Thursday, December 26, 2013

ජවිපෙට සුභ පැතුම්


කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සිටින නිර්ධනින්ට  තිබූ අවසාන ප්‍රශ්නයත් විසඳීමට නිර්ධනීන්ගේ විප්ලවවාදි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහයක් ධනපති එජාප හා ශ්‍රිලනිප මන්ත්‍රීන්ගේ ක්‍රියා නිසා පසුගියදා නූලෙන් ව්‍යවර්ථ වී තිබේ.

ජංගම ලී බඩු වෙලෙන්ඳන් නිසා ප්‍රාදේශීය සභාවට බදු ගෙවන ස්ථීර ව්‍යාපාරික ප්‍රජාවට හානි සිදුවන බවත් එම නිසා ජංගම ලී බඩු වෙලෙඳාම තහනම් කළ යුතු බවත් ජවිපෙ මන්ත්‍රී ධර්ම ප්‍රිය  දිසානායක මහතා විසින් යෝජනා කර තිබේ.

 ධනපති පක්ෂ විසින්   පරාජය කර තිබෙන්නේ මෙම විප්ලවවාදි යෝජනාවයි.

ජවිපෙ මෙම නව අරගලය පිලිබඳව ඔවුන්ට සුබ පතන අතර අවශ්‍ය නම් මෙවැනි තවත් යෝජනා ඕනෑ තරම් මතක කර දීමට හැකි බව සටහන් කරන්නේ විප්ලවවාදි සහෝදරත්වයෙනි.

උදාහරණයක් ලෙස තැන් තැන් වල ගොස් මේසන් වැඩ කරන මේසන් බාස්ලා නිසා මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් වලට පහර වදින නිසා එය තහනම් කිරීමට යෝජනාවක් මී ලඟට ගෙන ආ හැකිය.

එසේ නැතිනම් ඉරිදා පොලේ එලවලු වෙලඳාම් කිරීම නිසා රංජිත් පේජ්ගේ ෆුඩ් දේශප්‍රේමි ෆුඩ් සිටියට පහර වදින බැවින් ඉරිදා පොලවල් තහනම් කිරීමේ යෝජනාවක් වුවත් ගෙන ආ හැකිය.





Sunday, December 15, 2013

ප්‍රසන්නගේ නව අවුරුදු පැතුම


අප මහරාජෝත්තමයානන් වහන්සේගේ දෙ‍ටු පුත් ජාතියේ නාමල විසින් පවත්වන්ට යෙදෙන මහා මෝටර් කාර් ධාවන තරඟය විනෝද බද්දෙන් නිදහස් කළා වූ පුන්‍ය කර්මය හේතුවෙන් ඒ කුමාරවහන්සේගේ අනුකම්පාව මා වෙත යොමු වී ලබන වර්ෂයේ පවත්වන්ට තිබෙන්නා වූ පලාත් සභා මැතිවරණයේදී  මා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබේවා!

උතුරු මැද වූවා මෙන් මහ ඇමති කම වැඩිම මනාපයට නොදේවා, ඌවේදී වූවා මෙන් නෑදෑකම් පෙර‍ටු නොවේවා. කිරිපිටි වලටත්, පරිප්පු වලටත්, සීනි වලටත්, ලූනූ වලටත් බදු ගසා ලබන ආදායම්ද යොදවා තව තවත් කාර් රේස්ම මේ රටේ ජහමනයාට ලැබේවා! 

Friday, December 6, 2013

නෙල්සන් මැන්ඩෙලා


එලිමහනේ සටන් වැදි 
තම සගයන්
බල්ලන් බළලුන් මෙන්
මරා දැමෙන යුගයක
රොබින් දූපතේ 
හුදකලා සිර කුටියක 
වසර විසි හතක්
එකක් දෙකක් නොව 
හය හතක් නොව
වසර විසිහතක්
එක් රටක
එක් ජාතියක නොව
මිනිස් වගෙහිම 
ඉරණම තම දෑතින් ගෙන
 නොබිඳුනු අදිටනින්
කලු ගල් කැඩූ
මහ පුරුෂයාණනි
ඔබටයි මේ 
අවසන් ආචාරය

Monday, December 2, 2013

අපිටත් බෙන්ස් එකක්



මෙදා සැරේ අයවැයෙන් රජයේ සේවකයින්ට අත දිග හැර මදි නොකියන්ට ඓතිහාසික දීමක් දී තිබේ.අනම් මනම් නැත. මාසෙකට එක්දාස් දෙසීයක්ම දුන්නේ එතුමාට සුපුරුදු රාජකරුණාවෙන්මය. මාසෙක්ට එක්දාස් දෙසීයක්. දවසකට සුපියල් හතලිහක්ම. නිකම් සුපියල් නොව ගෙඩි සුපියල් හතලිහක්ම . මේ වගේ දීමක් ගැන මහාවංසේවත් ලියවිලා නැත. 

මේ උතුම් රාජ්‍යයේ රාජ්‍ය සේවකයෙක් වන මම දැන් ඉතින් කල්පනා කොරන්නේ මේ ලබා දුන්නු මහා ධන නිධානය කලමනාකරනය කොර ගන්නේ කොහොමද කියලාය. උතුමානන් වහන්සේලා අපි වගේ හුදී ජනයාට මේ වගේ වස්තු සම්බාරයක් දුන්නාම ඒක නැති නාස්ති කර ගන්ට හොඳ නැත. 

ඒක නිසා මේ ලබා දුන්නා වූ එකදාස් දෙසීය රටට ජාතියට වැඩක් වෙන , දේශප්‍රේමි විදියට වියදම කොරන එක ජාති මාමක රාජ සේවකයින් කාගෙත් යුතුකොමය.

අපේ ගෙදර උදවියත් එක්කත් කතා කොරලා මම ඒකට ගැහූ පැලෑන මෙහෙමය. 


ලොකු එකාට නාමල් බේබි එක්ක රේස් පදින්ට මිල අඩු කරපු රේස් කාර් එකක් ගන්ට රු. 130.75

 චෝගම් එකට ගෙනා බෙන්ස් කාර් එකක් අපේ අප්පච්චිට අරන් දෙන්ට  රු. 125.00

පොඩි කොලු අභ්‍යවාකාස විද්දියාව ඉගෙන ගන්ට චීනෙට  යවන්ට රු. 200.00

ලොකු  කෙලීගේ වෙඩිම ඔබරෝයි එකේ ගන්ට රු. 75.25

කොළඹ කො‍ටුවෙන් පර්චස් හාරසීයක් අරන් කැසිනෝ පොලක් දාන්ට රු. 503.00

ගෙදර උන්දෑ ඩිස්නිලන්තෙට යවන්ට රු.74.10

ගනන් බැලුවාම තව රු. 91.90 ක්ම ඉතුරුය. ඒකෙන් රුපියල් 91 පොඩී කෙලීට දෑවද්දට දෙන්ට තියාගෙන ඉතුරු ශත අනූව මට  නෙත්තිකුමාර නෝනාගේ බූරුපොලට යන්ටය.

සටහන- රජයේ සේවක සියල්ලෝම මේ වගේ වැදගත් සැලස්මක් හදා ගත්තොත් මේ රට ආස්චර්යක් කොරන එක මහ කජ්ජක් නොවේය. 

Thursday, November 28, 2013

කුමකටද මව්බිමක්



මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ 
පායුග මත කඳුලක් හෙලන්නට 
පුතෙකුට ඉඩක් නැත්නම්

මියගිය මව්ගේ 
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
 ගෙලින් අල්ලා පි‍ටුවහල් කරයි නම්

එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම් 
කුමකටද එවන් මව්බිමක්

(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා  රටෙන් පි‍ටුවහල් කරයි)

Tuesday, November 26, 2013

අඩෝව් කැමරන්


සැඟවී සිටි බිත්තර ක‍ටුව පලා ගෙන එලියට පැන්න මහා පුරුෂයෙක් ඈත අහසේ ඇදී යන ගුවන් යානයක් දෙස බලාගෙන මෙසේ කෑ ගසයි.

" අඩෝව් කැමරන්, ‍තෝ කවුද ඩෝ අපිට නීති දාන්න , වල් පරයා, ‍තෝ මට අහු වුනා නම් හක්කේ තියලා සෙම අරිනවා,‍තෝ අධිරාජ්ජිය වාදියා ‍තෝ හිතාන ඉන්නේ අපි තාමත් තොපිට යටහ් කියලද? ‍තෝ මට අහු උනානම් තොට වෙන්නේත් බැන් කි මූන්ට වෙච්ච දේමයි . ‍තෝ දන්නේ නෑ මේ විහිලුවංශ කවුද කියලා.ආයේ මේ පැත්තේ ආවොත් බලා ගනින් තොට වෙන දේ කැමරන් හු...."

( බ්ලොගයේ පල කිරීමට හැකි මට්ටමක නැති බැවින් දේශප්‍රේමි තුමාගේ කතාවේ ඉතිරි කොටස් පල නොකරන බව කරුණාවෙන් සලකන්න.)

Friday, November 15, 2013

කඩුගන්නාවට වෙනම රාජ්‍යයක්



මේ දිනවල කෑමෙන් පීමෙන්, නැ‍ටුමින් ගැයුමින් කොඩි ධජ පතාක වලින් අඩු නැතිව පවත්වන  චෝගම් හෙවත් පොඩු රාජ්‍ය මණ්ඩල නායක සමුලුවේ තේමාව ලොවක් එක් කල රටක් යන්නය. මෙයට මෙම යටත්විජිතවාදි සංගමයට රටවල් 53ක් අයිති වුනත් ලංකාවට එන ප්‍රමාණය ඊට බෙහෙවින් අඩු වනු ඇතැයි විස්වාශ කෙරේ. මෙය ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වන ලංකාවේ තත්වයට හරි නැති නිසා මීට සුදුසු පිලියමක්  කනා මැදිරියා වන මම සෙව්වෙමි.

 පහතින් ඇත්තේ ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ඊනියා රටවල් කිහිපයක ජනගහණයයි. මෙම සමහර රටවල ජනගහණය ලංකාවේ කුඩාම පලාත්පාලන ආයතනය වන කඩුගන්නාව නගර සභාවටත් අඩු බව පෙනේ. දැන් අපි කළ යුත්තේ කඩුගන්නාව නගර සභාවට වෙනම රාජ්‍යයක් තත්වය ලබා දී එහි සභාපතිවරයාත් රාජ්‍ය නායක සමුලුවට සහභාගි කර ගැනීමයි.එවිට ඉන්දියාව ,කැනඩාව වැනි රටවල අඩුව යම් තරමකට හෝ පියවා ගත හැකිය.

