Wednesday, November 26, 2014

ශ්‍රී ලාංකීය ගෙටිස්බර්ග් දේශනය



"විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැ. 

මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්.ඒ පැත්තට මේ පැත්තට යන එක අද ඊයේ සිදු වු දෙයක් නොවේ.එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන්.  ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි.

අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි.ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් .ගිය අයටත් එන්න පුළුවන්.ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ.අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ"

සටහන- ආපු අයට හොඳටම හොඳ බවත් ගියපු  අයට නරකම නරක බවත් ඔයා නොකිව්වට රටම දන්නවා.

ඔය ආපු හැමෝම ආවේ හොඳ නිසා නේ. අනික ගිය අයට, ඒ කියන්නේ ජනරාල් සරත් ෆොන්සේකාට, ශ්‍රී පතිට වෙච්චි දේ මතකයිනේ. 

ඔය ඔක්කෝටම වඩා වැදගත් දේ තමා ඔය තියෙනවැයි කියන පයිල් කතාව. මොනවද ඒ පයිල්. ඇයි ඒවා හංගගෙන ඉන්නේ. ඒවායේ තියෙන්නේ රටේ ආණ්ඩුවේ දේශපාලකයෝ කරපු වංචා දූෂණ ගැන නම්, ඒවා හෙලිදරව් නොකර ඉන්න එකත් වැරදිනේ. 
(සමහර විට එතුමා ඉන්නේත් වීදුරු ගෙයක නිසාද දන්නෙ නෑ පයිල් එලියට අදින්න බැරි)

Tuesday, November 25, 2014

හිහ් හිහ් හිහ් හී රටකට ගිය කලක්

ජනාධිපතිවරණය කැඳවූ දින අරලියගහ මන්දිරයේදී කිරි ගොවීන් හමුවීමට ලැබිම තමාගේ ජයග්‍රහණය ස්ථිර කරන සුබ නිමිත්තක් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේදී පෙරේදා (20) කිරි ගොවීන් 5000කගේ සහභාගිත්වයෙන් පැවැති කිරි ගොවි සම්මේලනය අමතා ජනාධිපතිවරයා එසේ පැවසීය. 


මෙහිදී වැඩිහිටි කිරි ගොවීන් 11 දෙනකු සඳහා රුපියල් 50000ක් බැගින් මුදල් ප්‍රදානයක් ජනාධිපතිතුමන් අතින් පිරිනැමූ අතර විශ්ව විද්‍යාල වරම් ලැබූ කිරි ගොවීන්ගේ දරුවන්ට රුපියල් 10000 බැගින් මුදල් ප්‍රදානයක්ද ජනාධිපතිතුමන් පිරිනැමීය. 

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. අද ඉතාම හොඳ දවසක්. ඒ හොඳ දවසෙයි අප කිරි ගොවීන් හමුවන්නේ. කිරි කියන්නේ අපේ සාම්ප්‍රදායේ, සංස්කෘතියේ ඉතාම වටිනා දෙයක්. සුබ නිමිත්තක්. සුබ කටයුතුවලදී කිරි උතුරවනවා. අවුරුදු 6ක් පවතින ජනාධිපති ධුරයේ වසර 4ක් අවසන් වීමත් සමග තවත් වරක් ජනාධිපතිවරණයකට යාමට අද මම කැඳවීමක් කළා. 

නැවත වාරයක් මැතිවරණයක් කැඳවන්න කියා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නා. එය දැනුම් දුන් අද දවසේ මේ කිරි ගොවීන්ගේ පැමිණීම මගේ ජයග්‍රහණය ස්ථිර කිරීමක් ලෙසයි මා සලකන්නේ. එය සුබ ලකුණක්. 

Monday, November 24, 2014

දහ අට කැතම කැත වරදකි


දහ අට කැතම කැත  වරදකි 
කිසිදා සමාවක්‌ නම් නැති 
මට පෙන්නලා අගමැති සැපේ 
 නුඹ දුන්නු දුක හොඳටම ඇති // 

මහලේකම් දැලේ පැටලී පෑහී 
සුව ඇමති වී උන්මාද වූයේ මා
විපක්ෂේ  දිහා බැලුමට යළී 
මට  පණ  නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

 දහ අට කැතම කැත  වරදකි ........

