Tuesday, December 13, 2016

හම්බන්තොටදී කණ පැලුවම නරකයිද



 
 
රතුපස්වලදී වෙඩිතිබ්බම  හොඳද
හලාවතදී  මිනි මැරුවේ නැත්ද
 ක‍ටුනායකදී බිලිගත්තේ කවුද
එක්නැලිගොඩට  සිදු වූයේ කිම්ද

සූරියකන්දේ පොඩි උන් වල දැම්මාද
බටලන්දේ දංගෙඩි තිබුණේ නැත්ද
යටාරෝ කැපේ  වධ කුටි නොතිබුණිද
හිස් ගෙඩිවලට ඇණ ගහලා නොමැරුවාද
 
වන්නියේ ගැලුවේ  ලේ ගංගා නෙවෙද
නන්දිකඩාල්වල මෝටාර් නොවැදුණිද
බාලචන්ද්‍රලා කී දෙනෙකුන් වීද
දහසක් මව් වරුන් වැලපෙන්නේ ඇයිද

ඒ දෑ සිදු වෙද්දි ඔල්වර දුන්නාද
හිස්ගෙඩි වනා අනුමත නොකළාද
එහෙනම් යකුනේ උම්බෑ හඬ මොකද
හම්බන්තොටදී කණ පැලුවම නරකයිද

Saturday, December 10, 2016

මේ සේයාරුව කොතරම් අසභ්‍යද?



මේ කාන්තාව මරා මලකඳ බල්ලන්ට දමනු

එහෙම කියන්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම්  පිළිබඳ මහ  කොමසාරිස් ධූරය දරන සයිඩ් රාද් අල් අල් හුසේන් කුමරුගේ  සෞදි අරාබියේ ජනතාවයි.

මේ කාන්තාව මලාක් අල් ශෙහ්රි කර ඇති අපරාධය නම් ඉහත ඇති ඇගේ ඡායාරූපය තම ට්වීටර් ගිණුමේ ප්‍රසිද්ධ කිරීමයි. එනම් ප්‍රසිද්ධ ස්ථානයක තම බුර්කාව හා අභයා නම් වූ සිරුර වැසෙන සේ  අඳින ඇඳුම නො ඇඳ පෙනී සිටීමයි.

මානව හිමිකම් කොමසාරිස්ගේ රටේ මෙම අපරාධයට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය හැකිය.එක් එක් රටවල මානව හිමිකම් අර්ථ දැක් වීම් එහෙමය. එකේනෙකට වෙනස්ය.

 තවත් උදාහරණයක් ගන්නේ නම් ශ්‍රි ලංකාවේ මිනිසුන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම මානව හිමිකම් කැඩීමක් නොවීමට ඉඩ ඇති අතර එසේ පුද්ගල පැහැර ගැනීම් කරන්න වුන් හිරේ දැමීම මානව හිමිකම් කැඩීමකි.

Friday, December 9, 2016

නත්තල් ගහේ කථාව

 
දීර්ඝ නිද්‍රාවකට  වැටී සිටි අප දෙව් පියාණෝ පෘථිවිය දෙසින් නැගුනු මහ හඬක් නිසා අවදිව නෙත් පිස දමා වට පිට බලන්නේ ඒ හඬ නැගුනේ මාලිගාවත්ත ලී මෝලෙන්   එහි වැසියන්ගේ ක්‍රියා නිසාම උමතුලන්තය යැයි නම් ලද කොදෙව්වක් දෙසින් බව දැක තම දිවැස එදෙසට යොමා පරික්ෂා කරන්නට වන්නේ උන්වහන්සේ දු‍ටු දෙයින් කම්පිතව ගියාහුය.

කොදෙව්වේ බටහිර  දිසාව වෙරලත මහත් සේ උස වූ ගසක් නැගෙමින් තිබුණේ  ඊට මදක් එපිටින් තිබෙන්නා වූ නෙලුම් කුලුණ රාජයා ද  පසු කරන්නා සේය.ඉදින්  මහා වෘක්ෂ රාජයා වටා  සිටිමින් දුගී ජනයා  නොයෙක් අඳෝනා කියමින් වලප්නේය.

පරුෂ ‍රැවුලකින්ද ගෙල වටා සාටකයක් ද ඇත්තා වූ පුරුෂයෙක් ඉකි බිඳිමින් වලප්නේ " අහෝ නාස්තියක තරම, මේ ගස හදන්නා වූ මුදල  මට දුන්නේ නම් තවත් නෙලුම් කුලුනක් ,  තවත් ගුවන් තොටක්,මහනුවරට නැව් තොටක් ආදි වූ මහත් සංවර්ධන වැඩ කල හැකි නොවෙදැයි " කියන්නේය.

එබඳුම සාටකයකින් සැරසුණු  මුඩු මුහුණක්ද ඇත්තෙක්  " මේ නම්  මහත් අපරාධයක. ඉදින් මේ තරම් වූ ධනස්කන්දය මා හට ඇත්නම් මාගේ දුගී දරුවාට අමෙරිකාන දේශයෙන් නිවසක් ගන්නට තිබුණා නොවේදැයි" විලාප දෙන්නේය.

මහත් වූ උදරයකින්ද කබා කලිසමෙන්ද සැරසුණා වූ මිනිසෙක් කඳුලු සලමින් මේ සා වූ ධනය ඇත්නම්  තව බැඳුම්කර කීයක් නම්    ගන්නට හැකිවෙයිද කියා වලප්නේය.

කබා කුරුත්තමෙන්ද, සරමෙන්ද , බැනියමෙන්ද , ආදි වූ නොයෙක් වස්ත්‍රාබරණයෙන් සැරසී ගත් නොයෙක් දනා මහ හඬින් විලාප දෙමින්" අහෝ බෙන්සයක් ගත හැකි මුදලක්ය, යුරෝපාකරයේ සංචාරයක් යාමට නම්  සැහෙන මුදලක්ය, තව කීයක් හරි ඇත්නම් බී එම් ඩබලිවයක් ගත හැක්කේය, මාගේ කොලුට  රෝල්සොයියක් ගන්නට මේ මුදල් කන්ද මදි වේද" කිය කියා තැවෙන්නෝය.

ඉදින් මේ සා වූ මහත් අඳෝනා ඉවසා ගත නොහැකි වූ අප දෙව් සමිඳාණෝ උමතුලන්තයේ වසන්නා වූ තම පණිවුඩකාර මල්කමයා නම් වූ වහන්සේ බණවා " වහා තෙල පෙනෙන වෘක්ෂ රාජයා හැදීම නවත්වනු, එම මුදල් මේ විලාප දෙන ජනයා අතරේ බෙදා දී උන් සැනසුව මනාය යැයි වදාල සේක.

සටහන- ඉන් පසු සිදු වූ දේ  දැන ගැනීමට  හතේ පන්තියේ ඉතිහාස පොත කියවන්න.

Wednesday, December 7, 2016

අයියෝ ජයසුමන

 
 
අයියෝ ජයසුමන අයියෝ ජයසුමන
ඇදගෙන නාන පජ පජ ජයසුමන
නාථත් එක්ක බුදියන රජරට සුමන
මොන කල යාද උඹෙ සිසුනට සුමන
 
 
නලියාගේ මොට්ට ගෝලයා ජයසුමන
හොර පාරෙන්ද  ඩිග්‍රිය ගත්තේ සුමන
නාථ, පත්තිනි, කළුබණ්ඩාර ගේ සුමන
අයියෝ ජයසුමන වහ කාපං සුමන

Saturday, December 3, 2016

දඩ හා පාදඩ

රේස් ගිය බස් කරුවෙක් මාර්ගයේ අයිනෙන් ගිය පාපැදිකරුවෙකු යට කිරීමට  මොහොතකට පෙර


වර්ජන වලට එරෙහි වීම මගේ සාමාන්‍ය පිළිවෙත නොවේ. එහෙත් අද කෙරෙන මේ පෞද්ගලික බස් හා ත්‍රීරෝද රථ වර්ජනය ගැන නම් මගේ හිතේ යම් කුකුසක් පවතී.  මක් නිසාද යත්  මොවුන් වර්ජනය කර්රන්නේ අඩු වියදමින් මිනී මැරීමට අයිතිය ඉල්ලමින් නිසාය.

දැන් තිබෙන තත්වය අනුව , ලඟ එන සාමන්‍ය පෙල විභාගයත්    ඉලක්ක කරමින්  බස් කරුවන් ඇරඹී වර්ජනය ආණ්ඩුව දණ ගැසීමෙන් හා බස් කරුවන්ගේ ජයග්‍රහණයෙන් කෙලවර වීමට ඉඩ ඇත.

අනික් අතට ආණ්ඩුවට රිය අනතුරු වැලක්වීමට අවංක උවමනාවක් තිබේද යන්නත් ප්‍රශ්නයකි.හ. වැලේ වැල් නැතිව බඩ පිටට ඇලී ඇති යහපාලන ආණ්ඩුවට අවශ්‍ය හැකිතාක්  දඩ මුදල් හා බදු මුදල්  එකතු කර ගෙන එදාවේල ට්‍රැවල්ස් දුවන්නටය. ඒ මිස  රිය අනතුරු වැලක්වීමට නොවේ.

නොහික්මුණු , නොසංඩාල රියදුරන්ගේ ක්‍රියා නිසා නැතිවන ජීවිත ගැන අවංක කැක්කුමක් ඇත්නම් කළ යුත්තේ දඩ මුදල්; වැඩි කිරීම නොව එවන් මිනී මරන රීයදුරන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම අහෝසි කිරීමය. බස් වල මාර්ග බලපත් අහෝසි කිරීමය.

එසේ නොමැතිව දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවන්නේ , රවි කරුණානායක විසින් පොලීසියේ පඩි වැඩි කලා යැයි ජනතාව කරන විහිලුව සැබෑ වීම පමණි.

https://www.facebook.com/mhd.nasmi/videos/1228044683914092/

Friday, December 2, 2016

යහපාලනේ මාරද????



දේශපාලන විරුද්ධවාදින් මර්ධනය කිරීමේ යහපාලන ක්‍රමය යටතේ සිරගත කර සිටින පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ කුමාර් ගුණරත්නම් තම දඬුවම් කාලය ගෙවා, හෙට දින අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වෙනු ඇත..

බන්ධනාගාරයෙන් එලියට එන කුමාර්ගේ ඉරණම කුමක් වේදැයි මේ දක්වාම අවිනිශ්චිතව තිබුණද ඔහුට ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඊයේ සවස වාර්තාවිය.

එය එසේනම් දිගින් දිගටම නා ගත්  යහපාලන ආණ්ඩුව  කලකට පසුව ගත් හොඳ තීරණයකි.
දැන් යහපාලන වාදින්, ඔන්න ඕකයි යහපාලනේ වෙනස ,  කොහොමද වෙනස, කියමින් උදම් අනනු ඇත.

එහෙත් ආණ්ඩුවට එම තීරණය ගැනීමට සිදු වූයේ  කුමාර් ගුණරත්නම්ගේ පෙ.ස.පෙ  තවත් වාමාංශික හා නිදහස් මතධාරින් එක්ව දිගින් දිගටම කළ බලපෑම් නිසා මිස යහපාලනයේ හොඳකමක්  නිසා  නම් නොවේ,එසේම ජාත්‍යන්තරයෙන් ද සමහර විට ආණ්ඩුවට බලපෑමක් එන්නට ඇත.

ඒ නිසා යහපාලනය මාරයි කියමින් උදම් අනන්නට දෙයක්  කුමාර් සිද්ධියේ නැති බව යහපාලන අනුගාමිකයන්  හා අනිකුත් සියලු දෙනා මතකයේ තබා ගැනීම අනාගතයට වැඩ දායක වනු ඇත.

නිදහසේ සිටි මිනිසෙක් අල්ලා හිරගෙට දමා ඔහු නිදහස් වූ පසු  " ඔන්න අපි මිනිහා එලියට දැම්මා, ඒ විතරක් නෙවේ රටෙන් පන්නන්නේ ත් නෑ . . අපි හතුරන්ට වුණත් සමාව දෙනවා. ඒ නිසා අපි හරි හොඳයි" කීම විලි ලැජ්ජා නැති බංකොලොත් වැඩකි.

එසේම කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන " කුමාර් කෙනෙක් අඳුනන්නේවත් නැති" ජවිපෙ නායකයින්ට එල්ල වූ චෝදනා ගැනද ඔවුන් සෑහෙන පිළිතුරක් , පිලිගත හැකි මට්ටමේ පිළිතුරක් දෙනු ඇතැයි සිතිය නොහැක. සමහර විට මේ ගැන චතුර සේනාරත්න යමක් පවසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අවසන් වශයෙන් කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන රෝහිත භාෂණ අබේවර්ධන  JDS වෙබ් අඩවියේ තැබූ සටහනක් අමුණන්නේ එය අපේ පරම්පරාවේ කතාව නිසාය.

ප්‍රේම‍කුමාර් ගුණරත්නම් වනාහී කාමභෝගී චෞර මහල්ලන්ගේ දොළ පිණිස නීතිපොත් පෙරළා බලා පිටුවහල් කළ යුතු  'ඕස්ට්‍රේලියානුවෙක්ක්' නොවේ. ලෙයින් ලියැවුණු දකුණු ලංකාවේ දුක්බර ඉතිහාසයක මතක අග්නියෙන් කැළැල් වූ හදක් ඇති මගේ පරම්පරාවේ සහෝදරයෙකි. ඔහුගේ නිදහසට පිටුපෑම යුක්තිය අහිමි කළ මගේ පරපුරේ ලේ වැකි මතකයට පිටුපෑමකි.☐

Thursday, December 1, 2016

කස්ත්‍රෝ හා අපි-Hasta la victoria siempre

අපට නම් ‍ෆිඩෙල් කැස්ත්‍රෝ යනු  පීඩනයට එරෙහිව නිදහසේ  හා මානව දයාවේ 
සිහින  සමග අවි අතට ගත්   පරම්පරාවක අවසන් පුරුකයි.

