Tuesday, May 30, 2017

යහපාලන ආණ්ඩුව හිතූ තරම් නරක නැත...නොහොත් රු.90 කථාව



යහපාලන ආණ්ඩුවට අංශබාගේ යැයි කියන්නේ බයියන්ය. ඒ හොරා කෑමට තිබූ චාන්ස් නැති වූ තරහවට  මිස වෙන කිසි හේතුවකට නොවේය.මේ කස්ටිය කියන්නේ යහපාලනේ ගංවතුරිනුත් ෆේල් කියලාය. රනිල් ලොක්කා ඇමෙරිකාවේ ගිය එකත්, ආපදා ඇමති රටේ නැති එකත් ලොකුවට උලුප්පනවාය. වැඩේ හරියට කරනවා නම් කවුරු කොහේ හිටියාම මක්ක වෙනවාද? 

ඔන්න දැන් බලන්න ආපදාවට පත් වෙච්චි ජනයාට වියදම් කරන්න කියලා ආන්ඩුව රුපියල් කෝටි හතර හමාරක්ම වෙන් කරලාය. සුවල්ප මුදලක්ද? ලක්ෂ පහක් වෙච්චි අනාතයින්ට එකෙකුට රුපියල් 90 ගානේය. ඉතින් මේ වගේ ජනහිත කාමි ආණ්ඩුවකට බයින උන්ට මොනවා කලාට හිත් වදියිද?

ගංවතුරට කො‍ටු වී සිටින මගේ මිත්‍රයෙක් නම් දැනටම රුපියල් 90න් කරන්න වැඩ ලැයිස්තුවක් හදා ගෙන ඉන්නෙමිය. අනික් අනාතයින්ටත් කියන්නේ මගේ යාලුවා  ආදර්ශයට අරගෙන පැලෑනක් ගහගන්න කියලාය.යාලුව කුරුල්ලෙක් අතේ එවූ පැලෑන මෙසේය.

මෝටර් බෝට්‍ටුවක් කුලියට අරගෙන කොළඹ එන්ට- රු. 10.00
එනගමන් හීතලට බොන්ට බ්ලැක් ලේබල් විස්කි බොතල් 1යි- රු. 4.50
බයිට් එකට බැදපු කුකුලෙක් ගන්ට- රු. 2.70
ගොල්ඩ් ලීෆ් 20 පැකට් දෙකයි- 1.20
කැඩිච්ච ගේ හදාගන්ට- රු. 2.35
ගංවතුරට ගහගෙන ගිය බඩු මුට්‍ටුවලට- රු. 1.74
ගංවතුර බහිනකම් ගෝල්ෆේස් හෝටලේ නවතින්ට- රු.5.49
එනගමන් කැළණි විහාරේ පිං කැටේට- රු.0.20
රනිල්ගේ ආච්චිට බොස්තොරොක්කයක් ගන්ට- රු.3.50
ආපදා ඇමතිගේ ගෙදරට කේක් එකක් යවන්ට- රු.6.75

මුළු ගාන - රු.38.43

ඉතිරි ගානෙන් කොරන දේවල්

රු. 10ක් ඇමතිලාට වාහන ගන්ට පරිපූරක ඇස්තමේන්තුවට ප්‍රදානය කිරීමටත්
රු.20ක් ආපහු ගෙදර යන්ට බෙන්ස් කාර් එකක්  ගන්ටත් 

ඉතුරු සල්ලි ඔක්කොම ‍ෆික්ස් ඩිපොසිට් එකක් දමා ඉතුරු ජීවිත කාලේම  සැප සේ ගතකරන්ටත්ය.



Sunday, May 28, 2017

යහපාලනයට ජයවේවා..



අපි කවදත් හිතුවේ මේ රටේ නිදහසින් පසු පහල වූ , පහල කර ගත් , හොඳම ආණ්ඩුව වර්තමාන යහපාලන ආණ්ඩුව කියාය. මේ ආණ්ඩුවට කලින් තිබුණු මහරාජ ආණ්ඩුව කොරන ලද දේවල් නිසා ඒක එපා වූ මහජනතාව විසින් මේ සැරේනම් තට්‍ටු මාරු ක්‍රමයට වුනත් ඉතා හොඳ වැඩක් කර තිබේ. යහපාලන ආණ්ඩුව හැබෑවටම යහපාලන ආණ්ඩුවක් බව දැන් අපට ප්‍රත්‍යක්ෂ්‍යය.

