Wednesday, April 27, 2016

ධර්මන් වික්‍රමරත්නගේ ගල් පැලෙන බේගල්

 


ධර්මන් වික්‍රමරත්න කියන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන (බෝතල් ) පත්තර කාරයෙකි. ඔහු ලියන්නේ රිවිර පත්තරයටය. ධර්මන් අපිට කියන්නේ ඔහු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් බවයි. මේ ගවේෂණාත්මක මාජ්ජවේදියා  දැන් කාලයක සිට ජවිපෙ 1987-89 අරගලය ගැන ලිපි පෙලක් ලියමින් සිටියි.
 
එම ඉතිහාසයේ සිදු වූ  සෑම ප්‍රධාන හා වැදගත් සිදු වීමකදිම තමන්ද පෞද්ගලිකව ඒවාට සහභාගි වූ බව ඔහු කියන නමුත් එම කතා  ගල් පැලෙන බේගල්ය. උදාහරණයක් ලෙස 1989 දී ඇමති හමීඩ් සමග සරසවි සිසුන් පැවත් වූ සාකච්ඡාවට තමන්ද සහභාගි වූ බව ඔහු කියයි. නමුත් ඔහු ඒ පැත්ත පලාතකවත් නොසිටි බව එම සාකච්ඡාවට සහභාගි වී අද ජීවතුන් අතර සිටින අය කියති.

මේ පුද්ගලයාගේ ඊනියා ගවේෂණාත්මක ලිපි සියල්ල මෙවැනි බේගල් වලින් පිරී පවති. ඔහු එම බේගල් ඇද බාන්නේ ඇසින් දු‍ටු පරිදි නිසාත්, එම සිදු වීම් වලට සම්බන්ධ බොහෝ දෙනා අද ජීවතුන් අතර නැති නිසාත්, ජීවතුන් අතර සිටින අය වුවද  ඉදිරියට අවුත් ප්‍රශ්න නොකරන නිසාත් ඔහු කිසිදු හිරිකිතයකින්, බයකින් තොරව මුසා වපුරමින් සිටියි.

විරාජ් පෙරේරා 

පසුගියදා මියගිය , 1990 ගණන් වල සිටි ශිෂ්‍ය නායකයෙක් වු විරාජ් පෙරේරා සහෝදරයාගේ මරණය ගැන ඔහු ලියූ ලිපිය තුලද  මෙවැනි බේගල් දෙක තුනක් ඇද බා තිබේ.

බලන්න, මේ පුද්ගලයා ලියන බොරු.

විරාජ්ගෙන් පසුව අන්තරේ කැදවුම්කරු වශයෙන්(1993 මාර්තු සිට 1994 දක්වා) පත්වූයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසු රෝහිත තිලකරත්නය.

මෙය පට්ටපල් බොරුවකි. රෝහිත තිලකරත්න අන්තරේ කැඳවුම් කරු වූයේ  1994 අප්‍රේල් වලදීය. රෝහිත ට කලින් අන්තරයේ කැඳවුම් කරු වූයේ කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ හේරත්ය. ඒ බව නොදන්නා මහ මාධ්‍යවේදියා පට්ටපල් බොරු ඇත්ත මෙන් දෙසා බායි.

එමලිපිය සමග ඔහු පල කල මේ සේයාරුව ඔහු නම් කරන්නේ  "මියගිය සරසවි සිසුන් වෙනුවෙන් මොරටු සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා පැවති සමරු උළෙලක පෝස්ටරයක්" ලෙසය.



නමුත් මෙය පේරාදෙණිය සරසවියේ වූස් කැන්ටිමේ ඇති බිතු සිතුවමකි. එය අදත් එහි ඇති අතර අඳින ලද්දේ නන්දෙ නම් වූ වෛද්‍ය සිසුවෙකි. මෙය ඇඳ නිමා කලේ 1993 පෙබරවාරි 25 දාය.

මේ සඳහන් කලේ ධර්මන් වික්‍රමරත්නගේ බේගල් වලින් කිහිපයක් පමණි. අපේ රටේ සිටින ගවේෂාණාත්මක මාධ්‍ය වේදින් යැයි කියා ගන්නා අයගේ වැඩ එහෙමය.

ඔවුන්ගේ ගවේෂණාත්මක ලිපි යනු ඇත්ත ටිකකුත් , ඉතිරිය තම හාම්පුතුන්ගේ අවශ්‍යතාව පරිදි තම ලියූ පල් බොරු ගොඩකුත් අඩංගු ලේඛන විශේෂයකි.

Thursday, April 21, 2016

අහෝ ඛේදයකි, තිතකි ඉරකි හෙවත් මිනිසෙකුගේ ඉරණම






                                                                                   

untitled.png
වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම මහා අපරාධයකැයි ඊනියා වාමංශිකයන් විසින්  කියන්නට පටන් ගෙන තිබේ. එයින් ඔවුන්ගේ දේශපාලනික  ලඳ බොලඳ බව මනාව හෙලි වේ. අපි මේ ගැන මීට ප්‍රථමයෙන් ද කියා ඇත්තෙමු.