ෆිඩෙල් කැස්ත්‍රෝ ගේ මරණය ගැන කියුබාවෙන් පලා ගොස් ඇමෙරිකාවේ ලැගුම් ගෙන සිටින කියුබානු සංක්‍රමණිකයන්ගේ සිට ලංකාවේ පැරණි වමේ මෘත කලේබර දක්වා වූ බොහෝ දෙනෙකුන් සතු‍ටු  වෙමින් සිටී.

ඉන් එක් අයෙකු වන අපගේ ශූර බ්ලොග් කාර W3LANKA පැරකුම් කියන්නේ "කස්ත්‍රො මිය ගියා ය කියලා ඔහුට  නම් කිසිම හැඟීමක් නැති බවයි".  ඒ ඔහුට දැනෙන ආකාරයයි.


අපේ තව සමහරක් අමු අමුවේම ඇමෙරිකානු මාධ්‍ය කොපි කරමින්  කැස්ත්‍රෝට පෙර කියුබාවේ තිබූ  ශ්‍රී විභූතියක් ගැන දොඩවති.ඒ බව පෙන්වමින් සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරති. ඔවුනට අනුව පූර්ව කැස්ත්‍රෝ කියුබාව යනු යුරෝපයටත් වඩා දියුණු රටකි. හවානාවේ තිබූ කැඩිලක් රථ ප්‍රමාණය ගැන සුසුම් ලන මේ බුඩ්ඩිමතුන්  ලෝකයේ වැඩිම කැඩිලක් ආනයන ය තිබුණේ කියුබාවේ බව අපට කියති.

එහෙත් ඔවුන් නොකියන දේ... එක්කෝ නොදැන හෝ දැනගෙනම සඟවමින්-..... වන්නේ මෙම සැප රථ ගෙන ආවේ අතලොස්සක් වූ කියුබානු  ධනපතියන්ට හා කියුබාවේ නිවාඩු ගත කිරීමට පැමිණෙන ඇමෙරිකානු ධනපතියන්ගේ ප්‍රයෝජනයට බවයි.එකල කියුබාව වූ කලී ඇමෙරිකානු සංචාරකයින්ගේ සූදු පිටිය  හා ගණිකා මඩම වූ බවයි.

පූර්ව විප්ලවීය කියුබාවේ දරුවන්ගෙන් අඩකට වැඩි  පිරිසක් මන්දපෝෂණ්යෙන් පෙලෙමින් කොකු පණු රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටි  බව හා එකල කියුබාවේ එක් කොණක සිට අනික් කොණ දක්වා වූ මහා උක්වතු එක්කෝ ඇමෙරිකානු සමාගම් හෝ අතලොස්සක් වූ කියුබානු කෝටිපතියන්ට අයත් තිබුණු බව ඔවුන්  නොදනිති. නැතහොත් ඒ බවක් හඟවති.

කැස්ත්‍රෝගේ විප්ලවයෙන් හානි වූයේ ඒ අතලොස්සක් දෙනාට හා කියුබානු පොලවේ සාරය උරා බිව් ඇමෙරිකානු සමාගම් වලටය.
කැස්ත්‍රෝගේ අභාවය ගැන ශෝක වෙමින් දස දහස් ගණන් තරුණ , බාල මහලු කියුබානුවන් පාරට බැස  ශෝක වන්නේ ඒ නිසාය.නමුත් අපේ බුඩ්ඩිමතුන් සිටගන්නේ කැස්ත්‍රෝගේ අභාවය ගැන ප්‍රීති වන අතලොස්සක් වූ  ඒ පරාජිත පිරිස් සමගය. වන්නාටය.

සටහන- 1962 දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් බේ ඔෆ් පිග් නැමැති ස්ථානයෙදී    , කියුබාවෙන් පලා ඇවිත් සිටි  කියුබානුවන් පිරිසක් යොදවා කියුබාව ආක්‍රමණය කිරීමට  දැරූ උත්සාහය ලජ්ජා සහගත ප්‍රාජයකින් කෙලවර විය. ඔවුන් ගේ ඒ ආක්‍රමණය එදා ඇමෙරිකාව හැඳින්වූයේ කියුබානුවන්ට නිදහස ලබා දීමේ උත්සාහයක් ලෙසය.
කීර්තිමත් දාර්ශනිකයෙක් හා දේශපාලන විචාරකයෙන් වූ බර්ට්‍රන්ඩ් රසල් ඒ ගැන කිව්වේ " කියුබානුවන්ට නිදහස ලබා දෙන්නෙමුයි ඇමෙරිකාව කියන විට ඉන් අදහස් වන්නේ කියුබානු දරුවන්ට නැවතත් මන්දපෝෂණය හා කොකු පණු රෝගයත් , කියුබාවේ උක්වතු ඇමෙරිකානු සමාගම් වලට ලබා දීමත් බවයි"-
Unarmed Victory- Burtrand Russel







Thursday, November 24, 2016

ඉර හඳ පෙන්නුව ලෝකේ



ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 බාගෙට කාලා දිවි මග වැනවෙන //
ජීවිත නට්ටම් වේ
 රොකට් එකක් යන සේ //
බඩු මිල   තව වැඩි වේ.
දඩ කොල, ජල බිල  වැඩි වෙන වේගේ//
 ජීවිත සමතල වේ
මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 වැඩිවන වියදම   මැඩලනු බැරි වී  //
බදු බර තව වැඩි වේ.
බත් පත වැලි  මුසුවේ
 යහ පාලන වගුරේ මන්ත්‍රිට සැප වැඩි වේ. //
බෙන්ස් කාර් හිනැහේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ

Wednesday, November 23, 2016

ඉරා අඳුරු පට


ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ

ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ
මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස්
රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා
අහස් ගඟේ

ඉර හඳ නැති වී සුළඟ සසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

ගායනය - සනත් නන්දසිරි
පදමාලාව  -චන්ද්‍රසිරි පල්ලියගුරු
  සංගීතය - ප්‍රේමසිරි කේමදාස

1974 වසරේ තිරගත වූ අහස් ගව්ව චිත්‍රපටයේ තේමා ගීතය.
 
රඟපෑවෝ-
විමල් කුමාර ද කොස්තා, අමරසිරි කලංසූරිය, විජය කුමාරතුංග,වික්‍රම  බෝගොඩ,
 ස්වර්ණා ඹල්ලවාරච්චි, බන්දුල විතානගෙ, මැණික් කුරුකුලසුරිය, මාලිනි ෆොන්සෙකා, සෝමසිරි දෙහිපිටිය,
සිරිල් වික්‍රමගෙ, අලෙක්සැන්ඩැර් ප්‍රනාන්දු, දයා තෙන්නකෝන්

Tuesday, November 22, 2016

චීන පටස්




චීනපටස් යනු මහ හඬක් නගමින් පුපුරා යන  ගිනි කෙලි විශේෂයකි. ඒ අකාරයේ  ගිනි කෙලියක් පසුගිය දාක  ලංකාවේ චීන තානාපති පැවත්වුවේය. . ඒ ලංකාවේ මුදල්  ඇමති රවී කරුණානායකත්, ලංකාණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියත් , ප්‍රසිද්ධ මාධ්‍ය සාකාච්ඡාවක් පවත්වමින්  විවේචනය කිරීමෙනි.

තානාපති යී ශියාං ලිං ගේ මේ ක්‍රියාව ලෝකය පිලිගත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. දේශපාලන පොතේ වචන වලින් කියන්නේ නම් රටේ ස්වෛරී භාවය කෙළෙසා දැමීමකි. අභ්‍යන්තර  ප්‍රශ්න වලට අත දැමීමකි.  එය 1987 දී ඉන්දියාව විසින් ලංකාවට ගුවනින් පරිප්පු දැම්මා බඳු ක්‍රියාවකි.

එහෙත් ඒ ගැන සියලු දෙනා නිහඬය. මේ කථාව ඇමෙරිකානු තානාපති හෝ යුරෝපීය රටක තානාපතියෙක් විසින් සිදු කළේ නම් වීරවංශ/ගම්මන්පිල  හවුල එම රටේ තානාපති කාර්යාලය වටලා , අදාල නිලධාරියා රටෙන් එලවන ලෙස බල කරමින් මහා උපවාසයක් අරඹනු නිසැකය.  එහෙත් ඔවුන්ගෙන් කෙඳිරිලි හඬක් වත් නැත. චීනය විසින් සිදු කළ රටේ ස්වෛරීභාවය කෙළෙසීම ගැන මේ මහා දේශප්‍රේමින්ට වගක් වත් නැති හැටියකි. ඒ අනුව පෙනී යන්නේ  රටේ ගෞරවය , ස්වෛරීභාවය , ජාතික ආරක්ෂාව , හා එබඳු තවත් බොහෝ දේ , පිලිබඳ දේශප්‍රේමීන්ගේ ප්‍රතිචාර රඳා පවතින්නේ  හුදෙක් එම කරුණු මත නොව තමගේ පක්ෂපාතිත්වය අනුව බවය. කෙටියෙන් කිවහොත් චීනයට අප රට කෙරෙහි එලෙස හැසීරීමට ලයිසන් ඇති බවත් ලංකාව චීනයේ යටත් විජිතයක් බවත්    එම දේශප්‍රේමින් සිතනවා  විය යුතුය.

එසේම ලංකාවේ රජය කොතරම් දුර්වලද යන්න එම සිදු වීම අපට පෙන්වා දෙයි. තම රජයේ ප්‍රබල ඇමත්තෙකුට එරෙහි ව තානාපතියෙකු එල්ල කළ ප්‍රහාරය පිළිබඳව රජය ද අනුගමනය කළේ නිහඬ හා නිවට ලෙසිනි. ඒ ගැන කිසිම රාජ්‍යතාන්ත්‍රික විරෝධය පෑමක් සිදු නොවීය. කොන්ද පණ  ඇති රජයක් නම් කළ යුතුව තිබුණේ වහාම තානාපති ශියාං ලිං පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමය. එහෙත් කඩා වැටෙන ආර්ථිකයක් සහිත ලංකාවේ රජය එතරම් නිර්භීත නොවනු ඇත.

චීන තානාපතිගේ කථාව ට එරෙහිව යම්තම් කෙඳිරියක් බඳු හඬක් නැගුවේ ප්‍රහාරයට ලක් වූ මුදල් ඇමතිවරයා පමණි. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට මිතුරෙක් පවා රජය තුල නොසිටීම ද   අපූරුය.

සටහන-1990 ගණන් වලදී මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවකදී වූ සිදු වීමක් නිසා එවක පැවති ප්‍රේමදාස ආණ්ඩුව සිද්ධියට මැදිහත් වූ බ්‍රිතාන්‍ය තානාපති ග්ලැඩ්ස්ටන් රටෙන් නෙරපා දැමුවේය.

Friday, November 18, 2016

නොමිලේ වයි ෆයි

 
 
නොමිලේ දෙනවා  වයි ෆයි කී උන්දෑලා
කෙලියා වැට් එක්ක තව ටැක්ස්  'ටහිකෙන්න
මක්කා කොරන්නද කියලා හිතන කොට
ටැබ් එකකුත් දෙනවාලු  රෙද්ද තමා
 
 
සීනි කිලෝවෙන්   දෙක බේරා ගත්තු
මැති උතුමන්ලාට තව තව සැප දෙන්ට
නෙලුම් කොලෙන් බත් කනවා එතුමානෝ
අයියෝ යහපාලනේ අයිඅයියො
 
_රංචාගොඩ ළමයා-
 





Sunday, November 13, 2016

කිසිවක් සිදුව නැත ---------



මහවත්ත කදු බිම නිසලය
උසැති ගල්කුලු අතර
දැවී නටඹුන් වූ පැලකි...
පෙර මග බලා සිටිනා......
කිසිවෙකුත් නැත
නිදිකුම්බා මලක්වත්.......
පෙරලුණු බූරූ ඇද
වේ පසින් වැසින
සමන් පිච්ච පදුර අස
ගවුම් පොඩියක් දිරා යයි
බෝනික්කෙකුගේ හිසක්
උදුරා නොදැමුණු අනිත් ඇසින්.....
අරංගල පල්ලම දෙස බලා සිටී
කිසිවක් ...
කිසිවක් සිදු නොවු ලෙස
කිසිවක් සිදුව නැත
කොලුවකු එළිපත්ත මත
වාඩි වී සිටී
බෙදු බත් පිගානක් කුස්සියේය
කිසිවක් සිදුව නැත
_________________________
 
1989 දී හමුදාව විසින් අරංගල මහ වත්තේදී තම පවුලේ සියල්ලන් ඝාතනය කල පසු සිර කදවුර තුල උමතු වූ පාලිත සහෝදරයාගේ මතකය නිර්නාමික සහෝදරයෙක් ලියා තිබූ අයුරු

Friday, November 11, 2016

බබා ලගේ හීන හා අපේ හීන

කා‍ටුනය අවන්ත ආටිගලගේ ෆේස්බුක් පි‍ටුවෙන් උස්සන ලදි

සජිත් බබා පොඩි කාලේ ඉඳලා හැදුනේ උදාගම් සංකල්පය යටතේය. සජිත් බබාගේ තාත්තා රට ඇල්ලුවේ උදාගම් හරහාය,. ඉතින් සජිත් බබාත් හිතන් ඉන්නේ උදාගම් හරහා රට ඇල්ලීමටය. බබා නිවාස අමාත්‍යාංශය ඉල්ලා ගත්තේත් මේ හීනය නිසාය.බබාගේ මුළු ලෝකයම  එකම උදාගමක්ය. බබා රෑට හීනෙන් දකින්නෙත් උදාගම්ය. කොටින්ම කිව්වොත් බබා කන්නෙත් බොන්නෙත් නාන්නෙත් උදාගම් ගැන හීන දකිමින්ය.

