Thursday, November 22, 2012

සිහින දකින කුමාරයා-CHINA SAT 12


මගේ පාසැල් කාලයේ අපූරු මිත්‍රයෙක් සිටියේය. අපි ඔහුට විහිලුවට කිව්වේ සේතං කියාය. (සේතුං නොවේ). මේ සේතං අමු කපටියෙකු විය. ඔහුට වියදමට ගෙදරින් දෙන මුදල් හෙවත් පොකට් මනි වියදම් නොකර අපට ණයට දෙන්නට ඔහු පුරුදුව සිටියේය. ඉන්පසු ,පාසැලින් කට්ටි පැන චිත්‍රපටි බලන විටද, ගුරුවරුන්ට හොරෙන් විවේක කාලයේ සිගරට් බොන විටද, කඩසෝරු කන විටද අප ඔහුට වියදම් කල යුතුය. මක් නිසාද යත් ඔහුගේ මුදල් සියල්ල අපිට ණයට දී ඇති බැවිනි.

 අපට ණයට දුන් මුදලින්ම කා බී සැනහෙන සේතං ඉන්පසු ණය මුදල් ඉල්ලා කරදර කරන්නට පටන් ගනියි. ඔහු අපට දුන් මුදල් සියල්ල , ඔහුට වියදම් කල ප්‍රමාණයත් ඇතුලත්ව ,ශතයක්වත් අඩු නැතිව අප ආපසු ගෙවිය යුතුය.

මට මේ සේතං මතක් වූයේ ශ්‍රී ලංකාව චීනයේ උදව් ඇතිව  අභ්‍යවකාශ යුගයට  පිවිසෙන්නේ යැයි මේ දිනවල කෙරෙන කසු කුසු නිසාය.

අපගේ හිතමිත්‍ර, මා ඕ සේතුංගේ අනුප්‍රාප්තිකයන් විසින් පාලනය කරනු ලබන ගිනි පොලී කාර , මහජන චීන සමූහාණ්ඩුවට ශ්‍රී ලංකාව ඉහල අහසේ චන්ද්‍රිකාවක් ‍රැඳවීමට අවශ්‍ය විය. 1998 මැයි 30 වනදා චීනය විසින් CHINASAT -5A නමින් චන්ද්‍රිකාවක් කක්ෂගත කර තිබුනේය. එහි ආයු කාලය අවසන් වෙමින් පවතින නිසා අලුතින් CHINA SAT -12 නමින් වෙනත් චන්ද්‍රිකාවක් එම ස්ථාන‍යේ ‍රැඳැවීමට ඔවුන් සැලසුම් කලෝය.

මේ සඳහා අවශ්‍ය බර පැන සොයා ගැනීමට ඔවුන් භාවිතා කලේ මා කලින් කිව් සේතංගේ ආර්ථික න්‍යායයි.
දරුවන්ගෙන් අඩක් මන්දපෝෂණයෙන් පෙලෙන රටක, ජනගහණයෙන් බහුතරයක් දිලිඳු බවේ රේඛාවෙන් පහල දිවි ගෙවන රටක  ජීවත් වන පුත් කුමාරයෙකුගේ සිතේ පහල වූ සිහිනයක් ලෙසින් එය මෙරටට ගොඩ බැස්සවීමට චීනුන් සමත් විය. ඒ සඳහා චීනය  අපට ඩොලර් මිලියන 320ක් ණයට දුන්නේය. එනම් රුපියල් මිලියන 41,600 හෙවත් රුපියල් බිලියන 41 පමණය.  මේ මුදල මෙරට සෞඛ්‍යයට වෙන් කරන වාර්ෂික මුදලින් තුනෙක් එකක් පමණය.

එවන් වූ මේ ව්‍යපෘතිය මෙරට මාධ්‍ය විසින් හඳුන්වන්නේ ,"ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යුගයට පිවිසෙයි, ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව " ආදි වශයෙනි.

