Wednesday, October 12, 2016

කුණු , ගිනි සහ මිරිස්

 
බදුල්ලේ කුණු කන්දක්  ගිනි ගෙන මහා කලබෑගෑනියකි. කුණු ගිනි ගැනීම ගැන අපි එතරම් කලබල විය යුතු නැත. රටේ සිටින තිබෙන  සමහර කුණු ගොඩවල් ගිනි ගෙන දැවී යනවා නම් අපි බොහෝ කැමතිය. නමුත් ඒවා ගිනි ගන්නේ නැත. ඉඳ හිට එෆ්. සී.අයි. ඩී එකෙන් ඇමට්ඝුමක් ආ විට පමණක් ඒවා යම්තමින් රත් වෙයි. එපමණකි.
 
එහෙත් බදුල්ලේ කුනු ගින්න එසේ නොවේ. කසළ කලමණාකරණයට කවදත් අසමත් අපේ රටට පාඩමක් කියා දෙන්නට මෙන් බදුල්ලේ කුණු කන්ද ඇවිලේ. එයින් නැගුනු විෂ දුමින් නගරය වැසී ගොසිනි.ඒ  මීතේන් විෂ වායුව  දැවීමෙනි.  පාසැල් සතියක් පුරා වසා දමා ඇත. ජනතාව  මුඛ වැසුම් දාගෙන කඩි මුඩියේ නගරයෙන් ඉවත් වෙති. එසේ නොහැක්කෝ කට නාසය වහගෙන ආඩාපාලි කියමින් සිටිති.
 
පලාතේ මහ ඇමති චාමර දසනායක මහතා වට පිට ඇති සියලු ගිනිනිවන හමුදාවලට අමතරව ගුවන් හමුදාවද කැඳවා ගිනි නිවීමට උත්සාහ කරයි. එසේ තිබියදීත් තුන්වැනි දිනටත් අති සාර්ථක ලෙස ගින්න විෂ වායු පතුරවමින් සිටියේය.   මහ ඇමති ප්‍රමුඛ පලාත් සභාවට වියලි කාලගුණයත්, ප්ලාස්ටික් ,පොලිතීන් අපද්‍රව්‍ය ගින්න මැඩීමට බාධා කරන බව සමහරු කියති.
 
එහෙත් මගේ නම් අදහස මහ ඇමති වරයාට ගින්න නිවා දැමීමට අවශ්‍ය නැති බවයි. ඒ කුමක් නිසා දැයි මම නොදනිමි. නමුත් එය එසේය. ඒ බව සාක්ෂි සහිතව පෙන්වීමට හැකිය.
 
සමන්ත විද්‍යාරත්න මන්ත්‍රි වරයාගේ ප්‍රකාශයකට කිපුණු චාමර මහ ඇමතිවරයා අන් කිසිවක් කීමට හෝ කිරීමට ප්‍රථම කළේ සීනිගම දේවාලයට ගොස් සමන්ත මන්ත්‍රිවරයා ඇඹරී යන්නැයි පතමින් මිරිස් ඇඹරීමය. බදුල්ලේ කුනු ගින්න නිවීමට එවන් පලදායි ක්‍රියා මාර්ග නොගෙන මහ ඇමති වරයා මේ කරන්නේ බොරුවකි.
 
මහ ඇමති තුමනි, බදුල්ලේ ගින්න නිවීමට ඔබට සැබෑ උවමනාවක් ඇති බව පෙන්වන්න.
 
දැන්ම සීනිගම ගොස් මිරිස් අඹරන්න.
 
සටහන- සීනිගම උන්නාන්සේ ඔබ සමග යම් හේතුවක් නිසා අමනාප වී ඇත්නම් පහත සඳහන් විකල්ප කෙරෙහිද ඔබට යොමු විය හැකිය.
 
1. නලින්ද සිල්වා උන්නාන්සේගේ නාථ දෙවියෝ.
2. පූජාවට්ටි හා නෝට්‍ටු ගිලින කතරගම දෙවි උන්නැහැ
3. සිරිපා අඩවියේ හීතලෙන් වෙවුල වෙවුලා සිටින සමන්  දෙයි යෝ( මතක ඇතිව ගල් භාගයක්වත්        පූජාවට්ටියේ තිබ්බොත් මහාපල දෙනු සත්තයි)



Friday, October 7, 2016

උසාවිය නිශ්ශබ්ද වනු!


 ...

