Saturday, July 8, 2017

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මිථ්‍යාව හා සත්‍යය



පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යනු එක් අයෙක් හෝ පිරිසක් විසින් තම මුදල යොදවා පවත්වාගෙන යනු ලබන ආයතනයි. මේවා වර්ග දෙකකි.

1.ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ආයතන- ඉන්දියාව, බංග්ලා දේශය, නේපාලය, පකිස්ථානය වැනි රටවල බහුලව ඇත.

2.ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ඇති රටවල්- ඇ.එ.ජ, එංගලන්තය, ඕස්ට්‍රේලියාව


සෞඛ්‍ය සේවය හා  පෞද්ගලික වෛද්‍ය  අධ්‍යාපනය හා   පිළිබඳ පවතින පොදු දුර්මත

  1.   ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාකර ඇත
   2.  අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
   3.  ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.
  4.   වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.
   5. අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.
   6.  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.

 මෙම කරුණු එකින් එක විමසා බලමු.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාකර ඇත. 

- සාමාන්‍යයෙන්, එක් වසරකදී උසස් පෙළ විභාගයට කළා අංශයෙන් පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 70,000 ක් පමණ විභාගය සමත් වේ.
 -ඉන් සිසුන් 7000 ක් පමණ ,එනම්, කළා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් 10% ක් පමණක් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගනී. 
-සාමාන්‍යයෙන්, වසරකදී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගය සමත්වන්නන් ගණන 21,000 ක් පමණ වේ.
-ඉන් ආසන්න වශයෙන් 7000 ක් පමණ, එනම් 33%  විශ්ව විද්‍යාලයට ඇතුළු කරගැනීම සිදුවේ.
-වසරකදී වෛද්‍ය විද්‍යාල වලට බඳවාගන්නා සිසුන් ගණන ආසන්න වශයෙන් 1325 ක් පමණ වේ.
-එනම් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ.
-එසේ  නම් සැබැවින්ම, විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට පවතින අවස්ථා සීමා වී ඇත්තේ, ජීව විද්‍යා අංශයට වඩා කළා අංශය තුළය.
-මෙතරම් විශාල සිසුන් සංඛ්‍යාවක් කළා අංශය තෝරාගන්නේ, ශ්‍රී ලංකාව තුළ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබාගත හැකි පාසල් ගණන සහ පහසුකම් අඩුවීම හේතුවෙනි.කළ යුත්තේ එම පහසු කම් දියුණු කිරීමයි.

-එසේම  වසරකදී ජීව විද්‍යා අංශයෙන් B සාමාර්ථ 3 ක් හෝ එයට වැඩි ප්‍රතිඵල ලබාගන්නා සිසුන් සංඛ්‍යාව 2388 ක් පමණ වන අතර එයින් ආසන්න වශයෙන් 55% ක් පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලබයි.
-නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අනෙක් සෞඛ්‍යය ආශ්‍රිත උපාධි පාඨමාළා වලට ඇතුළු වන්නේ ආසන්න වශයෙන් 700 ක් පමණි.  ඇතැම්  උපාධි පාඨමාලා වලට සිසුන් ඇතුළත් වන්නේ නැති තරම්ය.


- ලෝකයේ දියුණු රටවල ශ්‍රී ලංකාවටත් වඩා වෛද්‍ය අධ්‍යාපනයට පිවිසීමට ඇති අවස්ථා සීමිත වේ.
-එක්සත් රාජධානිය තුළ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අවම සුදුසුකම වන්නේ උසස් පෙළ A  3 ක් ලබාගැනීමය. A  3 ක් ලබාගත් අයගෙන් ද වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලැබෙන්නේ 5 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.
- එක්සත් රාජධානියේ ඇති හොඳම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇතුළු විය හැක්කේ උසස් පෙළ A  3 ක් ලබාගත් අය 17 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.
- ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අවම සුදුසුකම් ලැබූවන්ගෙන් පාඨමාළාව සඳහා තෝරාගන්නේ ආසන්න වශයෙන් 2% ක් (7000 කින් 165 ක්) පමණි.


  අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
 
 වෛද්‍ය අධ්‍යාපනය ට ‍තෝරාගැනීම සඳහා  උසස් පෙළ විභාගය ඉතාමත් සුදුසු නිර්ණායකයක් බව පෙන්වන කරුණු තුනක් පහත දැක්වේ.
සංජානන හැකියාව - මෙය මැන බලන්නේ අසීරුතා දර්ශකයෙනි. 2015 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් නියමිත පරාසය තුල පිහිටා තිබුණි.

