Showing posts with label ජාතිවාදය. Show all posts
Showing posts with label ජාතිවාදය. Show all posts

Friday, September 2, 2016

යහපාලනයේ දක්ෂිණාංශය නොහොත් පරණ වමේ නටබුන් -සයිටම් ගැන



යහපාලනයේ  දක්ෂිණාංශය යයි කියන විට එහි වාමාංශයකුත් ඇත් දැයි කෙනෙකුන් අසන්නට  පුලුවන. එම නිසා මාතෘකාව මෙසේ වෙනස් කළ හැකිය.

යහපාලනයේ අන්ත දක්ෂිණාංශය නොහොත් පරණ වමේ නටබුන්

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ඉතුරු වූ රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ගෙනාඩි ෂුගානොව් සිටින්නේ කෙරෙන්ස්කි ටත් දකුණෙන් යැයි කවුදෝ කියා තිබුණා මතකය. ඒ අයුරින්ම ලංකාවේ වාමාංශිකයන් බිඳ වැ‍ටුණු පසු නවතින්නේ  ජේ .ආර් ටත් දකුණෙනි.
 
අද යහපාලනයට හේත්තු වී හෝ හේත්තු වීමට මං සොයමින් සිටින පිරිස් අතර මෙම වාමාංශික කොටස් ඉතා  පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැකිය.
 
ඔවුන්ගේ පොදු ලක්ෂණ මෙසේය.

1. ආණ්ඩුව කරන සෑම දෙයක් ම අත් දෙකම ඔසවා අනුමත කරයි- උදා: වැට් බද්ද ඉහළ දැමීමෙන් පහල අඩු ආදායම් ලාභින්ට වන හානිය ගැන නොතකනවා සේම ඉහල ආධායම් ලාභින්ගේ උපයන විට ගෙවිය යුතු බදු ගැන ද මුක පූට්‍ටුය.
 
2. ආණ්ඩුවේ ක්‍රියාවලට තමන්ගේ පරණ වාමාංශික පොත් පත් වලින් න්‍යාය සදා දෙයි- සයිටම් ගැන මොවුන් කියන්නේ එය සැබෑ නිදහස් අධ්‍යාපනය බවයි. එහෙත්  අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම නිසා සමාජයට වෙන අගතිය නොදැක්කා සේ සිටියි. පසුගාමි ආර්ථිකයන් ඇති ඉන්දියාව වැනි රටවලට තබා ඊනියා දියුණු රටවල ද ආසාර්ථක හා හානි දායක වී ඇති බවස වසංගයි.
 
3. ආණ්ඩුවේ දූෂණ වංචා ගැන වචනයක්වත් නොකියන අතර ගිය ආණ්ඩුව පට්ට ගසමින් සිටිත්-- මහ බැංකු මගඩිය මොවුන් දන්නේ නැත. කිරිඇල්ල ,ෂෝක් බබෙකි. එස්.බී හරිම හොඳය.

4. එට්කා ගිවිසුම-  ෂා මාර හොඳය, රටට ඕනෑ එහෙම එව්වා තමාය. වරාය නගරය දැන් හොඳය, -නරක රාජපක්ෂලා කරන විටය.

5. ආණ්ඩුව කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අනුමත කරයි. - සයිටමයට එරෙහි විශ්ව විද්‍යාල සිසුන්ට කළ පොලිස් පහර දීම ඉල්ලා ගෙන කෑමකි. ඔවුන්ට ගසා මදිය. පුලුවන් නම් මරා ගැන කෑ යුතුය.
 
6.ආණ්ඩුවේ විවේචකයන්ට කොන්දේසි විරහිතව මඩ ප්‍රහාර හා ගල් මුල් ප්‍රහාර දෙයි- අන්තරය, පෙර‍ටුගාමින්, නිර්මාල්,  නිතරම ප්‍රහාරයට ලක් වෙයි.
 
7. මේ සියල්ල අතරත්  තම ප්‍රගතිශීලි හැව තව දුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා ජාතිවාදයට විරුද්ධ බව පෙන්වූවත් හිටි ගමන් බළලා මල්ලෙන් එලියට පැන නැවත ඇතුලට රිංගයි.