ස්වාසිලන්තය     - 1,077,000.00
සයිප්‍රස්  -   888,000.00
‍ෆිජි     -   862,000.00
ගයනා ` -   798,000.00
සොලමන් දූපත්-  561,000.00
මෝල්ටා-  419,000.00
බෲනේ    - 407,000.00
බහමාස්      -368,000.00
බෙලිස්   -340,000.00
මාල දිවයින  -331,000.00
බාර්බඩෝස්   -276,000.00
වනා‍ටු    -265,000.00
සමෝආ -190,000.00
සේන්ට් ලුසියා  -170,000.00
කිරිබටි  -106,000.00
ටොන්ගා -104,000.00
ග්‍රැනඩා     -103,000.00
සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩියන්ස් -97,000.00
සීෂෙල්ස්  -94,000.00
ඇන්ටිගුවා සහ බාබියුඩා   -  88,000.00
ඩොමිනිකා   - 71,000.00
සෙන්ට් කිට්ස් සහ නෙවිස්   -  55,000.00
‍ටුවාලු  - 11,000.00
නාවුරු    - 10,000.00



Wednesday, November 13, 2013

තවත් ඉල් මාසයක්


තවත් ඉල්  මාසයක් පැමිණ ඇත
පා ඇඟිලි අතරින් චිචිරි චිරි මඩ පනින 
සීත හිරිගඩු පිපෙන වැසි සුලං හමායන
එනමුදු හදවත උණුසුම් කරන 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

ටයර් සෑ මත දැවී ගිය උන්ගේ
මතක අමතක වූ 
බො‍රැල්ල කනත්තේ  ආදාහනාගාරයේ
පණ පිටින් දැවී ගිය ඔහුගේ හඬ නෑසෙනා
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

රතු පාට යැයි සිතා 
රෝස පැහැ කමිස ඇඳ පැමිණ 
රෙජිෆෝර්ම් වලින් තැනු ස්මාරක වලට
මල් කළඹ  තියා වඳින්නට 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

Monday, November 11, 2013

සිං සිං සිං සිං


මන් මෝහන් සිං
එන්නේ නෑලු සිං
අනේ අපේ  කිං
වැ‍ටුනා අහසින්


සිං මොකටද බං
ඉන්නේ චැං චුන්
ණය අරගෙන දැං
බාල් නටමු බං

Saturday, November 9, 2013

කනාමැදිරියාගේ ආච්චිගේ ලියුම


රටේ දරුවන්ගෙන් 25% කට වඩා මන්දපෝෂණයෙන් පෙලෙද්දි,වි‍රැකියාව නිසා තරුණ පෙල පීඩා විඳිද්දි, පාන් ගෙඩියේ ,පරිප්පු 250 සිට වූ සෑම ආහාරයකම මිල දෙගුණ   තෙගුණයකින් ඉහල යාම නිසා රටේ ජනතාවගෙන් බහුතරයට  කුසෙන්  අඩක් පුරවාගැනීමට සිදුව තිබෙද්දි, රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති මොහොතක........


හිටපු සුපිරි විප්ලවාදි තාරකාව , අසහාය සමාජවාදි, ලංකාවේ චාවෙස් යනුවෙන් තමන්වම හඳුන්වාගන්නා විමල් වීරවංශ ගරු කටයුතු ඇමතිතුමා තම ශරීරයේ වැඩි පුර ඇති තෙල් මන්ද දවාගැනීම සඳහා , සුපිරි රියක නැගුණු ආරක්ෂකයින් පිරිවරා, සුපිරි ක්‍රීඩා ඇඳුම්, පාවහන් ඇඳ, ඉස්තරම් පැදගෙන යාමේ ඇති උත්ප්‍රාසය වටහා ගැනීමට උත්සාහ කිරීම නිසා මොලය අධික ලෙස රත් වී කනාමැදිරියා නැවත වතාවක් රෝහල් ගත කල බව සියලු බ්ලොග් වාසි ජනතාවට මෙයින් දැනුම් දෙමු.

මීට

කනාමැදිරියාගේ ආච්චි


Thursday, November 7, 2013

2030 දී ලංකාව



කනාමැදිරියාට අනාගතයේ ක්‍රි ව 2030 සිට වර්තමානය ට පැමිණි කාල සංචාරකයෙක් අහම්බෙන් හමු විය. මෙය ගෙතූ කතාවකැයි ඔබ සිතන බව මම දනිමි. එය එසේ නොවන බව ඔප්පු කිරීම සඳහා ඔහු විසින් මා හට තෑගි  කරන ලද 2030 දී ගන්නා ලද ශ්‍රී ලංකාවේ මාර්ග ඇතුලත් ගුවන් සිතියමක් පහත පල කරමි.


දැන්වත් ඔබ මා විශ්වාස කරනවාද?

Monday, November 4, 2013

දීප්ති වසර 20කට පෙර කී දේ සත්‍ය බව ලකෑන් ගේ බාප්පගේ පුතාගේ මුණුබුරා ඔප්පු කරයි.



ශ්‍රී ලංකා පෙර‍ටුගාමි පක්ෂයේ ( පෙර‍ටුගාමි සමාජවාදි නොවේ) නායක දීප්ති කුමාර ගුණරත්න මහතා මීට වසර විස්සකට පෙර ඉදිරිපත් කල මතයක් සත්‍ය බව  ලකෑන් ගේ බාප්පගේ පුතාගෙ මුණු බුරා වන චකබ්ලාස් ඩොමිනික් තහවුරු කර ඇත. අපෙන් කැඩී ගිය සියලුම  අවරගණයේ චින්තක චින්තිකාවන් වැරදි බව මේ අනුව ඔප්පු  වී හමාරය. 

එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පල වේ.

" What Deepthi said in 1993 was complete correct. He was the only man who can understand philosophy. He is always correct. Praba Manurathna and Aamaris ayya always  wrong as well as Malini Fonseka and Nadeeesha Hemamaali.

According to this theory of Deeepthi , father is father. mother is mother. mother cannot be father and father cannot be mother.if mother wants father's role, she has to change her sex, and if father wants mother's role he has to change his sex. And sex is sex and sex is oral sex. I as Lacan's grand son appove Deepthi's theory. No one can challenge that.

Chakablaz Domonique Lacan 

Tuesday, October 29, 2013

හැම මගුලෙම හලාල්



"හැම මගුලෙම හලාල් ,කන්නේ  රෙද්දද?" මේ පසුගිය දිනක නුවර කොළඹ පාර  දිගට ඇලවී තිබුණු පෝස්ටරයකි. මේ ගැන විමසා බැලූ විට දැන ගන්නට ලැබුණේ හලාල් වලට   එරෙහිව බොදු බල සේනා විසින්පසුදින පැවැත්වීමට නියමිත රථ පෙලපාලියක් වෙනුවෙන් ඇලවූ ඒවා බවයි.

රෙද්දලාගේ රථ පෙලපාලිය අදාල දිනයේ පැවතුනු අතර ලොරි වෑන් පමණක් නොව සුඛෝපභෝගී ජීප් හා කාර් වලත් නැගී ගත් මැර පෙනුමැති තරුණ පිරිස් හා ශ්‍රමණ වේශධාරින් වාහන වල කවුලු වලින් ඔලුගෙඩි එලියට දමාගෙන හා ඒවායේ දොරවල එල්ලීගෙන " උලමගේ ලොක්කට එන්න කියාපිය, හලාල් අකුලා ගන්න කියාපිය " ආදි පාඨ කියමින් නුවර බලා ගමන් කලහ.

කාලයක් යටපත් වී තිබුණු හලාල් ප්‍රශ්නය මෙසේ නැවතත් ඉස්මතු කර ගැනීමට නානසාරට අවශ්‍ය වූයේ ඇයි. නිසැකවම මෙය හලාල් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.

වසර තිහක් තිස්සේ හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ යුද්දය පාවිච්චි කල ලංකාවේ ආණ්ඩුවලට තම පැවත්ම උදෙසා අලුත් දෙයක් , නව නිර්මාණයක් අවශ්‍යව තිබේ. කඩා වැටෙන ආර්ථිකය හමුවේ නියත ජනතා නැගිටීම් පාලනය කර ගැනීමට නම් එය අනිවාර්යය. නානසාරලා පාවිච්චි වෙන්නේ ඒ වෙනුවෙනි.

ඊයේ පෙරේදා හදිසියේ මතු කර ගැනීමට උත්සහ කල හලාල් විරෝධය , බොහෝ දුරට වීමට ඉඩ ඇත්තේ ආණ්ඩුවේ කැසිනෝ ප්‍රතිපත්තියට එරෙහිව  නැගෙන හඬ වෙනතක යොමු කිරීම වෙනුවෙන් නැගූ හඬක් බවයි.

කෙසේ වෙතත් නාන සාරලාට අපට කීමට ඇත්තේ රට ගිනි නොතබා රෙද්ද බැරිනම් සිවුර ගලවාගෙන හෝ කන ලෙසයි.


Tuesday, October 22, 2013

පැකර් තුමා




රුපියල් දෙකට බූරු අතක්  ගැහුවාම

කුදලාගෙන ගොහින් කූඩුවේ දාලා

දහදාහයි දඩේ නොගෙව්වොතින්

මාස හයක්  ආන්ඩුවේ බෝඩිමට



පැකර් තුමා කැසිනෝ  ගෙන වැඩියාම

කකුල්  ඉඹලා පිලි අරගෙන වඩම්මලා

මදි නොකියන්ට බදු සහනත් දෙනවා

දරුමද්වීපේ ආස්චර්ය  එහෙම තමා


-රංචාගොඩ ළමයා-

Thursday, October 17, 2013

රතුපස්වල අමා වතුර



පිංවතුනි,පහුගිය දවස් වල අප මංමුලා වෙලා හිටියේ පිංවතුනි. රතුපස්වල පැක්ටේරියෙන් වතුරට වස මිශ්‍ර කරනවා කියලා කව්දෝ කියපු බොරුවකට අපි ‍රැවටිලා ,මුලාවෙලා,බොහෝම කලකෝලහාල කලා. නමුත් පිංවතුනි , රතුපස්වල පිංවත් පැක්ටේරියේ අයිතිකාර පිංවත් මහත්තුරු එහෙම පව්කාර වැඩක් කරයිද පිංවත්නි. හිතලා බලන්ට නිකමට.අපි මුලාවෙලා කටයුතු කරලා තියෙන්නේ. එහෙම වෙන්ට හොඳ නෑ. මම නම් මීට පස්සෙ එහෙම වෙන්නේ නෑ. මේ පිංවතුනුත් එහෙම  වෙන්ට එපා.

