Showing posts with label සෞඛ්‍යය. Show all posts
Showing posts with label සෞඛ්‍යය. Show all posts

Wednesday, February 24, 2016

රෝගීන් මැද රෝගීව

 
 ඉරිදා දවසේ උදේ ඇහැරෙන කොට  ඉන්න බෑ හෙම්බිරිස්සාව, නාහේ හිරවෙලා, උගුර කහනවා, කැස්සත් ටිකක් තියෙනවා. මොකෑ කරන්නේ ගියා ගෙවල් ලඟ තියෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. ආයේ මොකටද සල්ලි දීලා බෙහෙත් ගන්නේ ආණ්ඩුවෙන් නිකම් දෙනකොට, ඉරිදාටත්.

ඉස්පිරිතාලෙට ඇතුල් වෙනකොටම හැඩකාර  නර්ස් නෝනා කෙනෙක් ඇවිත් මගේ අතින් අල්ලගෙන ගියා කියපංකෝ දොස්තර මහත්තයා ලඟට. උන්නැහේ වෙද නලාව මගේ සර්වාංගේ පුරාම තියලා පැය තුන් කාලක් විතර පරීස්සා කොරලා හිටං  කියපි  මාව වාට්‍ටුවට ඇතුල් කරලා ලේස්ති කරන්න කියලා. මගේ ඇඟේ හීන් දාඩිය දැම්මා , මොකොටද ලේස්ති කරන්නේ කියලා. ඔපරේෂමක් වත් කරන්න යනවද කියලා හිතුවේ. කැස්සට බෙහෙත් ගන්න ඇවිත් කකුලක් නැතිව යන්න වෙයිද කියලා හිතුනා. ඇයි ඉතින් වම් කකුල වෙනුවට දකුනු කකුල කපපු උදවියනේ.

මට වාට්‍ටුවේ ටික වෙලාවයි ඉන්න ලැබුනේ. මාව රෝද පු‍ටුවක තියලා අරන් ගියා කියපංකෝ තැනකට.අම්මපා හෙලි පෑඩ් එකක්. එතැන නවත්තලා තිබුනා රතු කුරුසයක් ගහපු හෙලිකොප්ටරයකට මාව පටවගෙන ආවේ  නැතිද කොළඹටම. එහෙමයි සලකන්නේ  මිනිස්සුන්ට. මම හිතුවේ මාව කොළඹ මහ ඉස්පිරිතාලෙට දාන්න යනවා කියලා. මොන ?

හෙලිකොප්පරේ කොළඹත් පහු කරගෙන යනවා, ගෙහුන් ගෙහුන් ගියේ නැත්ද ක‍ටුනායක එයාර්පෝර්ට් එකටම. එතැනින් පැටෙව්වා මාව ප්ලේන් එකකට. සුරුස් ගාල සිංගප්පූරුවේ. මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාලේ.

එහෙමයි අපේ ආණ්ඩුව හෙම්බිරිස්සාවක් හැදුනත් රටේ සාමාන්නිය ජනතාවට සලකන්නේ. රජයේ වියදමින් මවුන්ට් එලිසබෙත් එකට මාව එව්වා කියහන්කෝ. කවුරු වීස්වාස කොරයිද විටමින් සී පෙති ටිකකුයි පැරසිටමෝල් සුට්ටකුයි ඇන්න යන්ට ඉස්පිරිතාලේ ගිය  මම සිංගප්පූරුවේ සුපිරි ඉස්පිරිතාලෙක.

 හෙම්බිරිස්සාව හොඳ වුනාම ආයේ ලංකාවට එන්නම් හො‍ඳෙ.  මෙහෙ එච්චර පාලුවක් නැහැ. අල්ලපු කාමර වල පිරිලා ඉන්නේ කැකිරාවෙන්, අඟුනකොලපැලැස්සෙන්, පදවියෙන් ට්‍රාන්සර් කරලා එවපු හීන් මැනිකෙලා, ලොකු බන්ඩලා, සූටින්ලා කට්ටිය.

බයි බයි.

සටහන-
මේ ලියුම කොටන්නෙත් ඉසිප්‍රිතාලෙන්ම ලෙඩ්ඩුන්ට දෙන ලැප්ටොප් එකකින් හොඳේ. 




 

Wednesday, March 27, 2013

බිල් කැඩීම




රජයේ රෝහල් වලි න් ප්‍රතිකාර ලබන රෝගීන්ට ,එම ප්‍රතිකාර සඳහා වැය වූ මුදල දැන ගැනීම සඳහා බිල් පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. බිල්පත ලබා දුන්නද කිසිම අය කිරීමක් නොකරන බවද රජය පවසයි.මෙම පියවර ගන්නේ රෝහල්වල පලදායිතාව වැඩිකිරීමටලු.