සජිත් බබා උදාගමෙන් උදාගමට පැන පැන ගොහින් රට අල්ලන හැටි  හීන දකිමින් ඉන්න අතරේ අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වුනේය. හීනෙන්වත් අමරදේවගේ සිංදුවක් නො අහපු අය එක පැයෙන් අමරදේව  ෆෑන්ස් ලා වුනෝය. ශෝක ප්‍රකාශ, කවි, සිංදු , අන්තර් ජාල, ෆේස්බුකි, පත්තර පි‍ටු, ටී.වී , රේඩියෝ හරහා දෝරේ ගලා යන්නට වුනේය.

තමනුත් අමරදේව මාස්ටර් ගැන ප්‍රකාශයක් නොකොලොත් හොඳ නැති බව හිතූ බබා හම්බන්තොට පැත්තේ උත්සවයකදී , ඇඟිලිවලින් මදක් ඉස්සී මෙහෙම කිව්වේය.

" මම අමරදේව තුමාට ගෞරව පිණිස සතියක් ඇතුලත උදාගමක් හදලා ඒක අමරදේව උදාගම කියලා නම් කරනවාය"

සටහන 1 - අපේ මෛත්‍රී ජනාධිපති තුමා ද සජිත් බබාට දෙවැනි නොවෙන්නට හිතා අමරදේව මාස්ටර්ගේ අවමගුලේ දී කියා හිටියේ අමරදේවට ගෞරව පිණිස අමරදේව සංගීත ආශ්‍රමය කියා එකක් හදන බවකි. ඉතින් අපේ යහපාලන ආණ්ඩුව කොතරම් කාර්යක්ෂම ද කිව්වොත් ඊ ලඟ සතියේ තිබුණු අය වැය කතාවේ දී මුදල් ඇමති තුමා ඒ ආශ්‍රමය හදන්න රුපියල් මිලියන 25ක් ම වෙන් කලේය.

සටහන 2- පහුගිය කාලයේ ඇමති ගොල්ලන්ට  වාහන ගෙන්වීමට රුපියල් මිලියන 1175ක්ම  වෙන් කලේ ය.

Thursday, November 10, 2016

යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය

1989දී පැහැරගත් සිය පුතුන්ගේ සේයා රූ සමඟ මාතලේ උකුවෙල වරාකන්දවත්තේ කේ.ජී. කමලාවතී මාතාව 2013 වසරේ දී
 
ත්තොට, ගුරුබැබිල පදිංචි ටී.එම් මුදලි මැණිකේ අම්මා වරක් ජනාධිපති ප්‍රේමදාසට මෙසේ ලියා යැව්වා ය.
"උතුමාණනි,
ගරු ජනාධිපතිතුමන් වෙත ඉතා සංවේගයෙන් ලියමි.
ටී.එම් මුදලි මැණිකේ වන මගේ පුතු ටී.එම් තෙන්නකෝන් බණ්ඩා ය. මාගේ පුතු 27 හැවිරිදි ය. මාතලේ රත්තොට පොලිසියේ නිළධාරීන් පුතු සෙවීමට පැමිණි විට මම ඔහු  රැගෙන ගොස් එම නිළධාරින්ට භාර කළා. එම බාර දීමෙන් පසුව කිසිම තොරතුරක් ලැබුනේ නැත.
මම මේ ලිපිය ලියන්නේ ඔබතුමන්ගේ සහයෝගය ඇතුව මගේ පුතා සොයා ගැනීමටයි. ගරු ජනාධිපතිතුමනි, මගේ පුතා සොයා දෙන්න කියා මම ඉල්ලා සිටිමි. මගේ පුතාට විපතක් කරදරයක් වෙන්න ඉඩ නොදී සොයා දෙන්න කියා මම මෙතනනින් නවතිමි.
මෙයට පුතුගේ මව් ටී.එම් මුදලි මැණිකේ"
 
දශක දෙක හමාරකට කලින් මේ ලිපිය ලියූ අම්මාට සිය පුතු හමු වී යැයි කියන්නට කිසිදු සාක්‍ෂියක් අප හමුවේ නොවේ. එහෙත් දස දහස් සංඛ්‍යාත මනුෂ්‍යයන් රහසේ මරා පුළුස්සා දැමූ හෝ මිහිදන් කළ  ඒ අන්ධකාර යුගයේ දි ගුරුබැබිල මුදලි මැණිකේ අනන්ත දුක් විඳ උස් මහත් කළ තෙන්නකෝන් බණ්ඩා ද ඇතැම් විට එසේ මැකී ගිය මිනිස් ප්‍රාණයන් අතර එක් ගොදුරක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බොහෝ සාක්‍ෂි ඕනෑ තරම් ඇති බව අපි දනිමු. සිය පුතුට නපුරක් නොකොට යළි තමන් වෙත එවන්නැයි රටේ පාලකයාට ආයාචනා කරමින් ෆූල්ස් කැප් කොලයක ඇය ලියු ලිපියේ  නිළ මුද්‍රාවන් කිහිපයක්ම සටහන්ව තිබේ. අකුරු වියැකී දුර්වර්ණ වන තරමට රාජ්‍ය ආයතනයෙන් ආයතනයටත්, නිලධාරීන් අතින් අතටත් යන්නට ඇතැයි සිතිය හැකි ඇගේ ලිපිය අවසානයේ නතරව ඇත්තේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් පත්කරනු ලැබු  වයඹ, මධ්‍යම, උතුරුමැද හා ඌව පළාත්වල පැහැරගෙන යාම් හා අතුරුදහන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ය.

ජීවිතයකට ජීවිතයක්
එවකදී 60 වැනි වියෙහි පසුවු මුදලි මැණිකේ මාතාව, ටී. සුන්දරලිංගම් සභාපතිත්වය දැරු අදාළ කොමිසම හමුවේ 1995 සැප්තැම්බර් මාසයේ 18 වැනි දා සාක්‍ෂි දෙමින් මෙසේ කියා සිටියාය.

''අතුරුදහන්ව සිටින තෙන්නකෝන් බණ්ඩා මගේ පුතා. අතුරුදහන් වන විට වයස අවුරුදු 23 යි.1989 දි පුතාව පොලිසියෙන් හෙව්වා. හමුදාවෙන් ගෙදරට ආවා පුතාව හොයාගෙන. ඒ නිසා පුතා හැංගිලා හිටියේ. පුතා වෙනුවට වීරසිංහ බණ්ඩා බෑනාව හමුදාවෙන් අරන් ගියා. 1989 නොවැම්බර් 23 දින පුතාව එක්ක ගිහින් රත්තොට කඳවුරට භාරදුන්නා. පුතා භාර දුන්නම බෑනා එව්වා. පසුව පුතා බලන්න ගියාම කිව්වා පුතාව විජය කොලජ් එකේ රැඳවුම් කඳවුරට යැවුවා කියලා. ඊට පසුව කවදාවත් පුතාව විජය කොලෙජ් එකේ කඳවුරේදි දැක්කේ නැහැ. කඳවුරුවල හොයලා බැලුවත් අද වන තුරු දැක්කේ නැහැ. මාත් එක්ක අද ඇවිත් ඉන්න මගේ දුව රත්තොට කඳවුරේදි වරක් පුතාව දැක්කා කිවුවා''.

එම කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් රත්තොට පොලිස් වසමේ ගුරු බැබිල, මැටිහක්‍ක ග්‍රාමයේ පදිංචි වීරසිංහ කඩේ ගෙදර වීරසිංහ බණ්ඩා කියා ඇත්තේ සේවය අවසන්ව නිවසට පැමිණෙමින් සිටියදි යුද හමුදාව තමන්ව අල්ලා ගෙන රත්තොට කඳවුරට රැගෙන ගිය බවයි.
''මම විවාහ කරගෙන ඉන්නේ තෙන්නකෝන් බණ්ඩාගේ සහෝදරියව. 1989 සැප්තැම්බර් 19 වැනි දින මාව හමුදාවෙන් අල්ලාගෙන රත්තොට හමුදා කඳවුරට රැගෙන ගියා. මාව අල්ලා ගෙන තෙන්නකෝන් බණ්ඩා කියන්නේ කවුද, දසනායක කියන්නේ කවුද කියලා ඇහුවා. ඒ අයගේ ගෙවල් පෙන්වන්න කිවුවා. දසනායකගේ ගේ පෙන්නුවාම ඒ මහත්තයාගේ ළමයාව අල්ලා ගත්තා. එතනදීම මගේ කමිසය ඉරලා අත් දෙක පිටු පස්සට කරලා බැන්ඳා. පස්සේ තෙන්නකෝන්ගේ විස්තර කියන්න කියලා මට ගගහා කෑම්ප් එකට අරන් ගියා. 23 වැනිදා මාව නිදහස් කළේ තෙන්නකෝන්ව අත්අඩංගුවට ගත්තට පසුවයි''.


මුදලි මැණිකේ සිය පුතු රත්තොට පොලිසියට භාර දෙන්නට ඇත්තේ තම දියණියගේ සැමියා බේරා ගැනීමේ අටියෙන් මුත් එය ජීවිතයකට ජීවිතයක් හුවමාරු කිරීමකැයි ඇය කිසිවිටක නොසිතන්නට ඇත. නමුත් ඈ වැනි බොහෝ දෙනෙක් නින්දා තර්ජන හා පරුෂ බස් ඉවසා හමුදා කඳවුරුවල යකඩ වැටවල්වලින් එබී බලමින් තම ආදරණීයයන් ඒවායෙහි සිටි දැයි කොතෙක් සොයන්නට ඇතිදැයි මතක ඇත්තෝ දැන් විරල ය. නමුත් අතුරුදහන්කෙරු, පැහැරගෙන ගියා වු හෝ මරා දැමුවා වු තම සමීපතමයා තමන් සමග සිටි අවසන් තත්පර කිහිපය පිළිබඳ මතකය කැටිකොට ඔවුන්ව සොයා දෙන්නැයි ආයාචනා කරමින් බලධාරින් වෙත ලියා ඇති පැරණි ලිපි යළි කියවීම හද කම්පා කරවන සුළු ය. මතකයෙන් මකා දමන ලද ඉතිහාසයේ එක් යුගයක් නිරවුල් විනිශ්චයට ලක් කිරීමට හැකි එවන් සටහන් සහ සාක්ෂි සම්පිණ්ඩනයන් යළිත් පෙරළා බලන කවරෙකු හෝ රණකාමී වීරත්වය පිළිබඳ වත්මනෙහි රජයන බොල් විශ්වාසයන් හි සරණ යතැයි සිතීම අසීරු ය. යුක්තිය ඉටු නොවූ අතීත සංහාරයක බිහිසුණු උරුමය අමතක කොට  'අපේ හමුදා යුද අපරාධ නොකළ බව'ට අදහන්නට දශක දෙක හමාරක් තිස්සේ හුරු කළ පරම්පරාවන් මේ සටහන් යළිත් කියවා බැලීමට පොළඹවාලිය යුත්තේ ජනවාර්ගික බෙදුම්රේඛා නොතකා යුක්තිය ගැන සිතන්නට අවශ්‍ය විචාර බුද්ධිය අවදි කරනු පිණිස ය.


පිළිස්සූ මළ සිරුරු


මාතලේ, උඩස්ගිරිය, කොස්වත්ත ග්‍රාමයේ පදිංචිව සිටි එවකට 33 හැවිරිදි වියේ පසුවු එරමුදු ගෙදර කාන්ති පුෂ්පලතා නැමැත්තිය 1995 සැප්තැම්බර් 27 දින අදාළ කොමිසම හමුවෙහි සාක්ෂි දෙමින් තම විවාහක පුරුෂයා වු පී.ඩී කරුණාරත්න නැමති අයගේ අතුරුදහන්වීම සම්බන්ධව කියා සිටිනුයේ මෙවැන්නකි:


''පී.ඩී කරුණාරත්න මගේ ස්වාමී පුරුෂයා 1989 නොවැම්බර් 04 වැනි දින සවස 4ත් 5 ත් අතර කාලයේදි නිවස අසල කඩයේදි  යටවත්ත හමුදා  කඳවුරෙන් පැමිණි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මගේ මහත්තයාව අත්අඩංගුවට අරගන්නවා කඩේ මුදලාලිත්, ගුණසේන යන අයත් දැක තිබෙනවා. මහත්තයාව රැගෙන යාමට පැමිණි හමුදා නිළධාරින්ව හොඳින් හඳුනමි.ඔවුන් යටවත්ත හමුදා කඳවුරේ පළමුවැනි හමුදා රෙජිමේන්තුවේ කෝප්‍රල් විමලසිරි, කැප්ටන් බණ්ඩාර ඇතුළු පිරිසකි. මගේ මහත්තයාව දින හයක් යටවත්ත කඳවුරේ තියාගෙන සිටියා.

ඔහු බේරා ගැනීම සඳහා කොම්පඤ්ඥවීදිය හමුදා කඳවුරේ ලොකු නිළධාරියෙකුගෙන් ලිපියක් අරන් ඇවිත් දුන්නා. ඒ අතර මගේ මවත් හමුදාවෙන් අල්ලන් ගියා. ලිපිය දෙන්න යන කොට මාවත් අල්ලා ගත්තා. යටවත්ත කඳවුරේ මහත්තයා සිටිය කාමරයටම මාවත් දැම්මා. පසුදා තුනට මාව නිදහස් කළත් පුරුෂයාව තියා ගත්තා."1989 දෙසැම්බර් 25 වැනි දින පුරුෂයා බැලීමට මම කඳවුරට ගියත් ඔහු එහි සිටියේ නැහැ. මට කිව්වා මාතලේට අරන් ගිය බව. නමුත් ඔහු වෙන කිසිම කඳවුරක සිටියේ නැහැ. පස්සේ මට ආරංචි වුණා වල්ලේවෙල හන්දියේ පුච්චලා දමා තිබෙන බවට. මා එහි ගොස් බැලුවේ නැහැ. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා දුව වයස අවුරුදු 14 යි. දෙවැනි පුතාට වයස අවුරුදු 12 යි''

කාන්ති පුෂ්පලතාගේ සැමියාගේ අතුරුදහන්වීම පිළිබඳව එගොඩපිටියේ ‍ගෙදර අනුර ජයරත්න නැමැති අය  අතුරුදහන්වුන් පිළිබඳ කොමිසමේ සභාපති ටි.සුන්දරලිංගම් ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටිනුයේ යටවත්ත කඳවුරේ තමන් සමග එකට සිටි 'රසික' නම් රැඳවියෙකු දිනක් තමන් හමුවට පැමිණ හමුදාවෙන් කරුණාරත්නට පහරදී මරා දමා පුළුස්සා දැමීමට රැගෙන ගියා යැයි කියු බවයි.

