍රියා දාමය පටන් ගැනීමට හොඳ තැන් දෙකක් දැන් පෑදී තිබේ . එකක් දුමින්ද සිල්වාට එරෙහිව  එල්ල වන මත්ද්‍රව්‍ය චෝදනාය. අනික දූෂිත කුමන්ත්‍රණ කාරි අග විනිසුරුට එල්ලවන විරෝධයයි. මේවායින් නතර නොවී රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව ද ඇති චෝදනා විභාගයට ගත යුතුය. වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් කල යුතුය. එම ක්‍රියාව මාධ්‍ය සංදර්ශන වලට සීමා නොකර වහාම ක්‍රියාත්මක කළ යුතුය.

එසේ නොමැති වුවහොත් වැඩි කල් නොයාම නැවත වතාවක් රාජපක්ෂලා මේ රට අල්ලා ගෙන රටේ සාරය උරා බොනු ඇත.

Sunday, January 25, 2015

ශ්‍රිලනිප නිර්මාතෘ කවුද?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වශයෙන් ඩී.ඒ. රාජපක්ෂ මහතා  වසර දහයක් තිස්සේ දැරූ තනතුරින් ඔහු ඉවත් කළ බවත් නැවත් එහි නිර්මාතෘ වශයෙන් එස්.ඩබ්.ආර්.ඩී, බණ්ඩාරනායක මහතා පත් කළ බවත් සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ( එවැනි අය සිටීනම්) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව මෙයින් දැනුම් දෙනු ලැබේ.

එම තනතුර 2015 අප්‍රේල් මාසය දක්වා වලංගු බවත් එයින් පසු තවදුරටත් එම කාලය දීර්ඝ කිරීම හෝ අවසන් කිරීම පිලිබඳව තීරණයක් ගන්නා බවත් මෙයින් වැඩි දුරටත් දැනුම් දෙනු ලැබේ.


Friday, January 23, 2015

ඉබ්බන්ගෙන් පිහා‍ටු ගත නොහැකිය

 
ටෙලිකොම් සමාගමේ සභාපති ධූරයට ජනාධිපතිවරයාගේ බාල සොහොයුරු කුමාරසිංහ සිරිසේන මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

මේ ක්‍රියාව සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් කෙරුණු කුමාරසිංහ මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් ලැයිස්තුවක්ද අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරයි.

අධ්‍යාපනික සුදුසුකම් වලින් වැඩක් නැත. මේ තනතුර ඊටත් වඩා අධ්‍යාපනික සුදුසුකම් හා පලපුරුද්ද ඇති තව බොහෝ දෙනෙකුන් පෙන්වා දීමට කලාමැදිරියාට හැකිය. මොන සුදුසුකම් තිබුණත් ජනාධිපතිගේ මල්ලි වීම ඔහුගේ ලොකුම සුදුසුකම බව පෙනේ.

මේ පත් කිරීමෙන් අමාරුවේ වැ‍ටුණේ දේශපාලන වාද විවාද වලට එන මෛත්‍රී පාක්ෂිකයන් හා ගමේ ගොඩේ සිටි ඔහුගේ ආධාරකරුවන්ය. මේකද යහපාලනේ යැයි ඇසූ විට මුක පූට්‍ටු වන්නේ ඔවුන්ගේය.

අඩුවකට ඇත්තේ ඩඩ්ලි සිරිසේන ආරක්ෂක ලේකම් කමට පත් කර වැලිවේරියේ මස්සිනා ඇමෙරිකාවේ තානාපති කමට යැවීම පමණි.එයත් කළ විට යහපාලනය සර්වසම්පූර්ණ වේ.

ඉබ්බන්ගෙන් පිහා‍ටු ගත නොහැකි  බව නැවත වතාවක් ඔප්පු වෙමින් තිබේද?


Thursday, January 22, 2015

ඔබට මතක නෑ මට මතකයි- මොහාන් උදයට කියූ ගීතය

 
 
ඔබට මතක නෑ මට මතකයි ...
 
 පසුගිය ආණ්ඩු කාලේ…
 
 අන්තිම දවසේ එකටයි අපි උන්නේ ...
 
මහියා දෙස ඔබ  බලා සිටිත්දී
 
සැලී සැලී ආශාවෙන්…
 
නොසිතූ ලෙසින් ඔහු යන්න ගියේ
 
 පසුගිය ආණ්ඩු කාලේ...
Photo Courtsey-Mathalan

Wednesday, January 21, 2015

නාමල්ගේ හෘද සාක්ෂිය

 
තම පවුලේ අය කිසි විටෙක හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ කියා තිබෙන බව  පසු ගිය දිනවල පුවත් පත්වල පල වී තිබිණි.