මුලදී බිල පමණක් ලබා දී ක්‍රම ක්‍රමයෙන් මුදල් අය කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව නවතා දැමීමේ ආරම්භක පියවර ,සමහර විට මෙය විය හැක.

නිදහස් සෞඛ්‍ය සේවාවක් කීවත් රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට යන රෝගීන්ට ඉතා විශාල මුදලක් දැනටමත් වියදම් කිරීමට සිදුවේ.

ඉතාමත්  අත්‍යවශ්‍ය රසායනාගාර පරීක්ෂණ පවා  මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් කරගෙන ඒමට සිදුවේ. රජයේ රෝහල් වල මෙම පරීක්ෂණ කිරීමට පහසුකම් තිබුණත් සමහර විශේෂඥ වෛද්‍යවරුන් ඒවා පිටත රසායනාගාරවලින් කරගෙන එන ලෙස නියම කරන්නේ රෝහලේ රසායනාගාරයේ පරීක්ෂණ ප්‍රතිපල විශ්වාසිදායක නැති බව පවසමිනි.

එසේම එම්.ආර්.අයි, සී.ටී ස්කෑන් වැනි පරීක්ෂණ වලට රජයේ රෝහල් වල මාස ගණන් දිගු පෝලිම් ඇති අතර එම පරීක්ෂණද බොහෝ විට මුදල් ගෙවා පිටතින් සිදු කරගැනීමට සිදු වේ.( කෙසේ වෙතත් මුදල් ගෙවන්නේ නම් මාස ගණන් පෝලිමේ නොසිට ඉතා ඉක්මණින් එම පරීක්ෂණ කරගත හැකි රහසිගත ක්‍රමයන්ද රජයේ රෝහල් වලම ක්‍රියාත්මක වේ.)

එසේම රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගත්තත් නියම කරනු ලබන ඖෂධ වලින් වැඩි හරියක් ගැනීමට සිදුවන්නේ මුදල් ගෙවා පිටත පාමසියකිනි.

මේ අනුව බලන විට මෙම රෝග නිර්ණය කරනු ලබන පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර සඳහා දෙන ඖෂධවලටද රෝගින්ට මුදල් ගෙවීමට සිදුව ඇති තත්වය තුල රෝගින්ට දීමට යෝජනා වී ඇති ඊනියා බිලේ සටහන් කරනු ලබන්නේ මොනවාද යන්න ප්‍රශ්නයකි.

අත්‍යවශ්‍ය හා අනවශ්‍ය සෑම තැනෙකම විදුලි බල්බ පත්තු කිරීමට, වායු සමනය කිරීමට යන වියදමද ඇතුලුව විදුලි බිල, වෛද්‍යවරුන්ට මල් කැඩීමට ගෙවනු  ලබන ඉතා විශාල ටෙලිෆෝන් බිල් යනාදිය අනිවාර්යෙන්ම එකතු කල හැකිය.

එසේම මීට පෙර බදුල්ලෙනුත්, දැන් පොලොන්නරුවෙනුත් අනියම් කම්කරුවන් වශයෙන් බඳවාගෙන සිටින කිසි වැඩක් නොකරන  දහස් ගණන් කම්කරුවන්ගේ වැ‍ටුප්ද, දිනකට පැය දෙකක්  පමණ රෝහලේ සිටිමින්   උපරිම අතිකාල වැ‍ටුප් පවා ලබාගන්නා වෛද්‍යවරුන් ඇතුලු අනිකුත් සේවකයින්ගේ වැ‍ටුප්ද වැනි එම ආකාරයේ බොහෝ වියදම් මෙම බිලට එක් කර ඔන්න උඹලාට බෙහෙත් කරන්න අපේ ආණ්ඩුව මෙච්චර වැය කරනවා යැයි කීමට හැකිය.


එවිට රෝගින් වන අපටද " අනේ අපේ ආණ්ඩුව අපිට බෙහෙත් කරන්න කොච්චර නම් වියදම් කරනවාදැයි" විස්සෝප වීමට හැකිය.

සටහන-රජය 2013 දී සෞඛ්‍යයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.33% ක්ම වෙන් කර ඇත. අධ්‍යාපනයට එය 1.51% කි. හැබයි ආරක්ෂක වියදම 19%කි.