Thursday, November 28, 2013

කුමකටද මව්බිමක්



මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ 
පායුග මත කඳුලක් හෙලන්නට 
පුතෙකුට ඉඩක් නැත්නම්

මියගිය මව්ගේ 
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
 ගෙලින් අල්ලා පි‍ටුවහල් කරයි නම්

එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම් 
කුමකටද එවන් මව්බිමක්

(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා  රටෙන් පි‍ටුවහල් කරයි)

Tuesday, November 26, 2013

අඩෝව් කැමරන්


සැඟවී සිටි බිත්තර ක‍ටුව පලා ගෙන එලියට පැන්න මහා පුරුෂයෙක් ඈත අහසේ ඇදී යන ගුවන් යානයක් දෙස බලාගෙන මෙසේ කෑ ගසයි.

" අඩෝව් කැමරන්, ‍තෝ කවුද ඩෝ අපිට නීති දාන්න , වල් පරයා, ‍තෝ මට අහු වුනා නම් හක්කේ තියලා සෙම අරිනවා,‍තෝ අධිරාජ්ජිය වාදියා ‍තෝ හිතාන ඉන්නේ අපි තාමත් තොපිට යටහ් කියලද? ‍තෝ මට අහු උනානම් තොට වෙන්නේත් බැන් කි මූන්ට වෙච්ච දේමයි . ‍තෝ දන්නේ නෑ මේ විහිලුවංශ කවුද කියලා.ආයේ මේ පැත්තේ ආවොත් බලා ගනින් තොට වෙන දේ කැමරන් හු...."

( බ්ලොගයේ පල කිරීමට හැකි මට්ටමක නැති බැවින් දේශප්‍රේමි තුමාගේ කතාවේ ඉතිරි කොටස් පල නොකරන බව කරුණාවෙන් සලකන්න.)

Friday, November 15, 2013

කඩුගන්නාවට වෙනම රාජ්‍යයක්



මේ දිනවල කෑමෙන් පීමෙන්, නැ‍ටුමින් ගැයුමින් කොඩි ධජ පතාක වලින් අඩු නැතිව පවත්වන  චෝගම් හෙවත් පොඩු රාජ්‍ය මණ්ඩල නායක සමුලුවේ තේමාව ලොවක් එක් කල රටක් යන්නය. මෙයට මෙම යටත්විජිතවාදි සංගමයට රටවල් 53ක් අයිති වුනත් ලංකාවට එන ප්‍රමාණය ඊට බෙහෙවින් අඩු වනු ඇතැයි විස්වාශ කෙරේ. මෙය ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වන ලංකාවේ තත්වයට හරි නැති නිසා මීට සුදුසු පිලියමක්  කනා මැදිරියා වන මම සෙව්වෙමි.

 පහතින් ඇත්තේ ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ඊනියා රටවල් කිහිපයක ජනගහණයයි. මෙම සමහර රටවල ජනගහණය ලංකාවේ කුඩාම පලාත්පාලන ආයතනය වන කඩුගන්නාව නගර සභාවටත් අඩු බව පෙනේ. දැන් අපි කළ යුත්තේ කඩුගන්නාව නගර සභාවට වෙනම රාජ්‍යයක් තත්වය ලබා දී එහි සභාපතිවරයාත් රාජ්‍ය නායක සමුලුවට සහභාගි කර ගැනීමයි.එවිට ඉන්දියාව ,කැනඩාව වැනි රටවල අඩුව යම් තරමකට හෝ පියවා ගත හැකිය.

