දෙයියෝ කිලිවලට බයයි. කිල්ල කියන්නේ විෂබීජ. ඒ නිසා දෙවියන්ට කරන පුද පූජා පිරිසිදුව භක්‌තිවන්තව කරන්න ඕනා. ....... කතරගම දෙවි හාමුදුරුවන්ට භක්‌තිවන්තව පුද පූජා කරනකම් යාදෙයි. එහෙම නැති වුණොත් අපිටත් වරදියි. ඒ වගේම තමයි පිරිසිදුව නොතබන කිසිම පූජාවක් දෙයියෝ බාරගන්නෙත් නැහැ.
අද වගේ නෙමෙයි ඉස්‌සර කතරගමට මේ විදිහට බැතිමතුන් ආවේ නැහැ. ඒ නිසා කපු මහත්වරු හේන් වැඩ කරන ගමන් ඇවිත් තමයි දෙවියන්ට පූජාව තියලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම කරපු කපු මහත්වරුන්ටත් දේව දඬුවම් ලැබිලා තියෙනවා. සල්ලිවලට ඇති තණ්‌හාවට කතරගම දේවාලයට ලැබෙන තුටු පඬුරු පොදි ගහපු කපුමහත්වරුන්ගේ අන්තිම කාලයේ අතේ පිච්චිය නැතිව පාරක් පාරක් ගානේ හිඟා කනවා අපි දැකල තියෙනවා. කතරගම දේවාලයේ වැඩ කරපු කපු මහත්වරු හුඟ දෙනකුට ඒ අයගේ ජීවිතේ අවසාන භාගය බොහොම දුක්ත ඉරණමකට මුහුණ දෙන්න වුණා. අපි ඒ දේවල් ඇස් පනාපිට දැක්‌කා. නම් ගම් හෙළි කරන්න කැමති නැහැ. මම ඒ වගේ සිද්ධි ටිකක් මතක් කරන්නම්.
බොහොම අමාරුවෙන් ජීවත් වුණු මනුෂ්‍යයෙක්‌ව මම දේවාලේ කපුකමට ගත්තා. මිනිහා මුලදි බොහොම හොඳට දේවකාරිය කරගෙන හිටියා. ටික ටික අතට සල්ලි ලැබුණා. ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන ගත්තා. දියුණුවත් එක්‌කම මිනිහට මුල අමතක වුණා. ඒ හැම දේම දෙන්නේ දෙවි හාමුදුරුවෝ විත්තිය අමතක වුණා. සම්පූර්ණයෙන්ම වෙනස්‌ම මිනිහෙක් වුණා. හොඳ හැටි මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. පිළී ජාති කෑවා. අපිරිසිදුව දේවාලයට ආවා ගියා. අන්තිමට කපු මහත්තයා දේවාලයට උදේට වෙන කෙනෙක්‌ව එවලා එයා ආවේ රෑට. එහෙම ඇවිත් දේවාලය වහලා යනකොට එදා දවසේ ලැබෙන තුටු පඬුරු ටික මල්ලකට දාගෙන අරගෙන ගියා. ඒ පඬුරු මල්ල ගෙනියන්නෙත් එයත් එක්‌ක එන බල්ලා. කපු මහත්තයා කාර් එකෙන් යනවා. බල්ලා ඒ කාර් එකට ඉස්‌සරහින් සල්ලි මල්ලත් කටින් උස්‌සාගෙන දුවනවා. ටික කාලයක් ඒ සෙල්ලම කරගෙන ගියා. අද නවත්වයි, හෙට නවත්වයි කියලා අපිත් බලාගෙන හිටියා. කතරගම දෙවි හාමුදුරුවොත් බලාගෙන ඉන්න ඇති. ඒත් නැවැත්තුවේ නැහැ. කෑවා බිව්වා හොඳට විනෝද වුණා. අන්තිමේ මිනිහට හැදුනා සිරෝසිස් රෝගය. කොළඹ තියෙන හැම පුද්ගලික ඉස්‌පිරිතාලේකම නැවතිලා ප්‍රතිකාර ගත්තා. හම්බ කරපු සල්ලි ඉවර වෙනකම්ම රෝහල්වල නැවතිලා ප්‍රතිකාර ගත්තා. ඒත් සුවයක් දැක්‌කේ නැහැ. අන්තිමේ කොළඹ එක පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා තිබුණා හොඳ කරන්න පුළුවන්. හැබැයි ආයෙමත් බොන්න එපා කියලා. කිව්ව වගේ හොඳ වෙලා ආවා. දවස් දෙක තුනයි හිටියේ ආයෙමත් බොන්න පටන් ගත්තා. මිනිහා මැරුණා. ඒ වෙනකොට මිහිහට බෙහෙත් කරන්න ඉඩකඩනුත් විකුණලා තිබුණේ. අන්තිමේ පවුලේ උදවියත් බින්දුවටම වැටුණා.