ඒ කථාවේ යම් ආකාරයක ඇත්තක්ද තිබේ. හෘද සාක්ෂියට එරෙහිව  හෝ එකඟව වැඩ කිරීමට හෘද සාක්ෂියක් තිබිය යුතුය. යමෙකුට  හෘද සාක්ෂියක් ඔහු නැත්නම් විරුද්ධවන්නේ අහවල්  කෙං  ගෙඩියකටද?

රාජපක්ෂ පවුලම පසු ගිය කාලයේ වැඩ කළේ හෘද සාක්ෂියක් තිබෙන උන් පරිදි නොවේ.

හෘද සාක්ෂියක්  තිබ්බානම්

රටේ දරුවන්ගෙන් සියයට 25 ක් මන්ද පෝෂණයෙන් පෙලෙද්දී ,ලක්ෂ ගණනක් දෙනා නිවාස අහිමිව සිටිද්දී, ජනතාව එදා වේල අමාරුවෙන් පිරිමහද්දී

1. කෝට් දහස් ගණනක් වියදම් කරමින් සිය ගණන් පරිවාර සේනා සමග රට සවාරි යන්නේ නැත.

2.  ඩොලර් මිලියන දහස් ගණන් කාබාසිනියා කරන ඊනියා නෙළුම් කුළුණු හදන්නේ නැත.

3. නැව් නො එන වරායවල් , ගුවන් යානා නො එන ගුවන් තොට හදන්නේ නැත.

4. මහජන වැසිකිලියේ සිට සෑම මගුලකටම තමන්ගේ නම දාගන්නේ නැත.

5. සෑම මහා පරිමාණ කොන්ත්‍රාත්තුවකින්ම සියයට දහය විස්ස තිහ කොමිස් ගසමින් තමන්ගේ මඩිය තර කර ගන්නේ නැත.

6. පාරවල් වසමින් කාර් රේස් තියන්නේ නැත.

7. දැයට කිරුල වැනි රජ  මගුල් නටන්නේ නැත.

8. මාධ්‍ය වේදින් අතුරුදහන් කරන්නේ නැත. ඔවුන්ට වෙඩි තියෙන්නේ  , පහර දෙන්නේ නැත.

9. මත් කුඩු හා එතනෝල් ජාවාරම් කරන්නේ නැත
.
10. ස්ත්‍රී දූෂකයින්, මැරයින් ,පාතාලයින් තම රෙද්ද අස්සේ දාගන්නේ නැත.

කොටින්ම කිව්වොත් හෘද සාක්ෂියක් තිබුනේ නම් රාජපක්ෂලා 2005 සිට කෙරූ කිසි දෙයක් කරන්නේ නැත.

එම නිසා හිටපු කුමරුනි , ඔබ කිවුවේ ඇත්ත බව අපි පිලි ගනිමු.

ලංකාව ශිෂ්ඨ කළ නොහැක.



පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා  මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ.

මුලින්ම චාන්ස් එක ලැබුනේ නාකි චීනාට.මිනිහා හරිම  දේශප්‍රේමියෙක්. සමහර විට ලංකාවේ අය ආශ්‍රය කරලා ද දන්නේ නැහැ, මෙච්චර දේශප්‍රේමියෙක් වුනේ. එයා දෙවියන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා

"අනේ දෙවියනි, මගේ රට ඇමෙරිකාවත් පරද්දලා ලෝක බලවතා වෙන්නේ කවද්ද?"

"තව අවුරුදු සීයකින්" දෙවියෝ කිව්වා.

ඒක ඇහුනා විතරයි චීන මහල්ලා ඉකි ගගහා අඬන්න ගත්තා. දෙවියෝ ඇහුවා මේ මොකද අඬන්නේ? අවුරුදු සීයකින් හරි ඔහෙගේ රට ලෝක බලවතා වෙනවනේ කියලා.

එතකොට චීන මහල්ලා ඉකි ගගහා කියනවා "අනේ දෙවියනේ ඒ වාසනාවන්ත දවස දකින්න තරම් කාලයක් මට ජීවත් වෙන්න බැරි නිසයි මම ඇඬුවේ " කියලා.බලන්න දෙශප්‍රේමේ නේද?

ඔන්න ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයා .මිනිහාටත් තිබුණේ රට ගැන ප්‍රශ්නයක්.

"දෙවියන්වහන්ස, අපේ රට මේ කරදර වලින් මිදිලා සෞභාග්‍යමත් , සාමකාමි රටක් වෙන්නේ කවදාද" ඇමෙරිකන් මහල්ලා ඇහුවා.

