Friday, July 26, 2013

හිනාව නවත්ත ගන්න බෑ ඕයි

උණ රෝගේ හැදී යම්තම් හොඳ වෙනකොටම මෙනන්ලා,  වීරවංශලා ගැන මඤ්ඤං කතා අසා මොලේ මඤ්ඤං වී ඇඳට වුනු මම ආපහු නැගිට්ටේ පෙරේදා .



ඩෙංගු හොඳ වුනත් හොඳ නොවෙන උණක් තියෙන නිසා නැගිට්ට ගමන් ගොහින් ටීවී එක ඉස්සරහා වාඩි වුනේ මේ දවස් වල මොනවද සිද්ද වෙන්නේ කියලා බලාගන්ට.

ඔන්න දැම්මා නිව්ස්.

කවුද ගොය්යෙක් කතා කරනවා .

" අපේ ජනාදිපති තුමාගේ දේශප්‍රේමි ආන්ඩුව, ශීඝ්‍රයෙන් සංවර්ධනය , ආස්චර්ය,දෑත සක්තිමත් කොරනවා, මම ඇමති මමම නොවෙද.... බ්ලා බ්ලා.. බ්ලා......"

යහ්කෝ මේ අර  මම කෑලි කෑලි වලට කැපුවත් මේ ආන්ඩුවට යන්නේ නැහැ,මේ ඒකාධිපති දූෂිත පවුල් පාලනය පරාද කොරන්න මගේ දිවි හිමියෙන්ම සටන කොරනවා කිය කිය හිටපු දයාසොරි  උන්දෑ නේද  මයික් එකක් පලන්නේ.

මම විතරක් නෙවේ අපේ ගෙදර ඔක්කොම හිනා වෙනවා... අල්ලපු ගෙදරිනුත් හිනා ... ඊට එහා ගෙදරිනුත්...

මට හිනාව නවත්ත ගන්න බෑ ඕයි. හිනා වෙලා හිනා වෙලා ... බඩ රිදෙනකම්ම  හිනා වෙලා ... සිහිය නැතිව වැටෙන කම්ම හිනා වුනා. වෙන මොනා කරන්නද ඕයි?

සටහන- මේ ලිපිය පල වෙන විට මම අධික ලෙස  හිනා වී නැවත රෝගාතුර වීම නිසා රෝහල් ගත කර ඇති බවත් මේ සටහන ලියන්නේ අපේ ආච්චි බවත් කරුනාවෙන් සලකන්න.



Saturday, July 13, 2013

කෝ බොලව් මුං


ලෝකේ හොඳම සෞඛ්‍ය සේවාව තියෙන රට වන ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය එහි සෞඛ්‍ය බලධාරින්ගේ අප්‍රතිහත ධෛර්ය හා කැප වීම නිසා තුරන් කර දමා ඇති  මේ වගේ වෙලාවක ආණ්ඩුවේ හැම දේටම විරුද්ධ වන මම මගේ ඇති කුප්ප කමට ඩෙංගු රෝගය හදා ගත්තේ ආණ්ඩුවට රිදවන්නටමය.

ඩෙංගු හදාගෙන ආන්ඩුවට රිද්දන්නට ගොස් හොඳටම කෙලවා ගත් මම යම්තම් නොමැරී පණ බේරාගෙන ආපහු ආවත් තාම ඉතින් ලෙඩා දුකාය.බැරි බැරි ගාතේ එලියට ඇවිත් ගෙදර ලොයි බංකුව උඩ වාඩි වී වට පිට බලමින් හිටින විට මගේ ලෙඩ මොලේට එකපාරටම තේරුම් ගියේ අවට වටපිටාව ,මුලු පරිසරයම මහාම පුදුමාකාර විදියට නිස්සබ්ද බවයි.

මම අසනීප වී ඇඳට වැ‍ටුන කාලේ මුලු වටපිටාවම මහා ගෝසාවකින් පිරී තිබුනා වගේ යාම්තමට  මතකය.