වැට් බද්ද වැඩි කිරීමෙන් රටේ සිටින භයානකම සූරාකන්නන් වන රජයේ සේවකයින්ට ( ඔවුන් අතරින් ද දරුණුම සූරා කන්නන් වන්නේ ගුරුවරුන්ය, මට ඔවුන් පෙන්නන්නට බැරිය) හොඳ පහරක් දීමට රනිල්ගේ ආණ්ඩුව සමත් වී තිබේ. මෙය නම් ඇත්ත වශයෙන් ම ඉතාමත් ධනාත්මක පියවරකි. දැන් මෙම සූරාකන්නන්ට වැඩි කළ වැ‍ටුප ආපසු ලබා ගත හැකිය. එය ලබා ගෙන භාණ්ඩාගාර බිල්පත් වලට පොලී වශයෙන් ගෙවා රට දියුණු කළ හැකිය.

මා කියන්නේ මෙයයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් අපට අනිවාර්යයෙන් ම වැට් බද්ද 25% දක්වා වත් වැඩි කළ යුතුය.අප විසින් කළ යුතුව තිබෙන්නේ  වැට් බද්දට  එරෙහි වීම නො ව, ඇති වන වෙනස්කම්වලට හැඩගැසීමේ මූලෝපායන් පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කර අපගේ වියදම් ඒ අනුව ගලපා ගැනීමයි.

අනිත් අතට සීනි, සහල්, පාන් පිටි වැනි දේවලට වැට් බද්ද වැඩි කිරීමෙන් ඒවායේ මිල ඉහල යන නිසා මේ රටට මහත් දේශපාලන ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියා ප්‍රශ්නයට ද එයින් සෑහෙන මට්ටමේ හොඳ පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ වැට් බදු අය කරන්නේ අඳුරු රාජපක්ෂ පාලන යුගයේදී ලබා ගත් මහා ණය කන්දරාව ගෙවීමටය.එම කාලයේ දී සූරා කන්නන් වන රජයේ සේවක  මධ්‍යම පංතිය වඩා ශක්තිමත්ව හා විනාශකාරී ලෙස වැඩිණි. ඔවුන් නඩත්තු කිරීමට ගත් ණය ගෙවීමට සිදු වූයේ මෙරට අහිංසක ව්‍යාපාරිකයන්ටය. දැන් ඒ තත්වය රනිල්ගේ නව රජය විසින් වෙනස් කර තිබේ . එයින් පහල මට්ටමේ ආදායම් ලබන ස්ථරයද පීඩාවට පත් වන සැබෑය. එහෙත් බිත්තර නොකඩා ඔම්ලට් සැදිය නොහැකි බව සියලු දෙනා දැන ගත යුතුය. විශේෂයෙන් ඊනියා වාමාංශික කල්ලි කණ්ඩායම් දැන ගත යුතුය.

මේ අඩු ආදායම් ලාභි  ග්‍රාමීය හා නාගරික  දිළින්දෝ  අලසයෝ ය. , බේබද්දෝ ය. නූගත්තු ය. හැබැයි  සියල්ල දත් ය. ඒ නිසා ඔවුන්ට කෙළවුණත් කම් නැතිය.ආණ්ඩුවෙන් නිකම් දෙන දෙයක් අරගන්නට බලා සිටින මේ නිකම්මු නැති වී යාම රටට හොඳය.

ආණ්ඩුව ඉතාමත් ස්ථානෝචිත ලෙස ක්‍රියා කරමින් කුමාර් ගුණරත්නම් සිරයට දැමීමද අගය කළ යුතුය. දැන් ඊනියා පෙර‍ටුගාමින්ට වැට් ගැන කතා කළ නොහැකිය. තවත් කරදර කාරයින් සිටී නම් ඔවුන් සියල්ල අල්ලා හිරගෙට දැක්කිය යුතුය.

මොනවා කලත් මහින්දට නැවත එන්නට ඉඩ දිය යුතු නැත. නමුත් මහින්ද හිර ගෙට නොදැමිය යුතුය. මක් නිසා ද යත් එවිට මහින්ද එනවෝ, මහින්ද එනවෝ කියා කෑ ගැසීමට හා මහින්ද පෙන්වා බත් නොකන පොඩි උන් බය කර ගත නොහැකි බැවිනි.

සටහන- වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම ගැන කවුදෝ විසින් ලියු මේ පැරා ග්‍රාෆය  ( paragraph)  මට හමු වූයේ වලාකුළක පාවී යමින් තිබියදීය. අයිතිකරුවෙක් සිටී නම් අයිතිය පෙන්වා ආපසු ලබා ගත හැකිය.