Thursday, January 1, 2015

වීරවංශ ; වීරයාගේ සිට ද්‍රෝහියා දක්වා සිතියම සැකෙවින් !



රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින මුර බල්ලා බවට පත්වෙමින් - රාජපක්ෂ විරෝධී කඳවුර වෙත විවිධාකාරයෙන් බුරා පනින විමල් වීරවංශ පිළිබඳව බොහෝ සටහන් තැබෙන අතරවාරයේ මෙබන්දක් ලිවීම අවශ්‍යයැයි හැඟී ගියේය. සැබවින්ම විමල් වීරවංශ යනු කවුද ? ඔහුගේ දේශපාලන ගමන අපට `උගන්වන` යමක් ඇත්ද? ඒ කුමක්ද? පක්ෂයේ සිටි අති දක්ෂම ප්‍රචාරක ලේකම්වරයා, ඉතිහාසයේ නින්දිතම තුච්ජම්තම ද්‍රෝහියා තෙක් පැමිණීමේ දේශපාලන සිතියම කෙබඳුද? වීරයා සහ ද්‍රෝහියා අතර වෙනස නිකම්ම නිකම් සාහිත්‍යමය `කෙස් ගසක්` පමණක්ද? එහෙමත් නැත්නම්, අප නොදකින හෝ දකින්නට අකමැති වෙනත් කලාපයක පවතින සහමුළින්ම දේශපාලනික හේතුවක්ද?

විමල් වීරවංශගේ විවේචකයන් බහුතරයක් ඔහුගේ `පෙළපත්නාමය` ප්‍රශ්න කරයි. සත්‍ය වශයෙන්ම `වීරසංගිලි පනික්කියලාගේ` යනුවෙන් වාසගමක් ඔහුට ඇත්දැයි මම නොදනිමි. එය එසේ වුවත් එහි ඇති ප්‍රශ්නයක් නැත. (අනෙක් අතට - වීරවංශගේ සත්‍ය පෙළපත්නාමය වීරවංශ ම යැයි සිතමු. එසේ හෙයින් ඔහුගේ දේශපාලන වියරුව `හොඳ` වෙනවාද?) එවැන්නක් මතු කිරීමේ `අරමුණ`, වීරවංශ `අඩු කුලේ` අයකු බව ඒත්තු ගැන්වීම නම්, එය බල්ලාගේ අසූචි වලින් ඌටම ගැසීමක් වැනිය. එකක්, වීරවංශ නඩත්තු කිරීමට ආශා කරන පසුගාමීත්වයේම පදාසයක් වන `කුල කතාන්දරය` නැවත සමාජගත කිරීම එයින් සිදුවෙයි. අනෙක, ඒ වීරවංශගේම භාෂාවයි. ඔහු කී දෙනෙකුගේ ජාතිය - වර්ගය පිරිහෙළමින් කතාකරනවාද?

රවී කරුණානායකට ඔහු කියන්නේ රවින්ද්‍ර සන්ද්‍රේෂ් කියාය. ප්‍රභාකරන්ට ඔහු කියන්නේ පිරබාහරන්ය. දෙමල නම සිංහලට වර නගා එසේ කීමෙන් ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිකවාදී ආස්ථානය සිංහල භාෂා අවියෙන් දෙපළු වන්නේ යැයි ගුණදාස අමරසේකර කීවා විය හැකිය. කෙනෙකුගේ සිංහල නොවන බව - බෞද්ධ නොවන බව හුවා දැක්වීමට වීරවංශ ඉතා කැමැතිය. ඇතැම්විට ඒ, මහා දේශපාලනයේ ජාතිවාදී බලපෑමට අමතරව, ඔහු මුහුණ දුන් කිසියම් ක්ෂුද්‍ර සමාජ පීඩනයක ප්‍රති පීඩනය විය හැකි මුත් අප ඔහුට එරෙහිව පසුගාමී අවි නොඑසවිය යුතුය. මන්ද යත්, එයින් ඇතැම්විට `වීරවංශ` නමැති දේශපාලනඥයා වැට්ටවිය හැකි මුත් `වීරවංශ` නමැති පසුගාමී වර්ගවාදී සංකේතය යළි යළිත් ස්ථාපිත වෙයි.

