Showing posts with label වකුගඩු රෝගය. Show all posts
Showing posts with label වකුගඩු රෝගය. Show all posts

Wednesday, January 7, 2015

ඔබේ තීරණය කුමක්ද?

කිරි උතුරන පවුලක්
යුද්ධය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැරුනු විට රාජපක්ෂලාගේ ලොකුම කයිවාරුව සංවර්ධනයයි. ඔවුන් මේ සඳහා අත දිගු කර පෙන්වන්නේ නැව් නැති වරායන්, ගුවන් යානා නැති ගුවන් තොට, නාට්‍ය නැති රඟහල්, මිනිසුන් හෝ ‍රැස්වීම් නැති සම්ම්න්ත්‍රණ ශාලා , පැයට කි.මී සීයටකටවත් යා නොහැකි අධිවේගී මාර්ග, හැදූ දා සිට අලුත් වැඩියා කරන මහාමාර්ග හා කිසිම කමකට නැති නෙලුම් කුළුණු ආදියයි.

සංවර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ රටක ජනතාවට කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ක්‍රියාවලියකි. එහෙත් රාජපක්ෂලාගේ ඉහත දැක් වූ සංවර්ධනයෙන් මෙරට අති මහත් බහුතරයක් වූ දුගී ජනතාවට අත් වී තිබෙන  සෙත කවරේද?

මෙම නිශ්පල ව්‍යාපෘති සඳහා ගිනි පොලියට ලබා ගන්නා ණය හා පොලී ගෙවීම සඳහා ඔවුන්ගේ කිරිපිටි ටිකෙන්, පැට්‍රල් හා භූමි තෙල් ලීටරයෙන් , සීනි 250න්, පරිප්පු සීයෙන් ගෙවීමට  සිදු වීම හැර අන් කුමක්ද? 

රාජපක්ෂලාගේ ලොකුම ආඩම්බරය නගර අලංකරණයයි. මේ වෙනුවෙන් ඔවුන් පරම්පරා ගණනාවක් ජනයා ජීවත් වූ නිවාස වලින් පලවා හරිමින් සිටිති. තමන් සිටි නිවාසද අහිමි වූ ජනයා කුකුල් කූඩු බඳු තට්‍ටු නිවෙස් තුලට ගාල් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමටද බල කරනු ලබමින් සිටිති. රාජපක්ෂලාගේ සංවර්ධනය එයයි.

රාජපක්ෂලා කොළඹ නගරය අලංකාර  කරමින් සිටින අතර  ඈත ගම් වල සිසු දරු දැරියන් වැල් පටවල එල්ලී ගංගා තරණය කරමින් වල් අලි ප්‍රහාර මැද පාසල් යති. ව්‍යායාම මං තීරු වලට රුපියල් කෝටි ගණන් වියදම් කරද්දී රජරට ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් ලේ පීරිසිදු කිරීමේ යන්ත්‍ර හිඟකම නිසා හා ඖෂධ නොමැතිකමෙන් මිය යති. 

රාජපක්ෂලාගේ අධිවේග මාර්ග හැදීමට හා නඩත්තුවට  තම  හාල් සේරුවෙන්, කිරි පිටි ටිකෙන්, අල ගෙඩියෙන්, පරීප්පු ටිකෙන් බදු ගෙවන  දුප්පතුන්ට තම යතුරු පැදිය හෝ ත්‍රී රෝද රථය ඇතුලු කිරීමට අවසර නැති වීම රාජපක්ෂ සංවර්ධනයේ සැබෑව හෙලිදරව් කරයි. 

මෙවැනි නාස්තිකාර, ජනතාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරන , පාලක කල්ලිය අති විශාල ලෙස කොමිස් ගසමින් මඩි තරකර ගන්නා ඊනියා සංවර්ධනයයට තව දුරටත් ඉඩ දෙනවා ද යන්න අප ජනවාරි අට වෙනිදාට තීරණය කළ යුතුව තිබේ.

ඔබේ තීරණය කුමක්ද?
එක රොටියක් බෙදා ගෙන කන පවුලක්


Wednesday, April 30, 2014

සියල්ල දත්


ලංකාවේ උගතුන් සාමාන්‍ය්‍යයෙන් තමාගේ විෂය පථයට අසු නොවන දේ පිලිබඳව විශේෂඥ මත පල කිරීමට පුරුදුව සිටිති. කලකට ඉහතදී නම් මේ පුරුද්ද තිබුනේ සමහර විශ්ව විද්‍යාල ඇදුරන් අතරේ පමණි. එහෙත් දැන් දැන් වෙනත් ක්ෂේත්‍රවල අය අතරත් මේ රෝගය පැතිරෙමින් තිබෙනු පෙනේ. 

බොහෝ විට මෙම ඊනියා පණ්ඩිතයින්  තම විශේෂඥ ක්ෂේත්‍රයෙන් පිටත කරුණු ගැන කියන්නේ අමූලික බොරුය . නො එසේ නම් අසම්පූර්ණ කරුණුය.  නිසි දත්ත , වාර්තා, පර්යේෂණ හා අත් දැකීම් නැතිව හුදු  ප‍ටු ජනප්‍රියත්වය සඳහා හෝ දේශපාලන වාසි තකා ඔවුන් විස්න් කරනු ලබන ප්‍රකාශ පොදු ජනයා අතරට ගිය විට සිදු වන්නේ මහා හානියකි.

මේ සඳහා හොඳම උදාහරණය නම් කලක සිට රටේ උතුරු මැද පලාත් වල පැතිර යන නිධන්ගත වකුගඩු රෝගී තත්වයයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ට වඩා අද  මේ පිලිබඳව  පරීක්ෂණ කරන්නේ ගණිත මහාචාර්ය වරුන් හා නාත දේවාලයේ කපුවන්ය.

මේ වකුගඩු රෝගය පිලිබඳව නවතම විශේෂඥයා වී සිටින්නේ  ළමා  ස්නායු රෝග  විශේෂඥයෙක් හා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති , අලුතින්ම දේශප්‍රේමියෙක් වූ අනුරුද්ධ පාදෙනිය මහතාය.

ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන නිදන්ගත වකුගඩු රෝග පිලිබඳ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශකයා ලෙස ඇරයුම් කර ඇත්තේ   පාදෙනිය මහතාටය. ඒ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරමින් හා ඒ ගැන පර්යේෂණ කරමින් වසර ගණනාවක් ගත කල වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වරුන් ගණනාවක්ම රටේ සිටිද්දීය.

එක්කෝ මෙසේ තමන්ට කිසි සේත් අදාල නොවන ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කරන්නට කී විට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු නිහතමානි හා ඥාණාන්වන්විත විය යුතුය. නො එසේනම් ඉංජිනේරු ආයතනයේ ලොක්කන්ට   තමන් කරන්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට මොළයක් තිබිය යුතුය.