මේ ලක්ෂණ ඇති ඔබ දන්නා හඳුනන අය සිටියිද. මොවුන්  හා බලන විට සිකා වෛරසය හොඳය.

Wednesday, July 20, 2016

එකම පන්තියේ අපි ගල් ගැසිය යුත්තේ කාටද?‘‘ -A letter from a Jaffna University Tamil Student-

 
ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි,
පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධව ද කිසිදු කතාබහකට මා අකැමතිය . පොලු ගත්තෝය, ගල් ගැසුවෝය, තුවාල සිදුවිය ,පොලීසිය පැමිණියේය , සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලු මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි.
මේ අවස්ථාව අප සාකච්ඡා කළ යුතු මොහතකි .
එදා විශ්ව විද්‍යාලය පසු කොට එන විට එහි ඉතා විශාල නිහැඩියාවක් තිබිණි. විශ්වවිද්‍යාලයය පොලිසියෙන් වට කර තිබිණි. දහවලේ සිදු වූ සිද්ධියත් මාධ්‍යයෙන් එය විකෘති කිරීමත් අතර මඟදී අසන්නට ලැබූ දේවලුත් මා ආවේගයකට පත් කළේය. නිවසට පැමිණි විගස මුහුණු පොතේ දමන ලද අදහසද මම පසුව අයින් කළෙමි. මා තුළ ද භීතිය හා හැඟීම් වෙලාගත් සේය. ඔබත් එවැනිය . අපගේ හිත්වල කහටක් නොමැති බවට අපගේ හිතට එක් වරක් කියා දෙමු.
දැන්,
මෙතෙක් සිදු වූ ජන ඝට්ටනය (ජන වාර්ගික ගැටුම) , අපගේ හැඟීම් කොතෙක් යටත් කර ඇත්තේද කියා වටහා ගත හැකිය. පසුගියදා විශ්ව විද්‍යාලයයේ සිසුන් අතර සිදු වූ ගැටුමේදී සිසුන් මැදිහත් වුවාට වඩා සමාජ ජාල හරහා වෙනත් අය තීව්‍ර ලෙස මැදිහත් වූහ. විශේෂයෙන්ම රැකවරණයක් ඇති විදෙස් ගත වුවන්ට සහ බලයත් දේශ පාලන හයියත් ඇති අයට අප ආයුධ දරා සටන් කළ යුතුය යන හැඟීම ඇත. සැම ජාතියකම මෙවන් පසුගාමී අදහස් ඇත්තෝ බහුලය.
මෙය විශ්ව විද්‍යාලයයේ ගැටුමකි . පෙර සේම එය තුරුම්පුවක් ලෙස සිංහල සහ දමිළ ජනමාධ්‍ය භාවිතා කරමින් සිටියේය . හොදින් බැලුවහොත් එය පුද්ගලානුරූපීය. පළමුව කුපිත වී අත් එසවුවන්ගේ සහ එයට උත්තරයක් වශයෙන් අත් එසවුවන්ගේ ප්‍රශ්නයකි . එම කොටස් දෙකෙහිම පිරිස් විශ්ව විද්‍යාලය තුළ සැරිසරති .
ඔවුහු එදා එහි ඉබේ පහළ වුවෝ නොවෙති. මෑතක සිට මෙය සීතල යුද්ධයක් ලෙස ගිණි පුපුරු දමමින් තිබුණේය . විහාරයක් සැදිය යුතුයි කියන පෝස්ටර , නන්දි පිළිමය කැඩීම , බංකු කැඩීම් විද්‍යා පීඨයට සමීපතමව හොර රහසේ සහ එළිපිට සිදුවූ සිද්ධි එදා පුපුරු ගැසුවේය. මෙය ක්ෂණිකව සිදු වුවක් නොවේ . බොහෝ උපසිද්ධිහි සමීපතම පිපිරීම්ය.