මෙම  ශ්‍රී ලංකාවේ ඊනියා  පළමු චන්ද්‍රිකාව එහි සැබෑ නම වන  Zx-12 හෙවත් ChinaSat-12 හෙවත් ZHONGXING-12  වෙනුවට ලංකාවේ ලැප්ටොප් මාධ්‍ය විසින් හඳුවන්නේ Supreme Sat-1  ලෙසයි.

එතරම් විශාල මුදලක් වියදම් කර අද උදේ  ගුවන් ගත වීමට නියමිතව තිබූ චන්ද්‍රිකාව නියමිත වෙලාවට ගුවන් ගත කර ගැනීමටවත් නොහැකි විය. ඒ චීන තාක්ෂණයයි. චීනය ලබා දුන් ණය මුදලකින් , චීන විද්‍යාඥයින් විසින් සැලසුම් කර, චීන ඉංජිනේරුවන් විසින් චීන තාක්ෂණය යොදා ,චීනයේම නිෂ්පාදනය කල "ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව" චීනයේ ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට චීන රොකට්‍ටුවක ආධාරයෙන් අද උදේ කක්ෂ ගත කිරීමට නියමිතව තිබූ අතර ඉන් පසු එය  පාලනය කරන්නේද චීන යේ සිට චීන්නු විසින්මය. එය හරහා හුවමාරු වන දත්ත සියල්ල පාලනය කරන්නේ ඔවුන්ය.

අප අභ්‍යවකාශ යුගයට පිවිසෙන්නේ එසේය.  මෙම චන්ද්‍රිකාව හා ශ්‍රී ලංකාවට ඇති එකම සම්බන්ධය නම් ශ්‍රී ලංකාවේ ජාතික කොඩියක් එහි අලවා තිබීම පමණි. සමා වෙන්න තව තිබේ. එම චන්ද්‍රිකාව වෙනුවෙන් අප ලබා ගත් ඩොලර් මිලියන 320 ආපසු ගෙවීමට පොඩි එකාගේ කිරිපැකට්‍ටුවේ සිට බදු ගෙවීමටත් එයට ඇතුලත්ය. තවත් තිබේ .  ඇයි ......පුත් කුමාරවරුන්ගේ හීන ...

Friday, November 16, 2012

හොඳ සූස්තියක් ගසාලා රතු බූන්දියක් හපාලා

 
සැලෙන ලෙලෙන දලුව විලස ‍රැවුල නටෝලා
‍රැවුල නටෝලා,... ‍රැවුල නටෝලා
ඔය හොකර ජකර මුකරි කටෙන් හරුප කියලා
හරුප කියාලා... හරුප කියාලා

හිස් හුලං පිරුණු ඔලුව බෙල්ල උඩින් තියාලා
උඩින් තියාලා...උඩින් තියාලා
මේ සංස්ථාවේ පරණ යකඩ ගුල්ලෝ ගසාලා
ගුල්ලෝ ගසාලා... ගුල්ලෝ ගසාලා
 
එලු ‍රැවුල් පොදක් කට වටේට පෙනෙන්නේ
ජෙල් ගොඩක් ඔබේ කෙස් කලඹේ දිලෙන්නේ
ලොකු ෆෝන් එකක් ගෙනල්ලා, ට්‍රි ට්‍රීං ට්‍රීන් කියාලා
මුගේ කතාවටයි මීහරකුන් නැවෙන්නේ
 
ඇයි විමල් මලේ 13 ටම බනින්නේ
ලෙමන් පෆ් ද බොට හීනෙන් පෙනෙන්නේ
හොඳ සූස්තියක් ගසාලා රතු බූන්දියක් හපාලා
සී ජේ ගේ නඩුත් උඹයි අහන්නේ


Wednesday, November 14, 2012

අධ්‍යාපනයට 6% කටත් වඩා වෙන් කරයි- නිර්මාල්ට කට උත්තරත් නෑ



අධ්‍යාපනය වෙනුවෙන් දල ජාතික නිෂ්පාදිතයෙන් 6% වෙන් කරන ලෙස ඉල්ලමින් සරසවි ඇදුරන් මාස තුනක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වූ අතර ,රජය එයට කදිම පිලිතුරක් දී තිබේ.

