එකම පන්තියේ අපි ගල් ගැසිය යුත්තේ කාටද?‘‘ -A letter from a Jaffna University Tamil Student-

 
ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි,
පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධව ද කිසිදු කතාබහකට මා අකැමතිය . පොලු ගත්තෝය, ගල් ගැසුවෝය, තුවාල සිදුවිය ,පොලීසිය පැමිණියේය , සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලු මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි.
මේ අවස්ථාව අප සාකච්ඡා කළ යුතු මොහතකි .
එදා විශ්ව විද්‍යාලය පසු කොට එන විට එහි ඉතා විශාල නිහැඩියාවක් තිබිණි. විශ්වවිද්‍යාලයය පොලිසියෙන් වට කර තිබිණි. දහවලේ සිදු වූ සිද්ධියත් මාධ්‍යයෙන් එය විකෘති කිරීමත් අතර මඟදී අසන්නට ලැබූ දේවලුත් මා ආවේගයකට පත් කළේය. නිවසට පැමිණි විගස මුහුණු පොතේ දමන ලද අදහසද මම පසුව අයින් කළෙමි. මා තුළ ද භීතිය හා හැඟීම් වෙලාගත් සේය. ඔබත් එවැනිය . අපගේ හිත්වල කහටක් නොමැති බවට අපගේ හිතට එක් වරක් කියා දෙමු.
දැන්,
මෙතෙක් සිදු වූ ජන ඝට්ටනය (ජන වාර්ගික ගැටුම) , අපගේ හැඟීම් කොතෙක් යටත් කර ඇත්තේද කියා වටහා ගත හැකිය. පසුගියදා විශ්ව විද්‍යාලයයේ සිසුන් අතර සිදු වූ ගැටුමේදී සිසුන් මැදිහත් වුවාට වඩා සමාජ ජාල හරහා වෙනත් අය තීව්‍ර ලෙස මැදිහත් වූහ. විශේෂයෙන්ම රැකවරණයක් ඇති විදෙස් ගත වුවන්ට සහ බලයත් දේශ පාලන හයියත් ඇති අයට අප ආයුධ දරා සටන් කළ යුතුය යන හැඟීම ඇත. සැම ජාතියකම මෙවන් පසුගාමී අදහස් ඇත්තෝ බහුලය.
මෙය විශ්ව විද්‍යාලයයේ ගැටුමකි . පෙර සේම එය තුරුම්පුවක් ලෙස සිංහල සහ දමිළ ජනමාධ්‍ය භාවිතා කරමින් සිටියේය . හොදින් බැලුවහොත් එය පුද්ගලානුරූපීය. පළමුව කුපිත වී අත් එසවුවන්ගේ සහ එයට උත්තරයක් වශයෙන් අත් එසවුවන්ගේ ප්‍රශ්නයකි . එම කොටස් දෙකෙහිම පිරිස් විශ්ව විද්‍යාලය තුළ සැරිසරති .
ඔවුහු එදා එහි ඉබේ පහළ වුවෝ නොවෙති. මෑතක සිට මෙය සීතල යුද්ධයක් ලෙස ගිණි පුපුරු දමමින් තිබුණේය . විහාරයක් සැදිය යුතුයි කියන පෝස්ටර , නන්දි පිළිමය කැඩීම , බංකු කැඩීම් විද්‍යා පීඨයට සමීපතමව හොර රහසේ සහ එළිපිට සිදුවූ සිද්ධි එදා පුපුරු ගැසුවේය. මෙය ක්ෂණිකව සිදු වුවක් නොවේ . බොහෝ උපසිද්ධිහි සමීපතම පිපිරීම්ය.


සාතිශය දමිළ සහ සාතිශය සිංහල සිසුන් පිල් දෙකකට රදවා ගහ ගන්නා ලෙස කීමට ජන මාධ්‍ය සහ සාමාජ ජාල ක්‍රියා කරයි . ඔවුන්ගේ රසාස්වාදයට සහ උනන්දුවට සිසුන් පළි නැත.
සැම ජාතියකටම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අයිතිය ඇත. එය මර්දනය මගින් ද, ජාතිවාදය මගින්ද පීඩාවට පත්කරන ලද සමාජයක ජීවත් වන්නන් හට බලෙන් පැටවීම ගැටළුවකි . එහෙත් විශ්ව විද්‍යාලයට පිටින් ගොඩ නැගෙන බුද්ධ ප්‍රතිමා වලට එක ඇඟිල්ලක් හෝ දිගු නොවූයේ ඇයි ද යන්න ගැටළුවකි. මේ තුළ කුමක් හෝ කුමන්ත්‍රණයක් සිදුවන බව නම් පැහැදිලිය.
සැවොම නිදහසේ හා සාමයෙන් සිටිතියි කියා කියන්නවුන්ගෙන් මා අසනුයේ එසේ නම් මා පෙර කියූ පෝස්ටර සිද්ධිය, පිළිම බිඳීම ආදිය සිදුවූයේ කෙසේද යන්නයි. සැබැවින්ම සියලු දෙනාගේ ක්‍රියාවක් නොව දෘෂ්ටිවාදී පසුගාමී අදහස් ඇත්තවුන්ගේ ක්‍රියාය.


