Tuesday, May 14, 2013

නීති ගරුක පුරවැසියෝ



ලංකාවේ ජනයා ඉතාමත් ශීඝ්‍රයෙන් නීති ගරුක පුරවැසියෝ බවට පත් වෙමින් සිටිති.

පසු ගිය දාක ඇමතිවරයෙක් සංවිධානය කල ඩෙංගු මර්ධන ව්‍යපාරයකට සම්බන්ධ නොවී සිටීම නිසා හිත්  අමාරුවට පත් රජයේ නිලධාරියෙක් තමන්ම ගස් බැඳ ගත්තේ ඊට දඬුවමක් වශයෙනි.

ඇමති පුත්‍රයෙක් සිගරට්‍ටුවක් ඉල්ලූ විට එය දීමට නොහැකි වූ හමුදා මේජර් වරයෙක් කම්පාවට පත්ව තමන්ටම කොතරම් පහර දී ගත්තේ ද කිවහොත් ඔහුට රෝහල් ගත වීමටත් සිදු විය. ( මේ  ඈමති පුත්‍රයා මුලින් කී ඇමතියාගේ පුත්‍රයා  වීම හුදු අහම්බයකි)

ජනතාව මේ ආකාරයෙන් තම තමන්ගේ වැරදිවලට තමන්ම දඬුවම් කර ගැනීමට ගියොත් උසාවි හා පොලිසී වසා දැමීමට සිදු වේ යැයි එම ආයතනවල සේවය කරන්නෝ බිය පල කරති.

මේ ආකාරයේ අලුත්ම සිදු වීම වාර්තා වූයේ පසු ගියදා පැවති රගර් තරඟයක් අතර තුරය. එහිදී තමන් දුන් තීන්ඩුවක් වැරදි යැයි සිතු එක් විනිශ්චයකාරයෙක් පිට්ටනිය මැද සිටගෙන දෙනෝ දාහක් දෙනා බලා සිටිද්දි තමන්ට පහර දී ගන්නට පටන් ගත්තේය.

ඔහුගේ මේ තමන්ටම පහරදීම කොතරම් දරුණු වූයේ දැයි කිවහොත් , එම විනිසුරුගේ තීන්දුවෙන් අසාධාරණයට ලක් වූ වේ යැයි සලකන පිලේ එක් ප්‍රමුඛ ක්‍රීඩකයෙක් පැමිණ එම විනිසුරුගේ අත් දෙකින් අල්ලා ගෙන

"අනේ සර් ඔහොම කර ගන්න එපා, අපිට හරිම දුකයි.  අපි තරඟයට එන්නේ දිනන්නම නෙවේ. ජය පරාජය  දෙකම ලබන්න. ඒක නිසා අපිට මේ පරාජය ගානක් නැහැ. අපේ තාත්තා අපිට කියලා තියෙන්නේ එහෙමයි. අපි ඔය ඇමති පුත්තු වගේ හැසිරෙන්නේ නැහැ. සර් ඔයා තමන්ටම වද දී ගන්න එක නැවත්තුවේ නැත්නම් මම මැරෙන කම් උපවාසයක් කරනවා"

ආදි වශයෙන් කියා යම්තම් එම ස්වයං පහර දීම නවත්තා තිබේ.

කෙසේ වෙතත් මෙම රගර් විනිසුරුගේ ක්‍රියාව නීතිගරුක වුවත් එය විනය විරෝධී හැසිරීමක් නිසා  ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක්  කල යුතු බව දේශපාලන ක්‍රීඩා විචාරකයෝ පවසති.

සටහන - දේශද්‍රෝහින් මේ සිදු වීම ගැන නොයෙක් ආකාරයේ විකෘති වාර්තා පතුරුවන්නට ඉඩ තිබේ.





6 comments:

  1. දේශද්‍රෝහින් මේ සිදු වීම ගැන නොයෙක් ආකාරයේ විකෘති වාර්තා පතුරුවන්නට ඉඩ තිබේ.

    - අදත් පිටපත ඇහින්ද අසුන්දරගෙන්

    ReplyDelete
  2. රගර් මැච් එකක විනිසුරුට ගහන එක එච්චර ගේමක් නෙමෙයි. එදත් උනා අදත් උනා හෙටත් වෙයි. හැබයි ඒ ගහපු එකාට විනය ක්‍රියා මාර්ගත් ගත්තා. ඒ කියන්නේ රගර් ක්‍රීඩාව තහනම් කරන එක. කොහොම නමුත් අයියා කනට මල්ලිගේ කනට ගහපු එකත් අපි අගේ කරන්න ඕන. එක්කෝ රොකට් පුතා සමාව ගන්න ඕන. නැතිනම් අවුරුද්දකට දෙකකට හරි රගර් තහනම් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මාතලන්ට එළුවත් ඕනේ මුට්ටියත් ඕනේ.බොරු ඕන නැහැනේ ලංකාවේ ක්‍රීඩාව මෙතරම් දේශපාලනීකරණය වූ යුගයක් කිසිදා තිබුනේ නැහැ.සදාම් හුසේන් සහ පුතුන් ක්‍රියා කලෙත් මෙහෙමයි.

      Delete
    2. තව ටික කාලෙකින් සුප්‍රිම් ලීඩර් ඇලඩීන්ගේ ඔලිම්පික් උලෙල වගේම වෙයි . මාතලන්ගේ ලොක්කා හොඳයි අනික් උන් නරකයි තියරිය චුට්ටක් එහා මෙහා කරගන්න වෙනවා මේකෙදිත්

      Delete
  3. පෙර සිට පූර්වාදර්ශය ලබා දී තිබේ. එක් නඩුවක් ගොඩ දාගත් විට එම නඩුව පාදකකර ගනිමින් උන්ගේ සියලුම ගැටලු විසඳා ගත හැකිය.
    අවධානය‍
    බ්ලෙග් කරුවන්ද, FB වහලුනි, FB PAGE කරුවෙනි තවමත් පරිගණකයේ ip ඇඩ්ඩ්‍රස් වෙනස් කර ගත්තේ නැතිනම් එය කරගන්න. ip වෙනස් කර ගන්නා ආකාරය බ්ලොග් එකක තිබුණා මා දැක ඇත. මතක ඇති කෙනෙක් සිටීනම්, අන් අයගේද හිත සුව පිණිස එය ප්‍රසිද්ධ කරන්න. එමෙන්ම IP ලිපිනය හෝ වෙනත් පෞද්ගලික තොරතුරු පිටතට නොදෙන ඉන්ටනෙට් බවුසර් එකක්ද ඇත.

    ReplyDelete
  4. සුපිරි. අද පටන් ඔබේ ස්ථිර පාඨකයෙක් මි!

    ReplyDelete