ස්වාසිලන්තය     - 1,077,000.00
සයිප්‍රස්  -   888,000.00
‍ෆිජි     -   862,000.00
ගයනා ` -   798,000.00
සොලමන් දූපත්-  561,000.00
මෝල්ටා-  419,000.00
බෲනේ    - 407,000.00
බහමාස්      -368,000.00
බෙලිස්   -340,000.00
මාල දිවයින  -331,000.00
බාර්බඩෝස්   -276,000.00
වනා‍ටු    -265,000.00
සමෝආ -190,000.00
සේන්ට් ලුසියා  -170,000.00
කිරිබටි  -106,000.00
ටොන්ගා -104,000.00
ග්‍රැනඩා     -103,000.00
සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩියන්ස් -97,000.00
සීෂෙල්ස්  -94,000.00
ඇන්ටිගුවා සහ බාබියුඩා   -  88,000.00
ඩොමිනිකා   - 71,000.00
සෙන්ට් කිට්ස් සහ නෙවිස්   -  55,000.00
‍ටුවාලු  - 11,000.00
නාවුරු    - 10,000.00



Wednesday, November 13, 2013

තවත් ඉල් මාසයක්


තවත් ඉල්  මාසයක් පැමිණ ඇත
පා ඇඟිලි අතරින් චිචිරි චිරි මඩ පනින 
සීත හිරිගඩු පිපෙන වැසි සුලං හමායන
එනමුදු හදවත උණුසුම් කරන 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

ටයර් සෑ මත දැවී ගිය උන්ගේ
මතක අමතක වූ 
බො‍රැල්ල කනත්තේ  ආදාහනාගාරයේ
පණ පිටින් දැවී ගිය ඔහුගේ හඬ නෑසෙනා
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

රතු පාට යැයි සිතා 
රෝස පැහැ කමිස ඇඳ පැමිණ 
රෙජිෆෝර්ම් වලින් තැනු ස්මාරක වලට
මල් කළඹ  තියා වඳින්නට 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

Monday, November 11, 2013

සිං සිං සිං සිං


මන් මෝහන් සිං
එන්නේ නෑලු සිං
අනේ අපේ  කිං
වැ‍ටුනා අහසින්


සිං මොකටද බං
ඉන්නේ චැං චුන්
ණය අරගෙන දැං
බාල් නටමු බං

Saturday, November 9, 2013

කනාමැදිරියාගේ ආච්චිගේ ලියුම


රටේ දරුවන්ගෙන් 25% කට වඩා මන්දපෝෂණයෙන් පෙලෙද්දි,වි‍රැකියාව නිසා තරුණ පෙල පීඩා විඳිද්දි, පාන් ගෙඩියේ ,පරිප්පු 250 සිට වූ සෑම ආහාරයකම මිල දෙගුණ   තෙගුණයකින් ඉහල යාම නිසා රටේ ජනතාවගෙන් බහුතරයට  කුසෙන්  අඩක් පුරවාගැනීමට සිදුව තිබෙද්දි, රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති මොහොතක........


හිටපු සුපිරි විප්ලවාදි තාරකාව , අසහාය සමාජවාදි, ලංකාවේ චාවෙස් යනුවෙන් තමන්වම හඳුන්වාගන්නා විමල් වීරවංශ ගරු කටයුතු ඇමතිතුමා තම ශරීරයේ වැඩි පුර ඇති තෙල් මන්ද දවාගැනීම සඳහා , සුපිරි රියක නැගුණු ආරක්ෂකයින් පිරිවරා, සුපිරි ක්‍රීඩා ඇඳුම්, පාවහන් ඇඳ, ඉස්තරම් පැදගෙන යාමේ ඇති උත්ප්‍රාසය වටහා ගැනීමට උත්සාහ කිරීම නිසා මොලය අධික ලෙස රත් වී කනාමැදිරියා නැවත වතාවක් රෝහල් ගත කල බව සියලු බ්ලොග් වාසි ජනතාවට මෙයින් දැනුම් දෙමු.

මීට

කනාමැදිරියාගේ ආච්චි


Thursday, November 7, 2013

2030 දී ලංකාව



කනාමැදිරියාට අනාගතයේ ක්‍රි ව 2030 සිට වර්තමානය ට පැමිණි කාල සංචාරකයෙක් අහම්බෙන් හමු විය. මෙය ගෙතූ කතාවකැයි ඔබ සිතන බව මම දනිමි. එය එසේ නොවන බව ඔප්පු කිරීම සඳහා ඔහු විසින් මා හට තෑගි  කරන ලද 2030 දී ගන්නා ලද ශ්‍රී ලංකාවේ මාර්ග ඇතුලත් ගුවන් සිතියමක් පහත පල කරමි.