අයවැය ඉදිරිපත් කරමින්  මුදල් ඇමති උතුමාණන් පැවසුයේ අපේ රට අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් 4.1 % පමණ වියදම් කරන බවයි. ඒතුමා කියන පරිදි, පිටරටවල ඉගෙන ගන්න යන වියදම්, ටියුෂන් ගාස්තු වැනි දේවල් ද එයට අයිතිය.

ඒ අනුව බලන කල  පෙනී යන්නේ ගියේ අධ්‍යාපනයට සරසවි  ඇදුරන් ඉල්ලු 6%ටත් වඩා අප රට වියදම් කරන බවයි. පහතින් දැක්වෙන්නේ ඒ පිලිබඳ විස්තරයයි.

එතුමා කියන පරිදි ටියුෂන්, පිටරට ඉගෙනුම ජාත්‍යන්තර පාසල් ආදි සියලු දේට 4.1 %

මෙන්න එතැන් සිට

පාසල් යාම සඳහා වෑන් වලට - 3%

ටියුෂන් යාම සඳහා බස් ගාස්තු- 2%

ටියුෂන් යන දවස් වල දවල් කෑම - 4%

ටියුෂන් කට් කර චිත්‍රපටි බැලීමට- 2.1%

ටියුෂන් යාම සඳහා ඇඳුම්වලට-2.3%

ටියුෂන් වල ඉන්ටවල් එකේ සිගරට් බීමට- 4.3%

ටියුෂන් එකේ යාලු වෙච්ච කෙල්ලන්ට චොකලට් අරන් දීමට -8.7%

යාලු මිත්‍රයන් සමග එක්ව සතියකට සැරයක් සූස්ති ඇදීමට- 1.8%

විභාග ඉවර වුනු දා අරක්කු බීමට- 1.2%

රෑට පාඩම් කරන විට නයිට් කඩෙන් කොත්තු කෑමට- 3.56%

ලමයින්ගේ පොකට් මනී වලට- 10%

පිටරට අධ්‍යාපනය සඳහා යන විට ශීත ඇඳුම්වලට- 1.67%

එයාර්පෝර්ට් එකේ දී පීසා කෑමට- 4.5%

ටැක්සියකින් නවාතැනට යාමට- 4.2%

එකතුව 53.4%

තව වියදම් බොහෝ තිබෙන නමුත් සරසවි ඇදුරන්ගේ  6% ඉල්ලීම පසු කර බොහෝ දුර ගොස් ඇති  නිසා මෙයින් නවත්වමි. නිර්මාල් දැන් මොකද කියන්නේ. කට උත්තරත් නෑ නේද?

සටහන- මෙවර අයවැයෙන්   අධ්‍යාපනයට රුපියල් බිලියන 154.2 ක් ද, සෞඛ්‍යයට රුපියල් බිලියන 125 ක්ද වෙන් කරද්දී දැයට කිරුළ ප්‍රදර්ශනයට රුපියල් බිලියන 60ක් ම දී තිබේ. 

Sunday, November 11, 2012

කාර් රේස්- Homage to the 2013 Budget

 
රේසින්.... රේසින් රේසින් රේසින්
 
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
පානුත් නැති මිනිස්සුන්ට රේස් කාර් ගෙනත් දෙන්න
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
කිරිපිටි නැති හිඟන්නන්ට රේස් කාර් ගෙනත් දෙන්න
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
පඩි ඉල්ලන ගොරකයින්ට රේස් කාර් ගෙනත් දෙන්න
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
රේසින්.... රේසින් රේසින්  රේසින්
 
සටහන- මා විසින් හුදී ජන පාන් සංවේගය උදෙසා ලියන ලද මේ ගීතය ඇගේ පරණ තනුවකට ගායනා කිරීම සඳහා ගරු  ඩලස් ඇමතිතුමාගේ ප්‍රියම්බිකාව වන ගරු  ප්‍රදීපා දර්මදාස ගායිකා තුමිය වෙත යැවීම සඳහා ලියවුනකි. 

