Showing posts with label අධිකරණය. Show all posts
Showing posts with label අධිකරණය. Show all posts

Friday, December 2, 2016

යහපාලනේ මාරද????



දේශපාලන විරුද්ධවාදින් මර්ධනය කිරීමේ යහපාලන ක්‍රමය යටතේ සිරගත කර සිටින පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ කුමාර් ගුණරත්නම් තම දඬුවම් කාලය ගෙවා, හෙට දින අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වෙනු ඇත..

බන්ධනාගාරයෙන් එලියට එන කුමාර්ගේ ඉරණම කුමක් වේදැයි මේ දක්වාම අවිනිශ්චිතව තිබුණද ඔහුට ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඊයේ සවස වාර්තාවිය.

එය එසේනම් දිගින් දිගටම නා ගත්  යහපාලන ආණ්ඩුව  කලකට පසුව ගත් හොඳ තීරණයකි.
දැන් යහපාලන වාදින්, ඔන්න ඕකයි යහපාලනේ වෙනස ,  කොහොමද වෙනස, කියමින් උදම් අනනු ඇත.

එහෙත් ආණ්ඩුවට එම තීරණය ගැනීමට සිදු වූයේ  කුමාර් ගුණරත්නම්ගේ පෙ.ස.පෙ  තවත් වාමාංශික හා නිදහස් මතධාරින් එක්ව දිගින් දිගටම කළ බලපෑම් නිසා මිස යහපාලනයේ හොඳකමක්  නිසා  නම් නොවේ,එසේම ජාත්‍යන්තරයෙන් ද සමහර විට ආණ්ඩුවට බලපෑමක් එන්නට ඇත.

ඒ නිසා යහපාලනය මාරයි කියමින් උදම් අනන්නට දෙයක්  කුමාර් සිද්ධියේ නැති බව යහපාලන අනුගාමිකයන්  හා අනිකුත් සියලු දෙනා මතකයේ තබා ගැනීම අනාගතයට වැඩ දායක වනු ඇත.

නිදහසේ සිටි මිනිසෙක් අල්ලා හිරගෙට දමා ඔහු නිදහස් වූ පසු  " ඔන්න අපි මිනිහා එලියට දැම්මා, ඒ විතරක් නෙවේ රටෙන් පන්නන්නේ ත් නෑ . . අපි හතුරන්ට වුණත් සමාව දෙනවා. ඒ නිසා අපි හරි හොඳයි" කීම විලි ලැජ්ජා නැති බංකොලොත් වැඩකි.

එසේම කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන " කුමාර් කෙනෙක් අඳුනන්නේවත් නැති" ජවිපෙ නායකයින්ට එල්ල වූ චෝදනා ගැනද ඔවුන් සෑහෙන පිළිතුරක් , පිලිගත හැකි මට්ටමේ පිළිතුරක් දෙනු ඇතැයි සිතිය නොහැක. සමහර විට මේ ගැන චතුර සේනාරත්න යමක් පවසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අවසන් වශයෙන් කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන රෝහිත භාෂණ අබේවර්ධන  JDS වෙබ් අඩවියේ තැබූ සටහනක් අමුණන්නේ එය අපේ පරම්පරාවේ කතාව නිසාය.

ප්‍රේම‍කුමාර් ගුණරත්නම් වනාහී කාමභෝගී චෞර මහල්ලන්ගේ දොළ පිණිස නීතිපොත් පෙරළා බලා පිටුවහල් කළ යුතු  'ඕස්ට්‍රේලියානුවෙක්ක්' නොවේ. ලෙයින් ලියැවුණු දකුණු ලංකාවේ දුක්බර ඉතිහාසයක මතක අග්නියෙන් කැළැල් වූ හදක් ඇති මගේ පරම්පරාවේ සහෝදරයෙකි. ඔහුගේ නිදහසට පිටුපෑම යුක්තිය අහිමි කළ මගේ පරපුරේ ලේ වැකි මතකයට පිටුපෑමකි.☐

Wednesday, January 13, 2016

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්


අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නම් එවැනි රටක නීතියෙන්,අධිකරණයෙන් හා විනිසුරන්ගෙන් පලක් නැතැයි කීවේ සුනිල් ආරියරත්න හා නන්දා මාලිනිය.

අලුත් ලොවක් තනන්නට යෑම නිසා පාලකයින්ගේ උදහසට ලක් වී දිවි ගලවා ගැනීම සඳහා උපන් රටින් පලා ගොස් සිට පැමිණ, නැවත තමන් ඉපදුන රටේම පුරවැසි භාවය ඉල්ලන කුමාර් ගුණරත්නම් මාස දෙකක් තිස්සේ සිර ගෙදරක සිටීම ගැන කිසිවෙකුත් ඉහත ආකාරයේ ප්‍රශ්න අසන්නේ නැත. මානව හිමිකම් සංවිධාන, දේශපාලන ‍රැඩිකල් වරුන්, සමාජ ක්‍රියාකාරින් , මාධ්‍ය කිසිවෙක්  ඒ ගැන කථා නොකරයි. ඒ ඔහුගේ දේශපාලනය  ඔවුන්ට දිරවන්නේ නැති නිසාද? 

