Monday, July 1, 2013

අඳවාදකයාගේ නික්ම යෑම


අද වන විට කෙසේ වෙතත් මීට වසර ගණනකට කලින් නම් ගාන්ධර්ව සභාව විසින් පවත්වනු ලබන ගායනා තරඟය  යනු පේරාදෙණිය සරසවියේ මානව මානවිකාවන් ,අඩුම තරමෙන් සංගීතය ගැන උනන්දුවක් දක්වන මානව මානවිකාවන් , එය එලඹෙන තෙක් ආශාවෙන් බලා සිටි එක් ප්‍රධානතම අංගයක් විය.

ගායන හැකියාවෙන් යුත් සිසු සිසුවියන් අතර මූලික තරඟ වටයක් පවත්වා ‍තෝරා ගන්නා දක්ෂයින් විසි දෙනෙකුන් අවසන් තරඟයට කැඳවන අතර මනා පුහුණුවකින් පසු පවත්වන අවසන් තරඟය එහි උච්චම අවස්ථාවයි.එහිදී හොඳම ගායකයා හා හොඳම ගායිකාව ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ‍තෝරන අතර ජයග්‍රාහකයන්ට සහතික පත් දෙනු ලැබේ.අද සුපර් ස්ටාර් තරඟවලදී මෙන් රුපියල් කෝටි ගණන් තෑගි බෙදන්නට නම් ගාන්ධර්ව සභාවට හැකියාවක් තිබුනේ නැත.

අප දන්නා කාලයේ සිටම මේ ගාන්ධර්ව සභාව  සමග සිටි දෑවන්ත බලවේගය වූයේ පසු ගියදා අප අතරින් වියෝ වූ මහාචාර්ය ඩී.පී.ඇම් වීරක්කොඩි මහතා හෙවත් කවුරුත් කී පරිදි වීරක්කොඩි සර් ය. ඔහු එහි හුදු උපදේශකයා පමණක් නොවීය. මූලික තරඟවල සිට පෙර පුහුණු වීම් හා අවසන් මහා තරඟය දක්වාම  ඔහු තම ඇකෝර්ඩියනය  හා බටනලාව වයමින් වාදකයෙක් වශයෙන්ද සහභාගි වූයේ ගායක ගායිකාවන් ගායනයේදී කරන අඩු පාඩුද නිවැරදි කරමිනි.

දිනක් රාත්‍රීයක සිසුන් ගායන පුහුණු වීම් කරමින් සිටින අතර එක්වනම විදුලි බලය ඇණ හිටියේය. වීරක්කොඩි සර්ගේ ඇකෝඩියනය හැර අන් සියලු භාණ්ඩ නිහඬ වූ අතර ගීය ගයමින් සිටි ගායිකාවද එය නතර කලේය.

" මොකද" වීරක්කොඩි සර් ඇසුවේය.

" ලයිට් ගියා සර්" කවුදෝ කීවේය.

" එහෙනම් මට තමා කට්ටියව හොස්ටල් වලට ඇරලවන්න වෙන්නේ" මහාචාර්ය වීරක්කොඩි තම කීවේ තම සුපුරුදු හාස්‍ය රසය මුසු කරමිනි.

ඇත්තටම ඔහුට පේරාදෙණි සරසවියේ පාරවල් සොයාගන්නට විදුලි ආලෝකය අවශ්‍ය වූයේ  නැත.ළදරු වියේම ඇති වූ රෝග තත්වයක් පෙනීම අහිමි වූවත් ඒ ගැන සිතමින් කම්පා වී නොසිට මහත් වූ ධෛර්යකින් යුතුව ජීවිතයට මුහුණ දුන්නේ දැඩි අසීරුකම් මැද අධ්‍යාපනය ලැබුවේය. ඉතා ඉහලින් සරසවි පිවිසුම සමත් වූ අඳ වීරක්කොඩි සිසුවා 1966 දී පේරාදෙණියට ඇතුල් වන්නේ සම්භාව්‍ය සංස්කෘතිය හා භාෂා හැදෑරීමටය . දෂ්‍යාබාධිතයන් සඳහා අද මෙන් ඉගෙනුම් උපකාරක හෝ පොතපත බහුලව නොතිබූ එකල ඔහු තම සහෝදර සිසුන් ලවා ග්‍රීක් හා ලතින් පොත පත කියවද්දි ඒවා බ්‍රේල් ක්‍රමයට ලියාගෙන පාඩම් කරමින් ප්‍රථම පංතියේ ගෞරව සාමාර්ථයක් සහිතව උපාධිය සමත් විය.

අනතුරුව එංගලන්තයේ හල් විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී උපාධිය දිනා ගන්නා ඔහු පේරාදෙණියේම සම්භාව්‍ය භාෂා අංශයට කථිකාචාර්යවරයෙක් ලෙස බැඳුනේ අවසන විශ්‍රාම යන විට එහි මහාචාර්යවරයෙක් හා අංශාධිපති ලෙසද සේවය කළේය.

