ලංකාවේ වෙසෙන දෙමලුන්ට ඔවුන් දෙමල වීම නිසාම මුහුණ පාන්නට වෙන ප්‍රශ්න නැතැයි කියන මතවාදයක් ලංකාවේ තිබේ.මේ මතය ගෙනයන න්‍යායචාර්ය වරු වන්නේ නලින් ද සිල්වා කපු මහත්තයා, ගුණදාස අමරසේකර දත් දොස්තර තුමා, දේශ හිතෛෂී වසන්ත බණ්ඩාර ( එතුමාත් දත් ඩොක්ටර් කෙනෙකි, එහෙත් කිසිවක් නොදත්), එතුමාගේ නායකයා වන විමල් වීරවංශ තුමා, මෙතෙක් කල් වේදිකාව යට සිට පසු ගිය මැතිවරණ වලදී වේදිකාව උඩට ආ ගෙවිඳු කුමාරතුංග පොත් මුදලාලි මහත්මා, පිලිප්ගේ පුත්‍ර දිනේෂ් තුමා ඇතුලු පිරිසකි. ඔවුන්ට අර්ථපතිත්වය සපයන්නේ මහින්ද රාජපක්ෂ ඇතුලු යුදවාදි කණ්ඩායමකි.මේ මහත්වරුන් කියන පරිදි දෙමලාට දෙමල වීම නිසාම කිසිම සුවිශේෂි ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිදුව නැත. ප්‍රශ්න ඇත්නම් ඒ සිංහලයාටත් දෙමලාටත් පොදු ප්‍රශ්න පමණක්ය. මේ මහත්වරුන් අතරින් සමහරු විශේෂයෙන් විමල් වීරවංශ , නලින් සිල්වා වැන්නන් කියන්නේ දෙමලාට වඩා සිංහලයාට සිංහල වීම නිසා ඇති වූ ප්‍රශ්න තිබෙන බවකි.
ජනතා විමුක්ති පෙරමුණ 1971 පරාජයෙන් පසු අප්‍රේල් අරගලයෙන් මිය ගියවුන් සෑම වසරකම අප්‍රේල් 5 දා සැමරූ අතර පක්ෂය 1983 තහනම් කරන තෙක් ම එය දිගටම කරගෙන ආවේය. ඉක්බිති 1989 දී ජවිපෙ මුහුණ දුන් අති දෑවන්ත විනාශයෙන් පසුවත් වසර කිහිපයක් ඇවෑමෙන් තම දෙවන අරගයේදී මිය ගියවුන් නොවැම්බර් 13 දා සමරයි. මේ අවස්ථා දෙකේ දීම එවකට පැවති රජයන් ජවිපෙට එරෙහිව යුද්ධ කර එය වනසා දමන්නේ ඔවුන් ත්‍රස්තවාදින් බව කියමිනි. එහෙත් ඔවුන්ට හා ඔවුන්ගෙන් කැඩී ගොස් වෙනම දේශපාලනය කරන කණ්ඩායම් වලට තම පක්ෂයේ සිට මිය ගිය වුන් සැමරීමට තහනමක් නැත,
නමුත් දෙමලාට එය තහනම්ය. තිස් අවුරුදු යුදයේදී වැටුනු තම සගයින්, ඥාතින්, සොහොයුරන්, පියවරුන්, දුවා දරුවන් , සිහි කිරීමට, ඔවුන් වෙනුවෙන් පහනක් දැල්වීමට දෙමලාට අවසර නැත. ඉහත නම් සඳහන් කල මහත්වරුන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුව එසේ කිරීම ත්‍රස්තවාදි ක්‍රියාවකි. ඊලමට උඩ ගෙඩි දීමකි. බෙදුම්වාදය නම් එයයි. දෙමලුන්ගේ සොහොන් බුල්ඩෝසර් කර දැමිය යුතුය.විනාශ කල යුතුය. ඔවුන් පිලිබඳව සියලු මතකයන් උදුරා දැමිය යුතුය.
අප දෙමලුනට එසේ සලකන්නේ, තම මලවුන් පවා සිහි කිරීමට ඉඩ නොදෙන්නේ ඔවුන් දමිල වීම නිසාම නොවේද? වෙන හේතුවක් තිබේ ද ? නැත.
ඒ මිය ගිය දෙමල ජනයා ත්‍රස්තවාදින් නිසා යැයි ජාති වාදි මහප්පලා අපට කියයි. එසේ නම් පාලකයින් විසින් ත්‍රස්තවාදින් යැයි හැඳින්වූ ජවිපෙ ට එසේ නොසලකන්නේ ඇයි. සිංහලුන්ට එක් අයුරකිනුත් දමිලුනට තව අයුරකිනුත් සලකමින් දමිල ජනයාට කිසි ප්‍රශ්නයක් නැතැයි කීම අමුම අමු කුහක කමක් නොවන්නේ කෙසේද?
ඔවුන් සමග සහජීවනය ගොඩ නගන්නේ ඔවුන්ව මේ අයුරින් දිගින් දිගටම පාගාගෙන සිටීමෙන්ද?
දෙමල ජනයාට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය මේ ආකාරයෙන් ඔවුන්ව දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සැලකීමම නොවේද?