ඔහුගේ ප්‍රකාශයෙ හි මෙසේ සඳහන් වේ: ''මම එගොඩපිටියේ ගෙදර අනුර ජයරත්න. පදිංචිය එගොඩපිටිය, උඩස්ගිරිය, මාතලේ. වයස අවුරුදු 28 යි. සිංහල බුද්ධාගම. අතුරුදහන් කරුණාරත්න යන අය මා ගමේදි හොඳින් හඳුනමි. ඔහුව යටවත්ත හමුදා කඳවුරෙන් 1989 නොවැම්බර් 04 වැනි දින රැගෙන ගිය බව ආරංචි වුණා. හමුදා කඳවුරට පැමිණෙන ලෙස මගේ අම්මා අතේ මටත් දන්වා එවා තිබුණා. මා 1989 නොවැම්බර් 11 දින යටවත්ත කඳවුරට ගොස් භාර වුණා. එහිදි වරෙක කරුණාරත්න මට කිවුවා මල්ලිලා ආව එක හොඳයි කියා. එම කඳවුරේ මා දින 12 රඳවාගෙන සිටියා. එක් දිනක් රාත්‍රි 9 ට පමණ ගහන්න එපා‍‍, ගහන්න එපා යනුවෙන් මහ හඬින් කෑගසනවා ඇසුනා.පසු දිනෙක එම කඳවුරෙම රඳවා සිටි රසික නම් අයෙක් මට ඇවිත් කිවුවා හමුදාවෙන් කරුණාරත්නට ගහලා,ගහලා මරලා දාලා පුලුස්සා දාන්න වාලවෙල හන්දියට ගෙන ගිය බව''.

මාතලේ දිස්ත්‍රිකය පුරා තැන තැන ස්ථානගත කොට තිබුණු හමුදා කඳවුරු, රැඳවුම් මධ්‍යස්ථානයන් මෙන්ම නොයෙක් නම්වලින් පසුකලක හඳුනා ගත් වධකාගාරයන් බොහෝමයක සිදුවු දෑ එයින් වසර කිහිපයකට පසුව යම් තරමින් හෝ හෙළිදරව් වුණද ඒවායෙහි ගොදුරු බවට පත්වුවන්ට ඉටුවු යුක්තියක් නොමැත. එනිසාම බොහෝ දෙනෙකුට සිදුවුයේ බලාපොරොත්තුව පමණක් ඉතිරි කොටගෙන පැමිණිළි කළ හැකි, යුක්තියක් යැදිය හැකි තැනින් තැන රස්තියාදු වී හිස් අතින් පිටව යෑමට ය. ඉක්බිති ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන්ම  මිය යාමට ය.

මාතලේ ඕවිලිකන්ද ,රත්තොට ආදි ප්‍රදේශයන්හි පිහිටුවා තිබුණු හමුදා කඳවුරුවලටත්, විජය විද්‍යාලයේ පිහිටුවා තිබුණු හමුදා වධකාගාරයටත් රැගෙන ගිය බොහෝ දෙනෙකුන් නැවත පණ පිටින් පැමිණි නැති බව අදාළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කොට ඇති පැමිණිළි සහ ලිපි මගින් සනාථ වේ. ජනාධිපති කොමිසම් සභා සහ වෙනත් පුද්ගලයන් වෙත ඉදිරිපත් කොට ඇති ලිපිවල ඉතා පැහැදිලිව සඳහන් වන්නේ 'ඕවිලිකන්ද සහ රත්තොට හමුදා කඳවුරුවලින්' පැමිණි හමුදා පිරිස් දිනපතාම ප්‍රදේශයේ නිවෙස් වටකොට විශාල වශයෙන් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඇති බවටයි.

ඕවිලිකන්ද සහ රත්තොට වධකබිම්

මේ ‍ඕවිලිකන්ද, රත්තොට මෙන්ම  මාතලේ අනෙකුත් ප්‍රදේශයන්වලින් වාර්තා වු පුද්ගල අතුරුදහන් කිරීම් සහ ඝාතන කිහිපයකි.
මාතලේ, මුවන්දෙනිය, වැටස්යාය ලිපිනයේ පදිංචිව සිටි එවකට 68 වන වියේ පසු වු වාසලආරච්චි සරත් චන්ද්‍රසිරි නැමති අය සිය පුත්‍රයා වු ඩබ්ලියු. ඒ. සිසිර කුමාර වාසලආරච්චි ගේ අතුරුදහන්වීම පිළිබඳව කොමිසම හමුවේ ලබා දී ඇති සාක්ෂියේ මෙසේ සඳහන් වේ.

''මගේ පුතා 1989 නොවැම්බර් 10 වැනි දින රාත්‍රි 2.30 ට පමණ නිවසේ සිටියදි අල්ලාගෙන ගියා. කළු පාට ටී ෂර්ට් සහ කළු කොට කලිසම් ඇඳ ටී 56 තුවක්කු අරන් ඇවිත් තිබුණේ. පුතාව එළියට අරන් වෙඩි 6ක් විතර තිබ්බා. ගෙයින් පිටත 25 පමණ රැඳි සිටියා. පුතා අරන් යන කොට මමත් පස්සෙන් ගියා. වාහන දෙකක් පාර අයිනේ තිබුණා. අංක තහඩු නැහැ. පැජරෝ එක නිල් පාටයි. ඩෙලිකා එක සුදුපාටයි. එදා සිට පුතාව හෙව්වත් හමුවුණේ නැහැ. පුතා හමුදාවේ ඉංජිනේරු අංශයේ කෝප්‍රල් කෙනෙක්. පුතා පැහැර ගන්න කොට හමුදාවෙන් ඉවත් වෙලයි හිටියේ. පුතා ගැන හමුදාවෙන් විමසුවා.

මාතලේ විජය කඳවුරේ 'ගෝඨාභය රාජපක්ෂ' මහතාගෙන් විමසුවාම අපි නොවෙයි ගෙනාවේ පොලිසියෙන් යැයි කිවුවා. පොලිසියට ගිහින් පොලිස් අධිකාරි මහින්ද බාලසුරිය මහතාගෙන් විමසුවත් ඔහු කිවුවෙත්  අපි ගෙනාවේ නැහැ කියලයි. පස්සේ මාතලේ පොලිසියේ 'අයි ශාඛාව' භාරව සිටි නාවලගේ මහාතාගෙන් විමසුවා. ඔහුත් කිවුවේ අපි ගෙනාවේ නැති බවයි. මගේ පුතාව ගෙනිච්චේ කවුද? එයාට මොනවද වුණේ? පුතා පැහැරගෙන යන විට පුතාගේ දරුවට මාස දෙකයි''.

මාතලේ, ඕවිලිකන්ද, වදේමඩ ලිපිනය සඳහන් ගල්පොත්තාගාව ගෙදර චන්ද්‍රාවතීගේ කතාවද එයට නොවෙනස් එකකි. ඇගේ සැමියා වන ඒ.පී.රූපසිංහ 1989 ඔක්තෝබර් 07 වැනි දින හමුදා අත්අඩංගුවට පත්වන්නේ එදින ඕවිලිකන්ද ගම්මානයේ සිදුකරන හමුදා වැටලිමක් අතරවාරයේ ය. අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඕවිලිකන්ද කඳවුරට රැගෙන යන ඔහු ඇතුළු පිරිස යළි කිසි දිනක ඔවුන්ගේ ඥාතීන්ට දක්නට නොලැබුණු බවයි ඇය කියා සිටිනුයේ. එසේම ඕවිලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටි කාලයේ දි තම සැමියා බලන්නට උත්සහ ගනු ලැබුවද එහි සිට හමුදා සෙබළුන් තම කොණ්ඩය කපා එළවා දැමු බව ඇය සාක්‍ෂි දෙමින් කියා තිබේ.

ස්වාමි පුරුෂයන් අහිමි වු බිරින්දෑවරුන්ගෙනුත්, දරුවන් අහිමි වු මව්පියන්ගෙනුත් නැගෙන  ඕවිලිකන්දේ ශෝකාලාපයන් ඒ සංහාරය නිමා වූ පමණින් අවසන් නොවේ. හමුදා සෙබළුන් තම දරුවන්, විවාහක පුරුෂයන් උදුරාගෙන යන විට පිළිසරණක් නොමැතිව සිටියවුන් එයින් සය වසරකට පසු පත්කරන ලද ජනාධිපති කොමිසම් සහ පරික්ෂණ මණ්ඩලයන් හමුවේ යළි යළිත් සාක්ෂි දෙන්නේ තමන්ගෙන් උදුරා ගත් දරුවන් දෑසින් දැකගැනීමේ  ආශාව අත් නොහරිමිනි. නමුත් වැදගත් ප්‍රශ්නය වන්නේ, ඒ තරම් වූ දුක් තැවුල් විඳි ජන සමාජයක් වන්නියේ මිනිස් සංහාරයෙන් සය වසරක් ගෙවෙන මේ වසරේදීත් සිය දරුවන් සොයා ඇවිදිමින්, මළවුන්ට යුක්තිය අයදින දෙමළ ජනයාගේ ඉරණම නොතකා ඒ දුක් ගැනවිලි මැඩලන්නට කල්පනා  කරන්නට පුරුදු වූයේ කෙසේද යන්නයි. 

මාතලේ ඕවිලිකන්ද ඇටිපොල වත්ත පදිංචිව සිට ඇති 70 හැවිරිදි ගලහෑන හේනේගෙදර ධර්මකීර්ති දේවගේ ජිනදාසගේ පිරිමි දරුවන් තිදෙනාම එකම දිනෙක හමුදාවෙන් රැගෙන යන්නේ ඕවිලිකන්ද හමුදා කඳවුරට ගෙන යන බව පවසමිනි. ඒ 1989 ඔක්තෝබර් 07 වැනි දා ය.ප්‍රේමසිරි, සෝමසිරි සහ කුසුම්සිරි යන තම දරු තිදෙනා කඳවුරට රැගෙන යාමෙන් පසුව ඔවුන් බැලීමට තමන් ගිය බවත් කඳවුරෙ සිටි 'ජයතිස්ස' නැමති හමුදා නිළධාරියෙක් තමන්ට පහර දී එළවාගත් බවත් ඔහු කියා සිටියි. පසු දිනෙක ප්‍රේමසිරි සහ සෝමසිරි යන දරුවන්ව නිදහස් කර එවු බවත්, කුසුම්සිරිව ට්‍රක් රථයකට පටවාගෙන යනු දුටු බවත් එයින් පසුව ඔහුව යළි කිසි දිනෙක නොදුටු බවත් ඔහු කොමිසම හමුවේ කියා තිබේ.

කඳවුරෙන් නිදහස්ව පැමිණෙන එච්.ඩී.සෝමසිරි, කොමිසම හමුවේ කියා සිටිනුයේ කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන් සහ සහොදරයන් දෙදෙනාව බිල්ලෙකුට පෙන්නු බවත්, බිල්ලා කුසුම්සිරි දෙස බලා හිස සැලු පසු හමුදාව ඔහුට පහරදී ඉවතට රැගෙන ගිය බවත් ය.
ඕවිලිකන්ද, පන්වත්ත පදිංචිව සිට 19 හැවිරිදි පාසැල් ශිෂ්‍යයකු වු කේ.පී. සිරිසේනව 1989 නොවැම්බර් 04 වැනි දින  උඩුපිහිල්ල හමුදා කඳවුරෙන් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් රැගෙන යන්නේ ‍ඕවිලිකන්ද කඳවුරට පසුදා පැමිණ දරුවා භාර ගන්නා ලෙස පියාට දැනුම් දෙමිනි. ඔහු රැගෙන යාමෙන් වසර කිහිපයකට පසුව, එනම් 1995 සැප්තැම්බර් 25 වැනි දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම හමුවේ සාක්ෂි දුන් එච්.පී.ගුණපාල නැමැත්තා කියා ඇත්තේ තම ඥාති පුත්‍රයා හමුදාවෙන් රැගෙන යනු තමන් දුටු බවයි. එසේම කිසිදු බියක් ඇතිකර නොගෙන පසුදා ඕවිලිකන්ද කඳවුරට පැමිණ ඔහුව භාර ගන්නා ලෙසට සිරිසේනගේ පියාට හමුදා නිළධාරියෙක් කියා සිටිනු තමන්ට ඇසුනු බවද ඔහු සඳහන් කරයි. නමුත් එසේ රැගෙන යාමෙන් පසු යළිත් සිය ඥාති පුත්‍රයාව කිසිවකුටත් දක්නට නොලැබුණු බවයි ගුණපාල තම සාක්ෂියෙන් සඳහන් කර සිටිනුයේ.