Thursday, November 8, 2012

ඔබාමා ගැන ලියැවුණු ගී පද


 
කලු ජාතිකයෙක් වන බැරක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වුනාම ඇමෙරිකානුවන්ටත් වඩා ජොලියක් ගියේ ලංකාවේ හිටි සමහරුන්ටය.
 
දැන් ඉතින්  අපි වාගේ තුන්වැනි ලෝකේ රටවලට ඇමෙරිකන් කාරයා  හොඳට සලකයි කියලා එයාලා හිතු නිසාය. බුෂ්ටත් වඩා හොඳින්  බුෂ් නවත්තපු තැන ඉඳලා එයා වැඩේ කරගෙන ගියා.ඇමෙරිකන් කලු ජාතිකයෙක් නොවේ ඇස්කිමෝවෙක් ජනාධිපති වුනත් ඇමෙරිකාවේ කොල්ලකාරි ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැති බව එයාලාට දැන් හොඳින් තේරෙනවා ඇති.
 
මේ පහතින් පල වෙන්නේ 2009 කාලයේ ඔබාමා මුල් වරට දිනු කාලේ අපිට ලැබුණු ඊ මේල් එකක්. ඒකේ විදියට මේ පහලින් තියෙන සිංහල ගීත ඔක්කොම  ඔබාමා ගැන ලියවුනු  සිංහල ගීත.
 
Obama  hamuwuna me ira handa yata...... - Divulgane

Obama  thurule gee gayana wele.. - WD Amaradewa

Obama  samaga athinatha ganna dawasa.. - WD Amaradewa

Obama  peluuda nododa handuu sitha.. - Milton Mallawarachchi

Obamage  neth deka wage.. - HR Jothipala

Obamage  nam.. Mama obe nam.. - HR Jothipala

Obamage  Swarnamali.. - HR Jothipala

Mata waasana.. Obamata  waasana ... Obamata  mataoba waasana..... - Priya Sooriyasena

Obamage  num bendi adaren -- Chandrasena Hettiarachchi

Obamata  himi ne obata mema himi ne- Priya Sooriyasena

Obama  Athahera Wenwee yanabawa ,denagannata labuna - Milton mallawarachchi

සිංහල ගායකයෝ මෙච්චරම ඔබාමා ගැන ගී ලියන්නේ එයා අපේ රාවණ පරපුරට සම්බන්ධ ද කියලා හොයලා බලන එක වටිනවා. මම හිතනවා  වර්ගපූර්නිකාව ලියන මීවනපලානේ ජයරත්න ශූරින් මේ ගැන හිතයි කියලා.

Wednesday, November 7, 2012

ආශ්චර්යයේ හිඟ මුදල්


                                                   ආශ්චර්යය කරා වේගයෙන් යාමට ගෙන ආ අශ්වයෙක්

අපේ රට ශ්‍රී ලංකාවය. ඒක තියෙන්නේ ඉන්දියන් සාගරය පතුලේය සාගරයේය. අපේ රට ඉතා ශීඝ්‍රයෙන් ආශ්චාර්ය කරා යන බව අපේ රටේ නායක තුමාලා හැම වෙලාවේම කියන්නෝය. එතුමාලා එකතු වෙලා බොහෝ මහන්සියෙන් රට ආශ්චර්ය කරා ගෙන යන්නේය. අපේ රට ආශ්චාර්ය කරා යන විදිය මේ අවුරුද්දේ අය වැය ඇස්තමේන්තුවලින්ද පේන්නේය.

සිරි ලංකාවේ ආනයන වියදම ඩොලර් බිලියන 22 ක් ය. රුපියල් වලින් නම් බිලියන් 2860 ක්ය. රුපියල් කෝටි දෙලක්ෂ අසූ හය දාහක්ය.  අපනයන ආදායම ඩොලර් බිලියන 11ක්ය. දැන් ඔය ගනුදෙනුවේ හිඟය නොහොත් ගෙවුම් ශේෂය ඩොලර් බිලියන 11ක් නොහොත් රුපියල් කෝටි එක්ලක්ෂ හතලිස්තුන් දාහක්ය.

