Showing posts with label ආධාර. Show all posts
Showing posts with label ආධාර. Show all posts

Tuesday, May 30, 2017

යහපාලන ආණ්ඩුව හිතූ තරම් නරක නැත...නොහොත් රු.90 කථාව



යහපාලන ආණ්ඩුවට අංශබාගේ යැයි කියන්නේ බයියන්ය. ඒ හොරා කෑමට තිබූ චාන්ස් නැති වූ තරහවට  මිස වෙන කිසි හේතුවකට නොවේය.මේ කස්ටිය කියන්නේ යහපාලනේ ගංවතුරිනුත් ෆේල් කියලාය. රනිල් ලොක්කා ඇමෙරිකාවේ ගිය එකත්, ආපදා ඇමති රටේ නැති එකත් ලොකුවට උලුප්පනවාය. වැඩේ හරියට කරනවා නම් කවුරු කොහේ හිටියාම මක්ක වෙනවාද? 

ඔන්න දැන් බලන්න ආපදාවට පත් වෙච්චි ජනයාට වියදම් කරන්න කියලා ආන්ඩුව රුපියල් කෝටි හතර හමාරක්ම වෙන් කරලාය. සුවල්ප මුදලක්ද? ලක්ෂ පහක් වෙච්චි අනාතයින්ට එකෙකුට රුපියල් 90 ගානේය. ඉතින් මේ වගේ ජනහිත කාමි ආණ්ඩුවකට බයින උන්ට මොනවා කලාට හිත් වදියිද?

ගංවතුරට කො‍ටු වී සිටින මගේ මිත්‍රයෙක් නම් දැනටම රුපියල් 90න් කරන්න වැඩ ලැයිස්තුවක් හදා ගෙන ඉන්නෙමිය. අනික් අනාතයින්ටත් කියන්නේ මගේ යාලුවා  ආදර්ශයට අරගෙන පැලෑනක් ගහගන්න කියලාය.යාලුව කුරුල්ලෙක් අතේ එවූ පැලෑන මෙසේය.

මෝටර් බෝට්‍ටුවක් කුලියට අරගෙන කොළඹ එන්ට- රු. 10.00
එනගමන් හීතලට බොන්ට බ්ලැක් ලේබල් විස්කි බොතල් 1යි- රු. 4.50
බයිට් එකට බැදපු කුකුලෙක් ගන්ට- රු. 2.70
ගොල්ඩ් ලීෆ් 20 පැකට් දෙකයි- 1.20
කැඩිච්ච ගේ හදාගන්ට- රු. 2.35
ගංවතුරට ගහගෙන ගිය බඩු මුට්‍ටුවලට- රු. 1.74
ගංවතුර බහිනකම් ගෝල්ෆේස් හෝටලේ නවතින්ට- රු.5.49
එනගමන් කැළණි විහාරේ පිං කැටේට- රු.0.20
රනිල්ගේ ආච්චිට බොස්තොරොක්කයක් ගන්ට- රු.3.50
ආපදා ඇමතිගේ ගෙදරට කේක් එකක් යවන්ට- රු.6.75

මුළු ගාන - රු.38.43

ඉතිරි ගානෙන් කොරන දේවල්

රු. 10ක් ඇමතිලාට වාහන ගන්ට පරිපූරක ඇස්තමේන්තුවට ප්‍රදානය කිරීමටත්
රු.20ක් ආපහු ගෙදර යන්ට බෙන්ස් කාර් එකක්  ගන්ටත් 

ඉතුරු සල්ලි ඔක්කොම ‍ෆික්ස් ඩිපොසිට් එකක් දමා ඉතුරු ජීවිත කාලේම  සැප සේ ගතකරන්ටත්ය.



Sunday, May 28, 2017

යහපාලනයට ජයවේවා..



අපි කවදත් හිතුවේ මේ රටේ නිදහසින් පසු පහල වූ , පහල කර ගත් , හොඳම ආණ්ඩුව වර්තමාන යහපාලන ආණ්ඩුව කියාය. මේ ආණ්ඩුවට කලින් තිබුණු මහරාජ ආණ්ඩුව කොරන ලද දේවල් නිසා ඒක එපා වූ මහජනතාව විසින් මේ සැරේනම් තට්‍ටු මාරු ක්‍රමයට වුනත් ඉතා හොඳ වැඩක් කර තිබේ. යහපාලන ආණ්ඩුව හැබෑවටම යහපාලන ආණ්ඩුවක් බව දැන් අපට ප්‍රත්‍යක්ෂ්‍යය.

ඒ බව පහුගිය අවුරුදු දෙකක ට වැඩි කාලයේ උන්නැහෙලා ක්‍රියාවෙන්ම ඔප්පු කොර තිබේ. බැඳුම්කර , සයිටම් විරෝධතා කරුවන්ගේ ඔලු පැලීම වැනි සුළු සුළු සිද්ධි මතක් කර අපේ හිත් වෙනස් කිරීමට කාටවත් පුලුවන් වෙන්නේ නැත.මොකද යතොත් යහපාලනේ යනු යහ පාලනේ නිසාය. ඔලු පැලුවත් යහමින් ඒ වැඩේ කරන බවට අපි දන්නෙමු.