"තව අවුරුදු පනහකින් " දෙවියෝ කිව්වා. මේක ඇහුනාම ඇමෙරිකන් මහල්ලාත් හො‍ටු හූර හූර  අඬන්න ගත්තා. " අනේ ඒ දවස වෙනකම් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ" කිය කියා.

මේ වගේ කතාවල කවදත් සාමාන්‍යයෙන් වෙන විදිහට අන්තිමට චාන්ස් එක ලැබුණේ ලංකාවේ වයසක ලොක්කාට. මිනිහත් නොන්ඩි ඇණ ඇණ දෙවියන්වහන්සේ ලඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්.

" අනේ දෙවියන්වහන්ස, මගේ රට ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ කවදාද?"

මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා. 

ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා

තෙවරප්පෙරුමගේ හා එවැනි වෙනත් අයගේ ක්‍රියා සලකා බලා නැවත ප්‍රචාරය කරන ලදි.

Tuesday, January 20, 2015

තෙවරප්පෙරුම හා අපි



එජනිස ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු කොල කොඩි කැපීයැයි කියමින් ඔහුව මහපාරේ බිම දමාගෙන කලුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුලු පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන  වීඩියෝවක් අන්තර් ජාලයට එක් වී තිබේ. 

පාලිත තෙවරප්පෙරුම වැනි මැර දේශපාලකයෙකුගෙන් යහ පාලනයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහ‍ටු බලාපොරොත්තු වීම හෝ මහින්ද රාජපක්ෂගෙන් යහ පාලනය බලාපොරොත්තු වීම හා සමානය.

ප්‍රශ්නය ඇත්තේ පාලිත තෙවරප්පෙරුම ලඟ නොවේ. ප්‍රශ්නය  ඔහු වැන්නන්ට නාම යෝජනා ලබා දී ඔවුන් තම පක්ෂයේ නියෝජිතයන් වශයෙන් එවන පක්ෂ නායකයින්  හා එවැනි මැරයින් වෙනුවෙන් තම චන්දය භාවිතා කරන චන්ද දායකයින්ය.

 පාලිත තෙවරප්පෙරුම හා සම්බන්ද සිදු වීම ගැන ලංකාදීප වෙබ් අඩවි වාර්තාවට පාඨකයෙක් කොමෙන්‍ටුවක් වශයෙන් ලියා තිබුනේ "ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ එක්ක මේක මොකක්ද ? " යනුවෙනි.

ලංකාවේ චන්දදායකයින් යනු එකම වරද විරුද්ධ පාක්ෂිකයා කරන විට එය මහා වරදක් ලෙස දකින හා එය තමන්ගේ පක්ෂයෙන් කරන විට එහි වරදක් නැතයි කියන ජාතියේ මිනිසුන් හා ගැහැණුන්ය. පාලිත තෙවරප්පෙරුමලාගේ පැවත්ම ඇත්තේ එහිය.

ඡායාරූපය ලංකාදීපයෙන්

Monday, January 19, 2015

සෝමරත්න දිසානායක ගේ පත්වීම වහාම ස්ථීර කරනු



සෝමරත්න දිසානායක  ජාතික රූපවාහිනියේ සභාපති කමින් ඉවත් කරන මෙන් පවසා අප බ්ලොගයේ එල්ලු බැනරය හේතු ගණනාවක් උඩ ඉවත් කිරීමට අප තීරණය කළෙමු. ඇත්තෙන්ම අප එම බැනරය එල්ලුයේ වැඩි දුර කල්පනා කර නොවන බවද මේ අවස්ථාවේ පාපෝච්චාරණයක් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.

 එම බැනරය ගැලවීමට අප පෙළඹුයේ

1. මේ ආකාරයට රජයේ තනතුරුවලට අපතයින් පත් කරන වාරයක් පාසා බැනර් එල්ලීමට සැරසුණහොත් අපට වෙන වැඩක් කිරීමට කාලයක් නැති වීම.

2. ඉහත 1 හේතුව නිසා අප බ්ලොගයේ වෙන කිසිම දෙයක් පල කිරීමට ඉඩ කඩ අහිමි වීම.

3. එම නිසාම බ්ලොගයට ගොඩ වදින්නන්ට විශාල බයිට් ප්‍රමාණයක් අහිමි වීම 

4. සෝමරත්න දිසානායකට එරෙහිව බැනර් දමනවානම් පී බී අබේකෝන්ට ,කරුණාරත්න පරණවිතාන වැන්නන්ට ඊට කලින් එරෙහි විය යුතු වීම.