යාපනය විශ්ව විද්‍යාලයට පෙර නොවූ ලෙස සිංහල සිසුන් වැඩි වැඩියෙන් ඇතුළු කරන්නේ ජාතිවාදී හැඟීමෙන්ද? පීඨ කිහිපයක හැර සෙසු පීඨවල සිංහල දෙමළ සිසුන් මුහුණට මුහුණ හමුවුණත් සිනහවක් නැතිව යන්නේ ඇයි දැයි කීමට පිළිගත හැකි තාර්කික පිළිතුරක් පාලනාධිකාරියට තිබේද? මේවා සිංහල සිසුන්ගේ වැරදි කියා කිව නොහැකිය. මේවා ජාතිවාදයෙන් නෑවී සිටින පාලකයන්ගේ ක්‍රියා ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සිට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දක්වා ඊට වග කිව යුතුය.

ජල පවිත්‍රකය මගින් ජලය ලබා ගැනීමේ සිට සිංහල දමිළ සිසුන්ගේ ප්‍රශ්නය දිනෙන් දින තීව්‍ර වීම පරිපාලනය කවදා තේරුම් ගනීද?

පාලකයන් මේවාට උත්තර දීමට ප්‍රමාද වීම තුළ මෙය දරුණු ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිය. මෙම දරුණු රෝගය නැවතත් අප විනාශයට ගෙන ගොස් නතර කරනු ඇත .
දෙමළ හා සිංහල සිසුන් අතර මෙන්ම මුස්ලිම් හා දමිළ සිසුන් අතරේ ගැටළු ඇත. ඒවා සාමාන්‍ය ලෙස පසු කර යා හැකිද? මුස්ලිම් සිසුන්ගේ යාඥා කාමරයට ගැසූ කළු තෙල් පැල්ලම් තවමත් මැකී ගොස් නැත.

එකම පීඨයේ එකට සිටින තුන් ජාතියේම සිසුහු පිටස්තරයන්ගේ සිතීමකට හුරු වෙමින් සිටිති. පිටස්තරයන් සම්ප්‍රේෂණය කරන පසුගාමී අදහස් වසරක් පාසා ඔවුන්ගේ යටි සිත්වල පැල පදියම් වෙමින් තිබේ.

නිවාඩු ලබා දීමෙන් සිතේ කහට හෝ සිතේ ඇති ප්‍රතිවිරුද්ධ අදහස් නොහොත් මුවහත් පිහිය නැවතත් කොපුව තුලට දමන්නේය. පාලනාධිකාරිය කවදත් එසේය . කොපුව තුලට දමන ලද පිහිය එළියට ගෙන අප විනාශ කරාවිදෝ කියන ප්‍රශ්නය ඇත.

ගැටුම් සමතය ,ගැටුම් තත්ත්ව වෙනස් කිරීම්, ගැටුම් වෙන්කිරීම් ආදිය විෂය නිර්දේශයට පමණක් සීමා කර ඇත.

අප මින් පසු මර්දනයට එරෙහිව අවි නොඑසව්මට සිත් සාදා ගනිමු .

පාරම්පරිකත්වය , පෞද්ගලිකත්වය සහ අපගේ වාසස්ථාන විනාශ කරන්නෝ සිසුහු නොවෙති. එසේ කරනවුන් පිටුපස ඇත්තේ බලය මෙන්ම ප්‍රාථමික අදහස් සහිත දේශපාලනඥයන් සහ මුදල් කොල්ල කන්නවුන්ය . එය අප තේරුම් ගත යුතුය. සාකච්ඡා තලයෙන් මේවා විසඳා ගැනීමෙන් සිසුන් ඉදිරියේ මෙවන් දැ යළි නොනවතින්නේය .
අපගේ වාසස්ථානය වෙනුවෙන් අප සටන් කළ යුතුය. එහෙත් එය හැගීම් ප්‍රකෝප වීම් යන තලයන්හි සිදු නොවිය යුතුය . සාකච්ඡා තලයෙහි සිදු විය යුත්තකි. ඔබව ප්‍රකෝප කර එම ගිනිදැල් මගින් උණුසුම ලබන්නවුන් හට ඔබේ ප්‍රශ්නයක් කියාගෙන යන විට දේශපාලන වේදිකා සරසමින් කාට හෝ එරෙහිව ගල් ගසන පාර්ශ්වයන් සමග එක්වීමට සිදු වනු ඇත.
අපි සිසුහුය. ඔවුන් මෙන් කුහකයෝ නොවෙමු. අපි එකම පීඩක පරිසරයක එකම පන්තියේ සැරිසරන්නෙමු. ඉගෙන ගන්නෙමු. එදිනෙදා මුහුණට මුහුණට හමු වන්නෙමු.
නැගිට පරස්පරතාවයන් බලන අපි මිනිසුන් ලෙස ඉපදෙන්නෙමු. යළිත් අපි සිනාසීමට පටන්ගමු.

මෙයට,
ආදරණීය
යධාර්තන් .
(ප්‍රදීප් ගුණරත්නම්)
යාපනය විශ්ව විද්‍යාලයය
දෙවැනි වසර ශිෂ්‍ය


උපුටාගැනීම -Sri Lanka Young Journalists' Association

Comments

  1. මේ ලිපිය, තම තමන්ට කැමති ආකාරයට තේරුම් ගැනීමට පාඨකයාට බල කරයි. එය ඉතා භයානකය. ඇත්තටම සිදු වූ දේ පැහැදිළිව ඉදිරිපත් කර තිබුනානම් අගනේය.

    ReplyDelete

Post a Comment