සාතිශය දමිළ සහ සාතිශය සිංහල සිසුන් පිල් දෙකකට රදවා ගහ ගන්නා ලෙස කීමට ජන මාධ්‍ය සහ සාමාජ ජාල ක්‍රියා කරයි . ඔවුන්ගේ රසාස්වාදයට සහ උනන්දුවට සිසුන් පළි නැත.
සැම ජාතියකටම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අයිතිය ඇත. එය මර්දනය මගින් ද, ජාතිවාදය මගින්ද පීඩාවට පත්කරන ලද සමාජයක ජීවත් වන්නන් හට බලෙන් පැටවීම ගැටළුවකි . එහෙත් විශ්ව විද්‍යාලයට පිටින් ගොඩ නැගෙන බුද්ධ ප්‍රතිමා වලට එක ඇඟිල්ලක් හෝ දිගු නොවූයේ ඇයි ද යන්න ගැටළුවකි. මේ තුළ කුමක් හෝ කුමන්ත්‍රණයක් සිදුවන බව නම් පැහැදිලිය.
සැවොම නිදහසේ හා සාමයෙන් සිටිතියි කියා කියන්නවුන්ගෙන් මා අසනුයේ එසේ නම් මා පෙර කියූ පෝස්ටර සිද්ධිය, පිළිම බිඳීම ආදිය සිදුවූයේ කෙසේද යන්නයි. සැබැවින්ම සියලු දෙනාගේ ක්‍රියාවක් නොව දෘෂ්ටිවාදී පසුගාමී අදහස් ඇත්තවුන්ගේ ක්‍රියාය.


යාපනය විශ්ව විද්‍යාලයට පෙර නොවූ ලෙස සිංහල සිසුන් වැඩි වැඩියෙන් ඇතුළු කරන්නේ ජාතිවාදී හැඟීමෙන්ද? පීඨ කිහිපයක හැර සෙසු පීඨවල සිංහල දෙමළ සිසුන් මුහුණට මුහුණ හමුවුණත් සිනහවක් නැතිව යන්නේ ඇයි දැයි කීමට පිළිගත හැකි තාර්කික පිළිතුරක් පාලනාධිකාරියට තිබේද? මේවා සිංහල සිසුන්ගේ වැරදි කියා කිව නොහැකිය. මේවා ජාතිවාදයෙන් නෑවී සිටින පාලකයන්ගේ ක්‍රියා ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සිට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දක්වා ඊට වග කිව යුතුය.

ජල පවිත්‍රකය මගින් ජලය ලබා ගැනීමේ සිට සිංහල දමිළ සිසුන්ගේ ප්‍රශ්නය දිනෙන් දින තීව්‍ර වීම පරිපාලනය කවදා තේරුම් ගනීද?

පාලකයන් මේවාට උත්තර දීමට ප්‍රමාද වීම තුළ මෙය දරුණු ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිය. මෙම දරුණු රෝගය නැවතත් අප විනාශයට ගෙන ගොස් නතර කරනු ඇත .
දෙමළ හා සිංහල සිසුන් අතර මෙන්ම මුස්ලිම් හා දමිළ සිසුන් අතරේ ගැටළු ඇත. ඒවා සාමාන්‍ය ලෙස පසු කර යා හැකිද? මුස්ලිම් සිසුන්ගේ යාඥා කාමරයට ගැසූ කළු තෙල් පැල්ලම් තවමත් මැකී ගොස් නැත.

එකම පීඨයේ එකට සිටින තුන් ජාතියේම සිසුහු පිටස්තරයන්ගේ සිතීමකට හුරු වෙමින් සිටිති. පිටස්තරයන් සම්ප්‍රේෂණය කරන පසුගාමී අදහස් වසරක් පාසා ඔවුන්ගේ යටි සිත්වල පැල පදියම් වෙමින් තිබේ.

නිවාඩු ලබා දීමෙන් සිතේ කහට හෝ සිතේ ඇති ප්‍රතිවිරුද්ධ අදහස් නොහොත් මුවහත් පිහිය නැවතත් කොපුව තුලට දමන්නේය. පාලනාධිකාරිය කවදත් එසේය . කොපුව තුලට දමන ලද පිහිය එළියට ගෙන අප විනාශ කරාවිදෝ කියන ප්‍රශ්නය ඇත.

ගැටුම් සමතය ,ගැටුම් තත්ත්ව වෙනස් කිරීම්, ගැටුම් වෙන්කිරීම් ආදිය විෂය නිර්දේශයට පමණක් සීමා කර ඇත.

