අනිත් අතට ඔහු මේ කියන්නේ ඊලම සැබැවින්ම අත හැරීම ගැනද නැතිනම් අත හැරිය බවට ප්‍රසිද්ධියේ පැවසීමක් ගැනද? යමෙක් ඊලම අත හැරියා යයි පැවසුවද ඔහු එසේ පැවසුයේ ඇත්තටම දැයි දැන ගන්නේ කෙසේද?
කෙසේ වෙතත් දැන් අතිගරු උතුමාණෝ මෙසේ කියනා නිසා ඒ ගැන මදක් හොයා බැලූ විට අපිට පෙනෙන්නේ දෙමල ජාතික සංවිධානය දැනටමත් ප්‍රසිද්ධියේ ඊලම අත හැර ඇති බවයි. නො එසේනම් ඔවුන් කිසිම දිනෙක ඊලමක් නොපැතූ බවයි. ( මෙහිදී ඇතමුන් ස්වයං පාලනය හා ඊලම පටලවා ගැනීමට ඉඩ තිබේ.) ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වශයෙන් දිවුරුම් දෙන විටම ඒකීය රාජ්‍යයක පැවත්ම ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත.
එසේ නම් දැන් ඉතුරුවන්නේ ඩයස්පෝරාව පමණි. මේ ඩයස්පෝරාව යනු නිශ්චිත කාණ්ඩයක් නොවේ. ඕනෑ අතකට අර්ථ දැක්විය හැකි කුලකයකි. එහි අනිත් සියලුම දෙනා ඊලම අත හැරි බව ප්‍රසිද්ධියේ කිව්වත් , නොකියූ එකම එක පුද්ගලයෙකුට ඇඟිල්ල දිගු කර අන්න අරූ කිව්වේ නෑ. ඒ නිසා ඩයස්පෝරාව ඊලම අත හැර නෑ. ඒ නිසා මම විධායක ජනාධිපතිකම අත හරින්නේත් නැහැ යැයි කිව හැක.
ඒ නිසා ජනාධිපතිවරයාගේ මේ කියමන නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් හෙවීම වැනි දෙයක් මිස අන් යමක් නොවේ. ඔහු විධායක ජනාධිපතිකම අත හරින්නේ නැත.ඔහු නොකියා කියන්නේ එයයි.