 ජනපතිකමේ හැමදා ‍රැඳී   දැවටී
 ඉන්නට හදයි රට රවටලා 
ඒවා කොහෙද ආ පුලතිසි පුරෙන් 
දන්නෝ දනිති මම මෛත්‍රී වෙමි

දහ අට කැතම කැත  වරදකි ........

Sunday, November 23, 2014

අයියෝ මගේ රට


මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදුන වැඩුන රට
අයියෝ මගේ රට
සුමනදාස කුක්කට ගිය රට

Friday, November 21, 2014

මෛත්‍රී කිරීම හා මෛත්‍රීගේ කිරීම


මෛත්‍රීපාල ඇමති තුමා පොදු අපේක්ෂකයා වීමත්  සමග බොහෝ දෙනෙකුගේ රක පුත් වී තිබේ. මේ නම් ඔවුන් හීනෙන්වත් නොහිතූ දෙයකි. බුද්ධි අංශ බුදියා ගෙන සිටියා දැයි හිතේ.විමල් වීර වංශ බුහ් බුහ් ගානවා මිස කියන දෙයක් ඇහෙන්නේත් නැති ගානය. අනිත් අය මීක් නැත. ඒ නිසා මහින්ද තුමාට ම එලියට ඇවිත් මම විසි අට පාරක් දින්නා, විසිනම වැනි පාරත් දිනනවා යැයි කියන්නට වී තිබේ. 

  මෛත්‍රීපාල ආවා කියා මේ මජර ක්‍රමය වෙනස් කරනවා යැයි හිතිය නොහැක.  ඔහුද මේ තරම් කාලයක් එහිම එල්ලී ගෙන රටේ සාරය උරා බිව් කෙනෙකි. එහෙත් මේ මොහොතේ රටක් වශයෙන් අප හුස්ම ඩිංගක් ගත යුතුව තිබෙන නිසා,ගිනි පොලියට ණය අරගෙන ඒ මුදලින් බජව් දාන , මඩිය තර කරගන්නා පවුල් පාලනයේ ගමනට තිරිංග දැමිය යුතු නිසා හා ඊට  වෙන ක්‍රමයක් නැති නිසා මෛත්‍රීපාල වුවද  කම්  නැතැයි සිතේ. 

තව බොහෝ අය එන ආරංචි තිබේ. ඒ අතර වික්‍රමනායක ජෝඩුව, රෙජිනෝල්ඩ්, ජනක තෙන්නකෝන් පමණක් නොව හකීම්, දිගම්බරම්, සිටී යැයි කියවේ. සෝදාපාලුව තව දුරටත් ගොස් ගිරි හිම නිපාතයක් මෙන් වෙන්නටද බැරි නැත. 


කෙසේ වුවත් වැදගත්ම දෙය නම් රාජපක්ෂලාට හා වීරවංශලාට හීන් දාඩිය දැමීටමට පටන් ගෙන තිබීමය.  ඒ දකින මට හීනි ආතල් එකක් දැනේ. දැනට ඒත් මදෑ. සෙස්ස පස්සට බැරුවාය.   

Tuesday, November 18, 2014

විමලේ මල්ලී මහින්ද අයියාට ලියු කවිය


රතනයා  නැතිවුනත් 
මගෙ ජනිපෙ......
ඇත ඔබේ නාමයෙන් 
ඇත ඔබේ නාමයෙන්...// 

ඇමති ක‍ටුවක රැඳී ඉන්නට 
වරම් ඇත්නම් අයියාගෙන් 
වෙන්ව නොගොසින් හුදකලාවේ 
මගෙ ජනිපෙ.... 
ඇත ඔබේ නාමයෙන් 

රතනයා  නැතිවුනත් .....

මෙදා චන්දේ කෙලවුනෝතින්  
ඔබේ වැඩ කිඩ සුනේ සුං...// 
සොයා එන්නට එපා එතකොට  
මගේ ජනිපෙත්  
නැත ඔබේ නාමයෙන් 

රතනයා  නැතිවුනත් .....

Sunday, November 16, 2014

මහින්ද මාමා චම්පිකා නැන්දාට කී කවිය




විපස්සෙට ගොහින්  තනි වෙන්න එපා
රනිල්ට  මුවා වී සැඟවෙන්න එපා
 කඳුලු වලින් මා නෙත් තෙමනු එපා
චන්ද වලින් මා පරදන්න එපා

කොමිස් ගැහුවේ අපි එකට සැට් වෙවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී
කොමිස් මල් පිපී මද පවනේ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ

Saturday, November 15, 2014

මීයෝ පනිති



මීයන්ට පුදුමාකාර ඉවක් තිබේ . උන් ගිලෙන නැව් වල ඉන්නේ නැත.මීයන් ගිලෙන නැව් වලින් පනිති.

