Monday, March 31, 2014

මාතර විඥානේ



නදීෂානි අනාර්කලි පරද්දලා 
මාර පොරවල් වෙලා මාතර ඈයෝ
දේශපාලන  විඥානේ දොරේ ගලා
ඉහටත් උඩින් යනවා අය්යෝ පව්ලු

විඥානේ පෙන්නන හොඳම එක
නිලියෝ පරද්දපු එක නොවේමය
දනින් වැටී තුන් කුදු වීලා
ඇමති පුතුන් හා බෑයෝ දිනවපු හැටිය.

-රංචාගොඩ ළමයා-

Thursday, March 27, 2014

හේ ජිනීවා අපි බය නෑ



ජීනිවා වල මොන යෝජනා ගෙනාවත් අපිට කමක් නැත. 28 දා ජිනීවා වල චන්දෙන් මොනවා උනත් අපි බය නැත. අපි බය 29 දා ලංකාවේ තියෙන චන්දේ ගැන විතරය. ඒ මොකද කිව්වොත් මේ චන්දෙන් අපි ඇන්නොත්  ආයේ ඉතින් ඩොමිනෝ කැට වගේය. එක පෝලිමට යනවා ෂුවර් නිසාය.

ජිනීවා ගැන අපිට බය නැත. ඔය සුද්දොන්ට බය වෙන්නේ ජාති දේශ  ද්‍රොහීන්ය. අපි එහෙම නැත. දේශපෙරේමිය.

ඔය පර සුද්දෝ කියන මොනවත් අපි පිලිගන්නේ නැත. සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරනවාය. එහෙම කරන්ට අපි බය ද නැත. ඇයි අපිට මොනවා කරන්ටද? වැඩිම උනොත් ආර්තික සම්බාදක දාන්ට ඉඩ තිබේය. ඉතින් අපිට පාං ද?

සුද්දොන්ගේ ආර්තික සම්බාදක වලට බය වෙන්නේ බයියන්ය. ඔවුන් සම්බාදක දැම්මොත් බෙහෙත් නැති වෙන්නේ තඹුත්තේගම ඉස්පිරිතාලේ මිසක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාලේ නොවෙයිය. තඹුත්තේගම ඉස්පිරිතාලෙන් අපි තියා අපේ බල්ලොවත් බෙහෙත් ගන්නේ නැත. බැරිම වුනොත් අපි ඇමෙරිකාවේ ගොහින් ඉන්නවාය. අපේ කට්ටිය එහෙත් පුරවැසියෝය. 

ඒක නිසා තමුන්නාන්සේලාත්  ජිනීවාවල මොනවා වුනත් බය වෙන්ට එපාය. තමුන්නාන්සේලාට තියෙන්නේ 29 දා පාන්දරින් ගිහින් අපිට චන්දය දීලා ඇවිත් රෑට සොට් දෙකක් දාගෙන චන්ද ප්‍රතිපල අහන්ටය.

ඉතිරි ටික අපි බලා ගන්නම්ය.

Thursday, March 20, 2014

ක‍ටුනායකට දරුණු හිම කුණා‍ටුවක්



පසුගිය 18 වැනිදා  ක‍ටුනායක ගුවන් තො‍ටුපල ආශ්‍රිත ප්‍රදේශයට  දරුණු කුණාටු සහිත වැසි හා අධික ලෙස හිම පතනය සිදුවී ඇත. එම නිසා එදින ක‍ටුනායකින් බැස්සීමට තිබූ ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තො‍ටුපල දක්වා හරවා යවා ඇත. 

 මත්තල ගුවන් තො‍ටුපල විවෘත කර හරියටම වසරක් පිරෙන දා මෙවැනි හිමවරුසා හා සුලි කුණා‍ටු ඇති වීම ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් වීමේ නියත සුභ ලකුණු බව ප්‍රවීන ජ්‍යෝතිෂ්‍ය වේදි චන්ද්‍රසිරි බන්ඩාර මහතා පවසා තිබේ. තව දුරටත් කතා කල ඒ මහතා 2015 මාර්තු 18 දිනද මෙවැනිම වූ කුණා‍ටු තත්වයක් ක‍ටුනායක ප්‍රදේශයේ ඇති වන බව තමාට වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි කීය.