දැන් මේ වියදම පියවා ගන්නේ කොහොමද? ඉතා ශීග්‍රයෙන් ආසියාවේ ආස්චර්ය බවට පත් වන අපි මේ ඩොලර් බිලියන 11න් හයක් ම පියවා ගන්ට හදන්නේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් වලින්ය. පැලෑන ගසා තිබෙන්නේ එහෙමය. මේ විදේශගත ශ්‍රමිකයන් කියන්නේ අරාබියේ වහල් සේවයේ යෙදෙන අපේ අම්මලා , අක්කලා හා නංගීලාය. ( ඊට අමතරව සිටිතොත් බොහෝම සුලු ගනනක්ය).

ලෝකෙට ආශ්චර්ය පෙන්නන්ට හදන්නේ අපේ අම්මලා ,අක්කලා හා නංගිලා අරාබියට විකුණලාය. සම් මස් නහර විද පරාල ඇණ ඇන ගෙන එන්ට අරාබියට විකුණලාය. හාම් පුතුන්ගේ ලිංගික පීඩාවලට ලක් වෙන්ට, අත පය හතර හන්දි කඩා ගෙන  මිනී පෙට්ටි වලින්  එන්ට අපේ සහෝදරියෝ විකුණලාය.


මේ විදියට පැලෑන් ගහන්නේ  අපි කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට යවන්නේ නැතැයි වේදිකාවල උඩ  පනිමින් කෑ ගහන කට්ටියමය.

 අපේ කට්ටිය මුලු බරම දාලා තියෙන සංචාරක ව්‍යාපාරයෙන් හොයාගන්ට හිතන් ඉන්නේ ඩොලර් බිලියන 1ක් පමණය. රට වටා හෝටල් ගහමින් , කැසිනෝ නීතිගත කරමිනුත් සංචාරක ව්‍යාපාරෙන් හම්බ වෙන්නේ එච්චරය. ඒ වගේ හය ගුණයක් හොයන්ට හිතන් ඉන්නේ රටේ ගෑණු ටික අරාබියට විකුණලාය.

තවත් ඩොලර් බිලියන එකක් හොයන්නේ ආණ්ඩුවේ දේපල බද්දට දී හෝ විකිනීමෙන්ය.ඒ කියන්නේ ඉතුරු ඉඩකඩම් ටිකත් විදේශ  කොම්පැනි කාරයන්ට විකුණලාය.

අපි නෙලුම් පොකුණු, නෙලුම් කුලුනු, අධිවේගී මාර්ග හදාගෙන ආශ්චර්යයට යන්නේ එහෙමය.

සටහන- ඔය ඔක්කොම කලත් ලැබෙන්නේ ඩොලර් බිලියන 8 ක් පමණය. ඉතුරු ඩොලර් බිලියන 3 හොයන්න තමා මේ දවස් වල අන්තර් ජාතික මූල්‍ය අරමුදල පස්සේ යන්නේ . අන්න ඒක තමා  පහුගිය දවස් වල ලිං වලටත්  බදු ගහන්න එහෙම ලෑස්ති වුනේ. ඒක තමා දේශප්‍රේමි නැට්ට දෙපැරන්ද අස්සේ ගහගෙන මූල්‍ය අරමුදල කියන විදියට නටන්නේ. 


Monday, November 5, 2012

වීරවංශ හා වාසුදේව - අයියා මල්ලී වාගේ



 
වීරවංශ ඇමති තුමා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු යැයි කීම ගැන තමාට හිනා යන බව වාසුදේව ගරු ඇමති තුමා කියා තිබේ. වාසි දේව වාසුදේව ඇමති තුමා එසේ කියා ඇත්තේ වීරවාංශලා අමුඩේ මල පහ වෙන තෙක්  මොන තරම් තැටමුවත් ආණ්ඩුව නම් කීයටවත් 13 සංශෝදනය අත හරින්නේ නැති බව දන්නා නිසාය.