රාජපක්ෂ ආණ්ඩුවද ගිලෙන නැවක් බවට සීඝ්‍රයෙන් පත් වෙමින් තිබේ. එයින්ද මීයන් එකිනෙකා දැන් පනින්ට පටන් ගෙන තිබේ. මෙතෙක් කල් එක පතේ වැලඳු රතන සාධු හා රණවක ඇමති තුමා ලා පනින්ට කකුල් ඔසවා ගෙන සිටිති.

අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක් වූ නන්දන ගුණතිලක දැන් නැවෙන් පැන තිබේ. 

ඉදිරි කාලයේදී නැවෙන් පනින මීයන්ගේ ප්‍රමාණය අනුව නැව ගිලෙද නැත්ද යන්න අපිට බලා ගත හැකිවනු ඇත. 

ඒ අතර නැව යටින් සිදුරු කර ගිලීම ඉක්මන් කිරීම  මෙන්ම , මීයන්ට නැවෙන් පැනීමට උනන්දු කිරීම හා උදව් කීරීමද අපි මේ අවස්ථාවේ ජාතික යුතුකමක් වශයෙන් කල යුතුව තිබේ 

Thursday, November 13, 2014

හැත්තෑවේ කොළණිය


ජනතා විමුක්ති පෙරමුණ 87-89  යුගයේ මෙහෙයවූ දෙවැනි අරගලය නිමා වී වසර විසි පහක් ගත ව තිබේ. ඔවුන් විසින්ම ඊට පෙර කළ  1971 අරගලයට වසර 43කි. 

එම අරගලයන්  ගැන කෙරුණු දේශපාලන විමර්ශන විවේචන යම් පමණකට ඇතත් ඒවා පසු බිම් කරගෙන නිමා වුනු කලා කෘති නම් ඇත්තේම නැති තරම්ය. ඇතත් ඒ  එම අරගලයන් බොහෝ විට  ප්‍රධාන කථාවට අනුපානයක් ලෙස හෝ මාකටින් කිරීම සඳහා  කෘතිම ලෙස වද්දවා ගත් අවස්ථා මිස  ඒවා පිළිබඳව කෙරුණු පුළුල් හා සාධාරණ විග්‍රහ  නම් නොවේ. 

මීට වෙනස්ව දෙමළ අරගලය පිළිබඳව මිතුරුව හෝ පස මිතුරුව බොහෝ  කලා කෘතීන් නිර්මාණය වී ඇති අතර වෙමින්ද පවතී.

ජනතා විමුක්ති පෙරමුණේ එම අරගලයන් පිළිබඳව ඇති දුලබ නිර්මාණ අතර  මා දු‍ටු   වටිනාම නිර්මාණ දෙකක් වශයෙන් සරත් ආරියරත්න නම් අප්‍රකට නවකථා කරුගේ  " හැත්තෑවේ කොළණිය" හා " මේ කාගේ මේ කමතා" නම් කෘතී දෙක සඳහන් කළ හැකිය. මෙයින් පළමු වැන්න 71 අරගලය පසුබිම් කර ගෙන ලියැවී ඇති අතර දෙවැන්න 87-89 යුගය ගැනය. වියළි කලාපයේ ,රජරට කොළනි ජීවිතයන්ට එම අරගලයන් දෙකේ බල පෑම ඔහු අපූරුවට සිත්තම් කර තිබේ යැයි මට සිතේ. 

ඔබටත් හැකි නම් සොයා ගෙන කියවන්න. ඒ වටී යැයි ඔබට ද සමහර විට සිතෙනු ඇත.

අපිට එපෝ



"අපිට ඉරාකයක් මෙහේ ඕනේ නැහැ.අපිට ලිබියාවක් මෙහේ ඕනේ නැහැ.

ඊජිප්තුවක් මෙහේ ඕනේ නැහැ.ඇෆ්ගනිස්ථානය වත් මෙහෙට එන්න ඕනේ නැහැ. "

කෙටියෙන් කිව්වොත් මට සදාම් හුසේන්ට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ, 


ගඩා‍ෆිට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ, 

හොස්නි මුබාරක්ට වෙච්චි දේ වෙන්ට දෙන්ටත් එපෝ.