Tuesday, March 18, 2014

ජ්‍යෝතිෂ්‍යයේ නව මං හෙවත් ගූගල් වලින් අංජනම් බැලීම

අතුරුදහන් MH370 ගුවන් යානය ගැන චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවැකියක්


අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති මැලේෂියානු ගුවන් යානය ගැන මෙරට ප‍්‍රසිද්ධි ජ්‍යෙතිර්වේදියෙකු වන්ද්‍රසිරි බන්ඩාර දෙරණ රූපවාහිනිය සමඟ අදහස් පල කලේය.
ඔහු පවසන්නේ මෙය නියමුවා විසින් සැලසුම් කල ගුවන් යානා පැහැරගැනීමක් වන අතර දින 14 ක් ඇතුළත සියල්ල එළිවන්නට නියමිත බවත්ය.
‘මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්’ යයිද ඔහු සඳහන් කරයි.

උපුටා ගැනීම- වීරවංශගේ චී නිව්ස්

Monday, March 17, 2014

විප්ලවවාදි පන්නරය හා විදුලි බිල


විමල් වීරවංශ කියන්නේ ලංකාවේ විප්ලව දෙකක්ම කරපු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක  ලේකම්ය. හිටපු පාර්ලිමේන්තු කණ්ඩායක් නායකය. එතුම ජවිපෙ ඉන්න කාලේ ෆුල් විප්ලව වාදියෙක්ය. හිරු පත්තරේ කරන කාලේ ජුලියස් පුචික් වර්ගයේ විප්ලවවාදි  පත්තර කාරයෙක්ය. ඒ කාලේ එතුමාට කන්ට බොන්ට තියා සීගිරි යන්ටවත් වෙලාවක් නැතුව විප්ලව කරාය.

එතුමා උපන් ගෙයි විප්ලව කාරයෙක්ය. එතුමා කොයි දේ කරත් කලේ විප්ලවවාදි විදියටය. එතුමගේ පක්ෂේ ෆුල් ටයිමර් ලා කන්ට බොන්ට නැතිව ඉද්දි, ෆුටාර් එකේ, බස් එකේ පයින් ගමන් බිමන් යද්දි  එතුමා කල්පනා කලේ විප්ලවවාදි විදියටය. පක්ෂේ ඔක්කොම එකම විදියට හිඟන්නෝ වගේ ඉන්න කොට කිසිම විප්ලවවාදි ගතියක් නැති නිසා එතුමා විප්ලවවාදි විදියට රුපියල් දහ පාලොස්දාහ වියදම් කොරලා ඔලුවේ ජෙල් ගාගත්තෙය.ඊටත්  වඩා සුපිරි විප්ලවවාදි සෙල්ෆෝන් දෙක ගානේ බෙල්ලේ එල්ලා ගෙන හිටියේය. පක්ෂේ අනිත් උන් කැට හොල්ලද්දී එතුමා ඒ සම්ප්‍රදායෙන් මිදී විප්ලවවාදියෙක් විදියට ඩිස්නිලන්තේ බලන්ට ගියෝය.

එතුමා ජවිපෙන් අයින් වී ජානිපෙ හදා ගෙන මහින්ද මාමගේ සාටකේ එල්ලුනාම මේ විප්ලවවාදි ගති නැති වෙලා යයි කියලා හැමෝම හිතුවෝය. ඒ වුනත් එහෙම නැතිය. එතුමා කලින් කිව්ව විදියට උපන් ගෙයි විප්ලව කාරයෙක්ය. හිතන්නේම විප්ලව කාරයෙක් විදියටය. 

ඔන්න රටේ සාමාන්‍ය ජනතා මෝල් ගස් සම්ප්‍රදායික විදියට හිතලා විදුලිය අඩුවෙන් පාවිච්චි කරලා විදුලි බිල අඩු කරගන්ට උත්සාහ කරද්දි අපේ ගරු විමල් ඇමති තුමා විදුලිය පාවිච්චි කරන්නේ ද විප්ලව කාරි විදියටය. එතුමාගේ මාසික විදුලි බිල ලක්ෂේ පනින්නේ ඒකය. එතුමා විප්ලව කාරයෙක් නිසාය. එහෙම විප්ලව කායෙක් වෙන්ට ලේසි පුතයෙකුට බැරිය. අපි ඒ ගැන එතුමාට සුබ පැතිය යුතුය.