ජයතිස්සගේ මිනිස් දඩයම්

මිනිසුන් පැහැර ගැනීමට ඕවිලකන්ද හමුදා කඳවුරෙන් පැමිණි හමුදා භටයන්ට නායකත්වය දී ඇත්තේ ජයතිස්ස නැමති නිළධාරියෙක් යැයි අවස්ථා කිහිපයකදිම හෙළිදරව් වී තිබේ. ඔහු විසින් කරන ලද තවත් පැහැර ගැනීමක් පිළිබඳව කතාව කොමිසමේ සාක්‍ෂි ලියැවිලි අතර මෙසේ දැක් වේ

ඕවිලිකන්ද, පරගස්තැන්නේ පදිංචිව සිටි 23 හැවිරිදි එක් දරු පියෙකු වු ඊ.ජී. ජයතුංග නැමැත්තාව ඕවිලිකන්ද හමුදා කඳවුරෙන් පැමිණි බැව් පවසා රැගෙන යන්නේ 1989 නොවැම්බර් 14 වැනි දා ය. ඔහුගේ බිරිඳගේ මව කියා ඇත්තේ එදින රාත්‍රි 12 ට පමණ පැමිණි පිරිසක් තම බෑණනුවන්ව පැහැරගෙන ගිය බව ය. පැමිණි පිරිස ඕවිලිකන්ද කඳවුරට අනුයුක්ත කොට සිටි 'ගජබා රෙජිමේන්තුවේ' අය බවටත්, එක් අයෙක් ජයතිස්ස යන නිළධාරියා බවටත් පසුව හඳුනා ගන්නට ලැබුණු බවඇය කියා සිටියි. එසේම තම බෑණා රැගෙන යාමට පැමිණි දින අසල නිවෙස්වල තරුණයන් තිදෙනෙක් සහ තරුණියක්වද හමුදාව විසින් රැගෙන ගිය බවත් එසේ රැගෙන ගිය අයවලුන් යළි කිසි දිනෙක නොපැමිණි බවත් ඇයගේ සාක්‍ෂියෙහි දැක් වේ.

හමුදා නිලධාරී ජයතිස්සගේ මිනිස් දඩයම් ‍එතෙකින් අවසන් නොවේ. මෙයද එවන් කතාවකි.

ඕවිලිකන්ද හොරගහපිටියේ පදිංචිව සිටි 42 හැවිරිදි, ඉඩම්ගෙදර සමරසිංහ කියා ඇත්තේ එන්.පී.උපසේන නැමති අය තමන් සමග 1989 ඔක්තෝබර් 22 දින  ඕවිලිකන්ද පාලුවත්ත කුඹුරේ වැඩ කරමින් සිටියදි එහි පැමිණි ජයතිස්ස නැමති හමුදා නිළධාරියා සහ පිරිසක් විසින් ගිණි අවි පෙන්වා රැගෙන ගිය බවයි. ඔහුගේ ඉරණමද සෙස්සන්ගේ ඉරණමට වෙනස් නොවේ.

ඕවිලිකන්ද, පන්වත්තේ පදිංචිව හුන් 50 හැවිරිදි උඩගම්මැද්දේ ගෙදර දිනදාස සහ ඔහුගේ පුතු වු 25 හැවිරිදි යු.ජී. චන්ද්‍රපාලව 1989 නොවැම්බර් 12 වැනි දින ඕවිලිකන්ද හමුදා කඳවුරට රැගෙන යන්නේ ද මෙම ජයතිස්ස නැමති නිළධාරියා විසිනි. පසුව නිදහස්ව පැමිණෙන දිනදාස නැමැති අය කියා සිටිනුයේ  ඕවිලිකන්ද කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන්ට පහර දී උඩුපිහිල්ල කඳවුරට  රැගෙන ගිය බවයි.

'කඳවුරුවලදි අපි දෙන්නට පහර දුන්නේ ජයතිස්ස සහ ප්‍රේමදාස කියන නිළධාරීන්. පසුව මගේ දෑස් බැඳ උකුවෙලට ගෙනත් දැම්මා. නමුත් වරින් වර හත් වතාවක් මාව කඳවුරට අරන් ගිහින් පහර දුන්නා. නමුත් ඒ කිසිදු අවස්ථාවක මට මගේ පුතාව දකින්න ලැබුණේ නැහැ'.

සමුහ වැටලීම්
පැහැරගෙන යාම් හැමවිටම එකා දෙන්නා වශයෙන් නොවේ. ඇතැම් තැනෙක සමූහ වශයෙන් කරන ලද බලහත්කාරී පැහැරගෙන යාම් සමූහ අතුරදහන්වීම් වශයෙන් ඉතිහාසයට එක්ව තිබේ.

රත්තොට පොලිස් වසමේ කයිකාවල පොල්වත්තේ දි 1989 ජූලි මාස15 වැනි දින එකවර පැහැර ගනු ලබන පුද්ගලයන් 13 දෙනෙක් පිළිබඳව ලියැවි ඇත්තේ එවැනිම සාක්ෂි සටහනකි. කයිකාවල පොල්වත්ත නැමති ප්‍රදේශයේ නිවසක පැවති දානමය පිංකමක් වෙනුවෙන් උදව් උපකාර කිරීමට පැමිණ සිටි බව පැවසෙන පිරිසක් අතරින් තෝරා වෙන්කොටගත් 13 දෙනෙක් මෙසේ පැහැරගැනීමට ලක්ව තිබේ. සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂිවලට අනුව ටී 56 සහ එල්.එම්.ජී. ස්වයංක්‍රීය ගිනි අවි සහ අත් බෝම්බවලින් සන්නද්ධව අංක තහඩු රහිත වාහනවලින් පැමිණ මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ  අදාළ නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද බණ්ඩා, කරුණාරත්න බණ්ඩා, ආර්.ඒ රණසිංහ, ආර්.ඩබ්ලියු.ඩබ්ලියු විජේසිංහ, එම්.ජිනසේන, ලැම්බට් පෙරේරා, එච්.ගුණසිරි, කේ.ජි.රත්නපාල, ජිනසේන ප්‍රනාන්දු, සුදත් නොහොත් සනා, ආර්.එම් කරුණාරත්න,ගාමිණි සහ තවත් එක් අයෙකි.

පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ අදාළ නිවසේ සිටි උපුල් ඉන්ද්‍රලාල් දසනායක නැමැත්තා විසින් ලබා දෙන ලද සාක්ෂි සටහනේ දැක්වෙනුයේ උක්ත දිනයෙහි සවස 4-5 ත් අතර කාලයේ ටෲපර් රථ දෙකකින් සහ නිසාන් ඩබල් කැබ් රථයකින් පැමිණි හමුදා භට පිරිසක් විසින් නිවස වටලා එහි සිටි සියළු පිරිමින් පිටතට ගෙන බිම දණ ගැස්වු බවයි. පසුව පිස්තෝලයක් කරකවමින් පැමිණි පුද්ගලයෙක් තමන් කැප්ටන් බැද්දෙවෙල ලෙස හඳුන්වා දුන් බවත් ඔහු කියා සිටියි.

ඇස් ඉගිල්ලූ මළ සිරුරු

පුද්ගලයන් පැහැරගනු ලැබු නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වු විශ්‍රාමික හමුදා සැරයන් පි.එම්.සෙනරත් බණ්ඩා එම පැහැර ගැනීම පිළිබඳව මෙසේ කියා තිබේ:
''අත්අඩංගුවට ගත්ත සියළු දෙනාගේම අත් පිටුපස්සට කරලා ගැට ගැසුවා. ඇඳගෙන හිටිය කමිස ගලවලා මුණ වැහුවා. පස්සේ අපිට කිවුවා හෙට උදේට පල්ලේකැලේ කඳවුරට වරෙල්ලා, මුන්ව භාර දෙන්නම් කියලා. පසුවදා පල්ලේකැලේ කඳවුරට ගිහින් මගේ හමුදා හැඳුන්ම්පත පෙන්වලා කැප්ටන් කෙනෙක්ගෙන් ඇහුවා ගෙනාපු අය කෝ කියලා. ඔහු කිවුවා අපි ගෙනාවේ නැහැ, මේක උඩුගම්පලගේ වැඩක් ඉක්මනට ගිහින් මරලා දාලා තියෙන තැන්වල බලපල්ලා යනුවෙන්. සිද්ධියෙන් දින හතරකට පස්සේ අපිට ආරංචි වුණා මාරස්සන පාලමක් ලඟ පුද්ගලයෝ හතර දෙනෙක්ව මරලා දලා තිබිලා නුවර පොලිස් මෝචරියට ගෙනත් දා තිබෙනවා කියා. අපි ගිහින් ඒවා බැලුවා. ඒ මළ සිරුරු හතර මගේ ඥාති පුත්‍රයා වන දයානන්ද, ලැම්බට් පෙරේරා, රණසිංහ සහ ගාමිණි යන අයගෙයි. හඳුනාගන්න බැරි තරමටම විරුපී කරලා දසවද දිලායි මරලා තිබුණේ. ඇස් උගුල්ලලා, ඇස්වලට වෙඩි තියලා ඔලු ගලවලා මරලා තිබුණේ. අනෙක් අයගේ සිරුරු හමුවුණේවත් ඉන්න තැනක් ගැනවත් මේ වනකම් ආරංචියක් නැහැ''.

කෙසේ නමුත් පැහැරගැනීමට ලක්වු ආර්.ඩබ්.විජේසිංහ නැමැත්තාගේ සොහොයුරෙකු වන දිසානායක මුදියන්සෙලාගේ ජයතිලක නැමැත්තා  විසින් සපයන ලද සාක්‍ෂියට අනුව මෙම පැහැර ගැනීම සහ ඝාතනයන්ට හේතුව අතුරුදහන් වු ඇතැමුන් ප්‍රදේශයේ එවක දේශපාලන බලවතාව සිටි පී.බී. කවිරත්නට එරෙහිව දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම ය.
දකුණේදී රාජ්‍ය හමුදා සහ ආරක්‍ෂක අංශ විසින් කරන අපරාධ පිළිබඳ සාක්‍ෂි වාර්තා '90 දශකයේ මුල් වසර කිහිපයෙන් පසු මාධ්‍ය වාර්තාවලින් ක්‍රමානුකලව අතුරුදහන් විය. ඒ, උතුරු නැගෙනහිර පළාත්වල අලුත් වටයකින් දියත් කෙරුණු දෙමළාට එරෙහි නව සංග්‍රාමයට අවශ්‍ය 'ජීව ගුණයෙන්' ජාතිය පණ පොවනු පිණිස දකුණේ සංහාරයන් අමතක කළ යුතුව තිබූ නිසාවෙනි. චෙම්මනි ගැන නොතකා හරින්නට නම් ඕවිලිකන්ද මතකයෙන් මකාලිය යුතුව තිබුණි.  '90 දශකයේ පළමු භාගයේදී  අළුගෝසු හමුදා සේ සමාජ වෛරයට පාත්‍ර වූ රාජ්‍යයේ නිල සේනා එම දශකයේම දෙවන භාගයේදී දෑ හිතකාමී රණ ශූරයන් සේ බෞතීස්මය ලැබීමේ රහස එයයි.☐


කිත්සිරි විජේසිංහ
http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/496-2015-12-04-11-39-05

Tuesday, November 8, 2016

කුමාර් ගුණරත්නම් ප්‍රශ්නය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය


ලංකාවේ උපන් අයකු ලෙස කුමාර් ගුණරත්නම්ට හිමි පුරවැසි අයිතිය ආණ්ඩුව විසින් පිලිගතයුතු බව අවධාරණය කරමින් ඔහුට ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරන් විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් නොවැම්බර් 07 දින කොළඹ පදනම් ආයතනයේදී පැවැතිවිණි.

‘කුමාර් ගුණරත්නම් ප්‍රශ්නය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය‘ යන තේමාවෙන් එම සම්මන්ත්‍රණය සංවිධානය කරණ ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔහු හා අධ්‍යාපනය ලැබූ දැනට මෙරට විවිධ ක්ෂේත්‍රවල සේවය කරන වෘත්තිකයන් විසිනි. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරනු ලැබූ දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන් සහ කුමාර් ගුණරත්නම්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින තවත් බොහෝ දෙනා එක්වී සිටියහ. එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි දැක්වූ අදහස්


"

මම කැමතියි කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නය පිළිබඳව ෆේස්බුක් වේබ් අඩවිය තුළ එත්තරා විවේචකයෙක් අහපු ප‍්‍රශ්නයකින් පටන් ගන්න.

කෝප් වාර්තව සම්බන්ධයෙන් සාකච්ඡුාවක් මතු වෙලා තිබුණ වෙලාවක, මම ඒ ගැන ප‍්‍රසාදයෙන් කතා කරපු අවස්ථාවක අහලා තිබුණා ”ඔබ නොයෙක් ප‍්‍රශ්න ගැන කතා කරනවා කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් අනුර කුමාරගේ ස්ථාවරය ගැන ඔබ මොකද කියන්නේ?’ කියලා. මම කිව්වා ඒක දැනගන්න අවශ්‍ය නම් 07 වෙනිදා පදනම් ආයතනයට එන්න කියලා. දැන් මම හදන්නේ ඒ විවේචකය අහපු ප‍්‍රශ්නයට උත්තර දෙන්න.

මේක නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක්ම නෙවෙයි. පුරවැසිභාවය, පාස්පොට් ප‍්‍රශනය ඇතුළු ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා. විමල් විරවංශගේ පාස්පොට් ප‍්‍රශ්නය. අර්ජුන් මහේන්ද්‍රගේ පුරවැසිභාය පිළිබඳ ප‍්‍රශ්නය. මේවැනි අවස්ථා තිබෙනවා. මේ පිළිබඳව තීරණ ගැනෙන්නේ දේශපාලන බල තුලනය සලකා බැලීම තුළ. ජනාධිපති වරණයෙන් පසුව අගමැතිවරයා සමග වෙනත් ප‍්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡුාවකදී  මම ඇහුවා. ඒ වෙලාවෙදී ඔහු කිව්වේ ගැටලූවක් නැහැ ඒක ඉක්මනට විසදේයි කියලා කිව්වා. ඒ 2015 මාර්තු විතර ඇති.