මම වැඩ කරන්නේ උන් වගේ උනාට මට එහෙම කරන්ට එපෝ.



Wednesday, November 12, 2014

පැරණි වමේ නව පිබිදීම නොහොත් කොමියුනිස්ට් පක්ෂයේ ලෝක වාර්තාව


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ලෝක වාර්තාවක් පිහි‍ටුවා තිබේ. ඒ නේපාල කොම්යුනිස්ට් වාදින් මෙන්  චන්දයෙන් ආණ්ඩු බලය පිහි‍ටුවා හෝ ඉන්දියාවේ කොමියුනිස්ට් පාක්ෂිකයන් මෙන් බටහිර බෙංගාලයේ වසර විස්සක් පාලනය කරමින් හෝ නොවේ. 

අපේ ශ්‍රී ලංකාවේ ඩීව් ' පොල්පොට්" ගුණසේකර ප්‍රමුඛ ඊනියා කොමිනිස් කාරයින් වාර්තාවක් පිහි‍ටුවා ඇත්තේ තමන්ගේම පක්ෂයේ පුවත්පත වන  ඇත්ත පුවත් පත තහනම් කරමිනි.

විපක්ෂයේ සිටියදී පුවත් පත් නිදහස ගැන ඇඟ කිලි පොලා යන ආදර කතා කියූ ඩීව් ලා යම්තම් පිනට ලැබුනු ඇමති කට්ටක එල්ලී ගෙන ක්‍රියා කරන්නේ මෙලෙස නම් , මොවුන්ට රාජ්‍ය බලය ලැබුණහොත් ස්ටාලින් පවා ලජ්ජා වෙන තරමේ මර්ධකයන් වනු ඇත.

සටහන- පැරණි වමේ නව පිබිදීම ගැන ආදර කතා කියූ වික්ටර් අයිවන් සීයා මේ ගැන කියන්නේ කුමක්දැයි දැන ගැනීමට මම ආශාවෙන් බලා සිටිමි.

Sunday, November 9, 2014

මහින්දට පුලුවන්



මහින්දට පුලුවන්ද බැරිද කියලා මේ දවස් වල මහා වාදයක් යනවා. ආණ්ඩුක්‍රම ඔස්තාර්ලා , නීති විශාරදලා දෙපැත්ත බෙදිලා ගජරාමෙට වාද කර ගන්නවා.  මේ වෙලාවේ නීතිය ගැන හසල බුද්ධියක් තියෙන , නීති ගරුක පුර වැසියෙක් වන මමත් කල්පනා කළා මේ ගැන මගේ අදහසත් කියන්න ඕනෑ කියලා.

ලංකාවේ විතරක් නොවේ , ඇමෙරිකාවේ ,ප්‍රංශයේ , නයිජීරියාවේ, වැනිසියුලාවේ , පකිස්තානයේ  , ඝානාවේ , තව මියන්මාරයේත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හොඳින් අධ්‍යනය කරපු මම බැහැපු තීරණය තමා මහින්දට පුලුවන් කියන එක. සරත් එන් සිල්වලා , අනුර කුමාරලා මොනවා කිව්වත් ඒක තමා ඇත්ත. පවතින යථාර්ථය සහ උන්ඩුක පුච්ඡය.

බොරුනම් බලන්න ලබන දහ වෙනිදා අපේ ශ්‍රේෂ්ඨාධිකරණයත් මම කියන දේම කියන්නේ නැත්ද කියලා. එතුමලා මටත් වඩා සූක්ෂමව ඔය නීති තර්ක , අර අන්ධ කන්‍යාවිගේ අතේ තියෙන කඩුවෙන් පොතු ගහලා , ‍රැහැලා, පෙති කපලා , ඒ ගෑණු ළමිස්සිගේ අතේ තියෙන තරාදියටම දාලා කිරලා මැනලා කියන්නෙත් මම කිව්ව ටිකම තමා. මෙන්න කැට.  