ඒ බව පහුගිය අවුරුදු දෙකක ට වැඩි කාලයේ උන්නැහෙලා ක්‍රියාවෙන්ම ඔප්පු කොර තිබේ. බැඳුම්කර , සයිටම් විරෝධතා කරුවන්ගේ ඔලු පැලීම වැනි සුළු සුළු සිද්ධි මතක් කර අපේ හිත් වෙනස් කිරීමට කාටවත් පුලුවන් වෙන්නේ නැත.මොකද යතොත් යහපාලනේ යනු යහ පාලනේ නිසාය. ඔලු පැලුවත් යහමින් ඒ වැඩේ කරන බවට අපි දන්නෙමු.

වැඩිදුරක් යන්නට ඕනෑ නැත. මේ දවස් වල රට මූණ පා තිබෙන දුර්දාන්ත කාලගුණ තත්වයට මුහුණ දීමේ දී ත් අපේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කලර්ස් එලි දක්වා තිබේ. මේ තරම් ඉක්මණින් ස්වභාවෛක ආපදාවකදී ක්‍රියාත්මක වූ ආණ්ඩුවක් දැක ඇත්ද? ෂුවර් එකටම නැත. මෙහෙම ආණ්ඩුවක් දකින්නට පිං කරන්නට ඕනෑය.

විපතට පත් වූවන්ට සහන සැලසීමට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩ සටහන් හදා ඇතැයි ගරු අගමැතිතුමා 26 දා කිව්වේය. අපිට එතුමා විශ්වාසය. ඔබ මට විස්වාසයි කියා ජෝති කිව්වේ ඒ නිසාය. එතුමා සහ එතුමාගේ පක්ෂය ඒ විශ්වාසය 26 දා සවස් වන විටම ඒ කෙටි කාලීන වැඩ පිලිවෙල ක්‍රියාවට නංවා තමන් කියන දේ කරන ,කරන දේ කියන අය බව ඔප්පු කර පෙන්නුවේය.

ඒ මෙහෙමය. හදිසි කෙටිකාලීන සහන සඳහා කෝටි 70ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමෙනි. ඒ මැති ඇමැතිවරුන්ට වාහන ගැනීමටත්, ඔවුන්ගේ නිල නිවාස අලුත්වැඩියා කිරීමටත්  ය. සමහර විට තිබුණු වාහන ගංවතුරේ ගහගෙන ගිහින් වෙන්න ඇතිය. දැන් අපි බලා ඉන්නේ දිගු කාලීන වැඩ මොනවාදැයි කියාය. හිතට ඇති ලොකුම සැනසීම නම් බලයේ ඉන්නේ යහපාලන ආණ්ඩුවක් වීමය. ඒ නිසා දිගුකාලීන වැඩත් කෙටිකාලීන වැඩවලට නොපරදිනවාට ,මෙන්න කැට.



Sunday, May 21, 2017

වියන්(කුණු)ගොඩ ගේ සල්ලි මල්ල



පත්තරේක තීරු ලිපියක් කියන්නේ අමුතුම ලිපි වර්ගයක්. අපි දැකලා තියෙනවා එක එක වර්ගයේ තීරු ලිපි. දයාසේන ගුණසිංහ ,සුනිල් මාධව වගේ ලේඛකයෝ තීරු ලිපි කලාවේ විශිෂ්ටයෝ කියලා හඳුන්වන්න පුලුවන්.සාමාන්‍යයෙන් සති අන්ත පත්තරවල පල වන තීරු ලිපි නොයෙක් හැඩයෙන් එනවා. උපහාසය, හාස්‍ය, ශාස්ත්‍රීය ලිපි, කවි  වගේ ඕනෑ ආකාරයකට...  නිශ්චිත හැඩයක් අවශ්‍ය නෑ. නමුත් එක දෙයක් නිශ්චිතයි. තීරු ලිපියක් කියන්නේ තීරු ලිපියක්. ඒක පත්තර වල පලවෙන වැල් කතා වගේ එක දිගට ලියන්නේ නෑ. එක මාතෘකාවක් ගැන ලියන්නේ එක සැරයයි. අවශ්‍ය නම්, වැඩිම් උනොත් දෙකයි.

හැබැයි ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කත් ඇදපු ගාමිණි වියන්ගොඩ රාවයට පත්තරේට ලියනවා තීරු ලිපියක් " අවරදිග ආවර්ජනා" කියලා. ඒකට මිනිහා මේ වන කොට ලියනවා ලිපියක් " අධ්‍යාපනයේ නිදහස හා සයිටම් පටලැවිල්ල " නමින්.  අද පල වෙන්නේ ඒකේ අටවැනි (8)  කොටස. එකම දේ නැවත නැවත ලියමින් මේ මිනිහා පල කරන අදහස ගැන කතා කරන්නවත් දෙයක් නෑ. ඕනෑ නම් ඒ ගැන පස්සේ ලියන්න ඇහැකි.