5. දැනට යහ පාලනයකට ඇති එකම බාධකය සෝමරත්න දිසානායක පමණක් යැයි සම්පූර්ණයෙන්ම වැරදි මතයක් ඇති වීමට ඉඩ තිබීම. 

යන කාරණාය. 

එසේම කරුණාරත්න පරණවිතාන මහතාට  තම කටයුතු බාධාවකින් තොරව කර  ගැනීමට සෝමරත්න දිසානායක  වැනි අයෙකුගේ සහය අත්‍යවශ්‍ය වේ. එම නිසා අප සෝමේගේ පත් වීම වහාම  ස්ථීර කරන මෙන් ආණ්ඩුවට බල කර සිටිමු.

Saturday, January 17, 2015

තිස්සමහාරාම භූ කම්පනයට හේතුව සොයා ගනී



අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලී ගිය බවයි.
(ලංකාදීප පුවත් අඩවියෙන්)

තංගල්ල ප්‍රදේශයේ  සිදුවූ රිච්ටර් මාපක අගය දෙකක් වූ සුළු භූමිකම්පාවක් හේතුවෙන් මාගම, තිස්සමහාරාම යෝද කණ්ඩිය හා කිරින්ද අවට පෙදෙස් සෙළවී ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි නිලධාරියෙකු පවසන්නේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය තංගල්ලේ කාල්ටන් බංගලාව තුල පිහිටා ඇති බවයි. අද උදෑසන 9.20ත් 9.25ත් අතර කාලයේ සිදුවූ භූමිකම්පාවෙන් පොළව දෙදරීමක් දැනුන ද එය නිවාස ඇතුළු ගොඩනැගිලි වලට හානිකර තත්ත්වයක් නොවන බවත් සමහරුන්ගේ ඔලුවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවත්  එම  භූවිද්‍යාඥයා  කියයි.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් පල කළ  එම නිලධාරියා පැවසූයේ යම් කිසිවෙකු තදින් අඩි පොලවේ හැප්පීම නිසා මෙබඳු සුලු භූ කම්පන තත්වයන් ඇතිවීම ස්වභාවික සිද්ධියක් බවත් එය එතරම් ගණනකට ගත යුතු දෙයක් නොවන බවත් ය. එසේම  පොලිස් නිලධාරින්ගේ පමණක් නොව තව බොහෝ දෙනෙකුන්ගේ පු‍ටු මේ දිනවල සෙලවෙන බවත් එයද එතරම් ගණන් ගත යුතු නැති බවද ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ නමුත් මෙම භූ කම්පනය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දැයි සොයා ගෙන යන බවත් විමල් වීරවංශ මහතා හෝ වසන්ත බණ්ඩාර මහතා සිටින තැනක්  සොයා ගතහොත්  ඒ ගැන විශේෂ ප්‍රකාශයක් ඔවුන්  ලවා කරවීමට බලාපොරොත්තුවන බව දේශ හිතේෂී ජාතික ව්‍යාපාරයේ නායකයෙක් දුර කතන ඇමතුමකින් අප හා සම්බන්ධ වෙමින් පැවසීය.

Thursday, January 15, 2015

පැරදුණේ මං නිසා



 විමල් වීරවංශ, නාන සාර ප්‍රමුඛ බොදු බල සේනාව, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ පමණක් නොව මහින්ද රාජපක්ෂට පවා සැනසුම් සුසුමක් හෙලිය හැකි ප්‍රකාශයක් ඇමෙරිකාවට පලා සිය බැසිල් රාජපක්ෂ කැලිපෝර්නියාවේ ස්වකීය මාලිගාවේ සිට කර තිබේ.

එනම් ජනාධිපතිවරණයේ පරාජයේ වගකීම තමන් භාර ගන්නා බවත් ඒ නිසා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වෙන බවත්ය.

දැන් කවුරුන් හෝ මහින්ද පැරදුනේ විමල්ගේ පඩත්තල කථා නිසා යැයි කියන විට විමල් කල යුත්තේ බැසිල්ගේ ප්‍රකාශයේ පිටපතක් එසේ කියන අයට ලබා දීමයි.

තව කවුරුන් හෝ බොදුබලය නිසා මුස්ලිම් චන්ද මහින්දට අහිමි වීමෙන් ඔහු පරාජය විනැයි කියන්නේ නම් නානසාර කල යුත්තේ බැසිල් උපුටා දැක්වීමයි.

එසේම නාමල්ගේ කාර් රේස් , රගර් හා මොන්ගල් කතා නිසා මහින්ද පැරදුනේයැයි කිව හොත් " අනේ පලයන් බං යන්න ,අපි පැරදුනේ ඒවා නිසා නොවේ, අපේ බාප්පා නිසා යැයි ඔහුටද බය නැතිව කිව හැක.