Saturday, November 8, 2014

බර්ලින් තාප්පයේ වැටීම-FALL OF A WALL


බර්ලින් තාප්පය බිඳ වැටී වසර විසි පහකි.  බර්ලින් තාප්පයත් සමග බිඳ වැ‍ටුනේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදි යැයි හැඳින්වූ රාජ්‍ය පද්ධතිය පමණක් නොවේ. එතෙක් පැවති සීතල යුද්ධය හමාර වී ලෝක දේශපාලන බල තුලනයද ඒ සමග බිඳුනි. එයින් වූයේ හොඳක් ද නරකක්ද යන්න මට තවම තේරුම් ගැනීමට නොහැක. එහෙත් එම සිදු වීම මම මහත් කම්පනයකට ලක් කළ එකක් බව නම් මතකය.  

Thursday, November 6, 2014

සිරසේ දන්සැල්


අනේ සුසානෝ මම කොළඹ යනකොට
අරලිය මන්දිරේ පන්දාහක්  ජනතාව
බයියන් ලෙසින් කට ඇරගෙන බලා ඉඳ
දන්සැල් බුදිති හත් වලාමේ

ආපහු හෑරිලා කොස්ලන්දට ආපු කොට
තුන්සීයකට කන්නට දෙන්නට බැරිව
සම්මාදම් කරයි  ලොරි පුරවන්ට
සිරස  මාකටින් මල මිනී වුනත්

Saturday, November 1, 2014

මම වැලපෙමි.


මේ බිමේ සැබෑ උරුමකරුවන් ඔවුන්ය
එහි වෙසෙන සැබෑ නිර්ධනීන්ද  ඔවුන්මය.
එහි උරුමක්කාර පොල්මක්කාරයන් යැයි කියා ගන්නා උන්ට
සැප විඳින්නට, බොරු කරමින් සැප විඳින්නට,
හොරකම් කර මඩි තර කර ගන්නට 
කාර් රේස් පදින්නට 
ගුවන් සවාරි යන්නට පමණක් නොව 
අභ්‍යවාකාශ තරණයේ යෙදෙන්නටත් 
ධනය සොයා දෙන්නේ ඔවුන්ය.
පාන් පිටියෙන් තැනූ රොටී කැබැල්ලකින් 
වේලක් හැර වේලක් පිරිමසා 
සීනි නැති කහට කෝප්පයකින් කුසෙහි  අඩුව පුරවා
අනික් උන් එලියට බහින්නට පවා නොහිතන හීතලේ,වැස්සේ 
 නහර පෑදුනු කෝ‍ටු අත් ,කෘශ සිරුරු, 
කඩමාල්ලෙන් වසාගෙන ජාතියට ( කාගේ ජාතියට ද)
ධනය සොයන්නේ ඔවුන්ය.
ඔවුන්ගේ උගුරු බුලත් හැපීම නිසා වණ වී ඇත,
පිලිකා ඔඩු දුවා තිබේ.
ඔවුන්ගේ දරුවන්ද  ඔවුන් මෙන්ම 
අඩ කුස ගින්නේ 
කහට ගැහුනු සුදු නිල ඇඳුම් 
පයට රබර් සෙරෙප්පු, නැතිනම් නග්න දෙපයින් යුතුව 
පාසල් කරා යන්නේ  තම දෙමව්පියන් යට කර ගෙන ඇති
මහා දුක් කන්දෙන් ගැලවෙන්නට විය යුතුය.

එහෙත් සොබා දහම පවා එරෙහි වන්නේ ඔවුන්ටමය.
ඔවුන් තමන්ගේ මහා දුක් කන්දත් සමගම
තම ආදරනීයන් සමග 
ඒ පස් කන්ද යට වැලලී සිටිති.

කී දෙනෙක්ද?අපි නොදනිමු.
තුන්සීයක්, හාර සීයක් , දෙසීයක්
පොලිස් ප්‍රකාශක ට අනුවනම් තිස් හතරකි.
අපට එය වැඩක් නැත.
ඒවා හුදු සංඛ්‍යා පමණකි.
දැන් වරද කරුවන් ද ඔවුන්මය.
උගත් බුද්ධිමත් මහතුන් යන්නට කී විට 
ඔවුන් ගියේ නැත.
යන්නේ කොහාටදැයි කිසිවෙක් කීවේද?

ඔවුන් යට කරගෙන සිටින මහා පස් කන්ද
මා පපුව මත තැබුවා මෙන්
මහද රිදේ 
මම වැලපෙමි.
මට කළ හැක්කේ එපමණි








 වලින් පො