ඇත්තටම කියනවා නම් මම මේ පැක්ටේරියෙන් එන වතුර වස විස නෙවේ. ඒවා හත් සැරයක් පෙරලා විසබීජ නැති කරලා එන අමා වතුර වගේ . හරිම ප්‍රනීතයි. බිව්වම හරිම සුවයක් දැනෙනවා.  මම පහුගිය දවසක මූත්‍රා කොරන්ට කියලා ටාජ් හෝටලේට ගියවෙලාවක එතෙන්ට   ඇවිත් උන්නු පැක්ටේරියේ ලොකු මහත්තයා මට ඒ අමා පැනින් සුවල්පයක් දුන්නා. අම්මපා පුදුම රසක් නොව තියෙන්නේ . බමරා වගේ තමා බිව්වම දැනෙන්නේ.
 ඒ වගේ අමා පානයක් අපේ ප්‍රදේසේ වතුරට එක් කිරීම ගැන පැක්ටේරියේ මත්තුරුන්ට අපි ඉස්තුති කොරන්ට ඕනෑ වෙලාවක අපි මොන තරම් නරක වැඩක් ද කලේ.

මම මේ දැනුත් ඒ අමා පානයෙන් සුවල්පයක් අරගෙන ඉන්නේ.

මේ පිංවතුනුත් මීට පස්සෙ ඔය උද්ගෝසන නවත්තලා  හවසට අමා පැන් ටිකක් අරගෙන සාම කාමිව ඉන්ට වග බලාගන්ට  ඕනෑ.


Wednesday, September 18, 2013

කැකිල්ලේ නාමය නගා සි‍ටුවමු, කැකිල්ලේ බලය ගොඩ නගමු



ශ්‍රී ලංකාද්වීපයේ වාසය කළ ශ්‍රේෂ්ඨතම රාජෝත්තමයාණන් හා අසමසම  ඥාණ ශක්තියකින් යුක්තව තම පාලනය  ගෙන ගියා වූත්, තම ඥාණ ශක්තියෙන් ලොවම මවිත කළා වූත්  ශ්‍රී කැකිල්ලේ මහ රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත්, එතුමාගේ ඥාණ බලයත් ලොවට විදහා දක්වනු වස් ද කැකිල්ලේ රාජ්‍ය විචාරණ ක්‍රමය තුලින් අද ලබා ගත යුතු වූ ආදර්ශය පෙන්වනු වස් ද , කැකිල්ලේ නරපතියාණන් හා වත්මන් රාජ පරම්පරාව අතර ඥාති සම්බන්ධය සොයනු වස් ද , එතුමාගේ ශ්‍රී නාමය අපයෝජනවලින් ආරක්ෂා කරනු සඳහා ද " කැකිල්ලේ බලය " සංවිධානය පිහි‍ටුවාලන බව ශ්‍රී ලංකා වාසි සකල දේශප්‍රේමි , දේශමාමක, දේශහිතෛෂී,ජනතාව වෙත ජාති  ආලයෙන් යුක්තව මෙයින් දැනුම් දෙමු.

එසේම මින් මතුවට කැකිල්ලේ රාජොත්තමයාණන් පිලිබඳව චිත්‍රපටි, නාට්‍ය, කවි සිංදු, කෙටිකතා නවකතා හා කතන්දර ආදිය නිපදවීමට, ලිවීමට ,කියවීමට ප්‍රථම අප සංවිධානයෙන් නිසි අවසරය ලබාගත යුතු බවත් එසේ නොවුවහොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවටත් තව දුරටත් මෙයින් දැනුම් දෙමු.

මීට 

ජාති ආලයෙන් යුක්තව 

කිහිල්ලේ මයිලානන්ද  

ගරු ලේකම් 
කැකිල්ලේ බලය සංවිධානය

Thursday, September 12, 2013

ඔබ මේ ඊරිසියාව දු‍ටුවාද?



ඇමෙරිකාවට වී සිටිමින් ලංකාව ඇතුලු ලෝකයේ අනෙක් සියලු රටවල් තුට්‍ටු දෙකට දමා ලිපි ලියමින් සිටි ඇරුණි ෂපිරෝ නම් කාන්තාව  හිටි හැටියේ දේශප්‍රේමි ලඳක් වී  ලංකාවේ බිහි වූ විශිෂ්ට මානව හිමිකම් ක්‍රියා කාරිනියක් වූ අභාවප්‍රාප්ත සුනිලා අබේසේකරට  මඩ ගසමින් ලිපියක් ලියා තම බොගේ පල කර තිබේ.

මේ ලිපිය පුරාම ෂපිරෝ පෙන්වන්නේ තම කුඩු කේඩු කම, ඊරිසියාව  මිස අන් කිසිවක් නෙවේ.

 ෂපිරෝ ගේ ලිපිය අනුව 13 හැවීරිදි දැරියන් දූෂණය කිරීම හොඳය. ඒවා එලි කිරීම නරකය.

 එසේම ඇය තම මොලයේ තරම පෙන්වමින්  තම මත සනාථ කිරීමට යොදා ගන්නේ ආණ්ඩුවේ සිළුමින පුවත් පතයි. ලිපියේ අන්තර්ගතය ගැන එතැනින් එහාට කතා කිරීම පලක්  නැත.

 ඇයට මේ ලිපිය වෙනුවෙන් කීයක් ගෙව්වා දැයි අසන්නට අපිට හිතෙන්නේ ඇය කියන කරුනු අනුවමය.

මේවා කෙසේ වෙතත් ඇය තම ලිපිය මගින් පෙන්වා ඇත්තේ තමන් ජාතික හෙල උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට, වීරවංශගේ පක්ෂයේ නියෝජ්‍ය නායක කමට පමණක් නොව බොදු බල සේනාව , සිහල රාවය වැනි සංවිධාන වලත් ඉහලම තනතුරු වලට සුදුසු බවයි.

Tuesday, September 10, 2013

උදුම්බරා නැවත හිනැහෙන්නේ නැත.- Tribute to Sunila Abeysekara



සුප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූ සුනිලා අබේසේකර ඊයේ මියගියාය.

වරප්‍රසාද ලාභි පංතියට අයත් පවුලක ඉපිද , තවමත් 19 හැවිරිදි වියේ සිටිද්දීම , 1971 කැ‍රැල්ලේ සිරගත තරුණන්ගේ මානව හිමිකම් හා සුභසාධනය වෙනුවෙන් පෙනී සිටිමින් තම සමාජ ක්‍රියාකාරි ජීවිතය ඇරඹු ඇය පසුව ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ප්‍රසංගයටද සම්බන්ධව කටයුතු කලාය.

මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නයේදී  පීඩාවට පත් වූවන් වෙනුවෙන් ජාති, ආගම් ,බේදයකින් තොරව සටන් කල ඇය පීඩාවට පත් ස්ත්‍රීන් වෙනුවෙන් සුවිශේෂ අරගලයක  නියලුනාය.

කේමදාසයන් සංගීතවත්  කළ  උදුම්බරා, හඳුනා ගත්තොත් ඔබ මා ගීත පමණක් වුව ඇයගේ ගායන කුසලතාවට සාක්ෂි සපයයි.

මේ කෙටි සටහන, ඒ අභීත ගැහැණිය වෙනුවෙනි.

Tuesday, August 27, 2013

මං නවී පිල්ලෙට බයයි මල්ලියේ



පින් මන්ද ලංකා භූමියේ 
කෑ ගැහුව අය්යණ්ඩියේ 
නුඹ මන්ද රටෙන් පිට වෙලා ගියේ?

මං නවී  පිල්ලෙට බයයි  මල්ලියේ 
මං නවී  පිල්ලෙට බයයි  මල්ලියේ


චීනා සමගින් සැට් වී
රටම රවට්ටන //
ලොක්කා මමයි  මල්ලියේ
පොර ටෝක් දුන්නට  ඉහත සංදියේ
පොර ටෝක් දුන්නට  ඉහත සංදියේ
මං නවි පිල්ලෙට බයයි  මල්ලියේ 
මං නවි පිල්ලෙට බයයි  මල්ලියේ

Monday, August 26, 2013

කොල්ලෝ හා බල්ලෝ

වර්තමාන ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ හා කොල්ලන්ගේ තත්වය විදහා දක්වන පුවත් දෙකක් අද පල වී තිබිණ.

බල්ලෝ 


මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ජෝඩු අටක්  කරකාර  බැන්දවීමේ උත්සවයට අඩු ගණනේ මධ්‍යම පළාතේ පොලීසි වලින් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
තොරණ හා ආරක්කු ඉදි කැර තිබු අතර පොලිස් තූර්ය වාදක කණ්ඩායම ද කැඳවා තිබිණි.සුනඛ අභිජනන උත්සවය යනුවෙන් තොරණෙහි  ලියා තිබිණි.
නිල සුනඛ ජෝඩු විස්සක් තම නිලයේ  ඇඳුම ඇද හිස් වැසුම්  හා අව් කණ්නාඩි පැළැද මඟුලට ආහ.

ජෝඩු අටක් ලියාපදිංචි කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන්  අතර පේරාදෙණ්ය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු කිහිප දෙනෙක්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹන්වල මහතාද වුහ.
සාක්කිකරුවන් වශයෙන්  ඔවුන් බලා ගන්නා පොලිස්  සාමාජිකයෝ දෙදෙනා අත්සන් තැබුහ.
ගිවිස ගැනීමේ පොරොන්දුව කියවිම ද ඒ දෙදෙනා අතින්ම සිදු විය.


