"නමුත් කවරෙකු විසින් හෝ කුමන හේතුවක් නිසා හෝ පුද්ගලයින් එකසිය පනස් හතර දෙනෙකුට නිදහසේ මිය යාමට ඇති අයිතිය උදුරාගෙන ඇති බව මගේ වෘත්තිය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරනා විට මගේ හදවතට දැනෙමින් තිබේ"
කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවයන් එසේ පවසන්නේ පසුගියදා හමු වූ මාතලේ සමූහ මිනීවල පිලිබඳ තම වාර්තාවෙහිය.
ඔහුගේ හදවතට දැනුනු එම දෙය ලාංකීය සමාජයේ හදවතට දැනෙන බවක් පෙනෙන්නට නැත.
අහම්බයකින් මෙන් මේ මිනීවල හමු වූ මොහොතේ පටන් එය පිළිබඳව නොයෙක් දුර්මත පතුරුවාලීමට බොහෝ දෙනා, විශේෂයෙන්ම ජාතික තලයේ පුවත්පත් හා අනෙකුත් මාධ්‍ය බොහෝ උත්සාහ දැරුවෝය.
මිනීවළේ කැණීම් පිලිබඳව අවධානයෙන් සිටි සියල්ලෝම මුල සිටම දැන සිටි සත්‍ය වූයේ එහි තිබූ සිරුරු 88-89 භීෂණ සමයට අයත් ඒවා බවයි.තියුණු ආයුධවලින් කපා වෙන් කළ හිස්, අත් පා සහිත අනේක වද හිංසනයන්ට භාජනය කර තිබූ එම සිරුරු ඒ බව නිහඬ නොවී කියා පාමින් සිටියෝය.
එහෙත් එම සත්‍ය වසං කිරීමට අවශ්‍ය පුද්ගලයින් නොයෙක් කතා ගෙතූහ.
මෙය 1930 ගණන් වල වසූරිය වසංගතයකින් මිය ගිය වුන්ගේ සොහොනකැයි සමහර පුවත්පත්වල පල වූ අතර එම මතය සනාථ කිරීමට ඒකාලයේ විසුවා යැයි කියන පුද්ගලයින් සමග කළ සම්මුඛ සාකච්ඡා ද පල කලහ.
තවත් සමහරුන් කීවේ මෙය 1950 ගණන් වලදී දිය හෙණයක් නිසා මියගියවුන් වල දැමූ තැනක් බවයි.නමුත් මේ ඊනියා දියහෙණය කුමක්දැයි කවුරුත් කීවේ නැත.
එතැනින් නොනැවතුනු සමහරුන් මෙය 1848 මාතලේ කැරැල්ලටත් හා ප්‍රාග් ඓතිහාසික යුගයකට පවා සම්බන්ධ කළහ.මිනිස් ඉතිහාසයේ නොයෙක් ආකාරයේ අවමගුල් චාරිත්‍ර පැවති බව සත්‍යයක් වුවද මෙසේ හිස් කපා සිරුරු මත තබා ,දෑත් දෙපා වෙනම තබා , සිරුරුවලට දසවද දී භූමි දාන කරන ක්‍රමයක් ලෝකයේ කවර කලක හෝ තිබී ඇත්දැයි අපිනම් නොදනිමු.
මාතලේ මිනීවල අයිති යුගය පිලිබඳව මෙසේ පැහැදිලි හෙලිවෙමින් තිබියදීත් මෙවන් විකාර අදහස් පැතිරවීම නිසැකවම ඉතා දැනුවත් භාවයකින් කළ දෙයක් බව නිසැකය.
ඔවුන්ගේ අරමුණ වූයේ මිනීවල පිලිබඳව ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමය.මේ මියගොස් සිටින්නේ 1988-89 යුගයේ අතුරුදන් වූවන් යැයි කිවහොත් මියගිය උන්ගේ ඥාතින් තම දුවාදරුවන්ගේ, සැමියන්ගේ , බිරියන්ගේ, සොහොයුරු සොහොයුරියන්ගේ සිරුරු කොටස් සොයා පැමිණෙතැයි බියවූවා සේය.
එහෙත් අප යුගයේ වෙසෙන ගරු කටයුතු මිනිසුන් දෙදෙනෙකු හා වචනයේ පරිසමාප්තයෙන්ම විශිෂ්ඨ වෘත්තීයවේදින් දෙදෙනෙකු වන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව යන දෙදෙනා ගේ අනගි මෙහෙවර නිසාම එකසිය පණස් හතර දෙනෙකුන්ගේ ජීවිත වසා සිටි මේ සමූහ මිනීවල අයිති 1988-89 යුගයට බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.
ඔවුන්ගේ විද්‍යාත්මක වාර්තා නිකුත් වූ පසුව පවා ලක්ෂ්මන් හුලුගල්ලේ නමැති මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ එම ඇටකටු අයිති කාලය හරියටම සොයා ගැනීම පිණිස කාබන් කාල නිර්ණයක් කල යුතු බවයි. එහෙත් කාබන් කාල නිර්ණයකින් කාලය නිර්ණය කල හැක්කේ ආසන්න වසර පනහකට පමණක් වෙන බව සලකන විට ඔවුන් නටන්නට හදන්නේ කුමන නාඩගමක්දැයි පැහැදිලිය.එනම් මෙම මිනීවල නැවත වතාවක් වසා දැමීමටය.