ඊළඟට, වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කෙරෙනු දැක්ක හැකිය. එයද අනවශ්‍ය අල්ලා ගැනීමකැයි සිතමි. ධනේශ්වර අධ්‍යාපන මට්ටමේ සීමාව තීරණය කෙරෙන්නේ ඒ ඒ පවුල්වල - ඒවායේ පසුබිමේ ඇති - ආර්ථික මට්ටම අනුව මිස වෙන යමක් අනුව නොවේ. ඔහු පක්ෂයට සම්බන්ධව සිටි කාලයේ අධ්‍යාපන කටයුතු අඩාල වීම තේරුම්ගත හැකි තර්කයකි. සමාජ ප්‍රශ්නවල සමාජ මූලයන් දකින්නකුට `අට පාස්` වැනි සාධක ගෙනහැර දැක්විය නොහැකිය. මා දන්නා තරමට මාටින් වික්‍රමසිංහද පාසලේ ඉහළට උගෙන නැත. එහෙත් ඔහු, පාලකයන්ගේ දෙපා ලොවන්නෙක් වූයේද නැත. එවැන්නෝ තව බොහෝ වෙති. වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කිරීම, පාසල් අධ්‍යාපනයේ වරම් අහිමි වූවනට කෙරෙන අපහාසයකි. පාසල් නොගියේම මුත් හෘදය සාක්ෂිය අහිමි කර නොගත් මිනිස්සු බොහෝ වෙති.

වීරවංශ බිහිවීමට හේතු විමසන ලද ඇතැම් සංවාදයන්හිදී `පක්ෂයේ මානව සම්පත් හිඟය නිසා සාපේක්ෂ හැකියාවන් පෙන් වූ වීරවංශ වැන්නන් ඉහලට ආ බව` නිතර කියැවෙයි. එය අසත්‍යයක්ම නොවන මුත් සම්පූර්ණ සත්‍යයද නොවේ. පක්ෂය අනුදත් දේශපාලන මතවාදයන් සමග හොඳින්ම පෑහුනු - ඒ මතවාද විසින් තෝරන ලද ක්‍රියාමාර්ග සමග මැනවින් බද්ධ වූ පුද්ගලයා වීරවංශය. පක්ෂයේ මතය ජාතිවාදයේ පිළිකන්නට යනවිට හොඳටම බිරුවේ වීරවංශ නිසා ඔහු `වීරයා` විය. ගුණදාස අමරසේකරලා - ඇල්ලේ ගුණවංශලා සමග යෙදුනු දේශපාලන සංසර්ගයේදී ඔහු දක්ෂතම රමණයේ යෙදෙන්නා විය. මේ ලියුම්කරුද ඒ රමණය දෙස බලා ආස්වාදය කළ අතීතයකට හිමිකම් කියයි.

පක්ෂයට (රූපිකව හෝ) විජේවීර වැනි නායකයකු (බහුජන දේශපාලනය [?] සඳහා) ඕනෑ විය. හිරු පුවත්පතේ සිටි විමලසිරි ගම්ලත් සහෝදරයා විමල් වීරවංශ බවට රූපාන්තරණය විය. (විජේ`වීර` - `වීර`වංශ! ) අදටත් ඔහුට ඇතැම් පැරැණි සාමාජිකයෙක් කියන්නේ `ගම්ලත්` කියාය. එහෙත් එකල පක්ෂය, ඉතාම දැනුවත්ව `වීරවංශ` යන නම භාවිතා කරන්නැයි පක්ෂ කමිටුවලදී අවධාරණය කරනු ලැබීය. මේ ලියුම්කරු ඊට සක්ෂිකරුවෙකි. එදා අඩුම තරමේ එවැනි `විශේෂ වේශ නිරූපනයකට ලක් නොකර` ඔහු දේශපාලනික නායකයකු කරන්නට පක්ෂය කටයුතු කළා නම් ඉතිහාසය වෙනස්වන්නටත් ඉඩ තිබිණි. එහෙත්, එන්නත ශරීරගත වූයේ එලෙසිනි.