උසස්  අන්තර්ගතය-උසස් පෙළ විෂය නිර්දේශය  සිසුන්ට අනාගත වෛද්‍ය අධ්‍යාපනයට අවශ්‍ය විෂය  කරුණු, අදහස් සහ න්‍යායන්  රාශියක් සිසුන්ට ලබා දෙයි.

අභිප්‍රේරණය හා පෞරුෂය- උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබා ගැනීමට ඉහළ  කැපවීම, පෞරුෂත්වය හා ආකල්ප, අවශ්‍ය අතර ඒවා වෛද්‍ය විදුහලේ අධ්‍යාපනය සඳහාද ඉතා වැදගත්ය.

තේරීම් පරීක්ෂණයක  වලංගුබාවය එහි පුරෝකථනාත්මක අගය මගින් මනිනු ලබයි.

සම්මුඛ පරීක්ෂණ, කුසලතා පරීක්ෂණය සහ නිර්දේශ ලිපි වැනි ක්‍රමවලට  සාපේක්ෂව වෛද්‍ය විද්‍යාලය තුල සිසුන්ගේ ක්‍රියාකරිත්වයේ  හොඳම පුරෝකථකයා ලෙස තේරීම්  විභාග වලදී  ලබා ගත්  ශාස්ත්‍රීය  කුසලතා පෙන්නුම් කරන බව ලොව පුරා සාක්ෂි පෙන්නුම් කරයි

 එක්සත් රාජධානිය තුළ සිදුකරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ උසස් පෙළ ජීව විද්‍යා විභාගයේ ප්‍රතිඵල සමග වෛද්‍ය පීඨයකදී සිසුවෙකු දක්වන කුසලතාවය සමානුපාතික වන බවයි. එනම්, ඉහළ කුසලතා ඇති ගුණාත්මක වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා තෝරාගත යුත්තේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ඇති සිසුන් බවයි.

 විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා වූ සාධාරණ තේරීම් ක්‍රමයක් අපට තිබේද?

 උසස් අධ්‍යාපන සඳහා වන ප්‍රවේශ ක්‍රම  පදනම් විය යුත්තේ කුසලතාව හා සාධාරණත්වය මතයි "
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 26.1 වගන්තිය ~

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය එවන් සාධාරණ ප්‍රවේශක්‍රමයක් සඳහා වූ අනගි උත්සාහයකි.බොහෝ බරපතළ සීමාවන් තිබියදීත්, දිස්ත්‍රික් කෝටා ක්‍රමය සරසවි ප්‍රවේශය සඳහා වන සෑහෙන තරම් සාධාරණ ක්‍රමයක් බව පෙනේ.



මන්නාරම, මුලතිව් සහ මොණරාගල වැනි අධ්‍යාපනික සම්පත් හීන ප්දිස්ත්‍රික්කවලිනුත් කුසලතා මට්ටම පමණක් සලකා සරසවි ප්‍රවේශය සිදු කළහොත් වෛද්‍ය අධ්‍යාපන සඳහා එක සිසුවෙකුවත් නොතේරෙණු ඇති අතර එය  එම ප්‍රදේශවල අඩු සම්පත් හා පහසුකම් යටතේ ඉගෙන ගන්නා සිසුන්ට කරනු ලබන අසාධාරණයකි.
තවද, දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ඇතුළු වන වෛද්‍ය සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වුවද, වෛද්‍ය විද්‍යාලයේදී සමාන පහසුකම් ඇතිව ඉගෙනගන්නා විට ඔවුන්ගේ කුසලතාවයන් බොහෝදුරට සමාන බව ද පෙනී යන කාරණයකි.

 පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ශ්‍රී ලංකාවට නුසුදුසු වන්නේ ඇයි?

  ශ්‍රී ලංකාව ලෝකයේ පවතින වෙනත් රටවල් අතරින් සුවිශේෂී තැනක් අයත්කර ගැනීමට හේතුවී ඇත්තේ, රටට මහඟු දායාදයන් දෙකක් වූ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයයි.
 ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශක අනුව දකුණු ආසියාවේ පළමු ස්ථානය සහ ලෝකයේම රටවල් 190 ක් අතරින් 76 වන ස්ථානය අයත්කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
 නමුත්, ශ්‍රී ලංකාවේ ඇත්තේ  රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 8 ක් මගින් පමණි.
 ඉන්දියාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 217 ක් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 249 ක් පවතී. නමුත්, සෞඛ්‍ය  දර්ශක වලට අනුව ඉන්දියාවට අයත්ව ඇත්තේ දකුණු ආසියාවේ තුන්වන ස්ථානය සහ ලෝකයෙන් 112 වන ස්ථානයයි.
එසේ නම්, අප කලයුත්තේ පෞද්ගලික අධ්‍යාපනය වැලඳ ගැනීමද, අප සතු ගුණාත්මක නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමද?
තීරණය ඔබ සතුය.
 
ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවාද?

දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන් 25,600 ක් පමණ
එයින් 70% ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරයි.
එමනිසා, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් පුද්ගලයන් 1000 කට එක් වෛද්‍යවරයෙක් බැගින් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද රටක පැවතිය යුතු වෛද්‍ය-ජනගහණ අනුපාතයක් පිළිබඳව ප්‍රකාශයට පත්කර නැත. නමුත්, යම් රටක පැවතිය යුතු සහ පවතින වෛද්‍ය-ජනගහණ අනුපාතය සාධක කිහිපයක් මත රඳා පවතී. ඒවා නම්:

  • රටේ පවතින සෞඛ්‍ය සේවා පද්ධතියේ ස්වභාවය සහ එහි කාර්‍ය මණ්ඩලය වැඩිකිරීමට ඇති හැකියාව
  • රටේ පවතින ආර්ථිකය සහ ආර්ථික වර්ධන වේගය
  • රටේ පවතින රෝග වල ස්වභාවය
කෙසේ නමුත්, ලෝකයේ අනෙක් රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව, වෛද්‍යවරු හිඟයක් පවතින රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර නැත.


වෛද්‍යවරුන් වැඩිපුර සිටීමෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිවෙනවාද?
  වෛද්‍යවරුන්, හෙදියන්, භෞත චිකිත්සකයන් වැනි සේවා ගණ අතර අනුපාතය නිසි ප්‍රමාණයට වඩා වෙනස් ව පවතී. දැනටත් එක් වෛද්‍යවරයෙකුට සිටින්නේ හෙදියන් දෙදෙනෙකු බැගින්ය. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත අගයට වඩා බෙහෙවින් අඩු අගයකි.

 වෛද්‍යවරුන්ට සාපේක්ෂව හෙද  සහ අනෙකුත් සම සෞඛ්‍ය සේවා ගණ වල විශාල හිඟයක් පවතී. එමනිසා, දැනට සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාවට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය වැඩිකර ගතයුතු ය. සෞඛ්‍ය සේවය වැඩිදියුණු කලයුත්තේ සමස්ථයක් වශයෙන් ගෙන මිස, වෛද්‍යවරුන් සංඛ්‍යාව පමණක් ඉහළ දැමීමෙන් නොවේ.


අනෙකුත් ක්ෂේත්‍ර පෞද්ගලිකකරණයට ලක්වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය විය යුතුද?

  අධ්‍යාපනය පෞද්ගලිකකරණය වීමේදී ඇතිවන තරඟකාරීත්වයත් සමග එහි ගුණාත්මකභාවය රඳවාගැනීම සිදු නොවන අතර, ඉන්දියාව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම නිසා සිදුකරගෙන ඇති අනර්ථය එයට හොඳම නිදසුනකි.
සැබැවින්ම, වෛද්‍ය අධ්‍යාපනය යන්න අනෙක් පාඨමාළා වලින් හාත්පසින්ම වෙනස් දෙයකි. එය ගණුදෙනු කරන්නේ මිනිස් ජීවිත  සමගය.  එමනිසා, එහි ගුණාත්මකභාවය රඳාපැවතීම සඳහා උසස් සායනික පුහුණුවක්, න්‍යාය දැනුමක්, සහ ඉහළ කුසලතාවයක් අවශ්‍ය වේ.

එබැවින්, වෛද්‍ය අධ්‍යාපනය යනු සංකීර්ණ ක්‍රියාදාමයක් වන අතර, එහි සායනික පුහුණුවෙන් 95% ක් පමණ සිදුවන්නේ රජයේ රෝහල් වල වාට්ටු තුළදීය. එමෙන්ම, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන රෝග වැළැක්වීමේ සත්කාර (Preventive healthcare) මුළුමනින්ම පාහේ සිදුවන්නේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන හරහා පමණි.
පෞද්ගලික ව්‍යාපාරයකට, පුද්ගලයෙකුට, හෝ පෞද්ගලික ආයතනයකට එසේ ඉහළ මට්ටමක ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම ඉතාම අපහසුය.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැලකීමේදී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මකභාවය යන දෙකම එකවර පවත්වා ගත නොහැක. මක්නිසාද, ඉන් එකක තත්ත්වය ඉහළට යනවිට අනෙක පහත් තත්ත්වයකට ඇදවැටීම නිතැතින්ම සිදුවන දෙයකි.

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.



ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත.



