Showing posts with label ආර්ථිකය. Show all posts
Showing posts with label ආර්ථිකය. Show all posts

Friday, February 26, 2016

පුත්‍ර භිල්ල ජාතකය

 
තවද යටගිය දවස ජම්බුද්වීප අසබඩ   රජපස පුරයේ මැද මූලනි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරමින් සිටිනා සඳ  හිටංපාල නම් වූ  ඇමත්තා තෙමේ රජ්ජුරුවන්ගේ සතුරන් හා රහස් කතා කොට උහු  පලවා හැර තෙමේම  රාජමස්තක වෙන්ට කුමන්ත්‍රණ කොටපියා සිටියහ.
 
බොහෝ කල් බලා සිටත් රජ විය නොහී ගත් රනිලයා නම් වූ හිටපු  මහමැතියා ද හිටංපාල ඇමත්තාට සහය දෙන්නේ මැදමූලනි බ්‍රහ්ම දත්ත පලවා හැර හිටංපාල  ඇමත්තා මහරජ්ජුරුවන් ලෙස අභිෂේක කොටපියා රනිලයා  තෙමේ නැවතත් මහ මැතිකමින් සැනහී සිටින්නාහු, සිතන්නේ ඉදින් මැදමූලනියා රටේ භාණ්ඩාගාරය සිස් කොට උගේ සුතනඹුවන්ගේ සුඛ විහරණයම හැදුවේය. රටවැස්සන් සාදුකින් අඬද්දී සුර සැප වින්දෝය.

ඉදින් මා ද හිටංපාල ඇමත්තාටද යටහත් වී ඉන්ට සිද්ධ වූ යේ , මීයක් කඩන්නේ අත ලෙව කන්ටදැයි සිතා භාණ්ඩාගාරය තුලට වැද එහි බිල් නම් වූ පත්‍රිකා  වර්ගයක් හැර සොරා ගන්ට අන් දෙයක් නොදු‍ටුවේ භාණ්ඩාගාර බිල්පත්‍රිකා රාශියක්ද ‍රැගෙන තම යහලු මිත්‍රාදින්ට බෙදා දුන්නේය  උනට දෙන්ට අන් දෙයක් නැත්තේ විස්සෝපව සිටින්නේ  මැදමූලනියා කිසිත් ඉතිරි නොකොටම සොරා කා ඇතැයි සිත සිතා ඉන්නේ මුහු කල දෑට කදිම පාඩමක් උගන්නාපිය මනායැයි සිතා විශ්වාසී  රාජපුරුෂයන් කැලක් බනවා  අද සිට තොප එප්සයිඩියෝ නම් වන්නාහ. තොපගේ කාරිය වනුයේ මැදමූලනයා හා උහුගේ සහචරයන් විසින් සොරා කෑ රාජසම්පත් සොය සොයා සොරුනට දණ්ඩණය දීම යැයි කියූහ.

 රාජපුරුෂයෝද සොරා කෑ ධනය සොයන මෙන් එකෙල මෙකෙල වෙමින් සිටිනු දැක මැදමූලනී දිරිමත්ව සිතන්නේ මා ද මාගේ පුතුන්ද සොරා කෑ ධනය මුන් ට සොයා ගත නොහැකිමය,  කුමට බිය වන්නටද සිතා  මහ හඬින් නාද කරන්නේ "එම්බ හිටංපාල  , එම්බා රනිල කොලුව හැකිනම් මා අල්ලා ගනුව , මා බිය නැත "යි ගුගුළේය. තවද මැදමූලනියා කියන්නේ " එම්බල දුෂ්ට කොලුවනි, තොප වෛරය මා හා සමග නම් මා සමග සටනට එනු, මගේ නෑ හිත මිත්‍රාදීන්ට හිරිහැර නොකරව , " යිද මරු විකලෙන් මෙන් දොඩන්නේය.