 අපිත් මේ බව මීට කලින් කියා ඇත්තෙමු. මක් නිසාද යත්  අපේ දේශප්‍රේමි ආන්ඩුවේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ ඉන්දියාව ,චීනය බඳු බලවතුන් නිසාය. කවුරු මොනවා කිව්වත් ඉන්දියාව 13 ආපිට හරවන්ට දෙන්නේ නැත. ඒ ගැන සැකක් තියා ගන්ට ඕනෑ නැත.

එසේ නම් වීරවංශලා මෙසේ මෛක්‍රපෝන කෙල වලින් නාවන්නේ මන්ද?

උත්තරය හරි සරලය. ඔවුන් ඒ ඉ‍ටු කරන්නේ මහානුභාවසම්පන්න මහ රාජෝත්තමයානන් වහන්සේ බලු ගැත්තරයන්ට කරන්ට යැයි පවරා තිබෙන කාරියයි.එනම් සතියකට දෙකකට වතාවක් මොකක් හෝ ජිමික් එකක් පෙන්වා මහජන අවධානය තමන් වෙත හරවා ගැනීමය. ඔවුන්ගේ  දේශප්‍රේමී රස්නය අඩු වන්නට නොදී තබා ගැනීමය. 

එවිට ආණ්ඩුව අධිකරණය අල්ලා කණ පිට ගැසුවත්, බඩු මිල අඟහරු ග්‍රහලෝකෙට ගියත්, වංචාව දූෂණය නීති ගත කරත් ,සුදු වෑන් තමාගෙම ගෙදර එවුන් අල්ලා ගෙන ගියත්, පඩි වැඩි කරනු වෙනුවට අඩු කරත් ,  මහජනයාට කමක් නැත. ඔවුන් වීරවංශලාගේ ජිමික් බලමින් දේශප්‍රේමයෙන් ඔද වැඩී ජාතිකාභිමාන ගී ගයමින් සිටිනු ඇත. ඒ වෙනුවෙන් මේ විහිලුවංශලාට ඇති තරම් හරි හම්බ කරගන්නට ඉඩ දී තිබේ. රට සවාරි ලැබේ . ඊට අමතරව උපවාස කරන විට ලෙමන් පෆ් හා තැඹිලි වතුරද ලැබේ .

අපිට නම් ඒ ගැන හිනා යන්නේ නැත. අපිට ඇති වන්නේ දුකකි. ඒ කලක් මහා විප්ලවවාදින් ලෙස පෙනී සිටි උන් අද වැටී ඇති වන්දිභට්ට තත්වය නිසා නොවේ. මුන්ගේ මේ බොරුවලට තවමත් ‍රැවටෙන උන් මේ රටේ සිටින නිසාය.

අනික් කාරණය නම් වීරවංශ ගැන මෙසේ කියන වාසිදේව  , අති භයානක   ඒකාධිපති පාලනයකට  පාර කපන 18 වැනි සංශෝධනයට , කොහෙවත් නැති විදේශ කුමන්ත්‍රණ ගැන වීරවංශලා කියන බයිලා ගිරවුන් මෙන්  පුනරුච්චාරනය කරමින් අත් දෙකම ඉස්සු අයෙක් වීමය.

ගරුතර වාසිදේව මැතිසඳ, ඔබත් විහිලුවංශ තරම්ම ජෝකරයෙකි. ඔබ දෙදෙනාටම ඇත්තේ එකම  ප්‍රශ්නයකි. එනම් විලි ලැජ්ජාව නැති කමයි.

Friday, November 2, 2012

ස්ටාර්ස්ලා ඕනෑ නැත, එකම ස්ටාර් මම පමණය



අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඇයව පත් කල ආණ්ඩුව විසින්ම දෝෂාභියෝගයක් ගෙනවුත් ඇත.

මේ දෝෂාභියෝගය මගින් රාජපක්ෂ රෙජිමය   රටට දෙන පණිවිඩය කුමක්ද?