එකදහස් නවසිය ගණන්වල කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරාන්දරය දැරූ කපු මහත්තයත් හොඳට මස් මාංශ කාපු කෙනෙක්. ඌරු මස් කාලා දේවාලයට ඇවිත් පූජාව තියලා. වතුර පොදක් නාන්නේ නැතිව ඇවිත් දේවාලයේ පූජාව තියලා, කාලයක් දේවාලේ කපුකම කළා. එහෙම ඉන්නකොට අකාලයේ අසනීප වෙලා අන්තිමේ ඇවිද ගන්න බැරිව ගියා. මැරෙනකම්ම කොළපතක් පස්‌ස පැත්තෙ බැඳගෙන තමයි ඇවිද්දේ. ඒ මනුස්‌සයා මැරුණු වේලාවේ ගිනි ගහන පෑවිල්ලේ කතරගමට මහා වර්ෂාවක් වැස්‌ස. වැස්‌ස පෑව්වේ මරණය කටයුතු කළාට පස්‌සෙයි. වැස්‌සෙ ඝනකමට සොහොන ගිනි ගත්තෙත් නැහැ. අන්තිමේ ටයර් දාලා පෙට්‍රල් ගහල තමයි මිනිය පිච්චුවේ.
මේ තවත් දේව සාපයක් ගැන කියෑවෙන කතාවකි. දේවාලයේ දෙවියන් වැඩම වන ආසනය හඳුන්වනු ලබන්නේ 'වත පුටුව' නමිනි. එක් බැතිමතකු එම මත පුටුවේ පවුම් දහයක මාලයක් පැළඳවීමට භාරයක් විය. එම භක්‌තිවන්තයා දෙවියන් ඉදිරියේ පැතූ පැතුම් එලෙසින්ම ඉටු විය. එසැණින් ක්‍රියාත්මක වූ භක්‌තිවන්තයා භාර වූ පරිදිම කතරගම දේවාලයේ පෙරහැර පැවැත්වෙන දිනයක රන් මාලය ගෙනැවිත් "වත පුටුවට" පැළැන්දුවේය. අනතුරුව ඔහු ඉහවහා ගිය සතුටින් කාවඩි නටමින් පෙරහැරේද ගමන් කළේය.
ඒ භක්‌තිවන්තයා රන් මාලය "වත පුටුවට" පළඳින අවස්‌ථාවේ එහි සිටි කපු මහතාට මාලය ගැන ලෝභ සිතක් පහළ විය. පහුවදා හිමිදිරියේම කපු මහතා ක්‍රියාත්මක විය. දේවාලයට පැමිණි කපු මහතා රන් මාලය තම කමිස සාක්‌කුවේ දමා ගත්තේ එවැනිම රිදී මාලයක් සකස් කර රන් ආලේප කර ගෙනත් "වත පුටුවේ" පැළඳීමට අදිටන් කරගෙනය. එය රහසක් වශයෙන් තබාගැනීමටද ඔහු සිතා ගත්තේය. එම වටිනා රන් මාලය තම ආදරණීය බිරිඳට තෑගි කර කපු මහතා රිදී මාලයක් ගෙන ඒමට වෙළෙඳපළට ගියේය.
කතරගම ගිනි ගහන පෑවිල්ලය. එහෙත් හොර කපුවා නිවසින් එළියට බසින විටම හෙන පුපුරමින් මහා වැස්‌සක් ඇදහැලිණි. එහෙත් සවස් වීමට පෙර "වත පුටුවට" මාලයක් පැළඳිය යුතු බැවින් ඔහු වැස්‌ස මැදින් වෙළෙඳපොළට යැමට පය ඉක්‌මන් කළේය. වැඩිදුරක් ගමන් කිරීමට නොහැකි විය. පය ලිස්‌සා මහ මඟ ඇද වැටී දරුණු ලෙස හිස තුවාල විය. ගම්වැසියෝ එකතු වී කපුවා රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු යන ලෝකයට ගොස් තිබිණි. මහ වැස්‌ස මෙන්ම සුළඟ ද ප්‍රචණ්‌ඩ විය. සුළඟ ගස් කොළන් කරකවා පොළවට කඩා දැම්මේය. කපු මහතාගේ නිවසට ද ගසක් කඩා වැටී නිවසේද අඩක් කඩා වැටිණි. ඒ මොහොතේ නිවසේ අනෙකුත් සාමාජිකයන් ඥති නිවසකට ගොස් සිටි බැවින් නිවැසියන්ට අනතුරක් නොවිනි. එහෙත් කපු මහතාගේ මිනිය තම නිවසට ගෙන ඒමට නොහැකි විය. එමෙන්ම මිනිය භූමදානය කිරීමට නොහැකි ලෙසට විරාමයක් නොමැතිවම වැස්‌ස වැටිණි. එහෙත් ප්‍රදේශවාසීන්ගේ මහත් පරිශ්‍රමයෙන් කෙසේ හෝ මිනිය භූමදානය කර තිබිණි. ටික කලකට පසු මාලය පැළඳ ගත් කපු බිරිඳ ද කොඳු නාරටියේ පිළිකාවක් වැළඳී මියපරලොව ගියාය...
තරංග රත්නවීර
( කතරගම දෙයියන්ගේ වැඩ කිඩ ගැන ඉහත සටහන උපුටා ගත්තේ වෙල්ගම හාමුට අයිති දිවයින පත්තරෙන්ය. බලා ගෙන ගියාම ගාමිනි සුමනසේකර නොහොත් සුගාර ඊටත් වඩා පොරක්නෙ ඕයි)