අප මින් පසු මර්දනයට එරෙහිව අවි නොඑසව්මට සිත් සාදා ගනිමු .

පාරම්පරිකත්වය , පෞද්ගලිකත්වය සහ අපගේ වාසස්ථාන විනාශ කරන්නෝ සිසුහු නොවෙති. එසේ කරනවුන් පිටුපස ඇත්තේ බලය මෙන්ම ප්‍රාථමික අදහස් සහිත දේශපාලනඥයන් සහ මුදල් කොල්ල කන්නවුන්ය . එය අප තේරුම් ගත යුතුය. සාකච්ඡා තලයෙන් මේවා විසඳා ගැනීමෙන් සිසුන් ඉදිරියේ මෙවන් දැ යළි නොනවතින්නේය .
අපගේ වාසස්ථානය වෙනුවෙන් අප සටන් කළ යුතුය. එහෙත් එය හැගීම් ප්‍රකෝප වීම් යන තලයන්හි සිදු නොවිය යුතුය . සාකච්ඡා තලයෙහි සිදු විය යුත්තකි. ඔබව ප්‍රකෝප කර එම ගිනිදැල් මගින් උණුසුම ලබන්නවුන් හට ඔබේ ප්‍රශ්නයක් කියාගෙන යන විට දේශපාලන වේදිකා සරසමින් කාට හෝ එරෙහිව ගල් ගසන පාර්ශ්වයන් සමග එක්වීමට සිදු වනු ඇත.
අපි සිසුහුය. ඔවුන් මෙන් කුහකයෝ නොවෙමු. අපි එකම පීඩක පරිසරයක එකම පන්තියේ සැරිසරන්නෙමු. ඉගෙන ගන්නෙමු. එදිනෙදා මුහුණට මුහුණට හමු වන්නෙමු.
නැගිට පරස්පරතාවයන් බලන අපි මිනිසුන් ලෙස ඉපදෙන්නෙමු. යළිත් අපි සිනාසීමට පටන්ගමු.

මෙයට,
ආදරණීය
යධාර්තන් .
(ප්‍රදීප් ගුණරත්නම්)
යාපනය විශ්ව විද්‍යාලයය
දෙවැනි වසර ශිෂ්‍ය


උපුටාගැනීම -Sri Lanka Young Journalists' Association

Wednesday, September 18, 2013

කැකිල්ලේ නාමය නගා සි‍ටුවමු, කැකිල්ලේ බලය ගොඩ නගමු



ශ්‍රී ලංකාද්වීපයේ වාසය කළ ශ්‍රේෂ්ඨතම රාජෝත්තමයාණන් හා අසමසම  ඥාණ ශක්තියකින් යුක්තව තම පාලනය  ගෙන ගියා වූත්, තම ඥාණ ශක්තියෙන් ලොවම මවිත කළා වූත්  ශ්‍රී කැකිල්ලේ මහ රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත්, එතුමාගේ ඥාණ බලයත් ලොවට විදහා දක්වනු වස් ද කැකිල්ලේ රාජ්‍ය විචාරණ ක්‍රමය තුලින් අද ලබා ගත යුතු වූ ආදර්ශය පෙන්වනු වස් ද , කැකිල්ලේ නරපතියාණන් හා වත්මන් රාජ පරම්පරාව අතර ඥාති සම්බන්ධය සොයනු වස් ද , එතුමාගේ ශ්‍රී නාමය අපයෝජනවලින් ආරක්ෂා කරනු සඳහා ද " කැකිල්ලේ බලය " සංවිධානය පිහි‍ටුවාලන බව ශ්‍රී ලංකා වාසි සකල දේශප්‍රේමි , දේශමාමක, දේශහිතෛෂී,ජනතාව වෙත ජාති  ආලයෙන් යුක්තව මෙයින් දැනුම් දෙමු.

එසේම මින් මතුවට කැකිල්ලේ රාජොත්තමයාණන් පිලිබඳව චිත්‍රපටි, නාට්‍ය, කවි සිංදු, කෙටිකතා නවකතා හා කතන්දර ආදිය නිපදවීමට, ලිවීමට ,කියවීමට ප්‍රථම අප සංවිධානයෙන් නිසි අවසරය ලබාගත යුතු බවත් එසේ නොවුවහොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවටත් තව දුරටත් මෙයින් දැනුම් දෙමු.