ඉන් කියැවුණේ අප දෙදෙනා බාරයේ සිටින මේ දෙදෙනාගෙන් හොද පැටියෙකු ලබා ගැනීමට වග බලා ගන්නා බවයි.
 මඟුල් සීණු  නොහැඩවුණු  සුනඛයෝ  පීඨීකා මත නන්වනු ලැබ සිටියහ
.මඟුල් සීනු හැඬවිදින් සිටි සුනඛයෝ  සුනඛයෝ පෝරු මස්තකාරුඪ කරනු ලැබුහ.
සුනඛ ජෝඩු පෝරුවෙන් බැස්සවු පසු සුනඛයෙකු විසින්ම පැදැවුණු ජිප් රියකින් අස්ගිරි  පිටිය කෙළවරට යාමේ අවස්ථාව ලැබිණි .ජෝඩු තුනක් නුවරඑළි මධුසමයට යන ජිප්රිය බැලුම් හා ක්‍රේප් පටි එල්ලා සරසා තිබිණි.මඟුල් ගෙදර ආ සියලු දෙනාට කිරිබත් ලුනු මිරිස්,සැන්විචස් හා කෙසෙල්ගෙඩි ආදීයෙන් සංග්‍රහ කෙරිණි.
 මඟුල් ගෙදර වැඩ කටයුතු පැය දෙකහමාරකින් පමණ අවසන් විය.  
(උපුටා ගැනීම ලංකාදීප)

 කොල්ලෝ 



වැලිකන්ද බෝඅත්ත අංක ඒ/8/1 නිවසේ පදිංචිව සිටින ආර්. එන්. සාලින්ද කුමාර නමැති තුන් හැවිරිදි දරුවා ඉපදී මාස දෙකක පමණ කාලයක සිට ඇතිවූ උදරාබාධයක්‌ නිසා පොළොන්නරුව හා නුවර රෝහල්වල ප්‍රතිකාර ලබා මේ වන විට ඔහුගේ එක්‌ වකුගඩුවක්‌ ඉවත් කර ඇත.

දැනට එක්‌ වකුගඩුවකින් ජීවත්වන සාලින්ද කුමාර දරුවාගේ කෑම බීම හා ක්‍රියාකාරකම්ද සීමාකර ඇත. ඔහුට පෝෂ්‍යදායි ආහාර ලබාදීමට හා මාස්‌පතා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් උපදෙස්‌ දී තිබේ. මේ හේතුවෙන් තමන්  මහත් අසීරුතා රැසකට පත්ව ඇතැයි මව වන ජී. චන්ද්‍රාවතී (24) මහත්මිය පවසයි. මේ හේතුවෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතුද සිදුකර ගැනීමට නොහැකිව ඉතා අසරණව හා ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින බව ඇය පැවසුවාය. මේ දරු පවුල කුඩා පැල්පතක වෙසෙති. මේ රෝගී දරුවාට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම හා පිරිසිදු ජලය ලබා ගැනීමට ජල ෆිල්ටරයක්‌ ද අවශ්‍යව තිබේ. දරුවාගේ ප්‍රතිකාර සඳහා හැකි අයුරින් උපකාර කරන්නැයි චන්ද්‍රාවතී මහත්මිය පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරති. ඔවුන්ගේ ලිපිනය ජී. චන්ද්‍රාවතී, අංක ඒ/8/1, බෝඅත්ත, පො/වැලිකන්දයි.
(උපුටා ගැනීම දිවයින)

මේ වාර්තා අනුව පෙනී යන්නේ ලංකාව වැනි රටක සුවපහසු ලෙස ජීවත් වීමට නම් බල්ලෙක් විය යුතු බවයි


Wednesday, August 21, 2013

බන්දුලගේ ටිකිරි මොලේ


තමන්ගේ අමාත්‍යාංශය යටතේ ඇති විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට වන බවත් තම්න්ට එය නවතා ගැනීමට ශක්තියක් නැති බවත් ලංකාවේ අධ්‍යාපනය තම යුගයේ ඉහලටම ගෙන එන බවට පුරසාරම් දොඩන ඇමති බන්දුල ගුනවර්දන ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත.

තම අමාත්‍යාංශයේ සිටින හොරා අල්ලා ගත නොහැකි බන්දුල ඇමතිවරයා තම නොහැකියාව(හෙලුව) වසා ගැනීම සඳහා  රට පුරාම ශිෂ්‍යත්ව පංති තහනම් කර තිබේ . එහෙත් ඉන් සිදු වී ඇත්තේ වඩ වඩාත් එය රටට නිරාවරණය වීමය.

දැන් එතුමා සිතන්නේ ප්‍රශ්න පත්‍ර දෙපාර්තමේන්තුවෙන් පිට වුවත් ටියුෂන් පංති තහනම් කර ඇති නිසා එම ප්‍රශ්න පත්‍ර සිසුන්ට නොලැබෙන බවයි.එතුමාගේ ශ්‍රී චින්තනයට අනුව හොරෙන් පැන්නු ප්‍රශ්න බෙදිය හැක්කේ ටියුෂන් පංති වලදී පමණය.  දැන් ටියුෂන් තහන්ම් කර ඇති නිසා ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට කර ගත්තත් කමක් නැත.

ක්‍රි ව 2013 වර්ෂයේ මේ සිරි ලංකාවේ අපට සිටින්නේ  එහෙව් ටිකිරි මොලයක් ඇති අධ්‍යාපන ඇමති කෙනෙකි.අප ආසියාවේ ආශ්චර්ය බවට ශීඝ්‍රයෙන් පත් වෙමින් සිටින බවට එතුමා හොඳම නිදසුනකි.

( මේ තුමාගේ මොලය   ගැන අප මීට ප්‍රථමයෙන්ද ලියා ඇති බව කරුණාවෙන් සලකන්න)



Tuesday, August 13, 2013

තුන උගුරේ හිර වීම



විමල් වීරවංශ කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ දේශපෙරේමි, ජාති හිතේසී උත්තමයාය. අද ලංකාව පාලනය කොරන ඒ ජාතියේම දේශපෙරේමි, ජාති හිතේසී ආන්ඩුවේ අංක එකේ ආරක්ෂකයාය. එතුමා නැත්නම් ,මේ ආන්ඩුව මෙලහකටත් නැත. විපක්සේ කිරියා කාරිකයකුට අදෝවාතයක් ගියත් ඒකේ බටහිර කුමන්ත්‍රනයක් හොයා ගන්ට උන්නැහේ හරිම දස්සය. මේ කාරියේදී උන්නැහේගේ සහයට ඩැනීලා වශයෙන් ගූ. අමරසේකර හා වස. බංඩාර මහත්තුරු සිටිති.  කවුරුන් හෝ මිනිස්සු තුන් දෙනෙක් එකට සිටියොත්  උන් අරාබි වසන්තයක් හදන්ට යනවා යැයි දිවයින පත්තරේටත් සී නිව්ස් එකටත් ලියන්නේ ඔය දෙපැත්තෙන් ඉන්න දෙන්නාය.

පහුගිය කාලයේ වෙලඳ කලාපේ විශ්‍රාම වැ‍ටුප් ප්‍රශ්නේ. ධීවර සටන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන්, අග විනිසුරු ප්‍රශ්නේ වගේ හැම එකකදිම මේ රජ තුන් කට්‍ටුව ඉස්සරහට ආවේ " එකෙක් අපේ ආණ්ඩුවට අත තිබ්බොත්, චටස් පටස් ඩිෂුම් ඩිෂුම් "  කියාගෙන. 
ඒ විතරක් නෙවේ, ආණ්ඩුව බඩු මිල වැඩි කරන කොට, සහනාධාර කපන කොට ඒවා වහන්ට මොකක් හරි  මල සමයක් කරන්නේත් මේ කට්ටියම තමා. එක්කෝ ලෙමන් වර්ගේ  උපවාසයක්, පාගමන් , පොර ටෝක් දීම් මොනවා හරි කරලා ජනතා අවධානේ වෙන පැත්තකට  හරවනවා. ( ජනතාවත් ඉන්නේ ඉතින් අනේ අපි වෙන පැත්තකට හරවන්නකෝ කියපු ගමන් නේ.) 

එහෙව් වීරෝධාර වීරවංශ තුමා පහු ගියදා රතුපස්වල ඩයස්පෝරාවාදි  , කොටි හිතවාදි ,අධිරාජ්‍ය ගැති ජනතාව , දේශප්‍රේමි බටයන්ගේ දේශප්‍රේමි තුවක්කු උදුරගෙන තමන්ටම වෙඩි තියා ගැනීම ගැන වචනයක්වත් කිව්වේ නැත. මුක පූට්‍ටු වෙලා වගේය. 

මේ ගැන හොයා බලන විට මගේ මිත්‍රයෙක් කිව්වේ එතුමාගේ උගුරේ තුන හිර වෙලා කියලාය.එතුමා මේ දවස් වල සද්ද වහලා ඉන්නේ ඒකය .

සටහන-  අනම් මනම් හිතන්ට ඕනෑ නැත. හිර වී තිබෙන්නේ දහතුනේ තුන මිසක් වෙන තුනක් නොවේය. ඒක හිර වුනේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශකයා ලංකාවට ඇවිත් ගියාට පස්සේය.

Saturday, August 10, 2013

දරුවෝ සතුටු වෙති



අරලියගහ මන්දිරයේ සිදු කෙරෙන නිල කටයුතුවලට අමතරව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දැඩි ඇල්මකින් හා උනන්දුවකින් සිදු කරන තවත් විශේෂ කාර්යයක්‌ද වෙයි. ඒ පාසල් දරු දැරියන් හමුවීමයි. රටේ රාජ්‍ය නායකයා ළඟට පැමිණෙන දරුවෝ සැක බිය නොමැතිව ඔහු සමග කතාබහ කරති. සතුටු වෙති. සංග්‍රහ විඳිති. තෑගිද ලබති. මෙවර අරලියගහ මන්දිරයට යාපනයේ සිට සිසු කණ්‌ඩායමක්‌ද පැමිණියහ. මේ අය අතර කිසි දවසක කොළඹට නොපැමිණි සිසු සිසුවියෝද වූහ. සමහරුන්ට සිංහල ද බැරිය. පරිවර්තකයන් සිටියත් ජනාධිපතිවරයා ඒ දරුවන් සමග කෙළින්ම කතාබහ කරද්දී ඔවුහු අත්පොළසන් දුන්හ. ජනාධිපතිවරයා කියා සිටියේ මේ දරුවන් මල් වගේ. අපට ඒ හැම දරුවෙක්‌ම සම්පතක්‌ බවය. 