ලබන මාසේ විදුලි බිල ලක්ෂ දෙක පන්නන්ට යෝද බල යෝද දහිරිය ,විප්ලවවාදි පන්නරය එතුමාට ලැබෙත්වා.

Friday, March 14, 2014

අධිරාජ්‍ය විරෝධී බළල් අත් හා ජයලලිතාට ජය වේවා නොහොත් පුටින් සමග හෙලුවෙන් සිට ගැනීම



සාමාන්‍යයෙන් අපිට දකින්නට අහන්නට ලැබෙන්නේ අධිරාජ්‍යවාදි බළල් අත් ගැනය. එය මේ දවස් වල ශ්‍රී ලංකාවේ දේශපෙරේමින් හෙවත් අධිරාජ්‍යවිරෝධින් අතර ජනප්‍රිය යෙදුමකි.

එහෙත් මට මේ අධිරාජ්‍ය විරෝධි බළල් අත හමු උනේ සුපුරුදු පරිදි රෑ කෑම දිරවීමට හා බඩේ මාංශ පේශින්ට ව්‍යායාම සඳහා බඩ හොලවා සිනහා වීමට කරන ව්‍යායාමය කරද්දි හෙවත්  වීරවංශගේ චී නිව්ස් බලමින් සිටින විටය.

බොලිවේරියානු සහයොගීතා ව්‍යාපාරය ( එය කොහේ ඇති මොන අට මගුලක්දැයි නොදනිමු. සමහර විට පාරම්පරික උඩරට  සිංහල බෞද්ධ, ගොවිගම ( රසායනික පොහොර නොයොදන  ) අර්තාපල් ගොවි සංගමය  පා.උ.සි.බෞ.ගො.(ර.පො.නො.) අ.ගො.ස. වැනි එකක් වීමට ඉඩ තිබේ.) නමැති සංවිධානයක ප්‍රධාන ලේකම් කියා ගන්නා රාජා ගුනරත්න නමැත්තෙක් විසින් නිකුත් කල නිවේදනයක් එහි තිබේ.එහි ලියා තිබුනේ වත්මන් යුක්‍රේන අර්බුදය හා රුසියානු මැදිහත් වීම ගැනය.

 එම නිවේදනයේ  කාරණා කීපයක් ම සැලකිල්ලට ගත යුතුව තිබේ.

1. මෙම බොල්වාරියානු සංවිධානය, දේශහිතේචි සංවිධානය වැනි ඒවා වීරවංශගේම රූකඩ සංවිධාන වෙන අතර යමක් කෙලින්ම කීමට කොන්ද පණ නැති විට මෙවැනි රූකඩ ලවා කියවා ගනි.රජා ගුනරත්න යනු ඇත්තටම සිටින පුද්ගලයෙක්ද නැත්නම් මවා ගත් චරිතයක්ද යන්න පවා සැක සහිතය.

2.මහජන මුදලින් සුර සැප විඳිමින් සිටි යනුකොවිච් නැමති ඒකාධිපතියා එරට මහජනයා විසින් එලවා දැමීම බටහිර කුමන්ත්‍රණයකි. මෙය තම හාම්පුතා ගැන හිතා කියූ දෙයක් විය යුතුය. කාටදෝ ගහන කොට චංචලාට ඇඬෙනවා කියන්නේ මෙවැනි කතාවලටය.

3. ක්‍රිමියාවේ සිටින රුසියානුන්ගේ ආරක්ෂාවට ක්‍රිමියාව ආක්‍රමණය කිරීමට රුසියාවට හැකිනම් මෙරට සිටින ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැන මැදිහත් වීමට ඉන්දියාවට හා තමිල් නාඩුවට නොහැකි වන්නේ කෙසේද?

4.රුසියානු ජනතාව මර්ධනයේ යකඩ සපත්තුවෙන් පාගා ගෙන සිටින පුටින් මාර ප්‍රගති ශීලියෙක්ල. ඒ අනුව ඔහු සමග එක පෙලට හිට්ලර් , මුසෝලිනි හා ඉඩි අමින්ද තැබිය යුතුය.

සටහන- යුක්‍රේන ජනතාවගේ ඉරණම තීන්දු කළ යුත්තේ පුටින්වත් ඔබාමාවත් නොව යුක්‍රේන ජනතාවම විසින්ය.වීරවංශලාම කියන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට ත පෙවීමට එක්සත් ජාතින්ගේ සංවිධානයටවත් අයිතියක් නැත්නම් යුක්‍රේනයට පුටින්ගේ අහවල් එක එබීම අනුමත කරන්නේ මුඛයෙන්ද අධෝමුඛයෙන්දැයි අපි නොදනිමු.