වෙන එකක් තියා කවුරු හෝ අසමජ්ජාතියෙක් " මහින්ද මහත්තයෝ ඔයා පැරදුනේ ඔයා ගේ බල ලෝභය, පෙරේත කම, ඥාති සංග්‍රහය,ඒකාධිපති වැඩ, මිථ්‍යා විශ්වාස,වංචා දූෂණ, රාජ උමතුවහෝ   දෙමල ජනයාගේ හිස් මතට මෝටාර් හෙලීම   නිසා" යැයි කිව්වොත් මහින්ද රාජපක්ෂ ට පවා ඇමෙරිකාවට වී සුව සේ වෙසෙන තම සහෝදරයා පෙන්වා " මම නෙවේ අන්න බඩු " යැයි කිව හැක.

මෙවන් සහෝදරයෙක් , බාප්පා කෙනෙක් ලැබීම සැබැවින්ම මහා වාසනාවක් නෙවේද?

Wednesday, January 14, 2015

සුමනදාස තොරතුරු ගත්තේ බුද්ධි අංශයෙන්ද, බුද්ධි අංශය තොරතුරු ගත්තේ සුමනදාසගෙන්ද?දෙගොල්ලොම ගත්තේ සිළුමිණෙන්ද?



1. සුමනදාස
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන 8 වැනිදා පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපන් නැකතින් පවතින ඉතාම සුබදායක ග්‍රහ තත්ත්වය අනුව එතුමා පහසු ජයක් ලබන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.

එදින උදේ එතුමා පිටත්වන සුබ මොහොතත් සමඟ ඉතාම බලගතු සුබ මොහොතක් එතුමාට යෙදෙන බවත් නමුත් පොදු අපේක්ෂකයාට මැතිවරණ දවසම අසුබ වනවාක් හැර උපන් නැකතේ වඳ නැකත එදින මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාට පවතින බවත් මේ අනුව මැතිවරණ දින ග්‍රහචාරය අනුව එදින උදෑසන 7 වනවිට ඔහුගේ ගජ මිතුරන්ගේ ඡන්දය පවා ඔහුට නොලැබී යාමට ඉඩ ඇත.

මේ අනුව මේ ජනාධිපතිවරණයේදීත් ස්ථිර වශයෙන් ම තම තුන් වැනි ධූර කාලය සඳහා ජනාධිපතිතුමා පහසු ජයක් ලබා ගනු ඇත. මීට පෙර‍ මෙතුමා ලැබූ ජයග්‍රහණ බීබීසී ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළාක් මෙන් ම මෙවරත් මෙරට ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකි එංගලන්තයේ සුප්‍රසිද්ධ ‘ද ‍එකොනොමිස්ට්’ සඟරාවේත්, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේත් පළවී ඇතැයි අබේගුණවර්ධන මහතා කීය.

ඕනෑම අභියෝගයක් ජයගත හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අභියෝගයත් වි‍ශිෂ්ට අයුරින් ජයගන්නා අතර දශක තුනක් පුරා පැවැති ලොව ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළා සේ ම මේ ජනාධිපතිවරණයේදී එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වන විදෙස් කුමන්ත්‍රණයත් එතුමා විශිෂ්ට අන්දමින් පරාජය කරනු ඇතැයි ද අබේගුණවර්ධන මහතා කීය.

2. බුද්ධි අංශය
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 59 ක ඡන්ද ප්‍රමාණයක් ලබා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වෙයි.මෙතෙක් පැවැත්වූ සියලු ම ජනමත සමීක්ෂණ වාර්තාවලින් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු වී ඇත.

බුද්ධි අංශ වාර්තා අනුව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට 39 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි පෙන්වාදී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල මෙන් ම නගරයේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය එකසේ රැඳී තිබෙන බවත් රටේ ස්ථාවර භාවය ආරක්ෂා කර මේ රටේ සංවර්ධනය වේගවත් කිරීමට නම් මේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව බහුතර ජනතාවගේ මතය වී තිබේ.

ලක්ෂ 10 ක් පමණ වන තරුණ ඡන්ද ප්‍රමාණයෙන් ද අතිවිශාල බහුතරයක ඡන්දය තමන් පිළිගත් නායකයා ලෙස ජනාධිපතිතුමාට ලැබෙනු ඇතැයි බුද්ධි අංශ වාර්තාව කියයි.

මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් සියයට 55.5 ක ප්‍රතිශතයක් ලබා ගන්නා බව දුරකථන මගින් පැවැත්වූ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කීය.