මම වෙනත් පාර්ශවන් සමඟ කතා කලා එතකොට කවුරුවත් කිව්වේ නැහැ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. එක්තරා දේශපාලන චරිතයක් මට කිව්වා මේක නොවිස`දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නිසා කියලා. ඉන්පස්සෙ මම ඒ ගැන ප‍්‍රසිද්ධියෙ කතා කළා. ඊට පසුව අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවුණු වෙලාවක මට කිව්වා. මම කළ ප‍්‍රකාශය සඳහන් කරමින් ”අපේ එහෙම ප‍්‍රශ්නයක් නැහැ” කියල ඔහු ප‍්‍රකාශ කළා. මට අහවලා තමයි කිව්වේ කියා සඳහන් කළා. ඒ ප‍්‍රකාශය සත්‍ය හෝ නොවේවා. මම හිතනවා ජවිපෙ මැදිහත් වීම මූලික වශයෙන් අවශයි.

මීට පෙර ආණ්ඩුවක් ඔහු පැහැර ගත්තා ගොඪාභය රාජපක්ෂ පුවත් පතකට කිව්වා ජවිපෙ උවමනාවතට මෙහෙම කළ බව. එවිට ජවිපෙ ඒක ප‍්‍රතික්ෂෙප කළා. නමුත් ජවිපෙ නිශ්ශබ්දතාවය. මේ ප‍්‍රශ්නය යම් පාර්ශවයකට අවශ්‍යතාවක් තිබෙනවා නම් ඒක ජවිපෙ නිහැඩියාව සේවය කරනවා. පුද්ගලිකව හමුවෙන කොට  කියලා වැඩක් නැහැ. එයාලා ප‍්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම අවශයි. මගහැර යාමට හැකියාවක් නැහැ.  මේ ආණ්ඩුවේ ප‍්‍රජතන්ත‍්‍රවාදී අක්ත පත‍්‍රය පරික්ෂාවට ලක්වන දෙයක් තමයි කුමාර් ගුණරත්නම් සිද්ධිය."




https://www.facebook.com/free.kumar.gunaratnam/videos/1098038193642900/

Friday, November 4, 2016

අමරයෝද මැරෙති



මට මතක හැටියට මේ මාතෘකාව ‍රැගත් තීරු ලිපියක් පල වූයේ 1980 ගණන් වල මුල් කාලයේ දිවයින පත්‍රයේය. මගේ මතකය හරි නම්  එය ලිව්වේ උකුස්සා නමින් කොළමක් ලියු දයාසේන ගුණසිංහයන්ය. එහි වූයේ  එවක ආණ්ඩු බලයේ සිටි පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගේ දේශපාලන ‍රැස්වීමක ගී ගැයූ ගායක ගායිකාවන් පිරිසක්  එම දේශපාලකයාගේ නිවසට ගෙනවුත් කුස්සීය පැත්තේ රඳවා ඔවුන්ට මධුවිතින් සංග්‍රහ කළ හැටිය. එම සාදයට සහභාගි වූ අමරදේවයන්ද එක් අතෙකින් මධු විතත් අනිත් අතින් කට ගැසුමක් ද ගෙන එහි සිටි අයුරු ඔහු ව්‍යංගයෙන් විස්තර කළේ අමරයෝද මැරෙති කියමිනි.

එහෙත් එදා ගැටවර  වියේ සිටි මගේ සිතේ එයින් ඇති වූයේ අමරදේවයන් ගැන දුකක් මිස තරහක් නොවේ. මෑත යුගයේද මහින්ද රාජපක්ෂට කඩේ ගියා යැයි කියමින් අමරදේවයන්ට ගරහන විට මට සිහි වන්නේ එදා උකුස්සාගේ කොළම කියවද්දි මට දැනුනු හැඟුමන් ම නෙවේ. එදා ඔහු ගැන දුකක් සිතුනත් අද  මා සිතන්නේ එලෙස නෙවේ. අමරදේවයන් යනු ඉතා අහිංසක මිනිසෙකි. දේශපාලනය වැනි පෘතග්ජන කාරණා ගැන සිත යොමු නොකළ, තම මුළු දිවියම , එහි අරුතින්ම සංගීතයට කැප කළ මේ සුන්දර මිනිසා  ඒ තත්වයට ඇද ගෙන ගොස් ඔහුගේ ‍රැස් වලල්ලෙන් තම ලාම්පු පත්තු කර ගැනීමට හිතූ දේශපාලන තක්කඩීන් ගැන පිළිකුලකි.

එය එලෙස සිදු වූ දෙයක් බව හොඳින් දැනගෙනම ඔහුගේ ක්‍රියාවන් දේශපාලන අරුතින් විවේචනය කරන කුහකයින් ගැන තරහකි.පිළිකුලකි.මෙයින් එක් අයෙක් අමරදේවයන් හොඳ සංගීත ඥාණයක් නැත්තවුන්ට බවක් ද කියා තිබුණේ තමන් වටා සිටින කල්ලියක ප්‍රශංසා වලින් උදුම්මා ගත් හිසක් නිසාය.

 ගැටවර වියේ  පවා අමරදේවයන් අපගේ සොඳුරු ගායකයා විය. සේකරයන්ගේ සොඳුරු පදවැල් අමරදේවයන්ගේ මුවින් සංගීතය හා මුසුව නික්මුණේ අපගේ යොවුන් හදවත් විටෙක  ප්‍රේමයෙන් ද විටෙක අප්‍රමාණ වූ ශෝකයෙන්ද පුරවාලමිනි. ඔහු ගැයූ " ඈත කඳුකර හිමව් අරණේ"  එසමයේ මගේ ප්‍රියතම ගීතය විය.පසු කලෙක   එතැන විටින් විට ගුණදාස කපුගේ , ප්‍රේමසිරි කේමදාස ආදින් විසින් පිරවුණද අමරදේව නිර්මාණයන්ට අප හදවතේ කොණක් සැමදාම විවරව තිබිණි.

එය වික්‍රමසිංහයන්ගේ නවකතාවක් මෙන්, මහගම සේකරයන්ගේ කවියක් මෙන්, අමරදේවයන්ගේ ගීයක් මෙන් සුන්දර වූ ළමා වියකින් අපට උරුම දේය.   ඒ 1976  ජනවාරි  මස එක් දිනක, මහගම සේකරයන් මිය ගිය පුවත ඇසු මගේ මව අනේ මහගම සේකර මැරිලා යයි කියනු ඇසී මම ඒ කවුදැයි ඇසූ හැටිත් , ඔහු ගැන විස්තරයක් කියා දුන් මව පාසැල් පුස්තකාලයට,   එවකට නම වැනි වියේ උන් මා කැ‍ටුව ගොස්  ඔහුගේ තුන් මන් හන්දිය නවකතාව කියවන්නට දුන් හැටි අද වගේ මතකය.

අමරදේවයන්ගේ  සංගීත ඥාණය ගැන හෝ  වාදක හැකියාව ගැන කීමට සංගීතය ගැන අප දැනුම මඳය. එහෙත් ඒ ඈත අතීතයේ සිටම ඔහුගේ ගී ඇසු , රස විඳි පරම්පරාවකට අයිති අපට අද දැනෙන්නේ මහා ගායකයකුගේ වියොවටත් වඩා  ප්‍රියයෙකුගේ  නික්ම යෑමක් ලෙසිනි.

අමරදේවයනි ! ඔබට පෙම් කළ බොහෝ දෙනෙකුන් ඔබ වෙනුවෙන් දුක් ගී ගයනු ඇත.

Wednesday, October 12, 2016

කුණු , ගිනි සහ මිරිස්

 
බදුල්ලේ කුණු කන්දක්  ගිනි ගෙන මහා කලබෑගෑනියකි. කුණු ගිනි ගැනීම ගැන අපි එතරම් කලබල විය යුතු නැත. රටේ සිටින තිබෙන  සමහර කුණු ගොඩවල් ගිනි ගෙන දැවී යනවා නම් අපි බොහෝ කැමතිය. නමුත් ඒවා ගිනි ගන්නේ නැත. ඉඳ හිට එෆ්. සී.අයි. ඩී එකෙන් ඇමට්ඝුමක් ආ විට පමණක් ඒවා යම්තමින් රත් වෙයි. එපමණකි.
 
එහෙත් බදුල්ලේ කුනු ගින්න එසේ නොවේ. කසළ කලමණාකරණයට කවදත් අසමත් අපේ රටට පාඩමක් කියා දෙන්නට මෙන් බදුල්ලේ කුණු කන්ද ඇවිලේ. එයින් නැගුනු විෂ දුමින් නගරය වැසී ගොසිනි.ඒ  මීතේන් විෂ වායුව  දැවීමෙනි.  පාසැල් සතියක් පුරා වසා දමා ඇත. ජනතාව  මුඛ වැසුම් දාගෙන කඩි මුඩියේ නගරයෙන් ඉවත් වෙති. එසේ නොහැක්කෝ කට නාසය වහගෙන ආඩාපාලි කියමින් සිටිති.
 
පලාතේ මහ ඇමති චාමර දසනායක මහතා වට පිට ඇති සියලු ගිනිනිවන හමුදාවලට අමතරව ගුවන් හමුදාවද කැඳවා ගිනි නිවීමට උත්සාහ කරයි. එසේ තිබියදීත් තුන්වැනි දිනටත් අති සාර්ථක ලෙස ගින්න විෂ වායු පතුරවමින් සිටියේය.   මහ ඇමති ප්‍රමුඛ පලාත් සභාවට වියලි කාලගුණයත්, ප්ලාස්ටික් ,පොලිතීන් අපද්‍රව්‍ය ගින්න මැඩීමට බාධා කරන බව සමහරු කියති.
 
එහෙත් මගේ නම් අදහස මහ ඇමති වරයාට ගින්න නිවා දැමීමට අවශ්‍ය නැති බවයි. ඒ කුමක් නිසා දැයි මම නොදනිමි. නමුත් එය එසේය. ඒ බව සාක්ෂි සහිතව පෙන්වීමට හැකිය.
 
සමන්ත විද්‍යාරත්න මන්ත්‍රි වරයාගේ ප්‍රකාශයකට කිපුණු චාමර මහ ඇමතිවරයා අන් කිසිවක් කීමට හෝ කිරීමට ප්‍රථම කළේ සීනිගම දේවාලයට ගොස් සමන්ත මන්ත්‍රිවරයා ඇඹරී යන්නැයි පතමින් මිරිස් ඇඹරීමය. බදුල්ලේ කුනු ගින්න නිවීමට එවන් පලදායි ක්‍රියා මාර්ග නොගෙන මහ ඇමති වරයා මේ කරන්නේ බොරුවකි.
 
මහ ඇමති තුමනි, බදුල්ලේ ගින්න නිවීමට ඔබට සැබෑ උවමනාවක් ඇති බව පෙන්වන්න.
 
දැන්ම සීනිගම ගොස් මිරිස් අඹරන්න.
 
සටහන- සීනිගම උන්නාන්සේ ඔබ සමග යම් හේතුවක් නිසා අමනාප වී ඇත්නම් පහත සඳහන් විකල්ප කෙරෙහිද ඔබට යොමු විය හැකිය.
 
1. නලින්ද සිල්වා උන්නාන්සේගේ නාථ දෙවියෝ.
2. පූජාවට්ටි හා නෝට්‍ටු ගිලින කතරගම දෙවි උන්නැහැ
3. සිරිපා අඩවියේ හීතලෙන් වෙවුල වෙවුලා සිටින සමන්  දෙයි යෝ( මතක ඇතිව ගල් භාගයක්වත්        පූජාවට්ටියේ තිබ්බොත් මහාපල දෙනු සත්තයි)



Friday, October 7, 2016

උසාවිය නිශ්ශබ්ද වනු!


 ...

.උසාවිය නිශ්ශබ්ද වනු! .........................
ජනතාවනි වහා හඬ නගනු!
..................................
ඊයේ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹා ඒ ගැන යමක් ලිවීමට සිතුවා පමණි. අද එය ප්‍රදර්ශනය කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා විය. ඒ වාරණය දැනට සති දෙකකට අදාලවය. පසුව එය ස්ථිර තහනමක් වීමටද ඉඩක් නැත්තේ නැත. එම නියෝගය ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ සිය අධිකරණ නිල කාමරය තුළ පවා ස්ත්‍රීන් ලිංගික බලහත...්කාරයට ලක්කළ හිටපු විනිසුරු ලෙනින් රත්නායකය. එම සිද්ධිය ඇස් පනාපිට ඔප්පුවූ පසුත් අධිකරණය, පොලීසිය, නීතීඥ සංගම්, මානව හිමිකම් කොමිසම, අධිකරණ සේවා කොමිසම, ආගමික ප්‍රභූන්, මාධ්‍ය ආදී රාජ්‍යයේ සියලු මර්දන උපකරණ සහ දෘෂ්ටිවාදී උපකරණ පීඩාවට පත්වූ ස්ත්‍රිය අවමානයට සහ අසාධාරණයට ලක්කර චුදිත විනිසුරුවරයා බේරා ගැනීමට මැදිහත් විය. දැන් එම අයුක්තිය ගැන කතා කිරීමද තහනම් කර ඇත. කලාකරුවෙකුට ඒ ගැන නිර්මාණයක් කිරීමට ඇති අයිතියද අත්හිටුවා ඇත. මේ හරහා අපට ඉගෙන ගත හැකි පාඩම් ගණනාවක් අතරින් සිතට නැගුනු ප්‍රධාන ඒවා මෙසේය.


1. කලාවේ නිදහසට අධිකරණයට හෝ ඕනෑම රාජ්‍ය ආයතනයකට මෙලෙස සීමා පැනවිය හැකිද? එය අප සාමාන්‍ය තත්වයක් ලෙස බාරගත යුතුද?