පුද්ගලයෙකු පැහැරගෙන යාම ගැන චෝදනා ලබා සිටි හිරුණිකා විනාඩි විස්සකින් ඇප ලබා එලියට පැමිණියේ සෙනසුරාදා දිනකය.ඒ යහපාලනයේ හැටිය. පසුගිය රජයේ වංචා දූෂණ මැර ක්‍රියා සොයා වංචනිකයන්, දූෂිතයන් ,හොරුන් හා මැරයන් හිර ගෙදර යවන්නට බලයට පැමිණි යහපාලනයේ වැඩ එහෙමය.රාජ්‍ය දේපල හොරා කෑමේ චෝදනා ලැබූ වුන් සියලු දෙනාම එලියේය. කුමාර් ඇතුලේය.

කුමාර් ගුණරත්නම් පසුගිය දෙසැම්බර් අට දා කෑගලු උසාවියට ගෙනවිත් තවත් සති දෙකකින්  රිමාන්ඩ් භාරය දිගු කල අතර එදින ඔහුගේ උපන දිනයද විය. අද කැගලු උසාවිය තිබෙන තැන මීට වසර 50 කට පෙර තිබුනේ කෑගල්ල රෝහලයි. මේ සිදු වීමේ උත්ප්‍රාසය වනුයේ කුමාර් නීතී විරොධී ලෙස මෙරටේ සිටියා යැයි කියා 2015 දී සිරභාරයට ලක් කරන තැන ම පිහිටා  තිබූ රෝහලේදී ඔහු මීට වසර පනහකට පෙර ඉපදී තිබීමයි. ඔහු ඉපදුන රටේ පුරවැසි භාවය අහෝසි කර ,එය නැවත ඉල්ලන විට කුදලාගෙන ගොස් හිරේ දමයි.යහපාලනය යනු එයයි.

කුමාර් අත් අඩංගුවේ සිටින්නේ නීති විරෝධී ක්‍රියාවක් කල නිසා යැයි කියන අයට කීමට ඇත්තේ නොදන්නා මගුලක් කතා නොකර සිටින ලෙසය. එසේ නම් ඔහු අත් අඩංගුවටගැනීමට මෙතෙක් කල් බලා සිටියේ මන්ද? ඔහු සිටින තැන සොයා ගැනීමට නොහැකි වූ නිසා යැයි කියන්නේද? රටේ බුද්ධි අංශ එතරම් දුර්වලද? ඔහුව පාවාදුන්නවුන් ඔහු යන එන තැන් ගැන නොදැන සිටියේද? ඔහුට රට හැර යාමට සිදු වූයේත් කලක් ඔහු සමග එකට දේශපාලනය කලවුන් සමහරකුගේ පාවා දීම් නිසා බව අද රහසක් නොවේ. කුමාර් නිදහස් කරන ලෙස ඉල්ලා ගසා තිබූ  පෝස්ටර් පවා ඔහුගේ පරණ දේශපාලන සගයින් විසින් ඉරා දමා ඇතැයි කියවේ.

පැහැදිලි ලෙසම කුමාර් අත් අඩංගුවට පත් වෙන්නේ ඔහුගේ පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය කොටස් ගෙන ගිය උද්ඝෝෂණ නිසා රජය පත් වූ අපහසුතාවට පලි ගන්නටය. එසේම රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි කොටස් බිය ගන්වන්නටය. පසුගියදා බොරු චෝදනා නගමින් නීතිඥ නුවන් බෝපගේ අත් අඩංගුවට ගත්තේද එම අරමුණින්මය.

එසේම මරණ පරීක්ෂණයක් පවත්වන්නට පවා ප්‍රථම , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ද, පොලිසිය බාර ඇමති සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී ද ඇඹිලිපිටිය පොලිස් ප්‍රහාරය සුද්ද කරන්නට එන්නේ ද විරුද්ධ මතධාරින් බිය කරන්නටය. එසේම විරුද්ධ මතධාරින්  පැකිලීමකින් තොරව මර්ධනය කරන ලෙස පොලිසිය ඇතුලු මර්ධකයින්  ධෛර්යමත් කරන්නටත්ය.

කොටින්ම කිව්වොත් කුමාර්  ගුණරත්නම් අද හිරේ ඉන්නේ " අපි උඹේ දේශපාලනයට කැමති නැහැ, උඹ අපිට කරදරයක්, උඹ අපේ ආතල් කඩනවා, ඒ නිසා උඹ ඇතුලේ හිටපන්, උඹට විතරක් නොවේ අපි එක්ක හැප්පෙන ඕනැම කෙනෙකුට අපි කරන්නේ ඕකයි " කියා පෙන්වීමට රජයට ඕනෑ නිසාය.

Thursday, September 3, 2015

කිසිම ආකාරයක පරීක්ෂණයක් අවශ්‍ය නැතිද?