(උපුටා ගැනීම දිවයින ඉරිදා කුරහන් පිට්‍ටු සංග්‍රහයෙන්)



Thursday, August 8, 2013

කවදා පායන්ද අප දිනිසුරාණෝ


කවදා පායන්ද අප දිනිසුරාණෝ
කොම්පැනි වලට යට නොවෙනා සඳානෝ
ඇසිඩ් ජලය නොපොවන  ජලකඳානෝ
පිරිසිදු ජලය බෙදනා මහරජානෝ

කවදා පෑව්වත් අප දිනිසුරානෝ
කොම්පැනි වලම එල්ලුන ඒ සඳානෝ
ඇසිඩ් ජලය පොවනා ජලකඳානෝ
ජල බිඳුවටත් වෙඩි තැබු මහ රජානෝ

Friday, August 2, 2013

රතුපස්වල දේශප්‍රේමය


ශ්‍රී ලංකා හමුදාව උතුරේ දෙමල ජනයා සමග යුද වැදී සිටින සමයේ හමුදාව වෙනුවෙන් බෝධී පූජා තැබූ, ආශිර්වාද පූජා කල, ලේ දන් දුන්  හා ඔවුන්ගේ ජයග්‍රහණ වලදී කිරිබත් පිස කෑ පමණක් නොව ඊයේ පෙරේදා රණවිරු ස්ටාර් වලදී ලක්ෂ ගණන් එස්.එම්.එස් යැවූ සිංහල බෞද්ධ,දේශප්‍රේමි ජනතාව බීමට පිරිසිදු ජල බිඳක් ඉල්ලා කෑ ගසන විට එම ජනයාගේම අති මහත් බහුතර චන්දයෙන් පත් වූ දේශප්‍රේමි ආණ්ඩුව විසින් එම දේශප්‍රේමි  හමුදාව යොදවා වෙඩි තබා මරා දමා තිබේ.


දැන් කල යුත්තේ ආණ්ඩුවේ සිටින වීරවංශ,වසන්ත බන්ඩාර  බඳු සුපිරි දේශප්‍රේමින්ට එලියට අවුත් මේ ජනතා නැගිටීම පසුපස සිටින්නේ අධිරාජ්‍යවාදි බලවේග බවත් ඔවුන්ට අවශ්‍ය  ලංකාවේත් අරාබි වසන්තයක් ඇති කිරීම බවත් දිවයින පත්තරෙන් ( දිනමින ගැන කීම අනවශ්‍යය) හා අයිටී ඇන් , ස්වර්ණවාහිනි නාලිකා වලිනුත් ප්‍රකාශ කිරීමය.දැනටම මෙම සිදු වීම පි‍ටුපස විපක්ෂයේ දේශපාලන  පක්ෂයක් සිටියේ යැයි කියන්නට පටන් ගෙන තිබේ. 

මෙම සිදු වීම තුලින් පාලක රෙජිමය ලංකාවේ  ජනතාවට  පාඩමක් කියා දී තිබේ. එය ලංකාවේ අනාගතය පිලිබඳ පෙර නිමිත්තක් මෙන්ම අතීතය පිලිබඳ පැතිකඩක් ද වේ. පාලක පවුලේ හා එහි අන්තේ වාසිකයන්ගේ  රුදුරු සූරාකෑම නිසා පීඩාවට පත් වන ජනතාවට තම අවම අයිතිවාසිකම් වත් දීමට පාලකයින් සූදානම් නැති බවත් ජනයා තමන් කියන පරිදි නොසිටියොත් , බල්ලන් බලලුන් මෙන් මරා දමන බවත් එම පාඩමයි. 

ලෝකයේ සිටි සියලු මුග්ධ ඒකාධිපතියන් මෙන්ම මොවුන්ද සිතන්නේ සියල්ල මුදලේ හා තුවක්කුවේ බලයෙන් පාලනය කල හැකි බවයි. දූෂිත දේශපාලකයින් කිහිපදෙනෙකුන් තම සාක්කුවට දාගත් විට තමන්ට එරෙහි ව එන ජනතා බලවේග නවතා ලිය හැකි යැයි ඔවුන් සිතයි.එහෙත් ඔවුන්ට අමතකව ඇති දෙය නම් මෙලෙස සිතූ ඒකාධිපතීන් සියලු දෙනාම අවසානයේ නතර වූයේ කුණු බක්කියේ බවයි.



සටහන- පහලින් ඇති වාර්තාව උපුටා ගත්තේ ආණ්ඩුවේම මන්ත්‍රිවරයෙක් වන තිලංග සුමතිපාලගේ ලක්බිම පුවත් පතින් මිස ලංකා ඊ නිව්ස් වලින් නොවේ.

වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී තිබේ. මෙම ප්‍රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත් ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන බවත් ඔවුන් පවසති. ජනතාවට පහර දී තුවාල සිදුකර එක් අයෙකුට මරණය සිදුකළ මෙම සිද්ධියට සම්බන්ධ වාර්ථා හමුදාවට වාසි වන ලෙසට වාර්ථා කරන්නට පටන් ගෙන තිබීම ගැනත් උසස් පොලිස් නිලධාරින් අතරේ අප්‍රසාදයක් හටගෙන ඇත. වැලි පිර වූ බෝතල් ගෙනැවිත් පොළවේ ගසා පුපුරවා එම වැලි බෝතලවලින් ජනතාව හමුදාව පහර එල්ල කළ බවට වාර්ථා සකස් වෙමින් තිබෙන බව පැවසේ.

ජනතාවට ජල ප්‍රහාර එල්ල කරන්නට රැගෙන ආ ජල බවුසර් දෙක ප්‍රයෝජනයට ගෙන නැති බව පොලිසිය කියයි. ඒ වගේම හත්දහසක් පමණ රැස් වී සිටි වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ බවත් වාර්ථා වී තිබේ. ඒ වෙනුවට වෙඩි තබමින්, පොලුවලින් පහර දෙමින්, පිහිවලින් කැපීම අවම බලය යෙදවීමක් නොවන බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් 16 වියැති පාසල් සිසුවෙක් වෙඩි වැදී මරුමුවට පත් වී තිබේ. පාසල් ගොස් පැමිණෙමින් සිටිය දී එල්ල වූ වෙඩි පහරක් සිසුවාගේ උදරයට වැදී ඇත. ඔහු වැලිවේරිය, හෙලන්වත්තේ පදිංචිකරුවෙකි. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා සිද්ධිය වූ වැලිවේරිය නගර මධ්‍යයට අද (02) දහවල් පැමිණියේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු දහවල් 11.30 පමණ කොළඹ නව නුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරිණ. ළිං ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසුවන බවට ජනතාව චෝදනා කරන වැලිවේරිය,රතුපස්වල පිහිටි ‘වින්ග්‍රොස්’නැමැති කර්මාන්ත ශාලාව හේලීස් සමාගමට අයත් කම්හලක් බව දැනගන්නට තිබේ. හේලීස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාට ය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමි බව වාර්ථා වේ.

Friday, July 26, 2013

හිනාව නවත්ත ගන්න බෑ ඕයි

උණ රෝගේ හැදී යම්තම් හොඳ වෙනකොටම මෙනන්ලා,  වීරවංශලා ගැන මඤ්ඤං කතා අසා මොලේ මඤ්ඤං වී ඇඳට වුනු මම ආපහු නැගිට්ටේ පෙරේදා .



ඩෙංගු හොඳ වුනත් හොඳ නොවෙන උණක් තියෙන නිසා නැගිට්ට ගමන් ගොහින් ටීවී එක ඉස්සරහා වාඩි වුනේ මේ දවස් වල මොනවද සිද්ද වෙන්නේ කියලා බලාගන්ට.

ඔන්න දැම්මා නිව්ස්.

කවුද ගොය්යෙක් කතා කරනවා .

" අපේ ජනාදිපති තුමාගේ දේශප්‍රේමි ආන්ඩුව, ශීඝ්‍රයෙන් සංවර්ධනය , ආස්චර්ය,දෑත සක්තිමත් කොරනවා, මම ඇමති මමම නොවෙද.... බ්ලා බ්ලා.. බ්ලා......"

යහ්කෝ මේ අර  මම කෑලි කෑලි වලට කැපුවත් මේ ආන්ඩුවට යන්නේ නැහැ,මේ ඒකාධිපති දූෂිත පවුල් පාලනය පරාද කොරන්න මගේ දිවි හිමියෙන්ම සටන කොරනවා කිය කිය හිටපු දයාසොරි  උන්දෑ නේද  මයික් එකක් පලන්නේ.

මම විතරක් නෙවේ අපේ ගෙදර ඔක්කොම හිනා වෙනවා... අල්ලපු ගෙදරිනුත් හිනා ... ඊට එහා ගෙදරිනුත්...

මට හිනාව නවත්ත ගන්න බෑ ඕයි. හිනා වෙලා හිනා වෙලා ... බඩ රිදෙනකම්ම  හිනා වෙලා ... සිහිය නැතිව වැටෙන කම්ම හිනා වුනා. වෙන මොනා කරන්නද ඕයි?

සටහන- මේ ලිපිය පල වෙන විට මම අධික ලෙස  හිනා වී නැවත රෝගාතුර වීම නිසා රෝහල් ගත කර ඇති බවත් මේ සටහන ලියන්නේ අපේ ආච්චි බවත් කරුනාවෙන් සලකන්න.



Saturday, July 13, 2013

කෝ බොලව් මුං


ලෝකේ හොඳම සෞඛ්‍ය සේවාව තියෙන රට වන ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය එහි සෞඛ්‍ය බලධාරින්ගේ අප්‍රතිහත ධෛර්ය හා කැප වීම නිසා තුරන් කර දමා ඇති  මේ වගේ වෙලාවක ආණ්ඩුවේ හැම දේටම විරුද්ධ වන මම මගේ ඇති කුප්ප කමට ඩෙංගු රෝගය හදා ගත්තේ ආණ්ඩුවට රිදවන්නටමය.