සැබැවින්ම, ශ්‍රී ලංකාවේ පවතින පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ නිර්දේශිත අවම ගුණාංග පිළිබඳ විශ්වාසනීය තොරතුරු නොමැතිය. එමෙන්ම, පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සහ නිර්ණය කිරීම සඳහා සාර්ථක යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ නොමැතිය.
 ඇතැම් අය පවසන ආකාරයට, ලෝකයේ ඉහළ පෙලේ වෛද්‍ය විද්‍යාල වල ශාඛාවන් ශ්‍රී ලංකාවේ විවෘත කල පමණින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය දියුණු වේද? ඔවුන්ගේ මව් විශ්ව විද්‍යාලයේ පවතින ප්‍රමිතිය, එයට අනුබද්ධ මෙරට පවතින ශාඛාවේද එලෙසම පවතින බවට කිසිඳු සහතිකයක් කිසිවෙකුට දිය නොහැක.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ පරිපාලනමය පසුබිමේ පවතින දූෂණ, අතපෙවීම්, සහ බලපෑම් කිරීම් හමුවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක ප්‍රමිතියට සිදුවන බලපෑම කෙසේ වේදැයි ඔබට වැටහෙනු ඇත. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට අසල්වැසි ඉන්දියාව ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් එරටට අත්වී ඇති ඉරණම මදක් විමසා බැලීමෙන් එය මනාව වටහාගත හැක.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වේද?

ඇතැම් අය පවසන ආකාරයට, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් විය හැක.  සමහර දේශපාලකයන් සහ විද්වතුන්, වෛද්‍යවරුන් වැඩිපුර නිෂ්පාදනය කර පිටරට යැවීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයීමට හැකියාව ඇතැයි මතයක් ප්‍රචාරය කරමින් සිටියි.

සැබැවින්ම, ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිකිරීම යනු විශාල පිරිවැයක් දැරීමට සිදුවන ක්‍රියාවලියකි. එමනිසා, වෛද්‍යවරුන් හුදෙක් පිටරට යැවීමෙන් පමණක් විදේශ විනිමය ඉපැයීමට බලාපොරොත්තු වීම සාර්ථක  ක්‍රියාවලියක් නොවේ.

එවැනි ක්‍රියාවලියකින් සිදුවිය හැකි තවත් අනර්ථයක් වන්නේ බුද්ධි ගලනය (Brain drain) හෙවත්, රටේ බුද්ධිමතුන් විදේශයන්ට ඇදීයාම බැවින්, වෛද්‍යවරුන් පිටරට යැවීම ආර්ථික වශයෙන් ලාභදායී ක්‍රමවේදයක් ලෙස සැලකිය නොහැක.

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම, රටේ මුදල් විදේශයන්ට ඇදීයාම වැළැක්වීමට හොඳ පිළියමක් බව  ඇතැම් දේශපාලකයන්ගේ මතයයි.

රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීම අඩුකරගත හැකිබවට උපකල්පනය කිරීම නිවැරදි නොවන බවට හොඳම උදාහරණය ඉන්දියාවයි. ඉන්දියාව යනු ලෝකයේ වැඩිම පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි. එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය සලකා බැලීමෙන් වටහාගත හැක.



පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමෙන් විදේශ සිසුන් ආකර්ශණය කරගෙන විදේශ විනිමය ඉපැයීමට හැකි බව තවත් මතයකි. විදෙස් සිසුන් යම් රටකට ආකර්ශණය වීම සඳහා සාධක ගණනාවක් බලපාන බව පෙනේ. එනම්:
  • රටක පවතින තත්ත්වය සහ පහසුකම්
  • අදාළ උපාධියට ලෝකයේ පවතින පිළිගැනීම
  • වෛද්‍ය විද්‍යාලයේ ස්ථාවරත්වය
  • උපාධිය ලබාගැනීමට අවශ්‍ය පිරිවැය
ඉහත කරුණු සලකා බැලීමේදී, දේශීය ආයෝජකයන්ට ඉහත සාධක ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට නොහැකි බව පෙනේ.

විදේශීය ආයෝජකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාල වලට දේශීය සිසුන් ආකර්ශණය කරගැනීමය. මක්නිසාද, ඔවුන්ට අවශ්‍ය වන්නේ විදෙස් සිසුන් ආකර්ශණය කරගැනීමට නම්, ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඔවුන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇති නොවේ. මක්නිසාද, ඔවුන්ගේ පවතින වෛද්‍ය විද්‍යාල වලට දැනටමත් ඒ හැකියාව පවතී.

සැබැවින්ම, ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද? බුද්ධිමත්ව මදක් සිතන්න.