![]() |
| ඒකනායක වල මැදිරිගිරිය |
මේ දවස් වල බුකියේ, බ්ලොග් පිටුවල, පත්තරවල ,රූපවාහිනි සහ ගුවන් විහිලු නාලිකාවල යනවා කතාවක් පේරාදෙණි විශ්වවිද්‍යාලේ තිබුණු නවක වද කඳවුරක් ගැන. ඒ කඳවුර අල්ලන්න විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය , විනයාරක්ෂක හමුදාව ගිය හැටි ලියන්නේ ඔසාමා බින් ලාඩන් අල්ලන්න ඇමෙරිකන් කාරයෝ කල මෙහෙයුමටත් වඩා භයානක මෙහෙයුමක් විදියට. ඒ ඉතින් පත්තර කාරයින්ගේ හැටිය.දැන් මේ උන්දෑලා කියන විදියට මේ වදකාගාරේ ඇතුලේ පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකු නිරුවත් කරල හාවෝ පන්නවා ඇත. හපොයි අම්මේ . මාර අපරාදයක්. ( මාත් එක්ක කෙලගන්ට එන්න එපා. ඒ වැඩේ වැරදියි . මොකටද හාවෝ පන්නන්නේ )
මේ වදකාගාර කියනකොට මට මතක් උනා තව වදකාගාර වර්ගයක් ගැන. මේවා තිබ්බේ හිට්ලර්ගේ ජර්මනියේ නෙවේ . මේ ගෞතම බුදුන්ගේ දේශයේමයි. මේවාට, තරුණයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විතරක් නෙවේ , පාසැල් ශිෂ්‍යයොත් අරන් ගිහින් වද දුන්නා. නවක වද නම් නෙවේ. වෙන වද . මේවා මතක් කරන්නේ හුඟක් අයට අමතක නිසා.
දණහිස් මගින් එල්ලීම, නිර්වස්ත්‍රකර ශරීරයට උණුවතුර දැමීම, මොහොතින් මොහොත ශරීරයට පා පහර දීම, අතුල් පහරදීම, බැටන් පොලුවලින් හිසට පහරදීම, හිස මත පොතක් තබා ප්‍රහාර එල්ල කිරීම, ඇඟට විදුලි සැර ඇල්ලීම, මේසය මත මුණින් අතට වැතිරීමට අණකර පිටට දෙපාවලට සහ යටිපතුලට පොලුවලින් සහ පීවීසි බටවලින් පහරදීම, පිහියකින් කපා ඇගේ ලේ ගලා යෑමට සැලැස්සවීම, ඇණ සහ යතුරු ගිල්ලවීම්, විදුලි ස්ත්‍රිකයෙන් පිට මැදීම, ටියුබ් ලයිට් අනුභවයට දීම, ගුදයට හා තරුණියන්ගේ ලිංග තුලට බෝතල්, පීවීසී බට ,කටු කම්බි ඇතුල් කිරීම ඇස් ඉගිල්ලීම , නාස්, කන් අත් පා කපා දැමීම, ජලයේ ඔබා ගෙන සිටීම, මිරිස් කුඩු දුම් ගැසීම .තරුණියන් දූෂණය, සහ අවසානයේ මරා දැමීම තමා ඒ වධකාගාර ඇතුලේ සිද්ද වුනේ.
87-89 කාලයේ මේ විදියට වධකාගාර තුළ තරුණ තරුණියන් දහස් ගණනක් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පාකර දැම්මා. නැතිනම් සූරියකන්ද වැනි අප්‍රකට සමූහ මිනී වලවල් තුල වල දැම්මා.
පේරාදෙණියේ එක් වධකාගාරයක් ගැන කියන විට අපට වධකාගාර සියගණනක් සිහියට එනවා. මේ එයින් කීපයක් පමණි.
බියගම සපුගස්කන්දේ බටලන්ද වධකාගාරය, ඒකනායක වල -මැදිරිගිරිය, ටොරින්ටෝවෙ වධකාගාරය. මාතර එළියකන්ද වද කඳවුර වැල්ලවත්තේ වදකාගාරය , මාතලේ විජය විද්‍යාලය, ක්‍රිස්තුදේව විද්‍යාලය,නාඋල අඹවත්ත වධකාගාරය, පේරාදෙනියේ හිල්ඩා ශාලාව, මහනුවර සිල්වෙස්ටර් විදුහල,මාතලේ තානායම,උකුවෙල පෝසිලේන් කර්මාන්ත ශාලාව, ඔෆ්ස් කම්බයින් මෙහෙයුම් මධ්‍යස්ථානය, ඉසුරුපාය හමුදා කඳවුර, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය, මත්තේගොඩ, ඔරුවල, කොළඹ තුරඟ තරඟ පිටිය, අතුරුගිරිය, කඩුවෙල යුධ හමුදාවේ ගල් පල්ලිය ,තිඹිරිගස්යායේ යටාරෝ කැෆටේරියා , පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව, දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල හිල්ටොප්, ගාල්ල කොටිගල, කරන්දෙනිය උණගස්වල, කළුතර බෝඹුවල, මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, බතීගම වත්ත, කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, හපුතලේ බෙරගල සමර් ෆැසන් ඇඟළුම් කම්හල, නුවරඑළිය පුරහළ, පල්ලකැලේ කඳවුර අසළ ගඟෙන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, කුරුණෑගල වැහැර, ලිදුළ තේ කම්හල, කොළඹ තුම්මුල්ල, කොළඹ රේස්කෝස් පිටිය, , බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, කොළඹ සරසවි නීති පීඨය, කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, මත්තේගොඩ කඳවුර, මීරිගම යොවුන් නිකේතනය, පෑලියගොඩ පට්ටිය හන්දිය, කැස්බෑව, දෙමටගොඩ හරක් මඩුව, බොරැල්ල කනත්ත, මොඩර් ෆාම්පාරේ ගොල්ෆ් පිටිය, ජයවර්ධනපුර නේවාසිකාගාරය, ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව සහ තවත් අනේක වූ හමුදා කඳවුරු, ප්‍රා කඳවුරු, පොලිස් ස්ථාන
සටහන- මේ සටහන ලියවුනේ නවක වධය සාධාරණීකරණය කිරීමට නෙවේ. නවක වධ ගැන තප්පුලන වධකයන් ගේ නොමිනිස් කම් ගැන කියා දීමටය.