අනෙක් අතට. පක්ෂයට `විජේවීර` වැනි කථිකයකු ඕනෑ විය. වීරවංශ ඒ නාඩිය අල්ලාගත්තේය. විජේවීරගේ කතා ශෛලිය මුල් කාලයේ අමු අමුවේ කොපි කර, පස්සේ කාලයක එයින් තමන්ගේම ශෛලියක් හදාගත්තේ, අතුල මුලින් රූකාන්තගේ සින්දු කියා පසුව තම ශෛලියකට මාරු වූ පරිද්දෙනි. පක්ෂය ඉවසා සිටියේය. පන්තියට මතය ගෙනයන්නට `කටක්` උවමනා නිසා ඉවසා සිටියේය. ඒ කතාවලට සාමාජික අත්පොළසන් නාදය එන්න එන්නට වැඩිවනවිටත් පක්ෂය ඉවසා සිටියේය. ``සහෝදරත්වය නොවැ`` කියමින් ඉවසා සිටියේය. ඒ කතාවලට ටිකෙන් ටික - බිඳෙන් බිඳ ජාතිවාදය, සංස්කෘතික පසුගාමීත්වය, ග්‍රාම්‍යත්වය මුහු වන විට කිසිවකුටත් එය හැඟුණේ - දැනුණේ නැත. අපි සියල්ලෝම ඒ කතා ශෛලියට වශී වී සිටියෙමු. අපි සියල්ලෝම ඉවසුවෙමු. එන්නත් වූ රසායනයන් රහසේ ඔඩු දුවමින් තිබෙන්නට ඇති.

වරක් හෙන්රි පේද්‍රිස් පිටියේ පැවැති රැළියකදී, ඔහු චන්ද්‍රිකාගේ පුත්‍රයා මංගල සමරවීරගේ ලිංගිකත්වයටද, චන්ද්‍රිකාගේ දියණිය සනත් ගුණතිලකගේ ලිංගිකත්වයටද ඈඳමින් කතාවක් කළේය. ``දැන් චන්ද්‍රිකා නෝනා හැම එකටම ජේවීපී එක වගකිව යුතුයි කියනව. හත්වලාමේ, හෙට අනිද්දට ඔය අරලියගහ මන්දිරේ දිහාවේ කරක් ගහනකොට සනත් ගොයියා අතින් යසෝදරාට මොනව හරි වුණොත් - මංගල උන්නැහෙ අතින් විමුක්තිට මොනව හරි වුණොත් ඒකටත් කියයි ජේවීපී එක වගකියන්න ඕන කියල`` යනුවෙන් අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා හඬනගා කියද්දී අපි හූ කියමින් ඔල්වරසන් දුන්නෙමු. අප හූ කියා ගතයුතුව තිබුණේ අපටම - අපේම අදහස් වලට - අපේම පසුගාමීත්වයන්වලට වුවත් - අපේම නොදියුණු දෘෂ්ටීන්වලටවුවත් අපි චන්ද්‍රිකාට සනත්ට මංගලට හූ කීවෙමු.

වීරවංශ ගරිල්ලා ඇඳුමේ කොල පාටට තොප්පියක් දමන්නට පටන් ගත්තේය. එකල ජනප්‍රිය වූ `ටයිටැනික් කොල්ලාගේ කට් එක`ට කොණ්ඩය කපා සිටි ඔහු `හරියට නිකං චේ වගේ` විය. දෙපැත්තට පහළට වැටෙන ඒ කොණ්ඩයට අර තොප්පිය දැමූ විට `ටොප්`ය. සාමාජිකයෝ ඔහුට අපමණ ආදරය කරන්නට පටන්ගත්හ. ජීවමාන `චේ` පක්ෂයේ සිටියා බඳු විය. ඔය `තොප්පිය` ගැන `ලස්සන` අතුරු කතාවක් ලියුම්කරු සතුව ඇත. එය මෙතැනට අදාළ හෙයින් සටහන් කරමි. වර්ෂය 1998 හෝ 1999 විය යුතුය. පක්ෂය මැයි රැලියට සූදානම් වෙයි. කොළඹින් පිට එක්තරා දිස්ත්‍රික් කමිටුවක් කැඳවෙයි. 94 ආගමනයෙන් පසු ඒ වනවිට පවත්වා ඇත්තේ මැයි රැළි කිහිපයකි. ඒවායේ තිබූ `අඩුපාඩු` හදාගෙන `මැයි දිනයට` සූදානම් වීම සඳහා `උපදෙස්` ලැබිණි. පෙළපාලියට විවිධ වර්ගයේ - විවිධ වර්ණයේ `තොප්පි` නොපැළඳ පක්ෂයෙන් සපයන `රතු තොප්පි` පමණක් පළඳින ලෙස `උපදෙස්` ලැබිණි.