12000 ක් යොදාගෙන කරනු ලැබූ මේ සමීක්ෂණය අනුව ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙනු ඇත්තේ සියයට 38.96 ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ සමීක්ෂණයෙන් ලැබී ඇති තවත් දත්තයන් වන්නේ සියයට 5.99 ඡන්දය ප්‍රතික්ෂේප කරනු ඇති බව ය.

පන්දහසක නියැදියක් යොදාගෙන කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 53 ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය අත්කර ගන්නා බව තහවුරු කර ඇත.

මේ සමීක්ෂණයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගනු ඇතැයි සැලැකෙන ඡන්ද ප්‍රතිශතය සියයට 44 කි.

(උපුටා ගැනීම 2015.01.04 සිළුමිණ)

Tuesday, January 13, 2015

කෝ බැසිල් නෝ බැසිල්


පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා  චිත්‍රපට කීපයක්ම  සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන්  දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ..

1. කෝ බැසිල් නෝ බැසිල්

2. මාර පරාජය- ඓතිහාසික කතාවකි

3. ගෝටා හෝ මා හෝ රාජා හෝ-සම අධ්‍යක්ෂණය නානසාර

4. විමලේ දැන් පොඩි ලමයෙක්

5.  බැසිලුනි ඔබ කොහිද?

6. මැකෝට මල් මිටක්

7. විමලෙගේ උගුර මදි ඇඬුවා ඔබ සන්දා

8.ජොන්ස්ටන් සහ ගොන්සන්

9.තිස්සගේ දෛවය

10.කෝ යකුනේ ඡන්ද

Monday, January 12, 2015

උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි යහ පාලනේ



මෙතුවක් කල් මහින්ද රාජපක්ෂගේ දැත් ශක්තිමත් කරමින් සිටි කණ්ඩායමක් ඊයේ සහ අද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරියට පැමිණ ඇත.මොවුන් අතර මර්වින් සිල්වා , සරත් අමුණුඅගම, මනුෂ නානායක්කාර  වැනි දේශපාලන බංකොලොත් බවේ උපරිමයට ගිය උන්ද සිටී.

මෛත්‍රීපාල ගමන් කරන්නේ සැබෑ යහපාලනයකට නම් මොවුන් ගේ පැමිණීම ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. එහෙත් එසේ කළ විට දින සීයේ වැඩ සටහන සහ ඔහුගේ අනික් ක්‍රියාකාර කම් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය නොලැබේ.
 
එක අතකින්  යහපාලන පොරොන්දුවය.
 
අනිත් අතට පාර්ලිමේන්තුවේ තම බලය රඳවා ගැනීම සඳහා අවශ්‍ය බහුතරය ලබා  ගැනීමය.
 
මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද ද තවමත් ගේම අත හැර නැති බව පෙනේ. ඔහුට බලය නොමැතිව ජීවත් වීමට නොහැකිය. ඡන්ද දා රාත්‍රියේ ඔහු කුම්න්ත්‍රණ දෙකක්ම දියත් කළේ එබැවිනි. කිහිපදෙනෙකුන්ගේ මැදිහත් වීම නිසා එය වැලකී ගියද ඔහු අනාගතයේ දී නැවත  එවැනි දේ සඳහා උත්සාහ කරනු ඇත.
 
මෛත්‍රීපාල  වටා සිටින්නේ නොයෙක් මතවාදයන්හි එල්බ ගත් කණ්ඩායම් ය. මේ දක්වා ඔවුන් කළමණාකරනය කර ගැනීමට හැකි වුවද ඉදිරියටත් ඒ තත්වය පවත්වාගෙන යා හැකිදයි අවිශ්වාසය.
ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තු  බහුතරය නොලැබුණොත් මහ මැතිවරණයකට යා හැකි වුවද මේ අවස්ථාවේ එයද එතරම් හොඳ තීරණයක් නොවන්නේ එවිට මහින්ද රාජපක්ෂට ද නැවත  ශ්‍රීලනිපය තුලින් බලය ලබා ගැනීමට ඉඩ කඩක් විවර වන බැවිනි.
 
විශේෂයෙන් රටේ දකුණු පලාත් වල රාජපක්ෂට තවමත් බහුතර ඡන්දය ඇති අතර උතුරු නැගෙනහිර චන්ද, වෙනම තරඟ කිරීමකදී මෛත්‍රීට හෝ යූ ඇන් පියට නොලැබෙනු ඇත්තේ ඒවා දෙමළ සංධානයේ චන්ද බැවිනි.
 