පසුගිය කාලයේ රටේ ඇති වූ නොයෙක් ප්‍රශ්න ගැන වචනයක්වත් නොලියන වියන්ගොඩ සයිටම් ගැන එක දිගට සති අටක් ලියයි. පුදුම තීරු ලිපිකාරයෙක්. ජීවිත විශාල ගණනාවක් බිලිගත් මීතොටමුල්ල කුණුකන්ද, රටම ගිලගෙන ඇති ඩෙංගු වසංගතය, එච්1එන්1 වසංගතය, යහපාලකයින්ගේ වංචා දූෂණ, මානව හිමිකම් උල්ලංඝණ, මත්ද්‍රව්‍ය වසංගතය සහ කඩා වැටෙමින් ඇති ආර්ථිකය ගැන මේ උන්නැහේට වගේ වගක් වත් නැත. ඔහුට ඇති එකම ප්‍රශ්නය සයිටම් අර්බුදයයි. ඔහුගේ අරමුණ නෙවිල් ප්‍රනාන්දු නම් තුට්‍ටු දෙකේ ලුම්පන් ධනපතියාට අධ්‍යාපනය විකුණා මුදල් හම්බ කරගැනීමට අවශ්‍ය මාර්ගය පාදා දීමයි.

කලක් රටේ මහා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටි මේ පුද්ගලයා අන් සියලු සමාජ ප්‍රශ්න අත් හැර දමා නෙවිල්ගේ වලිගයේ එල්ලී ඔහුගේ ගොම්පස් ගිල දමන්නේ මන්දැයි සිතා බැලිය යුතුය.  ඉතාමත් පැහැදිලිව පෙනෙන සත්‍ය නම් වියන්ගොඩ උන්නැහේ  නෙවිල් ප්‍රනාන්දු මුදලාලි සමග කුඩු කා ඇති බවයි. එනම් නෙවිල් ප්‍රනාන්දු මුදල් විසි කර වියන්ගොඩ මිලට ගෙන ඇති බවයි. ඔහු විකිණී ඇති මුදලේ ප්‍රමාණය අනුව වියන්ගොඩගේ සයිටම් ලිපිය පලවන සති ගණන තීරණය වනු ඇත.

Wednesday, May 17, 2017

වෛද්‍ය හීංනිලමේ -මිනීමරු දොස්තර

රාගම වෙදකඩයට එරෙහි සටනේදී මරා දමන ලද වෙද සිසුන් පිරිසක්


ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය සේවයේ තුන්වැනි පංතියේ පරිපාලකයෙකු කලක් සේවය කර ඉන් ලද ආදායම් මදි වීම නිසා මුදල්  සෙවීමට නොයෙක් ආකාරයේ කයිරාටික කම් කල පුද්ගලයෙකි මෙම හීංනිලමේ. පසුව 1975 සිට දඟලා 1980 දී වෛද්‍ය අධ්‍යාපනය විකිණීම සඳහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලේ කිරීමට සැලසුම් කල නමුත් ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛ ලාංකීය ජනතාවගේ විරෝධය හමුවේ හික් මීයෙක් මෙන් පසුබැස ගියේය.

කෙසේ නමුත් මෙම පුද්ගලයා විස්න් කරන ලද මෙම පාදඩ ක්‍රියාවට එරෙහි වීම නිසා එවකට පැවති රජයේ සහයෝගය ඇතිව පුද්ගලික වෙද විදුහලට එරෙහි වූ වෙද සිසුන් ඇතුලු සිය ගනනක් සරසවි සිසුන් මරා දැමුණේය. වෙද සිසුන් වූ එච්.එම්. පොඩිබණ්ඩා, විමල් කුලතුංග, පාලිත සෙනෙවිරත්න, ජයශ්‍රී ජයසේකර, සිසිර කුමාර, නිශාන්ත තෙන්නකෝන්, උපාලි ජයසේකර, ඒ.එස්.එල්. අතපත්තු, උපුල් ඒකනායක, නීල් හේමන්ත ලියනගේ, සනත් ද සිල්වා, එම්.ඩී. ධර්මපාල, සුනිල් කුමාර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, රිෆ්ති සකාබ්, පූලස්ති ජයසේකර, සුනන්ද ජයවර්ධන, , . වෙනුර එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන, පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක, නිශාන්ත එදිරිවික්‍රම, වසන්ත කුලතුංග, ලීල් සමරනායක , විපුල ඒකනායක ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක් විය.