දැන්වත් ඔබ මා විශ්වාස කරනවාද?

Monday, November 4, 2013

දීප්ති වසර 20කට පෙර කී දේ සත්‍ය බව ලකෑන් ගේ බාප්පගේ පුතාගේ මුණුබුරා ඔප්පු කරයි.



ශ්‍රී ලංකා පෙර‍ටුගාමි පක්ෂයේ ( පෙර‍ටුගාමි සමාජවාදි නොවේ) නායක දීප්ති කුමාර ගුණරත්න මහතා මීට වසර විස්සකට පෙර ඉදිරිපත් කල මතයක් සත්‍ය බව  ලකෑන් ගේ බාප්පගේ පුතාගෙ මුණු බුරා වන චකබ්ලාස් ඩොමිනික් තහවුරු කර ඇත. අපෙන් කැඩී ගිය සියලුම  අවරගණයේ චින්තක චින්තිකාවන් වැරදි බව මේ අනුව ඔප්පු  වී හමාරය. 

එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පල වේ.

" What Deepthi said in 1993 was complete correct. He was the only man who can understand philosophy. He is always correct. Praba Manurathna and Aamaris ayya always  wrong as well as Malini Fonseka and Nadeeesha Hemamaali.

According to this theory of Deeepthi , father is father. mother is mother. mother cannot be father and father cannot be mother.if mother wants father's role, she has to change her sex, and if father wants mother's role he has to change his sex. And sex is sex and sex is oral sex. I as Lacan's grand son appove Deepthi's theory. No one can challenge that.

Chakablaz Domonique Lacan 

Tuesday, October 29, 2013

හැම මගුලෙම හලාල්



"හැම මගුලෙම හලාල් ,කන්නේ  රෙද්දද?" මේ පසුගිය දිනක නුවර කොළඹ පාර  දිගට ඇලවී තිබුණු පෝස්ටරයකි. මේ ගැන විමසා බැලූ විට දැන ගන්නට ලැබුණේ හලාල් වලට   එරෙහිව බොදු බල සේනා විසින්පසුදින පැවැත්වීමට නියමිත රථ පෙලපාලියක් වෙනුවෙන් ඇලවූ ඒවා බවයි.

රෙද්දලාගේ රථ පෙලපාලිය අදාල දිනයේ පැවතුනු අතර ලොරි වෑන් පමණක් නොව සුඛෝපභෝගී ජීප් හා කාර් වලත් නැගී ගත් මැර පෙනුමැති තරුණ පිරිස් හා ශ්‍රමණ වේශධාරින් වාහන වල කවුලු වලින් ඔලුගෙඩි එලියට දමාගෙන හා ඒවායේ දොරවල එල්ලීගෙන " උලමගේ ලොක්කට එන්න කියාපිය, හලාල් අකුලා ගන්න කියාපිය " ආදි පාඨ කියමින් නුවර බලා ගමන් කලහ.

කාලයක් යටපත් වී තිබුණු හලාල් ප්‍රශ්නය මෙසේ නැවතත් ඉස්මතු කර ගැනීමට නානසාරට අවශ්‍ය වූයේ ඇයි. නිසැකවම මෙය හලාල් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.

වසර තිහක් තිස්සේ හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ යුද්දය පාවිච්චි කල ලංකාවේ ආණ්ඩුවලට තම පැවත්ම උදෙසා අලුත් දෙයක් , නව නිර්මාණයක් අවශ්‍යව තිබේ. කඩා වැටෙන ආර්ථිකය හමුවේ නියත ජනතා නැගිටීම් පාලනය කර ගැනීමට නම් එය අනිවාර්යය. නානසාරලා පාවිච්චි වෙන්නේ ඒ වෙනුවෙනි.