එයට ඉඩ දිය යුතුද?
වෛද්‍ය අජිත් ජයසේනත් , මහාචාර්ය රාජ් සෝමදේවත් තම වෘත්තීය වගකීම ඉටු කර තිබේ. මේ මිනීවල අයිති කාලය පිලිබඳව තිබූ සැක සංකා ඔවුන් දෙදෙනා විසින් දුරු කර ඇත.
දැන් මේ මිය ගොස් සිටින්නේ කවුද, ඔවුන් මිය ගියේ කෙසේද, ඔවුන් මරා දැමුවේ කවුරුන්ද යන ප්‍රශ්න මතුව තිබේ. ඒවාට පිලිතුරු සෙවීමට අප සූදානම්ද? අපට අවශ්‍යද?
මේ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපතිවරයා පවසා ඇත. ජනාධිපති කොමිසම් පිලිබඳ ඉතිහාසය අප දන්නා අතර , මීට ප්‍රථම පත් කරන ලද සමහර කොමිසම් වාර්තා කිසි පලකට නැති පතෝල වූ අතර සමහර වාර්තා කිසි දිනක එලියට ආවේ නැත.තව සමහර වාර්තා වසර තිහ හතලිහ යටපත් කරන මෙන් එම කොමිසම් පත් කල ජනාධිපතින්ම නියෝග දී ඇත.එම නිසා ජනාධිපති කොමිසම් ගැන විශ්වාසය තබන්නේ පිස්සන් හා මෝඩයන් පමණි.
පුද්ගලයින් 154 දෙනෙකුන්ගේ ජීවත් වීමේ අයිතිය බලහත්කාරයෙන් පැහැරගෙන වල දැමූ මේ සමූහ මිනීවල පිලිබඳව ,පුලුල් හා ස්වාධීන පරීක්ෂණයක් වහාම ඉල්ලා සිටිය යුතුය. මාතලේ ප්‍රදේශයේ අතුරුදහන් වූවන්ගේ ඥාතින් සංවිධානය වෙමින් ඩී එන් ඒ පරීක්ෂණ ලබා ගෙන වල දමා සිටින්නේ කවුරුන්දැයි හඳුනා ගත යුතුය.
මේ සියල්ල නිකම් සිදු වන්නේ නැත . ඒ වෙනුවෙන් ප්‍රබල හා පුලුල් හඬක් නැගිය යුතුය. උද්ඝෝෂණය කල යුතුය. ඒ සියල්ලට පෙර මින්සුන් 154 දෙනෙකුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කර දමා එති බව ජනතාවගේ හදට දැනිය යුතුය.
එහෙත් ඒ බව ජනතාවගේ හදට දැනෙන දෙයක් බවට පත් වී නැත. එසේ පත් වීම වැලක්වීමට මාධ්‍ය කටයුතු කරන අතර විපක්ෂය ඔහේ බලා සිටියි.ඉඳ හිට මාධ්‍ය සාකච්ඡාවක් තබා විසිර යයි.එපමණකි.
අනිත් අතට ගත් විට අපේ රටේ සියලු විපක්ෂ කටයුතු කරන්නේ ආණ්ඩුව හදා දෙන න්‍යාය පත්‍රයකට අනුවය. එදා වේල ට්‍රැවල්ස් මෙන් එදිනෙදා කුමක් හෝ ප්‍රශනයක් අල්ලා ගෙන එය සමග හැපේ. අලුත් ප්‍රශනයක් ආ විට පරණ ප්‍රශ්නය අතැර දමා අලුත් එක බදා ගනී.
මාතලේ සමූහ මිනීවල අයිති කාලය නිශ්චය වන විටම විදුලි බිල වැඩි වුනේ ඓතිහාසික ආකාරයකයට. කවදාවත් නොවූ විරූ තරම් ඉහල ප්‍රතිශතයකිනි. (ආණ්ඩුව රටේම ජනයා තමන් සමග තරහ කර ගැනීමට තරම් වන මෙවන් ප්‍රතිශතයකින් විදුලි බිල ඉහල දැම්මේ මන්දැයි ගැඹුරින් සොයා බැලිය යුතුය.)
ඉන්පසු සමස්ත විපක්ෂයම විදුලි බිලේ එල්ලී ඉන්නා අතර දුමින්ද සිල්වා හාස්කමකින් නැගිට වීර කොණ්ඩයා සේ කකුල් දෙකෙන්ම ඇවිද ගෙන ගෙදර යන්නට ගියේය. ඒ අතර වීරවංශ කොහේවත් නැති උතුරු මැතිවරණයක එල්ලී බඩ පිනුම් ගසයි.
දැන් මාතලේ සමූහ මිනීවලක් තිබුනා දැයි බොහෝ දෙනෙකුට මතක නැත.
එහෙත් එය අපූරු පාඩමක් සමාජයට කියා දී තිබේ.
එනම් අපරාධයක් කොතරම් යට ගසන්නට , වල දමන්නට තැත් කලත් කවදා හෝ මතුව එන බවයි.