.උසාවිය නිශ්ශබ්ද වනු! .........................
ජනතාවනි වහා හඬ නගනු!
..................................
ඊයේ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹා ඒ ගැන යමක් ලිවීමට සිතුවා පමණි. අද එය ප්‍රදර්ශනය කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා විය. ඒ වාරණය දැනට සති දෙකකට අදාලවය. පසුව එය ස්ථිර තහනමක් වීමටද ඉඩක් නැත්තේ නැත. එම නියෝගය ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ සිය අධිකරණ නිල කාමරය තුළ පවා ස්ත්‍රීන් ලිංගික බලහත...්කාරයට ලක්කළ හිටපු විනිසුරු ලෙනින් රත්නායකය. එම සිද්ධිය ඇස් පනාපිට ඔප්පුවූ පසුත් අධිකරණය, පොලීසිය, නීතීඥ සංගම්, මානව හිමිකම් කොමිසම, අධිකරණ සේවා කොමිසම, ආගමික ප්‍රභූන්, මාධ්‍ය ආදී රාජ්‍යයේ සියලු මර්දන උපකරණ සහ දෘෂ්ටිවාදී උපකරණ පීඩාවට පත්වූ ස්ත්‍රිය අවමානයට සහ අසාධාරණයට ලක්කර චුදිත විනිසුරුවරයා බේරා ගැනීමට මැදිහත් විය. දැන් එම අයුක්තිය ගැන කතා කිරීමද තහනම් කර ඇත. කලාකරුවෙකුට ඒ ගැන නිර්මාණයක් කිරීමට ඇති අයිතියද අත්හිටුවා ඇත. මේ හරහා අපට ඉගෙන ගත හැකි පාඩම් ගණනාවක් අතරින් සිතට නැගුනු ප්‍රධාන ඒවා මෙසේය.


1. කලාවේ නිදහසට අධිකරණයට හෝ ඕනෑම රාජ්‍ය ආයතනයකට මෙලෙස සීමා පැනවිය හැකිද? එය අප සාමාන්‍ය තත්වයක් ලෙස බාරගත යුතුද?


2. ස්ත්‍රියක් ලිංගික හිංසනයට ලක්කරන ඉහල පන්තියේ ප්‍රභූන්ට එයින් ගැලවිය හැකිද? නීතිය අදාළ වන්නේ පීඩිතයන්ට පමණද? පසුගිය කාලයේ 'ආධිපත්‍යය' තහවුරු කරන බව කීවේ මේ එක පන්තියක් වෙනුවෙන් වන නීතියකටද?


3. පසුගිය කාලයේ ඇතැම් 'ප්‍රජාතන්ත්‍රවාදීන්' කීවේ ප්‍රශ්නය ඇත්තේ අධිකරණය, පොලීසිය, රාජ්‍ය පරිපාලන සේවය වැනි ව්‍යුහ තුළ නොව ඒවාට දේශපාලන තන්ත්‍රය මැදිහත්වීම තුළ බවය. 19වන සංශෝධනයෙන් සියලු රෝග නිවාරණය වන බවට සමාජ විශ්වාසය හැදුවේ ඒ නිසාය. දේශපාලන තන්ත්‍රය තරමටම මේ රාජ්‍ය ආයතන ප්‍රතිගාමී බවත්, ඒවා ස්වාධීන වීමෙන් ජනතාවගේ අයිතීන්ට හිමිවන වාසියක් නැති බවත් නැවත නැවත ඔප්පු වෙමින් තිබේ. මේ අද අපට ලැබුණු උදාහරණයයි. චිත්‍රපටය කතා කරන්නේද ඒ යථාර්ථයයි.


4. කලාව මෙවැනි රාජ්‍ය ව්‍යුහයන්ගේ අනුමැතියෙන් ප්‍රදර්ශනය කිරීමට සීමා වුවහොත් කලාකරුවාගේ ප්‍රකාශන අයිතිය මෙන්ම රසිකයාගේ වින්දනයේ අයිතියද මේ ආකාරයට නැවත නැවතත් උල්ලංඝනය වනු ඇත. එනිසා වාරණයට එරෙහි විකල්ප ක්‍රමයක් අප සකසා ගත යුතුය. අප යෝජනා කරන්නේ මේ චිත්‍රපටය වාරණය කළහොත් ප්‍රොජෙක්ටරයක් සහ තිරයක් සමග ගමින් ගම ගොස් මේ කෘතීන් සමාජගත කළයුතු බවය. අපට 'උසාවිය නිහඬයි' වාර්තා චිත්‍රපටය ඇල්පිටිය, බිබිල, අවිස්සාවේල්ල, බෝගල, යාපනය ආදී ප්‍රදේශ වල ජනතාවට ප්‍රදර්ශනය කිරීමේ අත්දැකීමක් තිබේ. එම ආකෘතිය තවත් වර්ධනය කර සිය කෘතීන් සමාජගත කිරීමට කලාකරුවන් එකඟනම් අපට ඒ සඳහා දායකත්වයක් දිය හැක.


මේ නිල සහ නොනිල මර්දනයට එරෙහිව ජනතා හඬක් නිර්මාණය කළ යුතුය. අයුක්තියට එරෙහි හඬ නිහඬ කිරීමට ඉඩ නොදිය යුතුය. අපි මේ කලා නිර්මාණ මෙන්ම ඒවාට එරෙහි තහනමද ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවමු.


(පුබුදු ජයගොඩගේ මුණු පොතෙන් ඉස්සුවෙමි- )