Tuesday, March 11, 2014

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය


පේරාදෙණිය හා රුහුණ සරසවි වල  සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති.

මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ.

මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.

ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම්  කිහිපයක්ම උපාධිය ලබාගන්නා තෙක් සිව් වසරක පාඨමාලා පැවත්වීමෙන් පෙනී යන්නේ හෙද ,විකිරණ ශිල්පි, වෛද්‍ය රසායනගාර ශිල්පි,භෞත චිකිත්සක  යන මෙම උපාධි පාඨමාලාවල වසර හතරක් උගැන්වීමට තරම් සෛධාන්තික හා ප්‍රායෝගික විෂය කරුණු ඇති බවයි.

එසේම කප්පාදුවෙන් පසුව පවා විශේෂ උපාධියක් ලෙස සිව් අවුරුදු පාඨමාලා පැවත්වීමට යෝජනා කිරීමෙන් (3+1) පෙනී යන්නේද එම සත්‍යයමය.

එසේ නම් පාඨමාලා වසර තුනකට කප්පාදු කිරීම යනු නිසැක ලෙසම අදාල විෂය නිර්දේශයන්ගෙන් 25% එනම් 1/4 ක් කපා දැමීමයි. එය අදාල උපාධි පාඨමාලා වලට ඇති පිලිගැනීම බරපතල ලෙස බිඳ හෙලන්නකි. එසේම  එම සිසුන් උපාධි ලබා රෝගී සත්කාර සේවයට ගිය පසු ඔවුන්ගේ සේවය ලබා ගන්නා රෝගීන්ට කරන බලවත් අසාධාරණයකි.

මෙම කප්පාදුව ගැන උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම් වරයා ලබා දෙන්නේ අමු මැටි පිලිතුරකි.ඔවුන් කියන්නේ රජයේ වෛද්‍ය  නිලධාරි සංගමයේ විරෝධතාව නිසා උපාධි පාඨමාලවල කාලය කප්පාදු කළ බවයි. ඔවුන් මෙසේ කියන්නේ රෙදි ඇඳගෙනද නැත්නම් ඔවුන්ට සුපුරුදු ලෙස අමු හෙලුවෙන්දැයි අප නොදනිමු.

එහෙත් එම කථාව ඇත්තක් බව නම් අප දනිමු.

ප්‍රශ්නය නම් මෙරට අධ්‍යාපනය ගැන , විශේෂයෙන් සරසවි අධ්‍යාපනය ගැන හා උපාධි පාඨමාලාවල සංයුතිය හා කාල සීමා ගැන තීරණය කිරීමට ර.වෛ. නි සංගමය වැනි හුදු ආත්මාර්ථකාමි,ගෝත්‍රිකවාදි මානසිකත්වයකින් හෙබි වෘත්තීය සමීතියකට බාර වීමයි. එය බරපතල ඛේදවාචකයකි.

ගෝත්‍රික මානසිකත්වයකින් හෙබි පාදෙනියගේ නායකත්වයෙන්  යුත්  ර.වෛ.නි සංගමය මැදිහත් වන්නේ හුදු පාඨමාලා කාලය කප්පාදු කිරීමට පමණක් නොවේ. සම සෞඛ්‍ය සිසුන්ට අවශ්‍ය නවීන සායනික පුහුණුව ලබා දිය හැකි පසුකම් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල තිබියදී එම සිසුන්ට එම පහසුකම් භාවිතා කිරීමට ඉඩ නොදෙමින් ඔවුන් කුරුණෑගල රෝහලට හා කොළඹ පෞද්ගලික රෝහල් වෙත පන්නා දැමීමට කටයුතු කර ඇත්තේද මෙම ඊනියා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගල් වැදි යුගයට අයත් නිලධාරින්මය.

ර.වෛ. නි.සංගමය මෙලෙස හැසිරෙන්නේ අන් කිසිවක් නිසා නොව හුදු වෘත්තීමය ඊර්ෂ්‍යාව හා මාන්නය නිසාය. ඔවුන් සිතා සිටින්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටිය යුත්තේ ඔවුන් බවයි. එයට අභියෝගයක් විය හැකි කිසිවකට ඔවුන් ඉඩ නොදෙයි.කිසිවෙක් ඔවුන්ට වඩා අධ්‍යාපනයක් ලබනවාට ඔවුන් විරුද්ධය.

