Showing posts with label සංවර්ධනය. Show all posts
Showing posts with label සංවර්ධනය. Show all posts

Wednesday, January 7, 2015

ඔබේ තීරණය කුමක්ද?

කිරි උතුරන පවුලක්
යුද්ධය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැරුනු විට රාජපක්ෂලාගේ ලොකුම කයිවාරුව සංවර්ධනයයි. ඔවුන් මේ සඳහා අත දිගු කර පෙන්වන්නේ නැව් නැති වරායන්, ගුවන් යානා නැති ගුවන් තොට, නාට්‍ය නැති රඟහල්, මිනිසුන් හෝ ‍රැස්වීම් නැති සම්ම්න්ත්‍රණ ශාලා , පැයට කි.මී සීයටකටවත් යා නොහැකි අධිවේගී මාර්ග, හැදූ දා සිට අලුත් වැඩියා කරන මහාමාර්ග හා කිසිම කමකට නැති නෙලුම් කුළුණු ආදියයි.

සංවර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ රටක ජනතාවට කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ක්‍රියාවලියකි. එහෙත් රාජපක්ෂලාගේ ඉහත දැක් වූ සංවර්ධනයෙන් මෙරට අති මහත් බහුතරයක් වූ දුගී ජනතාවට අත් වී තිබෙන  සෙත කවරේද?

මෙම නිශ්පල ව්‍යාපෘති සඳහා ගිනි පොලියට ලබා ගන්නා ණය හා පොලී ගෙවීම සඳහා ඔවුන්ගේ කිරිපිටි ටිකෙන්, පැට්‍රල් හා භූමි තෙල් ලීටරයෙන් , සීනි 250න්, පරිප්පු සීයෙන් ගෙවීමට  සිදු වීම හැර අන් කුමක්ද? 

රාජපක්ෂලාගේ ලොකුම ආඩම්බරය නගර අලංකරණයයි. මේ වෙනුවෙන් ඔවුන් පරම්පරා ගණනාවක් ජනයා ජීවත් වූ නිවාස වලින් පලවා හරිමින් සිටිති. තමන් සිටි නිවාසද අහිමි වූ ජනයා කුකුල් කූඩු බඳු තට්‍ටු නිවෙස් තුලට ගාල් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමටද බල කරනු ලබමින් සිටිති. රාජපක්ෂලාගේ සංවර්ධනය එයයි.

රාජපක්ෂලා කොළඹ නගරය අලංකාර  කරමින් සිටින අතර  ඈත ගම් වල සිසු දරු දැරියන් වැල් පටවල එල්ලී ගංගා තරණය කරමින් වල් අලි ප්‍රහාර මැද පාසල් යති. ව්‍යායාම මං තීරු වලට රුපියල් කෝටි ගණන් වියදම් කරද්දී රජරට ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් ලේ පීරිසිදු කිරීමේ යන්ත්‍ර හිඟකම නිසා හා ඖෂධ නොමැතිකමෙන් මිය යති. 

රාජපක්ෂලාගේ අධිවේග මාර්ග හැදීමට හා නඩත්තුවට  තම  හාල් සේරුවෙන්, කිරි පිටි ටිකෙන්, අල ගෙඩියෙන්, පරීප්පු ටිකෙන් බදු ගෙවන  දුප්පතුන්ට තම යතුරු පැදිය හෝ ත්‍රී රෝද රථය ඇතුලු කිරීමට අවසර නැති වීම රාජපක්ෂ සංවර්ධනයේ සැබෑව හෙලිදරව් කරයි. 

මෙවැනි නාස්තිකාර, ජනතාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරන , පාලක කල්ලිය අති විශාල ලෙස කොමිස් ගසමින් මඩි තරකර ගන්නා ඊනියා සංවර්ධනයයට තව දුරටත් ඉඩ දෙනවා ද යන්න අප ජනවාරි අට වෙනිදාට තීරණය කළ යුතුව තිබේ.

ඔබේ තීරණය කුමක්ද?
එක රොටියක් බෙදා ගෙන කන පවුලක්