2. ස්ත්‍රියක් ලිංගික හිංසනයට ලක්කරන ඉහල පන්තියේ ප්‍රභූන්ට එයින් ගැලවිය හැකිද? නීතිය අදාළ වන්නේ පීඩිතයන්ට පමණද? පසුගිය කාලයේ 'ආධිපත්‍යය' තහවුරු කරන බව කීවේ මේ එක පන්තියක් වෙනුවෙන් වන නීතියකටද?


3. පසුගිය කාලයේ ඇතැම් 'ප්‍රජාතන්ත්‍රවාදීන්' කීවේ ප්‍රශ්නය ඇත්තේ අධිකරණය, පොලීසිය, රාජ්‍ය පරිපාලන සේවය වැනි ව්‍යුහ තුළ නොව ඒවාට දේශපාලන තන්ත්‍රය මැදිහත්වීම තුළ බවය. 19වන සංශෝධනයෙන් සියලු රෝග නිවාරණය වන බවට සමාජ විශ්වාසය හැදුවේ ඒ නිසාය. දේශපාලන තන්ත්‍රය තරමටම මේ රාජ්‍ය ආයතන ප්‍රතිගාමී බවත්, ඒවා ස්වාධීන වීමෙන් ජනතාවගේ අයිතීන්ට හිමිවන වාසියක් නැති බවත් නැවත නැවත ඔප්පු වෙමින් තිබේ. මේ අද අපට ලැබුණු උදාහරණයයි. චිත්‍රපටය කතා කරන්නේද ඒ යථාර්ථයයි.


4. කලාව මෙවැනි රාජ්‍ය ව්‍යුහයන්ගේ අනුමැතියෙන් ප්‍රදර්ශනය කිරීමට සීමා වුවහොත් කලාකරුවාගේ ප්‍රකාශන අයිතිය මෙන්ම රසිකයාගේ වින්දනයේ අයිතියද මේ ආකාරයට නැවත නැවතත් උල්ලංඝනය වනු ඇත. එනිසා වාරණයට එරෙහි විකල්ප ක්‍රමයක් අප සකසා ගත යුතුය. අප යෝජනා කරන්නේ මේ චිත්‍රපටය වාරණය කළහොත් ප්‍රොජෙක්ටරයක් සහ තිරයක් සමග ගමින් ගම ගොස් මේ කෘතීන් සමාජගත කළයුතු බවය. අපට 'උසාවිය නිහඬයි' වාර්තා චිත්‍රපටය ඇල්පිටිය, බිබිල, අවිස්සාවේල්ල, බෝගල, යාපනය ආදී ප්‍රදේශ වල ජනතාවට ප්‍රදර්ශනය කිරීමේ අත්දැකීමක් තිබේ. එම ආකෘතිය තවත් වර්ධනය කර සිය කෘතීන් සමාජගත කිරීමට කලාකරුවන් එකඟනම් අපට ඒ සඳහා දායකත්වයක් දිය හැක.


මේ නිල සහ නොනිල මර්දනයට එරෙහිව ජනතා හඬක් නිර්මාණය කළ යුතුය. අයුක්තියට එරෙහි හඬ නිහඬ කිරීමට ඉඩ නොදිය යුතුය. අපි මේ කලා නිර්මාණ මෙන්ම ඒවාට එරෙහි තහනමද ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවමු.


(පුබුදු ජයගොඩගේ මුණු පොතෙන් ඉස්සුවෙමි- )

Friday, September 2, 2016

යහපාලනයේ දක්ෂිණාංශය නොහොත් පරණ වමේ නටබුන් -සයිටම් ගැන



යහපාලනයේ  දක්ෂිණාංශය යයි කියන විට එහි වාමාංශයකුත් ඇත් දැයි කෙනෙකුන් අසන්නට  පුලුවන. එම නිසා මාතෘකාව මෙසේ වෙනස් කළ හැකිය.

යහපාලනයේ අන්ත දක්ෂිණාංශය නොහොත් පරණ වමේ නටබුන්

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ඉතුරු වූ රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ගෙනාඩි ෂුගානොව් සිටින්නේ කෙරෙන්ස්කි ටත් දකුණෙන් යැයි කවුදෝ කියා තිබුණා මතකය. ඒ අයුරින්ම ලංකාවේ වාමාංශිකයන් බිඳ වැ‍ටුණු පසු නවතින්නේ  ජේ .ආර් ටත් දකුණෙනි.
 
අද යහපාලනයට හේත්තු වී හෝ හේත්තු වීමට මං සොයමින් සිටින පිරිස් අතර මෙම වාමාංශික කොටස් ඉතා  පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැකිය.
 
ඔවුන්ගේ පොදු ලක්ෂණ මෙසේය.

1. ආණ්ඩුව කරන සෑම දෙයක් ම අත් දෙකම ඔසවා අනුමත කරයි- උදා: වැට් බද්ද ඉහළ දැමීමෙන් පහල අඩු ආදායම් ලාභින්ට වන හානිය ගැන නොතකනවා සේම ඉහල ආධායම් ලාභින්ගේ උපයන විට ගෙවිය යුතු බදු ගැන ද මුක පූට්‍ටුය.
 
2. ආණ්ඩුවේ ක්‍රියාවලට තමන්ගේ පරණ වාමාංශික පොත් පත් වලින් න්‍යාය සදා දෙයි- සයිටම් ගැන මොවුන් කියන්නේ එය සැබෑ නිදහස් අධ්‍යාපනය බවයි. එහෙත්  අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම නිසා සමාජයට වෙන අගතිය නොදැක්කා සේ සිටියි. පසුගාමි ආර්ථිකයන් ඇති ඉන්දියාව වැනි රටවලට තබා ඊනියා දියුණු රටවල ද ආසාර්ථක හා හානි දායක වී ඇති බවස වසංගයි.
 
3. ආණ්ඩුවේ දූෂණ වංචා ගැන වචනයක්වත් නොකියන අතර ගිය ආණ්ඩුව පට්ට ගසමින් සිටිත්-- මහ බැංකු මගඩිය මොවුන් දන්නේ නැත. කිරිඇල්ල ,ෂෝක් බබෙකි. එස්.බී හරිම හොඳය.

4. එට්කා ගිවිසුම-  ෂා මාර හොඳය, රටට ඕනෑ එහෙම එව්වා තමාය. වරාය නගරය දැන් හොඳය, -නරක රාජපක්ෂලා කරන විටය.

5. ආණ්ඩුව කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අනුමත කරයි. - සයිටමයට එරෙහි විශ්ව විද්‍යාල සිසුන්ට කළ පොලිස් පහර දීම ඉල්ලා ගෙන කෑමකි. ඔවුන්ට ගසා මදිය. පුලුවන් නම් මරා ගැන කෑ යුතුය.
 
6.ආණ්ඩුවේ විවේචකයන්ට කොන්දේසි විරහිතව මඩ ප්‍රහාර හා ගල් මුල් ප්‍රහාර දෙයි- අන්තරය, පෙර‍ටුගාමින්, නිර්මාල්,  නිතරම ප්‍රහාරයට ලක් වෙයි.
 
7. මේ සියල්ල අතරත්  තම ප්‍රගතිශීලි හැව තව දුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා ජාතිවාදයට විරුද්ධ බව පෙන්වූවත් හිටි ගමන් බළලා මල්ලෙන් එලියට පැන නැවත ඇතුලට රිංගයි.

මේ ලක්ෂණ ඇති ඔබ දන්නා හඳුනන අය සිටියිද. මොවුන්  හා බලන විට සිකා වෛරසය හොඳය.

Saturday, August 27, 2016

සයිටමයෙන් කොන්දොස්තර උපාධියක්?



බස් ගැමුණු නොහොත් සයිටම්  වයිද්දිය විද්දියාලේ නොනිල උපකුලපති තුමා , සෞඛ්‍ය අමාත්‍ය අංශේ නිල නොලත් උප ඇමති රත්නප්‍රිය නර්ස් මහත්තයා ඇතුලු පිරිසක්  සයිටම් අර්බුදය පිළිබඳව රත්නපුරේ පැවත් වූ විද්වත් කතිකාවකදී ප්‍රශ්න ඇසීමට ගිය සරසවි සිසුවෙකුට බස් ගැමුණු තුමා ගුටි බැට දීම ගැන  නොයෙක් කතා වටෙන් පිටෙන් ඇසෙමින් තිබේ.

මම නම් කියන්නේ ඔය විස්ස විද්දියාල කොල්ලාට ගහලා මදිය. ඕකාව හම ගැහිය යුතුය.

වෙන මගුලකට නොව බස් ගැමුණුලා, සමන් රත්න්ප්‍රියලා බඳු ලුම්පනයන් සමග විද්වත් සාකච්ඡා කොරන්නට හැකිය යැයි සිතීම ගැනය. සිතා නිකම් නොසිට උන් එක්ක විද්වත් සාකච්චා කිරීමට යාම ගැනය.

ගැමුණු රත්නපුරේදී පෙන්නුවේ ඔවුන් විද්වත් සාකච්ඡා යැයි සිතා සිටින දෙයයි.  ඔවුන් අයිති සමාජයේ සාකච්ඡා කරන ආකාරයයි. ඔවුන් සමග සංවාද කිරීමට යාම කුලු හරකෙකු සමග සංවාසයකට යාම බඳුය.

මේ බස්  හිමියා සහ එම ‍රැස්වීමට පැමිණ සිටි අනෙක් සයිටම්වාදින් ( බොහෝ විට මොවුන් සයිටම් සිසුන්ගේ දෙමව්පියන් විය හැක)  තුලින් අපට හිතෙන්න සයිටමය  හදන්නේ දොස්තරලා නොව කොන්දොස්තරලා විය යුතු බවයි.

සටහන- ඇඳන් 1200 ක් සහිත ආසියාවේ මහා සුපිරි රෝහල කිව්වත්, ඇඳන් 100කවත් ලෙඩුන් නැති මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සායනික පුහුණුව ලබා දොස්තර කෙනෙක් වීම කෙසේ වෙතත් කොන්දොස්තර කෙනෙක් නම් විය හැකිය. හැබැයි එම කොන්දොස්තරලා තම බස් වල සේවයට බඳවා ගන්නට උපකුලපති ගැමුණු තුමා හැර අනික් බස් හිමියන් කැමති වේදැයි සැකය..

Monday, August 15, 2016

බුකියේ දේශපාලනය, කලාව හා විචාරය



මාතෘකාව දැක්ක ගමන් අපේ ක්‍රිකට් බෝඩ් ලොකු තැන ට ඩෝන් යයිද මන්දා.. එහෙම වෙන්ට දෙයක් නැත. මේ කියන්නේ එතුමාගේ බුකිය ගැන නොව අප කවුරුත් කැමති ෆේස් බුකිය ගැනය.  තම දේශපාලනය සම්පූර්ණයෙන්ම බුකියෙන් පමණක් සිදු කර මහා දේශපාලන විප්ලව  කොරන්න පුලුවන් කියලා හිතන අයත් සමහර විට රෙද්ද උස්සගෙන එන්න ඉඩ තියෙනවා. ඒ අයට නම් කියන්න තියෙන්නේ පහුගිය කාලයේ පොලවෙන් අඟල් කීපයක් උඩ ගිය නිසා  බිමේ දේශපාලනය අමතක වෙලා මාධ්‍ය වලින් විතරක් දේශපාලනය කරන්න හදපු  ජනතා විමුක්ති පෙරමුණ පස්ස් බිම ඇනගෙන ඉන්න හැටි බලලවත් හැදෙන්න කියාලා.

අතුරු කතා පසෙක තබා ----

මෙහෙමයි .මම අද රාත්‍රියේ කම්මැලි කමට බුකියේ සැරිසරමින් , ඩේටා කාබාසීනියා කරමින් ඉන්න වෙලාවේ දැක්කා පෝස්ට් එකක්.. ලියලා තියෙන්නේ පහුගිය රජයේ මාධ්‍ය ප්‍රබලයෙක් වෙච්චි දැන් පේරාදෙණි ඇදුරෙක් වෙම චරිත හේරත් උන්නැහේ.  උන්නැහේ ගේ පිෂික්ස් දැනුම ගැන සෑහෙන ප්‍රශ්න තිබුනත් කියවලා බලන්ට වටිනවා...

When i was visiting Vienna University for an academic conference this week, have just captured the photograph of Prof Ernst Mach (1838-1916) which is at the university garden (City Hall Park). Mach was one of the founding father of theoretical physics in late 19th and early 20th century. His was creating a 'space' for new thinking in philosophy science and speacially in arguing for a different kind of phenomenology which based on "sensationalism". He was well taken by th...en two main worldly known figures, Lenin and Einstein and responded in different ways. Lenin criticised Mach intervention into the philosophy of science as 'kind of absolute form". Lenin wrote one of the interesting text on this matter, "Materialism and Empirio-Criticism" in 1909. Einstein mentioned Mach's works in his studies and argued that Mach was one of influential figure who should be considered as "the precursor of the general theory of relativity".

මේ පෝස්‍ටුවටත් වඩා වටින්නේ ඒ ලියපු තුමාගේ මිත්‍රයෙක් එම ශාස්ත්‍රීය ලේඛනය ගැන දාපු කමෙන්‍ටුව... මම නම් හිතන්නේ නොවේ මෙවන් රසක් ලොවේ කියලා.. මේ වගේ විචාරයක් දෙන්න ගුණසිරි සිල්වාට තියා දීප්ති කුමාරටවත් බෑ.

Mr.XXX- wrote
If you are still in Vienna please visit Colombo Hoppers. You can have SLn food over there. The owner of this is a cousin of mine.

ඔය දෙකටම වඩා මට නම් වටිනවා මහින්ද පතිරණ උන්නැහෙගේ සුපුරුදු මැක්කා කොමෙන්‍ටුව ...


Mahinda Pathirana --

Mach studied Buddhism heavily and that made him reject Newton's absolute space through what is known as bucket experiment. it was this idea that ended as general theory of relativity in Einstein.