"ඉඩම් පොලිස් දෙන්නෙම නෑ, දහතුන අපිට එපා , ඕක අපේ ඇඟේ බලෙන් ගහපු එකක්,මේක අපේ රට , ඉන්දියාවට ඕනෑ විදියට අපි නටන්නේ නෑ "  වගේ සද්ද බද්ද ඒ කාලේ කන් පිරෙන්නටම තිබුනේය. 

මොකෝ ආච්චියේ මේ කිසි සද්දයක් නැත්තේ? මට තේ කෝප්පෙකුත් හදාගෙන ආපු අපේ ආච්චිගෙන් ඇහුවෙමි.

" මෙනන් , කොලුවෝ, මෙනන්" කියාගෙනම ආච්චි ගේ ඇතුලට රිංගා ගත්තේ මට ප්‍රශ්නයක්වත් අහන්නට ඉඩ නොදීය.

මේ මොන අන්ඩර දෙමලයක්දැයි  කල්පනා කර කර උන්නු මට ආයේම සිහි උනේ   " දහතුන වෙනස් නොකොලොත් ආන්ඩුවෙන් යනවා " වගේ කතා කිය කිය හිටපු වීරවංශලා චම්පිකලා කොහේ ඉන්නවදැයි කියාය.

අක්කාගේ හීන් එකා මොන්ටිසෝරි ඇරී ගෙදර ආවේ ඔය වෙලාවේය.උගේ අතේ බිත්තර කට්ටක්ය.

"මොකද පුතේ ඔය අතේ බිත්තර කට්ටක් ?"  මම හීන් එකාගෙන් ඇහුවෙමි.

" මම මේ වීරවංශ මාමා  මේක ඇතුලෙවත් හැංගිලා ඉන්නවද කියලා බැලුවා මාමේ,  සිස්සත්තේ පාස් වුනාම ගෙයක් ඉල්ලගන්ට"  ඌ කිව්වේය. 
 මේ මඤ්ඤං කතා අසා මගේ ඔලුව මඤ්ඤං වීම නිසා නැවතත් මම ඇඳේය.



Saturday, July 6, 2013

වීරවංශ ගෙවල් හැදුවා වගේ.


ගැමුණු කුමරු කිරිබත් කෑවා වගේ කියා කතාවක් තිබේ .බත උණු නිසා පිඟානේ තැනින් තැන පහුරු ගාමින් කිරිබත් කෑම නිසා ඒ කියමන හැදී  තිබේ. විමල් වීරවංශ ගේ ගෙවල් හැදිල්ල ගැමුණු කුමරුගේ කිරිබත් කෑමත් පරදවයි.

ජාතික නිවාස ප්‍රතිපත්තියක් නැති නිවාස ඇමති  වීරවංශ ගෙවල් හදන්නේ මෙහෙමය.

ක්‍රීඩිකාවක්  තරඟයකින් ජයගත් විට පත්තර කාරයන් හා ටී වී කාරයන් රොත්තක ද සමග දුව ගෙන ගොස් ගෙයක් හදා දෙන්නට පොරොන්දු වෙයි.

ඉන්පසු පොරොන්දු වෙන්නේ පහේ ශිෂ්‍යත්වය පාස් දරුවෙකුට ගෙයක් හදා දෙන බවටය.

ඒක අමතක වෙනකම්  ඉන්න කොට උසස් පෙල ප්‍රථිපල නිකුත් වෙන්නේය. ඉතාමත් අඩු පහසු කම් යටතේ උසස්පෙල සමත් වූ දැරියකට ගෙයක් පොරොන්දු වෙන්නට දැන් හැකිය. හදා දෙනවාද නැත්ද දන්නේ උඩ ඉන්න දෙයියන් පමණි.

අලුත්ම පොරොන්දුව ජාත්‍යන්තර සම්මානයක් ගත් නලුවාට ගෙයක් හදා දෙන්නටය.

ඊ ලඟට සාමාන්‍ය පෙල ප්‍රතිපල එන තෙක් බලා සිටීමට හැකිය. ( ඒ අතර මොබයිල් ෆෝන් ද බෙදීම වැනි වැඩ කරයි.)

රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්න හඳුනා ගෙන ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට තරම් මොලයක් නැති බොරු ශෝක් කාරයින් ඇමති කම් වලට පත් වූ විට වැඩ සිද්ද වෙන්නේ එලෙසය.




Monday, July 1, 2013

අඳවාදකයාගේ නික්ම යෑම


අද වන විට කෙසේ වෙතත් මීට වසර ගණනකට කලින් නම් ගාන්ධර්ව සභාව විසින් පවත්වනු ලබන ගායනා තරඟය  යනු පේරාදෙණිය සරසවියේ මානව මානවිකාවන් ,අඩුම තරමෙන් සංගීතය ගැන උනන්දුවක් දක්වන මානව මානවිකාවන් , එය එලඹෙන තෙක් ආශාවෙන් බලා සිටි එක් ප්‍රධානතම අංගයක් විය.

ගායන හැකියාවෙන් යුත් සිසු සිසුවියන් අතර මූලික තරඟ වටයක් පවත්වා ‍තෝරා ගන්නා දක්ෂයින් විසි දෙනෙකුන් අවසන් තරඟයට කැඳවන අතර මනා පුහුණුවකින් පසු පවත්වන අවසන් තරඟය එහි උච්චම අවස්ථාවයි.එහිදී හොඳම ගායකයා හා හොඳම ගායිකාව ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ‍තෝරන අතර ජයග්‍රාහකයන්ට සහතික පත් දෙනු ලැබේ.අද සුපර් ස්ටාර් තරඟවලදී මෙන් රුපියල් කෝටි ගණන් තෑගි බෙදන්නට නම් ගාන්ධර්ව සභාවට හැකියාවක් තිබුනේ නැත.

අප දන්නා කාලයේ සිටම මේ ගාන්ධර්ව සභාව  සමග සිටි දෑවන්ත බලවේගය වූයේ පසු ගියදා අප අතරින් වියෝ වූ මහාචාර්ය ඩී.පී.ඇම් වීරක්කොඩි මහතා හෙවත් කවුරුත් කී පරිදි වීරක්කොඩි සර් ය. ඔහු එහි හුදු උපදේශකයා පමණක් නොවීය. මූලික තරඟවල සිට පෙර පුහුණු වීම් හා අවසන් මහා තරඟය දක්වාම  ඔහු තම ඇකෝර්ඩියනය  හා බටනලාව වයමින් වාදකයෙක් වශයෙන්ද සහභාගි වූයේ ගායක ගායිකාවන් ගායනයේදී කරන අඩු පාඩුද නිවැරදි කරමිනි.

දිනක් රාත්‍රීයක සිසුන් ගායන පුහුණු වීම් කරමින් සිටින අතර එක්වනම විදුලි බලය ඇණ හිටියේය. වීරක්කොඩි සර්ගේ ඇකෝඩියනය හැර අන් සියලු භාණ්ඩ නිහඬ වූ අතර ගීය ගයමින් සිටි ගායිකාවද එය නතර කලේය.

" මොකද" වීරක්කොඩි සර් ඇසුවේය.

" ලයිට් ගියා සර්" කවුදෝ කීවේය.

" එහෙනම් මට තමා කට්ටියව හොස්ටල් වලට ඇරලවන්න වෙන්නේ" මහාචාර්ය වීරක්කොඩි තම කීවේ තම සුපුරුදු හාස්‍ය රසය මුසු කරමිනි.