අනිත් අතට ආණ්ඩුව සමග සන්ධාන ගත වී සිටින පාදෙනිය ප්‍රමුඛ ර.වෛ.නි සං. නායකයන් වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නො ඉල්ලයි.  ඒ වෙනුවට තම සාමාජිකයන් රවටා ගැනීම  සඳහා මෙවැනි ගුණ්ඩු භාවිතා කරන අතර බලධාරින්ගේ සහයත් ඔවුන්ට නිතැනින්ම හිමිවේ. මේ පිලිබඳව ඇති තවත් හොඳ උදාහරණයක් නම් රෝහල් වල ඇති අඩු පාඩු ගැන වචනයක්වත් නොකියන පාදෙනිය මෑතක සිට පිටිකිරි බීම ගැනත් , කෘෂි රසායනික ගැනත් මහා දේශප්‍රේමියකු මෙන් කතා කිරීමට ඉදිරිපත් වීමයි.

ඇත්තෙන්ම ර.වෛ. නි. සංගමය වෘත්තීය සමීතියකට වඩා ලං වෙන්නේ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවටය. ඔවුන් කරන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම නොව තම බලය යොදවා අනෙකුන් පොඩි පට්ටම් කර දැමීමය.

මොවුන්ගේ මෙම ඒකාධිකාරය වහාම පරාජය කළ යුතුය.සියලු දෙනා එකතු වී ඊට එරෙහිව හඬ නැගිය යුතුය. නො එසේනම් පාදෙනියට අවශ්‍ය පරිදි ජීවත් වීමට හිත හදා ගත යුතුය. මක් නිසා ද යත් ඉදිරියේදී අප නිදා ගත යුත්තේ කෙසේ දැයි යන්නටත් නීති දැමීමට ර.වෛ. නි. සංගමය කටයුතු කිරීමට ඉඩ ඇති බැවිනි.





Wednesday, March 5, 2014

තාරකා දොර‍ටු


පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ යැයි  "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර දේශ භක්ෂක් ග්‍රාම භක්ෂක පරන යකඩ අන්ත්‍රස්දාරක " විමල් වීරවංශ මහතාට අයත්  සී නිව්ස් වෙබ් අඩවිය විසින් හෙලිදරව් කර තිබේ.  

මෙය තාරකා දොර‍ටුවක් යැයි කියන්නේ එහි  මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති නිසාය.

තාරකා දොර‍ටු මේ ආකාරයට  මැටියෙන් හදනවා යැයි වීරවංශ මහතා දැන ගත්තේ කෙසේදැයි අපි නොදනිමු.

එහෙත් මේ අකාරයේ හෝ වෙනත් ආකාරයක් තාරකා දොර‍ටුවක් ලංකාවේ කොයි පලාතකින්  හෝ හමු වීම ඉතා හොඳය.

මක්  නිසාද යත් "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර දේශ භක්ෂක් ග්‍රාම භක්ෂක පරන යකඩ අන්ත්‍රස්දාරක " විමල් වීරවංශ මහතා සහ ඔහුගේ හාම්පුතුන් විසින් දේශප්‍රේමය විකුනමින් රවටා ගෙන සිටින ජනතාව ඇත්ත අවබෝධ කරගත් දාට ඒ මහත්තුරුන්ට පලා යාමට ක‍ටුනායක හෝ මත්තල මදි වීමට ඉඩ ඇති බැවිනි. අනික ක‍ටුනායකින් හෝ මත්තලින් පලා ගොස් සැඟවීමට තැනක්ද ඒ වනවිට ඉතිරි නොවී තිබීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි.
 සටහන- මේ සියල්ලට වඩා වැදගත් කාරණය නම් තාරක දොර‍ටුවකින් පිට වූ පසු ආපසු ඒම බොරු වීමයි. එනවා නම් ආ යුත්තේ චීන්නු හැදූ රොකට්‍ටුවකය. මෑතදී චීන්නු හඳට යැවූ රොකට්‍ටුවත් අබලන් වූ පුවතක් ඇසූ නිසා එසේ ආපසු ඒම ගැන සැකයක් හිතා ගන්නට අවශ්‍ය නැත.