Monday, March 25, 2013

ණයට බය නැත.



අපේ ගෙදර තත්වය මෙහෙමය. කාමර දෙකකි. සාලයකි. කුස්සියකි.නාන කාමරයකි. එපමණකි.තට්‍ටු නිවාස සංකීර්ණයක නොහොත් සිංහලෙන් කිව්වොත් ප්ලැට් එකක ඇති එම නිවසේ අපේ අම්මාත්  ,තාත්තාත්, මමත් ,අක්කාත් සිටිමු.

අපේ ආර්ථිකය ගැන කථා කලොත් ආණ්ඩුවේ කන්තොරුවක  ලියන මහත්තයෙකු වන තාත්තා ගේ පඩිය හා ගෙදරට නගින පඩි තිහ හතලිහ හැර වෙන පඩියක් නැත.

තාත්තාගේ පඩියත් පඩියක් නොවේ ලඩියකැයි අම්මා හැම තිස්සේම කියන්නීය. ඒ මක් නිසාද යත් ගන්ට පුලුවන් හැම විදියටම බැංකු ණය අරගෙන ඇති නිසා තාත්තා අතට ලැබෙන්නේ ණයට කැපී හිලව් වී ඉතුරු වෙන සීයට හතලිහකටත් අඩු ගානකි.

ඒ මදිවාට අල්ලපු ගෙදර ප්‍රේමා ඇන්ටිගෙන් ගත්තු ණයත්, පාරෙන් එහා පැත්තේ විල්මට් ගේ කඩේ ණයත් ගෙවූ පසු ඉතුරු වන ලබ්බක් නැත.

ඒ නිසා අපි වේලක් ඇර වේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්ය. ඒකත් පාන්වාටි හා සම්බල් වැනි බොහොම පෝෂ්‍යදායක ආහාරය.

චිත්‍රපටියක් නාට්‍යයක් බලන්නට ගිය කාලයක් මතක නැත.

අපේ එකම විනෝදාංශය ටී.වී නොහොත් රූපවාහිනි බැලීමයි.

මේ ටී.වී. කෙරුවාවත් හරිම කචල් වැඩක්ය. තාත්තාට හවස හතේ සිට එක දිගට ප්‍රවෘත්ති බලන්නට ඕනෑ අතර, අම්මාත් අක්කාත් හැම චැනල් එකකම තියෙන මෙගා හා අනෙකුත් ටෙලි නාට්‍ය   බලන්නට  කැමතිය. මේ නිසා හැමදාම හවසට ගෙදර රංඩුය.

එම නිසා තව ටී.වී. එකක් ගත යුතු යැයි තාත්තා යෝජනා කලේය.එය ණයට ගෙන කොටස් වශයෙන් ගෙවිය හැකි බවත් ඔහු කීවේය.

අක්කා දිගටම බර බරය දැම්මේ අලුත්ම පන්නයේ එල්.සී.ඩී. ටී.වී එකක් මිලට ගත යුතු බවයි.අම්මාද කිව්වේ  රෑට උයන වෙලාවට කුස්සියේ සිටම ටී.වී  බැලීමට ඕනෑ බවත්, කුස්සියේ ඉඩ පාඩු මදි නිසා ප්ලැට් පැනල් ටී.වී. එකක් සුදුසු බවත්ය.

මෙහිදී කට දැමූ මම දැනටත් අපි සෑහෙන්න ණය වී තිබෙන නිසා මේ වගේ දේකට ණය වීම සුදුසු මදි බව කීවෙමි. එවිට තාත්තා කීවේ තමන් ණය වීමට බය නැති බවත්, ඉදිරියේදී තව තවත් ණය ගන්නා බවත්ය.

මේ සියලු කාරණා සලකා බැලූ තාත්තා ණයට ගෙනා අලුත්ම පන්නයේ රූපවාහිනිය කුස්සියේ සවි කලෙමු.

දැන් අම්මාටත් අක්කාටත් කුස්සියේ සිටම  ටී. වී බැලීමට පුලුවන. තාත්තාට සාලයේ ඉඳගෙන නිව්ස් බැලීමට කාගෙන්වත් බාධාවක් නැත. අලුත් ටී.වී. එක ගැන තාත්තා දැමු එකම කොන්දේසිය වූයේ එහි තාත්තාගේ නම ලියූ කොලයක් ඇලවීම පමණි.

දැන් අපිට ටී.වී. වලින් අඩුවක් නැත.
කාටද ආඩම්බර?