ඩෙංගු හදාගෙන ආන්ඩුවට රිද්දන්නට ගොස් හොඳටම කෙලවා ගත් මම යම්තම් නොමැරී පණ බේරාගෙන ආපහු ආවත් තාම ඉතින් ලෙඩා දුකාය.බැරි බැරි ගාතේ එලියට ඇවිත් ගෙදර ලොයි බංකුව උඩ වාඩි වී වට පිට බලමින් හිටින විට මගේ ලෙඩ මොලේට එකපාරටම තේරුම් ගියේ අවට වටපිටාව ,මුලු පරිසරයම මහාම පුදුමාකාර විදියට නිස්සබ්ද බවයි.

මම අසනීප වී ඇඳට වැ‍ටුන කාලේ මුලු වටපිටාවම මහා ගෝසාවකින් පිරී තිබුනා වගේ යාම්තමට  මතකය.

"ඉඩම් පොලිස් දෙන්නෙම නෑ, දහතුන අපිට එපා , ඕක අපේ ඇඟේ බලෙන් ගහපු එකක්,මේක අපේ රට , ඉන්දියාවට ඕනෑ විදියට අපි නටන්නේ නෑ "  වගේ සද්ද බද්ද ඒ කාලේ කන් පිරෙන්නටම තිබුනේය. 

මොකෝ ආච්චියේ මේ කිසි සද්දයක් නැත්තේ? මට තේ කෝප්පෙකුත් හදාගෙන ආපු අපේ ආච්චිගෙන් ඇහුවෙමි.

" මෙනන් , කොලුවෝ, මෙනන්" කියාගෙනම ආච්චි ගේ ඇතුලට රිංගා ගත්තේ මට ප්‍රශ්නයක්වත් අහන්නට ඉඩ නොදීය.

මේ මොන අන්ඩර දෙමලයක්දැයි  කල්පනා කර කර උන්නු මට ආයේම සිහි උනේ   " දහතුන වෙනස් නොකොලොත් ආන්ඩුවෙන් යනවා " වගේ කතා කිය කිය හිටපු වීරවංශලා චම්පිකලා කොහේ ඉන්නවදැයි කියාය.

අක්කාගේ හීන් එකා මොන්ටිසෝරි ඇරී ගෙදර ආවේ ඔය වෙලාවේය.උගේ අතේ බිත්තර කට්ටක්ය.

"මොකද පුතේ ඔය අතේ බිත්තර කට්ටක් ?"  මම හීන් එකාගෙන් ඇහුවෙමි.

" මම මේ වීරවංශ මාමා  මේක ඇතුලෙවත් හැංගිලා ඉන්නවද කියලා බැලුවා මාමේ,  සිස්සත්තේ පාස් වුනාම ගෙයක් ඉල්ලගන්ට"  ඌ කිව්වේය. 
 මේ මඤ්ඤං කතා අසා මගේ ඔලුව මඤ්ඤං වීම නිසා නැවතත් මම ඇඳේය.



Saturday, July 6, 2013

වීරවංශ ගෙවල් හැදුවා වගේ.


ගැමුණු කුමරු කිරිබත් කෑවා වගේ කියා කතාවක් තිබේ .බත උණු නිසා පිඟානේ තැනින් තැන පහුරු ගාමින් කිරිබත් කෑම නිසා ඒ කියමන හැදී  තිබේ. විමල් වීරවංශ ගේ ගෙවල් හැදිල්ල ගැමුණු කුමරුගේ කිරිබත් කෑමත් පරදවයි.

ජාතික නිවාස ප්‍රතිපත්තියක් නැති නිවාස ඇමති  වීරවංශ ගෙවල් හදන්නේ මෙහෙමය.

ක්‍රීඩිකාවක්  තරඟයකින් ජයගත් විට පත්තර කාරයන් හා ටී වී කාරයන් රොත්තක ද සමග දුව ගෙන ගොස් ගෙයක් හදා දෙන්නට පොරොන්දු වෙයි.

ඉන්පසු පොරොන්දු වෙන්නේ පහේ ශිෂ්‍යත්වය පාස් දරුවෙකුට ගෙයක් හදා දෙන බවටය.

ඒක අමතක වෙනකම්  ඉන්න කොට උසස් පෙල ප්‍රථිපල නිකුත් වෙන්නේය. ඉතාමත් අඩු පහසු කම් යටතේ උසස්පෙල සමත් වූ දැරියකට ගෙයක් පොරොන්දු වෙන්නට දැන් හැකිය. හදා දෙනවාද නැත්ද දන්නේ උඩ ඉන්න දෙයියන් පමණි.

අලුත්ම පොරොන්දුව ජාත්‍යන්තර සම්මානයක් ගත් නලුවාට ගෙයක් හදා දෙන්නටය.

ඊ ලඟට සාමාන්‍ය පෙල ප්‍රතිපල එන තෙක් බලා සිටීමට හැකිය. ( ඒ අතර මොබයිල් ෆෝන් ද බෙදීම වැනි වැඩ කරයි.)

රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්න හඳුනා ගෙන ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට තරම් මොලයක් නැති බොරු ශෝක් කාරයින් ඇමති කම් වලට පත් වූ විට වැඩ සිද්ද වෙන්නේ එලෙසය.




Monday, July 1, 2013

අඳවාදකයාගේ නික්ම යෑම


අද වන විට කෙසේ වෙතත් මීට වසර ගණනකට කලින් නම් ගාන්ධර්ව සභාව විසින් පවත්වනු ලබන ගායනා තරඟය  යනු පේරාදෙණිය සරසවියේ මානව මානවිකාවන් ,අඩුම තරමෙන් සංගීතය ගැන උනන්දුවක් දක්වන මානව මානවිකාවන් , එය එලඹෙන තෙක් ආශාවෙන් බලා සිටි එක් ප්‍රධානතම අංගයක් විය.

ගායන හැකියාවෙන් යුත් සිසු සිසුවියන් අතර මූලික තරඟ වටයක් පවත්වා ‍තෝරා ගන්නා දක්ෂයින් විසි දෙනෙකුන් අවසන් තරඟයට කැඳවන අතර මනා පුහුණුවකින් පසු පවත්වන අවසන් තරඟය එහි උච්චම අවස්ථාවයි.එහිදී හොඳම ගායකයා හා හොඳම ගායිකාව ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ‍තෝරන අතර ජයග්‍රාහකයන්ට සහතික පත් දෙනු ලැබේ.අද සුපර් ස්ටාර් තරඟවලදී මෙන් රුපියල් කෝටි ගණන් තෑගි බෙදන්නට නම් ගාන්ධර්ව සභාවට හැකියාවක් තිබුනේ නැත.

අප දන්නා කාලයේ සිටම මේ ගාන්ධර්ව සභාව  සමග සිටි දෑවන්ත බලවේගය වූයේ පසු ගියදා අප අතරින් වියෝ වූ මහාචාර්ය ඩී.පී.ඇම් වීරක්කොඩි මහතා හෙවත් කවුරුත් කී පරිදි වීරක්කොඩි සර් ය. ඔහු එහි හුදු උපදේශකයා පමණක් නොවීය. මූලික තරඟවල සිට පෙර පුහුණු වීම් හා අවසන් මහා තරඟය දක්වාම  ඔහු තම ඇකෝර්ඩියනය  හා බටනලාව වයමින් වාදකයෙක් වශයෙන්ද සහභාගි වූයේ ගායක ගායිකාවන් ගායනයේදී කරන අඩු පාඩුද නිවැරදි කරමිනි.

දිනක් රාත්‍රීයක සිසුන් ගායන පුහුණු වීම් කරමින් සිටින අතර එක්වනම විදුලි බලය ඇණ හිටියේය. වීරක්කොඩි සර්ගේ ඇකෝඩියනය හැර අන් සියලු භාණ්ඩ නිහඬ වූ අතර ගීය ගයමින් සිටි ගායිකාවද එය නතර කලේය.

" මොකද" වීරක්කොඩි සර් ඇසුවේය.

" ලයිට් ගියා සර්" කවුදෝ කීවේය.

" එහෙනම් මට තමා කට්ටියව හොස්ටල් වලට ඇරලවන්න වෙන්නේ" මහාචාර්ය වීරක්කොඩි තම කීවේ තම සුපුරුදු හාස්‍ය රසය මුසු කරමිනි.

ඇත්තටම ඔහුට පේරාදෙණි සරසවියේ පාරවල් සොයාගන්නට විදුලි ආලෝකය අවශ්‍ය වූයේ  නැත.ළදරු වියේම ඇති වූ රෝග තත්වයක් පෙනීම අහිමි වූවත් ඒ ගැන සිතමින් කම්පා වී නොසිට මහත් වූ ධෛර්යකින් යුතුව ජීවිතයට මුහුණ දුන්නේ දැඩි අසීරුකම් මැද අධ්‍යාපනය ලැබුවේය. ඉතා ඉහලින් සරසවි පිවිසුම සමත් වූ අඳ වීරක්කොඩි සිසුවා 1966 දී පේරාදෙණියට ඇතුල් වන්නේ සම්භාව්‍ය සංස්කෘතිය හා භාෂා හැදෑරීමටය . දෂ්‍යාබාධිතයන් සඳහා අද මෙන් ඉගෙනුම් උපකාරක හෝ පොතපත බහුලව නොතිබූ එකල ඔහු තම සහෝදර සිසුන් ලවා ග්‍රීක් හා ලතින් පොත පත කියවද්දි ඒවා බ්‍රේල් ක්‍රමයට ලියාගෙන පාඩම් කරමින් ප්‍රථම පංතියේ ගෞරව සාමාර්ථයක් සහිතව උපාධිය සමත් විය.

අනතුරුව එංගලන්තයේ හල් විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී උපාධිය දිනා ගන්නා ඔහු පේරාදෙණියේම සම්භාව්‍ය භාෂා අංශයට කථිකාචාර්යවරයෙක් ලෙස බැඳුනේ අවසන විශ්‍රාම යන විට එහි මහාචාර්යවරයෙක් හා අංශාධිපති ලෙසද සේවය කළේය.