එකල්හි එපසයිඩියෝ ද සියල්ල පිරික්සා බලා මැදමූලනියාගේ කණි‍ටු පුත් යෝ නම් වූ  මානවකයා මහත් සේ  රන් කහවණු විශුද්ධ කර ඇතැයි කියා උහුව අල්ලා පිටිතල බැඳ පියා සිපිරිගෙට දක්කා ගෙන ගොස් සිර කර තබා සිටියෝය. යෝ නම් වූ මානවකයා තමන්ගේ  වෑපාර ආදිය කරන්ට කහවණු ලැබුනේ කෙසේදයි කියා ගත නොහැක්කේ එක එක පුරුෂයා තමන්ට ණය දුන් බව කියන්නේ , එපසයිඩියෝද ඒ පුරුෂයන් ගෙන්වා හගිස්සවන්නේ තමන් නම් යෝ මානවකයාට කහවණු නොදුන් බව ම කියා සිටින සඳ  යෝ මානවකයා සිරකුටියේම තපින්නට වන නියායකැයි සියල්ලෝ සිතන්නාහු.

එනුවර වසන එක් එක් පුරුෂයන් හා  ස්ත්‍රීන් රහසින් එක එකා හා කියන්නේ  " සිංහ නාද කල මැදමූලනියා කොහිබද, ඉදින් උහු පැමිණ මාගේ පුතනුවන්ට වෑපාර කරනුන් වස් කහවණු දුන්නේ මම්ම වේදැයි නොකියන්නේ මන්දැ, උහු එසේ නිර්භීතව එන්නේ නම් යෝ මානවකයා නිදහස් නොවන්නේ දැයි   තැන් තැන් වල කියන්නාහු, ඒ වදන් මැදමූලනියාගෙ කණටද වටෙන්නේ මහත් සේ විලි වැද කලු කබා නම් වූ වස්ත්‍රාභරණයෙන් සැරසී යහන් ගබඩාවේ සැඟව  තුන්මුල්ලේ විමලයා හෝ ගොම්මන්පිලයා හෝ පැමිණ යෝ මානවකයාට කහවණු දුන්නේ අප යැයි කිව්වොත් කදිම යැයි දහවල් සිහින දැක දැක බමන මතින් සිටින්නාහු  නින්දට වැටී මහත් වූ බයංකර සිහිනයක් දැක බිය වී දහඩියෙන් තෙමී නැගිට විලාප දුන්හ.

ඉදින් ඒ සිහිනයේ විස්තර කෙසේද යත් රාජත්වයද ධනයටද අස්වාමිකව තැවුලෙන් සිටින මැදමූලනියා තෙමේ තමාගේ අතිජාත මිත්‍රාය වන මකර රජුන් හමුවට යන්නේ පිලිසරණක් ඉල්ලා සිටින සඳ මකර රජු තෙමේ කියන්නේ "තාගෙන් මට කම් නැත මා දැන් හිටංපාල හා රනිලුන් සමග සන්ධාන ගතව සිටින්නමෝ වෙම්හ, තා යන අතක යවයි" කීහ.

උහු  ද සියොලඟ දදියෙන් තෙත්ව සිතන්නේ රජකම් කලත් කලකම් පල දීම නම් මකර රජුටත්  නවතනු නොහැකිය, මේ උගුලෙන් ගැලවෙන උපායක් නොසොයා ගත හොත් මා කම්මුතුය යැයි  සිත සිතා වලප්නෝය.

මැදමූලනියා මම නම් කිසිවෙකුට බිය නැතිම්හ යි ගෝරනාඩු කලද බියෙන් වෙලෙවි උහුගේ පුතෙකුන් බිල්ලට දී සිටින සැටි දූ‍ටු එනුවර වැස්සෝද  මූගේ කථාව දෝලාවෙන් ගමන පයින් යැයි අතීත උපමා කතාද මැදමුලනියා එප්සයිඩියට බිය නැතැයි කිව්වා වගේ ආදි වශයෙන් නව උපමාද ගොතා කිය කියා ප්‍රීතියෙන් පිනා යන්නේ, සියලු ප්‍රශ්න අමතකව නටමින් ගයමින් සිටින්නෝය.


Monday, August 26, 2013

කොල්ලෝ හා බල්ලෝ

වර්තමාන ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ හා කොල්ලන්ගේ තත්වය විදහා දක්වන පුවත් දෙකක් අද පල වී තිබිණ.