14 comments:

  1. //. එවිට තාත්තා කීවේ තමන් ණය වීමට බය නැති බවත්, ඉදිරියේදී තව තවත් ණය ගන්නා බවත්ය.//

    තාත්තට ඕනිම කැල්ල අමතක වෙලා "මම ණය ගන්නේ කන්න නෙවෙයි ... "

    ReplyDelete
  2. අවුලක් නෑ... කන්න නෙමයිනේ අරගෙන තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ණයට ටීවී ගෙනත් කුස්සියේ හයි කළාට, ණය ගෙවපුවාම ඉතුරුවෙන අටමගලයක් නෑ. ඒ නිසා කුස්සියට උයන්න ගෙන්නේ සොච්චමයි. "ටී. වී. එක උයාගෙන කාපං" අන්න හරිම වචනය.

      Delete
  3. කියන්න හදපුඑක මාතලන් කියලනේ. ණය අරලෙන පාං කෑවනං තමයි අවුල්.
    //තාත්තා දැමු එකම කොන්දේසිය වූයේ එහි තාත්තාගේ නම ලියූ කොලයක් ඇලවීම පමණි//
    අහිංසක මනුස්සයට බනින්න එපා බං. නම දාගත්ත විතරයි. අනෙක ටීවී එකට ගත්ත ණයවලින් තාත්ත සාක්කුවට ගානක් දාගත්ත එකක්යැ!

    ReplyDelete
    Replies
    1. පාං කෑවම ඔහොමම තමයි !

      Delete
  4. උඹලගේ තාත්තා අම්මගේ මිනිහද?

    ReplyDelete
    Replies
    1. ඇයි, ඔයාගේ එහෙම නෙවෙයිද?

      Delete
    2. එයාගේ තාත්තා මහින්දලු

      Delete
    3. හැක්!
      රාජ් ගෙද මාතලන්ගෙද ?

      Delete
  5. ඇයි අනේ කුස්සියේ ටී වී එකෙන් ගන්න පුළුවන් ලොකු ප්‍රයෝජනයක් තමයි අර කුකරි පාඩමක් යන වෙලාවට ඒක දිහා බලාගෙන කෑම කන එක. ඕනෑම දෙයක් පහසුවෙන් ගිලදාන්න පුළුවන්. කෑවේ මොනවද කියලාවත් මතක නෑ. අම්මගෙයි අක්කගෙයි කෑමටිකත් කාලා දාලා මෙගා ටෙලි නාට්‍යයක් දාලා දෙන්න. එයාලට මතක නැතිවෙනවා කෑවද නැද්ද කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  6. කාටද ආඩම්බර ?

    ReplyDelete
  7. පොඩ් අවුලක් තියෙනවා.ඔයාගේ ගෙදර ණය ගන්නෙත් තාත්තා-ගෙවන්නෙත් තාත්තා.එක් හරි නේ.
    මම දන්න ගෙදරක් තියෙනවා, තාත්ත ණය වෙලා ඔය වගේ අරව මේව අරන් නම ගහගන්නවා.අමාරුවෙන් අර ණය පොලියත් එක්ක ගෙවන්නේ ගෙදර අනික් අය.(මම මේ කියන ගෙදර ඔයගොල්ලත් දන්න තැනක් ද බලන්න)

    ReplyDelete
    Replies
    1. ණයට ටීවී ගෙනත් කුස්සියේ හයි කළාට, ණය ගෙවපුවාම ඉතුරුවෙන අටමගලයක් නෑ. ඒ නිසා කුස්සියට උයන්න ගෙන්නේ සොච්චමයි. "ටී. වී. එක උයාගෙන කාපං" අන්න හරිම වචනය.

      Delete
  8. තාත්තා ණය ගන්න බය නැත්තේ ඒවා අන්තිමට ගෙවන්න වෙන්නේ කළාමැදිරියාටයි දරුමුණුපුරන්ටයි කියලා එයා දන්න නිසා. අනික කටවාචාලයේ කියනවා ඔය ටීවී එක ගන්න කියලා ගත්තු ණය මුදලෙං වැඩි කොටහක් එයාගේ නෑදෑගොල්ලට හොර පාරෙන්ම යනවා කියලා. ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් ටීවී එකක් ගන්න ගාණට ණයක් අරගෙන ඒකෙන් බාගයක් වටිනේනෙ නැති බාල චයිනීස් එකක් ගෙනල්ලා කියලත් කියනවා.

    තාත්තාට මාර උණක් තියනවා‍ නේද අම්බානට ණය වෙලා හරි එයා ගේන බාල බඩුවලට එයාගේ නම ගහගන්න? අර පොකුණක් හැදුවෙ, ඒක අතරමැදටත් ඔය තාත්තගෙ නම රිංගවලා තියෙන්නේ. කොච්චර ලෝකෙට ණය වෙලා ගෙදර උදවිය හිඟා කෑවත් මොකෝ තමන්ගෙ නම දාන්න පුළුවන් බඩුවත් ගත්තම.

    ReplyDelete