ලතින් හා ග්‍රීක් භාෂාවෙන් ලියවුණු පොත් රාශියක්ම ඔහු අතින් සිංහලට පෙරලී තිබේ. ඒ අතර ප්ලේටෝගේ ෆීඩෝ හා රිපබ්ලික් කෘතින් ප්‍රධානය. ඊට අමතරව සිසෙරෝගේ කෘතීන්, හෙසියද්ගේ වර්ක් ඇන්ඩ් ඩේස්, හා ප්ලෝටියස්ගේ නාට්‍යද වේ.  ඔහු විසින් ලුවී බ්‍රේල් ජීවිත කතාවද සිංහලට නැගී තිබේ.

මේ සියලු ශාස්ත්‍රීය කටයුතු මැද සංගීතයට බැඳි පෙමද අත්නොහල ඔහු ඉන්දියාවේ භාත්කණ්ඩ සරසවියෙන් වාද්‍ය විශාරද උපාධියද හිමි කරගත්තේය.

ඇත්තෙන්ම ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට වඩා සරසවිය තුල ප්‍රසිද්ධ වූයේ ඔහුගේ මේ සංගීතය හා වූ සබඳ කමයි. ගාන්ධර්ව සභාවට අමතරව සරසවියේ සෑම සංගීත කටයුත්තකටම පාහේ අඩුම තරමෙන් වාදකයෙක් වශයෙන්වත් ඔහු සහභාගි විය.

උපතින් ක‍තෝලිකයෙක් වූ ඔහු සෑම නත්තලකටම කිතු බැති ගී කණ්ඩායමක් පුහුණු කළ ආකාරයෙන්ම සෑම වෙසක් එකටම බොදු බැති ගී කණ්ඩායමක් සූදානම් කර එම සිසුන්ද සමග තම ඇකෝඩියනය වයමින්  සෑම නේවාසික ශාලාවකටම සංචාරය කලේ කිසිදු බේදයකින් තොරවය.

 එහෙත් ඔහුගේ ඇකෝඩියනයේ හඬ නැවත පේරාදෙණි සරසවි බිමේ නො ඇසෙනු ඇත. සැරයටියේ ආධාරයෙන් මග සොයමින් සෙමෙන් සෙමෙන් ඇවිද්ද ඔහුගේ රුව එහි නැවත කිසිදිනෙක නො පෙනෙනු ඇත. ඇස් පෙනෙන වුන්ටත් මග කියා දුන් ඒ අන්ධ මිනිසා දැන් නැවත නො එන්නටම නික්ම ගොසිනි

අක්බාර් නෙල් ශාලාවේ 25 කාමරයට ඔහු හැරලවා පෙර දිනක කීවා මෙන් අද දිනද කියන්නට ඇත්තේ මෙපමණකි.

" ගුඩ් නයිට් සර්"






Saturday, June 29, 2013

හොරිකඩ පන්දන් මූදට දක්කන්- පා.... ගේ පුංචි මොලේ


ඉස්සර කාලේ අප්‍රිකාවේ,දකුණු ඇමෙරිකාවෙ , කැලෑ වල හිටි නොදියුණු ගෝත්‍රිකයෝ කෑවේ මිනී මස්ය. උන් තමන්ගේ ගෝත්‍රයෙන් පිට මිනිහෙක්  අහු වුනොත් හෙම ඌ අරගෙන ගිහින් මරලා පුච්චලා හරි අමුවෙන් හරි කනවාය. කාලා මදිවට ඒ මිනිහාගේ ඇට කෑල්ලක් බෙල්ලේ හරි ඉණේ හරි එල්ල ගන්නවාය.

මේ විදියට අප්‍රිකාවේ හිටි එක ගෝත්‍රයක් පස්සෙ කාලෙක කැලෑ එලි වෙලා  උන්හිටි තැන් නැති වුනාම නොයෙක්  රටවල් වලට පැන ගොහින්  වෙස් වලාගෙන හිටියෝය.

එහෙම කට්ටියක් ලංකාවටත් ඇවිත් වෙස්වලාගෙන හොඳට ඉගෙන ගෙන විශ්වවිද්‍යාලවලටත් ගොහින් වෛද්‍ය  උපාධිත් ලබා ගත්තේය. ඊට පස්සේ ඒ ගෝත්‍රික කට්ටිය ඔක්කොම එක්කාසු වෙලා වෘත්තීය සංගමයකට බැඳුනේය.  ඒකේ නම රජයේ වෛද්‍ය නිලධාරි සංගමේය. 

දැන් එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනෑ රජයේ වෛද්‍ය නිලධාරි සංගමේ දැන් ඉන්න නිලධාරි ටික අර මං කිව්ව අප්‍රිකානු ගෝත්‍රිකයෝ කියලා. 

එයාලා  වෘත්තීය සංගම් කාරයෝ  උනාට හැබෑ අරමුණ පුලුපුලුවන් වෙලාවට තමන්ගේ ගෝත්‍රයෙන් පිට මිනිස්සු අල්ලගෙන මරලා කන එකය. 

මේ ගොල්ලෝ මෙච්චර කල් වැඩිපුර කෑවේ තමන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කට්ටියමය. නර්ස් නෝනලා , එම්.එල්.ටී ලා සුළු සේවකයෝ වගේ කට්ටියය. එයලා තමන්ගේ වෘත්තීය සමිති වලින් සටන් කරලා මොක හරි දිනා ගත්තොත් ඒකට අකුල් හෙලන එක මෙයාලගේ ජන්ම පුරුද්දක්ය.

මෙයාලා කියන්නේ තම ක්ෂේත්‍රයේ පහලම ඉන්න කෙනාට වැඩිය 12 ගුණයක පඩියක් තමන්ට ඕනෑ කියලාය. 

මේ ගෝත්‍රිකයෝ කට්ටිය ගණන් බලන්නේ අවම වැ‍ටුප රුපියල් 10,000 කියලාය. එතකොට උපරිම වැ‍ටුප 120,000 ක්ය.ආණ්ඩුවේ නිලධාරින්ට සාමාන්‍යයෙන් ගෙවන උපරිම වැ‍ටුප් දිහා බැලුවම මීට වඩා උපරිම වැ‍ටුපක් ලැබෙන්නට ඇති ඉඩ අඩුය. ඒ නිසා ම ගොල්ලෝ නොකියා  කියන්නේ තමන්ගේ වැ‍ටුප 120,000 දක්වා වැඩි කරලා පහල මට්ටමේ සේවකයින්ට 10,000 හිඟන පඩියක් විතරක් දුන්නම ඇති කියලාය.

කෙටියෙන් කිව්වොත් මෙයාල මේ හදන්නේ ආණ්ඩුවට උදව්වක් විදියට පහල මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්ට එපා කියන එකය. 

මෙයාල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය විතරක් නොවේ කන්ට ගන්නේ . ඊයේ පෙරේදා මෙයාල තමන්ගේ වල්,  වනචාරි , ම්ලේච්ච  දීන ,ආන්ඩු ගැති ගතිය පෙන්නමින් විශ්ව විද්‍යාල ආචාර්ය සටනත් විරුද්ධ වුනේය. 

මේ දවස් වල ඩීල් පා...නිය ලංකාවේ නැති හින්දා සටනට එවා තිවුනේ  හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂටත් චරිත සහතික දෙන්ට ආපු න.ර.  වනචාරි ගෝත්‍රිකයාමය.

මේ ගොත්‍රිකයා කිසි හිරිකිතක් නැතිව කිව්වා ආචාර්යවරුන්ට පඩි වැඩි කරනවාට අපි විරුද්ධය, එයලාට වැඩි කලොත් අපිටත්  වැඩි කරන්ට ඕනෑය. ආචාර්යවරු විශේෂ කට්ටිඅයක් විදියට සලකන්න එපාය. ලංකාවේ ඉන්න සුවිශේෂම කට්ටිය අපිය ආදි වශයෙනි. 

මේ උන්නැහෙලා ආයෙත් සැරයක් කොලේ  අර පරණ හොරිකඩ වැඩේමයි. ආචාර්ය සටනට ගහන්න ආණ්ඩුවට ආයුධ දීපු එක. 

මෙච්චර හොරිකඩකම් කරන්න මොකද්ද ආණ්ඩුවත් එක්ක ඩීල් පා....නිය  දාගත්තු ඩීල් එක කියලා හොයලා බැලුවම හොරේ අහු වුනා.

රාජකාරි වෙලාවෙත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න මෙයාලා  ආණ්ඩුවෙන් අවසර  ඉල්ලලා. සෞඛ්‍ය  ඇමතිගෙන්වත් , සෞඛ්‍ය ලේකම්ගෙන්වත් නෙවේ, ජනාධිපතිගෙනුයි , මල්ලිගෙනුයි.  
මෙන්න ඩීල් එක.

අපිට රාජකාරි වෙලාවේත් පුද්ගලික සේවයේ යෙදෙන්න අවසර දෙනවා නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන එකට තියෙන අපේ සාමාජිකයන්ගේ විරෝධෙ අයින් කරලා දෙන්නම්. ඒ විතරක් නොවේ මීට පස්සේ ඕනෑම වෘත්තිය සමිති සටනකට විරුද්ධව හොරිකඩ කම් කරන්නම්.

හොඳයි නේද පා.. ගේ මොලේ.

(2012  ඔක් ‍තෝබර් මාසයේ පල කෙරුනු මේ ලිපිය අද දිනයේ පැවත්වෙන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලවරන වෙනුවෙන් නැවත පල කෙරේ.)

Thursday, June 27, 2013

බන් ගොන්දුලගේ මෝරු බුලේ


විභාගවලට සතියකට කලින් සිට ටියුෂන් පංති හා විභාග ඉලක්ක කොට ගත් සම්මන්ත්‍රණ පැවත්වීම තහනම් කරන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන තීරණය කොර තිබේ.

උන්නැහේලා මෙහෙම කරන්නේ විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් පිට වීම නිසාය. සම්මන්ත්‍රණ හා ටියුෂන් පංති සතියකට කලින් නැවත්වුවාම එම ප්‍රශ්න පත්‍ර ශිෂ්‍යයන් අතට යන්නේ නැතැයි එතුමා කල්පනා කර තිබේ.