බඩ රිදෙනවා ඕයි හිනාවෙලා

Tuesday, August 9, 2016

රථ නොඝට්ඨෝන සූත්‍රය

 
උද්ඝෝෂණයක යෙදුනු සරසවි සිසුන්ට පොලිසීය  පිරිත් පැන් ඉසින අවස්ථාවක්
 
පාස් වුනාද නැත්ද කියන එක පැත්තකින් තිබ්බා උනත් වෛද්‍ය විද්‍යාව වගේ භෞතීය විද්‍යාවක් හදාරපු බුද්දික පතිරණ කියන මන්ත්‍රී උන්නාන්සේ පවත්වපු ගණ දෙවි පූජාව ගැන ලියලා කී බෝර්ඩ් එකෙන් අත ගත්තා විතරයි, මෙන්න බොලේ ඒ ජාතියෙම තවත් වික්‍රමයක්.

මෙදා සැරේ වික්‍රමපාල වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය.කුරුණෑගල නුවර පාරේ පිලැස්සේ රිය අනතුරු වැඩියි කියලා ඒක අඩු කරගන්න පොලිස් කට්ටිය මහා සංස රත්නය වැඩම කරවලා පිරිතක් කිව්වා කියහන්කෝ.

උන්වහන්සේලා දෙසපු " රථ  නොඝට්ඨෝන සූත්‍රය " කොච්චර බලවත්ද කියනවා නම්  පිරිතෙන් පස්සේ පිලැස්සේ එක අනතුරක්වත් උනේ නැහැ කියන්නේ. ඒ විතරක් නෙවේ මේ පිරිත් වැඩේ හරිද කියලා ටෙස්ට් කරන්න මහා වේගෙන් වාහන දෙකක් මූණට මූණ එවලා වද්දන්න සලස්සලා. වාහන දෙක රොකට් වේගෙන් ඇවිත් හරියට මි.මි 2.5 ඈතින් නැවතිලා,

ඔන්න ඔහොමයි  වැඩ සිද්ද වෙන්නේ.

දැන් ලංකාවේ අනිත් පොලිසි වල මහත්තුරුන්ටත් තියෙන්න මාවතගම පොලීසියට ඇවිත් වැඩේ කොරන හැටි දැන කියා ගන්නයි. ප්‍රශ්නෙකට තියෙන්නේ මේ විදියට අනතුරු අඩු වෙන්න ගියොත්  රථවාහන රක්ෂණේ අනවශ්‍ය දෙයක් වෙලා රක්ෂණ කොම්පැනි වහන්න වෙයිද කියන එක සහ පාරේ ඉරි අඳින කස්ටියගේ රස්සා නැතිවෙයිද කියන එකයි විතරමයි.

ට්‍රැ‍ෆික් පොලිස් මහත්තුරුන්ගේ රස්සා ගැන බය වෙන්න දෙයක් නැහැ, උන්නැහෙලාට පුලුවන්, අර තඩි මෝටර් බයිසිකල් වල නැගලා පිරිත් කිය කියා පිරිත් පැන් ඉහ ඉහා පාරේ උඩහ පල්ලෙහා යන්න.

මේ විදියට අනතුරු විතරක් නෙවේ, හොර මැරකම්, මංකොල්ල, මිනී මැරුම් නවත්තන්න, පිරිත පාවිච්චි කරලා මොනවා හරි ජිල්මාට් එකක් දාගන්න බැරි වෙන එකක් නැහැ.

අනික මේ දවස්වල ‍රැල්ලක් වෙලා තියෙන මන රංජන වැඩවර්ජන, උද්ඝෝෂණ නවත්තන්න පිරිත් වතුරම යොදා ගන්න ඇහැකි නෙව. බැටන් පොලු, කඳුලු ගෑස් කොපු වලටත් පිරිත් ටිකක් මතුරලා එව්වානම් පංකාදු පහයි.

ලංකාදීප වාර්ථාව

සටහන- එක අතකට බෝධි පූජාවලින් පොලිස්පතිකම ගත්තායි කියන රටක මොකා මොනවා කරාම මොකද නේද?

Monday, August 1, 2016

පිං ඇති ගණ දෙවි පෑනක් දෙන්නේ



මිනිහෙක් වුනාම විලි ලැජ්ජාවක් කියා දෙයක් යම්තමින් හෝ තිබිය යුතුය. යමෙක් දේශපාලකයෙක් වන විට එය  සාමන්‍ය මිනිසුන්ටත් වඩා තිබිය යුතුය.

කලබල නොවන්න... මම සැරසෙන්නේ ඊනියා පාද හා රෝදයාත්‍රාවලින් කොළඹ බලා එන  කට්ටිය  ගැන නෙවේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ගුප්ත විද්‍යාවන්හි ඇලී ගැලී සිට එම නිසාම පාරාජිකා වී දැන් පාදවල දිය පට්ට එනතෙක් තම අනුගාමිකයන් පයින් ඇවිදවන්නේය.ඔවුන් කැමතිනම් අපිට මොකද?

මම මේ කතා කරන්නේ , එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධියක් සහිත   වෛද්‍ය වරයෙක් ද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වන , ඊටත් වඩා තරුණයෙක් ද, දේශපාලන අඹරේ නැගී එන තරුවක් වශයෙන් තමන්වම හඳුන් වා ගනු ලබන්නාවූද, කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ පිනුම් ගැසූ පුද්ගලයෙකු වන්නා වූද  බුද්ධික පතිරණ ගරු මන්ත්‍රී තුමා ගැනය.

කට්ට කපටි කයිරාටිකයන් විසින් මෙරට අසරණ ජනතාව ජ්‍යෝතිෂ, නක්ෂස්ත්‍රය බඳු තිරශ්චීන විද්‍යාවන්  මගින් මුලාවේ හෙලීම කලක සිට පැවතුනද , මෑත කාලයේ දී එය වසංගතයක් බවට පත්ව තිබේ.

අද , හැම මගුලටම බෝධි  පූජා මල් පූජා, පහන් පූජා, ආදි වශයෙන් කියමින්  ගිහි පැවිදි දෙපාර්ශවයේම කපටින් විසින් ජනතාව ගසා කමින් සිටියි. විභාග කාලය ලංවන විට බෝධි පූජා දේව පූජා ,ආදිය නිල වශයෙන්ම සංවිධානය කරනු ලබයි.

දේශපාලකයින්ගේ හා  ජනමාධ්‍යවල වගකීම වන්නේ මෙම  අන්ධ විශ්වාසවලින් ජනතාව මුදාගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයා ගැනීමට මග පෙන්වීමයි. එහෙත් එම තක්කඩින්ද ජනතාව තව තවත් අඳුරට  යොමු කර දුක්ඛිත භාවයේ පතුලටම ගිල්වමින් සිටිති.

දුගී බවටත්, අන්ත අසරණ බවටත් ඇද දමා තිබෙන ජනතාව තම ප්‍රශ්න වලින් ගොඩ ඒමට වෙන කිසිම මගක් නොදක්නේ  මෙම ගර්හිත විද්‍යා වන් කෙරේ ඇලෙති.

සරසවි වල පවත්නා සීමිත අවස්ථා ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා පෙල ගැසීම වෙනුවට සිසුන් ගණදෙවි පූජා සඳහා පෙල ගැසීම දේශපාලකයා පැත්තෙන්  ගතහොත් ලොකු සහනයකි. රෝහල්වල  අඩු පහසුකම් නිසා නිසි ප්‍රතිකාර ලබා ගත නොහැකි තම ඥාතියා වෙනුවෙන් අරගල කිරීම වෙනුවට ඔවුන් බෝධීපූජා සඳහා පෙලගැස්වීමට හැකිනම් ඉතා අගනේය.

එමනිසා බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ ක්‍රියාව මොන්ටිසෝරි වැඩක් නොවන බව නම් පැහදිලිය.

අද දින සංවිධානය කර තිබූ ගණදෙවියන්ගේ  අති විශේෂ විභාග පෑන් බෙදීම හා විශේෂ ආශීර්වාද ගණදෙවි පූජාව  අප දැකිය යුත්තේ එලෙසය.

සටහන-  කපටි කපුවෙක් විසින් ජීවම් කර දුන්  තෙල්  තම පෑනට දමාගෙන විභාගය ලිවීමට ගොස් අමාරුවේ වැ‍ටුණු සිසුවෙක් ගැන වූ කෙටිකතාවක් කලකට ඉහත කියවූ බව මතකය.

Wednesday, July 27, 2016

මුරලි වීරයා සහ ද්‍රෝහියා

දේශමාන්‍ය ඩේව් වට්මෝර්
 
මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ  දඟ පන්දු උපදේශකයෙක් වශයෙන් ක්‍රියා  කිරීම නිසා බොහෝ දෙනෙකුට මල පැන ඇත. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිති කරුවන් ටෙස්ට් තරඟවලදී 20-20 ස්ටයිල් එකෙන් දවා ගැනීම නිසා මෙම මල පැනීම තව දුරටත් උග්‍ර  වෙමින් ඇත.මේ අනුව මුරලිදරන් පැය කීපයක් ඇතුලත වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු දක්වා පහත් වී ඇත.

බැරි වෙලාවත් මුරලිගෙන් උපදෙස් ලැබූ පන්දු යවන්නන්ට අත දිග හැර පහර දීමට ශ්‍රි ලංකා පිප්ති කරුවන්ට හැකි වූයේනම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොයන්නට ඉඩ තිබුණි.

නමුත් ඛේදයකි, ශ්‍රී ලංකා පිති කරුවෝ දැවී ගියේ මහ හුළඟකට අහු වුනු  කාඩ් බෝඩ් ගෙවල් වගේය. ඉතින් කැන්ගරුවන්  ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියා කැපුවා යැයි සිතා සිංහලයෝ දෙමල මුරලිට එරෙහිව අවි ආයුද ඔසවමින් සිටී.


පහතින් ඇත්තේ මෙම සිද්ධිය ගැන පල වූ ලිපියකට ලැබුණු ප්‍රතිචාරය.

Frank Martin japan
Demallu ohoma thamai !!
Para demallu Australia wa ta kath adina wa!!
 
\
               කන්න දෙන අත හපා කන එක දෙමල අයගේ ගතියකි…. කිසි දිනක ඔවුන් විස්වාස නොකරන්න
දෙමල කෝලාහල කාලයේ පන එපා කියා දුවන විට බේරා ගෙන තිබුනේ මම දන්නා සිංහල පවුලකි
Reply    
 
           
                       Sisira Kankanamage            

          Do NOt trust tamils, coolies who came from India cannot be trusted at all. He has shown the qualities of all Tamils, This is an opportunity to see how Tamils can be bought to do any dirty act, Hello world, open up your eyes!!!! Now you can witness the nature of Tamils by yourself. Even his father is same, Kundasale Tamils were protected by the Sinhalaese people in the area. This is how he return the favor.!!!

වන්නාටය.

දැන් මේ මහත්තුරුන් කියන්නේ මුරලි ඕස්ට්‍රේලියානු  කණ්ඩායම පුහුණු කිරීම වැරදි බවයි. දෙමලුන්ගේ හැටි ඔහොම බවද ඔවුන් අපට කියති.

මුරලිට බැට දෙන අය අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, තිලංග සුමතිපාල ය. මේ උන්නැහේගේ ක්‍රිකට් කෙරුවාව වගේම ඔට්‍ටු කෙරුවාවද වෙන වෙනම නොව එකට තබා කතා කල යුතුය.

කෙසේ නමුත් මේ ශුද්ධ සිංහල  මහත්තුරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ . එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවන් වශයෙන් වරින් වර සේවය කළ පහත අයවලුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ද යන්නයි.

1. මඳ කලකට ඉහතදී ශ්‍රී ලංකා වාසි ක්‍රිකට් ලෝලින්ගේ වීරයෙකුව සිටි ඩේව් වට්මෝර්

2. ටොම් මූඩි

3. ට්‍රෙවොර් බේලිස්

4.පෝල් ෆාබ්‍රේස්

5.ග්‍රැහම් ෆෝර්ඩ්

6. ජෙෆ් මාර්ෂ්

7. බෲස් යාර්ඩ්ලි

මේ සියල්ලන් පසෙක තැබුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල මහ රසිකයා වූ ටෝනි ග්‍රෙග් ගැන තත්වය කුමක්ද?

මොවුන් සියලු දෙනාම විදෙශිකයන්ය. දැන් අප ඉදිරියේ ඇත්තේ අමුතුම උභ‍තෝකෝටිකයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට විදෙස් පුහුණු කරුවන්ගේ සේවය ලබා ගැනීම කැපය. හැබැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට පුහුණු කරුවන් වශයෙන් වෙනත් රටවලට සේවය ලබා දිය නොහැක. මාරය.

නමුත් බල්ලන් බිරුවාට තවලම යයි.එම නිසා මෙම ඊනියා දේශප්‍රේමි මහත්තුරුන්ගෙ ප්‍රාර්ථනා ඉ‍ටු වන්නේ නැත.

ශ්‍රී  ලංකාවට විදෙස් පුහුණු කරුවන් මිලට ගැනීමට අයිතියක් ඇත්නම් මුරලිට හෝ වෙන ඕනෑම කෙනෙකුට තමන්ව විදෙස් රටකට විකීණීමටද එම හා සමාන අයිතියක් ඇත. මේ යුගයේ ඇත්ත එයයි.

ඔබට මුදල් තිබේනම් ඕනෑම දෙයක් මිලට ගත හැකිය. ඔබ ලඟ ඇති දේට ඉල්ලුමක් තිබේනම් ඔබට එය විකුණා ගත හැකිය. එතැනින් එහාට ඇති කෙහෙල්මලක් නැත. දේශප්‍රේමය , ජාති ආලය, ආගම් ආලය පමණ්ක් නොව පවුල පවා මෙම යුගයේ හුදු වෙලඳ භාණ්ඩ පමණි.