උඹලා කොතරම් ලොක්කන් වූවත් අපිට එරෙහි වූවොත් වන්නේ මෙයයි. උඹලා සියලු දෙනා ජීවත් විය යුත්තේ අප කියන ලෙසටය. බෙරේ ගසන්නේ අපය . ඒ තාලයට නුඹලා නැටිය යුතුය.

එසේ නොවුනහොත් නුඹලා  අතීතයේ අපට කොපමණ බැල මෙහෙවර කර තිබුනත් අප නුඹලාට කෙලවන්නෙමු.

මෙරටට පොරවල් අවශ්‍ය නැත. අවශ්‍ය අපට අවැසි ලෙස  වැනෙන රූකඩ පමණි. මෙහි සිටිය යුතු එකම පොරවල් වන්නේ අපය . අප පමණය.

පණිවුඩය එයයි.

මේ පණිවුඩය මීට පෙර ඉතා පැහැදිලි ලෙස කීප වතාවක් කියා තිබේ.

ඒ අතරින් ඉතාම ප්‍රසිද්ධ ලෙස එය කියා සිටියේ කලක් රාජපක්ෂලාගේම හමුදාවේ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාටය.

තමන් ගැන මහත් අධිතක්සේරුවකින් සිටි හා තවමත් සිටින ජනරාල් ෆොන්සේකා යුද්ධයේ තම භූමිකාව නිසා තමන් සිංහල ජනයා අතර මහත් වීරයෙක් වී ඇතැයිද තාරකාවක් වී ඇතැයිද සිතුවේය. ඒ නිසා ඔහු රාජපක්ෂ රෙජිමයට අභියෝග කලේය.

එහෙත් රාජපක්ෂලාට තමන් හැර වෙනත් තාරකා රටේ සිටීම ප්‍රිය නැත. එසේම තමන්ට අභියෝග කරන උන් කොහොමටත් ප්‍රිය නැත. ඔවුනට අවශ්‍ය නිවට කීකරු නියාලු අතවැසියන් පමණි. තමන්ට අවශ්‍ය පරිදි නැටවෙන වීරවංශලා බඳු රූකඩ පමණි. ඒ නිසා  වීර ෆොන්සේකාගේ වීර චාරිකාව කෙලවර වූයේ වසර දෙකක් සිර ගෙයි තැපීමෙනි.

දැන් අලුත්ම ගොදුර ශිරාණි බණ්ඩාරනායකය.  ඇය කුමන හෝ හේතුවකට ඔවුනට කීකරු නොවී ස්වාධීනව සිටීමට තීරණය කර තිබේ. මේ තරම් පැහැදිලි ලෙස පණිවුඩය දී තිබියදී එය අවබෝධ කර ගන්නට බැරිනම් අහිංසක උතුමාණන් මක් කරන්නද?

දැන් ඇයට පහර දීමට පටන ගෙන තිබේ. සරත් ෆොන්සේකාගේ සිදු වීමේදී  මෙන් නොව මෙහිදී පහර වදින්නේ සමස්ත අධිකරණ පද්ධතියටමය .

මෙම දෝෂාභියෝගයෙන් මෙරට අධිකරණ පද්ධතියට කියා සිටින්නේ අපට අවශ්‍ය පරිදි තීන්දු නොදුනහොත් උඹලාට වන්නේද මෙයයි යන්නයි.

මෙරට ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව යම් හෝ බලාපොරොත්තුවක් ඇති කලේ අධිකරණය ස්වාධීන ව කටයුතු කරන්නේ යැයි තිබූ අදහසයි. මෙරට ඊනියා වාමාංශිකයන්ගේද සහය ඇතිව සම්මත කල 18 වැනිසංශෝධනයෙන් මෙරට ප්‍රජාතන්ත්‍ර වාදය  මිනීපෙට්ටියකට දමා වසා තිබේ . එම මිනී පෙට්ටියට ගසන අවසාන ඇණය මෙම දෝෂාභියෝගයයි.