ශ්‍රී ලංකා හමුදාව උතුරේ දෙමල ජනයා සමග යුද වැදී සිටින සමයේ හමුදාව වෙනුවෙන් බෝධී පූජා තැබූ, ආශිර්වාද පූජා කල, ලේ දන් දුන් හා ඔවුන්ගේ ජයග්‍රහණ වලදී කිරිබත් පිස කෑ පමණක් නොව ඊයේ පෙරේදා රණවිරු ස්ටාර් වලදී ලක්ෂ ගණන් එස්.එම්.එස් යැවූ සිංහල බෞද්ධ,දේශප්‍රේමි ජනතාව බීමට පිරිසිදු ජල බිඳක් ඉල්ලා කෑ ගසන විට එම ජනයාගේම අති මහත් බහුතර චන්දයෙන් පත් වූ දේශප්‍රේමි ආණ්ඩුව විසින් එම දේශප්‍රේමි හමුදාව යොදවා වෙඩි තබා මරා දමා තිබේ.
මෙම සිදු වීම තුලින් පාලක රෙජිමය ලංකාවේ ජනතාවට පාඩමක් කියා දී තිබේ. එය ලංකාවේ අනාගතය පිලිබඳ පෙර නිමිත්තක් මෙන්ම අතීතය පිලිබඳ පැතිකඩක් ද වේ. පාලක පවුලේ හා එහි අන්තේ වාසිකයන්ගේ රුදුරු සූරාකෑම නිසා පීඩාවට පත් වන ජනතාවට තම අවම අයිතිවාසිකම් වත් දීමට පාලකයින් සූදානම් නැති බවත් ජනයා තමන් කියන පරිදි නොසිටියොත් , බල්ලන් බලලුන් මෙන් මරා දමන බවත් එම පාඩමයි.
ලෝකයේ සිටි සියලු මුග්ධ ඒකාධිපතියන් මෙන්ම මොවුන්ද සිතන්නේ සියල්ල මුදලේ හා තුවක්කුවේ බලයෙන් පාලනය කල හැකි බවයි. දූෂිත දේශපාලකයින් කිහිපදෙනෙකුන් තම සාක්කුවට දාගත් විට තමන්ට එරෙහි ව එන ජනතා බලවේග නවතා ලිය හැකි යැයි ඔවුන් සිතයි.එහෙත් ඔවුන්ට අමතකව ඇති දෙය නම් මෙලෙස සිතූ ඒකාධිපතීන් සියලු දෙනාම අවසානයේ නතර වූයේ කුණු බක්කියේ බවයි.
සටහන- පහලින් ඇති වාර්තාව උපුටා ගත්තේ ආණ්ඩුවේම මන්ත්‍රිවරයෙක් වන තිලංග සුමතිපාලගේ ලක්බිම පුවත් පතින් මිස ලංකා ඊ නිව්ස් වලින් නොවේ.
වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී තිබේ. මෙම ප්‍රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත් ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන බවත් ඔවුන් පවසති. ජනතාවට පහර දී තුවාල සිදුකර එක් අයෙකුට මරණය සිදුකළ මෙම සිද්ධියට සම්බන්ධ වාර්ථා හමුදාවට වාසි වන ලෙසට වාර්ථා කරන්නට පටන් ගෙන තිබීම ගැනත් උසස් පොලිස් නිලධාරින් අතරේ අප්‍රසාදයක් හටගෙන ඇත. වැලි පිර වූ බෝතල් ගෙනැවිත් පොළවේ ගසා පුපුරවා එම වැලි බෝතලවලින් ජනතාව හමුදාව පහර එල්ල කළ බවට වාර්ථා සකස් වෙමින් තිබෙන බව පැවසේ.
ජනතාවට ජල ප්‍රහාර එල්ල කරන්නට රැගෙන ආ ජල බවුසර් දෙක ප්‍රයෝජනයට ගෙන නැති බව පොලිසිය කියයි. ඒ වගේම හත්දහසක් පමණ රැස් වී සිටි වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ බවත් වාර්ථා වී තිබේ. ඒ වෙනුවට වෙඩි තබමින්, පොලුවලින් පහර දෙමින්, පිහිවලින් කැපීම අවම බලය යෙදවීමක් නොවන බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් 16 වියැති පාසල් සිසුවෙක් වෙඩි වැදී මරුමුවට පත් වී තිබේ. පාසල් ගොස් පැමිණෙමින් සිටිය දී එල්ල වූ වෙඩි පහරක් සිසුවාගේ උදරයට වැදී ඇත. ඔහු වැලිවේරිය, හෙලන්වත්තේ පදිංචිකරුවෙකි. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා සිද්ධිය වූ වැලිවේරිය නගර මධ්‍යයට අද (02) දහවල් පැමිණියේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු දහවල් 11.30 පමණ කොළඹ නව නුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරිණ. ළිං ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසුවන බවට ජනතාව චෝදනා කරන වැලිවේරිය,රතුපස්වල පිහිටි ‘වින්ග්‍රොස්’නැමැති කර්මාන්ත ශාලාව හේලීස් සමාගමට අයත් කම්හලක් බව දැනගන්නට තිබේ. හේලීස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාට ය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමි බව වාර්ථා වේ.

