Showing posts with label කැබිනට් සංශෝධනය. Show all posts
Showing posts with label කැබිනට් සංශෝධනය. Show all posts

Wednesday, January 30, 2013

සීනි සීනි සීනි


ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනයට හවුල් වීමට පැමිනි ආයෝජකයෙක්

පෙරේදා සිදුකළ කැබිනට් සංශෝධනයේදී සීනි ඇමති කෙනෙක් පත් කිරීම ගැන විපක්ෂයේ බහු බූතයන් හා උන්ට කඩේ යන බ්ලොග් බූතයන් නොයෙක් කථා කියා තිබේ.

සීනි වලට විතරක් නොව හකුරු වලටත් ඇමති කෙනෙක් ඕනෑ බව එකෙක් කිව්වේය. තව එකෙක් අල ,පරිප්පු මුං ඇට, කව්පි, බඩ  ඉරිඟු ආදියට වෙන වෙනම ඇමතිලා ඕනෑ බව කිව්වේය.

රතු සීනි හා සුදු සීනිවලට වෙන වෙනම ඇමතිලා දෙන්නෙක් හිටියානම් හොඳ යැයි තව මෝඩයෙක් කියා තිබිනි.

රටට ඕනෑ කරන සීනිවලින් වැඩි හරියක් පිට රටින් ගෙන්නන ලංකාව වගේ රටකට ඕනෑ කරන්නේ සීනි ඇමතියෙක් නොව සීනි ගෙන්වන මුදලාලි කෙනෙක් බව තව එකෙක් කොමෙන්‍ටුවක කියා තිබුනේය.

මේ කියමන් වලින් පෙනී යන්නේ මුං එකෙක් වත් මේ ලෝකේ සිටින් උන් නොවන බවය. අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ ආශ්චර්යමත් සියරට දේ සිරි සැප දේ ප්‍රතිපත්තිය මුංට තේරෙන්නේ නැත. මුං ඔක්කොම ටික අල්ලා ආරියශීල වික්‍රමනායක ලඟට ටියුෂන් යැවිය යුතුය.( දේශහිතේෂී එකේ වසන්ත බංඩාර උනත්  ඒ වැඩේට හොඳය.)

මේ කබ්බන්ට නොතේරුනාට අපේ ආණ්ඩුවට ඉතාමත් දුර දක්නා ආර්ථික ප්‍රතිපත්තියක් තිබේ. සීනි ඇමති කෙනෙක් පත් කලේ ඒ නිසාය.

මේ යන විදියට ගියොත් 2050  දී ලංකාවේ ජනගහණයෙන් බාගයකට දියවැඩියාව හැදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා තීබේ.

දියවැඩියාව කියන්නේ ලේ වල සීනි තිබීමය. එනම් 2050 දී අඩුම තරමෙන් කෝටියක් , එක්කෝටි විසිපන් ලක්ෂයක් දෙනා සීනි කරයින් බවට පත් වේ.

ජනගහණයෙන් බාගයක් දෙනා , කෝටියක් දෙනා , සීනි නිෂ්පාදනය කරන රටක සීනි බාරව ඇමති කෙනෙක් සිටිය යුතු නැත්ද?

අද අපි සීනි ඇමති කෙනෙක් පත් කරන්නේ 2050 දී ඒ ඉලක්ක සපුරා ගන්නටය.


ආර්ථික විද්‍යාව නොදන්නා එවුන් කෑ ගැහුවට අපේ ආණ්ඩුව සැලෙන්නේ නැත.

ඔය කෑ ගැහීම් වලින් අපේ ගමන නවත්තන්ටත් බැරිය.

අලුත් සීනි ඇමතිගේ ඇඟ පතේ හැටියට නම් එතුමා දැනටම සීනී නිෂ්පාදනය පටන් අරගෙන තියෙන කෙනෙක් බව පෙනේ. ඒ නිසා අපිට අනාගතය ගැන බය නැත.


සටහන- සිරිසේනගේ සෞඛ්‍ය කට්ටිය අපේ ආණ්ඩුවේ සීනි නිෂ්පාදන ටාර්ගට් කඩාකප්පල් කරන්නට උත්සාහ කරන බව ආරංචිය. සිරිසේන උන්නැ හේගෙ අතේ තිබ්බ අගමැති  කම ගහලා ගියෙත් ඔය වගේ වැඩ නිසාය.දැන්වත් ඔව්වා නවත්තා යන තැනකට පිං අතේ වැඩක් කරොත් හොඳය.