 
එක්සත්  ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය ලංකාවේ සිදු වූ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය යැයි කියනා කාලයේ විමල් වීරවංශ, ගුණදාස අමරසේකර ඇතුලු පිරිස් මර හඬ දුන්නේ  " ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, ලංකාවේ ස්වාධිපත්‍ය විනාශ කරන්න හදනවා , රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට බටහිර  කුමන්ත්‍රණ කාරයෝ ඇඟිලි ගහනවා, කොටි සංවිධානය පරදවලා ප්‍රභාකරන් මරපු එකේ වාඩුව ගන්න හදනවා, ලංකාවේ හමුදාවට දඬුවම් කරන්න හදනවා,මහින්දව විදුලි පු‍ටුවේ තියන්න උත්සහ කරනවා" ආදි    නොයෙක් ආඩපාලි  කියමිනි.


දැන් ලංකාවේ ඇති වූ අලුත් තත්වයත් සමග ලංකාවට ඇමෙරිකානු සහකාර ලේකම් වරියක  නිශා බිස්වාසි " අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැත, දේශීය පරීක්ෂණයක් පවත්වන්න" යි කියන  විටද ඉහත පිරිස් නැවත හඬ තලමින් , " මේක මර උගුලක්, බටහිර කුමන්ත්‍රණක්, අපි ඉවරයි, අපි නැ‍තෝ, අපිව කන්ට හදනවෝ " ආදි වශයෙන් කියමින් ඔව්හු නැවතත් හඬ තලමින් සිටිත්.

මෙයනම් පුදුම තත්වයකි. දේශීය පරීක්ෂණත්  විජාතික කුමන්ත්‍රණය. අන්තර්ජාතික පරීක්ෂණත් කුමන්ත්‍රණය. 

 දැන් මොවුන් කියන්නේ කුමක්ද?\

කිසිම ආකාරයක  පරීක්ෂණයක් අවශ්‍ය නැති බවද? 

සියළුම ආකාරයේ පරීක්ෂණවලට විරුද්ධ වන්නේ සඟවා ගැනීමට යමක් තිබෙන නිසාද?

කරුණු එසේ නම් ඒ " යමක්" මොනවද?

පරීක්ෂණයක් අවශ්‍යම වන්නේ ඒ " යමක්"  නිසා නොවේද?

Monday, December 8, 2014

යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.


වත්මන් දේශපාලනය හා සමාජය පිළිබඳව විමල් වීරවංශ ඇමතිතුමාගෙන් ඇසු ප්‍රශ්න කීපයකට  ලැබුනු පිළිතුරු පහත දැක්වේ. 

ප්‍රශ්නය : හැම තැනම කුඩු,මත්ද්‍රව්‍ය? 
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා....

ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල  අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය:මැතිවරණ නීති උල්ලංඝණය කරනවා ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: රටේ යහ පාලනය, ආර්ථිකයසම්පූර්ණයෙන්ම බිඳ වැටිලා? 
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත...
අන්න.... ජාත්‍යන්තර කුමණ්ත්‍රණ ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... යුද  අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

(උපුටාගැනීම මුණු පොතෙනි)

Sunday, November 9, 2014

මහින්දට පුලුවන්



මහින්දට පුලුවන්ද බැරිද කියලා මේ දවස් වල මහා වාදයක් යනවා. ආණ්ඩුක්‍රම ඔස්තාර්ලා , නීති විශාරදලා දෙපැත්ත බෙදිලා ගජරාමෙට වාද කර ගන්නවා.  මේ වෙලාවේ නීතිය ගැන හසල බුද්ධියක් තියෙන , නීති ගරුක පුර වැසියෙක් වන මමත් කල්පනා කළා මේ ගැන මගේ අදහසත් කියන්න ඕනෑ කියලා.

ලංකාවේ විතරක් නොවේ , ඇමෙරිකාවේ ,ප්‍රංශයේ , නයිජීරියාවේ, වැනිසියුලාවේ , පකිස්තානයේ  , ඝානාවේ , තව මියන්මාරයේත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හොඳින් අධ්‍යනය කරපු මම බැහැපු තීරණය තමා මහින්දට පුලුවන් කියන එක. සරත් එන් සිල්වලා , අනුර කුමාරලා මොනවා කිව්වත් ඒක තමා ඇත්ත. පවතින යථාර්ථය සහ උන්ඩුක පුච්ඡය.

බොරුනම් බලන්න ලබන දහ වෙනිදා අපේ ශ්‍රේෂ්ඨාධිකරණයත් මම කියන දේම කියන්නේ නැත්ද කියලා. එතුමලා මටත් වඩා සූක්ෂමව ඔය නීති තර්ක , අර අන්ධ කන්‍යාවිගේ අතේ තියෙන කඩුවෙන් පොතු ගහලා , ‍රැහැලා, පෙති කපලා , ඒ ගෑණු ළමිස්සිගේ අතේ තියෙන තරාදියටම දාලා කිරලා මැනලා කියන්නෙත් මම කිව්ව ටිකම තමා. මෙන්න කැට.  

Wednesday, March 6, 2013

නීතිය හා අධිකරණය



(ඉස්සුවේ බූන්දියෙන්-http://boondionline.blogspot.com/2013/03/blog-post.html )