අපි මැයි රැලියට ගියෙමු. සියල්ලෝම රතු තොප්පියෙන් සැරසී සිටියහ. එහෙත් අපේ `වීරයා` ගේ හිසේ තිබුණේ අර `කොල පාට` තොප්පියයි. එය පැළඳු කළ ඔහු ඉතාම කඩවසම්ය. අපිළිවෙල කොණ්ඩයත් එහෙ මෙහෙ දුවන විචක්ෂණ දෑසත් හිමි - ඩබල් පොකට් ෂර්ට් එකත් ඊටම ගැලපෙන කළු කලිසමත් හැඳි තරුණ නායකයා අප මෝහනය කළේය. ඔහු එස් ද එස් ජයසිංහ පිටිය පුරා ඇවිදිමින් මෙගෆෝනයකින් අදාළ උපදෙස් දෙමින් සිටියේය. එහෙත් එවකට ඇට්ටර නවක සාමාජිකයකු වූ ( නමුත් පසුව හොඳින් `සංවිධානගත` වූ) ගැටවරයකුගේ හිතට `කොස්සක්` ආවේය. ``අපිට රතු තොප්පි දාන්න කියල ඇයි ගම්ලත් සහෝදරයා වෙන විදිහක එකක් දැම්මේ. ඔක්කොම පක්ෂෙනම් එක විදිහක් තියෙන්න එපායැ`` යනුවෙන් ඔහුගේ සිතට නැගුණු ප්‍රශ්නය, එයින් පසුදිනෙක `මූලස්ථානයෙන් ආ සහෝදරයකුගෙන්` ඇසුවේය. (එදා `මූලස්ථානයෙන් ආ සහෝදරයා` පසු කලෙක `ඛණ්ඩනයෙන්` පසු `ඊළඟ පක්ෂයේ` නායකයකු වීම හරිම ඉරණම්සහගතය.) ඔහු දුන් පිළිතුර වූයේ, ``එය විදේශගත සහෝදරයකුගෙන් ලැබුණු ත්‍යාගයකි. එය පළඳින ලද්දේ පක්ෂය දැනුවත්වය`` යන්නය. ගැටවර සාමාජිකයා නිහඬ විය.

මේ කාරණාව `තොප්පියකට` ලඝු කරගත යුතු නැත. වමේ පක්ෂ නායකයකු සමානයන් අතර ප්‍රමුඛයකු වියයුතු මිස අසමානයන් අතර විශේෂිතයකු නොවිය යුතුය. එහෙත් වීරවංශට එන්නත් වූයේ එය නොව ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදේශපාලනයයි. ඒ අදේශපාලන එන්නත තුළ තිබූ පසුගාමී රසායනයන්, සන්ධාන දේශපාලනයත් සමග - ධනේශ්වර නායකයන්ගේ ඇසුරත් සමග - ධනේශ්වර ජාතිකවාදී `බුද්ධිමතුන්ගේ` ඇසුරත් සමග - රජගෙවල්වල පස් පෑගීමත් සමග - විශාල මන්දිරවල ටයිල් මත ඇවිද යාමත් සමග සක්‍රීය වන්නට පටන්ගත්තේය. සෑම අනිවාර්යක්ම අහම්බයක් නොවන මුත් සෑම අහම්බයක්ම අනිවාර්යක් වන බව `දර්ශනය` උගන්වද්දී පක්ෂය අපට කියා දුන්නේය. පොල් ගෙඩියක් ළමයකුගේ ඔළුවට වැටීම අහම්බයක් වුවත්, පොල් ගස පිහිටා ඇති ස්ථානය, ළමයා එතැනින්ම ගමන් කිරීම, ඔහු ගමන් කළ වේගය, පොල් ගෙඩිය පතිත වීමේ වේගය යන කරුණු වල තර්කානුකූල අනිවාර්යය පොල්ගෙඩිය ඔළුවට වැටීම බව නිදසුනකින් කියාදෙනු ලැබීය.