ඊයේ පෙරේදා හදිසියේ මතු කර ගැනීමට උත්සහ කල හලාල් විරෝධය , බොහෝ දුරට වීමට ඉඩ ඇත්තේ ආණ්ඩුවේ කැසිනෝ ප්‍රතිපත්තියට එරෙහිව  නැගෙන හඬ වෙනතක යොමු කිරීම වෙනුවෙන් නැගූ හඬක් බවයි.

කෙසේ වෙතත් නාන සාරලාට අපට කීමට ඇත්තේ රට ගිනි නොතබා රෙද්ද බැරිනම් සිවුර ගලවාගෙන හෝ කන ලෙසයි.


Tuesday, October 22, 2013

පැකර් තුමා




රුපියල් දෙකට බූරු අතක්  ගැහුවාම

කුදලාගෙන ගොහින් කූඩුවේ දාලා

දහදාහයි දඩේ නොගෙව්වොතින්

මාස හයක්  ආන්ඩුවේ බෝඩිමට



පැකර් තුමා කැසිනෝ  ගෙන වැඩියාම

කකුල්  ඉඹලා පිලි අරගෙන වඩම්මලා

මදි නොකියන්ට බදු සහනත් දෙනවා

දරුමද්වීපේ ආස්චර්ය  එහෙම තමා


-රංචාගොඩ ළමයා-

Thursday, October 17, 2013

රතුපස්වල අමා වතුර



පිංවතුනි,පහුගිය දවස් වල අප මංමුලා වෙලා හිටියේ පිංවතුනි. රතුපස්වල පැක්ටේරියෙන් වතුරට වස මිශ්‍ර කරනවා කියලා කව්දෝ කියපු බොරුවකට අපි ‍රැවටිලා ,මුලාවෙලා,බොහෝම කලකෝලහාල කලා. නමුත් පිංවතුනි , රතුපස්වල පිංවත් පැක්ටේරියේ අයිතිකාර පිංවත් මහත්තුරු එහෙම පව්කාර වැඩක් කරයිද පිංවත්නි. හිතලා බලන්ට නිකමට.අපි මුලාවෙලා කටයුතු කරලා තියෙන්නේ. එහෙම වෙන්ට හොඳ නෑ. මම නම් මීට පස්සෙ එහෙම වෙන්නේ නෑ. මේ පිංවතුනුත් එහෙම  වෙන්ට එපා.

ඇත්තටම කියනවා නම් මම මේ පැක්ටේරියෙන් එන වතුර වස විස නෙවේ. ඒවා හත් සැරයක් පෙරලා විසබීජ නැති කරලා එන අමා වතුර වගේ . හරිම ප්‍රනීතයි. බිව්වම හරිම සුවයක් දැනෙනවා.  මම පහුගිය දවසක මූත්‍රා කොරන්ට කියලා ටාජ් හෝටලේට ගියවෙලාවක එතෙන්ට   ඇවිත් උන්නු පැක්ටේරියේ ලොකු මහත්තයා මට ඒ අමා පැනින් සුවල්පයක් දුන්නා. අම්මපා පුදුම රසක් නොව තියෙන්නේ . බමරා වගේ තමා බිව්වම දැනෙන්නේ.
 ඒ වගේ අමා පානයක් අපේ ප්‍රදේසේ වතුරට එක් කිරීම ගැන පැක්ටේරියේ මත්තුරුන්ට අපි ඉස්තුති කොරන්ට ඕනෑ වෙලාවක අපි මොන තරම් නරක වැඩක් ද කලේ.

මම මේ දැනුත් ඒ අමා පානයෙන් සුවල්පයක් අරගෙන ඉන්නේ.

මේ පිංවතුනුත් මීට පස්සෙ ඔය උද්ගෝසන නවත්තලා  හවසට අමා පැන් ටිකක් අරගෙන සාම කාමිව ඉන්ට වග බලාගන්ට  ඕනෑ.