බල්ලෝ 


මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ජෝඩු අටක්  කරකාර  බැන්දවීමේ උත්සවයට අඩු ගණනේ මධ්‍යම පළාතේ පොලීසි වලින් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
තොරණ හා ආරක්කු ඉදි කැර තිබු අතර පොලිස් තූර්ය වාදක කණ්ඩායම ද කැඳවා තිබිණි.සුනඛ අභිජනන උත්සවය යනුවෙන් තොරණෙහි  ලියා තිබිණි.
නිල සුනඛ ජෝඩු විස්සක් තම නිලයේ  ඇඳුම ඇද හිස් වැසුම්  හා අව් කණ්නාඩි පැළැද මඟුලට ආහ.

ජෝඩු අටක් ලියාපදිංචි කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන්  අතර පේරාදෙණ්ය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු කිහිප දෙනෙක්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹන්වල මහතාද වුහ.
සාක්කිකරුවන් වශයෙන්  ඔවුන් බලා ගන්නා පොලිස්  සාමාජිකයෝ දෙදෙනා අත්සන් තැබුහ.
ගිවිස ගැනීමේ පොරොන්දුව කියවිම ද ඒ දෙදෙනා අතින්ම සිදු විය.


ඉන් කියැවුණේ අප දෙදෙනා බාරයේ සිටින මේ දෙදෙනාගෙන් හොද පැටියෙකු ලබා ගැනීමට වග බලා ගන්නා බවයි.
 මඟුල් සීණු  නොහැඩවුණු  සුනඛයෝ  පීඨීකා මත නන්වනු ලැබ සිටියහ
.මඟුල් සීනු හැඬවිදින් සිටි සුනඛයෝ  සුනඛයෝ පෝරු මස්තකාරුඪ කරනු ලැබුහ.
සුනඛ ජෝඩු පෝරුවෙන් බැස්සවු පසු සුනඛයෙකු විසින්ම පැදැවුණු ජිප් රියකින් අස්ගිරි  පිටිය කෙළවරට යාමේ අවස්ථාව ලැබිණි .ජෝඩු තුනක් නුවරඑළි මධුසමයට යන ජිප්රිය බැලුම් හා ක්‍රේප් පටි එල්ලා සරසා තිබිණි.මඟුල් ගෙදර ආ සියලු දෙනාට කිරිබත් ලුනු මිරිස්,සැන්විචස් හා කෙසෙල්ගෙඩි ආදීයෙන් සංග්‍රහ කෙරිණි.
 මඟුල් ගෙදර වැඩ කටයුතු පැය දෙකහමාරකින් පමණ අවසන් විය.  
(උපුටා ගැනීම ලංකාදීප)

 කොල්ලෝ 



වැලිකන්ද බෝඅත්ත අංක ඒ/8/1 නිවසේ පදිංචිව සිටින ආර්. එන්. සාලින්ද කුමාර නමැති තුන් හැවිරිදි දරුවා ඉපදී මාස දෙකක පමණ කාලයක සිට ඇතිවූ උදරාබාධයක්‌ නිසා පොළොන්නරුව හා නුවර රෝහල්වල ප්‍රතිකාර ලබා මේ වන විට ඔහුගේ එක්‌ වකුගඩුවක්‌ ඉවත් කර ඇත.

දැනට එක්‌ වකුගඩුවකින් ජීවත්වන සාලින්ද කුමාර දරුවාගේ කෑම බීම හා ක්‍රියාකාරකම්ද සීමාකර ඇත. ඔහුට පෝෂ්‍යදායි ආහාර ලබාදීමට හා මාස්‌පතා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් උපදෙස්‌ දී තිබේ. මේ හේතුවෙන් තමන්  මහත් අසීරුතා රැසකට පත්ව ඇතැයි මව වන ජී. චන්ද්‍රාවතී (24) මහත්මිය පවසයි. මේ හේතුවෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතුද සිදුකර ගැනීමට නොහැකිව ඉතා අසරණව හා ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින බව ඇය පැවසුවාය. මේ දරු පවුල කුඩා පැල්පතක වෙසෙති. මේ රෝගී දරුවාට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම හා පිරිසිදු ජලය ලබා ගැනීමට ජල ෆිල්ටරයක්‌ ද අවශ්‍යව තිබේ. දරුවාගේ ප්‍රතිකාර සඳහා හැකි අයුරින් උපකාර කරන්නැයි චන්ද්‍රාවතී මහත්මිය පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරති. ඔවුන්ගේ ලිපිනය ජී. චන්ද්‍රාවතී, අංක ඒ/8/1, බෝඅත්ත, පො/වැලිකන්දයි.
(උපුටා ගැනීම දිවයින)