ඒ නිදසුන `වීරවංශ නමැති ළමයා`ටද අදාළය. ළමයාගේ දක්ෂකම්වලට වශී වූ ගෙදර ඇත්තන් අහක බලාගෙන සිටිද්දී ඇරියස් ගොඩක් සමග සිටි ළමයා අපයෝජනයට ලක් වූයේය. අද විමල් වීරවංශ යනු බොහෝවිට ඔහුටමත් පිළිකුල දනවන දේශපාලන ක්ෂුද්‍ර ප්‍රාණියෙකි. ඔහු වැනි ග්‍රාම්‍ය කථිකයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි සෝබනකාරයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි තොප්පි වීරයකු පක්ෂ දෙකේම නැත. එහෙත් විමල් වීරවංශලා කොහෙන් හෝ මතුවිය හැකිය. එය වළක්වාලන්නටනම් අර `අදේශපාලන එන්නත` භාවිතාවෙන් ඉවත්කළ යුතුය. එය නායකයන්ට විතරක් කළ හැක්කක් නොවේ. සමස්ත සාමාජිකයත්වයම අවදියෙන් සිට කළ යුතුය. `බහුජන දේශපාලනය` තුළටත් වඩා පරෙස්සම් විය යුත්තේ `අභ්‍යන්තර සංවිධාන` දේශපාලනය තුළදීය. තවමත් ඇතැමුන් `මතවාදීමය වශයෙන් වැරදි තොප්පි` අභිමානයෙන් පැළඳ ඇත. ඒවා නොඉවසා අභ්‍යන්තර වශයෙන් සටන් වැදීම විප්ලවවාදී නොවන්නේද?

-කුමාර වීරසිංහ-
උපුටා ගත්තේ ෆේස් බුකියෙනි

9 comments:

  1. අර සී නිවුස් කියන දහ ජරාව බැලුවම හිතාගත්තැකි පුතයගෙ තරම. මාතානං සින්ඩියෙනුත් ගලවලා වීසිකරලා.

    ReplyDelete
  2. අමාවක මචං............

    සුභ නව වසරක් වේවා...........

    ReplyDelete
  3. Ewagema,weerawansa kadawatha kuliyata hitapu ge Asadarana widiyata(Nithiyata hari wenna puluwana)Aithi kara gaddeeth,Pakshayema sahodarayekuge Ambuwa siya Ambuwa kara gathdeeth(ohu Pakshayata peminili krana ladi)PAKSHAYA Nihadawa siyalla Anumtha kala.

    ReplyDelete
  4. වීරවංශ යනු සමාජ අවශ්‍යතාවයකි.වීරවංශ තුලින් මතුවුනේ ප්‍රභූ පැළන්තියට එරෙහි සමාජ විරෝධයයි.එය දේශපාලනික නොව සමාජයීය කරුනකි.වීරවංශ මතුනොව විජය ගාමිණීද නියෝජනය කළේ එවැන්නකි.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු ලක්ශ ඵකහමාරේ මාසික ලයිට්බිල් ඵන.......
      රු45000හේ කමිස අදින.......
      මරු ප්‍රභූ පෑලෑන්ති විරෝදියා !

      යකෝ මූ වගේ ප්‍රභූ පෑලෑන්තියට රෙදිට්න් නෑතුව කඩේ යන ඵකෙක් මෑතකාලේ හිටියද ?

      පර්සි රාජපස්ස වලවුවේ නො 1 මුර බල්ලා මූ

      Delete
  5. ....prabu pelenthiyata erehi samaja wirodayai..GAMINI?.

    ReplyDelete
  6. Godak aya weeerawansata wiruddawanne, ooo labagath dewalataya.

    ReplyDelete
  7. පැහැදිළි දක්ෂතාවය ගැන කිසිවක් සඳහන් කර නැති අතර හිතේ පවතින කුහක කම වමනය කිරීම ඔබේ සෞඛ්‍යට හේතුවේ.

    ReplyDelete
  8. mamatha 88-89 jvp ekata sambandawa siti kenek..mama wimalata paksha kenek nemey hebey lipiya thula wimalta erehiwa pehedili nyayatmak waradak penwanna liumkaruta beri wela ,getaluwa thama ada wana wita 88-90 kalye jvp hitiya thena saha wenas wemen pasu den inna then pilibada jvp ekata awabodayka thibenawada yannay.mokada janathawata saha ratata nam ada wan wita jvp eka gena hod sebe tharkika awabodayak thibenawa

    ReplyDelete