වැඩිදුරක් යන්නට ඕනෑ නැත. මේ දවස් වල රට මූණ පා තිබෙන දුර්දාන්ත කාලගුණ තත්වයට මුහුණ දීමේ දී ත් අපේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කලර්ස් එලි දක්වා තිබේ. මේ තරම් ඉක්මණින් ස්වභාවෛක ආපදාවකදී ක්‍රියාත්මක වූ ආණ්ඩුවක් දැක ඇත්ද? ෂුවර් එකටම නැත. මෙහෙම ආණ්ඩුවක් දකින්නට පිං කරන්නට ඕනෑය.

විපතට පත් වූවන්ට සහන සැලසීමට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩ සටහන් හදා ඇතැයි ගරු අගමැතිතුමා 26 දා කිව්වේය. අපිට එතුමා විශ්වාසය. ඔබ මට විස්වාසයි කියා ජෝති කිව්වේ ඒ නිසාය. එතුමා සහ එතුමාගේ පක්ෂය ඒ විශ්වාසය 26 දා සවස් වන විටම ඒ කෙටි කාලීන වැඩ පිලිවෙල ක්‍රියාවට නංවා තමන් කියන දේ කරන ,කරන දේ කියන අය බව ඔප්පු කර පෙන්නුවේය.

ඒ මෙහෙමය. හදිසි කෙටිකාලීන සහන සඳහා කෝටි 70ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමෙනි. ඒ මැති ඇමැතිවරුන්ට වාහන ගැනීමටත්, ඔවුන්ගේ නිල නිවාස අලුත්වැඩියා කිරීමටත්  ය. සමහර විට තිබුණු වාහන ගංවතුරේ ගහගෙන ගිහින් වෙන්න ඇතිය. දැන් අපි බලා ඉන්නේ දිගු කාලීන වැඩ මොනවාදැයි කියාය. හිතට ඇති ලොකුම සැනසීම නම් බලයේ ඉන්නේ යහපාලන ආණ්ඩුවක් වීමය. ඒ නිසා දිගුකාලීන වැඩත් කෙටිකාලීන වැඩවලට නොපරදිනවාට ,මෙන්න කැට.



Tuesday, November 22, 2016

චීන පටස්




චීනපටස් යනු මහ හඬක් නගමින් පුපුරා යන  ගිනි කෙලි විශේෂයකි. ඒ අකාරයේ  ගිනි කෙලියක් පසුගිය දාක  ලංකාවේ චීන තානාපති පැවත්වුවේය. . ඒ ලංකාවේ මුදල්  ඇමති රවී කරුණානායකත්, ලංකාණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියත් , ප්‍රසිද්ධ මාධ්‍ය සාකාච්ඡාවක් පවත්වමින්  විවේචනය කිරීමෙනි.

තානාපති යී ශියාං ලිං ගේ මේ ක්‍රියාව ලෝකය පිලිගත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. දේශපාලන පොතේ වචන වලින් කියන්නේ නම් රටේ ස්වෛරී භාවය කෙළෙසා දැමීමකි. අභ්‍යන්තර  ප්‍රශ්න වලට අත දැමීමකි.  එය 1987 දී ඉන්දියාව විසින් ලංකාවට ගුවනින් පරිප්පු දැම්මා බඳු ක්‍රියාවකි.

එහෙත් ඒ ගැන සියලු දෙනා නිහඬය. මේ කථාව ඇමෙරිකානු තානාපති හෝ යුරෝපීය රටක තානාපතියෙක් විසින් සිදු කළේ නම් වීරවංශ/ගම්මන්පිල  හවුල එම රටේ තානාපති කාර්යාලය වටලා , අදාල නිලධාරියා රටෙන් එලවන ලෙස බල කරමින් මහා උපවාසයක් අරඹනු නිසැකය.  එහෙත් ඔවුන්ගෙන් කෙඳිරිලි හඬක් වත් නැත. චීනය විසින් සිදු කළ රටේ ස්වෛරීභාවය කෙළෙසීම ගැන මේ මහා දේශප්‍රේමින්ට වගක් වත් නැති හැටියකි. ඒ අනුව පෙනී යන්නේ  රටේ ගෞරවය , ස්වෛරීභාවය , ජාතික ආරක්ෂාව , හා එබඳු තවත් බොහෝ දේ , පිලිබඳ දේශප්‍රේමීන්ගේ ප්‍රතිචාර රඳා පවතින්නේ  හුදෙක් එම කරුණු මත නොව තමගේ පක්ෂපාතිත්වය අනුව බවය. කෙටියෙන් කිවහොත් චීනයට අප රට කෙරෙහි එලෙස හැසීරීමට ලයිසන් ඇති බවත් ලංකාව චීනයේ යටත් විජිතයක් බවත්    එම දේශප්‍රේමින් සිතනවා  විය යුතුය.

