Sunday, January 6, 2013

බීඩි කොට ඕනෑ කර තිබේ.




කවුරුන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා පොලීසිය ඉතා කාර්යක්ෂමය. සූක්ෂම ලෙස පරීක්ෂණ කර ඕනෑම අපරාධයක් හෙලි කර ගැනීමට ඔවුන් සමත්ය. ෂර්ලොක් හෝම්ස්ගේ බාප්පලා වගේය.

ක‍ටු ගේ කැඩූ කන් ගැට්ටා අල්ලා ගැනීමට ඔවුනට අවශ්‍ය වූයේ බීඩි කොට කිහිපයක් පමණි. ( වරදවා වටහා නොගන්න. බීඩි අවශ්‍ය වූයේ ඔවුන්ට බීමට නොවේ. මේ බීඩි කොට කීවේ අපරාධකාරයා බී දමා ගිය බීඩි කොටය).

ඔවුන් එතරම් කාර්යක්ෂම නම් මංජුල තිලකරත්නට පහර දුන් අය තවම අල්ලා නොගත්තේ මන්දැයි යම් කුහකයෙක්  අසන්නට පුලුවන. අල්ලා ගන්නට කෙනෙක් සිටිය යුතුය. අල්ලා නොගන්නේ කෙනෙක් නැති නිසාය. ඇත්ත නම් මංජුල තිලකරත්නට කවුරුත් පහර දී නැත. ( සැක නම් වීරවංශ ඇමති තුමාගෙන් අසා බලන්න)

දෝෂාභියෝග කමි‍ටුවේ සභාපති ඇමති අනුර යාපාට තර්ජනය කරමින් පෙරේදා  ආ දුරකථන ඇමතුම ගෙන ඇත්තේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට නුදුරින් පිහිටි දුරකථන කුටියකින් බවා අපේ ඒ අති ශූර  පොලීසිය සොයා ගෙන තිබේ. 

එහෙත්  තවමත් මේ ඇමතුම දුන්නේ කවුදැයි  සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ අදක්ෂ කමක් නිසා  නොව අපරාධකරු  අල්ලා ගැනීමට  අවශ්‍ය බීඩි කොට ලැබී නැති නිසාය.. එම බීඩි කොට ලැබුණු විගස මෙම සහාසික දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කවුදැයි සොයා ගත හැක.

එසේම එම බීඩි  කොට නිෂ්පාදිත රට අනුව  මෙම ක්‍රියා දාමය පි‍ටුපස සිටින්නේ කවුදැයි සොයා ගත හැකි වන අතර එයින් බලවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෙලිකිරීමටද හැකි වනු ඇත.අලුත්කඩේ ප්‍රදේශයේ දේශීය බීඩි කොට තිබිය නොහැකි බව දේශහිතෛෂී ජනතා ව්‍යාපාරයේ සභාපති ගුනදාස මරසේකර මහතා හා එහි ලේකම වසන්ත බන්ඩාර මහතා එක හඬින් කියා සිටී.

එම නිසා අලුත්කඩේ ප්‍රදේශයේ බීඩි කොට දු‍ටුවහොත් වහාම දැනුම් දෙන ලෙස සියලු දේශප්‍රේමි ජනතාවගෙන මෙයින් ඉල්ලාසිටිනු ලැබේ.




2 comments:

  1. බීඩි බොන්නේ ශිරානිද? විජේදාස රාජපක්ෂද?

    ReplyDelete