ඇත්තටම ඔහුට පේරාදෙණි සරසවියේ පාරවල් සොයාගන්නට විදුලි ආලෝකය අවශ්‍ය වූයේ  නැත.ළදරු වියේම ඇති වූ රෝග තත්වයක් පෙනීම අහිමි වූවත් ඒ ගැන සිතමින් කම්පා වී නොසිට මහත් වූ ධෛර්යකින් යුතුව ජීවිතයට මුහුණ දුන්නේ දැඩි අසීරුකම් මැද අධ්‍යාපනය ලැබුවේය. ඉතා ඉහලින් සරසවි පිවිසුම සමත් වූ අඳ වීරක්කොඩි සිසුවා 1966 දී පේරාදෙණියට ඇතුල් වන්නේ සම්භාව්‍ය සංස්කෘතිය හා භාෂා හැදෑරීමටය . දෂ්‍යාබාධිතයන් සඳහා අද මෙන් ඉගෙනුම් උපකාරක හෝ පොතපත බහුලව නොතිබූ එකල ඔහු තම සහෝදර සිසුන් ලවා ග්‍රීක් හා ලතින් පොත පත කියවද්දි ඒවා බ්‍රේල් ක්‍රමයට ලියාගෙන පාඩම් කරමින් ප්‍රථම පංතියේ ගෞරව සාමාර්ථයක් සහිතව උපාධිය සමත් විය.

අනතුරුව එංගලන්තයේ හල් විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී උපාධිය දිනා ගන්නා ඔහු පේරාදෙණියේම සම්භාව්‍ය භාෂා අංශයට කථිකාචාර්යවරයෙක් ලෙස බැඳුනේ අවසන විශ්‍රාම යන විට එහි මහාචාර්යවරයෙක් හා අංශාධිපති ලෙසද සේවය කළේය.

ලතින් හා ග්‍රීක් භාෂාවෙන් ලියවුණු පොත් රාශියක්ම ඔහු අතින් සිංහලට පෙරලී තිබේ. ඒ අතර ප්ලේටෝගේ ෆීඩෝ හා රිපබ්ලික් කෘතින් ප්‍රධානය. ඊට අමතරව සිසෙරෝගේ කෘතීන්, හෙසියද්ගේ වර්ක් ඇන්ඩ් ඩේස්, හා ප්ලෝටියස්ගේ නාට්‍යද වේ.  ඔහු විසින් ලුවී බ්‍රේල් ජීවිත කතාවද සිංහලට නැගී තිබේ.

මේ සියලු ශාස්ත්‍රීය කටයුතු මැද සංගීතයට බැඳි පෙමද අත්නොහල ඔහු ඉන්දියාවේ භාත්කණ්ඩ සරසවියෙන් වාද්‍ය විශාරද උපාධියද හිමි කරගත්තේය.

ඇත්තෙන්ම ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට වඩා සරසවිය තුල ප්‍රසිද්ධ වූයේ ඔහුගේ මේ සංගීතය හා වූ සබඳ කමයි. ගාන්ධර්ව සභාවට අමතරව සරසවියේ සෑම සංගීත කටයුත්තකටම පාහේ අඩුම තරමෙන් වාදකයෙක් වශයෙන්වත් ඔහු සහභාගි විය.

උපතින් ක‍තෝලිකයෙක් වූ ඔහු සෑම නත්තලකටම කිතු බැති ගී කණ්ඩායමක් පුහුණු කළ ආකාරයෙන්ම සෑම වෙසක් එකටම බොදු බැති ගී කණ්ඩායමක් සූදානම් කර එම සිසුන්ද සමග තම ඇකෝඩියනය වයමින්  සෑම නේවාසික ශාලාවකටම සංචාරය කලේ කිසිදු බේදයකින් තොරවය.

 එහෙත් ඔහුගේ ඇකෝඩියනයේ හඬ නැවත පේරාදෙණි සරසවි බිමේ නො ඇසෙනු ඇත. සැරයටියේ ආධාරයෙන් මග සොයමින් සෙමෙන් සෙමෙන් ඇවිද්ද ඔහුගේ රුව එහි නැවත කිසිදිනෙක නො පෙනෙනු ඇත. ඇස් පෙනෙන වුන්ටත් මග කියා දුන් ඒ අන්ධ මිනිසා දැන් නැවත නො එන්නටම නික්ම ගොසිනි

අක්බාර් නෙල් ශාලාවේ 25 කාමරයට ඔහු හැරලවා පෙර දිනක කීවා මෙන් අද දිනද කියන්නට ඇත්තේ මෙපමණකි.

" ගුඩ් නයිට් සර්"