වංචාවට දූෂණයට එරෙහිව හඬ නගමින් බලයට ආ යහපාලකයන් වැඩ ඇල්ලුවේ භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන ගණනාවක මගඩියක් කරමිනි.නාස්තිය පිටු දැක සරල චාම් ලෙස ආණ්ඩු කරන්නට පැමිණි මොවුන් දැන් කතරගම් යන්නේත් හෙලිකොප්ටරයෙනි.
ආමේන්.
පසුගිය රජයේ ව්‍යාපෘති වලට යටිගිරිය පුප්පා බැන වැදුනවුන් ම පොර්ට් සිටි කරේ තියාගෙන මොණරුන් සේ රඟති. අකාර්යක්ෂමතාව සෑම තැනම ඉහටත් උඩිනි. විදුලි බලය නැත. පොරොන්දු වූ සහතික මිල නොමැතිව ගොවීන් මහ පාරේය. තේ , රබර් වගා කරුවන්ගේ තත්වය එලෙසමය.බඩු මිල බදු ගසමින් , අහස උසට යන්නේ යෝෂිතගේ රොකට්‍ටු ද පසු කරමිනි.නිදහස හා අයිතීන් ගැන කතා කරමින්ම උද්ඝෝෂණය කරන සිසුන්ගේ ඔලු පලති.
රාජපක්ෂ රෙජිමයෙන් දිවි ගලවා ගැනීම සඳහා රටින් පලා ගියවුන්ට ආපසු එන්නටැයි කියා , එසේ එන උන් අල්ලා සිර ගත කරති. මඩකලපුවේ මාධ්‍යවේදි සසීකරන් සිරගත කලේ එසේ ආපසු ආ විටය.
අද පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ට වසරක සිර දඬුවමක් පනවා තිබේ .
ඒ ඔහු මෙරට ආගමන විගමන නීති කැඩූ නිසාලු. එනම් රාජපක්ෂ රෙජිමයෙන් පණ බේරා ගැනීම සඳහා වෙනත් නමක් භාවිතා කරමින් රටෙන් පලා යෑම නිසාය.
එහෙත් එම නඩු හා පරීක්ෂණ සඳහා ඇති කඩිමුඩිය හෝ හදිසිය මිනීමරුවන් හා ජාතික ධනය කොල්ල කෑ හොරුන් අල්ලන්නට නැත. හොර පාස්පෝට් හැදූ වීරවංශ යුවල සුවසේ සිටිති. සමහර අලි හොරු ඇප මත ගෙදරය, තව සමහරුන් තාම නිදැල්ලේය. සමහරුන් නඩු පවා අසමින් සුවසේ සිටිති.භාණ්ඩාගාර බිල්පත් සොරුන් ගැන වචනයක්වත් කතා කරන්නේ නැත.
යහපාලනයක් දෙන්නට ආ වුන් දෙමින් සිටින්නේ යම පාලනයකි. මේ සියල්ලම අපට පෙන්වා දෙන්නේ නීතිය හා යුක්තිය එකක් නොවන බවයි. යුක්තිය ලැබෙන්නේ තවමත් පරණ පුරුදු ලෙසම ගජමිතුරු ක්‍රමයටය. නීතිය අනෙක් උන්ටය.
රටට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන පරීක්ෂණ අපටම කළ හැකිය යැයි කියන්නේ මෙවන් තත්වයක් තිබියදීය. එම යහපාලන කතා කවුරුන් විශ්වාස කරයිද?