එසේම ලංකාවේ රජය කොතරම් දුර්වලද යන්න එම සිදු වීම අපට පෙන්වා දෙයි. තම රජයේ ප්‍රබල ඇමත්තෙකුට එරෙහි ව තානාපතියෙකු එල්ල කළ ප්‍රහාරය පිළිබඳව රජය ද අනුගමනය කළේ නිහඬ හා නිවට ලෙසිනි. ඒ ගැන කිසිම රාජ්‍යතාන්ත්‍රික විරෝධය පෑමක් සිදු නොවීය. කොන්ද පණ  ඇති රජයක් නම් කළ යුතුව තිබුණේ වහාම තානාපති ශියාං ලිං පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමය. එහෙත් කඩා වැටෙන ආර්ථිකයක් සහිත ලංකාවේ රජය එතරම් නිර්භීත නොවනු ඇත.

චීන තානාපතිගේ කථාව ට එරෙහිව යම්තම් කෙඳිරියක් බඳු හඬක් නැගුවේ ප්‍රහාරයට ලක් වූ මුදල් ඇමතිවරයා පමණි. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට මිතුරෙක් පවා රජය තුල නොසිටීම ද   අපූරුය.

සටහන-1990 ගණන් වලදී මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවකදී වූ සිදු වීමක් නිසා එවක පැවති ප්‍රේමදාස ආණ්ඩුව සිද්ධියට මැදිහත් වූ බ්‍රිතාන්‍ය තානාපති ග්ලැඩ්ස්ටන් රටෙන් නෙරපා දැමුවේය.

Thursday, April 18, 2013

කප්පාදුව හෙලා දකිමු!- Condom the Kappadu



ඇමෙරිකාව ලංකාවට දෙන ආධාර වලින් සියයට විස්සක ප්‍රමාණයක් කපා දැමීමට තීරණය කර ඇතැයි අසා අප මහත් කෝපයටත් විමතියටත් පත් වීමු. මෙය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව , අධිරාජ්‍යවාදින් ගෙන යනු ලබන කුමන්ත්‍රණකාරි වැඩ පිලිවෙලේම තවත් එක් කොටසකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කර පරාධීන ජාතියක් බවට පත් කිරීම සඳහා අපට හතුරු බලවේග නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සිටී.අපේ දේශප්‍රේමි ආණ්ඩුවට එරෙහිව මෙම සතුරු බලවේග අත් වැල් බැඳ ගෙන පහර දෙති. ඔවුන් කියන්නේ සියයට විස්ස ලබා දීමට නම් අප රටේ මානව හිමිකම් තිබිය යුතු බවයි. මානව හිමිකම් බඳු අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ මෙරට තුලට ගෙන ඒමට ඉඩ දිය යුතු නැත.

ඔවුන් උදේ නැගිට්ට මොහොතේ සිට රෑ නින්දට යන මොහොත දක්වාම ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනුවෙනි.අප ආදරණීය මව්බිම ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනීම සඳහාය. සියයට විස්සේ කප්පාදුව තුලින්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ එයයි.

එම නිසා අප මෙම කප්පාදුවට එරෙහිව මුලු වැර යොදා සටන් කළ යුතුය.මෙම කප්පාදුව පරාජය කළයුතුය.ඒ වෙනුවන් උද්ඝෝෂණය කළ යුතුය.අරගල කළ යුතුය.ආර්ථික ඝාතකයන්ගෙන් අප මව්බිම බේරා ගැනීම සඳහා සියලු දේශප්‍රේමින් එක් විය යුතුය.පෙරමුණ ගත යුතුය.අප මව්බිමේ ශුද්ධ අයිතියක් වන විදේශ ආධාර වලින් මෙලෙස සියයට විස්සක් කපා දැමීමට ඇමෙරිකන් අධිරාජ්‍යවාදින්ට අපි කිසි සේත් ඉඩ නොදිය යුතුය.

සියයට විස්සේ කප්පාදුව පරදවමු.මව්බිම දිනවමු.

කේ ඇම්. කසන්න බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතක  ව්‍යාපාරය


සියලු දේශප්‍රේමින්ගෙන් කරනු ලබන විශේෂ ඉල්ලීම

- සියයට විස්සේ කප්පාදුවට එරෙහිව ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපස මහා උද්ඝෝෂණයට ඔබත් එක්වන්න.

- අපේ වීර නායක වීරවංශතුමා කප්පාදුවට එරෙහිව කරන මහා උපවාසයට ඔබත් සහය දෙන්න.

-කප්පාදුව හෙලා දකිමු! හා Condom the kappadu!  යනුවෙන් ලියු බැනර් හා ලෙමන් පෆ් විස්කොතු පෙට්ටි සූදානම් කර තබා ගන්න.