හීංනිලමේගේ මජර සිහිනය වූ පෞද්ගලික වෙද වීදුහලට එරෙහි සටනේදී මිය ගිය එම සිසුන් සියලු දෙනාගේ රුධිරය හීංනිලමේගේ දෑතේ තැවරී ඇත.

එසේ තිබියදීත් , මෙම කාලකණ්නි පුද්ගලයාට ආවඩන සමහර කොන්දොස්තරලා ලංකාවට ලැබෙන්නට තිබූ අවස්ථාව ඊනියා රාගම වෙද කඩය වැසීම නිසා නේපාලයට හා බංග්ලා දේශයට ලැබී ඇතැයි උඩු බුරලයි. වොඋනට කිව යුත්තේ බල්ලන් කොතරම් බිරුවත් නෙවිල් ප්‍රනාන්දුගේ කලු කඩය වසන තෙක් සයිටම් විරෝධී සටන ද ඉදිරියට යන බවයි. මක් නිසා ද යත් කොන්දොස්තරලා බිරුවාට කඳු පාත් නොවන
නිසාය.

Monday, May 15, 2017

සයිටමයට සිසුන් බඳවා ගැනීම නවතයි





සියලු ප්‍රශ්න විසඳන තෙක් මතබේදයට තුඩු දී ඇති සයිටම්  ආයතනයට නැවත සිසුන් බඳවා ගැනීම නවතන බව ආණ්ඩුව ගරු ගම්බීරාකාරව ශ්‍රී ලංකාවාසි ජනතාවට දැනුම් දී ඇත.

මාරය. මරේ මරුය. ඔන්න අපේ ආණ්ඩුව ... ආයි දෙකක් නැත. නෙවිල් ප්‍රනාන්දුගේ සල්ලි වලට නැවුනේ නැත. කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගෙන ඇත. දැන් අන්තරේ මල්ලිලාටත් , අයියලාටත් වෙන්නේ මොනවා ද කෑ රිලවුන් වගේ ඉන්නටය. ෂෝක්ය.

හැබයි නවක සිසුන් බඳවා නොගන්නට ගත් තීරණයට හේතු වුනු ඇත්තම කාරණාවත් කිව්වා නම්  සුපිරිය.

එනම්.... කිරිඇල්ලලා, රාජිතලා, රත්නප්‍රියලා, වියන්ගොඩලා, අජිත් පැරකුම්ලා කොච්චර කයිය ගැහුවත් ...

සයිටමයට අලුතෙන් ඇතුල් වීමට සිසුන්  අයදුම් නොකිරීමය. ඉතින් ඔයි ළමයි ඔය මගුලට ඇතුල් වෙන්න ඉල්ලන්නේ නැත්නම්, බලෙන් දාන්නය? බඳවා ගැනීම නවත්තනවා කියනවා මිස.

Wednesday, May 3, 2017

මැයි දිනය හා වෙනත් ප්‍රශ්න



මෙවර මැයි දිනයෙන් පසු බ්ලොග් වල ෆේස් බුකියේ හා වෙනත් සමාජ මාධ්‍යවල පලව තිබූ නානාප්‍රකාර පෝස්‍ටු දැකීමෙන් මගේ හිතේ පහල වූ ප්‍රශ්නාවලියයි.

1. මෙවර මැයි දිනයේ වැඩිම සෙනගක් ගෙනාවේ කුමන පක්ෂයද?

2. මැයි දින සැමරුමක් සාර්ථක වීමට නම් කොපමණ සෙනගක් ගෙන ආයුතුද?

3. ඉතාමත් සංවරව  මැයි දින සැමරුම කලේ කවුද?

4.. වර්ග මීටරයක ඉඩ ප්‍රමාණයක් මිනිසුන් කී දෙනෙකුන්ට සිටිය හැකිද?

5.. මැයි දිනය දා අරක්කු බීම හොඳද?

6. මෙවර මැයි දිනයේ අරක්කු බීමේ තරඟයෙන් දිනුවේ කවුද?

7. මැයි දිනයෙන් පසු හොඳින්ම පිට්ටනිය ශුද්ධ කලේ කවුද?

8.පොලිස්පති තුමන්ලා මැයි දින ‍රැලි නරඹන්නේ මැයි දිනයක් හොඳට කරන හැටි ඉගෙනගන්නද?

9.මැයි දිනය සංක්‍රාන්ති ලිංගිකයන්ට හොඳ නැත්ද?

10. මැයි දිනය යනු ඇත්තටම කුමක්ද?

කඩ ඉම් ප්‍රශ්නය- ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු ආසනය ලාංකීය විප්ලවයට බලපාන්නේ කෙසේද?