Thursday, October 4, 2012

එස්.බී පන්නමු හා වෙනත් එවැනි කථා


එස්.බී පන්නමු යන්න අද රට තුල ඉතාම ජනප්‍රිය සටන් පාඨයකි. මේ දිනවල සමහරුන් පෙන්වීමට  හා සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටලු සියල්ලට මුල එස්. බී දිසානායක ඇමතිවරයා හා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බවයි. මේ මතය ඉදිරියට ‍රැගෙන යනවුන් අතර විමල් වීරවංශ හා ඔහුගේ ජාතිවාදි නඩයත්,ජාතික පුවත් පත් යැයි හඳුන්වාගන්නා දිවයින ,රිවිර හා සමහර විද්‍යුත් මාධ්‍යත්  ප්‍රමුඛ වේ.

මොවුන් සියලු දෙනාම වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ කොන්දේසි විරහිත ආරක්ෂකයින්ය.
අද රජයේ සිටින එක ඇමතිවරයෙක්වත් රාජපක්ෂලාගේ අනුමැතියකින් තොරව  බරපතල  තීන්දු තීරණ කිසිවක් නොගන්නා බව ඉතාමත් පැහැදිලිය. මේ බව දැන දැන ම එස්.බී  පන්නමු බඳු සටන් පාඨ මතු  වන්නේ නියම වග උත්තරකරුවන් සැඟවීමටය. මෙම අර්බුද ඇතිවන නියම හේතු සැඟවීමටය.'

අද විශ්වවිද්‍යාල තුලත් පොදුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලත් මතු වී තිබෙන අර්බුදය එස්.බී ගෙ ප්‍රශ්නයක් නොව වත්මන්  ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි අධ්‍යාපන වියදම් ක්‍රමිකව කප්පාදු කිරීම නිසා වූවක් බව සැඟවීම ඔවුන්ගේ අරමුණයි. එය විශේෂයෙන්ම තමන් මහා ‍රැඩිකල් විප්ලවවාදින් යැයි කියමින් තම මෝඩ අනුගාමිකයෛන් රවටාගෙන සිටින  වීරවංශ වැන්නවුන්ගේ දේශපාලන පැවත්මට අත්‍යවශ්‍ය වේ.

එස්.බී ඇමතිවරයා අද තමන් ශ්‍රී ලංකාවේ සරසවි අධ්‍යාපනයේ ස්වාමියා වශයෙන් පෙන්වීමට උත්සාහ කලත් ඔහු මෙරට රාජ්‍ය සරසවි අධ්‍යාපනය වැනසීමට ආණ්ඩුවේ සැබෑ පාලකයින් විසින් යොදා ගනු ලබන රූකඩයක් පමණි.

මෙබඳු රූකඩ සිටීමේ විශේෂ වාසියක්ද රජයකට තිබේ. එනම් ප්‍රශ්නයක් ඔඩු දුවා දෑවන්ත මහජන විරෝධයක් පැන නැගුන විටෙක මෙවන් රූකඩ යක් පාවා දී සියලු වරද ඔහු පිට පැටවීමට හැකි වීමයි.

සරසවි ප්‍රශ්නය හෝ උසස් පෙල විභාග අර්බුදය නිසා රජය අපකීර්තියට ලක් වන විට එස්. බී හා බන්දුල ඇමතියන්ගේ ඇමතිකම් ඉවත් කර විරෝධය සමනය කර ගත හැක. එසේම කොමිස් සෙල්ලම් නිසා ඇතිවූ ඉන්ධන අර්බුද වලට වගකිව යුත්තා ලෙස සුසිල් ප්‍රේම් ජයන්ත ඉතා හොඳ බිලිබෝයි කෙනෙකි.
මොවුන්ගේ ඇමතිකම් ඉවත් කල විට සියලු ප්‍රශ්න විස‍ඳෙන බවට සිතීමට පුරුදු කල ජනතාවක් අද සිටින අතර එස්. බී ලා  දැන් දරන ඇමතිකම් වලින් ඉවත් කර වෙන ඇමතිකම් දුන්නත්  ඒ ගැන පවා කිසිවෙක් ප්‍රශ්න නොකරනු ඇත..


සටහන- මෙවැනිම තත්වයක්  1980 ගනන් වල අග කාලයේ ද ඇති විය. එකල තිබූ සියලු අර්බුද වලට වගකිවයුත්තා  ජනාධිපති ජේ ආර්. යැයි මතයක් සමාජ ගත වූ අතර එකල ඉතා ජනප්‍රිය සටන්පාඨයක් වූයේ  ජේ.ආර්. මරමු යන්නයි. කෙසේ වෙතත් පාලක පංතිය  ඉතාම කපටි ලෙස ජේ .ආර්. බලයෙන් ඉවත් කර ප්‍රේමදාස ඒ තැනට පත් කර ගත්තේය. ජේ ආර් මරමුයි කෑ ගසමින් උන් පිරිස් අන්ද මන්ද වී ගිය අතර ප්‍රේමදාස බලයට පැමිණ ජේ ආර් විරෝධීන්ගේ සියලු සටන් පාඨ සියතට ගෙන ඔවුන් සුනු විසුනු කර දැම්මේය.

4 comments:

  1. නිවැරදි දැක්මක් සහිත සාඛඡ්චාවට බදුන් විය යුතු ලිපියකි, ඇත්ත මෙයයි..

    ReplyDelete
  2. කරුණාකර ලුහුබඳින්නන්ට (Followers) තැනක් ලබා දෙන්න. බ්ලොග් කළාව රඳ පවතිනුයේ ඔවුන් මතයි.

    ReplyDelete
  3. සම්පුර්ණ ඇත්තය.සමාජ ගත වී ඇත්තේ සියලුම හොඳ දේවල් රාජපක්ෂවරුන් ගේ අදහස් හා නිර්මාණ බවත්.ඇමතිවරු ඇතුළු රජයේ බොහෝ බලදාරීන් රටේ ඉදිරි ගමනට අකුල් හෙලන බවත්ය.ඔබ බ්ලොග් කාරියක් බැවින් කටේ ලොසින්ජර තැබීම වෙනුවට ඔබට මල් මිටක් ලබා දෙන්නෙමි.

    ReplyDelete
    Replies
    1. @මාතලන් හා ඇනෝ

      බොහොම ස්තූතියි උපදෙස් හා මල්වලට.ඔන්න මම ෆලෝවර්ස් ලාට ඉඩ හැදුවා

      Delete