Showing posts with label ඩෙංගු රෝගය. Show all posts
Showing posts with label ඩෙංගු රෝගය. Show all posts

Saturday, December 22, 2012

ඩෙංගු හා වංගු




ආයුර්වේද වෛද්‍යවරියක්  විසින්  ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන ඖෂධයක් සොයා ගෙන ඇතයි මේ දිනවල ඇතැම් මාධ්‍ය විසින් මහා ඝෝෂාවක් කරනු අප දු‍ටුවෙමු.

එසේම ඇයගේ මෙම සොයාගැනීම පාගා දැමීමට බටහිර ඖෂධ සමාගම් සමග එකතුව බටහිර වෛද්‍යවරුන් කටයුතු කරන්නේ යැයි චෝදනාවක්ද අපගේ ඊනියා දේශප්‍රේමි මහත්වරුන් විසින් කර තිබුනි.

මේ පුවතත් සමග ප්‍රශ්න රාශියක් අප සිතේ මතු විය. මේ ප්‍රශ්න මතු කරන්නේ නොදන්නා කමට අසා දැන ගැනීමට මිස  කිසිවෙකුගේ සිත් රිදවීමටනම් නොවේ. (ඇත්තමයි)

දැන් මේ වෙද තුමිය ඩෙංගු රෝගය සුව කරන්නේ රෝගයේ කුමන අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන්ද?

රෝගයේ ආරම්භක අවස්ථාවේදීද?ඩෙංගු රක්තපාත අවස්ථාවේදීද?

එසේත් නැත්නම් කම්පන තත්වයට පත් වූ පසුද?

ඇය තමන්ගේ ඖෂධයෙන්ම  නිට්ටාවට ඩෙංගු රෝගය සුව වන බව කියන්නේ කෙසේද?

ඩෙංගු රෝගින්ගෙන් 99% ක්ම සුව වන බවත් මිය යන්නේ 1% අඩු ප්‍රතිශතයක් බවත් ඇය දන්නවාද?

එසේ නම් ඇය සුව කරනවා යැයි කියන්නේ මේ මිය යන  1% ක ප්‍රමාණයද?

එසේ මිය යන අය තම ඖෂධයෙන් සුවපත් වන බව ඇය සොයා ගත්තේ කෙසේද?

ඩෙංගු රක්තපාත හෝ කම්පන තත්වයට පත් රෝගීන්ට වෙන කිසිම ඖෂධයක් නොදී ඇගේ ඖෂධ වලින් ප්‍රතිකාර කිරීමෙන්ද?

එවැනි පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධයක් මිනිස් රෝගීන්ට දෙමින් ඔවුන්ගේ ජීවිත අවදානමේ හෙලන්නට ඇයට අවසර දුන්නේ කවුද?

එසේ කිරීම කොතරම් සදාචාර සම්පන්නද?

නිවැරදි බෙහෙත සොයා ගැනීම සඳහා තමන්  බොහෝ වතාවක් පරීක්ෂන කල බවත් බොහෝ ඖෂධ පරීක්ෂා කල බවත් ඇය පවසා තිබේ. මෙම ඖෂධය සොයා ගැනීමට බොහෝ සේ මහන්සි වී තිබේලු.

එසේ නම් මෙම නිවැරදි ඖෂධය හැර ඇය පරීක්ෂා කල අනික් ඒවා වැරදි බව ඇය දැන ගත්තේ කෙසේද?

ඒවා දුන් ඩෙංගු රෝගීන් මිය ගිය නිසාද?

එසේ මිය ගිය ඩෙංගු රෝගීන් ගණන කීයද?

ඒ ගැන ඇය සෞඛ්‍ය බලධාරින්ට වාර්තා කර තිබේද?

මෙම ඖෂධය නිසා ඇතිවන අතුරු ආබාධ ගැන ඇය සොයා බැලුවේද?

සටහන- මෙම ඖෂධයට අනුමැතිය දුන් ආයුර්වේද බලධාරින් මේවා ගැන සොයා බැලුවේදැයි අප නොදනිමු.මෙම ප්‍රශ්න වලට පිලිතුරු අය සතුව නොමැති බව අප දනිමු. මෙය  මෙරට පවත්නා නූගත් කමත්, මිථ්‍යා විශ්වාසයනුත්, මේ සමයේ විරාජමාන ව සිටින ඊනියා ජාතිකවාදයත් ගැන හොඳ අවබෝධයකින් ජනතාව ගසා කෑමට කරන උත්සාහයක් වීමට හෝ එසේ නැත්නම් යම්කිසි මානසික රෝගයකින් පෙලෙන අයෙකුගේ විකාරයක්  වීමටත්  ඉඩ තිබේ.