ලතින් හා ග්‍රීක් භාෂාවෙන් ලියවුණු පොත් රාශියක්ම ඔහු අතින් සිංහලට පෙරලී තිබේ. ඒ අතර ප්ලේටෝගේ ෆීඩෝ හා රිපබ්ලික් කෘතින් ප්‍රධානය. ඊට අමතරව සිසෙරෝගේ කෘතීන්, හෙසියද්ගේ වර්ක් ඇන්ඩ් ඩේස්, හා ප්ලෝටියස්ගේ නාට්‍යද වේ.  ඔහු විසින් ලුවී බ්‍රේල් ජීවිත කතාවද සිංහලට නැගී තිබේ.

මේ සියලු ශාස්ත්‍රීය කටයුතු මැද සංගීතයට බැඳි පෙමද අත්නොහල ඔහු ඉන්දියාවේ භාත්කණ්ඩ සරසවියෙන් වාද්‍ය විශාරද උපාධියද හිමි කරගත්තේය.

ඇත්තෙන්ම ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට වඩා සරසවිය තුල ප්‍රසිද්ධ වූයේ ඔහුගේ මේ සංගීතය හා වූ සබඳ කමයි. ගාන්ධර්ව සභාවට අමතරව සරසවියේ සෑම සංගීත කටයුත්තකටම පාහේ අඩුම තරමෙන් වාදකයෙක් වශයෙන්වත් ඔහු සහභාගි විය.

උපතින් ක‍තෝලිකයෙක් වූ ඔහු සෑම නත්තලකටම කිතු බැති ගී කණ්ඩායමක් පුහුණු කළ ආකාරයෙන්ම සෑම වෙසක් එකටම බොදු බැති ගී කණ්ඩායමක් සූදානම් කර එම සිසුන්ද සමග තම ඇකෝඩියනය වයමින්  සෑම නේවාසික ශාලාවකටම සංචාරය කලේ කිසිදු බේදයකින් තොරවය.

 එහෙත් ඔහුගේ ඇකෝඩියනයේ හඬ නැවත පේරාදෙණි සරසවි බිමේ නො ඇසෙනු ඇත. සැරයටියේ ආධාරයෙන් මග සොයමින් සෙමෙන් සෙමෙන් ඇවිද්ද ඔහුගේ රුව එහි නැවත කිසිදිනෙක නො පෙනෙනු ඇත. ඇස් පෙනෙන වුන්ටත් මග කියා දුන් ඒ අන්ධ මිනිසා දැන් නැවත නො එන්නටම නික්ම ගොසිනි

අක්බාර් නෙල් ශාලාවේ 25 කාමරයට ඔහු හැරලවා පෙර දිනක කීවා මෙන් අද දිනද කියන්නට ඇත්තේ මෙපමණකි.

" ගුඩ් නයිට් සර්"






9 comments:

  1. " ගුඩ් නයිට් සර්"

    ReplyDelete
  2. " ගුඩ් නයිට් සර්"

    ReplyDelete
  3. මහැදුරු තුමණි සුව නින්දක්.

    ReplyDelete
  4. RIP ,DEAR SIR.

    ReplyDelete
  5. මැකී ගිය වස්දඬු හඬක්
    ඇසෙයි ගඟ දිහාවේන්
    මහ දවල් එළිය අරන්
    මග ඇදුනු කෙනෙක් ගැන
    සිහින් හඬකින් කියන

    ReplyDelete
  6. ඔහු ගාන්ධර්ව සභාවට අමතරව බටහිර සංගීතය ගැන කටයූතු කළ මියුසික් සොසයිටිහි ත් කටයුතු කළා.

    මා නැරඹු එක් මියුසික් සොක් එකේ සංගීත සන්ධ්‍යාවක (මේවා තිබුණේ ඉංජිනේරු පීඨයේ ඊඕඊ ශාලාවේ) ඔහු අපූරු බනලාවක් වැනි සංගීත භාණ්ඩයකින් වාදනයක් ඉදිරිපත් කළා මට මතකයි.

    ගාන්ධර්ව සභාවේ තරගය බලන්න අපි එය තිබුණු හැම වසරේම ගියා. එක වසරක එය විනිශ්චය කරන්න ආවේ ජයලත් මනෝරත්න සහ නිශ්ශංක දිද්දෙණිය.

    සාමයේ සැතපේවා!

    ReplyDelete
  7. ඇසට කඳුලක් නැගින!

    ReplyDelete
  8. බොහෝම මන්දගාමීයී ලිවීම.. :-(

    ReplyDelete
  9. අහම්බෙන් නෙත ගැටුණු මේ සටහන බොහෝ මතක අවදි කළා.
    මගේ "නොකී කතා" මුද්‍රිත කෘතියේ මහාචාර්ය වීරක්කොඩි ගැන වෙනම ඡේදයක් වෙන් කොට තියෙනවා.
    දෙනෙත් නොපෙනුණත් අපට වඩා හොඳින් ලෝකය දුටු විද්‍යාර්ථියෙක්.
    අපිත් එක්ක චිත්‍රපට බලල නොනැවතී විවේචනයත් කළා කිව්වම.

    ReplyDelete