මේ අනුව කළ යුතු හොඳම දේ වනුයේ ආණ්ඩුවෙන් කෑලි ගලවා ගෙන පාර්ලිමේන්තු බහුතරය සදා ගැනීමයි ආණ්ඩුවද ඊනියා යහපාලන කතා පසෙකින් තබා කිරීමට උත්සාහ කරන්නේ එය බව පෙනේ. නො එසේනම් සෝමරත්න දිසානායකලාට සභාපති කම් හිමිවන්නේ නැත..සෝමරත්න ලා සමග මොන යහපාලනයක්ද?





Saturday, January 10, 2015

මෛත්‍රීපාල ගේ ජයග්‍රහණය ඇත්තක්ද?


මෙවර ජනපතිවරණයෙන් රටට ලැබුණු වඩාත්ම ධනාත්මක ඵලය කුමක්දැයි කිසිව්කු මගෙන් ඇසුවහොත් මා නිසැකවම කියන්නේ නක්ෂත්‍ර කරුවන්, ජ්‍යෝතිෂ්‍ය කරුවන් හා කෙන්දර කරුවන් ඇතුලු මිත්‍යාමත වපුරන්නන් ගේ බොරුව හෙලිදරව් වීම හා ඔවුන් රටේ ජනතාවගේ සමච්චලයට ලක් වීම බවයි. 

පවතින දේශපාලන තත්වයන් උඩින් පල්ලෙන් අතගා බලා හා පාලකයින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි අමු බොරු ඇද බාන මෙම වංචනිකයන් රොත්තට යම්තම් හෝ සාමාන්‍ය දැනීමක් තිබුනේනම් මෙවර චන්දයෙදී මහින්ද රාජපක්ෂ දිනන බවට තම ජීවිත ඔට්‍ටු අල්ලන්නේ නැත . 

එහෙත් රටේ ජනතාව හැසිරුනේ ඊනියා ග්‍රහ තාරුකා වලට අවශ්‍ය පරිදි  නොවේ. 

එම නිසා මෙතෙක් කල් මෙම බොරුකාරයින් රොත්ත කලේ සාමන්‍ය ජනයාට පවා තේරෙන ඇත්ත ඊනියා  නක්ෂස්ත්‍ර විද්‍යාවෙන් සොයා ගත් දෙයක් යැයි පවසමින් රට හමුවේ තැබීමයි. ඉන්පසු ඔව්හු එම අනාවැකිය හරි ගිය පසු ලැබෙන කීර්ති නාමය විකුණමින්  අන්ධ භක්තික අහිංසක මිනිසුන්ගේ මුදල් කඩා ගත්තේ කෝටිපතියන් බවට පත් වූහ. 

මේ රටේ ජනතාවට මොලයක්  ඇත්නම් මීට පසුවවත් මෙවැනි ගර්හිත අවිද්‍යාවන්  පසුපස නොයා යුතුය.

එහෙත් කවුරු දනිත්ද? මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු නොව.

පහතින් දැක් වෙන්නේ ජනවාරි මුල් සතියේ දිනක දිනමිණ පත්‍රයේ පල වූ අනාවැකියකි. අනාවැකි කරුවා අන් කිසිවෙක් නොව අප රටේ ජාතික වීරයෙක් වන ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධනය.

මේ අනාවැකිය අනුවනම් මෛත්‍රීපාල සිරිසේනට  කෙසේවත් මේ රටේ ජනාධිපති විය නොහැක. 



ජනපති ජය නියතයි 8දා ප්‍රබලම ග්‍රහ තත්ත්වයක්

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී
සුමනදාස අබේගුණවර්ධන

නිදහසින් පසු බිහි වූ රාජ්‍ය නායකයන් අතරින් මහා බලගතු ග්‍රහ තත්ත්වයක්  හිමි ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම ඒකාන්ත බව ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, ඉන්දියන් එක්සලන්සි සම්මානලාභි දේශබන්දු සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ ගත කරන වේලාව ඉතාම සුබ අවස්ථාවක් බවත් එතුමා ගත කරනුයේ පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගත කළ ග්‍රහ තත්ත්වයන්ට වඩා ප්‍රබල ඉතාම සුබදායක ග්‍රහ අවස්ථාවක බවත් ඒ මහතා පැවැසුවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ග්‍රහ තත්ත්වයන් අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි තත්ත්වයක් බවත් හෙතෙම කීය.

ඔහු මෙසේද ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා උපන් නැකත අනුව මැතිවරණ දින වන 8 වැනිදා පවතින නැකත පරම මෛත්‍රී ගණයට අයත් වෙනවා. ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි මහා අනුහස් බලය ලබා දුන් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 11 වැනි කොටුවේ ඉතාම බලගතුව උච්චව ගමන් කරනවා. එසේම ඒ මහතාගේ ජන්ම පත්‍රයේ 11 වැනි කොටුව අධිපති සඳු එම 11 වැන්නේම ස්වක්ෂේත්‍ර බලයෙන් සිටිනවා. එය ඉතා බලගතු ග්‍රහ යෙදුමක්.

මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම ඡන්දය දැමීමට යන මොහොතේ වෙනත් කිසිදු අපේක්ෂකයකුට නොලැබුණු ආකාරයෙන් එතුමාගේ පක්ෂියා වන භේරුණ්ඩ පක්ෂියාත් රජ අවස්ථාවේ පසුවෙනවා. මේ මැතිවරණය සඳහා නිවේදනය නිකුත් කළ දින පැවැති ග්‍රහ තත්ත්වයන්ද, නාම යෝජනා බාර දුන් අවස්ථාවේ පැවැති ග්‍රහ තත්ත්වයන් ද අනුව එතුමාගේ පක්ෂියා රජ අවස්ථාවේ පසු වුණා. 

අනෙක් කිසිදු අපේක්ෂකයකුට මෙවැනි ග්‍රහ තත්ත්වයක් යෙදී නැහැ. මේ සියලු කාරණාවන් සලකා බලන විට මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

Friday, January 9, 2015

මෛත්‍රීගේ පොරොන්දු දේශය


අපි බොහෝ දෙනෙකුන්ගේ ප්‍රාර්ථනා ඉ‍ටු වෙමින් මහින්ද රාජපක්ෂ පරාජය වී ඇත. ජයග්‍රාහක මෛත්‍රීපාල සිරිසේනගේ ඉදිරිගමන ගැන අනාවැකි දැන්ම පැවසිය යුතු නැත. කෙසේ වුවත් ඔහු පොරොන්දු වූ පරිදි තාවකාලික සහන හෝ ජනයාට ලැබෙන්නේ නම් හොඳය.

මැතිවරණ ප්‍රථිඵල දෙස බැලීමේදී පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ මෛත්‍රීපාලගේ ජයග්‍රහණයට මූලික වශයෙන්ම දායක වී ඇත්තේ දෙමල මුස්ලිම් සුළු ජාතින් දෙකත් නගර වල වෙසෙන උගත් සිංහලයිනුත් බවයි.

ගම් වල වෙසෙන සිංහල බෞද්ධයින් තව දුරටත් තමන්ව මෙහෙයවන්නට අයි. ටී.ඇන් හා දිනමිණටත්, වීරවංශ හා ඩලස් බඳු වාචාලයන්ටත් ඉඩ දී තිබේ.කළගුණ දැක් වීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධන මායාවෙන් ඔවුන් මුලා  වී සිටිති.  ඔවුන් ආමන්ත්‍රණය කර ගත නොහැකි වීම විපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ තිබූ ප්‍රධානම දුර්වල කමයි.  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල විපක්ෂ අපේක්ෂකයාට  ඉතා සීමි ඉඩක් ලැබීම එයට එක් හේතුවකි.

එහෙත් එම අඩුව  සමාජ මාධ්‍ය හරහා පුරවා මෙවර ඡන්දයේ ගාමක බලවේගයක් වූ මිලියනයක් පමණ වූ අලුත් ඡන්දවලට ආමන්ත්‍රණය කිරීමට විපක්ෂ  ක්‍රියාකාරින්ට හැකි වීමත් ජයග්‍රහණයට සාධකයක් වූ බව පෙනෙන්නට තිබේ. එය නම් ෆේස්බුක් තිබෙන්නේ ෆන් ගන්නට යැයි කියු තරුණියට හා ඇය ලවා එය කියවූ  උන්ට ලැබුණු අතුල් පහරක් බඳුය.

මෙය ඉදිරි මැතිවරණ වලදී සමාජ මාධ්‍ය වලට හිමි තැන පිලිබඳව ද ඉඟියක් සපයයි.

තව දුරටත් තමන්ව අමතක කර ජාතික මැතිවරණ වලින් කිසිවෙකුටත් ජය ගත නොහැකි බව දෙමල හා මුස්ලිම් ප්‍රජාව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එය මෙම මැතිවරණයේ ප්‍රධාන පාඩමයි.  මෙරට දේශපාලකයින්  එය ඉගෙන ගනීවිදැයි අප නොදනිමු. 

මේ කරුණ පිලිබඳව තැකීමක් නොකර ඥාණසාර බඳු තක්කඩින් පසුපස යන කවර දේශපාලකයාටත් අත් වන්නේ මහින්ද රාජපක්ෂගේ ඉරණමයි.