එතකොට විභාග  ප්‍රශ්න සති දෙකකට කලින් පිට වුනොත් මොකද කරන්නේ කියා අහන්ට කෙනෙක් ඉඳලා නැතුවා වගේය. එහෙම නැත්නම් විභාග ප්‍රශ්න පත්‍ර හොරෙන් පිටවෙන්නේ හරියටම විභාගෙට සතියකට කලින් කියලා ඇමතිතුමා ටක්කෙටම දන්නවා වෙන්ට ඇතිය. ඇමතිතුමාලට ඕනෑ කට්ටියට විතරක් නොව හැම කොල්ලට බල්ලටම මේ ප්‍රශ්නපත්‍ර යන එක වලක්වන්ට මේ තහනම ගෙනාව වෙන්ටත් ඉඩ තිබේ.

ඒ අනුව අපට පෙනී යන්නේ මේ විභාග ප්‍රශ්න හොරෙන් පිට කරාට කමක් නැත. ඒවා හොර රහසේම ලොකු ගනන් වලට ගෙවල්වලටම ගොස් විකිනුවාටද  කමක් නැත.හොඳ නැත්තේ ඒවා ප්‍රසිද්ධියේ ටියුෂන් පංති වල, සම්මන්ත්‍රණවල දී ගමේ ගොඩේ හඩු කොල්ලන් කෙල්ලන්ගේ අතට පත් වීමය.ප්‍රශ්න පත්තර පිට වෙන එක නවත්තන්නේ නැතිව ටියුෂන් තහනම් කරන්නේ ඒ නිසා වෙන්ට ඇතිය.

ඒ කතා කොහොම වුනත් ආඳා යවා වලපත තබා ගත්තා සේ ,අශ්වයා යවා ඉස්තාලේ වැහුවා වගේ,වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වගේ ප්‍රස්තාව පිරුලු වලට දැන් තව එකක් එක් කරගන්ට පුලුවන් "ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට කරලා ටියුෂන් තහනම් කරා වගේ  " කියලා.ඒත් මදෑ.

Wednesday, June 26, 2013

ඔලු පරික්ෂා කිරීම


විශ්ව විද්‍යාලවලට ඇතුල්වන ශිෂ්‍යයන්ගේ ඔලු පරික්ෂා කිරීමේ වැඩසටහනක් අරඹන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැති තුමිය පවසා තිබේ.එම අදහස ඇති වී තිබෙන්නේ පසුගියදා සරසවි සිසුවියක් උඩුමහලකින් පැන සියදිවි නසා ගත් නිසාලු.ටික කලෙකට කලින් ජයවර්දනපුර සරසවියේ ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරික්ෂා කරන්ට හැදුවේ මේ ජාතියේම උපකුලපතියෙක් වෙන කන්‍යාරත්නය.


 කෙසේ නමුත් මේ ඔලු පරික්ෂා කිරීමේ අදහසට නම් අපිත් එකඟය. නවක ශිෂ්‍යයන්ගේ පමණක් නොව දැනට ඉන්නා ශිෂ්‍යයන්ගේත් ඔලු පරික්ෂා කළ යුතු යැයි අප කියමු.

ක්ෂණිකා හිරිඹුරේගම, කන්‍යාරත්න වැනි අය ප්‍රතිපාදන කොමිසමේ සභාපතිකම් හා උපකුලපතිකම්  කරද්දි ඒ ගැන වගේ වගක් නැතිව ඉන්නා උන්ගේ ඔලු වල තියෙන්නේ මොනවාදැයි නිසැකවම පරික්ෂා කල යුතුය.

හිරිඹුරේගමලා හා කන්‍යාරත්නලාගෙත්   ඔවුන් ඔය තැන්වලට පත් කරන දේශපාලකයින්ගේත් ඔලු පරික්ෂා කල යුතු නැත. මක් නිසාද යත් ඔවුන්ගේ  ඔලුවල තියෙන්න මොනවා දැයි කියන්නට පරික්ෂා කල  යුතු නැති නිසාය.  

 නමුත් ඒ දේශපාලකයින්ට චන්දේ දී ඔවුන් මහපු‍ටුවලට , කවුන්සල් වලට  යවන අයගේ, එනම් මේ ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ගේත් ඔලු  ඒ සමග පරික්ෂා කරන්නේ නම් එය ඉතා වටින්නේය.

Monday, June 24, 2013

හීන හා දවල් හීන


නවගත්තේගම පාසැල් ගුරුවරිය දණ ගැස්වූ දේශපාලකයා ජනාධිපති අණින් ඉල්ලා අස්වන්නට සිදු විය. මතක තබා ගන්න . ඔහු නෙරපා හැරියේ නැත. ඔහුට ඉල්ලා අස් වන්නට කීවා පමණය.

එහෙත් මැති ඇමතිලා නරකායි ජනාධිපති හොඳායි කියන අයට එය ප්‍රමාණවත්ය. ඔව්හු මේ සිදු වීම නිසා කොතරම් උද්දාමයට පත් වූයේද කිවහොත් අපේ ජනාධිපති තුමා දැන් ඉතින් වැඩ පටන් ගෙන ඇත. සියලුම නරකයින් පන්නා දමනු ඇතැයි කියන්නට පටන් ගත්තේය. ඔවුන්ගෙන් සමහරු රජයේ සේවකයෙකු ගස් බැඳි  මර්වින් සිල්වා පවා පන්නා දමනු ඇතයි සිහින මැව්වෝය.

නමුත් ඒ සිහින දවල් හීන පමණක් බවත් මර්වින්ලා සහ ඒ වර්ගයේ අයවලුන් යනු පාලක රෙජිමයේ හුරතලුන් බවත් පෙන්වන අපූරු ලිපියක් ඊයේ දිවයින පත්‍රයේ ඕපදූප තීරයේ පලව තිබිණි.

"මේ සියලු නිල කතාවලට පසු ජනාධිපතිවරයා මන්ත්‍රීවරු හා අපේක්‍ෂකයන් අමතා හරි අපූරු කතාවක්‌ කීවේය. කතාව කීවේ මර්වින් සිල්වා පහුගිය කාලයේ කිසිදු මන්ත්‍රීකමක්‌වත් නොමැති කාලයේ සිදු වූ සිද්ධියක්‌ ගැනය. එවකට බලයේ සිටියේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවයි. මර්වින් එදා නිකම්ම නිකම් පුද්ගලයකු පමණක්‌ විය. 

ඒ කාලයේ ආණ්‌ඩුවේ හිටපු බලවත් ඇමැතිවරු කවුරුවත් එක්‌ක වැඩිය බජනෙට එන්නෙ නෑ. හරි ආඩම්බරයි. පොළවෙ පස්‌ පෑගෙන්න නැති මට්‌ටමෙන් තමයි හිටියෙ. ඔහොම ඉන්නකොට දවසක්‌ මර්වින්ට ලැබෙනව පිටරට යන්න අවස්‌ථාවක්‌. මර්වින් ගුවන් යානයට නැගලා තමන්ට හිමිවෙච්ච ආසනයේ වාඩිවෙලා වටපිට බලනකොට යාබද ආසනයේ හිටියේ ආණ්‌ඩුවේ තවමත් ප්‍රබල ඇමැතිවරයෙකි. මර්වින් ඔහු සමඟ කතා බහ කරන්නට උත්සාහ කළේය. එහෙත් ඔහු මර්වින් සමඟ වැඩි බජනයකට පැමිණියේ නැත. 

මේ මනුස්‌සයා අර ඇමැතිත් එක්‌ක කිහිප පාරක්‌ම කතා කරන්න උත්සාහ ගත්තා. වැඩිය හිතවත්කමක්‌ ගොඩනැගිල නෑ. පැයක්‌ විතර ගෙවිල ගියා. අන්තිමේ ගුවන් යානය ඉගිල්ලෙන්න පටන් ගත්තා. මර්වින් යානාවේ ගුවන් සේවිකාවකට කතා කරල අහන්න පටන්ගත්තා දැන් අපි ඉන්නෙ ලංකාවෙ ගුවන් සීමාවෙද නැද්ද කියලා. ඇය කිව්ව නැහැයි කියලා. එහෙම නම් ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ජාත්‍යන්තර සීමාවට ගියාට පස්‌සෙ මට කතා කරන්න කියල මර්වින් ඇයට කිව්වා. 

ඔන්න ඔහොම ටික දුරක්‌ යනකොට අර ගුවන් සේවිකාව මගින් මර්වින් දැනගන්නව ගුවන් යානය ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ගියාය කියල. ඔන්න එකපාරටම මිනිහ නැගිටල අර ඇමැතිතුමාට කිසිම ගරුසරුවක්‌ නැතිව මචං කියල කතා කරන්න පටන් ගත්ත. 

"මචං දැන් අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවට උඹ ඇමැති. මම නිකම්ම නිකම් මර්වින්. එතකොට මාත් එක්‌ක කතා නොකර සිටියට කමක්‌ නෑ. හැබැයි දැන් අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙන් පිටවෙලා. උඹට දැන් ගරු කරන්න කෙනෙක්‌ මෙහේ නෑ. මටත් නැහැ. ඒක නිසා අපි දෙන්නම එක බෝට්‌ටුවේ. ඔන්න ඔහේ සීතලේ යන්නත් එක්‌ක ගහමු මචං හොඳ අඩියක්‌." යෑයි කියමින් මර්වින් ඇමැතිවරයාට කතා කළා. අන්තිමේ එයාටත් සිද්ධවුණා මර්වින් එක්‌ක හිතවත් වෙලා කතා කරන්න. අන්න ඒකයි මම කිව්වෙ බලය කියන දේ තාවකාලිකයි කියල. ඒ වගේම බලයක්‌ තියෙනව නම් තියෙන්නෙ ඒ අදාළ බලප්‍රදේශයේ විතරයි. මර්වින් අදටත් ඕක කියල හිනාවෙනව. බලය තියෙනකොට මිනිස්‌සු ඔළුව උදුම්මගන්න හොඳ නෑ. බලය තියෙනවට වඩා බලය නැතිවෙලාවෙ නිහතමානි වෙලා ජීවත් වෙන්න ඕන. මර්වින්ගේ අපූරු පාඩම කියමින් ජනාධිපතිවරයා සංවිධායකයන් හමුවේ කළ විස්‌තරයට සමහරු බඩ අල්ලාගෙන හිනාවෙන්නට වූහ. "

සටහන- මේ ලිපියේ මට නොතේරෙන දෙයක් ද තිබේ . එනම් මේ විස්තරය ඇසූ  සමහරු බඩ අල්ලා ගෙන හිනා වූයේ ඇයිද යන්නයි.