මේ වාර්තා අනුව පෙනී යන්නේ ලංකාව වැනි රටක සුවපහසු ලෙස ජීවත් වීමට නම් බල්ලෙක් විය යුතු බවයි


Thursday, April 11, 2013

ඔබේ ආර්ථිකයටත් ගැලපෙන පරිදි අපූරු කෑමක් හදා ගන්නා අයුරු


පහු ගිය දවස් වල බ්ලොග්  කාරයෝ කීප දෙනෙක්ම අපට නොයෙක් ආකාරයේ කෑම ජාති හදන හැටි කියලා දුන්නා.

කතන්දර  පොල් රොටී හදන හැටිත්, මාරයා අල රොටී ,වඩේ පමණක් නොව පීසා හදන හැටිත්  කියත්දී මඩිස්සලේ නිසාන් පපඩම් බදින හැටි කිව්වා. . මේවා දැක්ක කලාමැදිරියාටත් හිතුනා අපේ පාඨක බ්ලොග් රීඩර් ජනතාවට අපූරු කෑමක් හදන හැටි කියලා දෙන්ට.මෙයාලා එකදිගටම පරිප්පු කන හැටි දැක්කම දුකත් හිතෙනවානේ. වෙනසක් වෙන්ටත් එපැයි.

අපි මේ හදන්ට යන කෑම ප්‍රොටීන් බහුල , ඉතාමත් රසවත් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය-

1. බිත්තර එකක්- මෙම ප්‍රමාණය ඔබේ පවුලේ සාමාජිකයන් ගණන අනුව පහත පරිදි වෙනස් කර ගත හැක.



සාමාජිකයන් ගණන 1 නම් බිත්තර 1
සාමාජිකයන් 2 නම් බිත්තර 1
සාමාජිකයන් 3 නම් බිත්තර 1
සාමාජිකයන් 4 නම් බිත්තර 1
සාමාජිකයන් 5 නම් බිත්තර 1
සාමාජිකයන් 6 නම් බිත්තර 1
සාමාජිකයන් 7 නම් බිත්තර 1

මේ ආකාරයට ඔබට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ‍තෝරාගන්න.

සටහන- ඔබ බොදු බල සේනාවේ , සිංහල රාවයේ , රාවණා යුනිට් එකේ  හෝ හෙලු හෙල උරුමයේ සාමාජිකයෙක් නම් බිත්තරයේ හලාල් සලකුණ තිබේ දැයි බලන්න.( මොලේ සාමාන්‍ය පරිදි වැඩ කරන පොදු ජනයාට එය අදාල නැත.)



2. වතුර හා ලුණු කැට කීපයක්.

සාදා  ගන්නා අන්දම-

වතුර ටික මුට්ටියකට දමා ලුණු කැට හා බිත්තරය එයට දමා හොඳින් තම්බා ගන්න.

තැම්බුනු පසු ලිපෙන් බා පොතු ඇර ගන්න.


ඉන්පසු පවුලේ සාමාජිකයන් ගණන අනුව කෑලි වලට කපා බත් , පාන් ,වැනි ආහාරයක් තිබේ නම් එය සමග අනුභව කරන්න.


ඔබ ගලබොඩ අත්තේ උන්නාන්සේගේ උපදෙස් පරිදි කසාද පහක් කරගන්නේ නම් පහත පරිදි බිත්තරය කැපිය හැක.



සටහන - ගෙදර හරියකවත් බිත්තර කට්ටකවත් නොතිබුනු  නිසා සියලු ඡායාරූප ලබා ගත්තේ අන්තර් ජාලයෙන් බව කරුණාකර සලකන්න.