Wednesday, September 18, 2013

කැකිල්ලේ නාමය නගා සි‍ටුවමු, කැකිල්ලේ බලය ගොඩ නගමු



ශ්‍රී ලංකාද්වීපයේ වාසය කළ ශ්‍රේෂ්ඨතම රාජෝත්තමයාණන් හා අසමසම  ඥාණ ශක්තියකින් යුක්තව තම පාලනය  ගෙන ගියා වූත්, තම ඥාණ ශක්තියෙන් ලොවම මවිත කළා වූත්  ශ්‍රී කැකිල්ලේ මහ රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත්, එතුමාගේ ඥාණ බලයත් ලොවට විදහා දක්වනු වස් ද කැකිල්ලේ රාජ්‍ය විචාරණ ක්‍රමය තුලින් අද ලබා ගත යුතු වූ ආදර්ශය පෙන්වනු වස් ද , කැකිල්ලේ නරපතියාණන් හා වත්මන් රාජ පරම්පරාව අතර ඥාති සම්බන්ධය සොයනු වස් ද , එතුමාගේ ශ්‍රී නාමය අපයෝජනවලින් ආරක්ෂා කරනු සඳහා ද " කැකිල්ලේ බලය " සංවිධානය පිහි‍ටුවාලන බව ශ්‍රී ලංකා වාසි සකල දේශප්‍රේමි , දේශමාමක, දේශහිතෛෂී,ජනතාව වෙත ජාති  ආලයෙන් යුක්තව මෙයින් දැනුම් දෙමු.

එසේම මින් මතුවට කැකිල්ලේ රාජොත්තමයාණන් පිලිබඳව චිත්‍රපටි, නාට්‍ය, කවි සිංදු, කෙටිකතා නවකතා හා කතන්දර ආදිය නිපදවීමට, ලිවීමට ,කියවීමට ප්‍රථම අප සංවිධානයෙන් නිසි අවසරය ලබාගත යුතු බවත් එසේ නොවුවහොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවටත් තව දුරටත් මෙයින් දැනුම් දෙමු.

මීට 

ජාති ආලයෙන් යුක්තව 

කිහිල්ලේ මයිලානන්ද  

ගරු ලේකම් 
කැකිල්ලේ බලය සංවිධානය

Thursday, September 12, 2013

ඔබ මේ ඊරිසියාව දු‍ටුවාද?



ඇමෙරිකාවට වී සිටිමින් ලංකාව ඇතුලු ලෝකයේ අනෙක් සියලු රටවල් තුට්‍ටු දෙකට දමා ලිපි ලියමින් සිටි ඇරුණි ෂපිරෝ නම් කාන්තාව  හිටි හැටියේ දේශප්‍රේමි ලඳක් වී  ලංකාවේ බිහි වූ විශිෂ්ට මානව හිමිකම් ක්‍රියා කාරිනියක් වූ අභාවප්‍රාප්ත සුනිලා අබේසේකරට  මඩ ගසමින් ලිපියක් ලියා තම බොගේ පල කර තිබේ.

මේ ලිපිය පුරාම ෂපිරෝ පෙන්වන්නේ තම කුඩු කේඩු කම, ඊරිසියාව  මිස අන් කිසිවක් නෙවේ.

 ෂපිරෝ ගේ ලිපිය අනුව 13 හැවීරිදි දැරියන් දූෂණය කිරීම හොඳය. ඒවා එලි කිරීම නරකය.

 එසේම ඇය තම මොලයේ තරම පෙන්වමින්  තම මත සනාථ කිරීමට යොදා ගන්නේ ආණ්ඩුවේ සිළුමින පුවත් පතයි. ලිපියේ අන්තර්ගතය ගැන එතැනින් එහාට කතා කිරීම පලක්  නැත.

 ඇයට මේ ලිපිය වෙනුවෙන් කීයක් ගෙව්වා දැයි අසන්නට අපිට හිතෙන්නේ ඇය කියන කරුනු අනුවමය.

මේවා කෙසේ වෙතත් ඇය තම ලිපිය මගින් පෙන්වා ඇත්තේ තමන් ජාතික හෙල උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට, වීරවංශගේ පක්ෂයේ නියෝජ්‍ය නායක කමට පමණක් නොව බොදු බල සේනාව , සිහල රාවය වැනි සංවිධාන වලත් ඉහලම තනතුරු වලට සුදුසු බවයි.