මීට 

ජාති ආලයෙන් යුක්තව 

කිහිල්ලේ මයිලානන්ද  

ගරු ලේකම් 
කැකිල්ලේ බලය සංවිධානය

Thursday, April 11, 2013

ඔබේ ආර්ථිකයටත් ගැලපෙන පරිදි අපූරු කෑමක් හදා ගන්නා අයුරු


පහු ගිය දවස් වල බ්ලොග්  කාරයෝ කීප දෙනෙක්ම අපට නොයෙක් ආකාරයේ කෑම ජාති හදන හැටි කියලා දුන්නා.

කතන්දර  පොල් රොටී හදන හැටිත්, මාරයා අල රොටී ,වඩේ පමණක් නොව පීසා හදන හැටිත්  කියත්දී මඩිස්සලේ නිසාන් පපඩම් බදින හැටි කිව්වා. . මේවා දැක්ක කලාමැදිරියාටත් හිතුනා අපේ පාඨක බ්ලොග් රීඩර් ජනතාවට අපූරු කෑමක් හදන හැටි කියලා දෙන්ට.මෙයාලා එකදිගටම පරිප්පු කන හැටි දැක්කම දුකත් හිතෙනවානේ. වෙනසක් වෙන්ටත් එපැයි.

අපි මේ හදන්ට යන කෑම ප්‍රොටීන් බහුල , ඉතාමත් රසවත් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය-

1. බිත්තර එකක්- මෙම ප්‍රමාණය ඔබේ පවුලේ සාමාජිකයන් ගණන අනුව පහත පරිදි වෙනස් කර ගත හැක.



සාමාජිකයන් ගණන 1 නම් බිත්තර 1
සාමාජිකයන් 2 නම් බිත්තර 1
සාමාජිකයන් 3 නම් බිත්තර 1
සාමාජිකයන් 4 නම් බිත්තර 1
සාමාජිකයන් 5 නම් බිත්තර 1
සාමාජිකයන් 6 නම් බිත්තර 1
සාමාජිකයන් 7 නම් බිත්තර 1

මේ ආකාරයට ඔබට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ‍තෝරාගන්න.

සටහන- ඔබ බොදු බල සේනාවේ , සිංහල රාවයේ , රාවණා යුනිට් එකේ  හෝ හෙලු හෙල උරුමයේ සාමාජිකයෙක් නම් බිත්තරයේ හලාල් සලකුණ තිබේ දැයි බලන්න.( මොලේ සාමාන්‍ය පරිදි වැඩ කරන පොදු ජනයාට එය අදාල නැත.)



2. වතුර හා ලුණු කැට කීපයක්.

සාදා  ගන්නා අන්දම-

වතුර ටික මුට්ටියකට දමා ලුණු කැට හා බිත්තරය එයට දමා හොඳින් තම්බා ගන්න.

තැම්බුනු පසු ලිපෙන් බා පොතු ඇර ගන්න.


ඉන්පසු පවුලේ සාමාජිකයන් ගණන අනුව කෑලි වලට කපා බත් , පාන් ,වැනි ආහාරයක් තිබේ නම් එය සමග අනුභව කරන්න.


ඔබ ගලබොඩ අත්තේ උන්නාන්සේගේ උපදෙස් පරිදි කසාද පහක් කරගන්නේ නම් පහත පරිදි බිත්තරය කැපිය හැක.



සටහන - ගෙදර හරියකවත් බිත්තර කට්ටකවත් නොතිබුනු  නිසා සියලු ඡායාරූප ලබා ගත්තේ අන්තර් ජාලයෙන් බව කරුණාකර සලකන්න.

Friday, April 5, 2013

71 හා 2013



ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 42 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 42 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයත් අද දෙතැනකට වී රතු කමිස හැඳ සමරු  උත්සවවල කතා පවත්වනු ඇත. රෙජිෆෝර්ම් සමරු පලක වලට මල් තබනු ඇත. අවසානයේ විසිර යනු ඇත.

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ දෙපිරිසටම මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.